දූවිලි කියන්නේ මැරුණු සම යි

දූවිලි කියන්නේ හැමෝටම කරදකාරී දෙයක්. ගෙවල් හෝ කාර්යයාල පිරිසුදුව තියාගන්න දූවිලි එක්ක හරි අමාරුයි. ජනෙල් දොරවල් හොඳින් වහලා වායුසමනය කරලා තිබ්බත් දූවිලිවලින් බේරෙන්න බැහැ. දූවිලි ඒතරම් නොවැදගත් දෙයක් වුණත් දුවිලි ගැන දැනගෙන ඉන්න එක වැදගත්. සමහරුන් කියන විදිහට දූවිලිවලින් වැඩි කොටසක් සමන්විත වෙන්නේ අපේ මැරුණු සමෙන්. මේ කතාව ඇත්තක්ද? අපේ සම ඔය කියන තරම් මැරෙනවද? එහෙම නම් දවසක අපිත් අර ‘ඇවෙන්ජර්ස්’ චිත්‍රපටියේ වගේ දුවිල්ලක් වෙලා යයිද? මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න කලින් දුවිලි කියන්නේ මොනවද කියලා දැනුම්වත් වෙමු.

දුවිලි යනු මොනවාද?

හැමදේටම වගේ දූවිලි (Dust) වලටත් අර්ථ දැක්වීමක් තියෙනවා. ස්වභාවික බලවේග ක්‍රියාකිරීම නිසා සැලකිය යුතු කාලයක් වායුගෝලයේ සැරිසැරිය හැකි ඉතා කුඩා අංශු තමයි දුවිලි කියලා කියන්නේ. මේ නිර්වචනයේ “ස්වභාවික බලවේග” කියලා කියන්නේ සුළං වගේ ප්‍රවාහයන්. “සැලකිය යුතු කාලයක්” කියන්නේ කොපමණ කාලයක් ද කියන එක එතරම් පැහැදිලි කෙරෙන්නේ නැහැ. ඒ නිසා දූවිලි වගේම තමයි ඒකෙ අර්ථ දැක්වීමත් ටිකක් ගැටලුකාරියි. ඊළඟට “ඉතා කුඩා අංශු” කියන්නේ කොයිතරම් විතර කුඩා ඒවාද කියලත් ගැටලුවක් ඇතිවෙනවා. ජාත්‍යන්තර ප්‍රමිතිකරණ සංවිධානයේ (ISO) අර්ථ දැක්වීමට අනුව මයික්‍රෝ මීටර 1 ත් 80 ත් අතර විශ්කම්භයක් තියෙන අංශු දුවිලි යටතට ගැනෙනවා. ඒ කියන්නේ ආසන්නව මිනිස් කෙස් ගසක විෂ්කම්භය (මයික්‍රෝ මීටර 50) තියෙන අංශු. ඒත් වායුගෝලීය රසායන විද්‍යාවේ හැඳින්වීම්වලට අනුව මයික්‍රෝමීටර 100 දක්වා අංශු දුවිලි යටතටයි ගණන් ගැනෙන්නේ. සමහර පර්යේෂණ වාර්තාවල මේ අගය මයික්‍රෝ මීටර 2000ක් කියලත් දක්වනවා. ඒ කියන්නේ මිලිමීටර 2ක්.

දුවිලි අංශුවක විශාලත්වය ඇත්තටම ඒ පිළිබඳ නිවැරදි අර්ථ දැක්වීම් සිදුකෙරෙන විදිහක් නෙවෙයි. දුවිලි අංශුවක වැදගත් වෙන්නේ තැන්පත් වන ප්‍රවේගයයි (Settling Velocity). දුවිලි අංශුවක් කොපමණ වෙලාවක් වායුගෝලයේ රැඳෙනවාද කියන එක තීරණය වෙන්නේ මේ සාධකයත් සමඟ වීම නිසා. උදාහරණයක් විදිහට විෂ්කම්භය මයික්‍රෝ මීටර 50 ක විතර යකඩ අංශුවක් සහ විෂ්කම්භය මයික්‍රෝ මීටර 2000ක් වෙන රෙදි තන්තුවක් ගත්තොත් වැඩි වෙලාවක් වායුගෝලයේ රැඳෙන්නේ රෙදි තන්තුව නේ. ඒ නිසා ISO සංවිධානය මෙතැනදී නිර්වචනය කරන්නේ සාධාරණ ගෝලාකාර අංශුවක් ගැන. නිශ්චිත හැඩයක් නැති වැඩිම දිග මයික්‍රෝ මීටර 2000ක් තරම් විශාල අංශුවක් වුණත් ඒ අංශුව මයික්‍රෝ මීටර 80 ට අඩු විෂ්කම්භයක් තියෙන ඝනත්වය 1 g/cm3 වෙන ගෝලාකාර අංශුවක නිශ්චල වාතයේ චලනයට සමාන වෙනවා නම් එහි පලදායී විෂ්කම්භය මෙපමණයි කියලා අපිට තීරණය කරන්න පුළුවන්. ඒ නිසා මයික්‍රෝ මීටර 1 ත් 80 ත් අතර පලදායී විශ්කම්භයක් තියෙන අංශු දුවිලි යටතට ගැනෙනවා.

