Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව වේගවත්ම මගී ගුවන් යානය – කොන්කෝඩ්

රයිට් සහෝදරයන්ගේ මූලිකත්වයෙන් මිනිසා ගුවන් යානා තැනීම ආරම්භ කිරීමෙන් පස්සේ ගත වුණු අවුරුදු 100කට ආසන්න කාලයක් තුළ සැබවින්ම මතකයේ රැඳුණු ගුවන් යානා තිබුණේ අතලොස්සක් පමණයි. එදා මෙදා තුර සිවිල් ගුවන් ගමන් සඳහා යොදා ගැනුණු ගුවන් යානා අතරින් විශිෂ්ඨතම, ආදරණීයම, අලංකාරම ගුවන් යානය මොකක්ද කියලා ඇහුවොත් ගුවන් යානා ලෝලීන් කාගේත් ඒකමතික පිළිතුරක් තියෙනවා, ඒ තමයි කොන්කෝඩ්.

මේ වගේ ගුවන් යානයක් නම් ආයෙත් කිසි දවසක බිහි වෙන එකක් නැහැ. (flyawaysimulation.com)

තාක්ෂණය අතින් ඒ දවස්වල ඉහළින්ම තිබුණු ගුවන් යානය වගේම එදා මෙදා තුර ශබ්දයේ වේගය ඉක්මවා සාමාන්‍ය මිනිසුන්ට ගමන් කරන්න ලැබුණු එකම සාර්ථක ගුවන් යානය වුණෙත් මෙයයි. අවාසනාවන්ත අනතුරක් ඇතුළු ගැටළු ගණනාවක් නිසා 2003දී කොන්කෝඩ් සේවය සදහටම නවතා දැමුණාට පසුව මේ වන තුරුත් එම ගුවන් යානයේ වේගයට කිට්ටු කරන්නවත් පුළුවන් කිසිම මගී ගුවන් යානයක් බිහි වෙලා නැහැ.

ශබ්දයේ වේගය සහ එය මුල්වරට ඉක්මවා යාම

ශබ්දයේ වේගය, නැතිනම් “මක්” 1ක වේගය (Mach 1) කියලා හඳුන්වන්නේ සාමාන්‍ය වාතය තුළ ශබ්ද තරංග ගමන් කරන වේගයයි. මුහුදු මට්ටමේ සිට උස, උෂ්ණත්වය, ජල වාෂ්ප සංයුතිය වගේ දේවල් මත වායුගෝලීය පීඩනය වෙනස් වෙනකොට මේකත් තරමක් දුරට වෙනස් වෙනවා. මුහුදු මට්ටමේ හා කාමර උෂ්ණත්වයේදී මෙය තත්පරයට මීටර් 340.3ක්, එහෙමත් නැතිනම් පැයට කිලෝමීටර් 1225ක්.

මුල්වරට ශබ්දයේ වේගය ඉක්මවා ගිය ඇමරිකානු ගුවන් නියමු චක් යේගාර් හා ඔහු එම වික්‍රමය සිදු කළ Bell X1 ගුවන් යානය. මෙය ඔහුගේ බිරිඳ වූ ග්ලෙනිස්ගේ නමින් Glamorous Glennis ලෙස නම් කර තිබුණා. (chuckyeager.com)

1947දී ඇමරිකානු ගුවන් හමුදාවේ ගුවන් නියමු “චක් යේගාර්” (Chuck Yeager) ශබ්දයේ වේගය ඉක්මවා පියාසර කරන්න සමත් වීමත් එක්ක ගුවන් යානාවල වේගය ඉහළ නංවන්න ලොකු උනන්දුවක් ඇති වුණා. මුල් කාලයේ යුධ ගුවන් යානාවලට පමණක් සීමා වුණත් පසුව ගමන් කාලය අවම කරන්න හිතාගෙන මගී ගුවන් යානාවලටත් මේ හැකියාව එක් කරන්න බොහෝ දෙනෙක් උත්සාහ ගත්තා.

ශබ්දයේ වේගය ඉක්මවන මගී ගුවන් යානයක්?

