දරුවෙකුගේ පිතෘත්වය තීරණය කරන DNA පරීක්ෂණය

දරුවෙකුගේ භාරකාරත්වය හෝ නඩත්තු පිළිබඳ වූ නඩු විභාගයකදී නියම පියා නිසැක ලෙස සොයා ගැනීමේ එකම පරීක්ෂණය වන්නේ DNA පරීක්ෂණයයි.

DNA යනු?

DNA යන්නෙන් “ඩිඔක්සි රයිබෝ නියුක්ලෙයික් අම්ලය” යන්න අදහස් වේ. ඕනෑම ජීවියෙකුට තම දෙමාපියන්ගෙන් DNA උරුම වන අතර ජීවියෙකුගේ භෞතික ලක්ෂණ සහ හැසිරීමේ රටා වලට සම්බන්ධ සියලුම තොරතුරු ගබඩා කරන්නේ එම ජීවියාගේ ප්‍රවේණි ද්‍රව්‍ය වන DNA නම් රසායනික ද්‍රව්‍ය තුළයි.

DNA වර්ගීකරණය

ජීවියෙකුගේ සෛල වල පරම්පරාගත ලක්ෂණ හෝ ජානමය තොරතුරු ගැබ් වී ඇත්තේ DNA වලයි. එක් ජීවියෙක් තවත් ජීවියෙකුගේ බාහිර ලක්ෂණ වලින් වෙනස් වන්නේ ද ඔවුන් තුළ අඩංගු DNA අණුක වල අන්තර්ගත තොරතුරු වල ඇති වෙනස්කම් නිසයි.

mutant-mushroom.tumblr.com

මිනිස් සෛලයක DNA අඩංගු වන්නේ එහි ඇති න්‍යෂ්ඨිය නම් කොටසෙහි අන්තර්ගත වර්ණදේහ තුළයි. මිනිස් දේහය අති විශාල සෛල සමුහයකින් සමන්විත වන අතර මිනිස් ප්‍රජනන සෛල, එනම් ස්ත්‍රියකගේ ඩිම්බ සෛලයකත්, පුරුෂයකුගේ ශුක්‍රානු සෛලයකත් වර්ණදේහ 23ක් අඩංගු වේ. මිනිස් ජීවියෙකු බිහිවන්නේ මවගේ ඩිම්බ සෛලයක් පියාගේ ශුක්‍රානු සෛලයක් සමඟ සංසේචනයෙන් ගොඩනැගෙන වර්ණදේහ යුගල 23කින් සමන්විත එක මූලික සෛලයක් නැවත නැවතත් බෙදීමට ලක්වීමෙන්. එබැවින් එක් පුද්ගලයෙකුගේ දේහයේ සෑම සෛලයකම එකම DNA තොරතුර අඩංගු වේ. එනම් එක් පුද්ගලයෙකුගෙන් ලබා ගත් ඕනෑම ජෛව සාම්පලයක, එනම් කෙස් වලින්, රුධිරයෙන්, ඛේටයෙන්, සමෙන් හෝ ශුක්‍රානු වලින් ලැබෙන්නේ එකම DNA තොරතුරයි.

ඉතා ලඟම ඥාති සම්බන්ධතා ඇති එකම දෙමාපියන්ගෙන් බිහි වූ සහෝදර සහෝදරියන්ගෙන් පවා එකිනෙකට වෙනස් වූ DNA රටාවන් දක්නට ලැබේ. නිවුන් දරුවන් එකම මූලික සෛලයක් බෙදීමෙන් බිහි වූ විට පමණක් ඔවුන්ගේ DNA රටාවන් එක හා සමාන වේ. එනම් සමයෝගී නිවුන් දරුවන් බිහි වීමේදී පමණක් එක හා සමාන DNA රටාවන් දැකගත හැකි වේ.

ඒ අනුව එක් එක් පුද්ගලයාට විශේෂ වූ DNA රටාව DNA විශ්ලේෂණය මඟින් හඳුනා ගැනීමෙන් ඕනෑම පුද්ගලයෙකුගෙන් ලැබෙන ජෛව සාම්පලයක අනන්‍යතාව තහවුරු කරගත හැකි වේ.

