Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජනප්‍රියත්වය තරමටම විවාදයට ලක්වූ GTA: San Andreas

කලකට ඉහත සැන් ඇන්ඩ්‍රියාස් ප්‍රාන්තයේ පිහිටි ලොස් සැන්ටොස් ප්‍රදේශයේ ජීවත් වුණා කාල් ජොන්සන් කියලා පුද්ගලයෙක්. නමුත් අපරාධ කල්ලිවල ක්‍රියා, මත්ද්‍රව්‍ය, සහ දූෂණයෙන් විපතට පත් ප්‍රදේශයක වැසියෙකු ලෙස කාල් ජොන්සන්ට සිද්ධ වෙනවා සැන් ඇන්ඩ්‍රියාස් අතහැරලා වෙනත් ප්‍රදේශයකට සංක්‍රමණය වෙන්න. මෙම පෙදෙසේ ජීවත් වෙන නළු නිළියන් සහ කෝටිපති ව්‍යාපාරිකයන් පවා මේ මැර කල්ලිවලින් බේරිලා ජීවත් වෙන්න උපරිම උත්සාහයක් ගන්නවා.

මෙලෙස පළා යන කාල් ජොන්සන් හෙවත් CJට, 90 දශකයේ මුල් භාගයට අයත් එක්තරා කාලයක නැවත සැන් ඇන්ඩ්‍රියාස් වෙත පැමිණීමට සිදු වෙනවා. නමුත් ඔහු නැවත පැමිණෙන විට ඔහුගේ මව ඝාතනයට ලක්වී තිබූ අතර, ඔහුගේ පවුලේ සාමාජිකයන් ද විසිරී ගොසින්. ඒ වගේම ළමා වියේ පටන් ඔහුත් සමග එකට සිටි මිතුරන් සියල්ලන්ම පාහේ සමාජ විෂමාචාරවලට ගොදුරු වී තිබුණා. නැවත පැමිණි CJ මනුෂ්‍ය ඝාතනයකට හසු කිරීමට දූෂිත පොලිස් නිළධාරීන් කිහිප දෙනෙකු උත්සාහ කරනවා. මේ සියළු කරදර අභියෝග මැද කාල් ජොන්සන්ට තම පවුලේ සාමාජිකයන් බේරාගැනීමට සැන් ඇන්ඩ්‍රියාස් ප්‍රදේශය පුරා සංචාරය කරන්න සිදු වෙනවා. 

ඉහත සිදුවීම් දාමය අපට හමුවෙන්නේ 2004 වර්ෂයේ නිකුත් වූ Grand Theft Auto: San Andreas නම් පරිගණක ක්‍රීඩාව තුළිනු යි. මෙය ක්‍රීඩා කරන කෙනෙකුට මොහොතකට කාල් ජොන්සන් නම් මේ කල්පිත චරිතය තුළට ආරූඪ වෙන්න සිද්ධ වෙනවා. ශ්‍රී ලංකාවේත් යොවුන් ප්‍රජාව අතර මීට දශක එකහමාරකට පමණ පෙර අතිශයින් ජනප්‍රිය වූ මෙම පරිගණක ක්‍රීඩාව, ජනප්‍රියත්වය තරමටම දැඩි දෝෂ දර්ශනයට ලක්වූවක්. එනිසා Grand Theft Auto පරිගණක ක්‍රීඩා මාලාවේ විකාශනය, රසවත් පසුබිම් තොරතුරු, සහ මෙම පරිගණක ක්‍රීඩා මාලාව හරහා සිදුවූ සමාජ බලපෑම් ගැන මෙම ලිපිය හරහා අපි ඔබට ගෙන එනවා.

