Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අපේ අතිශය පෞද්ගලික වීඩියෝ/ෆොටෝ කවුරුන් හෝ ඉන්ටර්නෙට් එකට දැම්මොත්? – ලංකාවේ මේ සම්බන්ධ නිතිය ගැන විග්‍රහයක්

මිනිසා කියන්නේ හරිම සංකීර්ණ අදහස් තියෙන ජීවියෙක්. එක එක්කෙනාට තියෙන්නේ එක එක විදියේ ආසාවන්. ඒ ආසාවන් මුදුන් පත්කරගන්න එක එක්කෙනා පාවිච්චි කරන්නේ එක එක ක්‍රමවේද. මිනිසාගේ මේ වෙනස සුදු, කළු, කොකේසියානු, ආසියානු බේදයක් නැතුව ආගම් බේදයක් නැතුව, ආර්ථික මට්ටම, අධ්‍යාපන මට්ටම ගැන බේදයක් නැතුව අපිට දැකබලාගන්න පුළුවනි. එහෙම තමන්ගේ ආසාවන් සම්පූර්ණ කරගන්න මිනිස්සු කරන දේවල් Roar වෙබ් අඩවිය තුළිනුත් අපි නිරන්තරයෙන්ම ඔබ වෙත ඉඳිරිපත් කරලා තියෙනවා.

මිනිස්සුන්ගේ තියෙන තවත් එක ආසාවක් තමයි තමන්ගේ පෙම්වතියගේ, බිරිඳගේ නිරුවත් හෝ අඩනිරුවත් ඡායාරූප, තමන් ඒ අය එක්ක ලිංගික ක්‍රියාවන්වල යෙදෙන ආකාරය වීඩියෝ කරලා හෝ ඡායාරූපයට නඟලා තමන් සතුව තබා ගන්න එක. ලෝකයේ බොහෝ රටවලත් ඔය ආසාව තියෙන සහ ඒ ආසාව සම්පූර්ණ කරගත්ත මිනිස්සු මිලියන ගාණක් ඉන්නවා. අපේ රටේ තියෙන සංස්කෘතික බැඳීම් එක්ක එහෙම කාගේ හෝ නිරුවත් පිංතූර හෝ වීඩියෝ තමන් සතුව තියාගෙන ඉන්න එක ගැන සමාජය බලන්නේ වපරැහින් උනත් එහෙම කරන පුද්ගලයන්ගෙන් මෙහෙත් කිසි අඩුවක් නම් නැහැ. ඒ නිසයි අපි මුලදිම කිව්වේ, මිනිස්සුන්ගේ ආසාවන් විවිධයි විශමයි කියලා.

නමුත් ප්‍රශ්නේ වෙන්නේ කවුරුන් හෝ කෙනෙක් එහෙම තමන්ගේ බිරිඳගේ, පෙම්වතියගේ නිරුවත් ඡායාරූප ළඟ තියාගෙන ඉන්න එක නම් නෙමේ. මොකක් හරි හේතුවක් නිසා ඒ ඡායාරූප වෙනත් කෙනෙකුගේ අතට ගිහින් ඒ පුද්ගලයා විසින් එම ඡායාරූප අන්තර්ජාලයට එකතු කරාම සිද්ධ වෙන දේයි. මේ වගේ දෙයක් සිද්ධ උනෝතින් අපේ සමාජයේ ඉන්න ගොඩක් අය කියන්නේ දැන් නම් ඉතින් ජීවත් වෙලා වැඩක් නැහැ කියලා තමයි. නමුත් විසිඑක්වෙනි සියවසේ තොරතුරු තාක්ෂණ යුගයේ ඉන්න අපිට ඒ වගේ කරදරයක් උනෝතින් සියදිවි නසාගන්නවා හැර වෙන කරන්න තියෙන දේවල් මොනවද? ඒ ගැන ඔබව දැනුවත් කරන්න තමයි අපි මේ ලිපියෙන් උත්සාහ කරන්න හිතුවේ.

මොනවද මේ අසහ්‍ය ප්‍රකාශන කියන්නේ?

අසභ්‍ය දර්ශන ආශ්‍රිත වෙබ් අඩවි (www.psychologies.co.uk)

අසභ්‍ය දර්ශන ආශ්‍රිත වෙබ් අඩවි (www.psychologies.co.uk)

මුද්‍රිත හෝ ඩිජිටල් මාධ්‍යයෙන් පළකරනු ලැබූ නිරුවත් හෝ අඩනිරුවත් ඡායාරූප සහ වීඩියෝ අසභ්‍ය ප්‍රකාශනයක් ලෙස අර්ථ දැක්වෙනවා. ඒ වගේම නිරුවත් හෝ අඩ නිරුවත් දර්ශනයක් රැගත් ලියවිල්ලක්, පෝස්ටරයක්, චිත්‍රයක් පවා අසභ්‍ය ප්‍රකාශනයක් ලෙස විග්‍රහ කර දක්වන්න පුළුවනි.

