Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දිනපතා කන පිරිසිදු කළ කාන්තාවක් හිස් කබල කන බැක්ටීරියා ආසාදනයක් ලබයි

දූවිලිවලින් පිරි දූෂ්‍ය පරිසරයන්හි ගැවසෙන අපේ සම පමණක් නොව, කන් කුහරය පවා අපද්‍රව්‍යවලින් පිරී යයි. ගත පිරිසිදු කරගන්නට ස්නානය කළ ද ඉන් කන පිරිසිදු වන්නේ නැති බැවින් කල්යත්ම කනෙන් දැඩි කසන ස්වභාවයක් දැනෙන්නට පටන් ගනියි. එවිට අප වහාම කරන්නේ cotton bud එකකින් කන පිරිසිදු කිරීම යි. එහෙත් ඕස්ට්‍රේලියාවෙන් වාර්තාවන කතාවකට අනුව එය ද හොඳ අදහසක් බව පෙනී යන්නේ නැති හැඩ ය.

කනේ හැදෙන ඉටි

කනේ අභ්‍යන්තරය සහ ඉටි රැ‍ඳ‍ෙන ආකාරය (sciencealert.com)

අපගේ කන් පිරිසිදු කිරීමට කසන ස්වභාවයක් මඟින් අපව පොළඹවාලීමට හේතුව වන්නේ කනේ ඇති ඉටි වැනි කන් කළාඳුරු (cerumen) නම් ද්‍රව්‍යය යි. කණ තුළ එය නිපදවීම සාමාන්‍ය දෙයක් වන අතර එය ඇත්ත වශයෙන්ම අපගේ කන් ආරක්ෂා කිරීමට සහ ලිහිසි බවක් ගොඩ නැගීමට උපකාරී වේ. කන් කළාඳුරු නොතිබුණේ නම්, වියළි බව නිසා කන් කැසීම ඇති විය හැක.

එයට බැක්ටීරියාවලට එරෙහිව ක්‍රියාකිරීමේ හැකියාවන් පවා තිබේ. එනම්, කන් කළාඳුරුවලින් අපේ කන් ස්වයං පිරිසිදු කරන බව යි. අපිරිසිදු ද්‍රව්‍ය, කුඩා සතුන් හා දූවිලි වැනි හානිකර දේවල් කනෙහි ගැඹුරට යා නොදී රඳවා ගන්නා එය පෙරනයක් සේ ක්‍රියා කරයි.

අප ආහාර ගනිද්දී හකු චලනය කරන විට, ඒවා කර්ණ කුහරයේ සිට ක‍ර්ණ විවරයට ගෙනයාම සිදු වෙයි. ස්වාභාවිකවම ඒවා වියළි බවට පත්ව, කනෙන් ඉවත් වන්නේ ‍එලෙස යි. කන් කළාඳුරු සෑදෙන්නේ හිස් කබල හා ඇති ඇතුළු කන සහ බාහිර කන (අපට පිටතට පෙනෙන කොටස) අතර ඇති මධ්‍ය කන කොටසේ යි.

ඉටි එක්රැස්වීම

ඉටි සං‍ස්ලේෂණය වන ආකාරයේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂීය දසුනක් (bbc.co.uk)

කන්වල ඇති ඉටි; කර්ණ නාලයෙහි පිටත භාගය ආසන්න සමෙහි ඇති ග්‍රන්ථි මඟින් ස්‍රාවය වේ. මෙම නාලයෙහි ඇති ඉටි සහ කුඩා රෝම මඟින් දූවිලි සහ කන් බෙරය වැනි ගැඹුරු සහ සංවේදී ව්‍යුහයන්ට හානි කළ හැකි වෙනත් බාහිර අංශු රඳවා ගනියි. මේවා පෙර කී පරිදි, නව කන් කළාඳුරු ඇතිවීමත් සමග පැරණි ඒවා තල්ලු වෙමින් කනෙහි පිටතට පැමිණිය යුතු නමුත් ඇතැමුන්ගේ එය සිදුවන්නේ ඉතා අල්පව වන අතර තවත් අයගේ පමණ ඉක්මවා සිදු වෙනවා.

මෙලෙස අනවශ්‍ය ලෙස කන් කළාඳුරු එක්රැස් වීමෙන් කර්ණ නාලය අවහිර වී යයි. එවිට කන් කැක්කුම, එම කනෙහි පිරුණු බවක් දැනීම, කණෙහි ප්‍රතිරාවයක් හෝ “කීං” යන ශබ්දය ඇතිවීම, ඇසෙන ප්‍රමාණය අඩු වීම, කනෙහි කැසීම, දුර්ගන්ධ හැමීම, කරකැවිල්ල, සහ කැස්ස වැනි රෝග ලක්ෂණ ඇති වේ.