DNA රටාවක් ලබාගන්නා ආකාරය

සාමාන්‍යයෙන් එක් පුද්ගලයෙකුගේ DNA තොරතුරු තවත් පුද්ගලයෙකුගේ DNA තොරතුරු හා සංසන්දනය කළ විට ලැබෙන පිළිතුරු 99.9% ක්ම සමාන වේ. DNA විශ්ලේෂණය මඟින් අනන්‍යතාව හඳුනා ගැනීමේදී එසේ සමාන වූ තොරතුරු නොව, අසමාන වූ 0.1% පිළිබඳවයි සැළකිල්ලක් දක්වන්නේ. එවැනි DNA ස්ථාන බහුරූපී ස්ථාන ලෙස හැඳින්වේ. සෛලයක අඩංගු එක් වර්ණදේහයක් තුළ එවැනි බහුරූපී ස්ථාන විශාල ප්‍රමාණයක් පවතින අතර ඒවායින් කිහිපයක් පමණක් විශ්ලේෂණය කිරීම තුළින් (9-12ක් පමණ) ලෝකයේ එක් පුද්ගලයෙකුට පමණක් විශේෂ වූ DNA රටාවක් ලබා ගත හැකි වේ.

ඕනෑම බහුරූපී වර්ණදේහ ස්ථානයක විශේෂත්වය වන්නේ එම ස්ථානයට අනුරූප වන ඇලීල විශාල සංඛ්‍යාවකින් සමන්විත වීමයි. එක් ඇලීලයක් අනෙක් ඇලීලයකින් වෙනස් වන්නේ දිග අනුව නිසා එක් වර්ණදේහ ස්ථානයක දක්නට ලැබෙන සෑම ඇලීලයක්ම දිග අනුව නම් කළ හැකි වේ.

එවැනි බහුරූපී ස්ථාන 9ක් 12ක් පමණ ප්‍රමාණයක් විශ්ලේෂණය කිරීමෙන් ලැබෙන DNA රටාව ලෝකයේ එක් පුද්ගලයෙකුට පමණක් විශේෂ වේ.

එක් පුද්ගලයෙකුගේ එක් බහුරූපී ස්ථානයක වැඩිම වශයෙන් එකිනෙකට වෙනස් ඇලීල 2ක් හෝ එකම ඇලීලයක පිටපත් 2ක් දැකගත හැකි වන අතර ඕනෑම පුද්ගලයෙකුගේ බහුරූපී ස්ථානයක අඩංගු වන එම ඇලීල එම පුද්ගලයාට තම දෙමාපියන්ගෙන් උරුම වූ ඒවා වේ. එක් ඇලීලයක් තම මවගෙන් ද, අනෙක් ඇලීලය පියාගෙන් ද උරුම වී ඇත.

පුද්ගලයෙකුගේ බහුරූපී ස්ථාන වල අඩංගු වන ඇලීල නිවැරදිව හඳුනා ගැනීම

dnatesting.com

මෙය පියවර ලෙසින් හඳුනා ගැනීම තේරුම් ගැනීම පහසු කරවයි.

  • පළමුව ජෛව සාම්පලයකින් DNA නිස්සාරණය කර ගැනීම.
  • දෙවනුව එක් එක් බහුරූපී ස්ථාන වල අඩංගු ඇලීල වල පිටපත් විශාල සංඛ්‍යාවක් ලබා ගැනීම.

ඒවා ලබා ගැනීම සඳහා විශේෂ යන්ත්‍රයක් භාවිතා කරයි.

  • තෙවනුව ඇලීල දිග අනුව වෙන්කර ගැනීම.

මෙහිදී ජෙල විද්‍යුත් විහරණ යන්ත්‍රයක් භාවිතා කරයි. කෙටි ඇලීල ඉතා ඉක්මණින් ජෙලයක් තුළ විද්‍යුතය ඔස්සේ ගමන් කරන අතර විශාල ඇලීල සෙමින් ගමන් කරයි. මෙහිදී එක් ඇලීලයක් අනෙක් ඇලීල සමඟ දිගෙන් වෙනස් වන නිසා සෑම ඇලීලයක්ම දිග අනුව වෙන් කරගත හැකි වේ.