අසභ්‍ය ප්‍රකාශන සම්බන්ධව අපේ රටේ නීතිය කෙබදුද?

නීතිය. (www.newmanlaw.us)

නීතිය. (www.newmanlaw.us)

ශ්‍රී ලංකාවේ අසභ්‍ය ප්‍රකාශන ළඟ තබාගැනීම පිළිබඳ නීතිය 1927 අසභ්‍ය ප්‍රකාශන පනතින් කියැවෙනවා. ඉතාම දීර්ඝ කාලයකට පසුව එය 2005 වර්ෂයේදී සංශෝධනයට ලක්වුණා.

මේ පනත මගින් අසභ්‍ය ලේඛණ, මුද්‍රිත චිත්‍ර සිතුවම්, පිංතූර, පෝස්ටර්, සංඥා, ඡායාරූප, චිත්‍රපට හෝ වීඩියෝ පට හෝ වෙනත් අසභ්‍ය ද්‍රව්‍ය මහජන ප්‍රදර්ශනය හෝ බෙදා හැරීම සඳහා ළඟ තබා ගැනීම හෝ නිපදවීම, ආනයනය අපනයන යනාදි දෑ පොදුවේ හෝ පුද්ගලිකව වෙළඳාමේ නිරත වීමක් හෝ සහය දැක්වීම, පළ කිරීම හෝ ප්‍රසිද්ධ කරවීම දඬුවම් ලැබිය හැකි වැරදි ක්‍රියාවන් ලෙස දක්වා තිබෙනවා.

ඊට අමතරව ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 285, 286, 287 වගන්ති යටතේ මෙැවැනි අසභ්‍ය පොත්, සගරා, පත්‍රිකා, ඡායාරූප, චිත්‍ර හෝ එවැනි වෙනත් දෙයක් ළග තබා ගන්නා, විකුණන බෙදා හරින, පිට රටින් ගෙන්වන, කුලියට දෙන, මුද්‍රණය කරන, උවමනාවෙන් ම මහජන ප්‍රදර්ශනයට තබන අයෙකුට මාස තුනක කාලයක් සදහා බන්ධනාගාර ගත කිරීමක් හෝ දඩයක් හෝ එම දඩුවම් දෙක ම පැනවිය හැකි බවට දක්වා තිබෙනවා.

ඒ වගේම 1995 අංක 22 දරන දණ්‌ඩ නීති සංග්‍රහයේ (සංශෝධන) පනතේ 345 වගන්තිය යටතේ පැහැදිලි කරලා තියෙන ආකාරයට, යම් පුද්ගලයෙකුට වචනයකින්, ක්‍රියාවකින් හෝ ඉඟියකින් ලිංගික හිංසනයක් සිදුකිරීමේ වරදක් ලෙසට දක්වලා තියෙනවා. මෙහිදී යම්කිසි කෙනෙකුගේ නිරුවත් හෝ අඩ නිරුවත් ඡායාරූපයක් අන්තර්ජාලයට නිකුත් කිරීම පැහැදිලිවම ලිංගික හිංසනයක් සිදුකිරීමක් විදියට හුවා දක්වන්න පුළුවනි. ශ්‍රී ලංකාවේ නීතියට අනුව ලිංගික අතවරයක් සිදුකිරීම හෝ සිදුකිරීමට තැත්කිරීම දැඩි දඬුවම් ලැබෙන වරදක්.

2007 අංක 24 දරන පරිගණක අපරාධ පනත ඔස්සේත් අන්තර්ජාලය සහ විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාලයන් හරහා සිදුකරනා මෙකී නිරුවත් ඡායාරූපයන් හෝ වීඩියෝ ප්‍රචාරය කිරීමට විරුද්ධව නඩු පැවරිය හැකියි.

