සුපිරි මානවයෙක් mRNA එන්නත්වලින් බිහිවේ ද?

මීට යන්තම් වසරකට එපිටදි ලන්ඩනයේ පිහිටි  ‘ඇනා බර්ක්ලි‘ සේවය කරමින් සිටි විද්‍යාගාරය ගැන වැඩිදෙනකු අසා තිබුණේ නැත. ඇය සේවය ලබා දුන් වෛද්‍ය විද්‍යාවේ එකී ක්ෂේත්‍රය ගැන ද දැන සිටියේ ඇය සමඟ එක් ව, එක ම විද්‍යා කවයේ වැඩ කළ අය පමණි.  mRNA එන්නත් නමැති විද්‍යාවේ එම අප්‍රකට ක්ෂේත්‍රය ගැන එකල කිසිවකුත් අසා නොතිබුණේ mRNA  එන්නත් ඒ වන විට හිතලුවක් පමණක් වූ නිසා ය. කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්යවරියක වන ඇනා බර්ක්ලි අද වන විට සමාජ මාධ්‍යවල අනුගාමිකයන් දෙලක්ෂ පනස්තුන්දහසක් හා ටික්ටොක් ඔස්සේ මිලියන 3.7 ක මනාප සහිත, ඉහළ ඉල්ලුමක් ඇති විද්‍යාඥවරියකි.

ඊට හේතුව ලෙස ඇය පෙන්වා දෙන්නේ පරම්පරාවකට ම එක් වරක් පමණක් පැමිණෙන වෛද්‍ය විද්‍යාවේ මෙම නවත ම රැල්ල තරණයට ඇය නිවැරදි මොහොතේ, නිවැරදි ස්ථානයේ සිටීම බව ය. වෛද්‍ය විද්‍යාවේ මෙම පෙරළිකාර යුගය ඇය ඇගේ ම ක්‍රමයට හඳුන්වන්නේ ‘RNA පුනරුදය‘කියා ය. කෝවිඩ් 19 වසංගතයෙන් බැටකෑමේ ආදීනව ලෙස අද වන විට සමස්ත ලෝක ජනගහනයෙන් අඩකටත් වඩා වැඩි පිරිසක් අද වන විට mRNA එන්නත් ගැන අසා තිබෙනවා පමණක් නොව මොඩර්නා හා ෆයිසර් වැනි නම්වලින් ඒවා ලබා ගෙන ද සිටින්නෝ ය.

“ඇත්තට ම මුලදි හුඟක්දෙනා හිතුවේ නැහැ  mRNA එන්නත් සාර්ථක වේවි කියලා. නමුත් අද තත්වය ඊට ඉඳුරා ම වෙනස්. සමස්ත වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රය ම උඩුගං බලා ගෙන යාමට  mRNA තාක්ෂණය සමත්වෙලා තිබෙනවා.“ ඇනා බර්ක්ලි කියයි.

ඇනා බර්ක්ලි
ඇනා බර්ක්ලි  –  www.med.ubc.ca

 

එන්නත් ඉදිරි ගමනේ ආර්.එන්.ඒ. පුනරුදය

වෛද්‍ය විද්‍යාවේ ඉදිරි ගමනේ දිශානතිය මුළුමනින් ම අන් මඟකට යොමු කර තිබෙන mRNA එන්නත්වල කලඑළි බැස්ම නිසාවෙන් මෙතෙක් අපට සිහිනයක් ව තිබූ බොහෝ වෛද්‍ය විද්‍යාත්මක ගැටලුවලට විසඳුම් ලැබෙන බවක් පෙනෙන්නට තිබීම,  mRNA ආගමනය මේ සා විප්ලවයක් නිර්මාණය කිරීමට හේතුව වී තිබේ. එච්.අයි.වී. ඒඩ්ස් හා පිළිකා වැනි සුව කළ නොහැකි ඝණයට වැටෙන රෝගවලට ස්ථිර ප්‍රතිකාරයක් ලෙස පමණක් නොව, සුපිරි ප්‍රතිශක්තියක් මිනිසාට ලබාදීමට පවා මෙම  mRNA එන්නත් සමත් වනු ඇති බවට පළවන අනාවැකි යථාර්ථයෙන් බැහැරවූවක් නොවේ. වෛද්‍ය විද්‍යාවේ ඒ සා පෙරළියක් සිදුකරන්නට යන mRNA එන්නත් නැතහොත් ‘පණිවිඩකාරක රයිබෝනියුක්ලෙයික් අම්ල (messenger ribonucleic acid) යනු සැබවින් ම කවරක්ද ?

