Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සෞදි අරාබියේ බිහි වන මනෝරාජික රේඛීය නගරය:THE LINE

මේ දිනවල සෞදි අරාබියේ එක්තරා ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් ඉතා සිත් ගන්නාසුලු ප්‍රවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. “THE LINE” යනුවෙන් නම් කර ඇති මෙම ව්‍යාපෘතිය, කතාබහට ලක් වුණේ 2021 වර්ෂයේ සිට යි. වර්තමානයේ දී ඒ පිළිබඳ පැහැදිලි චිත්‍රයක් ලෝකයට ලබා දීමට සෞදි රජය සමත් වී තිබෙනවා.

“THE LINE” යනු සරලව ම නගරයක් ලෙස සැලකිය හැකි යි. නගරයක් කියූ සැණින් වර්ග කිලෝමීටර් සිය ගණනක් පැතිරුණු ගොඩනැඟිලි සමූහයක් තමයි අපට සිහිපත් වෙන්නේ. වර්තමාන නගර කොතරම් නවීකරණය වුවත්, ඒවා අවකාශය අහුරාලමින් සාම්ප්‍රදායික ලෙස භූමිය පුරා පැතිරනවා. “THE LINE” යනු එලෙස සාම්ප්‍රදායික ව භූමිය අතික්‍රමණය කරන නගරයක් නොවෙ යි. අපි කොළඹ නගරය උදාහරණයකට ගනිමු. කොළඹ නගරයේ සියලු ගොඩනැඟිලි මීටර් පන්සියයක් පමණ උස සිරස් බිත්ති දෙකක් අතරට ගොනු කළ හැකි නම්, අවසානයේ දී කොළඹ නගරය අපට සිහින් තීරුවක් වැනි තනි ගොඩනැඟිල්ලක් ආකාරයෙන් දිස් වේවි. “THE LINE” කියන්නේත් එවැනි සංකල්පයක් අනුව ඉදිවෙන රේඛීය නගරයක්. එහි දිග කිලෝ මීටර් 170 ක් පමණ වෙනවා!  

විවිධ භූ ගෝලීය කලාප හරහා ගමන් කරන “THE LINE” – www.neom.com

“THE LINE” හි විශේෂත්වය එතැනින් නතර වන්නේ නැහැ. සෞදි රජය නගරය තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන සංකල්ප සැලකීමේ දී එය වඩාත් ආසන්න වන්නේ විද්‍යා ප්‍රබන්ධයකට යි. ඇතැමුන් මේ ව්‍යාපෘතිය යථාර්ථයක් බවට පත් කරගත නොහැකි මනෝරාජිකයක් ලෙස සලකනවා. නමුත්, සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු, මොහොමඩ් බින් සල්මාන් සහ සෞදි රජයේ අධිෂ්ඨානයත් සුළුපටු නැහැ.

සෞදියේ “ස්මාර්ට් නගරය”

“THE LINE” යනු ව්‍යාපෘති ජාලයක එක කොටසක් පමණ යි. සමස්තයක් ලෙස මෙම ව්‍යාපෘති ජාලය “NEOM” ලෙස හඳුන්වන අතර, එය සමාගමක් වශයෙන් සංවිධානය වී ක්‍රියාත්මක වෙනවා. “NEOM” හි අධ්‍යක්ෂක මණ්ඩලයේ සභාපතීත්වය දරන්නේත් මොහොමඩ් බින් සල්මාන් කුමරු යි. “THE LINE” හැරුණු විට “Oxagon” සහ “Trojena” වඩාත් අවධානය දිනාගත් NEOM ව්‍යාපෘති ලෙස සැළකෙනවා. ඒවා වෙනම ලිපියකින් විස්තර කිරීමට තරම් කරුණු අඩංගු දැවැන්ත ව්‍යාපෘති වන බැවින්, මෙම ලිපියේ දී “THE LINE” ගැන පමණක් අප සලකා බලනවා.

“NEOM” ව්‍යාපෘති ජාලය ක්‍රියාත්මක වන්නේ ටබුක් පළාතට අයත් “ඇකාබා බොක්ක” ආශ්‍රිතව යි. සියලු ව්‍යාපෘති නිම වූ පසු වර්ග කිලෝමීටර් 26,500 ක් පුරා පැතිරුණු එකිනෙකට සම්බන්ධිත “ස්මාර්ට් නගරයක්” ආකාරයෙන් NEOM ජාලය දිස්වනු ඇති. සෞදි රජය, අමෙරිකානු ඩොලර් බිලියන 500 ක ඇස්තමේන්තුගත අය වැයක් සහිත සංවෘත හවුල් කොටස් සමාගමක් ආකාරයෙන් මෙය ක්‍රියාත්මක කරනවා.