dust microscopic
කොන්ක්‍රීට්, විදුරු කෙඳි සහ ඇස්බැස්ටස් දුවිලි අංශු අන්වීක්ෂයෙන් බැලුවිට දිස්වන අයුරු-microscope.com

මැරුණු සම කියන්නේ මොනවාද?

දුවිලි ගැන කතාව තවම ඉවර නැහැ. හැබැයි ඊට කලින් මැරුණු සම කියලා අදහස් කරන්නේ මොනවද කියන දෙයත් පැහැදිලි කරගනිමු. අපි හැමෝම වයසට යද්දී අපේ ශරීරයේ ක්‍රියාකාරිත්වය අඩු වෙනවා. අවයවවල කාලය අවසන් වෙනවා. හැම දේකටම ආරම්භයක් වගේම අවසානයක් තියෙනවා වගේ අපේ ශරීරයටත් ඒ දේ පොදුයි. ශරීරය හැදිලා තියෙන තැනුම් ඒකකය වන සෛලවලටත් ආයු කාලයක් තියෙනවා. අක්මා සෛලයක් ජීවත් වෙන්නේ අවුරුදු 1.5යි. සුදු රුධිර සෛලයක් අවුරුද්දක් විතර. රතු රුධිර සෛල නම් දවස් 120යි. මේ විදිහට හමේ සෛල ජිවත් වෙන්නේ සති 2-3ක් විතරයි. ඊටපස්සේ මැරිලා යනවා. මැරුණු සම කියල අපි හඳුන්වන්නේ මරණයට පත්වුණු “සමේ සෛල” යි.

සෑම පැයකට වරක්ම අපේ සමේ අලුත් සෛල මිලියන 20 ක් පමණ නිපදවෙනවා. මේ නිපදවෙන සෛල සමේ අපිචර්මයේ ස්තර ඔස්සේ පරණ සෛල සමේ පිටත පෘෂ්ඨයට තල්ලු කරනවා. කාලයත් එක්ක මේවා තෙරපිලා පැතලි වෙලා සමේ උඩම ස්තරයේ තැන්පත් වීමෙන් තද වෙනවා. ඒ තද වීම නිසා තමයි බාහිර දේවල් වලින් අපේ අභ්‍යන්තරය ආරක්ෂා කරගන්න පුළුවන් විදිහට හමේ ඝනකම වැඩිවෙන්නේ. සෛල මැරුණාම අලුත් සෛල ඇවිත් ඒ තැන අරගන්නවා. මැරුණු සෛල හැම වෙලාවකදීම අපි නොදැනුවත්ම එකින් එක අපේ සමෙන් ඉවත් වෙනවා. සර්පයින් හැව ඉවත් කරනවා වගේ එකවර විශාල ප්‍රමාණයක් නොවුණත් ඊට සමාන ක්‍රියාවලියක් අපේ සම මතත් සිදු වෙනවා.

layers of the skin
සමේ අපිචර්මීය ස්තර-brainly.com

 

 

 

 

 

 

 

 

