ග්‍රීක දෙවිවරුන්ගේ නාමයන්ගෙන් නම් කෙරුණු මූලද්‍රව්‍යය සහ තවත් කතා

පෘථිවියේ පවතින සියලුම සංඝටක මූලද්‍රව්‍ය එකක් හෝ කිහිපයක සුසංයෝගයකින් සෑදී තිබෙනවා. මිනිසා සම්භවය වූ කාලයේ පටන්ම ස්වභාවයේ පැවති සංඝටක සිය භුක්තිය සඳහා යොදාගත් ඔවුන් කාලයාගේ අවෑමෙන් ඒවා මූලද්‍රව්‍යවලින් තැනී ඇති බව හඳුනාගත් අතර විද්‍යාවේ මහිමයෙන් ඒවා එකිනෙක වෙන්කොට හඳුනාගන්නටත් එළඹුණා. රුසියානු ජාතික දිමිත්‍රි මෙන්ඩලිෆ් විසින් අනුපිළිවෙලින් කාණ්ඩ කරමින් වර්තමාන ආවර්තිතා වගුව නිර්මාණය කළේ ඒ එක් එක් මූලද්‍රව්‍යවල පොදු ගුණ හා තවත් රසායනික හා භෞතික ගුණ රාශියක් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව යි. මෙමඟින් ඒ වන විට හඳුනාගෙන තිබුණු මූලද්‍රව්‍යවල ගුණ පිළිබඳ පුරෝකථනය කිරීම හා අනාගතයේ නව මූලද්‍රව්‍ය හඳුනාගැනීමේ පහසුව ඇතුළු ප්‍රයෝජන රාශියක් විද්‍යාඥයින්ට ලැබුණා.

ආවර්තිතා වගුවට අනුව එහි පළමු පෙළ පවතින හයිඩ්‍රජන් සිට 19 වන ස්ථානයේ ස්ථානගත කර ඇති පොටෑසියම් දක්වා මූලද්‍රව්‍ය පිළිබඳ මූලික තොරතුරු හා ඒවා සොයාගැනීමේ ඉතිහාස කතා අපි ඔබ වෙත මීට පෙර ලිපිවලින් ගෙන ආවා. අද අපි එහි 20 වන ස්ථානයේ පවතින කැල්සියම් හා සිව්වන ආවර්තයේ හමුවන ආන්තරික මූලද්‍රව්‍යවලින් මුල්ම ද්විත්වයත් පිළිබඳව තොරතුරු ඔබ වෙත ගෙන එන්නට අදහස් කළා.

කැල්සියම්

dreamstime.com

ආවර්තිතා වගුවේ 20 වන මූලද්‍රව්‍ය ලෙස අපට හමුවන්නේ කැල්සියම්. මෙය ජීවීන්ට ඉතා වැදගත් මූලද්‍රව්‍යයක් වන්නේ එය පෘෂ්ඨවංශීන්ගේ සැකිල්ල වැනි ව්‍යුහයන් නිර්මාණය සඳහා අත්‍යවශ්‍යය අමුද්‍රව්‍යයක් මෙන්ම තවත් ජීවී ක්‍රියා රැසකට ක්‍රියාකාරී ලෙස දායක වන නිසා යි. කැල්සියම් පෘථිවි කබොලේ, මුහුදු ජලයේ මෙන්ම මිනිස් සිරුරේ ද පස්වනුවට බහුලතම මූලද්‍රව්‍යය වෙනවා. මෙය සංශුද්ධ තත්ත්වයේ දී ක්ෂාරීය පාංශු ලෝහයක් වෙනවා.

කැල්සියම්හි පරමාණුක ක්‍රමාංකය 20 වන අතර පරමාණුක ස්කන්ධ ක්‍රමාංකය 40.078 වෙනවා. මෙහි ද්‍රවාංකය සෙල්සියස් අංශක 842ක් වන අතර තාපාංකය සෙල්සියස් අංශක 1484ක්. කැල්සියම් සමස්ථානික 24ක් ස්වභාවයේ පැවතිය හැකි අතර ඉන් 5ක් ස්ථායී තත්ත්වයේ පැවතුණත් 97%ක්ම පවතින්නේ කැල්සියම් – 40 සමස්ථානිකය යි.