කෙනෙකුට එකපාරට හිතෙන්න පුළුවන් ප්‍රබල එන්ජින් පාවිච්චි කරලා මේ වේගයට එන්න පුළුවන්නේ කියලා. නමුත් සැබෑ තත්වය ඊට බොහොම වෙනස්. ශබ්දයේ වේගය කියන්නේ වායුගෝලය තුළ පීඩන තරංගවලට ගමන් කළ හැකි උපරිම වේගයයි, ඒ නිසා එයට ආසන්න වෙනවාත් එක්කම සාමාන්‍ය හැඩයේ ගුවන් යානාවල විශාල දෙදරුම්කෑමක් හට ගන්නවා. මේක සුඛෝපභෝගී මගී ගුවන් යානාවලට කිසිසේත් ගැලපෙන්නේ නැහැ.

අධිවේගී ගුවන් යානා බොහොමයක් සඳහා තාක්ෂණික අවශ්‍යතාවක් ලෙස ඩෙල්ටා හැඩයේ තටු යොදා ගැනෙනවා. (wikipedia.org)

මේ තත්වය මග හරින්න නම් ගුවන් යානයේ තටුවල හැඩය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න වෙනවා. දළ වශයෙන් ත්‍රිකෝණයක හැඩය ඇති ඩෙල්ටා තටුවක් (Delta Wing) නිර්මාණය වෙන්නේ මේ අවශ්‍යතාව නිසයි. කොන්කෝඩ් යානා සඳහා මෙය තවත් වැඩිදියුණු කර ද්විත්ව අාරුක්කු ඩෙල්ටා හැඩයක්, නැතිනම් ogival delta හැඩයක් යොදා ගැණුනා.

ඇමරිකාව මේ පිළිබඳව සිදුකළ පරීක්ෂණ අසාර්ථක වූ අතර සෝවියට් සමූහාණ්ඩුව නිර්මාණය කළ Tu-144 යානයත් වැඩි කාලයක් නොයාම සේවයෙන් ඉවත් කෙරුණා. 1976 සිට 2003 දක්වා දශක 3කට ආසන්න කාලයක් තිස්සේ ක්‍රියාත්මක වුණු, ශබ්දයේ වේගය ඉක්මවා යා හැකි එකම සාර්ථක ගුවන් යානය වුයේ බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය එක්ව නිර්මාණය කළ කොන්කෝඩ් යානයයි.

මෙම යානයේ එන්ජින්වලට වාතය ලබා ගන්නා කවුළු (Air intake) පියාසර වේගය අනුව ඇරීම, වැසීම, ඇද ගන්නා වාතයේ වේගය ශබ්දයට වඩා අවම කිරීම ආදී දේ සඳහා ඩිජිටල් පරිගණක පද්ධතියක් යොදා ගැණුනා. එය කොන්කෝඩ් යානයට පමණක් මෙම අභියෝගය ජය ගන්න හැකි වෙන්න ප්‍රධානතම හේතුවක්.

ඩිජිටල් පරිගණක පද්ධතියකින් හසුරුවන ලද මේ වාතය ලබා ගන්නා කවුළු නොතිබුණා නම් කොන්කෝඩ් යානයට ශබ්දයේ වේගය ඉක්මවා පියාසර කරන්න වෙන්නේ නැහැ. (concordesst.com)

ප්‍රංශයේ Aérospactiale (“ඒරෙස්පෑස්‍යාල්” – ආසන්නතම සිංහල උච්චාරණය) සහ බ්‍රිතාන්‍යයේ BAC (British Aerospace Corporation) එක්ව මෙය නිර්මාණය කෙරුණු අතර පසුව මෙම ආයතන දෙකේම එකමුතුවෙන් අද කවුරුත් දන්නා එයාර් බස් (Airbus) සමාගම ඇති වී තිබෙනවා. අදටත් තාක්ෂණය ඉහළින්ම යොදා ගන්නා ගුවන් යානා සමාගම වන්නේ ඔවුන්.