සාමන්‍යයෙන් අපේ සම මත වර්ග සෙන්ටිමීටර එකක වර්ගපලයකින් පැයකට මැරුණු සෛල 1000ක් ඉවත් කෙරෙනවා. වැඩුණු පුද්ගලයෙකුගේ සමේ මුළු වර්ගපලය වර්ග මීටර 2ක්. එහෙම බැලුවාම සෑම පැයකට වරක්ම ආසන්න වශයෙන් මිලියන 20ක මැරුණු සෛල ප්‍රමාණයක් අපේ සමෙන් ඉවත් වෙනවා. ඒ කියන්නේ දවසකට බිලියන භාගයක් විතර ප්‍රමාණයක්. මේ දේවල් විද්‍යාඥයින් ගණනය කරලා තියෙන්නේ අපේ සමට ටේප් වගේ ද්‍රව්‍ය අලවලා දින දෙකකදී විතර ඒ ටේප් වල ඇලවී තියෙන මැරුණු සෛල ප්‍රමාණය ගණනය කිරීමෙන්. මේ පරීක්ෂණවලින් හොයාගත්ත තව අමතර දෙයක් වෙන්නේ අපේ අත්වල උඩු පැත්තට වඩා යටි පැත්තේ සමෙන් ඉවත් වෙන මැරුණු සෛල ප්‍රමාණය අඩුයි කියන එක. පිට ප්‍රදේශයට වඩා පපුව, උදරය කොටසෙන් ඉවත් වෙන මැරුණු සෛල ප්‍රමාණයත් ඒ වගේම අඩුයි.

මැරුණු සමේ සෛලවල බර ග්‍රෑම් 500ක්

මැරුණු චර්ම සෛලයක විෂ්කම්භය මයික්‍රෝ මීටර 30ක් පමණ වෙනවා. ඒ කියන්නේ මේවා දුවිලි විදිහට හඳුන්වන්න අපිට පුළුවන්. මැරුණු චර්ම සෛල බිලියන භාගයක ස්කන්ධය ග්‍රෑම් 1-2ක් පමණ වෙනවා. අවුරුද්දක විතර කාලයක් සැලකුවොත් ඒ කාලය තුළ සාමාන්‍ය මිනිසෙක්ගේ ශරීරයෙන් ඉවත් වෙන මැරුණු සමේ සෛල වල බර ග්‍රෑම් 500ක් විතර වෙනවා. සාමාන්‍ය පවුලක් සැලකුවොත් වර්ග අඩි 2000ක වපසරියක් තියෙන ගෙදරක සම්පුර්ණ පොළොව එක මැරුණු චර්ම සෛල තට්ටුවකින් වැහෙන්න ගතවෙන්නේ දවස් 200යි.

එතකොට නිවෙස්වල දුවිලිවලින් වැඩි ප්‍රමාණයක් අපේ සම නිසා නිර්මාණය වෙන ඒවාද? එහෙමමත් කියන්නත් බැහැ. මොකද ඉහත ගණනය අදාළ වෙන්නේ දවස් 200ම ඔවුන් නිවසේ ගත කළොත් විතරයි. අනිත් කාරණය වෙන්නේ අපි නාද්දී යම් මැරුණු සෛල කොටසක් ඉවත් වෙනවා. තවත් බොහොමයක් අපි අඳින පළඳින ඇඳුම් වලටත් ඇඳ රෙදි ආදියටත් එකතු වෙනවා.

දුවිලි වල අඩංගු මැරුණු සම

දූවිලි නිපදවන්නේ අපේ මැරුණු චර්ම සෛල විතරක්ම නෙමෙයි. රෙදි, ඇඳුම් සහ ගෘහභාණ්ඩවලින් පිටවෙන තන්තු, වැලි සහ පස්, මල් පරාග, වෙනත් මිනිස් නිෂ්පාදන (සිමෙන්ති, ඇස්බැස්ටස් ආදිය) වගේ සෑම දෙයකින්ම දුවිලි නිර්මාණය වෙනවා. අභ්‍යවකාශයේ ඉඳන් වුණත් යම් දුවිලි ප්‍රමාණයක් ඉතා කුඩා උල්කාෂ්ම විදිහට පෘථිවියට එනවා. මේ නිසා නිවෙස්වල එකතුවෙන දුවිලිවලින් මැරුණු සෛල ප්‍රමාණය කොපමණද කියලා හරියටම කියන්න බැහැ. නිවස තිබෙන පරිසරයත් එක්කත් ඒ ප්‍රමාණය වෙනස් වෙනවා. නෙදර්ලන්ත පර්යේෂකයින් පිරිසක් කරපු පර්යේෂණයකට අනුව නිවෙස්වල බිම තිබූ මයික්‍රෝ මීටර 100ට අඩු විශ්කම්භයක් ඇති අංශුවලින් 50% ක් පමණ මැරුණු චර්ම සෛල බව අනාවරණය කරගෙන තියෙනවා. ඒ වගේම ඔවුන් ඇඳක ඇතිරිලි ද වෙනම පරික්ෂාවට ලක් කර තිබුණා. එයින් හමු වූ අංශුවලින් 53%කම මැරුණු චර්ම කොටස් බවයි ඔවුන් පවසන්නේ. 22% ක් පමණ රෙදි තන්තු කොටස් වනවා.

