පර්යේෂණවලට ස්නායු පද්ධතිය දන් දුන් ‘හැරියට් කෝල්’

පසුගිය දශක කිහිපය ඇතුළත වෛද්‍ය විද්‍යාව ඉතා ශීඝ්‍ර දියුණුවක් ලබා තිබෙනවා. 18 වන සියවසෙහි මැද භාගය පමණ වන විට, වැලඳුණහොත් කිසි ලෙසකින් සුව කළ නොහැකි රෝග කිහිපයකට ම ඉතා සාර්ථක ප්‍රතිකාර අද වන විට සොයා ගෙන තිබෙනවා. මිනිස් සිරුර පිළිබඳ ව වර්තමාන විද්‍යාඥයන්ගේ සහ වෛද්‍යවරුන්ගේ දැනුම ඉතා ඉහළ තලයක තිබෙනවා. මේ නිසා මිනිසාගේ ආයු අපේක්ෂාව වැඩි වී තිබෙන අතර, සමහර රෝගාබාධ මඟහරවාගෙන සෞඛ්‍යමත් ජීවිත ගත කිරීමේ හැකියාව ලෝ වැසියන්ට ලැබී තිබෙනවා.

වෛද්‍ය විද්‍යාව මෙලෙස අති මහත් දියුණුවකට ලක් වී තිබෙන්නේ රෝස මල් යහනාවක ගමන් කොට නොවේ. විවිධ පුද්ගලයන්ගේ නිර්භීත කම, කැපවීම සහ නිවැරදි තීරණ ගැනීම නිසා මෙම සාර්ථකත්වය ලැබී තිබෙන අතර, තාක්ෂණයේ දියුණුවත් ඊට මොනවට උර දී තිබෙනවා. මෙම සාර්ථකත්වය සඳහා බොහෝ සෙයින් දායක වී තිබෙන්නේ අධ්‍යාපනය හොඳින් ලද වියතුන් වන අතර, කිසිදු අධ්‍යාපනයක් නොලද, හරි හැටි ලිවීම කියැවීම පවා කළ නොහැකි සමහරකගේ දායකත්වයත් මීට ලැබී තිබෙනවා. රෝහලක පිරිසුදු කිරීමේ කර්තව්‍යයේ නිරත ව සිටි හැරියට් කෝල් ගේ කතාවත් එවැන්නක්.

හැරියට් කෝල් ගේ ස්නායු පද්ධතිය- pastmedicalhistory.co.uk

ජීවිත සිය ගණනක් රැක දුන් පිරිසුදු කරන්නිය

හැරියට් කෝල් නම්, බොහෝ දෙනා නොහඳුනන පිරිසුදු කරන්නිය ලෝක වෛද්‍ය විද්‍යාවට කර ඇති මෙහෙය ලොව වඩාත් ශ්‍රෙෂ්ඨ විද්‍යාඥයන් සහ විශේෂඥවරුන් සිදු කර ඇති මෙහෙය හා සම තත්ත්වයෙහි ලා සැලකිය හැකි බැව් විද්වත් මතය යි. ඇය නොවන්නට අද වන විට මිනිස් ස්නායු පද්ධතිය පිළිබඳ ව මිනිසා සතු ඥානයෙන් බොහෝ කොටසක් ළඟා කරගැනීම ඉතා අපහසු කටයුත්තක් වනු ඇති බවට ඔවුන් මත පළ කරනවා. කෙසේ නමුත් ඉතිහාසයේ  ඇය පිළිබඳ ව ලියැවී ඇත්තේ ඉතා අල්ප ව යි. 

1880 දශකයේ, අමෙරිකා එක්සත් ජනපදයෙහි ෆිලඩෙල්ෆියා නගරයේ හෝමියෝපති ප්‍රතිකාර සඳහා වූ ‘හනෙමන්’ වෛද්‍ය විද්‍යාලයේ (වර්තමානය වන විට ඩ්‍රෙක්සෙල් විශ්වවිද්‍යාලයට අනුබද්ධ ආයතනයකි) සුළු සේවිකාවක් ලෙස කටයුතු කළ, නූගත් අයකු වූ හැරියට් ගේ ප්‍රධාන කර්තව්‍යය වී ඇත්තේ විද්‍යාගාර සහ පන්ති කාමර පිරිසුදු කිරීම යි. මින් එක විද්‍යාගාරයක් භාර ව සිටියේ එවකට කාය ව්‍යවච්ඡේද විද්‍යාව සඳහා ලොව ප්‍රවීණත ම මහාචාර්යවරයෙක් වූ රුෆස් බී. වීවර් වීම ඇගේ ජීවිතයේ මෙන් ම වෛද්‍ය විද්‍යාවේ ද තීරණාත්මක සංධිස්ථානයක් වුණා.

