Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

VR Headset කුඩා දරුවන්ට හිතකරද?

මෑත කාලයේ කරළියට පැමිණි නවතම ආකාරයේ අත්දැකීමක් ලෙස Virtual Reality හෙවත් අතථ්‍ය-තථ්‍යතාව කවුරුහරි හැඳින්වූවොත් ඒක වැරදියි. 1987 දී එම වචනය ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්ද කෝෂයට ඇතුලත් කරගනු ලැබූ මෙම වචනය ප්‍රථමයෙන් දකින්නට ලැබුණේ 1982 වර්ෂයේදී ඩේමියන් බ්‍රොඩරික් විසින් රචිත ජුදාස් මැන්ඩලා නම් විද්‍යා ප්‍රබන්ධයේයි.

එම සංකල්පය පසුව චිත්‍රපටවලට ද එක් කෙරුණු අතර 1939 වර්ෂයේ වීව්-මාස්ටර් යන වෙළඳ නාමයෙන් වෙළඳපොළට නිකුත්වුණු කැමරාවක් වැනි භාණ්ඩය ප්‍රථම VR උපකරණය ලෙස හැඳින්වෙනවා. එහි දෑස තැබීමට කවුළු දෙකකුත් තැටියක් වැනි ඡායාරූප 7කින් යුත් එකතුවක් රැඳවීමට අවකාශයක්ද අඩංගුවූ ත්‍රිමානේක්‍ෂ දෘෂ්‍ය ආකෘතියක්. මෙය අනිවාර්යයෙන් ම ඔබත් අත්විඳ ඇති. එහි කරන්නට තිබෙන්නේ ඇස් දෙකට එම උපකරණය තබාගෙන බොත්තමක් තද කරන්නයි. එවිට එහි තිබෙන ඡායාරූප එකින් එක අපිට බලන්නට පුළුවන්. ඒනිසා VR කියන්නෙ දැන් ඉන්න ළමයින්ට ලැබුණු දෙයක් කියලා වයසක අපි ඉරිසියා කරන්නට අවශ්‍ය නැහැ.

හැබැයි අපි ඒ අත්විඳපු දේට වඩා නූතන VR හිස් පැළඳුම් බොහොම ඉදිරියෙන් ඉන්නවා. ඒවායේ ඊටම ඈඳන  ලද තිරයක් හෝ අපේ ස්මාර්ට් දුරකථනය එක් කිරීමෙන් දර්ශන ඇති කරන නිසා හිසේ පැළඳගැනීමේදී දෑසට ඉතා ම ආසන්නයෙන් තමයි තිරය පිහිටන්නේ. මේ නිසා ම ඇස්වල ආබාධ, දුරකථනය මොළය ආසන්නයේ තිබෙන නිසා දුරකථනයේ සංඥා, කිරණ ආදියෙන් ශරීරයට අහිතකර බලපෑම් ඇතිවිය හැකි ද වැනි ප්‍රශ්ණ රැසක් බොහෝ දෙනෙකුට තිබෙනවා. මේ ලිපිය ඒ ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමේ වෑයමක්.

දැන් ෆේස්බුක් සමාගමට අයත් Oculus Rift සහ සැම්සුන්ග් සමාගයේ Gear VR හෙඩ්සෙට් දෙක ම අවුරුදු 13 ට වැඩි අයටත්, සෝනි සමාගමේ PlayStation VR හෙඩ්සෙට් එක අවුරුදු 12න් ඉහළ අයටත් ඒ සමගම් විසින් ම නිර්දේශිතයි. හැබැයි HTCහි Vive නම් දරුවන්ට නිපදවපු එකක් නොවන බව ඔවුන් පවසන අතර ගූගල් සමාගමේ තාක්‍ෂණික බවින් අඩු කාඩ්බෝඩ් හෙඩ්සෙට් එක ද වැඩිහිටියන්ගේ අනුදැනුම යටතේ භාවිතා කරන ලෙසයි දක්වා තිබෙන්නේ. එහෙත් ඒ සමාගම් වලින් එම වයස් මට්ටම් නිර්දේශනය පිළිබඳව විස්තරාත්මක භාවයක් දරන්නේ නැහැ. ඉතින් සෞඛ්‍යය අතින් සහ බටහිර විද්‍යාව මේ ගැන මොකද කියන්නේ?