1997 වර්ෂයේ නිකුත් වූ GTA පරිගණක ක්‍රීඩා මාලාවේ පළමු අදියරේ දර්ශනයක්/home.bt.com

GTA පරිගණක ක්‍රීඩා මාලාවේ විකාශනය සිදු වුණ හැටි

Grand Theft Auto පරිගණක ක්‍රීඩා මාලාවේ ආරම්භය සොයා යෑමේ දී අපට දශක දෙකකට වඩා වැඩි කාලයක් ආපස්සට යන්න සිද්ධ වෙනවා. GTA යන කෙටි නාමයෙන් ප්‍රසිද්ධ වූ මෙම පරිගණක ක්‍රීඩා මාලාවේ ආරම්භය සිදුවන්නේ වර්ෂ 1997 දී යි. එහි පළවෙනි දිගහැරුම ද්විමාන රූප රාමු සහිතව නිකුත් වෙනවා. එය ලැබූ ජනප්‍රියතාවයත් සමග මෙම මාලාවේ දෙවැනි දිගහැරුම “Grand Theft Auto 2” නමින් වර්ෂ 1999 දී නිකුත් වෙනවා. මෙම දෙවෙනි කොටසේත් තාක්ෂණික වශයෙන් නම් පළමු කොටස හා ලොකු වෙනසක් තිබුණේ නැහැ. මෙම පරිගණක ක්‍රීඩා ද්විත්වයේම රූප රාමු ක්‍රීඩා කරන්නාට පෙනෙන්නේ ඉහළ සිට බලන ආකාරයට යි (bird’s eye view). නමුත් මෙහි තෙවන කොටස (Grand Theft Auto 3) 2001 වර්ෂයේ දී නිකුත් වීමත් සමග, මේ පරිගණක ක්‍රීඩාව ක්ෂේත්‍රය තුළ විප්ලවයක් ඇති කිරීමට සමත්වෙනවා. මෙම තෙවන කොටස තුළින් ක්‍රීඩා කරන්නා හට වඩාත් විවෘත​ ලෙස ලෝකය දෙස බැලීමට ඉඩ ලැබුණු අතර, අහසේ සිට පෙනෙන ආකාරයේ දර්ශන තලයක් වෙනුවට පුද්ගලයෙකුගේ උරහිස මත කැමරාවක් සවි කර ඇති ආකාරයට දර්ශන තලය සකසා තිබුණා. ඒ වගේම මෙම තුන්වන දිගහැරුම, මෙම මාලාවේ ත්‍රිමාණ සජීවිකරණය අනුව යමින් ගොඩනැගුණ පළවෙනි අවස්ථාව ද වෙනවා. මෙම පරිගණක ක්‍රීඩා මාලාවේ GTA : Vice city සහ GTA : San Andreas යන කොටස් පිළිවෙලින් 2002 සහ 2004 යන වර්ෂයන්වල නිකුත් වෙන්නේ වඩ වඩාත් තාක්ෂණික වශයෙන් දියුණුවට පත් වෙමින්.

