සතුන් නොමරා මස් කමු

මිනිසා සර්ව භක්ෂකයෙක්. සාමාන්‍යයෙන් මිනිසෙකුගේ ආහාර වේලට මාංශමය ආහාර හා ශාක ආහාර යන දෙකම ඇතුලත් වෙනවා. ශිෂ්ටාචාර හා ආගම් වල දියුණුවීමත් සමඟ අතීතයේ බොහෝ විට දඩයමෙන් දිවි සරිකරගත් මිනිසා භෝග වගා කරමින් ආහාර සපයාගන්නට වුණා. ආගමික හා දාර්ශනික මතවාද හා පිළිපැදීම් වලට අනුව වර්තමානය විට සැළකිය යුතු ප්‍රජාවක් සම්පූර්ණයෙන් මාංශමය ආහාර වලින් වැලකී සිටිනවා. බොහෝ විට මෙය සිදු කෙරෙන්නේ සර්ව භක්ෂක මිනිසාගේ මාංශයට ඇති රුචිය අඩු වීමටත් වඩා සත්ත්ව අවිහිංසාව මූලික කරගෙනයි.

බොහෝ අය විවිධ රෝගාබාධ වලින් වැලකීමටත් මාංශ අනුභවයෙන් වලකිනවා. මේ අතර තවත් සැළකිය යුතු පිරිසක් සත්ව අවිහිංසාවට ඉතා කැමති වුණත් සර්ව භක්ෂකයෙක් වීම නිසා මාංශ අනුභවයේ යෙදෙනවා. මොවුන්ට සතුන් නොමරා මාංශ පරිභෝජනය කරන්න ලැබුණොත්? ඔවුන් ඉතා සතුටු වේවි. සෑම වසරකම මස් සඳහා ලොවපුරා සතුන් බිලියන 56ක් දෙනා මරා දැමෙනවා.. මේ නිසා විද්‍යාඥයින් කාලයක සිටම කෘත්‍රිම ලෙස මාංශ නිෂ්පාදනය කිරීම සඳහා උත්සාහ කළා . වර්තමානය වන විට ඔවුනට සාර්ථක ප්‍රතිඵල ලැබී තිබෙනවා.

සෑම වසරකම මස් සඳහා ලොවපුරා සතුන් බිලියන 56ක් දෙනා මරා දැමෙනවා (dailymail.co.uk)

කෘත්‍රිම මාංශ නිෂ්පාදනයට අඩිතාලම

විද්‍යාගාරයක් තුළ කෘත්‍රිම ක්‍රම යොදාගනිමින් පරිභෝජනය සඳහා මාංශ නිෂ්පාදනයට ඇමරිකානු ආහාර හා ඖෂධ පරිපාලන තන්ත්‍රයෙන් 1995 වසරේදී අවසර ලැබෙනවා. නෙදර්ලන්ත ජාතික විද්‍යාඥයෙක් වන විලෙම් වැන් එලෙන් හට 1999 වසරේදී කෘතිමව නිපදවන ලද මාංශ සම්බන්ධයෙන් පේටන්ට් බලපත්‍රය ලැබෙනවා. මෙසේ ඉතා සීඝ්‍ර ලෙස සංවර්ධනය වූ කෘත්‍රිම මාංශ නිෂ්පාදනය 2013 වසරේදී තවත් යෝධ පියවරක් තබනවා. ඒ ලොව ප්‍රථම කෘත්‍රිමව නිෂ්පාදිත මාංශ අඩංගු බර්ගරය ලන්ඩන් නුවරදී සාමාන්‍ය ජනයාට රස බැලීමට ලබා දෙමිනුයි. මේ සඳහා ඇමෙරිකානු ඩොලර් 325,000 ක් වියදම්ව තිබූ අතර ව්‍යුහයෙන් සෑම අතින්ම සාමාන්‍ය මාංශ වලට සමානව තිබුණා. එහෙත් අඩු මේද ප්‍රමාණය නිසා රසයේ හා සුවඳේ යම් අඩු වීමක් අත්දකින්නට තිබුණා.

