Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පරිණාමයේ මතක සටහනක් වූ ලුසී

මානව පරිණාමය වසර මිලියන ගණනක් තිස්සේ සිදුවුණු ක්‍රියාවලියක්. නූතන මානවයාගේ ආදිතමයන් ලෙස සැලකෙන ජීවි විශේෂ 5 ක් මානව විද්‍යාඥයන් හඳුනාගෙන තිබෙනවා. ඔවුන් පිළිවෙලින් ඔස්ත්‍රොලොපිතකස් ඇෆරන්සස් (Australopithecus afarensis), හෝමෝ හැබිලිස් (Homo habilis), හොමෝ ඉරෙක්ටස් (Homo erectus), නියැන්ඩතාල් (Neanderthal) සහ හෝමෝ සේපියන්ස් (Homo sapiens) ලෙස දැක්විය හැකියි.

නූතන මානවයා හඳුන්වන්නෙ හොමෝ සේපියන්ස් සේපියන්ස් (Homo sapiens sapiens) ලෙසයි.

18 වන සියවසේ සිට මේ දක්වා පරිණාමයේ ගමන් මඟ. (www.independent.co.uk)

වැඩිම කාලයක් මිහිමත ජීවත් වුණූ, දැනට වැඩිපුරම තොරතුරු දන්නා ආදි මානව විශේෂය තමයි  ඔස්ත්‍රොලෝපිතකස් ඇෆරන්සස් (Australopithecus afarensis) කියන්නෙ. මොවුන් වසර 900,000 ක් පුරා පෘථිවිය මත නොනැසී පැවතුණා. ඒ කාල සීමාව නූතන මානවයා (Homo sapiens sapiens) දැනට ජීවත්ව සිටින කාලය වගේ හතර ගුණයක්.

ජීව විද්‍යාත්මකව මානව සහ වානර ලක්ෂණ දෙකම දක්නට ලැබෙන මොවුන් ජීවත් වෙලා තියෙන්නෙ නැගෙනහිර අප්‍රිකාවෙ. මෙම විශේෂයේ මොළය ගෝරිල්ලන්ගේ මොළයට බොහෝ සමානකම් දක්වනවා. ප්‍රථම මානවයාගේ සුවිශේෂිත්වය වන්නේ දෙපයින් සිට ගැනීමට ඔවුන්ට තිබූ හැකියාවයි.  ලුසී කියන්නෙත් මේ මානව වි‍ශේෂයේ එක් පුරුකක්.

ලුසී කවුද? කොහෙන්ද ආවෙ?

ලුසී ගේ නිර්මාණය කරන ලද සේයාරුවක්. (www.independent.co.uk)

1974 නොවැම්බර් 24 වෙනිදා ඩොනල්ඩ් ජොහැන්සන් සහ ටොම් ග්‍රේ කියන මානව විද්‍යාඥයින් දෙදෙනාට ලුසීව දකින්න ලැබුණෙ ඉතියෝපියාවෙ අෆාර් නිම්නයෙදි.

ෆොසිල සොයමින් සහ අධ්‍යයනය කරමින් උදෑසන දීර්ඝ කාලයක් මහන්සි වුණු මේ විද්‍යාඥයෝ දෙදෙනා එදිනට නියමිත වැඩ අවසන් කරන්න තීරණය කරලයි තිබුණෙ. ඒත් ජොහැන්සන්ට එක් වරම දකින්න ලැබුණා යටි බාහුවක අස්ථි කැබැල්ලක්. ඒත් එක්කම ඒක මානව අස්ථියක් කියලා හඳුනා ගන්නත් ඔහුට වැඩි කාලයක් ගත වුණේ නැහැ. ඉන්පස්සෙ අපර කපාල අස්ථියක්, ඌර්වාස්ථියක් (කලවා අස්ථි), පර්ශුක අස්ථි කිහිපයක්, ශ්‍රෝණි අස්ථියක් සහ යටි හනුවක් ඒ අසළම තිබී සොයාගන්න පුළුවන් වුණා. සති දෙකක් පුරා සිදු කළ පර්යේෂණ වල ප්‍රතිඵලයක් විදියට මානව සැකිල්ලක 40%ක ප්‍රතිශතයක් සම්පූර්ණ කරන්නට ඒ අස්ථි කොටස් උපකාරී වුණා.

