චිත්‍රපටවල සුපිරි ජවනිකා මැවෙන ආකාරය

චිත්‍රපටවල සහ ටෙලිකතා මාලාවල සුපිරි වීරයන් ජලය, ගින්දර වැනි අපහසු ස්ථානවල ඇවිදින හැටි, එකවර අහසට නැඟී පියඹා යන හැටි, ලෝකයේ කොහේවත් ඇත්තට දකින්නට නැති පරිසරවල සැරිසරන ආකාරය වගේ ම මකරුන් පිටේ පවා යන ආකාරය – ඔව් ඔබ දන්නවා මම කවුරු ගැන ද ඒ කිව්වේ කියලා – අපට දකින්නට ලැබෙනවා.

තනිව විතරක් නෙවෙයි, සටන් ජවනිකා සහ අභ්‍යවකාශය හෝ අනාගතය පිළිබඳ ඒවායේදිත් ඇදහිය නොහැකි පසුබිම්වල ඉඳගෙන දෙබැම උඩයන ආකාරයේ ආයුධ, උපාංග හා උපක්‍රම වලින් සෙල්ලම් දාන හැටිනම් බලාගෙන ඉන්නත් ආසයි. ඒවා බැලුවාට පස්සෙ පොඩි කාලෙ නෙවෙයි, තාමත් සුපිරි බලයක් එහෙම අපිටත් තිබුණා නම් කියලා හිතෙන්නෙ නැත්තෙ කාටද නේද? ඒත් ඒ සුන්දර මනෝභාවයේ ඇත්ත පැහැදිලි කරලා දෙන්නයි මේ ලැහැස්තිය. අවඅධිවාදයයි! ඒ හීන බිඳෙනවාට අකමැති හය හතර තේරෙන සංවේදී අය මේක කියවන්නෙ පරිස්සමෙන් ඔන්න.

(fiverr.com)

(fiverr.com)

චිත්‍රපට කර්මාන්තයේ මුල් භාගයේදී වේදිකා නාට්‍යවල වගේ රූගත කිරීම් කෙරුණේ චිත්‍රාගාරය ඇතුලේදීමයි. ඊට හේතුව එකල තිබූ කැමරා සහ උපකරණවල විශාලත්වය වැඩි නිසා චිත්‍රාගාරයෙන් එළියට ඇවිත් රූගත කිරීමක් කරන්නට, ඒවාට විදුලිය සපයාගන්නට වැනි බොහෝ ප්‍රශ්ණ ඇතිවුණු නිසා. ඒ කාලයේ අඳින ලද චිත්‍ර පසුතල සඳහා භාවිතාවූ අතර ඊට පස්සෙ කාලෙක මුද්‍රණ ශිල්පීය ක්‍රම හොඳින් දියුණු වෙමින් වියදම් අංශයෙන් අඩුවූ නිසා සහ අඩු කාලයකින් කරගත හැකි වූ නිසා මුද්‍රිත පසුතල භාවිතා කළා. ඒවාට ආලෝකකරණ ප්‍රයෝග එක් කරලා තමයි සත්‍ය බවක් මවා ගත්තේ. කළු සුදු නිසා ඒවායේ ලොකු වෙනසක් පෙනුනෙත් නැහැ.

ඊට පසු කාලෙක, කැමරා එපිටට ගන්න පුළුවන් වුණත් වාහනවල ගමන් කරමින් කතා කරන ජවනිකා රූගත කිරීමේ අපහසුතා ඇතිවුණා. එවැන්නක් කරන්නට එක්කෝ ඉදිරිපස රථයක සවිකළ කැමරාව නළුවන්ගේ රථය ඉදිරියෙන් යන්නට ඕන. එහෙමත් නැත්නම් වාහනය ඉදිරිපස කැමරාව සවි කරන්න ඕන. ඒත් කාර්යබහුල මාර්ගවල වැරදි වැරදී කිහිපවරක් ජවනිකාවක් රූගත කිරීම ප්‍රායෝගික නැහැ, අනෙක පා‍රේ යන අනිත් වාහනවල නලා හඬවල්, උසුළු විසුළු ආදිය එක් වුණා ම එවැන්නක් ගැන සිතීමත් හිසරදයක් විතරයි. ඒනිසා ඔවුන් නැවත චිත්‍රාගාරයට වාහනයක් ගෙනැවිත් එහි පසුපස තලයේ වීඩියෝවක් ධාවනය වන තිරයක් තියලා, කැමරාව රථයේ ඉදිරිපස වීදුරුව ළඟට තියලා, විදුලි පංකා මඟින් සුළං අවස්ථා දක්වමින් රථය දෙපසින් නොපෙනී සිටින පිරිසක් විසින් දෙපසට සෙළවීම මගින් එවන් අවස්ථා රූගත කරන්නට පෙළඹුණා.