කෘත්‍රිමව තනන ලද  මාංශ අන්තර්ගත බර්ගරයක් (www.bbc.com)

විද්‍යාගාරය තුල කෘත්‍රිම මාංශ නිශ්පාදන ක්‍රියාවලිය

ඉතාම සංකීර්ණ ක්‍රියාවලීන් වල ප්‍රතිඵලයක් හැටියට ජනනය වන හා විකසනය වන සත්ත්ව ශරීරයකට අයත් පටකයක් කෘත්‍රිමව නිෂ්පාදනය කිරීම ඉතාම අසීරු කාර්යයක්. විශේෂයෙන් සොබාදහමේ හාස්කමක් වන සත්ත්ව ශරීර වල පටක සැකසී තිබෙන්නේ ඉතාම සියුම් සෛල, ස්නායු, රුධිර වාහිනී, ඛණ්ඩරා වැනි දේ වල එකතුවකින්. දැනටත් පර්යේෂණ මට්ටමේ තිබෙන කෘත්‍රීම මාංශ පටක නිෂ්පාදනය සඳහා විද්‍යාඥයින් මේ වන විට භාවිතා කරන්නේ සත්ත්ව ශරීර වල දක්නට ලැබෙන පියවි සෛලයි (Stem Cells). මේවා සතුන්ට කිසිදු වේදනාවක් ගෙන නොදෙමින් ඔවුන්ගෙන් ලබාගත හැකි අතර මේ සෛල කිසිදු විශේෂිත කාර්යයක් සඳහා විකසනය හෝ විභේදනය වී නැති ඒවායි. මේවා ඉතා ඉක්මනින් ගුණනය වෙනවා. මේවා යොදා ගැනීමේ අවාසියක් වන්නේ ඒවා විකසනය  වූ පසු කුමන ආකාරයේ පටකයක් සෑදීම කෙරෙහි විභේදනය වේදැයි නිසි ලෙස කීමට නොහැකි වීමයි. මෙයට විසඳුමක් ලෙස වර්තමානය වන විට හොඳින් විකසනය වූ මාංශ පේශි සෛල යොදා ගැනීමට විද්‍යාඥයින් යුහුසුළු වුණත් ඒවා ඉක්මණින් ගුණනය නොවීම නිසා මයෝබ්ලාස්ට (Myoblast) සෛල වැනි අතරමැදි විකසනයක් සහිත සෛල යොදා ගැනීමේ නවතම ප්‍රවණතාවයක් ඇති වී තිබෙනවා.

මයොබ්ලාස්ට සෛල විකසනය (www.frontiersin.org)

වර්ධක මාධ්‍යය ලෙස හැකිතාක් වියදම අඩු හා කාර්‍යක්ෂම මාධ්‍යයක් යොදා ගැනීමට විද්‍යාඥයින් උනන්දු වෙනවා. මේ සඳහා සත්ත්ව රුධිරය වැනි දෑ යොදා ගත නොහැක්කේ කෘත්‍රීමව නිපදවන මාංශ වල ඒවා ජීර්ණයට අවශ්‍ය එන්සයිම නොමැති නිසායි. සත්ත්ව ශරීරයක් තුළ මාංශ වර්ධනයට අවශ්‍ය පෝෂක ශරීරය තුළම නිපදවා හෝ පරිවර්ථනයකට භාජනය කර අදාල මාංශ පේශියට ලබා දෙන අතර මෙසේ විද්‍යාගාර තුළ නිපදවන මාංශ වලට කෙලින්ම ඒවා නිසි වේලාවට ලබා දිය යුතු වෙනවා.

(wired.com)

සාමාන්‍ය සත්ත්ව ශරීරයක මාංශ කොටස් වර්ධනය වීමට ආධාරක ලෙස අස්ථි හා කාටිලේජ වැනි දෘඪ හා අර්ධ දෘඪ ව්‍යුහ පවතිනවා. සත්ත්ව ශරීරයකින් පිට මාංශ පේශියක් මෙසේ වර්ධනය කිරීමටනම් ඒ සඳහා ආධාරකයක්ද සැපයිය යුතු වෙනවා. මාංශ පේෂි වර්ධනය වීම උත්තේජනය වීමට විටින් විට යම් ඇදීමක් හෝ ඉහිල් වීමක් අවශ්‍ය බැවින් මේ ආධාරකය විටින් විට සුළු චලන දක්වන්නක් විය යුතුයි. මේ සඳහා ඇල්ජිනේට්, කිටොසාන් හෝ කොලැජන් වලින් සාදන ලද ආධාරකයක් උපයෝගී කරගන්නා අතර විටින් විට සපයන උත්තේජන වලට සංවේදී වී සුළු වෙනස්කම් සිදුවන ලෙස එය සාදනු ලබනවා. මේවායේ පිහිටීම් වල වෙනස් වීම ඇති කරන්නේ විටින් විට මාධ්‍යයයේ උෂ්ණත්වය හා පී.එච් අගයන් වෙනස් කිරීම මඟින්. විවිධ ස්ථර සහිත මාංශ නිෂ්පාදනයේදී ආහාරයට ගත හැකි තුනී පටල, ස්ථර දෙකක් මැද්දට තබා ඒවා එකිනෙක සම්බන්ධ කරනවා.