DNA අණුවල සිට සෛලවල ප්‍රෝටින තැනිමේ යාන්ත්‍රණය උදෙසා අවසන් ජානමය කේතය හෙවත් පණිවිඩය රැගෙන යන්නේ තනිපට අණුවක් වන mRNA මඟිනි.  mRNA නොවන්නට කිසිදු ප්‍රෝටීනයක් සිරුර තුළ නිෂ්පාදනය නොවන්නට ඉඩ තිබිණි. සාමාන්‍යයෙන් වෛරසයක් අපගේ සිරුරට ඇතුළු වූ විට පළමුවෙන් ම සිදුකරන්නේ RNA මුදාහැරීම මඟින් වෛරස ප්‍රෝටීන අනුරූ තැනීමට අප සිරුරේ සෛල මුළාවෙන් පෙලඹවීමකි. ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය අඩාල වන්නේ මේ නිසා ය.

සැබෑ වෛරසයේ අවතාරයක්

සාම්ප්‍රදායික එන්නතකින් සිදු කරන්නේ ප්‍රතිදේහජනක ලෙස හඳුන්වන, අක්‍රීය කළ වෛරස ප්‍රෝටිනයක් සිරුරට ඇතුළු කිරීමෙන් සජීවී වෛරසය සිරුරට ඇතුළුවූ විට එය හඳුනා ගෙන ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ප්‍රතිශක්තිකරණ පද්ධතිය හැඩගැස්වීමකි. mRNA එන්නත්වල ඇති සුවිශේෂීත්වය වන්නේ එලෙස වෛරස ප්‍රෝටීන හෙවත් ප්‍රතිදේහජනක සිරුරට ඇතුළු කිරිමක් ඉන් සිදු නොවිම ය. ඒ වෙනුවට mRNA එන්නත්වලින් සිදු වන්නේ ප්‍රතිදේහ ජනකයේ ජානමය කේතය mRNA බවට පරිවර්තනය කොට සිරුරට ඇතුළු කිරීමකි. සැබෑ වෛරසයේ අවතාරයක් බඳුවන මෙම කෘත්‍රිම mRNA, සැබෑ ප්‍රතිදේහජනක නිපදවීමට සිරුර පෙලඹවීමෙන් අනතුරු ව, සිරුරේ ම ප්‍රතිශක්තිකරණ යාන්ත්‍රණය එය සිරුරේන් බැහැර කරවීමට කටයුතු කරයි. ඒ යම් දිනෙක සැබෑ වෛරසය සිරුරට ඇතුළු වුවහොත් ඒ හා සටන් කිරීමට සමත් ප්‍රතිදේහ සිරුර තුළ නිපදවීමෙන් අනතුරුව ය.

 වඩාත් ආරක්ෂිතවූ එන්නතක්  –  www.countesthorpe-herald.org

 

සාම්ප්‍රදායික එන්නත්වලට අභියෝගයක්?

