Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සන්නිවේදනය අවුල් කරන සූර්ය කුණාටු පෘථිවියට බලපාන හැටි

සූර්යයාගේ මතුපිට ඉතා කාර්යබහුල වූ ස්ථානයක්. විද්‍යුතය ආරෝපණය වූ වායූ අංශු සූර්ය මතුපිට තිබෙන අතර, මේ ආරෝපිත වායු අංශු නිසා බලගතු චුම්බක ක්ෂේත්‍ර සහිත ප්‍රදේශ නිර්මාණය වෙනවා. සූර්යයාගේ වායූන් නිරන්තරයෙන් චලනය වෙමින් චුම්බක ක්ෂේත්‍රවල ස්වභාවය නිරන්තර වෙනස් කිරීම්වලට භාජනය කරනවා. මෙම චලිතයන් මඟින් විශාල ක්‍රියාකාරීත්වයක් ජනනය කරන හෙයින්, සූර්ය පෘෂ්ඨය ඉතා කාර්යබහුල ස්ථානයක්යැ යි පැවසීම වරදක් නොවෙයි.

 සූර්ය චක්‍රයේ අවධීන් සමඟ සූර්ය ක්‍රියාකාරීත්වයේ ප්‍රමාණය වෙනස් වෙනවා. ඇතැම් විට මෙම ක්‍රියාකාරීත්වයන්හි බලපෑම පෘථිවියට වුණත් දැනෙන්න පුළුවන්. ඒ නිසා විද්‍යාඥයන් සෑම දිනකම සූර්ය ක්‍රියාකාරකම් සමීපව නිරීක්ෂණය කරනවා. මේ දවස්වල සූර්ය කුණාටුවක් සම්බන්ධයෙන් සැලකිය යුතු කතාබහක් ලෝකයේ ඇතිවෙලා තිබෙනවා. මෙම ප්‍රවෘත්තියේ සැබෑ පදනම, සූර්ය කුණාටුවක ස්වභාවය, සූර්ය කුණාටු නිසා ඇතිවෙන බලපෑම්, ඇතුළු තවත් කරුණු සැකෙවින් ගෙන එන්නයි මේ උත්සාහය.

මොනවද මේ සූර්ය කුණාටු?

ඔබ “සූර්ය ලප” ගැන මීට පෙර අසා තිබෙනවා ද? සූර්යයා මතුපිට අඳුරු වී ඇති ප්‍රදේශ සූර්ය ලප ලෙස හඳුන්වනවා. ඒවා අඳුරු ලෙස පෙනෙන්නේ සූර්යයාගේ අනෙකුත් ප්‍රදේශවලට සාපේක්ෂව අඩු උෂ්ණත්වයක පවතින නිසා යි. සූර්ය ලපයක උෂ්ණත්වය සාමාන්‍යයෙන් ෆැරන්හයිට් අංශක 6500ක් පමණ වෙනවා. සූර්ය ලප ඇතිවන්නේ සාපේක්ෂව ශක්තිමත් චුම්බක ක්ෂේත්‍ර පවතින ප්‍රදේශවල යි. සූර්යයා තුළ ඇති තාපයෙන් කොටසක් මතුපිටට පැමිණීම වැළැක්වීමට තරම් මේ චුම්බක ක්ෂේත්‍ර ප්‍රබල වන අතර, සාපේක්ෂව සිසිල් වූ කලාප සූර්ය පෘෂ්ඨය මත ඇතිවීමට හේතු වෙනවා.

