තාක්ෂණයේ සීතල යුද්ධයෙන් Intel පරදා පෙරට ආ AMD

CPU එක එහෙමත් නැතිනම් Processor කියන වචනය ඇසුණු සැණින් පරිගණක භාවිත කරන ඕනෑ ම අයකුට මතක් වන්නේ Intel සමාගමයි. ඒත් මෑත කාලය තුළ ශීඝ්‍ර පිබිදීමක් ලැබූ AMD සමාගම පසුගිය වසරේදී සෑම අතින් ම Intel සතු හැකියාවන් අභිබවා යන ප්‍රොසෙසරයක් නිර්මාණය කළා. මේ නිසා AMD සමාගම 2007න් පසු සිය ඉහළ ම කොටස් අගය 2020 දී වාර්තා කිරීමට සමත් වීම විශේෂත්වයක්. 2010දී බංකොලොත් විය හැකි සමාගම් ලැයිස්තුවේ තිබූ AMD සමාගම යළි දියුණුවට පත්වූ ආකාරය ගැනයි මේ තොරතුරු.

AMD සමාගම බිහිවීම

ලොව පළමු සංයුක්ත පරිපථය නොහොත් IC (Integrated Circuit) එක නිර්මාණය කළේ 1961දී Fairchild Semiconductor සමාගමයි. එහි සිටි තරුණ ඉංජිනේරුවන් දෙදෙනකු 1968දී NM Electronics ආයතනයට එක්වනවා. ඉන් සති කිහිපයකට පසු Integrated Electronics හෙවත් Intel ලෙස එහි නම වෙනස් වන අතර ඉන් වසරකට පසු තවත් 8 දෙනකු Fairchild Semiconductor සමාගම හැර යනවා. ඔවුන් එක්ව අරඹන සමාගම වන්නේ Advanced Micro Devices හෙවත් AMD සමාගමයි.

Intel සමාගම සිය පළමු ප්‍රොසෙසරය වන 8080 ප්‍රොසෙසරය 1974 දී නිර්මාණය කරනවා. එහි ඡායාරූපයක් වඩා සමීප ව අධ්‍යයනය කරන AMD සමාගම Am-9080 ලෙසින් 8080ට සර්වසම ප්‍රොසෙසරයක් නිර්මාණය කරනවා. වර්තමානයේ නම් එය බුද්ධිමය දේපළ සොරාගැනීමක් ලෙස දැක්විය හැකි වුවත් ඒ වෙනුවට මේ සමාගම් ද්විත්වය ගිවිසුමකට එළඹුණා. ඒ අනුව Intel නිෂ්පාදනය කරන ප්‍රොසෙසර ප්‍රතිනිෂ්පාදනය කිරීමට AMD හට අවසර හිමි වුණා. එමඟින් Intel බලාපොරොත්තු වූයේ තම නිෂ්පාදන ප්‍රචලිත කිරීමත් හදිසි තත්ත්වයකදී වුවත් නිෂ්පාදන අඛණ්ඩ ව පවත්වා ගැනීමත් යන කරුණුයි. 1982දී Intel සමාගමේ x86 ආකෘතියේ (architecture) ප්‍රොසෙසර නිපදවීම අරඹනවා. ප්‍රොසෙසරයක ආකෘතිය මඟින් කුමන මෘදුකාංග ප්‍රොසෙසරය මඟින් ක්‍රියා කළ හැකිද සහ කුමන දෘඩාංග ප්‍රොසෙසරයට සහය දක්වනවා ද යන්න තීරණය කෙරෙනවා.

Am-9080
Am-9080 ප්‍රොසෙසරය – cpu-world.com

x86 ආකෘතියේ ප්‍රොසෙසර IBM සමාගම ඔවුන්ගේ පළමු “පෞද්ගලික පරිගණක (PC)” සඳහා යොදා ගැනීමට තීරණය කිරීමෙන් AMD සමාගමත් IBM පරිගණක සඳහා ප්‍රධාන ප්‍රොසෙසර සැපයුම්කරුවකු බවට පත්වනවා. නමුත් Intel තවදුරටත් තම ගිවිසුම පවත්වා ගෙන යාමට සුදානම් වන්නේ නැහැ. IBM සමාගම පරිගණක වෙළඳපළේ තම පංගුව 55% සිට 84% දක්වා වැඩි කර ගන්නා අතර Intel සමාගම තම නවතම ප්‍රොසෙසර සඳහා AMD හට ඇති පිවිසීම් අවලංගු කරනවා. පසුව නිකුත්වූ Intel 386 සහ 486 ප්‍රොසෙසරවල සංකීර්ණ බව නිසා ඒවා ගලවා ප්‍රතිනිර්මාණය කිරීමේ හැකියාව ද AMD සමාගමට අසීරු වුණා. ඒ අනුවයි ඔවුන් තමන්ගේ ම ප්‍රොසෙසර නිෂ්පාදනයට 1996දී යොමු වන්නේ.

