අතීතයේ සිටම ඉර මුල් වූ ජීවන රටාවකට හුරුපුරුදු අපට, ඉර වැනුම සමීප අත්දැකීමකි. ලංකාවේ පමණක් නොවේ මුළු ලෝකයේම ජීවය ඉර ය. ඉරෙන් ලැබෙන එළිය, තාපය හා බලය ජීවය නඩත්තු කරයි. ඉරට වඩා මිනිස් ජීවයට වැදගත් වෙනත් තරුවක් නැත. ඒ නිසාම දෝ අපේ ජන කවියා ඉර දෙවියන් මෙලෙස පසසන්නේ;

මේ කාගේ දෝ                කමතා

ඉරු දෙවියන්ගේ              කමතා

ඉරු දෙවියෝ දුන්නු           බැතා

අද පුරවන් මේ                 කමතා

ඉර දෙවියන් අල්ලන්න මිනිසාට පුළුවන් නම් එය සැබෑවටම විස්මයකි. මේ ලිපිය සැබෑවටම ඉර දෙවියන් අල්ලන්න යන මෙහෙයුමක් ගැන ය. උදයට පායන හවසට බැස යන හිරු ගැන අපි දන්නේ මොනවද? 

එය පොළොවේ සිට කි.මි. මිලියන 150ක් පමණ ඇතින් වේ. ඒ කියන්නේ පොළොවේ සිට සඳට ඇති දුර මෙන් 389 ගුණයක් දුරින්. ඉර කෙතරම් විශාල ද කියතොත්, ඉරේ දෑරය (විස්කම්භය) දිගේ පොළෝ තල 109ක් පෙළට තැබිය හැකියි. ඉරේ ඇතුළත රස්නය ෆැරන්හයිට් අංශක මිලියන 15ක් පමණ ඉහළ අගයක් ගත හැක. තාරකා විද්‍යාවේ දී අප සම්මතයක් ලෙසත් ගණන් ගැනෙන ඉරේ ස්කන්ධය කි.ග්‍රෑ. 2×10^30 පමණ වේ (පොළොවේ ස්කන්ධය මෙන් 332,946 ගුණයක්). එනමුත් හිරුගේ බර ඉතා වේගයෙන් අඩුවෙමින් පවති. සෑම තත්පරයක දී ම ඉර කි.ග්‍රෑ. බිලියන 1.3කට ආසන්න ප්‍රමාණයක් තම සිරුරෙන් ඉවත් කරයි. තවත් අප දන්නා කරුණු කිහිපයක් තිබුණත්, ඉර ගැන බොහෝ හැදෑරීම් කර ඇතත් අප නොදන්නා දේ මහත් ය.

ඉරේ යකැති පිටියුරු වැල් ඇඹරී පුපුරා ද්‍රව්‍ය පිටතට විසි වෙන අයුරු. නිල් පාට තිත ඉරට සාපේක්ෂව පොළොවේ තරම පෙන්වයි. (ඡායාරූපය: නාසා)

ඒ නිසා යි නාසා ආයතනය ඉර වෙතට පිරියහස් යානාවක් (spacecraft) දියත් කරන මහ මෙහෙයුමක් පටන් ගත්තේ. මේ යානාව පාකර් සූර්ය එබික්සුම (Parker Solar Probe) ලෙස නම් කර ඇත. පාකර් නම දී ඇත්තේ භෞතික විදුසුරු යුජීන් පාකර් මහතාට ගරු කිරීමක් ලෙස යි. නාසා විසින් තම යානාවකට ජීවතුන් අතර සිටින කෙනෙකුගේ නමක් යොදා ගත් පළමු අවස්ථාව ද මෙය වේ. යුජීන් පාකර් විදුසුරුවා සූර්ය සුළං පිළිබඳ වැදගත් පිරියෙසුම් ගණනාවක් කළ අයෙකි. පසුගිය අගොස්තු 12 වන දා හිරුටත් හොරා හිරු උදාවෙන්නත් කලින් මේ යානාව මිහිතලයෙන් නික්ම හිරු අල්ලන සත් වසරක ගමන ඇරඹුවා.

ඉර අල්ලන මෙහෙයුම- පාකර් සූර්ය එබික්සුම. (ඡායාරූපය: නාසා)

ගමන් කාලය අවුරුදු හතකට කෙටි කරගන්න සිකුරු ග්‍රහයාගේ ගුරුත්ව බල සහායෙන් හත් වරක්ම ගමන් මඟ වෙනස් කරගන්න පාකර් සූර්ය එබික්සුමට සිදුවෙනවා. පාකර් එබික්සුම, කිසිදා නොවු විරූ අන්දමින් හිරු මතුපිට සිට කි.මි. මිලියන 6ක් තරමට ළංවෙන්න බලාපොරොත්තු වෙනවා. මෙයට කලින් 1976 දී හිලියොස්-2 යානාවට හැකි වුණා හිරුට කි.මි. මිලියන 43ක් තරමට කිට්ටු වෙන්න. අපි සරල නිදසුනක් ලෙස; ඉරත්-පොළවත් අතර දුර මිටර 1ක්යැ යි සිතුවොත්, පාකර් එබික්සුම ඉරේ සිට සෙ.මි. 4ක් තරම් කිට්ටුවට යනවා.