NEOM හි සංවර්ධකයන්ට අනුව වත්මන් සෞදි අධිකරණ පද්ධතියේ සීමා මායිම්වලට මෙම ව්‍යාපෘතිය හසු වන්නේ නැහැ. ඒ සඳහා වෙන ම ස්වාධීන නීති පද්ධතියක් නිර්මාණය වන බව පැවසෙනවා. දැන් අපි නැවතත් “THE LINE” කෙරෙහි අවධානය යොමු කරමු.

නගරය මට්ටම් තුනකින් සමන්විත යි – www.express.co.uk

මූලික ව්‍යුහය

“THE LINE” රේඛීය නගරය, දර්පණ ආවරණය කරන ලද ගොඩනැඟිලි දෙකකින් සමන්විත යි. නගරය පිහිටන්නේ මේ දර්පණ ගොඩනැඟිලි දෙක අතර යි. දර්පණ ගොඩනැඟිලි ද්විත්වයේ උස මීටර් 500 ක් ලෙස දැක්වෙන අතර, ගොඩනැඟිලි දෙක අතර පරතරය මීටර් 200 ක් ලෙස යි වාර්තා වන්නේ. ඒ අනුව “THE LINE” හි වපසරිය ආසන්න වශයෙන් වර්ග කිලෝමීටර 34 කට ආසන්න යි. බැලූ බැල්මට ම ඉතා කුඩා වපසරියක් වුවත්, මිලියන 9 කට පමණ නිවහන් සැපයීම හැකියාව “THE LINE” සතු යි. නගරය සිරස් අතට සැලසුම් වන නිසා එතරම් මිනිස් ධාරිතාවක් දැරීමේ හැකියාව ලැබෙනවා.

නගරය ප්‍රධාන මට්ටම් තුනකින් සමන්විත යි. පළමු මට්ටම මහා මාර්ග හෝ රථ වාහන නොමැති කලාපයක් ලෙස නිර්මාණය වෙනවා. එය සම්පූර්ණයෙන් ම වෙන් වන්නේ පදිකයන් වෙනුවෙන්. හරිත උද්‍යාන සහ මිනිසුන්ට විවේකී ව කාලය ගත කිරීමේ සියලු පහසුකම්වලින් එය සමන්විත යි. දෙවැනි මට්ටම සේවා උදෙසා වෙන් වෙනවා. නගරයේ සියලු ම කඩ සාප්පු සහ වාණිජ ක්‍රියාකාරකම් එහි සිදුවනු ඇති.

රේඛීය නගරයේ අභ්‍යන්තරය – www.theverge.com 

තෙවැනි සහ පහළ ම මට්ටම සලකන්නේ නගරයේ කශේරුකාව වශයෙන්. භාණ්ඩ ප්‍රවාහනය සහ මගී ප්‍රවාහන සේවා එහි ක්‍රියාත්මක වන අතර, අධිවේගී සංක්‍රමණ පද්ධතියක් හරහා රේඛීය නගරයේ ඕනෑම ස්ථානයකට විනාඩි 20 ක් වැනි කෙටි කලකින් ළඟා වීමේ හැකියාව අත්කර දෙනවා. ඒ අනුව පොදු ප්‍රවාහන සේවයට මූලික ස්ථානයක් ලැබෙන අයුරින් නගරය සැලසුම් වෙනවා. 

නොවෙනස් වන දේශගුණයක්!

“THE LINE” ව්‍යාපෘතියේ ඉදි කිරීම් කටයුතු සිදු කරන ප්‍රදේශය කාන්තාර දේශගුණයක් සහිත භූ ගෝලීය කලාපයක් බැවින්, නගරය තුළ ප්‍රශස්ත දේශගුණික තත්ත්වයක් පවත්වා ගෙන යෑමට සිදු වෙනවා. මෙය ඉතා අභියෝගාත්මක ක්‍රියාවලියක්. කෙසේ නමුත්, නියාමනය කළ ක්ෂුද්‍ර දේශගුණයක් නගරය තුළ පවත්වා ගෙන යෑම මූලික සැලසුමේ අංගයක් ලෙස ක්‍රියාත්මක වේවි. නොවෙනස් වන ක්ෂුද්‍ර දේශගුණයක් පවත්වා ගැනීම සඳහා හිරු එළිය, සෙවණ සහ ස්වභාවික වාතාශ්‍රය යන සාධක ප්‍රශස්ත ලෙස සමතුලිත වන අන්දමින් පරිසරය ප්‍රවේශමෙන් නිර්මාණය කිරීමට සැලසුම්කරුවන් උත්සුක වෙනවා. නගරය පුරා “හරිත විවෘත” අවකාශයක් නිර්මාණය කිරීමෙන් එම අභියෝගය ජයගනු ඇති.