“පසු දාහක” / “ප්‍රති තාපක” සහිත එකම මගී ගුවන් යානය

කොන්කෝඩ් ගුවන් යානයට මේ සුවිසල් වේගය ලබා දෙන්න සමත් වුණු තාක්ෂණය හඳුන්වන්නේ පසු දාහක (afterburner) නැතිනම් ප්‍රති තාපක (reheater) කියලයි. ගුවන් යානයේ ජෙට් එන්ජින්වලින් පිටවන අධික උණුසුම් පිටාර වායුවට යළිත් ඉන්ධන මුසු කිරීම මෙහිදී සිදු වෙනවා. මෙසේ මුල් ඉන්ධන දහනයට පසුව නැවතත් ඉන්ධන දහනයෙන් ලැබෙන අමතර තාපය නිසා පිට වන වායුවේ වේගය කිහිප ගුණයකින් වැඩි කර ගන්න පුළුවන්. රෝල්ස් රොයිස් සමාගම විසින් නිපදවන ලද ඔලිම්පස් Mk 610 වර්ගයේ ටර්බෝජෙට් එන්ජින් හතරකට මේ පසු දාහක සවි කර කොන්කෝඩ් යානා සඳහා යොදා ගැනුණා.

අසාමාන්‍ය හැඩය එක්ක ගුවන්ගත කරන්න ඉහළ වේගයක් අවශ්‍ය නිසා කොන්කෝඩ් යානා ගුවන් පථයේදීම පසු දාහක ක්‍රියාත්මක කර උපරිම බලය ලබා ගන්නවා. නමුත් අධික ශබ්දය නිසා ගුවන් ගත වූ විගස පසු දාහක අක්‍රීය කෙරෙන අතර යළි ක්‍රියාත්මක කරන්නේ සාගරයට ඉහළ අහසේදී පමණයි. (pishkinn.wordpress,com)

සාමාන්‍යයෙන් කිලෝ නිව්ටන් 560ක තෙරපුමක් ඇති කරන මේ එන්ජින් හතරෙන් පසු දාහක ක්‍රියාත්මක කරවීමත් එක්ක මේ කිලෝ නිව්ටන් 676ක් දක්වා තෙරපුමක් ලබා ගන්න පුළුවන්. තත්පර 40ක පමණ කාලයක් තුළ ටොන් 185කටත් වඩා බර කොන්කෝඩ් යානය ගුවන් ගත වෙන්න අවශ්‍ය පැයට කිලෝමීටර් 400ක වේගය ලබා දෙන්න මේ එන්ජින් හතර සමත්. ගුවන් ගත වීම සඳහා විතරක් ඉන්ධන ටොන් දෙකකට වඩා වැය වෙනවා.

නැගෙන හිරු පවා පරදවන සුපිරි වේගයක්?

මොකක්ද මේ නැගෙන හිරු පරදවන කතාව? පැය 24ක් තුළදී පෘථිවිය වටා කිලෝමීටර් 40,000කට අධික ගමන නිමා වෙන්න හිරු පෘථිවියට සාපේක්ෂව පැයට කිලෝමීටර් 1670ක පමණ වේගයකින් ගමන් කරනවා. ඊට ආසන්න වෙන්න පුළුවන් වේගයක් අද තිබෙන කිසිම සිවිල් ගුවන් යානයකට නැති නිසා අපි බටහිර සිට නැගෙනහිරට ගියත් හිරු පරදවන්න බැහැ. නමුත් කොන්කෝඩ් යානය පැයට කිලෝමීටර් 2100කටත් වඩා වේගවත් නිසා එදා එය කරන්න හැකියාව තිබුණා.

පැයෙන් පැයට බෙදා අැති අන්තර්ජාතික කාල රේඛා හරහා ගොස් මීළඟ රේඛාවේ අැති රටවලට හිරු උදා වෙන්න හරියටම පැයක් ගත වෙනවා. නමුත් කොන්කෝඩ් යානයට එයට ගත වෙන්නේ විනාඩි 50කටත් අඩු කාලයක්. (fginer.net)