සාම්ප්‍රදායික එන්නත්වලට වඩා වඩාත් ආරක්ෂිතවූත්, වඩාත් වේගවත් හා අඩු පිරිවැයක්  mRNA එන්නත් නිපදවීමට හැකිව තිබෙන්නේ සජීවි වෛරසය ඇසුරින් නිපදවෙන සම්ප්‍රදායික එන්නත්වල දී මෙන්, ජෛව ආරක්ෂිත විද්‍යාගාර ඒ සඳහා අවශ්‍ය නොවන නිසා ය. මෙහි ඇති සරල බව කෙතරම්ද යත්, එක් විද්‍යාගාරයක් තුළ අදාළ වෛරසයේ ප්‍රතිදේහජනක ප්‍රෝටීනයේ ජානමය කේතය, පෙළගස්වා එය ලොව පුරා වන ඕනෑම විද්‍යාගාරයකට විද්‍යුත් තැපෑල හරහා යැවීම පමණක් ප්‍රමාණවත් ය. එම පණිවිඩය ලබා ගන්නා ඕනෑම විද්‍යාගාරයකට මිලීලීටර 100 පරීක්ෂණ නළයක් තුළ mRNA එන්නත් මාත්‍රා මිලියනයක් නිපදවීමට හැකි බව පැවසීම විශ්වාසයට ගැනීමට අසීරු තරම් වුවත්, එය සත්‍යයක් බව බ්ලැක්නි පවසයි.    

බ්ලැක්නි අධි වේගයෙන් mRNA එන්නත් නිපදවීමේ හැකියාව ගැන එලෙස පවසන්නේ අතිශයෝක්තියකින් නොවේ. සැබෑ ලෝකයේ දී මෙම කියමනේ සත්‍යතාව ඇස් පනාපිට ම තහවුරු වූයේ කෝවිඩ් 19 වසංගතයේ ආක්‍රමණයත් සමඟ ය. කොටින් ම කෝවිඩ් 19 වසංගතය නොවන්නට mRNA එන්නත් මේ සා ඉක්මනින් කරළියට නොපැමිණෙන්නට බෙහෙවින් ම ඉඩකඩ තිබිණි. 2020 ජනවාරි 10 දා චීනයේ බීජිංහි පිහිටි රෝග මර්දන හා පාලන මධ්‍යස්ථානයේ සේවයේ නියුතු සත්වවාහක රෝග සම්බන්ධ මහාචාර්යවරයකු වන ෂැන්ග් යොන්ග්ෂෙන් කෝවිඩ් 19 වෛරසයේ ගෙනෝමය කේත ගත කොට ප්‍රකාශයට පත් කළේ දිනක් වැනි කෙටි කාලයකදී ය.

ලොව ප්‍රථම mRNA එන්නත

ලෝක සෞඛ්‍ය සංවිධානය කෝවිඩ් 19 රෝගය වසංගතයක් ලෙස 2020 මාර්තු 11 වැනි දා ප්‍රකාශයට පත් කළ අතර ඉන් පස් දිනක් ගතවන විට රෝගයට එරෙහි ව පළමු mRNA එන්නත නිපදවීම සඳහා පර්යේෂණ ආරම්භ වූයේ යොන්ග්ෂෙන් ප්‍රකාශයට පත් කළ ගෙනෝම කේතය ඇසුරිනි. එම වසරේ ම දෙසැම්බර් 20වැනි දා අමෙරිකානු ආහාර හා ඖෂධ පරිපාලන අධිකාරිය ෆයිසර්-බයෝඑන්ටෙක්  එන්නත කෝවිඩ් 19 භාවිතය සඳහා අනුමත කළේ එලෙස අනුමත වු ලොව ප්‍රථම mRNA එන්නත ලෙස ඉතිහාසගත වෙමිනි.

ෆයිසර් එන්නත සායනික පර්යේෂණවලදි  95% ක් වැනි සාර්ථකත්වයක් දැක්වූ පළමු mRNA එන්නත ලෙස ද, එතෙත් මෙතෙක් ඉතිහාසයේ වඩාත් ම වේගයෙන් නිර්මාණය කෙරුණු එන්නත ලෙස ද වාර්තා අතරට එක්වුයේ ය. ඒ එතෙක් එම කිරුළ හෙබවූ මුත්, නිර්මාණය සඳහා වසර හතරක් ගත වූ කම්මුල්ගාය සඳහා වූ එන්නත දෙවැනි තැනට හෙළමිනි.  mRNA තාක්ෂණයෙන් නිපදවුණු ෆයිසර් සේ ම ඊට සමගාමී ව පැමිණි මොඩර්නා එන්නත ද නිර්මාණය සඳහා ගත ව තිබුණේ මාස එකොළහක් වැනි කෙටි කාලයකි.