  ඊළඟට වැදගත් ම කාරණය වන්නේ කාබන් උදාසීන බුබුළක් ආකාරයෙන් නගරය පවත්වා ගෙන යෑමේ අපේක්ෂාව යි. මෝටර් රථ සහ මාර්ග වැනි කාබන් විමෝචනය අධික යටිතල පහසුකම් ඉවත් කර ඇති බැවින්, නගරය කාබන් ශූන්‍ය වනු ඇති. නගරයේ ඇති ගෘහස්ථ ඒකක සහ කර්මාන්ත ඇතුළු සියල්ල ම පුනර්ජනනීය බලශක්තිය මත ක්‍රියාත්මක කිරීමට සැලසුම්කරුවන් අපේක්ෂා කරනවා.  2060 වනවිට කාබන් ඩයොක්සයිඩ් විමෝචනය ශුන්‍ය කරා ගෙන යෑමේ ප්‍රතිඥාවක් සෞදි රජය ලබා දී තිබුණත්, බොහෝ පරිසරවේදීන් ඒ ගැන සැක සාංකා මතුකර තිබුණා. ප්‍රධාන වශයෙන් ඛනිජ තෙල් මත පදනම් වූ ආර්ථිකයක් සෞදි අරාබියේ තිබීම ඊට හේතුව යි. නමුත්, මෙවැනි තිරසර ව්‍යාපෘති හරහා තම අනාගත පාරිසරික ප්‍රතිපත්තිය ගැන යම් පණිවිඩයක් ලබා දීමට සෞදි රජය සමත් වී තිබෙනවා. 

“Work-Life Balance” සඳහා මුල්තැන

ස්වභාවධර්මයට ක්ෂණිකව සහ බාධාවකින් තොරව ප්‍රවේශය විය හැකි අන්දමින් නගරය නිර්මාණය කිරීම “NEOM” සැලසුම්කරුවන් ගේ මුඛ්‍ය අරමුණු අතර තිබෙනවා. ඒ සඳහා ඕනෑම නගරවැසියකුට ගත වන්නේ මිනිත්තු දෙකක් පමණ යි. ඇතුළත නිර්මාණය කරන උද්‍යානවලට අමතර ව කිලෝ මීටර් 170 ක් පුරා විහිදෙන නගරයට හමු වන ස්වභාවික භූ දර්ශන, කඳු පංතීන් සහ පෞරාණික ස්ථාන වෙත පහසු ප්‍රවේශයක් නගරවාසීන්ට ලැබෙනු ඇති. ඒ අනුව ඇතුළත ස්වභාවික පරිසරය සහ බාහිර ස්වභාවික පරිසරය යන දෙක ම එකට නැරඹීමේ සහ විඳීමේ හැකියාව නගරවාසීන්ට ලැබෙනවා. විවෘත අවකාශය, ස්වභාවධර්මය සමඟ ඒකාබද්ධ කිරීම හරහා වාතයේ ගුණාත්මකභාවයටත් පිළියම් යෙදීම සිදු වෙනවා.

සාම්ප්‍රදායික සහ වෙහෙසකාරී නාගරික ජීවන රටාවෙන් හැකි පමණ මිදෙන අයුරින් මේ රේඛීය නගරය සැලසුම් වේවි – www.theverge.com 

ඕනෑම පහසුකමක් වෙත මිනිත්තු පහක් වැනි සුළු කාලයක් ඇතුළත ප්‍රවේශ වීමේ හැකියාව, අධිවේගී පොදු ප්‍රවාහන ජාලය හරහා මිනිත්තු 20 ක් තුළ නගරයේ ඕනෑම ගමනාන්තයකට ළඟා වීමේ පහසුව, වැනි කාරණා නිසා වෘත්තීය සහ පෞද්ගලික ජීවිතයේ සමබරතාවට “THE LINE” හරහා සාධනීය විසඳුමක් ලැබේවියැ යි සැලසුම්කරුවන් අපේක්ෂා කරනවා.