Intel සමඟ කරට කර සටනක

AMD සමාගම තනි ව නිර්මාණය කළ පළමු ප්‍රොසෙසරය වන්නේ K5 ප්‍රොසෙසරයයි. මෙය 133 MHz ගණන වේගයක් සහිත ප්‍රොසෙසරයක් වීම නිසා Intel සමාගමේ මුල් ම Pentium ප්‍රොසෙසරවලටත් තර්ජනයක් වුණා. 1997දී AMD නිර්මාණය කළ K6 ප්‍රොසෙසරය ඔවුන් පරිගණක ලෝකයේ ඉහළට ම ඔසවා තැබීමට සමත් වූ ප්‍රොසෙසරය බව හැඳින්වීම වරදක් නොවේ. විශේෂයෙන් 1998දී නිකුත් වූ K6-II මාදිලිය Pentium II සමගත් K6-III මාදිලිය Pentium III සමඟත් සටන් වැදුණා. සංඛ්‍යා වාර්තාවලට අනුව K6-II ප්‍රොසෙසරය එකල පරිගණක වෙළඳපළේ ඩොලර් 1000ට අඩු පරිගණක අතර 70%ට ආසන්න හිමිකාරිත්වයක් ලබා ගත් ප්‍රොසෙසරයක් බව සඳහන්.

AMD K5 & Intel Pentium
AMD K5 ප්‍රොසෙසරය සහ Intel Pentium ප්‍රොසෙසරය – cpu-world.com

එතැනින් නොනැවතුණු AMD සමාගම ඔවුන්ගේ ජනප්‍රිය ම ප්‍රොසෙසරය වන Athlon ප්‍රොසෙසරය හෙවත් K7 නිර්මාණය කරනවා. ලොව මුල්වරට තත්පරයට ගණනය කිරීම් වේගය (Clock speed) බිලියනය (1GHz) ඉක්මවා යන්නේ ද මෙම ප්‍රොසෙසරයයි. K7හිම දිගුවක් ලෙස නිර්මාණය වුණු Athlon Thunderbird ප්‍රොසෙසරය Overclocking හැකියාව සහිත මුල් ම ප්‍රොසෙසරය වුණා. එසේම DDR RAMවලට සහය දැක්වීමත් 2වන මට්ටමේ Cache මතක හැකියාවක් දක්වා ප්‍රොසෙසර ආකෘතිය පුළුල් වීමත් ඇරඹුණේ මෙම ප්‍රොසෙසරයත් සමඟයි. 21 වන සියවසේ මුල් වසර 5 පුරාවට Pentium IV සමඟ සටන් වැදුණු K7, වඩා අඩු මුදලකට ලබාගත හැකිවීම නිසා වැඩි වශයෙන් අලෙවි වුණා.

2003දී නිකුත් කෙරුණු K8 ප්‍රොසෙසරය මුල්වරට x86-64 ආකෘතිය ලොවට හඳුන්වා දෙනවා. අදටත් AMD64 යන්න සමාගම් ද්විත්වය ම නිර්මාණය කරන ප්‍රොසෙසරවල “උපදෙස් මාලා” (Instruction Sets) හැඳින්වීමට යොදා ගැනෙනවා. පළමු වරට Multi-Core තාක්ෂණය ද ලොවට හඳුන්වා දෙන්නේ AMD සමාගමයි. 2005දී AMD හඳුන්වා දුන් Athlon 64 X2 ප්‍රොසෙසරය සතුව Core ද්විත්වයක් පැවති අතර ඒවා සඳහා දෙවන මට්ටමේ Cache මතකයන් ද්විත්වයක් ද වෙන වෙන ම පැවතියා.