කෙසේ නමුත් මෙම ලිපිය තුළින් මූලික අවධානය යොමු කරන්න උත්සුක වන්නේ, මෙම පරිගණක ක්‍රීඩා මාලාව තුළ වඩාත් ජනාදරයට පත් Grand Theft Auto: San Andreas ලෙස නිකුත්වූ අදියර වෙත යි. GTA : San Andreas කියන්නේ ශ්‍රී ලංකාව තුළත් අතිශයින් ජනප්‍රිය වූ පරිගණක ක්‍රීඩාවක් බව ඔබටත් මතක ඇති. 90 දශකයේ ඉපදුණ තරුණ ප්‍රජාව අතර තම ළමා කාලයේ මතකයන් අතර මෙම පරිගණක ක්‍රිඩාවත් පවතිනවා. පරිගණක ක්‍රීඩාවක් මඟින් අපව නිරන්තරයෙන් කිසියම් වූ මෙහෙයුමක් හෝ අරමුණක් වෙනුවෙන් ‍යොමු කරනවා. නමුත් GTA : San Andreasහි විශේෂත්වය වන්නේ, අපට කැමති නම් මෙහෙයුමක් වෙනුවෙන් ක්‍රීඩා කිරීම හෝ මෙහෙයුමකට සම්බන්ධ නොවී, සැන් ඇන්ඩ්‍රියාස් නම් ප්‍රාන්තය තුළ නිදහසේ සැරිසැරීමට ඇති හැකියාව යි. මෙසේ අරමුණක් නොමැතිව සැන් ඇන්ඩ්‍රියාස්හි සැරිසරන්නට ඇති හැකියාවත් මෙම පරිගණක ක්‍රීඩාවේ ජනප්‍රියත්වය තීව්‍ර කිරීමට හේතු වුණා. එහිදී ඔබට නගරය තුළ නීතිගරුක ලෙස හෝ නීති විරෝධී ලෙස තම අභිමතය පරිදි ක්‍රියා කළ හැකි වෙනවා. එමෙන්ම මෙම පරිගණක ක්‍රීඩාව තුළ ඔබට අත් දකින්න ලැබෙන පසුබිම් තලයන් ද ඉහළ සෞන්දර්යාත්මක බවින් සහ බොහොම සූක්ෂම ලෙස ගොඩනැඟූ ඒවා යි. දියුණු නගරවල සිට කඳුකරය, වනගත ප්‍රදේශයන්, කාන්තාරබද පෙදෙස්, සහ වෙරළාශ්‍රිත පරිසරයන් දක්වා වූ මේ සියළු පාරිසරික වෙනස්වීම් ඔබට සැන් ඇන්ඩ්‍රියාස් තුළ සංචාරය කිරීමේ දී අත්දකින්නට ලැබෙනවා.

ආන්දෝලනාත්මක ඒරියා 51 වැනි ස්ථානයක් කල්පිත සැන් ඇන්ඩ්‍රියාස් ප්‍රාන්තයේත් තිබෙනවා/gtainside.com

සැන් ඇන්ඩ්‍රියාස් නගරය ගොඩනැංවීම සහ එහි සිද්ධීන් පිටුපස රසබර කරුණු බොහෝමයක් තිබෙනවා. ඉතින් ඔබත් මෙම පරිගණක ක්‍රීඩාව වරක් හෝ ක්‍රීඩා කර තිබේ නම්, සැන් ඇන්ඩ්‍රියාස්හි පසුතලවල තිබෙන සෞන්දර්යාත්මක බව සිහියට නඟාගැනීම, මෙම ලිපියේ මින් පසුවට එන කරුණුවල රසවත් බව ඉහළ නැංවීමට ඉවහල් වේවි.

GTA : San Andreas පිළිබඳ රසවත් තොරතුරු කිහිපයක්

GTA: San Andreas පරිගණක ක්‍රීඩාවේ සෑම නගරයක්ම සැබෑ ජීවිත සහ ස්ථාන මත පදනම් වෙලා තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ අනුව සැන් ඇන්ඩ්‍රියාස් සිතියමට අනුව මෙය ක්‍රීඩා කරන්නෙකුට නගර තුනක් හමුවෙනවා. එයින් එක නගරයක් වන ලොස් සැන්ටොස් නිර්මාණය කරලා තියෙන්නේ කැලිෆෝනියාවේ පිහිටි ලොස් ඇන්ජලීස් නගරය පාදක කරගෙන යි. මීට අමතරව ලාස් වෙන්චුරස් සහ සැන් ෆියෙරෝ යන කල්පිත නගර පිළිවෙලින් ඇමරිකාවේ පිහිටි ලාස් වේගස් සහ සැන් ෆ්‍රැන්සිස්කෝ යන නගර ආශ්‍රයෙන් නිර්මාණය කොට තිබෙනවා. ඒ වගේම මෙම පරිගණක ක්‍රීඩාවේ සිටින චරිත සහ මෙහෙයුම්, 1990 කාල වකවානුවේ සත්‍ය වශයෙන්ම ලොස් ඇන්ජලීස් නගරයේ සිදු වුණ අපරාධ සහ අපරාධ සංස්කෘතිය​ පාදක කරගෙන නිර්මාණය කොට තිබෙනවා. මෙම නගර අතරින් සැන් ෆියෙරෝ නිරන්තරයෙන් භූමිකම්පාවලට ලක් වෙන ප්‍රදේශයක් නිසා, එලෙස හානි වූ ලක්ෂණ දර්ශන තලයන්ට ඇතුළත් කොට තිබෙනවා. එසේම එලෙස සිදුවූ හානියක් ගැන මෙම ක්‍රීඩාව ක්‍රීඩා කරන අතරතුරේ දී ප්‍රවෘත්ති වාර්තාවක් ලෙස ද අසන්නට ලැබෙනවා.