එමඟින් ගොඩනැඟෙන මානසික සමබරතාව, නගරයේ පුද්ගල සබඳතා යහපත් මට්ටමකින් පවත්වා ගෙන යෑම කෙරෙහි බලපානු ඇති. නගරයක ජීවත් වන ඕනෑම කෙනකුගේ පොදු සහ විශාලත ම ගැටලුව වන්නේ කාලය යි. නගරයක් ක්‍රියාත්මක වන ආකාරය පුද්ගලයකුගේ දෛනික කාල සටහනට සෘජු බලපෑම් එල්ල කරන බැවින්, ඔවුන් ගේ දින චර්යාවත් ඒ අනුව වෙනස් වෙනවා. බොහෝ නගරවල පුද්ගලික සහ වෘත්තීය ජීවිතයේ සමබරතාව අර්බුදයට ලක් වී ඇත්තේ ඒ නිසා යි. “THE LINE” සැලසුම් කිරීමේ දී මෙම කාරණය ප්‍රධාන වශයෙන් සැලකිල්ලට ගත් බවක් පෙනී යනවා.

කෘත්‍රිම බුද්ධිය සංයුක්ත වූ නගරයක්

සෞදි අරාබි රජය “THE LINE” ව්‍යාපෘතිය හඳුන්වන්නේ මිනිසුන්ට මුල් තැන දෙමින් සිදු කරන ශිෂ්ටාචාරයේ විප්ලයක් ලෙසට යි. සොබාදහම ආරක්ෂා කරමින් පෙර නොවූ විරූ නාගරික ජීවන අත්දැකීමක් සපයන අතරේ ම නාගරික සංවර්ධනය සහ අනාගත නගර ආකෘති කෙබඳු විය යුතු ද යන්න ගැනත් “THE LINE” හරහා නිර්වචන ඉදිරිපත් වෙනවා. සමාජ සහ ආර්ථික අත්හදා බැලීම් සිදු කිරීමේ අසමසම අවස්ථා සහිත ස්ථානයක් ලෙස “THE LINE” හඳුනා ගැනෙන අතර, දූෂණය සහ රථවාහන අනතුරුවලින් තොර වූ ආරක්ෂිත ම ස්‍ථානයක් ලෙසත් එය ප්‍රචලිත වනු ඇති. මිනිසුන්ට දිගු කාලයක් ජීවත් වීමේ අවස්ථාව ලබා දෙන අති දියුණු සෞඛ්‍ය සේවාවක් පවත්වා ගෙන යෑමටත් ව්‍යාපෘති සැලසුම්කරුවන් අපේක්ෂා කරනවා.

ඉදි කිරීම් අවසානයේ දී “TROJENA” දිස්වන අයුරු.- www.neom.com 

සෞදි අරාබියේ කර්කශ පරිසරයක නොඩ නැඟෙන මේ රේඛීය නගරය, මිනිසාට අවශ්‍ය දේ පුරෝකථනය කරමින් ඒ අනුව ප්‍රතික්‍රියා කරන සංජානන නගරයක් ලෙස ක්‍රියාත්මක වන බව පැවසෙනවා. එනම්, කෘත්‍රිම බුද්ධිය පෙර නොවූ විරූ පරිද්දෙන් මිනිස් ජීවිතය සමඟ සංයුක්ත වනු ඇති.

 ව්‍යාපෘතියේ පළමු අදියර වර්ෂ 2030 දී අවසාන කිරීමට අපේක්ෂා කරන අතර, ඒ වනවිට රැකියා අවස්ථා තුන් ලක්ෂ අසූ දහසක් (380,000 ක්) නගරය තුළ නිර්මාණය කිරීමට නියමිත යි. 2030 වනවිට සෞදි රාජධානියේ ජනගහනය මිලියන 50 දක්වා ඉහළ යා හැකි බව අනාවැකි පළ වී තිබෙනවා. ඉන් හරි අඩක් විදේශිකයින් විමේ හැකියාවක් ඇති අතර, සංක්‍රමණයට සරිලන රැකියා අවස්ථා නිර්මාණය කිරීමේ අවශ්‍යතාවයක් ද සෞදි රජයට පැන නැඟෙනවා. 