පාරාදීසය බිඳ වැටෙයි

ලෝක පරිගණක ප්‍රොසෙසර නිෂ්පාදනයේ හිණිපෙත්තේ ම සිටි AMD සමාගම කඩා වැටීම ආරම්භ වන්නේ මේ අවධියේ සිටයි. ඒ සඳහා සෘජුව ම එක් හේතුවක් බලපෑ බව කිව නොහැකි වුවත් සමාගමේ ඉහළ නිලධාරීන් ගත් ඇතැම් තීන්දු තීරණ සහ හඳුන්වාදුන් නව ප්‍රොසෙසර ආකෘතිවල පැවති අඩුපාඩු 2016 වසර දක්වා වූ AMD හි අඛණ්ඩ කඩා වැටීමට හේතුවුණා.

2006 කාල සීමාවේදී Intel සමාගමේ නිෂ්පාදනවලත් සැලකිය යුතු තරමේ ගැටලු පැවතියා. ඔවුන්ගේ නවත ම ප්‍රොසෙසර ආකෘතිය තවදුරටත් වැඩි දියුණු කළ නොහැකි බව ඔවුන්ට අවබෝධ වූ නිසා ඔවුන් නැවතත් සිය පැරණි Pentium ආකෘතිය වැඩිදියුණු කිරීමට යොමු වූ අතර Core නාමය යටතේ තම නිෂ්පාදන එළි දැක්වීම ආරම්භ කෙරුණා. 2006දී Core 2 Duo ප්‍රොසෙසරය Intel සමාගම හඳුන්වා දීමට දින 3කට පෙර AMD සමාගම තමන් ATI Technologies නම් ග්‍රැෆික් කාඩ් නිෂ්පාදන සමාගම ඩොලර් බිලියන 5.4කට මිලට ගත් බව දැනුම් දෙනවා. ATIහි වත්කම් වූයේ ඔවුන් සතුව පැවති බුද්ධිමය දේපළ පමණයි. ග්‍රැෆික් කාඩ් නිර්මාණය සඳහා කර්මාන්ත ශාලාවක්වත් ඔවුන් සතු ව තිබුණේ නැහැ. මේ නිසා ටික කලකින් ATI සමාගම ඩොලර් මිලියන 65ක් වැනි අඩු මුදලකට Qualcomm සමාගමට විකිණීමට AMD හට සිදුවනවා.

2007 වසරේදී AMD සමාගම Core 4 කින් සමන්විත K10 ප්‍රොසෙසරය හඳුන්වා දෙනවා. ඒ වන විටත් ලොව අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබූ Intel සමාගමේ Core 2 Quad Q6600 ප්‍රොසෙසරය අබිබවා යාමට එයට හැකියාවක් ලැබෙන්නේ නැහැ. K10 හි සියලුම Core පිහිටා තිබුණේ එකම CPU අච්චුවකයි (CPU die). මෙය න්‍යායාත්මක වැඩි “ගණන වේගයක්” සපයන බව පැවසුණත් die දෙකක් භාවිත කළ Q6600 ට වඩා 100MHzක අඩු වේගයක් පෙන්වීම, AMD සමාගම පසුපසට ඇද දැමීමක් වුණා. K10 ප්‍රොසෙසරයේ මිලදී ගැනීම් අවම වීමට එයට හැඳින්වූ නාමයත් හේතු වුණා. ඒ දක්වා ජනප්‍රිය ව තිබූ Athlon වෙනුවට Phenom නමින් මෙම ප්‍රොසෙසර නම් කිරීමට AMD සමාගම තීරණය කළේ Intel සමාගමත් Pentium වෙනුවට Core ලෙසින් තම ප්‍රොසෙසර හැඳින්වීම ආරම්භ කිරීම නිසයි.

a processor with 2 dies
Die දෙකකින් සමන්විත ප්‍රොසෙසරයක් – anandtech.com

Dell පරිගණක සඳහා අවශ්‍ය ප්‍රොසෙසර සැපයීමේ ප්‍රධාන සැපයුම්කරු බවට පත්ව තිබුණේ ද Intel සමාගමයි. 2007 වන විට ඔවුන්ගේ ආදායමෙන් 76% ක් ම ලැබුණේ Dell සඳහා ප්‍රොසෙසර නිර්මාණය කිරීමෙන්. මේ අතර AMD, ඔවුන්ගේ ප්‍රොසෙසර වෙනුවෙන් ම බලා සිටි පාරිභෝගිකයන්ටවත් හැකියාවෙන් වැඩි ප්‍රොසෙසර නිෂ්පාදනය කිරීමට අසමත් වුණා. 21 වන සියවසේ පළමු දශකය තුළ ඩොලර් බිලියන 40 ඉක්ම වූ ආදායමක් ලබන්නට Intel සමාගමට හැකි වූ අතර AMD සමාගම ATI මිලට ගැනීමෙන් වූ පාඩුව සහ K10 අසාර්ථක වීමෙන් සිදුවූ පාඩුව හමුවේ කඩා වැටෙමින් සිටියා. මෙම තත්වය තවත් දරුණු වුණේ ඉන් අනතුරුවයි.