GTA : San Andreasහි වැදගත් ස්ථාන බොහෝමයක් තිබෙනවා. එම ස්ථාන අතරින් පාලම් දෙකක් විශේෂිත යි. මෙම ක්‍රීඩාවේ කල්පිත පාලමක් වන “ගාන්ට් පාලම” නිර්මාණය කොට තිබෙන්නේ සැන් ෆ්‍රැන්සිස්කෝහි පිහිටි සුප්‍රසිද්ධ ගෝල්ඩන් ගේට් පාලම පදනම්කොට ගෙන යි. මෙම කල්පිත පාලමේ සියළු විස්තර, එම පාලම අසල පිහිටුවා ඇති පුවරුවක් මාර්ගයෙන් ක්‍රීඩකයා වෙත දැනුම්දීමට ද නිර්මාණකරුවන් කටයුතු යොදා තිබෙනවා. මෙහි තවත් කල්පිත පාලමක් වන “ග’වර් පාලම” ස්කොට්ලන්තයේ එඩින්බරෝ නගරයේ පිහිටි ෆෝත් රෝඩ් පාලමේ ආදර්ශනයක් බව කියවෙනවා.

ගෝල්ඩන් ගේට් පාලම පදනම් කරගෙන සැන් ඇන්ඩ්‍රියාස් හි නිර්මාණය වූ ගාන්ට් පාලම/en.softonic.com

සැන් ඇන්ඩ්‍රියාස් පුරා සංචාරය කරන කෙනෙකුට හමුවන උසම ස්ථානය වන්නේ “චිලියඩ් කන්ද” යි. එම කන්දේ උස මීටර් 800ක් බව සඳහන් වෙනවා. එම කන්දේ මුදුනට යෑම සඳහා දුෂ්කර මාර්ග පද්ධතියක් ද මෙහි නිර්මාණකරුවන් ක්‍රීඩාවට ඇතුළත් කොට තිබෙනවා. මෙම කල්පිත චිලියඩ් කන්ද නිර්මාණය කොට ඇත්තේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටි ඩියාබ්ලෝ කන්ද පාදක කරගෙන බව සඳහන් වෙනවා. ආකර්ශනීයම කාරණය වන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි, ලොව පුරා ආන්දෝලනයට තුඩුදුන් “ඒරියා 51” නමැති රහසිගත ස්ථානය පදනම්කොට ගත් කල්පිත ස්ථානයක් ද සැන් ඇන්ඩ්‍රියාස් තුළ පැවතීම යි. එය අපට හමුවෙන්නේ “ඒරියා 69” නමින්.

මෙම පරිගණක ක්‍රීඩාවේ අපට හමුවන ප්‍රධාන චරිතය වන කාල් ජොන්සන්ගේ හඬකැවීම් ශිල්පියා මෙහි නිෂ්පාදකවරුන්ට හමුවන්නේ අහඹු වාසනාවකින් බව සඳහන් වෙනවා. ක්‍රීඩාවේ පසුබිම් සංගීතය පිළිබඳව ඔවුන් සංගීතවේදියෙකු සමග කතාබහ කරන අතරතුරේ දී “යංග් මේලේ” නම් රැප් ගායක‍යාගේ කටහඬ අහම්බයෙන් මෙහි නිෂ්පාදකවරුන්ට ඇසී තිබෙනවා. ඒ අනුව කාල් ජොන්සන් නම් චරිතයේ හඬ කැවීම් ශිල්පියා ලෙස මෙම රැප් ගායකයා නිතරගයෙන් තේරී තිබෙනවා.

