සූර්යයාට ආසන්නතම ග්‍රහයා, බුධ

අප සෞරග්‍රහමණ්ඩලයේ ඇති ග්‍රහලෝක 8 අතුරින් සූර්යයාට වඩාත් ආසන්නයෙන් පිහිටා ඇති ග්‍රහලොව වන්නේ බුධ යි. මේ පිහිටීම නිසා බුධ ග්‍රහලොවට සුවිශේෂතා රාශියක් ලැබී තිබෙනවා. මෙය සෞරග්‍රහමණ්ඩලයේ අනෙක් ග්‍රහලෝක 7ටම වඩා කෙටි කාලයකින් සූර්යයා වටා පරිභ්‍රමණය වන අතර මේ හේතුවෙන් ඊට ‘පණිවුඩකරු’ වන රෝමානු දේවතාවාගේ නම පටබැඳී තිබෙනවා.

බුධ ග්‍රහලොව පිළිබඳ මිනිසුන් දැනුවත් වී සිටියේ මීට වසර 5,000කට පමණ පෙර සිට යි. හඳුනාගත් දා සිටම මේ ග්‍රහලොව කාගේත් කතාබහට ලක් වුණා.

බුධ පිළිබඳ වූ භෞතික සාධක

බුධ ග්‍රහලොව පිහිටා ඇත්තේ සූර්යයාගේ සිට සැතපුම් 36,000,000ක පමණ දුරකිනු‍යි. මෙය අභ්‍යාවකාශ ඒකක හෙවත් සූර්යයාගේ සිට පෘථිවියට ඇති දුර මෙන් 0.38ක් වෙනවා. කෙටි කක්ෂීය දුර නිසා බුධ දින 88ක් තුළ සූර්යයා වටා එක් පරිභ්‍රමණ වාරයක් සම්පූර්ණ කරනවා. පෘථිවියට වඩා සෑහෙන තරමකින් කුඩා බුධ ග්‍රහලොවෙහි අරය කි.මී 2,440ක් පමණ වෙනවා. මෙය පෘථිවි චන්ද්‍රයාට වඩා මදක් විශාල අගයක්. සෙමෙන් භ්‍රමණය වන මෙහි එක් දිනක් පෘථිවි දින 58.646ක් වෙනවා.

හිරු හා බුධ- astrobites.org

බුධ හට සැලකිය යුතු තරමේ සත්‍ය වායුගෝලයක් පිහිටන්නේ නැහැ. මේ නිසා එයට පෘථිවිය මෙන් තාපය රඳවා තබාගැනීමේ ගුණයක් නැහැ. ඒ හේතුව හා සූර්යයාට ඉතා ආසන්නයෙන් පිහිටීම නිසා මෙහි දිවා කල සෙල්සියස් අංශක 450ක පමණ ඉතා ඉහළ උෂ්ණත්වයකුත්, රාත්‍රී කළ සෙල්සියස් අංශක ඍණ 175ක පමණ ඉතා පහළ උෂ්ණත්වයකුත් අත්දකින්නට පිළිවන්.

සූර්යයාට ආසන්නව පිහිටිය ද අඩු ආනතිය නිසා එහි ධ්‍රැවයන් බොහෝ විට පවතින්නේ සූර්යය රශ්මියෙන් වියුක්තව යි. මේ නිසා ඒවායේ අඩු උෂ්ණත්වයක් පවතින අතර එහි උත්තර ධ්‍රැවයෙහි කුඩා අයිස් වැස්මක් ද පවතින බව 2012 වසරේ දී එහි යවන ලද මැසෙන්ජර් යානය මඟින් සොයාගැණුනා.

බුධ ග්‍රහලොවෙහි කේන්ද්‍රය යකඩ මඟින් සෑදී ඇති අතර කාලයත් සමග එහි උෂ්ණත්වය අඩු වන නිසා කෙමෙන් කෙමෙන් සංකෝචනය වෙමින් පවතිනවා. මීට අමතරව මෙහි යමහල් ක්‍රියාකාරීත්වය ද ඇති බැව් සොයාගෙන තිබෙනවා. බුධ සතුව යම් ආකාරයක චුම්භක ක්ෂේත්‍රයක් ද ඇති බැව් මැරිනර් 10 යානාව මඟින් මෑතකදී සොයාගැණුනා. කෙසේ නමුත් මෙහි ප්‍රභලත්වය පෘථිවි චුම්භක ක්ෂේත්‍රය මෙන් 1%ක් පමණ වෙනවා. බුධ සතුව වායුගෝලයක් ඇතත් එය ඉතා තුනී වන අතර නිතරම පාහේ සූර්යය සුළං වලට ලක් වෙනවා.

බුධ කක්ෂයේ ලක්ෂණ

ලිපියෙහි කලින් දක්වා ඇති පරිදි බුධ දින 88කින් සූර්යයා වටා පරිභ්‍රමණය වෙනවා. මෙහි විශේෂත්වය වන්නේ බුධගේ පරිභ්‍රමණ වේගය පැයට කිලෝමීටර 180,000ක් පමණ වීම යි. මෙය සෞරග්‍රහමණ්ඩලයේ සෙසු ග්‍රහලෝක සියල්ලටම වඩා ඉහළ අගයක් වෙනවා. ඉලිප්සීය කක්ෂයක් වන මෙහි ගමන් කිරීමේ දී බුධ සූර්යයාට කිලෝමීටර මිලියන 47ක් තරම් ආසන්න වන අතර එහිදී වඩාත් දුරින් පිහිටන ලක්ෂයේ දී කි.මී මිලියන 70ක් දුරින් පිහිටනවා. මේ වේගවත් පරිභ්‍රමණය සමග එහි මන්දගාමී භ්‍රමණය සැලකූ විට එහි සූර්යය උදාව අනෙක් ග්‍රහලෝකවලට වඩා වෙනස් ලෙස අත්දකින්නට පිළිවන්. එනම් සාපේක්ෂ චලිතයට අනුව හිරු කිහිප විටක් නගින්නා හා බසින්නා සේ පෙනීම නිසා යි.