 House Dust Biology for Allergists
අංශුවල විශාලත්වය අනුව ඒවා නිවසේ දුවිලි වලින් කිනම් ප්‍රතිශතයක්ද යන්න මෙහි පෙන්වා ඇත-House Dust Biology for Allergists

 

 

 

 

 

 

 

 

 

නෙදර්ලන්තයේ බොහෝ නිවාසවල තියෙන්නේ කාපට් වලින් තොර තද ලී පොළොවක්. නිවසේ කාපට් ආදිය වැඩිවශයෙන් භාවිතා කෙරෙනවා නම් ඉහත ප්‍රතිශත අගය තවත් වෙනස් වෙන්න පුළුවන්. කොහොමවුණත් හැම නිවසකටම අදාළ වන තත්වය වෙන්නේ අප නිදාගන්නා ඇඳ මත, ඇතිරිලි මත සහ ඇඳ අවට වැඩිවශයෙන් අපේ සමේ මැරුණු කොටස් තැන්පත් වෙන බවයි. අපගේ ජීවිත කාලයෙන් 1/3ක් ම අපි කරන්නේ නිදාගන්නා එක නිසා. එහෙම බැලුවොත් අවුරුදු 10 කට විතර පස්සේ අපේ ඇඳ මෙට්ටයේ බර ලොකු ප්‍රමාණයකින් වැඩි වෙනවා නේද? ඒත් මෙට්ටවල ඇතිරිලිවල ජිවත් වෙන ඇහැට නොපෙනෙන කුඩා ගුල්ලන් (Dust Mites) වගේ සතුන් මේ දුවිලි ආහාරයට ගන්නවා. උන් අපව සපාකන්නේ හෝ වෙනත් කරදරයක් කරන්නේ හෝ නැහැ. නමුත් සමහරුන්ගේ සමේ ආසාත්මිකතා ඇති වෙන්න පුළුවන්.

මැරුණු සම වායුගෝලයට එකතු වීම

ලිපියේ ආරම්භයේදී කතා කළා වගේ මේ මැරුණු චර්ම සෛල වායුගෝලයේ බොහෝ වෙලාවක් රැඳී තියෙනවා. සාමාන්‍යයෙන් ඇඳ ඇතිරිලි හෝ මෙට්ට නිසා වායුගෝලයේ තියෙන ඝන සෙන්ටිමීටර 1 ක පරිමාවක මෙවැනි මැරුණු සම් කොටස් 21,000 ඉඳන් 100,000 දක්වා වැඩි වෙන්න පුළුවන්. මිනිසුන් වැඩියෙන් ගැවසෙන ස්ථානවලත් වායුගෝලයේ වැඩි වශයෙන් මේ මැරුණු සම් කොටස් පවතිනවා. ලන්ඩන් නුවර භූගත දුම්රිය ස්ථාන (Subway station) ආශ්‍රිතව තියෙන දුවිලි අංශුවලින් 10% ක් විතර මැරුණු සම් කොටස් බව අනාවරණය කරගෙන තිබෙනවා. වඩා ජනාකීර්ණ නිව්යෝක් සබ්වේ එකේ මේ අගය 15% ක් විතර වෙනවා. එහෙම බැලුවම අපි ආශ්වාස කරන්නේ සාමාන්‍ය දුවිලි අංශු විතරක් නෙමෙයි. මැරුණු මිනිස් සෛලත් අපේ ආශ්වාස වාතයේ අඩංගු වෙනවා ඇති.