amd market from 2012 - 2016
2011 සිට 2016 දක්වා AMD සමාගමේ ආදායම් වාර්තාව: මෙහි සෘණ අගයන් වලින් ඔවුන්ගේ ණය ප්‍රමාණය පෙන්වයි- techspot.com

අසාර්ථකවූ CPU ආකෘතිය

Core එකක් සඳහා වෙන වෙන ම කාර්යයන් පැවරූ Threads ද්විත්වයක් පවතින පරිදි සකස් කිරීම නිසා CPU කර්මාන්තය තවත් දියුණුවට පත්වුණා. Intel සමාගමේ ආකෘතියට අනුව Core කිහිපයක් සහ ඒවාට වෙන වෙනම ඇති Floating Point Unit (FPU), Level-1 cache සහ Level-2 cache දැකිය හැකි වු අතර මේ නිසා Thread එකක් ක්‍රියාත්මක වුණේ වෙනම ප්‍රොසෙසරයකට බොහෝ සමාන ආකාරයටයි. මෙය Intel හැඳින්වුයේ Hyper Threading නමින්. AMD සමාගමේ මේ සඳහා වූ ආදේශකය වූයේ Bulldozer නම් නවත ම ආකෘතියයි. ඔවුන් K10 ප්‍රොසෙසරය දියුණු කිරීම වෙනුවට හාත්පසින් ම වෙනස් මෙම ආකෘතිය තෝරා ගත්තා. එහෙත් Core එකක් threads දෙකකට බෙදීම වෙනුවට ඔවුන් සිදු කළේ Core දෙකක් එක් මොඩියුලයක් තුළට ඇතුළු කිරීමයි. ඔවුන් මෙම තාක්ෂණය Simultaneous Multi Threading(SMT) ලෙස හැඳින්වුවා.

bulldozer architecture
මොඩියුල 4කින් සමන්විත Bulldozer ආකෘතිය – anandtech.com

මෙමගින් Core දෙකකට පොදු FPU, Level-1 cache සහ Level-2 cache එක බැගිනුයි හිමිවුණේ. ඔවුන් මෙය සිදුකිරීමෙන් බලාපොරොත්තු වූයේ ප්‍රොසෙසරයට වැයවන බලය අවම කිරීමයි. ඒ අනුව 2011දී නිකුත් වූ AMD FX-8510 සතුව මොඩියුල 4ක් පැවතියා. එක් මොඩියුලයක Core දෙක බැගින් පැවති නිසා ඔවුන් එය හඳුන්වා දුන්නේ Core 8ක් සහ Thread 8ක් සහිත ප්‍රොසෙසරයක් ලෙසයි. එම වසරේදී Intel හඳුන්වා දුන් Core i7-2600K ප්‍රොසෙසරය සතු ව පැවතියේ Core 4ක් පමණයි.  ඔවුන් Hyper Threading තාක්ෂණය භාවිත කළ නිසා Threads 8කින් එය සමන්විත වුණා. AMD සමාගමේ බලාපොරොත්තු සුණු විසුණු කරමින් ඔවුන්ගේ ප්‍රොසෙසරයට වඩා 30Wක අඩු බලයක් අවශ්‍යවූ Intel ප්‍රොසෙසරය AMD ප්‍රොසෙසරයේ හැකියාව ද ඉක්මවා ගියා.