මොළයේ වර්ධනය

(roadtovr.com)

(roadtovr.com)

2014 වර්ෂයේදී කැලිෆෝනියා විශ්ව විද්‍යාලය විසින් කරන ලද පර්යේෂණයක් අනුව මීයන් තිරයක් හරහා මවන ලද අතථ්‍ය පරිසර වලදී ක්‍රියා කරන ආකාරය අධ්‍යයනය කොට තිබෙනවා. එහිදී ඔවුන් නිරීක්‍ෂණය කොට ඇත්තේ සාමාන්‍ය පරිසරයට වඩා අවකාශය හඳුනාගැනීම පිළිබඳව වූ මොළයේ නියුරෝනවලින් අඩක් පමණ ම VR පරිසරයේදී අක්‍රියව පැවති බවයි.

කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ තිබෙන නිර්මාණාත්මක මාධ්‍ය සහ චර්යාත්මක සෞඛ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂිකා මැරියන්ටිනා ගොට්සිස් විසින් පවසන්නේ, කුඩා දරුවන්ගේ හිස වැඩිහිටියන්ගේ මෙන් ශක්තිමත් බවින් ඉතා ම අඩු නිසා, නිවැරදිව සකසා නැති හෝ හිසට ඉතා තද හෙඩ්සෙට් වැඩි කාලයක් පැළඳගෙන සිටීමෙන් මොළයට හානි සිදුවීමේ වැඩි ඉඩකඩක් තිබෙන බවයි. එසේම දිගු කාලයක් පැළඳගෙන සිටීමේදී දෑස්වලට ඇතිවන අපහසුතාව තේරුම් ගෙන එය ගලවා ඉවත් කරන්නට කුඩා දරුවන්ට නොතේරෙන බව හෝ අකමැති බව නිසා ද පෙනීමේ දුර්වලතා වලට මං පෙත් පෑදෙන බව ද ඇය වැඩිදුරටත් පවසනවා.

පෙනීමේ දුර්වලතා

(digitaltrends.com)

(digitaltrends.com)

“දරුවෝ ඔච්චර ළඟට වෙලා බලන්න එපා” කියලා ටීවි බලද්දි දරුවන්ට තරවටු කළත් මේ VR තාක්‍ෂණයේදී සිදුවෙන්නේ හරියට ටීවී එක ඇස් දෙකේම හයිකරගෙන බලනවා වගේ වැඩක්. මේ නිසා දරුවන්ගේ දෑස් වපරවීමේ අවධානමක් ඇත්දැයි බොහෝ දෙමව්පියන් බියෙන් පසුවෙනවා. එහෙත් ඇමරිකානු අක්‍ෂිවිද්‍යා ඇකඩමිය පවසන්නේ දිගු කාලයක් එසේ නිරාවරණයවී තිබුණත් ස්ථිර ආබාධ තත්වයක් ඇතිවන බවට කිසිදු සාක්‍ෂියක් ඔවුන්ට ලැබී නොමැති බව යි. එනිසා ඊට අනියත බියක් ඇති කරගත යුතු නැහැ.