කොළපැහැ තිරය

ඒත් දැන් තාක්‍ෂණය වැඩිදියුණු වෙලා පරිගණක භාවිතා වන වෘත්තීන් ප්‍රමාණයත් වැඩි වෙලා ඉතින් කාර්යක්‍ෂමතාවය වගේ ම ලබා දිය හැකි ප්‍රතිදානයන්හි ගුණාත්මක භාවය මෙන් ම ඉල්ලුමත් ඒ එක්ක ම වැඩිව තිබෙනවා. ඉතින් චිත්‍රපට කලාවට පරිගණක භාවිතා නොකර කොහොමද?

නූතනයේ අපි දකින සියළු අධි-තාක්‍ෂණික මායාවන් සඳහා භාවිතා කරන්නේ වර්ණ ගැන්වූ රෙදි හෝ තීන්ත වර්ග යි. මෙම ක්‍රියාවලිය “වර්ණ තීව්‍රතා සාධකය” (chroma key) නමින් හඳුන්වන අතර බහුලව භාවිතා වන්නේ කොළ පැහැය නිසා එය “කොළ පැහැ තිරය” ලෙසින් ද හඳුන්වනවා.

මෙම ක්‍රියාවලිය නිසා මාධ්‍ය තාක්‍ෂණික ශිල්පීන්ට ඉතා පහසුවෙන් නළුවන් සහ ඔවුන්ගේ පසුබිම් තලය වෙන්කර ගැනීමේ අවකාශය ලැබෙනවා. ඒ නිසා ඒ තනි වර්ණ තලය ඉවත්කොට ඒ වෙනුවට අවශ්‍ය පසුබිම පරිගණක හරහා යෙදීමෙන් නරඹන්නන්ට ඵලදායී ප්‍රතිදානයක් ලැබෙනවා. මෙය කාලගුණ වාර්තාව කියවන නෝනාවරුන්ගේ සිට කොස්සෙන් ඉහළ අහසට නැගෙන හැරී පොටර් දක්වා ම භාවිතා වන 90 දශකයේ තාක්‍ෂණික ප්‍රයෝගයක්. ඒ කියන්නේ චිත්‍රාගාරය කියන ගල් ගුහාවෙන් පිටතට ඇවිත් ජවනිකා රූගත කරපු චිත්‍රපට කර්මාන්තය නැවතත් ගල් ගුහාවට ම වැදිලා එක එක ජාතියෙ යන්තර සූත්තර අපිට එළියට විසිකරන ආකාරයේ වැඩක් තමා දැන් සිද්ධ වෙන්නේ.

(Warner Bros)

(Warner Bros)

මේ ක්‍රියාදාම අවස්ථා මවන ක්‍රියාදාමය සිදුවන්නේ මෙහෙමයි. ශිල්පීන් විසින් මුලින් පටිගත කරන ලද වීඩියෝවක්, සජීවී විකාශයක් හෝ පරිගණකමය ප්‍රතිදානයක් අරගෙන එහි වර්ණාවලියෙන් තනි වර්ණයක් තෝරාගෙන එය ඉවත් කොට එය දෙවැනි වීඩියෝවක් හෝ ඡායාරූපයක් සමඟ මුහුකිරීමෙන් තමයි අවසාන නිර්මාණය නිපදවා ගන්නේ.

ඡායාරූප සංස්කරණ ශිල්පයේදී නම් ෆොටෝෂොප් වැනි මෘදුකාංගයක් භාවිතා කරමින් පහසුවෙන් එක් ඡායාරූපයක් තුළින් ම විශාල වෙනස්කමක් කරගන්නට හැකි වුණත් තත්පරයකට අවම වශයෙන් ඡායාරූප විසි පහක් පමණ එක්වී තැනෙන වීඩියෝවකට එවැන්නක් හස්තීයව කිරීම ලේසි වැඩක් නෙවෙයි. එනිසා ඒවාත් ඡායාරූප වගේ ම පරිගණක මෘදුකාංගයකට පැවරෙනවා.