වෘත්තීය සහ පුද්ගලික ජීවිතය සනබර වන අයුරින් නගරය සැලසුම් වන හැටි – www.neom.com 

අවදානමක් ඇති ආයෝජනයක්

මේ සියලු කාරණා සමස්තයක් ලෙස ගත් විට “The Line” හි සැබෑ ස්වරූපය කෙබඳු වේවිදැ යි කලක පටන් තිබුණු ගැටලුවක්. ඊට පිළිතුරක් වශයෙන් ව්‍යාපෘති සැලසුම්කරුවන් විවිධ පැතිකඩ ඔස්සේ නගර ආකෘතිය සහ අභ්‍යන්තර ව්‍යුහය කල්පිත වශයෙන් නිර්මාණය කර තිබෙනවා.

කරුණු කාරණා එසේ වුව ද, තවත් ගැටලුවකට අප පිළිතුරු සොයා ගත යුතු යි.

සෞදි අරාබිය මෙතරම් දැවැන්ත මුදලක් විශාල අවදානමක් දරා ගනිමින් ආයෝජනය කරන්නේ ඇයි?

සැබැවින් ම “THE LINE” යනු විද්‍යා ප්‍රබන්ධවල පෙන්වන ආකාරයේ ෆැන්ටසිමය නගරයක් බව බොහෝ දෙනා අදහස් පළ කර තිබෙනවා. ඒ නිසා ම මෙහි සාර්ථකත්වය සම්බන්ධයෙන් සැක සාංකා බොහෝම යි.

සොබාදහම හැකි පමණ මිනිසාට සමීප කිරීම “THE LINE” හි මුඛ්‍ය අරමුණු අතරින් එකක් – www.theverge.com 

 පළමු පිළිතුර වන්නේ විශාල වශයෙන් ඛනිජ තෙල් මත යැපෙන ආර්ථිකය විවිධාංගීකරණය කිරීමට ඇති අවශ්‍යතාව යි. සෞදි රජය පමණක් නොව කලාපයේ සෙසු රටවල් පවා මෙම ගැටලුව සමඟ සටන් වදිමින් සිටිනවා. “NEOM” ව්‍යාපෘති දාමය හරහා සංචාරක කර්මාන්තය නවමු මානයකින් දියුණු කිරීමට සෞදි රජය අපේක්ෂා කරන අතර, නවීන තාක්ෂණයේ සහ විද්‍යාවේ කේන්ද්‍රස්ථානයක් ලෙස සෞදි අරාබිය ලෝකයේ ප්‍රචලිත කිරීමටත් ඔවුන් උත්සහ කරනවා.

සංචාරක ගමනාන්තයක්

  උදාහරණයක් ලෙස “TROJENA” ව්‍යාපෘතිය ලෝකයේ අන් කවර තැනකවත් නොමැති අන්දමේ සංචාරක ගමනාන්තයක් ආකාරයෙන් නිර්මාණය කිරීමට නියමිත අතර, අවුරුද්ද පුරා එක් එක් කාල සීමාවන්ට අනුව ක්‍රියාකාරකම් විවිධාංගීකරණය කිරීමටත් ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඔබට ශීත සෘතුවට අදාළ විනෝදජනක ක්‍රීඩාවල නිරත වීමට අවැසි නම් දෙසැම්බර් සිට මාර්තු දක්වා “TROJENA” ඒ වෙනුවෙන් සූදානම් වෙනවා. ඔබට යම් ත්‍රාසජනක ක්‍රියාකාරකම් හරහා සංචාරක අත්දැකීම් ලබා ගැනීමට අවැසි නම් මාර්තු සිට මැයි දක්වා කාලය ඒ සඳහා වෙන් වනු ඇති. 

අනෙක් අතට Oxagon යනු නව සංකල්ප අනුව බිහි වන අධි තාක්ෂණික කාර්මික මධ්‍යස්ථානයක් බඳු නගරයක්. මේ හරහා ලෝකයේ දක්නට ලැබෙන ප්‍රධාන පෙළේ සියලු ම කාර්මික අංශ එකට එකතු කිරීමක් සිදු කරනවා. අවසානයේ දී ආර්ථිකය විවිධාංගීකරණය කිරීමේ ඉලක්කය වෙතත් ඔවුන් ළඟා වෙනවා.