සාමාන්‍ය පෙනීමේදී සිදුවන්නේ පළමුව අපිට බලන්නට අවශ්‍ය වස්තුව දෙස ඇස් බෝලය යොමුවීමයි. ඉන්පසු අක්‍ෂි කාචය අවශ්‍ය පමණට සැකසෙමින් පැහැදිලි ප්‍රතිබිම්බයක් ඇති කර ගන්නවා. එහෙත් මේ නූතන VR හරහා නැරඹීමේදී සිදුවන්නේ පැතලි තිරයක් දෙස දෑස එකම ස්ථානයකට යොමුව තිබියදී කාචය පමණක් වෙනස් වීමයි. එනිසා බොහෝ විට දෑසෙහි ව්‍යායාමවීම අවම වන අතර ඒ සමඟ ඇසිපිය හෙලීමේ කාල ප්‍රාන්තරයන් අවම වුවහොත් දෑසෙහි විජලන තත්ව ඇතිවී කැසීමේ ස්වභාවයක් දැනෙන්නට පුළුවන්.

එක්සත් රාජධානියේ ලෝබරෝ විශ්ව විද්‍යාලයේ දෘෂ්ඨි අධ්‍යයනය සම්බන්ධ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පීටර් හෝවර්ත් පවසන්නේ ඇස් හැරවීමේ සහ පාලනය කිරීමට නොහැකි ආබාධවලින් පෙළෙන දරුවන්ගේ එම තත්වයන් හඳුනාගැනීමට VR භාවිතා කළ හැකි බව යි. මන්ද, ඔවුන් ඒවා භාවිතයේදී ඉතා පහසුවෙන් හිසරදයන්ට සහ දෑසේ විඩාබර බවට පැමිණෙන නිසා ඔවුන්ගේ එම තත්වයන් කුඩා කාලයේදී ම හඳුනාගෙන ඉක්මන් ප්‍රතිකාර සඳහා යොමුවීමට අවස්ථාව සැලසෙනවා.

ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නෑ

(roadtovr.com)

(roadtovr.com)

මේ කොයි අවධානම තිබුණත්, එහෙම තියෙනවා කියලා දැනගෙන හිටියත් මේ නවතම තාක්‍ෂණික අංගයන්ගෙන් ලැබෙන අත්දැකීම් විඳගන්නට අපි පසුබට වෙන්නේ නැහැ. ඉතින් මේ ලිපියෙන් කොහෙත්ම අදහස් වෙන්නේ නැහැ VR කියන්නේ මහා නරක දෙයක් සහ ප්‍රතික්‍ෂේප කළ යුතු දෙයක් කියලා. මොකද පරිගණක ක්‍රීඩාවක් හෝ අපි කැමතිම චිත්‍රපටයක් හෝ අධ්‍යාපනික ඇප් එකක් VR හරහා අත්විඳිද්දී ඉන් ලැබෙන විනෝදයට ඔය හැමදේම පරාදයි.

ඒත් අපි VR හෙඩ්සෙට් එකක් පැළඳගත්තාට පස්සේ එයට ම අවධානය යොමු කරනවා මිසක් ඇස්වලට මොනා වෙනවාද කියලා ගණනක්වත් නැහැ. එයින් සිදුවෙන්නේ අපිට තවත් අළුත් පරිගණක ක්‍රීඩාවක් එනවිට ඒ වෙද්දී ඇස් දෙකේ පෙනීමත් නැතිවෙලා VR භාවිතා කරන්නට තහංචිත් පැනවෙන එක විතරයි. ඉතින් අපි කළ යුත්තේ විනාඩි දහයක් වැනි කාල පරාසයන්ට බෙදාගෙන අවම වශයෙන් විනාඩි පහක්වත් දෑසට විවේකයක් ලබා දෙමින් මේ අත්දැකීම් විඳගැනීම යි. අනෙක, දුරකථනය යොදා අත්විඳින VR හෙඩ්සෙට් වලදී දුරකථනය ඉතා ම ඉහළ ප්‍රමාණයකට රත්වෙනවා. මෙය එහි බැටරියට සහ ආයු කාලයටත් යෝග්‍ය නැහැ. ඒ නිසා නිතර විවේකයන් ලබා දීම ඔබට මෙන් ම ඔබේ දුරකථනයේත් ශරීර සෞඛ්‍යයට හොඳ වේවි.

කවරයේ පින්තුරය: twentynext.com

Related Articles