සෝඩා ලයිම් -norvap.vet

කැලසියම් මූලද්‍රව්‍යය දීර්ඝ කාලයක සිට මානව වර්ගයා දැන සිටිය ද 18 වන සියවසේ ආරම්භය වනතුරුම කිසිවෙකුට එය සංශුද්ධ තත්ත්වයෙන් නිස්සාරණය කරන්නට නොහැකි වුණා. මැග්නස්, පොන්ටින් හා ජොන්ස් ජේක්බ් බර්සීලියස් එය නිසසාරණය කිරීමේ ආසන්නයටම පැමිණියත් එය සාර්ථකව සිදුකිරීමට මුලින්ම හැකි වූයේ 1808 දී ශ්‍රීමත් හම්ප්‍රි ඩේවිට යි. පොන්ටින් හා බර්සීල්යස් රසදිය ඔක්සයිඩ සමග කැල්සියම් ඔක්සයිඩ හා දිය ගැසූ හුණු මිශ්‍රණය කොට එය විද්‍යුත් විච්ඡේදනය කිරීමෙන් සංශුද්ධ නොවූ කැල්සියම් මිශ්‍රණයක් ප්‍රතිඵල ලෙස ලබාගෙන තිබූ අතර, ඒ ඔස්සේ යමින් ඩේවි සිය පර්යේෂණ සිදු කළා. ඔහු විසින් වැඩිපුර සෝඩා ලයිම් (කැල්සියම් ඔක්සයිඩ් හා දිය ගැසූ හුණු මිශ්‍රණය) මේ සඳහා යොදාගත්තා. මෙහි දී සංශුද්ධ නොවූ කැල්සියම් වැඩිපුර ලබා ගැනීමට ඔහු සමත් වූ අතර එයට මිශ්‍ර වී තිබූ රසදිය සම්පූර්ණයෙන්ම පාහේ ඉන් ඉවත් කර සංශුද්ධ කැල්සියම් ලබා ගැනීමට ඔහුට හැකි වුණා.

ස්කැන්ඩියම්

dreamstime.com

ආවර්තිතා වගුවේ 21 වෙනුවට හමුවන්නේ ස්කැන්ඩියම් මූලද්‍රව්‍යය යි. එහි දී අපට හමුවන පළමු ආන්තරික මූලද්‍රව්‍යය එය යි. මෙය පෘථිවියේ 31 වෙනුවට බහුලතම මූලද්‍රව්‍යය වනවා. පෘථිවි කබොලෙන් කොටස් මිලියනයක් ගතහොත් එහි ස්කැන්ඩියම් පවතින්නේ කොටස් 22ක් පමණ යි. එබැවින් එය සාපේක්ෂව දුර්ලභ මූලද්‍රව්‍යයක් වෙනවා.

ස්කැන්ඩියම්හි පරමාණුක ක්‍රමාංකය 21 වන අතර එහි පරමාණුක ස්කන්ධ ක්‍රමාංකය 44.9559ක්. ස්කැන්ඩියම්හි ද්‍රවාංකය සෙල්සියස් අංශක 1540ක් වන අතර තාපාංකය සෙල්සියස් අංශක 2830ක් වෙනවා. ස්වභාවයේ පවතින්නේ ස්කැන්ඩියම් – 45 සමස්ථානිකය පමණ යි. කෙසේ නමුත් තවත් සමස්ථානික 13ක් විද්‍යාගාරයේ නිපදවා තිබෙනවා.

ආවර්තිතා වගුවේ නිර්මාතෘ දිමිත්‍රි මෙන්ඩලිෆ් 1869 දී ස්කැන්ඩියම් පිළිබඳ පුරෝකථනය කොට ‘එකාබෝරෝන්’ නමින් ඒ සඳහා සිය ආවර්තිතා වගුවේ ස්ථානයක් වෙන්කළා. ස්වීඩන ජාතික රසායන විද්‍යාඥයෙකු වූ ලාර්ස් ෆෙඩ්‍රික් නිල්සන් විසින් ඉන් වසර 10කට පසු 1879 දී මෙම මූලද්‍රව්‍යය ගවේශනය කළා. ඒ යුක්සිනයිට් හා ගැඩොලිනයිට් පාෂාණ පිළිබඳ අධ්‍යයනය කරමින් සිටිය දී යි. මෙයට ‘ස්කැන්ඩියම්’ යන නාමය තබන ලද්දේ ඒ වන විට එය හමුවූයේ ස්කැන්ඩිනේවියා අර්ධද්වීපයෙන් පමණක් වීම නිසා යි. විද්‍යාඥ පර් තියඩෝර් ක්ලීව් හා නිල්සන් විසින් සොයාගත් එම මූලද්‍රව්‍යය මෙන්ඩලිෆ් විසින් පුරෝකථනය කළ එකාබෝරෝන්ම බව සොයාගන්නවා.

ස්කැන්ඩියම් ලෝහය – manmonthly.com.au

ස්කැන්ඩියම්හි දුලබතාව නිසා එය නිස්සාරණය අසීරු කටයුත්තක් වුණා. නීල්සන් හා ඔහුගේ පිරිසට යුක්සනයිට් කිලෝග්‍රෑම් 10 කින්ම ලබාගත හැකි වූයේ ස්කැන්ඩියම් ඔක්සයිඩ ග්‍රෑම් 2ක් පමණ යි. 1937 දී ජර්මානු විද්‍යාඥයින් ත්‍රිත්වයක් වන වර්නර් ෆිෂර්, කාල් බන්ගර්, හා හාන්ස් ග්‍රීන්සේසන් මුල්ම වරට ලෝහමය ස්කැන්ඩියම් නිස්සාරණය කරන අතර 99% සංශුද්ධ ස්කැන්ඩියම් නිපදවූයේ 1960 දී.

