මිනිස් පිටපත් සැකසිය හැකි ක්ලෝනීකරණය – ආචාර විද්‍යාත්මක ගැටලු

ක්ලෝනීකරණය යනු?

කිසියම් ශාකයක හෝ සත්ත්වයෙකුගේ ජාන පිටපත් කර තවත් එවැනිම ශාකයක් හෝ සත්ත්වයෙක් බිහි කිරීම ක්ලෝනීකරණය ලෙස හැඳින්වේ. මෙවැනි පිටපත් පෙනුමෙන් සර්ව සමානය. ඔබ සැබෑ ලෝකය තුළ පෙනුමෙන් සමාන පුද්ගලයන් දැක තිබෙන්නේද? ඔබට එකවරම ඔබ දන්නා පෙනුමෙන් සමාන නිවුන් සොයුරන් සිහිපත් වනු ඇත. ක්ලෝනයක් යනු කුමක්දැයි හඳුනා ගැනීමට එය සරල උදාහරණයක් වුවද නිවැරදි උදාහරණයක් නොවේ. මන්දයත් ඔබට බැලූ බැල්මට යම් සමානකමක් පෙනුන ද නිවුන් සොයුරන් අතර පවා වෙනස්කම් පවතී. ඔවුන් පෙනුමෙන් සර්වසම නොවේ. මන්දයත් ඔවුන්ට පිහිටන්නේ වෙනස් ජාන සංයුතීන් වන බැවිනි. නමුත් නූතන වෛද්‍ය විද්‍යාවේ දියුණුව සමඟ ඔබේ පෙනුමට සර්වසම වන පිටපතක්, එනම් තවත් ඔබ වැනිම අයෙකු බිහි කළ හැකි බව ඔබ දන්නෙහිද?

ක්ලෝනීකරණය ක්‍රම තුනකි.

  1. DNA Cloning
  2. Reproductive Cloning
  3. Therapeutic Cloning

ක්ලෝනීකරණ සිහිනය සැබෑ වීම

ක්ලෝන නිර්මාණය කිරීම පිළිබඳ පර්යේෂණයන්හි සමාරම්භය වර්ෂ 1800 තරම් ඈතට දිව යයි. ප්‍රථමයෙන්ම, Hans Adolf Eduard Driesch නමැති ජර්මානු ජාතික ජීව විද්‍යාඥයා, සත්ත්ව ක්ලෝන සැකසීම පිළිබඳ පර්යේෂණ දියත් කළේය. Robert Brigs නමැති ඇමරිකානු විද්‍යාඥයා වර්ෂ 1952 දී ගෙඹි ක්ලෝනයක් නිර්මාණය කළ අතර මෙකී පර්යේෂණයන්හි සාර්ථකභාවය, සෙසු පර්යේෂකයන්ව ද ක්ලෝනීකරණය විෂයෙහි ආකර්ෂණය කර ගැනීමට සමත් විය.

විද්‍යාඥයන්ගේ අවධානය මීළඟට යොමු වන්නේ ක්ෂීරපායි සතුන් ක්ලෝනීකරණය කිරීම විෂයෙහිය. ඒ අනුව, අසාර්ථක උත්සාහන් 277ක් අවසානයේ සියල්ලන්ගේ බලාපොරොත්තු නැවත වරක් දල්වමින් ඩොලී නම් බැටලු ක්ලෝනය වර්ෂ 1996 ජූලි 5වන දින බිහි කර ගැනීමට විද්‍යාඥයන් සමත් විය. ඉන් අනතුරුව කුමුලිනා නමැති මූලික ධේනුවක් (මීයෙකු) 1997 ඔක්තෝම්බර් මස 3 වන දින බිහි කරගන්නා ලද අතර කුමුලිනාගෙන් පිටපත් 50ක් සකස් කිරීම ද පසුව සිදු විය.