වෛද්‍යවරුන්ට ප්‍රවේශමට පිරිසිදු කිරීම කළ හැකියි (wikihow.com)

ඔබට සාමාන්‍යයෙන් එලෙස අධික කන් කළාඳුරු ශ්‍රාවය වීමක් නොතිබී එක්වර එවන් තත්ත්වයක් ඇතිවුවහොත් වහාම වෛද්‍යවරයකු හමුවිය යුතු වේ. අධික ඉටි එක්රැස් වීම නිසා කර්ණ නාලයට හා කන් බෙරයට හානි සිදුවිය හැකිවාක් සේම තනිව කන් කළාඳුරු ඉවත් කරන්නට යාම ද නුසුදුසු යි. එසේම, කන් ඇසීම අඩුවීම පමණක් යනු ද කන් කළාඳුරු එක්රැස් වීම නිසා ම සිදුවිය නොහැකි තත්ත්වයක් බව ද සිහි කටයුතු යි.

කාන්තාවකගේ හිස් කබල ආහාරයට ගත් බැක්ටීරියාව

ආසාදිත කාන්තාව තම දරුවන් සමග (thatslife.com.au)

37 වියැති ඕස්ට්‍රේලියානු කාන්තාවක් දිනපතාම රාත්‍රියේ තමන්ගේ කන් පිරිසිදු කරන්නට පුරුදුව සිටියා ය. ඇය ඊට භාවිතා කළේ වෙළඳපොළ මිල දී ගැනීමට ඇති කූරක් දෙපස පුළුන් රැඳවූ Cotton swabs ය. කල් ගතවත්ම, ඇගේ වම් කණ නොඇසී යන්නට පටන් ගන්නා බව ඇයට දැනිණි. මෙය සාමාන්‍ය වෛද්‍යවරයකුට පෙන්වූ විට කනේ ආසාදනයකැ යි කියා ප්‍රතිජීවක ඖෂධ ලබා දෙනු ලැබූ නමුත් ඇයගේ කන් නොඇසීම තවදුරටත් පැවතුණු අතර, සුපුරුදු පරිදි පිරිසිදු කරද්දී ලේ එන්නටත් පටන් ගති.

තම අර්ධ බිහිරි බව ගැන ඇය ඇස-කන-නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකුට පෙන්වීය. එහිදී ඇයව CT ස්කෑන් පරීක්ෂාවකට ලක් කෙරුණු අතර එහිදී එක් කරුණක් පැහැදිලි විය. එය නම්, බැක්ටීරියාවක් ඇගේ කන පසුපස ඇති හිස්කබල අස්ථීන් කා දමමින් සිටිනා බව යි.

ඇයව වහාම ශල්‍යකර්මයකට භාජනය කෙරුණු අතර, මෙය වසර පහක් පමණ පුරාවට සිදුවූවක් නිසා කඩදාසියක් තරම් තුනී වනතුරු අස්ථි ජීර්ණය වී තිබිණි. වෛද්‍යවරු පැය පහක් පුරාවට ආසාදිත පටක ඉවත් කිරීම සහ ඇගේ කර්ණ නාලය ප්‍රතිස්ථාපනය කිරීම සිදු කළහ. වෛද්‍යවරු පැවසූයේ ඇය කන් පිරිසිදු කිරීමට භාවිතා කළ පුළුන් කෙඳිති ඇගේ කන තුළ රැඳී ඒවා ආසාදනය වී ඇති බව යි.

කන පිරිසිදු නොකර සිටිය යුතු ද?

“කන කසන්නට ඕනෑ නම් වැලමිට පාවිච්චි කරන්න” (amazonaws.com)

ඔබට කන කසන්නට ඕනෑ නම් වැලමිට පාවිච්චි කරන්නැයි වෛද්‍යවරු අතර කටවහර කියමනක් තිබෙනවා. දැන් ඔබ එය කිරීමට උත්සාහ කළ නමුත්, මින් අදහස් කරන්නේ කිසි ලෙසකවත් කන පිරිසිදු කිරීමට නොපෙළඹිය යුතු බව යි.

කෙසේ නමුත්, රෝග ලක්ෂණයකින් තොරව, කන කසන සෑම විටක දීම වෛද්‍යවරයකු මුණ ගැසිය නොහැකි නිසා ආරක්ෂිතව බාහිර කන පිරිසිදු කිරීමට පහත ක්‍රම ඉතා ප්‍රවේශමට යොදා ගත හැකියි.

  • සුළැඟිල්ලෙහි ටිෂූ කඩදාසියක් ඔතා පිටතට ආ ඉටි ඉවත් කිරීම
  • හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් හෝ ඔලිව් තෙල් බිඳුවක් කනට දමා මඳක් තිබෙන්නට හැර ඉවත් කිරීම.

නැවතත් සඳහන් කළ යුතු දේ නම්, මෙම ක්‍රම සතියකට පමණ වතාවක් ‍හෝ අධික කන් කළාඳුරු එක්රැසක් වීමක දී පමණක් ආරක්ෂිතව බාහිර කන සඳහා පමණක් ම යොදාගත යුතු බවයි. එවිට ඔබට මත්ථලුඞකභෝජක (හිස්මුල් කන) පණුවන් ඉවත් කරගන්නට ජීවක වෛද්‍යතුමන් අවශ්‍ය නොවේවි!

මූලාශ්‍රයයන්:

  • webmd.com
  • md-health.com
  • thatslife.com.au
  • american-hearing.org

කවරය: shared.com

Related Articles