එතැනින් පසු Intel සමාගම වසරින් වසර වඩා හොඳ ප්‍රොසෙසර එළිදැක්වුවා. FX ප්‍රොසෙසරවල සිදු වූ වැඩි දියුණු කිරීම් Intel අබිබවා යාමට සමත් වූයේ නැහැ. මේ නිසා 2012 සිට 2016 දක්වා අඛණ්ඩව මිලියන ගණනක පාඩු අත් විඳීමට AMD සමාගමට සිදු වුණා. Xbox සහ PlayStation සඳහා ඔවුන්ගේ Jaguar ආකෘතියේ ප්‍රොසෙසර සාර්ථකත්වයක් පෙන්වුවත් එයින් ලැබෙන ආදායම PC සඳහා ප්‍රොසෙසර නිෂ්පාදන කඩා වැටීම නගා සිටුවන්නට ප්‍රමාණවත් වූයේ නැහැ. 2014දී AMD සමාගමේ ප්‍රධානි තනතුර මහාචාර්ය Lisa Su හට පවරා Rory Read එම තනතුරෙන් ඉල්ලා අස්වන්නේද මේ හේතුවෙනි.

Dr Lisa Su
මහාචාර්ය Lisa Su – techspot.com

නව CPU ආකෘතියක් සමග AMD යළිත් පෙරට

තායිවානයේ උපන් අමෙරිකානු සංක්‍රමණිකයකු වූ ලීසා, M.I.T වෙතින් විදුලි ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී, උසස් සහ මහාචාර්ය උපාධි ලබා තිබෙනවා. AMDහි සේවයට පැමිණීමට පෙර ඇය ඇය Texas Instrumentsහි තාක්ෂණික කාර්ය මණ්ඩලයේ සාමාජිකාවක් ද වූ අතර Free-scale Semiconductor හි සාමාන්‍යාධිකාරී ධුරය ද IBM සමාගමේ අර්ධ සන්නායක අංශයේ ප්‍රධානී ධුරය ද හෙබවූවා. ඇය යටතේ AMD සමාගමේ පර්යේෂණ හා සංවර්ධන අංශයේ ප්‍රධානි ධුරයට පත්වූයේ K8 ප්‍රොසෙසරයේ ආකෘති නිර්මාණය මෙහෙයවූ Jim Keller ය.

Zen නම්වූ නවත ම ප්‍රොසෙසර ආකෘතියක් හඳුන්වා දීමට නව නායකත්වය යටතේ AMD සමාගම පියවර ගන්නේ 2017 වසරේයි. මෙම ආකෘතියේ මූලික අරමුණ වූයේ දැරිය හැකි මිලකට ඉහළ හැකියාවන්ගෙන් යුත් ප්‍රොසෙසර නිෂ්පාදනය කිරීම සහ Core අගය 4 සිට 64 දක්වා ඉහළ දැමීම වුවත් පහසුවෙන් කළ හැකි ප්‍රොසෙසර නිෂ්පාදනය කිරීමත් ය. Zen ආකෘතියෙන් පැමිණි පළමු ප්‍රොසෙසර පෙළ 2017 මාර්තු 02 වනදා නිකුත් කෙරුණු අතර ඒවා Ryzen යන නමින් හැඳින්වුණා.

Ryzen 1000 කාණ්ඩයේ ප්‍රොසෙසර පිළිබඳ දැඩි බලාපොරොත්තු

2014 – 2017 කාලය පුරාවට Intel සමාගමට අභියෝගයක් එල්ල කිරීමට කිසිදු ප්‍රොසෙසර නිෂ්පාදන සමාගමක් සමත්වුණේ නැහැ. මේ නිසා ඔවුන්ගේ ප්‍රොසෙසර එකිනෙක අතර එතරම් දියුණුවක්ද දක්නට නොලැබුණු නිසා පාරිභෝගිකයන් Ryzen 1000 කාණ්ඩයේ ප්‍රොසෙසර පිළිබඳ ව දැඩි බලාපොරොත්තු තබා ගැනීමට යොමු කළා.

Ryzen 5 1600 සහ Ryzen 7 1700 ප්‍රොසෙසර ද්විත්වය ම නිකුත් කළ දින සිට ම දෝෂ සහිත වුණා. ප්‍රොසෙසරවල මතකය සම්බන්ධව සහ මෘදුකාංගවලට සහය නොදැක්වීම සම්බන්ධව විශාල ලෙස පැමිණිලි ලැබුණු අතර ඒවා නිවැරදි කිරීමට යාවත්කාලීන කිරීම් කිහිපයක් ම අවශ්‍ය වූ නිසා පරිශීලක විශ්වාසය දිනාගැනීමට පළමු පරම්පරාවේ Ryzen ප්‍රොසෙසර අසමත් වුණා. වඩා සිත්ගන්නාසුලු කාරණය වූයේ ගෙවන මිලට ඉහළ ම හැකියාවක් පෙන්වන ප්‍රොසෙසරය බවට Ryzen ප්‍රොසෙසර පත්වීමයි. Intel හා සැසඳීමේදී මිලෙන් අඩු වූ මෙම ප්‍රොසෙසර සතුව ඉහළ Core ප්‍රමාණයක්ද අඩංගු වුණා. Ryzen 1700 ප්‍රොසෙසර සතුව Core 8ක් සහ Threads 16ක් පැවති අතර Intel තම පාරිභෝගික ප්‍රොසෙසර සඳහා පළමු වරට Core 8ක් එක් කළේ ඊට වසරකට පසුව වීම විශේෂත්වයක්.