පරිගණක ක්‍රීඩාවක සිටින ප්‍රධාන චරිතයකට නොනැසී පැවතීම සඳහා ආහාර ගැනීමේ අවශ්‍යතාවය ඇතුළත් කළ පළමු ක්‍රීඩාව ලෙස GTA : San Andreas ඉතිහාසගත වෙනවා. මීට අමතරව, ප්‍රධාන චරිතයට ශක්තිය ලබා ගැනීම සඳහා කාය වර්ධනය උදෙසා වූ පහසුකම් නිර්මාණය කළ පළමු අවස්ථාව ලෙස GTA : San Andreas, පරිගණක ක්‍රීඩා ලොවේ සුවිශේෂී ස්ථානයක් ලබා ගන්නවා. 

සැන් ඇන්ඩ්‍රියාස් ප්‍රාන්තයේ උසම ස්ථානය වන චිලියඩ් කන්ද/gta-myths.fandom.com

දෝෂ දර්ශනයට ලක් වූ Grand Theft Auto

සැබෑ ලෝකය තුළ සිදුවන අපරාධයන් සහ අපරාධ කල්ලි කේන්ද්‍රකොට ගෙන ගොඩනැඟූ යථාර්ථවාදී පරිගණක ක්‍රීඩා මාලාවක් ලෙස Grand Theft Auto හැඳින්වෙනවා. එවැනි සමාජ විෂමාචාර ක්‍රියා පරිගණක ක්‍රීඩාවකට එනවිට සමාජය තුළ එය ගැරහුමට පාත්‍ර වීම පුදුමයට කරුණක් නොවෙයි. විශේෂයෙන්ම මෙවැනි පරිගණක ක්‍රීඩා මූලිකවම ජනප්‍රිය වන්නේ නව යොවුන් ප්‍රජාව අතර නිසා, ඔවුන් සංවේදී වන කරුණු බොහෝමයක් සමග ගැටීමට සිදු වෙනවා. Grand Theft Auto ක්‍රීඩා මාලාව ප්‍රචණ්ඩත්වය, මත්ද්‍රව්‍ය භාවිතය, සහ ලිංගිකත්වය පිළිබඳ අන්තර්ගතයන් බහුලව හමුවන ක්‍රීඩා මාලාවක්.

මේ විවාදාත්මක ස්වභාවය වඩ වඩාත් ඉස්මතු වන්නට පටන් ගන්නේ GTA : San Andreas නම් අදියර නිකුත් වීමත් සමග යි. එහි අන්තර්ගත වන ලිංගික ක්‍රියාකාරකම් නිසා මේ පරිගණක ක්‍රීඩාව ඇමරිකානු දේශපාලකයන්ගේ අවධානයට පවා ලක් වුණා. එම දේශපාලකයන් අතර හිලරි ක්ලින්ටන් පවා සිටි බව කියැවෙනවා. මෙම පරිගණක ක්‍රීඩාවේ “Hot cofee mode” නම් අමතර ක්‍රීඩාවක් අන්තර්ගත වූ නිසා මේ විවාදාත්මක ස්වභාවය ඇති වුණා. එක්සත් ජනපදය තුළ පරිගණක ක්‍රීඩා වෙනුවෙන් අළුත් රෙගුලාසීන් හඳුන්වා දීමේ අවශ්‍යතාවක් ද මේ සිදුවීමත් සමග ඉස්මතු වෙනවා. අවසාන ප්‍රතිඵලය වශයෙන් GTA : San Andreas ක්‍රීඩාවේ පිටපත් වෙළඳසැල්වලින් ඉවත් කර ගැනීමට සිදුවූ අතර, 2005 ජූලි මාසයේ දී පරිගණක ක්‍රීඩා වර්ගීකරණය යටතේ මෙම සැන් ඇන්ඩ්‍රියාස් අදියර “වැඩිහිටියන්ට පමණ යි” යන ලේබලයෙන් නැවතත් වෙළඳපොළට නිකුත් වෙනවා. නමුත් එලෙස නැවත විකිණීමේ දී වෙළෙඳසැල් හිමියන් මුහුණ දුන් ප්‍රායෝගික ගැටළු නිසා “Hot coffee mode” නමැති උප කොටස ඉවත්කර ගැනීමට, මෙම පරිගණක ක්‍රීඩා මාලාව අයත් රොක්ස්ටාර් සමාගමට  සිදු වෙනවා.