නිකමට හිතන්න උදෑසන හිරු උදා වුණාට පස්සේ ඔබ ඇමරිකාවේ නිව්යෝක් සිට ලන්ඩන් බලා පිටත් වෙනවා කියලා. කොන්කෝඩ් යානයේ අසාමාන්‍ය වේගය නිසා එවිට ඔබට පෙනෙන්නේ හිරු නැගෙනහිරින් බැස යන ආකාරයයි! ඒ විතරක් නෙවෙයි, මේ නිසාම ඔබට දැනෙන ආකාරයට කාලය පවා පසුපසට ගමන් කරනවා!! මොකද පැයක් බැගින් බෙදා ඇති අන්තර්ජාතික කාල රේඛා පසු කරන්න යන කාලය පැයකට වඩා අඩුයි. ඔබ උදෑසන 8ට නිව්යෝක්වලින් පිටත් වුණත් එම දිනයේම උදෑසන 8ට පෙර ලන්ඩන් වෙත ලඟා වෙන්න පුළුවන්. (අද කාලයේ මීට තරමක් හෝ සමාන දෙයක් කරන්න පුළුවන් වෙන්නේ අන්තර්ජාතික දින රේඛාව හරහා ගියොත් පමණයි.)

පෘථිවිය ගෝලාකාර බව හැබැහින් දකින්න

අඩි 57,000ක් පමණ ඉහළ අහසේ පියාසර කරන කොන්කෝඩ් යානය සාමාන්‍ය මිනිසුන්ට පෘථිවියේ සිට වැඩිම උසකට ළඟා වෙන්නත් ඉඩ සැලසුවා. යානයේ ජනෙල්වලින් පිටත බැලුවාම පෘථිවියේ ගෝලාකාර බව පවා දකින්න පුළුවන්!

ජනේලෙන් එළිය බැලුවාම පෙනෙන්නේ අභ්‍යාවකාශයේ ඉන්නවා වගෙයි. පෘථිවියේ ගෝලාකාර බව පවා අපූරුවට දකින්න පුළුවන්. (airliners.net)

යුධ ගුවන් යානා මීටත් වඩා වේගයෙන්, ඉහළින් යන්න සමත් වුණත් ඒ සාපේක්ෂව කෙටි දුරක් විතරයි. ඒ වගේම ඒ යානාවල යන අයට මුව ආවරණ දාගෙන, බොහොම අපහසු ගමනක තමයි යෙදෙන්න වෙන්නේ. කොන්කෝඩ් යානය තුළ 100කටත් වඩා වැඩි මගී පිරිසකට ඉතා සුඛෝපභෝගීව එහා මෙහා ඇවිදිමින්, කමින් බොමින්, ප්‍රීතියෙන් ගමනේ යෙදෙන්න හැකියාව තිබුණා.

මේ විශිෂ්ට ගුවන් යානය මක් 2.02ක, එහෙමත් නැතිනම් ශබ්දයේ වේගය වගේ දෙගුණයකටත් වඩා ඉහළ වේගයකින් එක දිගට පැය 3කටත් වඩා පියාසර කරන්න සමත්. ඉහළ අහසේ අඩු වායු පීඩනය අනුව එය පැයට කිලෝමීටර් 2160ක් තරම්. මේ නිසා අද පැය 8ක් පමණ ගත වන ගුවන් ගමනක් එදා පැය 3කින් අවසන් කරන්න හැකියාව පැවතුණා.

කොන්කෝඩ් යානා පැදවූ ගුවන් නියමුවන් වැඩි දෙනෙක් අදටත් කියන්නේ එය ඔවුන්ට විනෝද වීම වෙනුවෙන් පඩි ගෙවීමක් කියලයි.