preparation of mrna vaccines
mRNA  එන්නත් නිෂ්පාදන ක්‍රියාවලියේ අවස්ථාවක් – guardian.com 

 

mRNA එන්නත් විප්ලවයේ මීළඟ පිම්ම 

එන්නත් ක්ෂේත්‍රෙය් මේ සා විප්ලවයක් කළ mRNA  තාක්ෂණය ලොවට හඳුන්වා දීමෙහි ලා පුරෝගාමී වූයේ පෙනිසිල්වේනියා විශ්විවද්‍යාලයේ විද්‍යාඥයන් දෙදෙනකු වන කැට්ලින් කැරිකෝ හා ඩෘ වෙයිස්මාන් ය. සිය අප්‍රතිහත සොයා ගැනීම වෙනුවෙන්, අමෙරිකාව තුළ ජීවවෛද්‍ය විද්‍යා ගවේෂණ උදෙසා පිදෙන අග්‍රගණ්‍ය ම සම්මානය වන ‘ලැස්කාර්’ සම්මානයෙන් ද මෙම වසරේ දී පිදුම් ලැබූ වෙයිස්මාන් හා කැරිකෝ පවා අවධාරණයෙන් යුතු ව පවසන්නේ ඉදිරි වසර පහ තුළදීවත් කරළියට පැමිණෙනු ඇති බවට බලාපොරොත්තු නුවූ  mRNA එන්නත් මේ සා වේගවත් ප්‍රගතියක් ලැබුවේ කොරෝනා වසංගතය නිසා බව ය. කැරිකෝ හා වෙයිස්මාන් පවා 95% ක් වැනි අති සාර්ථකත්වයක්  පළමු mRNA එන්නතෙන් බලාපොරොත්තු වූයේ නැත. පළමු උත්සාහයෙන් ම ඒ සා දැවැන්ත කාර්යක්ෂමතාවක් පෙන්නුම් කළ mRNA එන්නත් මීළඟට පෙළහර පාන්නට සැරසෙන්නේ කවරකාරයේ ප්‍රාතිහාර්යක් සමඟ ද යන්න ගැනවෛද්‍ය විද්‍යඥයින්ගේ අවධානය  දැන් යොමු ව තිබේ.

“ කොරෝනා වසංගතයත් සමඟ දැන් අප මේ අත්දකිමින් ඉන්නේ mRNA  එන්නතේ 1.0 පිටපත නම් ඒකේ 2.0 පිටපතට යන්න පුළුවන් දුර හිතන්නත් බැරි තරම්. සාර්ස් වගේ මාරාන්තික බෝවන රෝගවලට විතරක් නෙවෙයි, එච්.අයි.වී. ඒඩ්ස් හා ප්‍රතිශක්තිකරණ පද්ධතිය ම සිරුර ආක්‍රමණය කිරීම නිසා හට ගන්නා සුව කළ නොහැකි ඝණයට වැටෙන රෝග සඳහාත් විසඳුම් ලබා දෙන්නට මේ  mRNA 2.0 පිටපතට පුළුවන් වෙන්නට ඉඩ තියෙනවා. ඇත්තට ම මේ අදියර වන විට mRNA තාක්ෂණය දිහා තවදුරටත් අපි බලන්නේ එන්නතක් විදිහට පමණක් නොවෙන්නත් ඉඩ තියෙනවා.“

