තඹ කාසි රන් බවට හැර වූ රස විද්‍යාව

අප්‍රකට ශාස්ත්‍රයන් මත පදනම්ව ගුප්ත භාවයේ සළු තිරවලින් ආවරණය වූ පුරාණ රීති මාලාවක් ලෙස රස විද්‍යාව හැඳින්වීමේ වරදක් නැහැ. රස විද්‍යාව හැදෑරීමේ නියුක්ත වන්නන්ගේ මූලික අරමුණක් වන්නේ සහස්‍ර ගණනාවක් තිස්සේ මිනිස් පරිකල්පනය ග්‍රහණයට ගත් ගවේෂණයක් වූ ඊයම් හෝ තඹ වැනි මූලද්‍රව්‍ය, රන් බවට පරිවර්තනය කිරීම යි. නමුත් කාලයාගේ ඇවෑමෙන් රස විද්‍යාවේ අරමුණු හුදෙක් ම තඹ කාසි රන් බවට හරවනවාට සීමා නොවී බොහෝ දුර ගමන් කර තිබෙනවා.

රස විද්‍යාව පදනම් වී ඇත්තේ සංකීර්ණ ආධ්‍යාත්මික ලෝක දර්ශනයක් මත වන අතර එහි මූලික විශ්වාසයන්ට අනුව අවට පරිසරයේ පවතින සෑම වස්තුවක් තුළම යම් ආකාරයක විශ්වීය ආධ්‍යාත්මික ගුණයක් අන්තර්ගත වෙනවා. එසේ ම රස විද්‍යාඥයින්ගේ විශ්වාසය වන්නේ ලෝහ වැනි මූලද්‍රව්‍ය පෘථිවිය තුළ වැඩෙන සජීවී වස්තූන් බව යි. ඒ අනුව ඊයම් හෝ තඹ වැනි ලෝහ හමු වූ විට ඒවා රන් වැනි උසස් ලෝහ බවට පත් වීම සඳහා ආධ්‍යාත්මිකව සහ භෞතිකව පරිණත වී නොමැති ලෝහ බව රස විද්‍යාඥයින් උපකල්පනය කරනවා. ඔවුන් විශ්වාස කරන අන්දමට ආවර්තිතා වගුවේ දක්නට ලැබෙන ලෝහ වර්ග එකිනෙකට වෙනස් අසමසම ලෝහ වර්ග නොව ආධ්‍යාත්මික පරිපූර්ණත්වය ළඟා කරගැනීම සඳහා ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින එකම ලෝහයක විවිධ අදියර යි.

© Taringa!

ක්‍රි.ව. 100 දී පමණ ආරම්භ වී මධ්‍යතන යුගයේ දී විද්‍යා ලෝකයේ ඉහළ ස්ථානයක වැජඹුණු රස විද්‍යාව, අඩක් පර්යේෂණ මත ද, තවත් අඩක් ඉන්ද්‍රජාල මත ද පදනම් වූ කලාවක්. රස විද්‍යාව හැදෑරීම සඳහා යොමු වූ මුල්කාලීන පර්යේෂකයන්ගේ ගවේෂණයන් කේන්ද්‍ර ගත වී තිබුණේ ඕනෑම රෝගයක් සුව කළ හැකි, වැඩි ආයුෂ ලබා දිය හැකි, සහ නීච ලෝහ රන් වැනි උසස් ලෝහ බවට පරිවර්තනය කළ හැකි ‘ඉන්ද්‍රජාලිකයාගේ පාෂාණය’ සොයාගැනීම කෙරෙහි යි. ‘ඉන්ද්‍රජාලිකයාගේ පාෂාණය’ සත්‍ය වශයෙන් ම පාෂාණයක් වීම අත්‍යවශ්‍ය නොවන අතර එය ඉහත සඳහන් කරන ලද මායාවී බලයන් අන්තර්ගත ඕනෑම ආකාරයේ වස්තුවක් විය හැකි යි.

ගුප්ත විද්‍යා ශාස්ත්‍රයක ඇරඹුම

© Pinterest

ඕස්ට්‍රේලියානු ජාතික ඉතිහාසාඥයෙකු වන නෙවිල් ඩෘෘරි ඔහුගේ ‘Magic and Witchcraft’ ග්‍රන්ථයේ සඳහන් කර ඇති අන්දමට රස විද්‍යාව හැඳින්වීම සඳහා ඉංග්‍රීසි බසින් යොදා ගන්නා ‘alchemy’ යන වදන බිඳී පැමිණ ඇත්තේ ‘කළු’ යන අරුත රැගත් ‘chem’ හෝ ‘qem’ යන ඊජිප්තු වදනින්. එසේම ඒ සඳහා ග්‍රීක බසින් ‘ලෝහ සංයෝජනය’ යන අර්ථය ඇති ‘chyma’ යන වචනයේ බලපෑම ද ලැබී ඇති අතර එය අරාබි බසින් රසායන විද්‍යාව හැඳින්වීම සඳහා භාවිතා කරන ‘al kimia’ යන වදනින් බිඳී පැමිණි වදනක්. ඉතිහාසඥයින් විශ්වාස කරන්නේ රස විද්‍යාව ආශ්‍රිතව ලියැ වී ඇති මුල්කාලීන පොත්පත් බොහෝමයක් යුරෝපයට හඳුන්වාදීමට පෙර අරාබි බසින් ග්‍රීක බසට පරිවර්තනය කරන්නට ඇති බව යි.