නම් තැබීම

විද්‍යාඥයන් සොයා ගත් ලුසී ගේ අස්ථි කොටස්. (www.heritagedaily.com)

ලුසීගේ අස්ථි කොටස් ඉතියෝපියාවේ ජාතික කෞතුකාගාරයේ පුරාමානව විද්‍යා අංශයේ තැන්පත් කර තිබෙනවා.

මේ කාලයේදී නිතර ගුවන් විදුලියෙන් විකාශය වුණු “බීට්ල්ස්” සංගීත කණ්ඩායමේ “Lucy in the Sky With Diamonds” කියන ගීතය අනුවයි මේ සැකිල්ලෙ අයිතිකාරියට “ලුසී” කියන නම ලැබුණෙ. ඒත් මේ නම කවුරු මොන වෙලාවකදි දැම්මද කියලා නම් කිසි කෙනෙක් දන්නෙ නැහැ.

සිව්පාවෙකු නෙවෙයිද?

සෘජු කාය විලාසය පෙනෙන ලෙස නිර්මාණය කළ ලුසී. (www.youtube.com)

නූතන මානව සැකිල්ල අනුව ලුසීගෙ අස්ථි ද්වි පාදකයන්ගේ අස්ථි වලට සමානයි. ඇගේ ඌර්වාස්ථියේ ද්වි පාදකයන්ට ආවේණික වුණු ලක්ෂණ රැසක් තියෙනවා.

සිව් පාදකයෙකුගේ සිට ද්වි පාදකයෙකු දක්වා පරිණාමයේදී අපර ගාත්‍රා (පාද) වල සිදුවන වෙනස්කම් බොහොමයක් දක්නට ලැබෙන අතර ශ්‍රෝණියේද ද්වි පාදී ලක්ෂණ රැසක් දැකගත හැකියි. වළලුකර වෙතට අභිසාරීව පිහිටි පාදයේ ඇඟිලි වල අස්ථි මැය ද්වි පාදකයෙක් බව තහවුරු කරන තවත් සාධකයක්.

ද්වි පාදකයන්ට පමණක් ආවේණික වූ කශේරුකාවේ වක් හැඩය මොවුන්ගේ සෘජු කාය විලාසයට කෙලින්ම බලපානවා.

ඇය ගැහැණු සත්ත්වයෙක්

ලුසී ගේ අස්ථි සැකිල්ලෙහි අනුරුවක්. (www.independent.co.uk)

ඔස්ත්‍රොලෝපිතකස් ඇෆරන්සස් මානව විශේෂයට අයත් ලුසී කුඩා ශරීරයක් ඇති, කපාල ධාරිතාවය සාපේක්ෂව අඩු සත්ත්වයෙක්.

විද්‍යාඥයින් විසින් වැඩිම කාලයක් හොඳින්ම අධ්‍යයනය කළ මානව විශේෂය වන්නේත් මොවුන්. මොවුන්ගේ පිරිමි සත්ත්වයින්ට සාපේක්ෂව ගැහැණු සත්ත්වයින් ශරීර ප්‍රමාණයෙන් කුඩායි.  කුඩා ශරීරය, පළල් ශ්‍රෝණිය, විශාල නොවූ බාහු, පටු උරහිස් ලුසී ගැහැණු සත්ත්වයෙකු බව තහවුරු කරනවා.

ලුසී ගේ මරණ පරීක්ෂණය

වසර මිලියන 3.2 කට පෙර වාසය කළ ලුසීගේ මරණය ගසකින් වැටීමෙන් සිදු වූවක් කියලා තමයි නවතම පරීක්ෂණ වලින් හෙලි වෙන්නෙ. ඇමරිකාවේ ටෙක්සාස් ජනපදයේ මහාචාර්ය ජෝන් කෙපල්මන් ඇතුළු පිරිසක් ලුසීගේ අස්ථි සී.ටී. ස්කෑන් පරීක්ෂණයකට ලක් කිරීමෙන් අනතුරුව මේ බව නිගමනය කර තිබෙනවා. ඇගේ පූර්ව ගාත්‍රා අස්ථි වලට අනුව ඒවායේ ශක්තිමත්භාවය චිම්පන්සීන් ගේ සහ නූතන මානවයාගේ අත්වල ශක්තිමත්භාවය අතර පවතිනවා.