ඉස්තරම් ආහාර පාන ගනිමින්, නිදහසේ, සැහැල්ලුවෙන්, සියල්ලන්ටම ඉහළින්, කිලෝමීටර් දහස් ගණනක් තිස්සේ ශබ්දයට, හිරුට වගේම කාලයටත් වඩා වේගයෙන් යන්න පුළුවන් වුණා නම් ඒ කොන්කෝඩ් යානයකම විතරයි. (gettyimages.com)

යුගයක අවසානය

නිෂ්පාදනය කරන ලද සමස්ත ගුවන් යානා 20 අතුරින් මගී ප්‍රවාහනයට එක් වුණු කොන්කෝඩ් යානා 12 සේවයට එක් කරගත්තේ බ්‍රිතාන්‍ය ගුවන් සේවය සහ ප්‍රංශ ගුවන් සේවය පමණයි. මුදලට වඩා කාලය වැදගත් උසස් පැලැන්තියේ මගීන්ට පමණක් දැරිය හැකි ඉහළ මිලකට ටිකට්පත් අලෙවි වූ නිසා ලාභ සහිතව ක්‍රියාත්මක කළ හැකි ගුවන් වාර තිබුණේ ලන්ඩන් – නිව්යෝක් අතර සහ පැරිස් – නිව්යෝක් අතර පමණයි.

2000 වර්ෂයේ දී සිදු වූ ප්‍රංශ ගුවන් සේවයට අයත් අංක 4590 දරන කොන්කෝඩ් යානය අනතුරට ලක් වීම කොන්කෝඩ් සේවාවේ අවසානය ඉක්මන් වීමට ප්‍රබලව දායක වුණා. වෙනත් ගුවන් යානයකින් ගැලවී වැටී තිබුණු කොටසක් ගැටීම නිසා හානියට පත් වුණු මෙම යානය හෝටලයකට කඩා වැදුණු අතර මගීන් 100ක් හා කාර්ය මණ්ඩලයේ 9 දෙනෙක් ඇතුළු යානයේ සිටි සියළු දෙනාත්, පිටත සිටි තවත් 4 දෙනෙකුත් මින් මරණයට පත් වුණා.

අනතුරට ලක් වූ ප්‍රංශ ගුවන් සේවාවට අයත් අංක 4590 කොන්කෝඩ් යානයේ සුන්බුන්. (gettyimages.com)

මීට අමතරව අධික ඉන්ධන භාවිතයක් පැවතුණු නිසාත්, 2001දී ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල කළ ප්‍රහාරය නිසා සිදු වුණු ගුවන් ක්ෂේත්‍රයේ කඩා වැටීම නිසාත් කොන්කෝඩ් ගමන් පවත්වා ගෙන යාම තරමක් අපහසු වෙලා තිබුණේ. ජනාකීර්ණ ප්‍රදේශවලට ගමන් කරන විට ඇති වන අධික ශබ්දය නිසාත් ගුවන් තොටුපළ අවට පිරිස කොන්කෝඩ් යානා වදයක් ලෙස සැලකුවා.

යානයේ තිබූ ඇනලොග් මෙහෙයුම් කුටිය 21 වන ශතවර්ෂයට නොගැළපෙන එකක් වීමත්, ඩිජිටල් පද්ධතියකට මාරු කිරීම (බෝයිං 747 මෙන්) ලාභදායී නොවීමත් තවත් හේතුවක්. අවසානයේ 2003දී එයාර්බස් සමාගම මෙහි නඩත්තුවලින් ඉවත් වීමත් එක්ක කොන්කෝඩ් සේවාව සම්පූර්ණයෙන්ම අත්හිටුවනු ලැබුවා.

විශිෂ්ටතම නිර්මාණවලින් එකක්

සැබැවින්ම අද අපි 1970 ගණන්වලටත් වඩා පිටුපසින් සිටිනවා කියලයි කොන්කෝඩ් ලෝලීන් බොහෝ දෙනෙක්ගේ අදහස. 1970 ගණන්වල ලන්ඩන් සිට නිව්යෝක් වෙත පැය 3කින් යන්න හැකියාව තිබුණත් අද එයට පැය 6කටත් වඩා කාලයක් ගත වෙනවා. ඒ වගේම අද වන විට සාමාන්‍ය මිනිසුන්ට ශබ්දයේ වේගය ඉක්මවා ගමන් කරන්න පුළුවන් කිසිම ක්‍රමයක් නැහැ. සමහර විට තවත් කාලයක් යන තුරු ආයෙත් එවන් අවස්ථාවක් නොලැබේවි.