mRNA තාක්ෂණයේ අනාගතය ගැන එලෙස සුබවාදි බලාපොරොත්තු පළ කරන්නේ රොචෙස්ටර් විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා දෙපාර්තමේන්තුවේ සහාකාර මහාචාර්යවරයකු වන ඩ්‍රැගනි ෆූ ය. RNA ප්‍රෝටීන පිළිබඳ පර්යේෂණ සඳහා ඔහුගේ විද්‍යාගාරයට හදිසි ප්‍රතිපාදන ලබාදීමට පවා අමෙරිකානු ජාතික විද්‍යා පදනම පියවර තිබෙන්නේ mRNA විප්ලවයේ අනාගතය ගැන සලකා ය. මෙහිදී mRNA තාක්ෂණය ගැන කතා කිරීමේදි කාටත් අමතකව යන නිසාවෙන්ම ‘කීර්තිය අහිමි වීරයකුගේ‘ තත්ත්වයට පත්ව තිබෙන ලිපිඩ හෙවත් තෛලෝද  අණු ගැන කතා නොකර ම බැරි ය. mRNA අණුව සිරුරට ඇතුළු කිරීමෙන් පසු එය ක්‍රියාකාරී විය යුතු ස්ථානය කරා, විනාශ නොවන අයුරින් ආරක්ෂිත ව ප්‍රවාහනය කරන්නේ මෙම ලිපිඩ අණු මඟිනි. ඒ සඳහා mRNA  අණුව ලිපිඩමය බෝලයක් තුළ බහාලීම සිදුකෙරේ.

mRNA අණු ප්‍රවාහනය කිරිමේ තාක්ෂණය

2018 වසරේදි අනුමැතිය හිමි වූ ලිපිඩ ගෝල ආධාරයෙන්  mRNA අණු ප්‍රවාහනය කිරිමේ තාක්ෂණය පිළිබඳ පර්යේෂණ ඇරඹුණේ ඊටත් බොහෝ කලකට පෙර වුව ද , 2019 වසරේ අග වන විට සිදු වු කොරෝනාවේ ආගමනයත් සමඟ එහි කළඑළි බැස්ම වඩාත් කඩිනම් වු බව පවසන්නේ ඔහායෝ විශ්වවිද්‍යාලයේ ඖෂධවේදය පිළිබඳ මහාචාර්යවරයෙකු වන යිෂු ඩොන්ග් ය. ලිපිඩ ප්‍රවාහන තාක්ෂණය නොතිබෙන්නට mRNA එන්නත් ගැන අපට කිසිදා අසන්නට ඉඩ නොලැබෙන්නට තිබිණි. ලිපිඩමය පරිවහනය හා mRNA තාක්ෂණය යන මේ අලුත් ම සාමාජිකයන් දෙදෙනා ම එකිනෙකට සමගාමී ව, සංයෝජනයක් ලෙස වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයට සම්ප්‍රාප්තවීම ගැන අප ස්තූතිවන්ත විය යුතු ය. එහි තවත් ප්‍රගමන රැසක් ඉදිරියේ දී එළි බසින්නට නියමිත ව තිබේ. නිට්ටාවට සුව කිරිමට සමත් ප්‍රතිකාරයක් තවමත් නැති මාරාන්තික රෝග දෙකක් වන Cystic fibrosis හා multiple sclerosis සඳහා ‘ට්‍රාන්ස්ලේට් බයෝ‘ සමාගම නිර්මාණය කරමින් සිටින  mRNA චිකිත්සාවත්, එච්.අයි.වී. ඒඩ්ස් සඳහා ග්‍රිට්ස්ටෝන් ඔන්කොලොජි හා ගිලියඩ් සයන්සස් යන සමාගම අත්හදා බලමින් සිටින mRNA එන්නතත්, ඇදුම හා දරුණු ඝණයේ පුප්ඵුසීය රෝග සඳහා එත්රිස් හා ඇස්ට්‍රා සෙනෙකා යන සමාගම් නිපදවමින් සිටින  mRNA චිකිත්සාවත් එවැනි වැයම් කිහිපයක් පමණි.