Oxagon ව්‍යාපෘතිය අවසාන වූ පසු මේ ආකාරයෙන් දිස් වේවි – www.bbc.com 

භූ දේශපාලනික වැදගත්කම

 දෙවැනි වැදගත් ම කරුණ වන්නේ ව්‍යාපෘති ක්‍රියාත්මක වන කලාපයේ ඇති භූ ගෝලීය පිහිටීම යි. ඉහත සඳහන් කළ ආකාරයට මේ සියලු ව්‍යාපෘති ගොඩනැඟෙන්නේ ඇකාබා බොක්ක ආශ්‍රිත කලාපයේ වන අතර, පැය හතරක් හෝ හයක් වැනි කෙටි ගුවන් කාලයකින් මෙම ප්‍රදේශය වෙත ළඟා විමේ හැකියාව 40% ක් තරම් ඉහළ අගයක් ගන්නවා. එමෙන් ම, ලෝකයේ වැදගත් ම වෙළඳ නෞකා මාර්ගයක් වන සූවස් ඇළ පිහිටා ඇත්තේ ඇකාබා බොක්කට ඉතා ම ආසන්නයෙන්.

 ප්‍රදේශය ආශ්‍රිත ව යම් භූ දේශපාලනික වැදගත්කමක් ද තිබෙනවා. විශේෂයෙන් ම “NEOM” නගර සැලසුම් ඉදි වන්නේ ඊජිප්තුවට ඉතා ආසන්නයෙන්. ඒ හරහා ඊජිප්තුවට විශාල ආයෝජන අවස්ථා ලැබෙන බැවින්, ඔවුන් මේ ව්‍යාපෘති දාමයට විශේෂ කැමැත්තක් දක්වනවා. ඇකාබා බොක්ක ආසන්නයේ දෙරට අතර විවාදයට තුඩු දුන් “ටිරාන්” සහ “සනාෆිර්” යන දූපත්වල අයිතිය කියා පෑම පවා ඊජිප්තුව අතහැරියේ ඒ නිසා යි. ඉන්පසු සෞදි අරාබිය සහ ඊජිප්තුව එකිනෙකට සම්බන්ධ වන ආකාරයේ ඉදිකිරීම් දූපත් ආශ්‍රිත ව සිදුවන අතර, කලාපීය බලවතෙක් වන ඊශ්‍රායලය මඟ හරිමින් අරාබි අර්ධද්වීපය සහ උතුරු අප්‍රිකාව එකිනෙකට සම්බන්ධ වූ මාර්ගයකුත් විවෘත වෙනවා.    

NEOM හරහා ඊජිප්තුව සමඟ සුවිශේෂී ආකාරයෙන් උපාය මාර්ගික සබඳතා පැවැත්වීමට සෞදි රජය අපේක්ෂා කරනවා -cemse.kaust.edu.sa 

මොහොමඩ් බින් සල්මාන් කුමරු යනු නූතන ලෝකය සමඟ වඩාත් සමීප ව ගනුදෙනු කිරීමට කැමති පුද්ගලයෙක්. ආර්ථිකයෙන් පමණක් නොව සමාජීය වශයෙන් අනාගත ලෝකය උදෙසා සෞදි අරාබිය සූදානම් කිරීමේ උනන්දුවක් ඔහුට තිබෙනවා. මෙවැනි ව්‍යාපෘති හරහා ඔහු විදහා දක්වන්නේ ඒ අනාගත සෞදි අරාබියානු සමාජීය සැලැස්ම යි. ඔවුන් මේ දක්වා විශ්වාස කරන හර පද්ධතීන්වලට හානියක් නොවන ආකාරයෙන් ඒ පරිවර්තනය කරන්නේ කෙලෙසදැ යි මුළු ලෝකය ම බලා සිටිනවා. ඇතැමුන් එය විවාදයටත් බඳුන් කරනවා. ව්‍යාපෘති දාමය සම්බන්ධයෙන් ආර්ථික සහ සමාජීය අහියෝග කොතෙක් තිබුණත්, සෞදි ජනයාගේ අධිෂ්ඨාන ශක්තියේ අඩුවක් නම් පෙනෙන්නට නැහැ.  

කවරයේ ඡායාරූපය: සැබෑ කරගත නොහැකි මනෝරාජික නගරයක් ලෙසත් ඇතමුන් "THE LINE" ව්‍යාපෘතිය හඳුන්වනවා - www.arabianbusiness.com

මූලාශ්‍ර:

breakbulk.com

www.theguardian.com

www.neom.com

tomorrow.city

www.youtube.com

www.al-monitor.com 

Related Articles