කිසිදු තර්කයක් නැතිව ලොව සුන්දරම, වේගවත්ම, ආදරණීයම මගී ගුවන් යානය වූ කොන්කෝඩ් යානය ඇත්තෙන්ම මනුෂ්‍ය ඉතිහාසය පුරාවට සිදු කළ විශිෂ්ටතම නිර්මාණවලින් එකක්. වරක් හෝ මේ යානය දුටු, එහි ගමන් බිමන් ගිය කවුරුත් එය හා සදාකාලිකව ආදරයෙන් බැඳ තබා ගත හැකි අපූරු හැකියාවක් මේ යානයට තිබුණා. තනිකරම ඉංජිනේරු සිද්ධාන්ත මත සකස් කෙරුණු හැඩයක් වුණත් දක්ෂතම සිත්තරෙකුටවත් ඇඳිය නොහැකි අපූරු සිත්තමක් තරමටම මේ යානයේ හැඩය අලංකාරයි.

නැවත කිසිදා දකින්න නොලැබෙන සිහිවටනයක්

හැම ගුවන් යානයක්ම එකම හැඩයට හැදෙන මේ වගේ කාලයක කොන්කෝඩ් යානය වගේ සුන්දර හැඩයක් යළි කිසිදා දකින්න නොලැබේවි. (airlinereporter.com)

නව මානයන් සොයා යන්නත්, කළ නොහැකි යයි කියූ දේ ජය ගෙන පෙන්වීමටත් මිනිස් වර්ගයා සතු හැකියාව පිළිබිඹු කෙරෙන උච්චතම අවස්ථාවක් වන කොන්කෝඩ් යානය සඳ ගමනට දායක වූ සැටර්න් V රොකට්ටුව සමග වුවත් සම තැනක තබන්න පුළුවන්.

ශබ්දය, අධික ඉන්ධන භාවිතය, නඩත්තු වියදම වගේ අඩුපාඩු තිබුණත් සියලු අතින් සම්පූර්ණ යමකට වඩා කුඩා අඩුපාඩු ඇති යමක් සැබවින්ම ආදරණීයයි. ඔබ මෝටර් සයිකල්වලට, ස්පෝර්ට් කාර්වලට හෝ සුරතල් සතුන්ට සැබෑ ආදරයක් දක්වන්නෙක් නම් මේ කියන දේ ඉතා හොඳින් වැටහෙනවා ඇති. තමාගේ වාහනයේ, සුරතල් සතාගේ මොන තරම් අඩුපාඩු තිබුණත් වෙනත් කිසිම දේකට, සතෙකුට මොන තරම් පරිපූර්ණ වුණත් ඒ ආදරණීය හැඟීම ලබා දෙන්න බැහැ. කොන්කෝඩ් කියන්නේ එය දුටු පමණින් අන්න ඒ වගේ ආදරයක් ඇති කරන්න සමත් වුණු අති විශිෂ්ට නිර්මාණයක්.

විවිධ කාරණා නිසා අභාවයට ගියත් සැබවින්ම ආත්මයටම දැනෙන නිර්මාණයක් වූ කොන්කෝඩ් යානය ගුවන් යානා ලෝලීන්ගේ හදවත්වල සදා නොමැකෙන සටහනක් ලෙස ඉතිරිව තිබෙන්නේ එය සර්ව සම්පූර්ණ නොවූ නිසාමයි. ඉන්ධන අරපරෙස්සම, ශබ්ද දූෂණය, කාලගුණ විපර්යාස ගැන සිතන මෙවැනි කාලයක එවැන්නක් ආයෙත් බිහි වෙන්න කිසිම ඉඩක් නැති තරම්. සිතින් මතක් කර, වීඩියෝ සේයා රූ දැක පමණක් අත්විඳිය හැකි, අතීතයට අයත් අපූරු මතකයක් ලෙස පමණක් කොන්කෝඩ් යානය අප කාගේත් සිත් වල රැඳී තියේවි.

කවරයේ රූපය : (businessinsider.com)

මූලාශ්‍ර :

  1. history.com/shows/modern-marvels
  2. youtube.com
  3. britishairways.com
  4. concordesst.com
  5. bbc.co.uk
  6. wikipedia.org

Related Articles