වැඩිදියුණු කළ  mRNA එන්නත් ලබා දීම – bbc.com 

පිළිකාවටත්  mRNA එන්නතක් ලැබේවිද ? 

mRNA එන්නත් තාක්ෂණයේ ආශ්චර්යන් එතෙකින් නිමා වන්නේ නැත. තවත් ප්‍රමුඛ පෙළේ ඖෂධ සමාගම් කිහිපයක්ම mRNA චිකිත්සාව තවත් නවමු ප්‍රවේශයකට යොමු කරමින් සිටින්නේ පිළිකා සඳහා තනි පුද්ගලයන් ඉලක්ක කරගත් එන්නත් නිපදවීමේ උත්සාහයක නියැළෙමිනි. පිළිකා සෛල මත ශරීරයේ සෙසු සෛලවල නොමැති සුවිශේෂි ‘ප්‍රෝටීනමය මතුපිට සලකුණු‘ ඇති අතර, ඒවා ඇසුරින් පිළිකා සෛල හඳුනාගෙන ඒවා විනාශ කිරීමට ප්‍රතිශක්තිකරණ පද්ධතිය පුහුණු කිරීමට හැකි බව බ්ලැක්නි පෙන්වා දෙයි. ඒ හරියට ම වෛරස විනාශ කිරීමට එන්නත් මඟින් සිරුර පුහුණු කරන ආකාරයට ම ය. එක් එක් රෝගියාගේ පිළිකාවට ගැළපෙන ප්‍රෝටීනය තෝරා වෙන්කොට එහි ගෙනෝමය  mRNA බවට පරිවර්තනය කොට, ඒ ඇසුරින් එක් එක් රෝගියට විශේෂිතවූ එන්නත් නිර්මාණය කිරීම සැබවින් ම විස්මයජනක සේ ම අතිශයින් ම සාර්ථක ප්‍රතිඵල ගෙන දෙන්නක් ද වනවාට සැක නැත. 

වෛද්‍ය විද්‍යාවේ මේ සියලු හාස්කම් mRNA 2.0 පිටපත භාවිතයෙන් කරළියට පැමීණිමට නියමිතව තිබෙන ඒවා ය. එසේ නම් නුදුරේදී ම එළිදැකීමට බලාපොරොත්තු වන mRNA 3.0 පිටපතෙන් කවරාකාරයේ ආශ්චර්යයක් විදහා පානු ඇතිද? මහාචාර්ය බ්ලැක්නි පවසන්නේ දැනටමත් වෛද්‍ය විද්‍යාවට අතිශය බැරූරුම් අර්බුදයක් ව තිබෙන ‘ප්‍රතිජීවක ප්‍රතිරෝධිතාවට‘ මුහුණ දීමට සමත් එන්නත් නිර්මාණය කිරීමට ඉන් හැකිවනු ඇති බව ය.

තවමත් මේ සඳහා සායනික පර්යේෂණ ඇරඹී නොතිබුණ ද, පසුගියදා‘ෆ්‍රොන්ටියර්‘ නමැති වෛද්‍ය විද්‍යා ජර්නලය මෙම අදහස පිළිබඳ විග්‍රහයක යෙදී තිබිණි.  මහාචාර්ය ඩොන්ග් mRNA එන්නත් තාක්ෂණය තවත් අලුත් ම යෙදවුමකට ව්‍යුත්පන්න කොට තිබෙන්නේ අඩු වයසක දී හෘදයාබාධ ඇතිවීමට හේතුවන PCK9 නමැති රුධිරගත කොලෙස්ට්‍රොල් මට්ටම ඉහළ දමන ප්‍රෝටීනය ඉලක්ක කර ගනිමිනි. මීයන්  යොදා ගනිමින් කළ පර්යේෂණයක දී  mRNA එන්නත් ඇසුරින් මෙම ප්‍රෝටීනයේ මට්ටම 95% කින් අඩු කිරීමට සමත්වීම මහාචාර්ය ඩොන්ග් දකින්නේ අනාගත වෛද්‍ය විද්‍යාවේ තවත් හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස ය.