ඇල්ජිනේට් වලින් තැනූ ආධාරක (researchgate.net)

ඉහත සඳහන් සියළුම දේ වලට අමතරව ඒ ඒ ද්‍රව්‍ය එකිනෙක ප්‍රතික්‍රියා කරවීම සඳහා ජෛව ප්‍රතිකාරකයක් අවශ්‍ය වෙනවා. කෘතිමව මාංශ නිෂ්පාදන කාර්යය වඩාත් සංකීර්ණ වෙන්නේ නිකන්ම සෛල ගොඩකට වඩා අවසානයේ ලැබෙන මාංශ පේශීයේ ලොකු කුඩා තන්තුත්, කොලැජන් හා ඉලාස්ටින් වලින් සෑදුණු සම්බන්ධක පටකත්, මේද සෛල වැනි සත්ත්ව මාංශ පේශියක අඩංගු සි‍යලුම අංගෝපාංග අන්තර්ගත විය යුතු නිසායි.

වගා කරන ලද හෙවත් විද්‍යාගාරයේ නිපදවන මාංශ වල වාසි හා අවාසි

වර්තමානය වන විට සත්ත්ව මාංශයට බොහෝ දුරට සමාන මාංශ විද්‍යාගාරයේ නිපදවීමට විද්‍යාඥයින් ගත් උත්සාහයන් සාර්ථකව තිබුණත් තවමත් මහා පරිමාණයෙන් මේ මාංශ වෙළඳපොළට නිකුත් කරවන්නට හැකි තත්වයට ගෙන එන්නට ඔවුන් අපොහොසත් වෙලා තියෙනවා. එයට විවිධ හේතු බලපා තිබෙනවා. සමස්ථයක් ලෙස ගත් විට කෘතිමව මාංශ වගා කිරීමේ වාසි හා අවාසි තියෙනවා.

මෙහි වාසි ලෙස අනාගතයේදී නවීන තාක්ෂණයත් සමඟ සතුන් ඇති කරනවාට වඩා පහසුවෙන් නිෂ්පාදනය කිරීමට හැකි වීමත්, ඒ සඳහා ගන්න ඉඩ කඩ අඩු වීමත්ගත හැකියි. සත්ත්ව පාලනය වෙනුවෙන් වැය වන ආහාර හා ජලයට වියදමක් දැරීමට සිදු නොවීමත්, අවසානයට ලැබෙන මාංශයේ හා නිෂ්පාදන ක්‍රියාවලියේදී ඉවත ලන ද්‍රව්‍ය අඩු වීමත් නිසා පරිසරයට හා ලෝක ආර්ථිකයට යහපතක් සිදු වෙනවා. වැඩි පිරිසිදු බවත්, සතුන් ඝාතනය නොවීමත්, සෞඛ්‍යාරක්ෂිත ලෙස සැකසිය හැකි බවත් කෘතීම මාංශ නිෂ්පාදනයේදී හා පරිභෝජනයෙදී ලැබෙන අමතර වාසි වෙනවා..

කෘත්‍රිමව තනන ලද මාංශ නිසා අනාගතයේදී ලොව පුරා සත්ත්ව ජීවිත ආරක්ෂා වනු ඇති (awionline.org)

කෘත්‍රිමව නිපදවෙන මාංශ වර්තමාන තාක්ෂණය යොදාගෙන කිරීමේදී දැරිය යුතු වියදම තවමත් අධික වීමත්, නවීන උපකරණ හා උසස් විශේෂඥ ඥානයක් අවශ්‍ය වීමත්, සුළු ලෙස රසයෙන් අඩු වීමත් මේ ක්‍රමයේ ප්‍රධාන අවාසි වෙනවා. මීට අමතරව තවමත් පැරැයීම් කළ නොහැකි රෝග ඇති වීමේ අවදානමත්  බැහැර කළ නොහැකි අවාසි තත්වයක්

වර්තමානය වන විට මේ සතුන් නොමරා මස් කෑම හෙවත් කෘත්‍රිම මාංශ වගාව  සමාජයේ ජනප්‍රිය වෙමින් තිබෙනවා. එහෙත් තවමත් ඒවා පවතින්නේ පරීක්ෂණ මට්ටමේ. අනාගතයේ සත්ත්ව අවිහිංසාවාදී මිනිස් ප්‍රජාවක් බිහි කිරීමේ වස් තැබූ යොධ පියවරක් ලෙස කෘතිමව මාංශ නිෂ්පාදනයට මිනිසා යොමු වීම ගත හැකියි.

කවරයේ පින්තූරය  – nbcnews.com

Related Articles