ලුසීව සොයාගත් කාලයේ ඉඳන්ම විද්‍යාඥයන්ට තිබුණු ගැටළුවක් තමයි ඇය ගස් නඟිමින් ජීවත් වුණාද එහෙමත් නැත්නම් පොළොව මත ඇවිදිමින් ජීවත් වුණාද කියන දේ. නමුත් මේ නවතම පර්යේෂණ වලට අනුව ඇගේ අත් වල අස්ථි ශරීරය ඉහලට තල්ලූ කරමින් ගස් නැඟීම සඳහා උපකාර වන විදියටයි සැකසිලා තිබෙන්නේ.

ලුසී මිය යාමට පෙර ගසකින් වැටුණු ආකාරය පැහැදිලි කෙරෙන සටහන. (www.sci-news.com)

ලුසීගේ ජීවන රටාව සහ ගමන් විලාසය මොන වගේද කියලා විශ්ලේෂණය කිරීමට අස්ථි හරස්කඩවල් සහ පරිලෝකන ප්‍රස්තාර දහස් ගණනක දත්ත ලබා ගත් විද්‍යාඥයින් ඒවා පොළොවේ ජීවත් වන නූතන මානවයාගෙ අස්ථි සමඟත් ගස් උඩ ජීවත් වන චිම්පන්සින්ගේ අස්ථි සමඟත් සසඳා බලනවා.

ඒ අනුව ඇගේ පූර්ව ගාත්‍රා (අත්), අපර ගාත්‍රා (පාද) වලට වඩා ශක්තිමත් බවත්, බරින් වැඩි බවත් ඔවුන්ට තහවුරු වෙනවා. ඒ වගේම ඇය අපර ගාත්‍රා භාවිතා කර ඇති ප්‍රමාණය පූර්ව ගාත්‍රා භාවිතා කර ඇති ප්‍රමාණයට වඩා බොහෝ අඩුයි. ලුසී නූතන මානවයාට වඩා අඩුවෙන් පාද භාවිතා කළ බව තමයි පෙනී යන්නෙ. ඒ අනුව විද්‍යාඥයින් නිගමනයකට එළඹෙනවා ලුසී ජීවිතයේ වැඩි කාලයක් ආරක්ෂාව, නින්ද සහ ආහාර සඳහා ගස් නඟිමින්, ගසෙන් ගසට පනිමින් ජීවත් වූවෙකු බව.

පෙර පර්යේෂණ වලට අනුව ලුසීගෙ උස අඩි 4ක් (122 cm) සහ බර රාත්තල් 65ක් (29 kg) ලෙස සඳහන් වෙනවා. ලුසීව හමුවුණේ 1974 දි වුණාට විද්‍යාඥයින් නව තාක්ෂණය යොදාගෙන ඇය ගැන පරීක්ෂණ කරන්න පටන් ගත්තේ 2008 වර්ෂයේ සිටයි.

දින 10ක් තිස්සේ සිදු කළ මේ සී.ටී. ස්කෑන් පරීක්ෂණයට අනුව ඇය අඩි 40ක් වැනි ඉහළ උසකින් වැටීමෙන් මරණය සිදුව ඇති බවටත් වැටී තිබෙන්නෙ ගසකින් බවත් ඔවුන් පවසනවා. ඇය බොහෝ වේදනාකාරී මරණයක් අත්විඳින්නට ඇතැයිද ඔවුන් පවසනවා.

කවරයේ පින්තූරය: www.independent.co.uk

මූලාශ්‍ර: humanorigins.si.edu, time.com, www.dailymail.co.uk

Related Articles