ටයිටේනියම්

dreamstime.com

ආවර්තිතා වගුවේ 22 ස්ථානය හිමිව තිබෙන්නේ සැහැල්ලු හා ශක්තියෙන් වැඩි ලෝහයක් වන ටයිටේනියම් මූලද්‍රව්‍යයට යි. ග්‍රීක දේව කතාවල එන ටයිටන්වරුන්ට අනුව නම් කළ මේ ලෝහය යකඩවල සවි ශක්තියෙන් යුතු වූවත් ඊට වඩා ඉතා සැහැල්ලු යි.

ටයිටේනියම්හි පරමාණුක ක්‍රමාංකය 22 වන අතර පරමාණුක ස්කන්ධ ක්‍රමාංකය 47.867 වෙනවා. මෙහි ද්‍රවාංකය සෙල්සියස් අංශක 1668ක් වන අතර තාපාංකය සෙල්සියස් අංශක 3287ක් වෙනවා. ස්වභාවයේ ටයිටේනියම් සමස්ථානික 18ක් පැවතියත් ඉන් ස්ථායී වන්නේ 5ක් පමණ යි.

ටයිටේනියම් පෘථිවි කබොලේ 9 ව‍ෙනුවට සුලභතම මූලද්‍රව්‍යය යි. කෙසේ නමුත් 1791 වනතුරු එය මිනිසුන් විසින් හඳුනාගෙන තිබුණේ නැහැ. එම වසරේ දී බ්‍රිතාන්‍ය ජාතික භූගර්භ විද්‍යාඥයෙකු වූ විලියම් ග්‍රෙගර් හට මැග්නටයිට් මිශ්‍රිත පසක තිබී නව මූලද්‍රව්‍යයක් හමුවුණා. එසේම ඊට වසර 4කට පසුව ජර්මානු ජාතික විද්‍යාඥයෙකු වන මාටින් හෙන්රික් ක්ලැපර්ත්හට හංගේරියාවේ යපස් නිධියක තිබී එම මූලද්‍රව්‍යයම හමුවුණා.  ඔහු එය ටයිටේනියම්යැ යි නම් කළා.

පසු කාලීනව එම්.ඒ හන්ටර් නම් තැනැත්තෙක් පළමු වතාවට සංශුද්ධ ටයිටේනියම් නිස්සාරණය කරනවා. කෙසේ නමුත් කර්මාන්ත මට්ටමෙන් ටයිටේනියම් නිස්සාරණය කරන ක්‍රමවේදය හඳුන්වා දුන්නේ 1930 දශකයේ දී විලියම් ජේ. ක්‍රොල් විසින්. මෙහි දී ටයිටේනියම් මිශ්‍රිත පාංශු සාම්පලයට ක්ලෝරීන් ප්‍රතිකාරකයක් කොට ටයිටේනියම් ක්ලෝරයිඩ් සාදාගන්නා අතර ඉන්පසු එයට මැග්නීසියම් හෝ සෝඩියම් එක් කරනු ලබනවා. මෙය ආගන් වායුව පිරවන ලද කුටීරයක සෙල්සියස් අංශක 1200 පමණ උෂ්ණත්වයක සිදු කළ යුතු අතර මෙහි දී සිදු වන ප්‍රතික්‍රියාවෙන් සංශුද්ධ ටයිටේනියම් නිස්සාරණය වෙනවා.

ටයිටේනියම්වලින් නිෂ්පාදිත කම්බි-Steelads.com

ටයිටේනියම්හි ශක්තිමත්භාවය හා සැහැල්ලු බව නිසා විශේෂයෙන් ගුවන් යානා වැනි දේ තැනීමට ටයිටේනියම් යොදාගන්නවා. ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සමහර කොටස් ටයිටේනියම් ලෝහයෙන් තනා තිබෙනවා. ටයිටේනියම් අඩංගු පස් ශ්‍රී ලංකාවෙන් ද හමුවන අතර ඉල්මනයිට් වැනි ටයිටේනියම් අඩංගු සංයෝග සහිත සංඝටකවලින් පොහොසත්. පුල්මුඩේ ඛණිජ වැලි නිධිය ඊට උදාහරණයක්.

ඉල්මනයිට්- asianmirror.lk

තවත් ආන්තරික මූලද්‍රව්‍යය කිහිපයක තොරතුරු සමග මීළඟ කොටසින් හමුවෙමු.

කවරයේ පින්තූරය – geekinsider.com

Related Articles