වඩාත් විවාදයට හේතු වෙන දේවල් ලෝකය තුළ වඩාත් ජනප්‍රිය වීම සාමාන්‍ය ස්වභාවය යි. ඒ අනුව මෑත කාලයේ නිකුත් වූ GTA පරිගණක ක්‍රීඩා මාලාවේ නව අදියරයන් තුළ ප්‍රචණ්ඩකාරී අන්තර්ගතයන්, පුද්ගලයන්ට වධහිංසා පැමිණවීම්, ගණිකා වෘත්තිය​, ලිංගික ක්‍රියාකාරකම් වැනි දේ වඩ වඩාත් දියුණු සහ ස්වභාවික ලෙස අන්තර්ගත කිරීමට නිෂ්පාදකවරුන් කටයුතු කර තිබෙනවා. ඒත් සමගම මෙම පරිගණක ක්‍රීඩා මාලාවට සමාජයෙන් එල්ල වන විරෝධය ද අනුලෝමව වැඩි වී තිබෙනවා.

අවසාන වශයෙන් නිකුත් වූ GTA 5 හි දර්ශනයක්/www.youtube.com/watch?v=nW6WmS_K3cc

අවසාන වශයෙන්, Grand Theft Auto පරිගණක ක්‍රීඩා මාලාවේ පසුබිම එතරම් යහපත් නොවුණත්, අදටත් වැඩිම ආදායමක් ඉපැයූ පරිගණක ක්‍රීඩා මාලාවක් ලෙස මෙය ලෝකය පුරා වාර්තා පිට වාර්තා තබා තිබෙනවා. දැනට නිකුත් වූ සියළු ක්‍රීඩා අදියරයන් විසින් උපයාගත් මුළු මුදල ඇමරිකානු ඩොලර් බිලියන දහයකට ආසන්න බව යි කියැවෙන්නේ. ඒ අනුව මේ දක්වා ලෝකය තුළ වැඩිම ආදායමක් ලබා ගත් Avengers: Endgame, Avatar වැනි චිත්‍රපටත් අභිබවා යෑමට මේ පරිගණක ක්‍රීඩාව සමත්වෙනවා.

 කරුණු කාරණා කෙසේ වෙතත්, අදටත් අපි ආදරය කරන පරිගණක ක්‍රීඩාවක් තමයි Grand Theft Auto කියන්නේ. විශේෂයෙන්ම මෙම පරිගණක ක්‍රීඩා මාලාවේ දශකයකටත් වඩා පැරණි San Andreas නම් අදියරට ආදරය කරන අය අදටත් ඕනෑ තරම් ඉන්නවා. ඉතින් ඔබත් මෙම පරිගණක ක්‍රීඩාව ගැන අමතර කරුණක් දන්නේ, මේ ගැන ඔබටත් අදහසක් ඇත්නම් නම් කමෙන්ටුවක් වශයෙන් සඳහන් කරගෙන යන්න පුළුවන්.

cover photo: wallpapersafari.com/

මූලාශ්‍රයයන්: versionmuseum.com

gta.fandom.com/

tellmenothing.com

en.softonic.com

cnbc.com

Related Articles