ඉරේ සිට කි.මි. මිලියන 6ක් ගොඩක් ඈතයැ යි හැඟුනත් ෆැරන්හයිට් අංශක 2500 (සෙල්සියස් අංශක 1400) පමණ තාපයක් ඇති, විකිරණසුලු (රවිසුරුව), මහ බල අංශු හමා යන පරිසරයක තමයි පාකර් එබික්සුමට වැඩ කරන්න සිදුවෙන්නේ. මේ පරිසරයට ඔරොත්තු දීමට අඟල් 4.5 (සෙ.මි. 11.5) පමණ මහත කාබන් සංයුත පිටත ආවරණයක් යොදා තිබෙනවා. යානාවේ සංවේදී උපකරණ කාමර උණුසුමට කිට්ටුවෙන් පවත්වා ගන්න හැකි වන පරිදි මේ ආවරණ සකසා ඇත.

ඒ කෙසේ වෙතත් අපි දන්නවා ඉර ඇතුළත රස්නය ෆැරන්හයිට්/ සෙල්සියස් අංශක මිලියන කිහිපයක් වන බව. ඒ නිසා යානාවේ ගමන් මඟෙහි යම් වරදක් වුවහොත් පාකර් එබික්සුම සූර්ය ගිනි ජාලාව ඇතුළට, නැවත බේරාගත නොහැකි ලෙස කිඳා බසිනු ඇත.

පාකර් සූර්ය එබික්සුම මිහිතලයෙන් නික්ම යෑම. (ඡායාරූපය: නාසා)

ඉතින් මේ යනාව හරහා අපි මොනවද ඉගෙන ගන්න බලාපොරොත්තු වන්නේ? පිරියහස් කාලගුණය (space weather) මේ දිනවල නිතර ඇස් ගැටෙන කාරණාවක්. ඒ පිරියහස් කාලගුණය අපි එදිනෙදා පරිහරණය කරන සිප්ලකුවෙහි (technology) වැඩදායක බවට එක එල්ලේ බලපාන නිසා ය. පිරියහස් කාලගුණය යනු ඉරෙන් හමා එන සූර්ය සුළඟත්, රවිසුරුවත් (විකිරණ) විසින් පොළොවට ආසන්න පිරියහසේ (උදා; කි.මි. 100-1000) නඟන වෙනස්කම් ය. නිදසුනක් ලෙස; මෙමඟින් පොළොවේ චුම්භක ක්ෂේත්‍රය (මිහි යකැති බලය) කළඹවා ලෝකයේම විදුලිය බෙදාහැරුමට මහත් ගැටළු ඇති කරන්න පුළුවන්. තවද, සහසරු (satellite) සිප්ලකුව මත රඳා පවතින සේවා (උදා; බැංකු, සන්නිවේදන, ගුවන්/ නාවුක ගමන්) මහත් සේ අඩාල විය හැකියි. ඒ පමණක්ම නොවේ, අන්තර්ජාතික පිරියහස් පොළේ (International Space Station) නේවාසික ගගනගාමින්ටත් රවිසුරුව දරුණු ලෙස බලපාන්න පුළුවන්.

ඉරේ යකැති පිටියුරු වැල් පිරිගණන මඟින් නිරෑපණය කර ඇති අයුරු. (ඡායාරූපය: නාසා)

අවුරුදු 60කට වැඩි කාලයක්, ඉරෙන් බලය නිපදවෙන්නේ කෙසේ ද? තාපය ගමන් කරන්නේ කෙසේ ද? සූර්ය බල අංශු රැගෙන එන සූර්ය සුළගේ වේගය වෙනස් වන්නේ කෙසේ ද? ආදි පැන ගැන විදුසුරුවන් බොහෝ සේ වද වේ. ඉරේ ගිනිදැල් සිඹින තරමට කිට්ටු වෙලා පාකර් සූර්ය එබික්සුමට පුළුවන් වෙයි, මේ සූර්ය බල අංශු ගැන අපේ දැනුම තවත් පුළුල් කරවන්න. පාකර් එබික්සුම ඉරේ යකැති පිටියුරුව (magnetic field), අංශු ඝනත්වය, උෂ්ණත්වය ආදි මූලික දෑ මැනීමට නියමිත ය.

ඉරේ යකැති පිටියුරුවට අදාළ අපේ දැනුමේ බොහෝ අඩු පාඩු ඇත. නිදසුනක් ලෙස මේ දක්වා අපේ පැහැදිලි කිරීම් ඈත සිට කරන නිරික්සුම් හා ඊට ගැලපෙන විතේරි (theories) මත පදනම්ව ඇත. පාකර් එබික්සුම ඉරේ යකැති පිටියුරුව බලවත් තැනක සිට කරන මැනුම්වලින් මේ යකැති පිටියුරුව ඇඹරෙන කැඩෙන අයුරු ගැන අපි නොදන්නා දේ බොහෝමයක් පහදනවා මෙන්ම අපේ විතේරියන් හි නිවැරදි බව ද තහවුරු කරනු ඇත.

ඉතින් පිරියහස් කාලගුණය ගැන මනා දැනුමක් සමග අපට පොළොවේ සිප්ලකු කරදරයක් නැතිව නඩත්තු කිරීමට මෙන්ම පොළොවෙන් එපිටට ගගනගාමින් පරිස්සමෙන් යවන්නටත් පුළුවන් වේවි.

කවරයේ පින්තූරය: www.princeton.edu