එතකොට ඔබට පැහැදිලියි, කවුරුන්හෝ කෙනෙක් ඔබේ පරිගණකයේ හෝ ජංගම දුරකතනයේ තියෙන අතිශය පෞද්ගලික වීඩියෝ/ඡායාරූප (බොහෝ විට නිරුවත් ඡායාරූප) අන්තර්ජාලයට නිකුත් කරනවා කියන්නේ ඒ පුද්ගලයා සිදු කරන්නේ රටේ නීතිය කඩකිරීමක්. ඔබේ අනුදැනුමක් යටතේ එය සිදු වුනානම්, ඔබත් වරදකරුවෙක්. එවැනි පුද්ගලයින්ව නීතිය ඉඳිරියට ගෙනැවිත් දඬුවම් පැමිණවීම සිදු කළයුතු දෙයක්.

අසභ්‍ය ප්‍රකාශන අන්තර්ජාලය තුළ බෙදාහැරීමේ වරදට ලැබෙන දඬුවම් මොනවාද?

www.therepublicsquare.com

www.therepublicsquare.com

1995 අංක 22 දරන දණ්‌ඩ නීති සංග්‍රහයේ (සංශෝධන) පනතේ 345 වගන්තිය යටතේ ලිංගික හිංසනයක් සිදුකිරීමේ වරද යන චෝදනාව යටතේ පොලීසියට අදාළ සැකකරුවන්ව වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකියි. ඒ වගේම එවන් පැමිණිල්ලක් පොලීසිය තුළදී සමතයකට පත්කිරීම සිදුකළ නොහැකියි. එවන් පැමිණිල්ලක් පැමිණි විටකදී අදාළ චූදියතන්ව අත් අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණයකදී නඩු පැවරිය යුතුයි. එම වරද ඔප්පුවුවහොත් අදාළ චූදිතයාව අවුරුදු 5ක් දක්වා බන්ධනාගාර ගතකරන්නට මහේස්ත්‍රාත්වරයාට හැකියාව තිබෙනවා. ඒ වගේම එම ක්‍රියාව හේතුවෙන් අගතියට පත් කාන්තාවට වන්දි මුදලකුත් ලබාගත හැකියි. තමන්ට සිදුවූ හානියේ ප්‍රමාණය අනුව මේ වන්දි මුදල තීරණය වෙනවා. මෙය  රුපියල් මිලියන කීපයක වන්දියක් උනත් වෙන්න පුළුවන්.

දැන් ඔබට ඉතාමත්ම පැහැදිලි ඇති මේ පිළිබඳව තියෙන නීතිමය තත්ත්වය. ඒ වගේම එම වරදවල්වල ස්වභාවය සහ ඒවාට ලැබෙන දඬුවම. ඇත්තම කතාව නම් මේ වගේ දේකදී අගතියට පත්වුන පුද්ගලයා හට නීතියෙන් විශාල පිළිසරණක් තිබෙනවා. නමුත් නීතිය හමුවට ගිහින් ඒ පිළිසරණ ලබාගන්නේ කීයෙන් කීදෙනෙක්ද?

Roar පාඨක ඔබෙන් අපි ඉල්ලන්නේ එක දෙයයි. අනාගතයේ කවදා හරි දවසක ඔබ දන්න හඳුනන කෙනෙක්ට වුවත් මේ අකරතැබ්බයට මුහුණ දීමට සිදු වුනොත් ඒ වෙලාවකදී මේ ලිපියේ අඩංගු කරුණු ඒ අයට දැනුම් දෙන්න. ඒ අයට නීතියේ පිහිට ලබාගන්න අවශ්‍ය මැදිහත්වීම සිදුකරන්න. මතක තබාගන්න. වඩාත් යහපත් ලොවක් ඉබේ හැදෙන්නේ නැහැ. අපි ඒ වෙනුවෙන් මහන්සි විය යුතුයි. මේ ඒ වෙනුවෙන් කැපවෙන්න කාලයයි.

ඉතින් කිව්වා වගේ අවාසනාවකට ඔබට හෝ ඔබ දන්නා අයෙකුට මේ වගේ අකරතැබ්බයකට මුහුනදෙන්න සිදු උනොත්? එතකොට කල නොකළ යුතු දේ ගැන ලිපියක් ළඟදීම බලාපොරොත්තු වෙන්න.

මෙම ලිපිය සැකසීම සඳහා තොරතුරු ලබාදීමෙන් විශාල සහයක් දැක්වූ කොළඹ පොලිස් මූලස්ථානයේ ළමා හා කාන්තා කාර්යංශයේ මහජන සම්බන්ධතා අංශයේ ගරු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර මහතාටත්, නීතීඥ ගයනි දික්කුඹුර මහත්මියටත්, නීතිඥ ශලිනි දිසානායක මෙනවියටත් අපගේ ගෞරවනීය ස්තූතිය හිමිවෙනවා.

කවරයේ පින්තුරය: Forbes.com

Related Articles