‘mRNA එන්නත් කොක්ටේල්‘ පවා නිපදවීමට විද්‍යාඥයන් උත්සාහ දරයි- www.genengnews.com 

 

mRNA එන්නතේ අලුත් ම දිගුව saRNA

mRNA තාක්ෂණයෙන් දැනටමත් විදහා පාමින් සිටින මෙම ප්‍රාතිහාර්යයන් ඇසුරින් ඉඟි කරන්නේ නුදුරේදී ම මිනිසා ලෙඩ රෝගවලින් තොර සුපිරි මානවයකු වන බව ද යන්නට දැන් වෛද්‍ය විද්‍යාව හමුවේ ඇති බලාපොරොත්තු සහගත පැනය යි. දැනටමත්  mRNA තාක්ෂණයේ සීමා මායිම් ඉක්මවා යමින්, එකවර රෝග ගණනාවකට ප්‍රතිශක්තිය ලබාදිය හැකිවන අයුරින් එන්නත් කිහිපයක් මිශ්‍ර කර ‘mRNA එන්නත් කොක්ටේල්‘ පවා නිපදවීමට විද්‍යාඥයන් උත්සාහ දරමින් සිටින බව අමතක කළ නොහැක. මොඩර්නා හා නොවාවැක්ස් යන සමාගම් කෝවිඩ් 19 හා ඉන්ෆ්ලුවෙන්සාව යන රෝග දෙක ම එකවර මැඬලීමට සමත් එන්නතක් දැනටමත් සාර්ථකව අත්හදා බලා අවසන් ය.

වරින් වර බූස්ටර එන්නත් අවශ්‍යවීම හා එන්නතෙන් පසුව තෙදිනක් පමණ ගතවන තෙක් එන්නත ලබා දුන් ස්ථානයේ ඇති වන දැඩි වේදනාව හා කායික අපහසුතාව යන දුර්වලතා මඟ හැරීමට පවා හැකි වන ආකාරයේ වැඩි දියුණු කළ  mRNA එන්නත් පවා මේ වන විට මහාචාර්ය බ්ලැක්නිගේ විද්‍යාගාරය පර්යේෂණ අරඹා තිබේ.

විකල්ප එන්නතේ ඇති විශේෂත්වය

saRNA (self amplifying mRNA) ලෙස හැඳින්වෙන මෙම විකල්ප එන්නතේ ඇති විශේෂත්වය වන්නේ සිරුරට ඇතුළු වීමෙන් පසු තම ගෙනෝම කේතයේ පිටපත් තනාගැනීමට එන්නතට ඇති හැකියාව ය. මේ නිසා සාමාන්‍ය mRNA එන්නතකට වඩා සාපේක්ෂ ව ඉතාම අඩු මාත්‍රාවක්, එනම් සිය ගුණයකින් පමණ අඩු මාත්‍රාවක් භාවිත කිරීමට  saRNA එන්නතකට පුළුවන. පසු-එන්නත් අතුරු ආබාධ අවම කිරීමට ද මෙය හේතුවක් වනු ඇත.       

මහාචාර්ය බ්ලැක්නි පවසන්නේ දැනටමත් mRNA එන්නත් ද අබිබවා, එහි ම දිගුවක් වන  saRNA එන්නත් ඒවායේ සායනික පර්යේෂණ අතින් හා ඒ සඳහා ප්‍රතිපාදන ලැබීම අතින් ඉදිරියට යමින් සිටින බව ය. saRNA හා mRNA එන්නත් අතර වන තරගය ඇය සම කරන්නේ හාවා හා ඉබ්බා අතර පැවති ධාවන තරගයට ය. කෝවිඩ් 19 මැඬලීම සඳහා වන තරගයේ දී mRNA එන්නත් ඉදිරියෙන් ම දිව ගිය ද, අවසානයේ දී ඉබි ගමනින් වුව ද තරගයේ ජය හිමි වනු ඇත්තේ saRNA එන්නත්වලට බව ඇය අනාවැකි පළ කරයි.

කවරයේ ඡායාරූපය-  www.pharmaceutical-technology.com 

මූලාශ්‍ර:

Could mRNA make us superhuman - bbc.com 
New studies find evidence of  Superhuman immunity to Covid 19 in some individuals - wabe.com 

Related Articles