තුරුණු වියේදී ම දිවි ගමනට සමු දෙයි

මහාචාර්ය වීවර් පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ගෙටිස්බර්ග් හි උපන් අයෙක් වන අතර, සිවිල් යුද්ධයෙන් අනතුරුව එකල නව විෂය ක්ෂේත්‍රයක් වූ කාය ව්‍යවච්ඡේද විද්‍යාව අධ්‍යයනය සඳහා යොමු වුණා. සිවිල් යුද්ධය අතර පැවති ‘ගෙටිස්බර්ග්’ යුද්ධය හේතුවෙන් සොල්දාදුවන් දහස් ගණනක් මිය ගිය අතර, ඔවුන් සමූහ වශයෙන් මිහිදන් කෙරුණේ නොගඹුරු සුසානවල යි. මේ මිහිදන් කිරීම් හදිසියෙන්, අනන්‍යතාව සොයා නොබලා සිදු වූ අතර, යුද්ධයෙන් අනතුරු ව ඒවා නැවත ගොඩ ගෙන, හඳුනාගෙන, ඒ ඒ සොල්දාදුවන්ගේ ගම් බිම්වලට යැවීමට බලධාරීන් ක්‍රියා කළ අතර, වීවර් ගේ පියාවන සැමුවෙල් ඒ සඳහා දායක වූ අයෙක් වුණා. කෙසේ නමුත් හදිසි දුම්රිය අනතුරක් නිසා ඔහු මිය ගිය අතර, ඔහුගේ වැඩ කොටස රුෆස්ට භාර වුණා. ඔහු කාය ව්‍යවච්ඡේද විද්‍යාව වෙත යොමු වූ ප්‍රධාන සාධකයක් වූයේ මෙය යි.

වීවර් හනෙමන් වෙත පැමිණියේ 1879 වසරේදී යි. ඔහු එහිදී මහාචාර්යවරයකුගේ අතවැසියා සේ කටයුතු කළා. එකල දී ම ඔහු කාය ව්‍යවච්ඡේද විද්‍යාව පිළිබඳව දේශන පැවැත්වීම සිදු කළ අතර, නිතර ම පාහේ මෘතශරීර කපා, විවර කර, ඒ පිළිබඳ අධ්‍යයන කිරීම සිදු කළා. ඔහු හැරියට් කෝල් දැන හඳුනා ගන්නේ මේ සමයේ දී යි.

රූෆස් වීවර්- drexel.edu

හැරියට් කෝල් වීවර් සමඟ කුලුපග වන්නට හේතු ඉතිහාසයේ සඳහන් වන්නේ නැහැ. කෙසේ නමුත් වීවර් ගේ දේශන සහ මෘතශරීර දැකීම නිසා හැරියට්ට වීවර්ගේ පර්යේෂණ පිළිබඳ ව යම් පැහැදීමක් ඇති වූ බැව් අනුමාන කළ හැකි වෙනවා. කෙසේ හෝ, යම් දිනෙක ඇය මිය ගිය පසු තම සිරුර පර්යේෂණ සඳහා වීවර්ට භාර කිරීමට ඇය එකඟ වී ඇති අතර, ඇය 35 වැනි වියෙහි සිටින විට, එනම් 1888 වසරේ දී, ක්ෂය රෝගය වැලඳීමෙන් මිය ගියා. ඇගේ සිරුර පර්යේෂණ කිරීම සඳහා වීවර්ට භාර වුණා.

මරණයෙන් පසු ජීවිතය

19 වන සියවසෙහි අග භාගය වන විටත් කාය ව්‍යවච්ඡේද විද්‍යාව නවීන විෂය පථයක් වුණා. 19 වන සියවසට පෙර මේ සඳහා යොදා ගැනුණේ මරණයට පත් කළ අපරාධකරුවන්ගේ දේහයනු යි. මොවුන්ගේ සිරුරු බොහෝ විට යොදා ගැනුණේ මිය ගිය අයගේ හෝ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ගේ කැමැත්තකින් තොරව යි. මේ නිසා එහි සදාචාරය පිළිබඳ ගැටලුවක් වූ අතර, යම් සීමාවකට ඔබ්බෙන් සමහර පර්යේෂණ සිදුකීරීම මේ නිසා සිදුවූයේ නැහැ. හැරියට් කෝල් ගේ සිරුර කැමැත්තෙන් දන් දුන් එකක් නිසා වීවර්ට පහසුවෙන් සිය අභිමතය පරිදි පර්යේෂණ මෙහෙයවීමේ අවකාශ ලැබුණා. 