2016 වසරේදී බුධ පෘථිවියට සාපේක්ෂව හිරුට ඉදිරියෙන් ගමන් කළා. මෙහිදී එහි වායුගෝලය ඇතුළු තවත් කරුණු රාශියක් පිළිබඳ අධ්‍යනය කිරීමේ අවස්ථාව විද්‍යාඥයින්ට හිමිවුණා.

ව්‍යුහය හා සැකැස්ම

පෘථිවියට සාපේක්ෂව බුධගේ ව්‍යුහය- NASA/Johns Hopkins Univ. Appl. Phys. Lab./Carnegie Inst. Washington

බුධගේ ව්‍යුහය සැලකීමේ දී එය පෘථිවිය මෙන්ම යකඩ හරයක් සහිත එකක් වෙනවා. එහි යකඩ හරය කි.මී 3,600 සිට 3,8000 දක්වා පළලකින් යුක්තව නිමැවී ඇති බැව් සැලකෙන අතර පිටතින් පිහිටා ඇති, ප්‍රධාන වශයෙන් සිලිකේටවලින් නිමැවී ඇති පිටත කබොල කි.මී 500 සිට 600 දක්වා ගැඹුරකින් යුක්ත වෙනවා.

බුධ සතුව ඇති නොගිනිය හැකි තරම තුනී වායුගෝලය එහි රැඳී පවතින්නේ එය සතු පෘථිවියට සාපේක්ෂව දුර්වල ගුරුත්වාකර්ෂණ බලය නිසා යි. එහි පරිමාව අනුව 42%ක් ඔක්සිජන් ද, 29%ක් සෝඩියම්, 0.5% පොටෑසියම් අයන සහිත සංයෝග ද පවතින අතර අංශුමාත්‍රික ලෙස ආගන්, කාබන් ඩයොක්සයිඩ්, ජල වාශ්ප, නයිට්‍රජන්, සෙනෝන්, ක්‍රිප්ටන් හා නියොන් වැනි වායූන් වර්ග ද පවතිනවා. කෙස් නමුත් සමස්ථයක් ලෙස සැලකීමේදී රික්තකයකට ආසන්න තත්ත්ව මෙම ආයුගෝලය නිරූපණය කරන අතර මෙහි ඇති ඔක්සිජන් ප්‍රමාණය කිසිසේත්ම ජීවයක් සම්භවය වීමට ප්‍රමාණවත් වන්නේ නැහැ. සූර්යයාට ආසන්න නිසා එහි පවතින දැඩි උෂ්ණත්වයත්, සූර්යය විකිරණවලින් ආරක්ෂා වීම සඳහා යාන්ත්‍රණ නොදැරීමත් නිසා මෙහි ජීවයක් පැවතීම තව දුරටත් උගහට වෙනවා.

බුධ ගවේෂණය කිරීම හා අධ්‍යයනයන්

මිනිසා විසින් බුධ ග්‍රහලොව වෙත යවන ලද ප්‍රථම යානය වන්නේ මැරිනර් 10 යානය යි. එය බුධගේ මතුපිටෙන් 45%ක පමණ ප්‍රමාණයක් අධ්‍යයනය කළ අතර එහි චුම්භක ක්ෂේත්‍රය පිළිබඳව ද සොයාගත්තා. දෙවනුව එහි ළඟා වූ යානාව වන්නේ මැසෙන්ජර් ඕබිටර් යානාව යි. 2011 වසරේ මාර්තු මස එහි ළඟා වූ එම යානය බුධ ග්‍රහලෝව වටා කක්ෂගත වුණා. 2015 වසර වන තෙක් පෘථිවියට බුධ පිළිබඳව තොරතුරු රැසක් ලබාදුන් එය ඉන්ධන අවසන් වීම හේතුවෙන් එම වසරේ අප්‍රේල් මස 30 වන දා බුධ මතට කඩාවැටුණා.

මැසෙන්ජර් යානය- ESA

2012 වරේදී විද්‍යාඥයින් විසින් බුධගෙන් ගැලවී ආවේයැ යි සැක කෙරෙන ග්‍රාහක කැබලි කිහිපයක් සොයාගත්තා. 2016 වසරේ දී ප්‍රථම වරට බුධ පිළිබඳව ඩිජිටල් තාක්ෂණය යොදාගනිමින් සම්පූර්ණ අධ්‍යයනයක් සිදුවූ අතර ඊට මැසෙන්ජර් යානය මඟින් ලබාදුන් ඡායාරූප 10,000කට වැඩි ප්‍රමාණයක් යොදාගැණුනා. මෙහිදී බුධගේ මතුපිට කඳු හා ආවට හඳුනාගැනීම සිදුවූ අතර මෙහිදී එහි උස්ම ස්ථානය සාමාන්‍ය බිම් මට්ටමේ සිට කි.මී 4.48ක් උසින් පිහිටන බව ද පහත්ම ස්ථානය කි.මී 5.38ක් පහතින් පිහිටන බව ද සොයාගැණුනා.

බුධ පිළිබඳව තවමත් අනාවරණය නොවූ කරුණු බොහොමයක් පවතිනවා. තාක්ෂණයේ දියුණුව සමග ඒවා ද අනාගතයේ මිනිසුන් හට අනාවරණය වනු ඇති.

Related Articles