ryzen and intel single core benchmarks
නවතම Ryzen ප්‍රොසෙසර Single Core ඉහළම හැකියාව පෙන්වයි – statista.com

මතකය සම්බන්ධ දෝෂ නිවැරදි කරමින් Zen plus ආකෘතිය සමඟ Ryzen දෙවන පරම්පරාවේ ප්‍රොසෙසර වෙළඳපළට නිකුත් වූ අතර ඒවා යම් තරමක අලෙවියක් පෙන්වූවා. 2015දී හඳුන්වා දුන් Skylake ආකෘතිය 2017දී වෙනස් කරමින් Coffee Lake ආකෘතිය හඳුන්වා දුන් Intel සමාගම 2018දී එම ආකෘතිය ම තවදුරටත් වැඩි දියුණු කර i9 ප්‍රොසෙසර මාදිලිය සමඟ Core 8ක් සහ Threads 16ක් සහිත 9900K හඳුන්වා දුන්නා.

එයට පිළිතුරු ලෙස AMD සමාගම Zen-2 ආකෘතිය 2019දී හඳුන්වා දුන් අතර එහි Ryzen 9 3900X ප්‍රොසෙසරය Multi-Core අංශයෙන් Intel සමාගමේ i9-9900K පහසුවෙන් ම පසු කළා. Single Core හැකියාව සැලකීමේදී Intel ප්‍රොසෙසරය පැවතියේ වඩා ඉදිරියෙන්. මේ නිසා Intel කියා සිටියේ තමන් තවමත් ලොව හොඳ ම ප්‍රොසෙසර නිෂ්පාදකයා බවයි.

AMD සමාගම 2020 වසර සඳහා Zen-2 ආකෘතියේ Ryzen 4000 ප්‍රොසෙසර පෙළ නිකුත් කිරීමට අමතර ව වසර අවසානයේදී Zen-3 ආකෘතියේ Ryzen 5000 ප්‍රොසෙසර පෙළක්ද හඳුන්වා දුන්නා. මෙවර ඔවුන් Multi-Core සහ Single Core දෙඅංශයෙන් ම Intel සමාගමේ ප්‍රොසෙසර අබිබවා ගියා. Ryzen 9-5900X ප්‍රොසෙසරය Core i9-10900K ප්‍රොසෙසරයට වඩා Multi Core සහ Single Core අංශ ද්විත්වයෙන් ම 10%ක පමණ වැඩි හැකියාවක් පෙන්වනවා.

processor market share
ලෝක ප්‍රොසෙසර වෙළඳපළේ හිමිකාරිත්වය – thetechzone.online

2020 අප්‍රේල් මාසයේදී ලෝක ප්‍රොසෙසර වෙළඳපළේ AMD හිමි කර ගෙන තිබුණේ 21.7%ක හිමිකාරිත්වයක් පමණක් වන අතර Intel සමාගම සතුව 78.3%ක හිමිකාරිත්වයක් පැවතියා. 2021 ජනවාරි වන විට AMD සමාගම තම හිමිකාරිත්වය 29%ක් දක්වා වර්ධනය කර ගෙන ඇති අතර Intel සමාගමේ අගය 70% දක්වා පහත බැස තිබෙනවා.

මෙම සමාගම් දෙකේ සීතල යුද්ධය මේ ආකාරයෙන් ම පැවතියහොත් පාරිභෝගිකයන් ට වඩා දැරිය හැකි මිල ගණන් වලට ඉහළ ම හැකියාවන්ගෙන් යුත් ප්‍රොසෙසර මිලදී ගැනීමට හැකිවනු නොඅනුමානයි.

කවරයේ ඡායාරූපය- curiushistorion.com

මූලාශ්‍ර:

reddit.com

techspot.com

medium.com

tomshardware.com

extremetech.com

superuser.com

techradar.com 

Related Articles