මැරුණු චර්ම සෛල හැරුණාම අපේ ඇඟේ ජීවත්වෙන බැක්ටීරියා, දිලීර සහ වෙනත් ක්ෂුද්‍ර ජීවින් පවා අපේ ශරීරයෙන් ඉවත් වෙනවා. සාමන්‍යයෙන් පැයකට ජීවි අජීවී අංශු මිලියනයක් විතර මිනිස් ශරීරයෙන් ඉවත් වෙනවා. මේ නිසා යම් පුද්ගලයෙකු වටා මීටරයක විතර විෂ්කම්භය තියෙන ගෝලාකාර වලාවක් වගේ ඒ අංශු පැතිරිලා තියෙනවා. මේ බව පරීක්ෂණ මගින් ඔප්පු කරගෙන තියෙනවා. මාස්ක් දාගෙන මීටරයක් දුරින් ඉන්න ඕන කොරෝනා තියෙන කාලේ විතරක් නෙමෙයි.

ක්ෂුද්‍ර ජීවි අජීවී අංශුවලින් මුළුමනින්ම වගේ තොර විද්‍යාගාර පරිසර කෘත්‍රිමව නිර්මාණය කරන්න පුළුවන්. මේවා හඳුන්වන්නේ Clean Room කියලා. ඒවගේ පරිසරයකදී සාමන්‍ය ඇඳුම් පැළඳුම්, උපකරණ ආදිය භාවිත කෙරෙන්නේ නැහැ. ඒ ඒවගේ දේවල්වලින් අංශු පිටවීමක් වන නිසා. උදාහරණයක් විදිහට ඒ පරිසරවල භාවිත කරන්න විශේෂ වුණු පැන්සල් පවා තියෙනවා. මිනිසුන් පවා ඇතුළු විය යුත්තේ නැනෝ තාක්ෂණයෙන් නිර්මාණය කළ අංශු පිට නොවන, සම්පුර්ණ ශරීරයම ආවරණය වන විදිහේ ඇඳුම් ඇඳගෙනයි. ඒවගේ පරිසරයකට සාමාන්‍ය විදිහට පුද්ගලයෙක් පැමිණුනොත් ඔහු පසුව හඳුනාගන්න ඇඟිලි සලකුණු පරික්ෂා කිරීමක් අවශ්‍යවෙන්නේ නැහැ. මොකද ඔහුගේ ශරීරයෙන් පිටවුණු මැරුණු සෛල කොටස්වල DNA පරීක්ෂාවකින් එය කරගැනීමට පුළුවන් නිසා. Clean Room නොවන පරිසර තත්ත්වවලදී වුණත් මේ වැඩේ කරන්න පුළුවන්. හැබැයි ටිකක් සංකීර්ණයි. මොකද අංශු වෙන් කරලා හඳුනාගන්න අසීරුයි නේ.

clean room
Clean Room පර්යේෂණාගාරයක ඇතුළත- cleanroom-industries.com

 

 

 

 

 

 

 

 

 

 

නුදුරු අනාගතයේදී අපරාධ පරීක්ෂණ සඳහාත් මේ ක්‍රමය භාවිත කරන්න ඉඩ තියෙනවා. ඒකෙන් අපරාධය කරපු පුද්ගලයා කවුද කියන එක විතරක් නෙමෙයි ඇඳන් හිටිය ඇඳුම මොකක්ද, කරමින් හිටියේ මොකක්ද, ඔහු ආවේ කොහේ ඉඳන්ද, කොපමණ වෙලා අදාළ තැන හිටියද වගේ දේවල් CCTV එකකින් බැලුවා වගේ කියන්න පුළුවන්. ඒ දුවිලිවල බහුතරයක් අඩංගු වෙන්නේ මැරුණු සමේ කොටස් වුණාට අපි භාවිත කරන සෑම දෙයකින්ම පාහේ ක්ෂුද්‍ර අංශු මුදාහැරෙන නිසා.

කවරයේ පින්තුරය: වායුගෝලයේ සැරිසැරිය හැකි ඉතා කුඩා අංශු දුවිලියි (cleanlivingrvpark.com)

මූලාශ්‍ර:

livescience.com

nerdist.com

sciencefocus.com

sciencenetlinks.com

House Dust Biology for Allergists - J. E. M. H. van Bronswijk

Acarologists and Mycologists - J. E. M. H. van Bronswijk

Related Articles