ක්ලෝනීකරණය හරහා සම්පූර්ණ සත්ත්වයන් බිහි කරගැනීම. (SlidePlayer)

ඩොලී (inpe.br)

ක්ලෝනීකරණය හරහා ඉස්මතු වන ආචාර විද්‍යාත්මක ගැටලු…

  • ජාන විකෘතිතා හේතුවෙන් සෞඛ්‍ය අවදානම් සහිත ජීවීන් බිහිවිය හැකිවීම.

ක්ලෝනීකරණය මෙතෙක් සීමා වී තිබෙන්නේ ශාකවලට හා සත්ත්වයන්ට පමණි. එසේ සත්ත්වයන් හෝ ශාක බිහි කිරීමේදී ඇතැම් විට විවිධ දෝෂ හේතුවෙන් පර්යේෂණ අසාර්ථක වී විනාශකාරී නිමැවුම් බිහි වීමේ අවදානමක් ද පවතින බව හඳුනාගෙන ඇත. එමෙන්ම යම් හෙයකින් අසාර්ථක ජීවී පිටපත් බිහි වුවහොත් ඔවුනට විද්‍යාගාර තුළදී අවසන් ගමන් යාමට සිදුවීම ද බොහෝ සෙයින් විවේචනයට බඳුන් වන තවත් කරුණකි. මේ වන විට ජපන් විද්‍යාඥයන් ක්ලෝනීකරණය කළ ඌරන්ගේ සිරුරු තුළ මිනිස් අවයව වැඩෙන්නට සැලැස්වීම පිළිබඳව පර්යේෂණ පවත්වමින් සිටී. එය මිනිස් අවයව බද්ධ කිරීම් පිළිබඳ ගැටලුවට විසඳුමක් වුවද සත්ත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින්නන් වෙතින් ප්‍රශ්නයට භාජනය වන කරුණකි.

මිනිස් ක්ලෝන නිර්මාණය කිරීම පිළිබඳ අර්බුදය ද මෙහිදී සලකා බැලිය යුතුය. වයස අවුරුදු 30ක පුද්ගලයෙකුගේ ජාන යොදාගනිමින් ළදරු ක්ලෝනයක් නිර්මාණය කළහොත් අදාළ ළදරුවා තුළ පවතින්නේ අවුරුදු 30ක පුද්ගලයෙකුගේ ජාන වන හෙයින් එහිදී අදාළ ක්ලෝනය බරපතල ලෙස සෞඛ්‍ය ගැටලු සහිත, අසාමාන්‍ය තත්ත්වයන් සහිත විකෘති වූවක් වීමේ අවදානමක් පවතී. එසේ වුවහොත් එකී මිනිස් ජීවියා විනාශ කරන්නේද? සාර්ථක ක්ලෝනයක් නිර්මාණය කිරීමට පෙර, එසේ අසාර්ථක වන ක්ලෝන කීයක් විනාශ කිරීමට සිදුවනු ඇතිද? මෙකී ආචාර විද්‍යාත්මක ගැටලු, මිනිස් ක්ලෝන නිර්මාණයට ඉඩදීම වළක්වාලයි.

DNA (Buzzle)

  • ක්ලෝනයන්හි මානසික සෞඛ්‍යය/ හැඟීම් සහ අයිතීන් අවදානමක

ලොව ප්‍රබල රටවල ක්‍රියාත්මක වන රක්ෂණ ආයතන විසින් මිනිස් ක්ලෝන නිපදවීම විෂයෙහි අවසර ඉල්ලීම් සිදු කර ඇත. තම ආයතනයන්හි ජීවිත ආරක්ෂණය යටතේ රක්ෂණය වී සිටින පුද්ගලයන්ට විවිධ හේතූන් මත සිදුවන ශාරීරික හානි ප්‍රතිපූරණය කිරීම සඳහා ඔවුන්ගේම ක්ලෝනයන් නිපදවා ඒවායෙහි අවයව යොදා ගැනීම මෙම ආයතනයන්හි එක් අපේක්ෂාවකි.