1888 වසරේදී වීවර්, හැරියට් ගේ සිරුරෙන් සම්පූර්ණ ස්නායු පද්ධතිය වෙන් කළා. එය එලෙස සිරුරුරකට සිදු කළ පළමු අවස්ථාව යි. මේ සඳහා මාස කිහිපයක් ගත වූ අතර, එය අපහසු කාර්යයක් වුණා. ඉතා ප්‍රවේශමෙන් සම සහ මාංශ මෙන් ම අස්ථි ද ඉවත් කරමින් ඔහු එම කර්තව්‍යය සිදු කළ අතර, හැරියට් ගේ ස්නායු පද්ධතියේ සියලු ස්නායු වෙන වෙනම හඳුනා ගෙන, ඒවා වෙළුම් පටිවලින් වෙළා, තීන්ත ගෑම සිදු කළා. ඒ අනුව ප්‍රථම වරට, ප්‍රදර්ශනය කළ හැකි පරිදි සැබෑ ස්නායු පද්ධතියක් පිළියෙළ කරන්නට ඔහුට හැකි වුණා.

රූෆස් වීවර් හැරියට් කෝල් ගේ ස්නායු පද්ධතියත් සමඟ- Drexel University Archives

හැරියට් කෝල් ගේ ස්නායු පද්ධතිය ඔහු යොදා ගත්තේ සිසුන්ට අධ්‍යයන කටයුතු සිදුකිරීම සඳහා යි. මෙය ප්‍රසිද්ධ වීමේ අරමුණෙන් ඔහු සිදු නොකළ ද, ඉක්මනින් ම ඒ පිළිබඳ තොරතුරු ලොව ඉතා ප්‍රසිද්ධියට පත් වුණා. විශේෂයෙන් එය පිළියෙළ කිරීමෙහි ලා වීවර් පෙන්නුම් කර තිබූ ඉවසීම සහ දක්ෂතාව කාගේත් ඇගැයීමට ලක් වුණා. වීවර්, හැරියට් ගේ ස්නායු පද්ධතිය විද්‍යාත්මක ප්‍රදර්ශන සඳහා ද රැගෙන ගිය අතර, 1893 කොලොම්බියානු ලෝක ප්‍රදර්ශනයේ දී, විද්‍යාව සඳහා වූ විශේෂිත ත්‍යාගයෙන් ද ඔහු පිදුම් ලැබුවා.

වීවර්ගේ ක්‍රමවේදය

1888 වසරෙන් පසුව වීවර්ගේ ක්‍රමවේදය නැවත සිදු කරන්නට උත්සාහ ගෙන ඇත්තේ දෙතුන් වරක් පමණ යි. ඔහුගේ මෙම ක්‍රියාවලිය සහ හැරියට් කෝල් ගේ ස්නායු පද්ධතිය පසුකාලීන ව අධ්‍යයන සහ පර්යේෂණ රාශියකට පාදක වුණා. හැරියට් ගේ ස්නායු පද්ධතිය ලොව විවිධ තැන්වලට රැගෙන ගොස් පර්යේෂණ සිදු කෙරුණු අතර, අවසානයේ 1960 දශකයේ දී එයඩ්‍රෙක්සෙල් විශ්වවිද්‍යාලයට  නැවත රැගෙන ආවා. අද වන විට එය පර්යේෂණ සඳහා භාවිතා කරනු නොලැබුවත්, ඩ්‍රෙක්සෙල් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේට යන අයකුට, එහි ඇතුළුවීමේ දොරටුව අබියස ඉතා හොඳ තත්ත්වයේ පවතින එම අපූර්ව නිදර්ශකය දැකබලා ගැනීමට හැකි යි.

 

කවරයේ ඡායාරූපය- ඩ්‍රෙක්සෙල් විශ්වවිද්‍යාලයේ ප්‍රදර්ශනය සඳහා තබා ඇති හැරියට් කෝල්ගේ ස්නායු පද්ධතිය - WILLEM YTSMA 
මූලාශ්‍ර:
Allthatsinteresting.com
Drexel.edu
pastmedicalhistory.co.uk

Related Articles