© Akasha

එසේ ම පුරාණ රස විද්‍යාඥයින් නීච ලෝහ වර්ග, රන් බවට පරිවර්තනය කිරීමට උත්සාහ කර ඇත්තේ ම හුදෙක් ම තණ්හාව හේතුවෙන් නොවන බව යි ඉතිහාසඥයින් පෙන්වා දෙන්නේ. ඉතිහාසඥ නෙවිල් ඩෘෘරි සඳහන් කරන ආකාරයට රන් මඟින් නිරූපණය වන්නේ සජීවී වස්තුවකට ළඟා කර ගත හැකි ඉහළම වර්ධනය වන අතර, රන් වැනි ලෝහ සමග බල හුවමාරුවක් සිදුකිරීම තුළින් මිනිසාට අයහපත් සිතුවිලි දුරු කර ආධ්‍යාත්මික දියුණුවක් ළඟා කර ගත හැකි බව රස විද්‍යාඥයින් විශ්වාස කර තිබෙනවා. එසේම සෑම වස්තුවක්ම නිර්මාණය වී ඇත්තේ පඨවි (පෘථිවිය), අපෝ (ජලය), තේජෝ (ගින්දර) සහ වායෝ (වාතය) යන සිව් මූල ධාතූන්ගේ සුසංයෝගයෙන් බව විශ්වාස කරන රස විද්‍යාඥයින්ගේ මතය වන්නේ එම සිව් මූල ධාතු අතර ඇති වන පරිපූර්ණ තුලිතයේ ප්‍රතිඵලය හෙවත් ශ්‍රේෂ්ඨත්වය, රන් ලෝහය තුළ අන්තර්ගත වන බව යි.

රස විද්‍යාත්මක පර්යේෂණයන්හි නියැලුණු නිව්ටන්

වර්තමානයේ දී ව්‍යාජ විද්‍යාවක් (pseudoscience) ලෙස බැහැර කර තිබුණ ද, භෞතික විද්‍යාඥ ශ්‍රීමත් අයිසැක් නිව්ටන් පවා රස විද්‍යාත්මක පර්යේෂණයන් අත්හදා ඇති බවට සාක්ෂ්‍ය පවතිනවා. ඉතිහාසඥයින් ඇස්තමේන්තු කර ඇති ආකාරයට ශ්‍රීමත් අයිසැක් නිව්ටන් විසින් ඔහුගේ ජීවිත කාලය තුළ දී රස විද්‍යාව පිළිබඳව වචන මිලියනයකට අධික ප්‍රමාණයක් රචනා කර තිබෙනවා. නමුත් ඔහු විසින් රස විද්‍යාව පිළිබඳව රචනා කරන ඇති අත් පිටපත් කිසිවක් ප්‍රකාශයට පත් කර නැහැ.

© Chemical Heritage Foundation

2016 මාර්තු මාසයේ දී ඇමෙරිකාවේ විද්‍යා ඉතිහාස ආයතනය (Science History Institute), ශ්‍රීමත් අයිසැක් නිව්ටන් විසින් 17 වැනි සියවසේ දී රචනා කරන ලද රස විද්‍යා අත් පිටපත් මිල දී ගෙන ඇති අතර, ඒවායේ ‘ඉන්ද්‍රජාලමය රසදිය’ නිර්මාණය කිරීමේ පියවර සවිස්තරව දැක්වෙන බව යි වාර්තා වන්නේ. ඉතිහාසඥයින්ගේ මතය වන්නේ එම අත් පිටපත්, ‘ඉන්ද්‍රජාලිකයාගේ පාෂාණය’ නිර්මාණය කිරීම සඳහා සිදුකරන ලද පර්යේෂණ පෙළක ඇරඹුම විය හැකි බව යි.

නූතන විද්‍යාව හමුවේ බිඳ වැටුණු රස විද්‍යාව

රස විද්‍යාව පදනම් වී තිබුණේ ලෝකය සහ එය සතු සියලුම වස්තූන් නිර්මාණය වී ඇත්තේ සිව් මූල ධාතු එක්වීමෙන් බවට වූ ඇරිස්ටෝටලියානු උපකල්පනය මත යි. නමුත් නූතන විද්‍යාඥයින් විසින් පරමාණුවල පැවැත්ම අනාවරණය කරගැනීමෙන් අනතුරුව වස්තූන් නිර්මාණය වී ඇත්තේ සිව් මූල ධාතු එක්වීමෙන් බවට වූ මතය බිඳ වැටුණු අතර රස විද්‍යාව, ව්‍යාජ විද්‍යාවක් ලෙස නම් කිරීමට එම හේතුව මූලික වූ බව පැවසීමේ වරදක් නැහැ.

© LiveLib

රස විද්‍යාවේ මූලික පරමාර්ථයන් ඉටු නොවුණ ද ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශවයන් අදටත් වාසය කරනවා. එසේම ඉතිහාසය පුරාවටම තමන් ‘ඉන්ද්‍රජාලිකයාගේ පාෂාණය’ නිර්මාණය කිරීම සමත් වූ බව ප්‍රකාශ කරමින් ජනප්‍රියත්වය ළඟා කරගැනීමට උත්සාහ දැරූ පුද්ගලයින් ද නැතුවාම නොවෙයි. රස විද්‍යාඥයින් විසින් තඹ කාසි රන් බවට හැරවීමට දැරූ උත්සාහයන් දිගින් දිගට ම අසාර්ථක වුව ද රස විද්‍යාව වර්තමානයේ දී පවා මිනිසුන්ගේ කුතුහලය අවදි කරන අපූරු උරුමයක්.

කවරයේ පින්තූරය : © Tess Maliszewski

Related Articles