නමුත් මේ සඳහා ඉඩ ලබා දීම මෙතෙක් සිදු වී නැත. මිනිස් ක්ලෝනයන් කර්මාන්තශාලා තුළ බිහි කර ඔවුන් ඒවායෙහි රඳවා තබා ගැනීම මානව හිමිකම් හා ගැටෙන තත්ත්වයකි. මිනිස් ක්ලෝනයක්, පෙනුමින් මුල් පුද්ගලයාට සමාන වුවද ඔහු මුල් පුද්ගලයාගෙන් වෙනස් වූ වෙනමම නව ජීවියෙකි. ශාරීරිකව සමාන ලක්ෂණ දිස් වුවද මුල් පුද්ගලයාගේ සහ ක්ලෝනයේ මානසික ස්වභාවයන් සමාන වන බවට විද්‍යාව මගින් තහවුරු කර නොමැත. ඒ අනුව මිනිස් ක්ලෝනයක් යනු කෘතිමව නිපදවූ තවත් මිනිසෙකි. මානව හිමිකම් පිළිබඳ අයිතිය ඉල්ලා සිටිය හැකි තැනැත්තෙකි. මෙසේ මිනිසුන් කර්මාන්තශාලා තුළ නිෂ්පාදනයට ලක්වීම සහ ඔවුන්ව ඒවායේ ගාල් කර තබා ගනිමින් ඔවුන්ගේ අවයව ලබාගැනීම ආචාර විද්‍යාත්මක ගැටලු ඉස්මතු කරයි.

ජීවිත ආරක්ෂණය සිදු කර තිබෙන අවස්ථාවක අදාළ පුද්ගලයා මියගියහොත් ඒ වෙනුවට ඔහුගේ භූමිකාව රංගනය සඳහා අවස්ථාව හා වගකීම ඔහුගේ ක්ලෝනයට පැවරිය යුතුද යන ගැටලුව, බලධාරීන් හමුවේ පැන නැගී ඇත. ක්ලෝනය මුල් පුද්ගලයාම නොවීමත්, ක්ලෝනය මගින් හානි ප්‍රතිපූරණයේ පවත්නා ආචාර විද්‍යාත්මක ගැටලුවත් හේතුවෙන් මෙතෙක් ලොව කිසිදු රාජ්‍යයක් රක්ෂණ සමාගම්හි ඉල්ලීම්වලට සවන් දෙමින් මිනිස් ක්ලෝන නිපදවීම සඳහා අවසර ලබා දී නොමැත.

මිනිස් ක්ලෝනයන් හේතුවෙන් සමාජය තුළ අපරාධයන් සිදු විය හැකි වීමද මිනිස් ක්ලෝන සෑදීම තහනම් කිරීමට හේතුවකි. ක්ලෝනයක් විද්‍යාගාරයක් තුළ බිහිවීම හේතුවෙන් ඔහු මවක් හෝ පියෙක් නොමැති හුදෙකලා ජීවියෙක් බවට පත් වන අතර ඒ අනුව මිනිස් ක්ලෝනයක් සමාජගත කිරීම විශාල අභියෝගයකි. ක්ලෝනයක් සහජයෙන්ම පරීක්ෂණ සඳහා නිපදවන හෙයින් ඉන් අදාළ ක්ලෝනයට විශාල වශයෙන් ශාරීරික හානි සිදු වීමට හැකි අවදානමක් පවතී. එය ද ආචාර විද්‍යාත්මක ගැටලුවක් සේ වෛද්‍ය විද්‍යාව තුළ හඳුනාගනී.