මෙසේ තනි වර්ණයක් භාවිතා කිරීමේදී වෘත්තීමය වශයෙන් බහුලව දීප්තිමත් කොළ පැහැයට අමතරව දීප්තිමත් නිල් පැහැයත් අවස්ථානුකූලව භාවිතා වනු දකින්නට ලැබෙනවා. මේ වර්ණ දෙක ම මානව සමට වඩා බෙහෙවින් වෙනස් නිසා සහ ඇඳුම්වල භාවිතා වන ප්‍රමාණය ඉතා ම අඩු නිසා පහසුවෙන් භාවිතා කළ හැකි වෙනවා. මේ ක්‍රියාවලිය නිසි පරිදි සිදුවෙන්නට නම් ඒ තනි වර්ණ පූර්ණ පසුතලය හෝ අවශ්‍ය කොටස සමානව වර්ණ ගන්වා සමානව ආලෝකකරණයට ලක් කොට තිබිය යුතු වෙනවා. එවිට එම කොටස ම සම්පූර්ණයෙන් මෘදුකාංගය හරහා ඉවත් කර ගත හැකි අතර එසේ නොවී විවිධ වර්ණ සහිත ආදානයක් පරිගණකයට පැමිණ තිබුණොත් පළුදු සහිතවූ වැනි ස්වභාවයක් පෙනෙන්නට ගන්නවා. මෙසේ පූර්ණ පසුතලයක් වෙනුවට කුඩා කොටසක් පමණක් වෙනස් කොට නිපදවන ලද්දක් අපට ගේම් ඔෆ් ත්‍රෝන්ස්හිදී දකින්නට ලැබෙනවා.

(HBO)

(HBO)

පටිගත කරන ලද සළරූ මෙසේ මෘදුකාංගයක් හරහා සැකසීමෙන් අනතුරුව තනන ලද තෙවැනි සළරුවක් ලෙසින් ප්‍රතිදානය කළ හැකි වුවත් සජීවි විකාශයන් මෘදුකාංගයක් හරහා ම පමණක් සකසමින් සජීවීව ප්‍රතිදානය කිරීම සඳහා නම් ඉතා ඉහළ හැකියාවන්ගෙන් යුතු පරිගණක අවශ්‍ය වෙනවා. බොහෝ විට එවන් වෘත්තීයමය නිශ්පාදන වලදී මෘදුකාංග සමඟ දෘඪාංගවල සහාය ද ලබා ගන්නවා. ඒවාට වීඩියෝ ආදාන කිහිපයක් වර්ණ හඳුනාගනිමින් ලබා දෙන වර්ණය ඉන් ඉවත් කරමින් ම සකසන්නට හැකියාව තිබෙනවා.

ඉතින් මේ විධියට තමයි අපි දකින ගොඩක් පුදුම සහගත දේවල් චිත්‍රාගාර සහ පරිගණක තුළ මැවෙන්නේ. ඔබට බොහෝ නූතන චිත්‍රපටිවල සහ ටෙලිකතාවල ඇති මෙවන් සිදුවීම් සැකසූ ආකාරය “චිත්‍රපටයේ නම vfx breakdown” ලෙස ගූගල් කිරීමෙන් සොයාගන්නට හැකිවේවි. හැබැයි මතක ඇතුව ඊට කලින් චිත්‍රපටය රසවිඳලා ඉන්නට අමතක කරන්න එපා. මොකද අම්මා කෑම හදන අතරෙදි මැද්දෙන් පැනලා චුට්ට චුට්ට කෑවා ම ඒ කෑම ටික මේසෙට ආවාම ඒකෙ කිසි විශේෂත්වයක් දැනෙන්නෙ නැහැ වගේම මේසෙට ආවාට පස්සෙ හදපු හැටි කන අතරතුරේදී අහනවා නම් කෑම මේසයේ ගොළු බවත් නැතිවෙද්දී කෑමවල රසත් වැඩිපුර දැනේවි.

කවරයේ පින්තුරය: donsautobody1.com

Related Articles