DNA පරීක්ෂණය හරහා නිවැරදි පියා සොයා ගන්නා ආකාරය

nanalyze.com

මෙහිදී පළමුවෙන්ම සිදුකරන්නේ දරුවාගේ ඇලීල රටාව දරුවාගේ මවගේ ඇලීල රටාව සමඟ සංසන්දනය කිරීමයි. විශ්ලේෂණයට ලක්කරන සෑම බහුරූපී ස්ථානයකම දරුවාගේ අඩංගු ඇලීල හෝ ඇලීල පිටපත් දෙකෙන් එක් ඇලීලයක් හෝ ඇලීල පිටපතක් තම මවගේ ඊට අනුරූප බහුරූපී ස්ථානයේ ඇලීලයක් සමඟ පොදු වේ. DNA පරීක්ෂණයෙන් එම ප්‍රතිඵලය ලැබුණු විට මව සහ දරුවා අතර සම්බන්ධතාව නිවැරදිව තහවුරු වන අතර මීළඟ පියවර වශයෙන් පියා යැයි සැක කරන පුද්ගලයාගේ ඇලීල රටාව සමඟ දරුවාගේ ඇලීල රටාව සංසන්දනය කිරීම කළ යුතු වේ.

මෙහිදී විශ්ලේෂණයට ලක් කරන සෑම බහුරූපී ස්ථානයකම දරුවා හට මවගෙන් උරුම වූ ඇලීලය හැර ඉතිරි ඇලීලය පියා යැයි සැක කරන පුද්ගලයාගේ ඇලීල රටාවෙහි දක්නට ලැබේදැයි සොයා බලනු ලැබේ.

දරුවෙකුගේ එක් ඇලීලයක් මවගෙන් උරුම වන අතර අනෙක් ඇලීලය උරුම වන්නේ දරුවාගේ පියාගෙනි. ඒ අනුව ඉහත පරීක්ෂණය අවසානයේ අනුමාන පියාගේ බහුරූපී ස්ථානයේ ඇති ඇලීල 9 තුළ මවගේ නොවන ඉතුරු ඇලීලය දක්නට නොලැබේ නම් ඔහු එම දරුවාගේ පියා විය නොහැක.

අවම වශයෙන් බහුරූපී ස්ථාන 9ක් සැසඳීමෙන් එම සෑම ස්ථානයකම දරුවාගේ ඉතිරි ඇලීලය සමඟ පියාගේ ඇලීල රටාවෙහි එක් එක් බහුරූපී ස්ථානයට අනුරූපී පොදු ඇලීලයක් දක්නට ලැබෙන්නේ නම් ඔහු එම දරුවාගේ පියා බව ජෛව විද්‍යාත්මකව සනාථ වේ. එමෙන්ම බහුරූපී ස්ථාන 2ක් හෝ ඊට වැඩි ගණනක ඇලීල රටාව සමඟ නොසැසඳේ නම්, ඔහු එම දරුවාගේ පියා නොවන බව තහවුරු වේ.

ඒ අනුව යම් පුද්ගලයෙක් යම් දරුවෙකුගේ පියා වීමේ සම්භාවිතාව ඇලීල රටාව ආශ්‍රයෙන් ගණනය කළ හැකි අතර සාමාන්‍යයෙන් පුද්ගලයෙකු දරුවෙකුගේ පියා වීමේ සම්භාවිතාව 99%ක් හෝ ඊට වැඩි නම්, එම පුද්ගලයා අදාළ දරුවාගේ පියා බව අධිකරණය විසින් තීරණය කරනු ලබයි.

කවරයේ කතාව- themakingsofme.com 1

මූලාශ්‍ර

https://www.livescience.com/37247-dna.html

https://www.nature.com/scitable/topicpage/introduction-what-is-dna-6579978

https://www.news-medical.net/life-sciences/What-is-DNA.aspx

http://www.sciencemadesimple.co.uk/curriculum-blogs/biology-blogs/what-is-dna

Related Articles