ක්ලොනීකරණයට ලක් වූවන් මානසිකව ගැටලුවලට මුහුණදීම. (CBS News)

මිනිස් ක්ලෝන නිපදවා ඔවුන්ව සෙස්සන්ගේ විනෝදාස්වාද කටයුතු සඳහා යොදවා ගැනීමේ අවදානමක් ද පවතී. මිනිස් ක්ලෝන නිපදවීමේ තවත් අභියෝගයක් වන්නේ ඉන් මව්පියන් සහිත ස්වභාවික මිනිසුන් සහ මව්පියන් රහිත කෘතීම මිනිසුන් යනුවෙන් කාණ්ඩ දෙකක් නිර්මාණය වීමයි. එය මානව සමාජයේ පැවැත්ම අසමතුලිත කරවන ආකාරයේ අවදානමක් සහිත බෙදීමකි.

මිනිස් ක්ලෝනයක් නිපදවීම සඳහා හේතු රහිතව ආයෝජනය කිරීමක් සිදු නොවේ. ආයෝජකයා බලාපොරොත්තු වන්නේ, අදාළ ක්ලෝනය හරහා කිසියම් නිශ්චිත කාර්යයක් කරවා ගැනීමය. ඒ අනුව ක්ලෝනයක් බිහි වන්නේ පැවරුණු කාර්යයක් ඉටු කිරීමටය. එසේ හෙයින් ක්ලෝනයට ස්වාධීනව කටයුතු කිරීමට නොහැක. ක්ලෝනය නිපදවීමේ හේතුව ඔහුගේ ස්වාධීනත්වයට බාධාවක් වේ. ඒ අනුව, මිනිස් ක්ලෝනයට අත්වන්නේ වහල් මිනිසෙකුගේ තත්ත්වයකි. එය ද මිනිස් ක්ලෝන නිපදවීම සඳහා ඉඩ නොදීමට හේතුවකි.

  • තාක්ෂණය අවභාවිත කළහොත් ඉන් මතුවන අවදානම

හිට්ලර් වැනි පුද්ගලයෙකු අතට මෙවන් තාක්ෂණයක් සහ එය භාවිතයට අවසරය ලැබුණහොත් ඉන් සමාජයට වීමට නියමිත විනාශය පිළිබඳව අමුතුවෙන් කිව යුතු නැත.

විකෘතිතා සහිත ජීවීන් බිහිවීමේ අවදානම. (RT.com)

මිනිස් ක්ලෝන සැකසීමට අදාළ නව ලෝක නීති තත්ත්වය

ඇමරිකාව තුළ ගෙන එන ලද Human Cloning Prohibition Act of 2009 හරහා, ෆෙඩරල් අපරාධ නීති සංග්‍රහය සංශෝධනය කරමින් දක්වා සිටින්නේ, මිනිස් ක්ලෝන සැකසීමට අදාළ ඕනෑම ක්‍රියාවක නිරතවීම තහනම් වන බවයි. නමුත් ඉන් වෛද්‍ය පර්යේෂණයන් තහනමට ලක් නොකරන අතර; අවයව, ශාක හා සත්ත්ව ක්ලෝන සැකසීම ද තහනමට ලක් නොකරයි. අදාළ තාක්ෂණය පවතින රටවල්, මිනිස් ක්ලෝන සැකසීම තහනමට ලක් කර ඇත.

කවරයේ පින්තූරය (thelifepile.com)

මූලාශ්‍ර

  • සත්ව සිරුරේ වැඩෙන මිනිස් අවයව, bbc.com
  • Problems of Cloning and Possible Solutions, humanist.de/erik/cloning.html
  • Here are three reasons why we should say no to human cloning, globalchange.com
  • Cloning humans? Biological, ethical, and social considerations, pnas.org
  • Ethical Considerations on Human Cloning, chsjournal.org
  • Human Cloning Ethical Issues, unesco.org
  • Issue Analysis: Human cloning, erlc.com
  • Human Cloning: Brave New Mistake, councilforresponsiblegenetics.org
  • theguardian.com
  • congress.gov
  • cbsnews.com

Related Articles