සූර්ය ලප තුළ පවතින්නේ සාපේක්ෂව අඩු උෂ්ණත්වයක් – universetoday.com 

 සූර්ය ලප අසල ඇති චුම්බක ක්ෂේත්‍ර නිතර නිතර වෙනස් වෙමින්, ප්‍රතිසංවිධානය වෙමින් පවතිනවා. මේ අස්ථාවරභාවය නිසා තව දුරටත් තාප ශක්තිය රඳවා ගැනීමේ හැකියාවක් චුම්බක ක්ෂේත්‍රවලට නොමැති වෙන්න පුළුවන්. එවිට එම ප්‍රදේශ ආශ්‍රිතව හදිසි පිපිරීම් හට ගන්නා අතර, සූර්ය ගිනිදැල් හෝ සූර්ය කුණාටු ඇති වීමට එය මඟ පාදනවා. සූර්ය කුණාටු නිසා විකිරණ අති විශාල ප්‍රමාණයක් අභව්‍යකාශයට නිදහස් වෙනවා. පිපිරීම සහ හට ගන්නා විකිරණවල ප්‍රබලත්වය අනුව ඒවායින් පෘථිවියට පවා බලපෑම් ඇති වෙන්න පුළුවන්.

සූර්ය ගිනිදැල් නිසා විශාල විකිරණ ප්‍රමාණයක් අභව්‍යකාශයට නිදහස් වෙනවා – silive.com 

ගිනිදැල් මතුවූ AR2838

 පසුගිය ජූලි මස තුන් වැනිදා AR2838 ලෙස නම් කෙරූ සූර්ය ලපයෙන් අති විශාල සූර්ය ගිනිදැල් නිකුත් වීමක් සිදුවී තිබෙනවා. 2017 වර්ෂයෙන් පසුව වාර්තා වූ විශාලතම සූර්ය ගිනිදැල් නිකුතුව මෙය බවයි සඳහන් වෙන්නේ. එක්සත් ජනපදයේ අභව්‍යකාශ කාලගුණ පුරෝකථන මධ්‍යස්ථානයේ (SWPC) නිරීක්ෂණ අනුව මෙය X1 පංතියට අයත් සූර්ය කුණාටුවක් හෝ සූර්ය ගිනිදැල් නිකුතුවක් බව කියවෙනවා. “A” පංතියේ සූර්ය ගිනිදැල් කුඩාම ඒවා වන අතර, “X” පංතියට අයත් ගිනිදැල් විශාලතම ඒවා වෙනවා. නැවත මෙම ගිනිදැල් තීව්‍රතාවයේ ප්‍රබලත්වය අනුව X1, X2, X3 වශයෙන් වර්ග කරන නිසා “AR2838” සූර්ය ලපයෙන් ඇතිවූ සූර්ය ගිනිදැල් X1 පංතියට අයත් වෙනවා. ඒ අනුව සාපේක්ෂව විශාල සූර්ය කුණාටුවක් මෙවර ඇතිවී තිබෙනවා.

“අපි කතා කරන්නේ මෙගාටොන් මිලියන 100 ක හයිඩ්‍රජන් බෝම්බ එකවර පුපුරා යාමේ ශක්තියකට සමාන වූ සංසිද්ධියක් ගැන යි.”

එක්සත් ජනපද අභව්‍යකාශ පුරෝකථන මධ්‍යස්ථනයේ වැඩසටහන් සම්බන්ධීකාරක බිල් මොර්ටාග් එලෙස පවසා තිබෙනවා.

 සූර්යයා අවුරුදු 11ක් පුරා පවතින චක්‍රාකාර රටාවක් අනුගමනය කරන බව විද්‍යාඥයන් හඳුනා ගෙන තිබෙනවා. මෙම කාලය තුළ සූර්යයා තුළ ඇතිවෙන ක්‍රියාකාරකම්වල උච්චාවචනයක් සිදු වෙනවා. නව චක්‍රය 2019 වර්ෂයේ දෙසැම්බර් මස ආරම්භ වූ අතර, නව චක්‍රයේ ආරම්භයෙන් පසු නිකුත් වූ විශාලත ම ගිනිදැල් නිකුතුව මෙය නිසා වැඩිපුර අවධානයක් යොමුවී තිබෙනවා. මෙම චක්‍රයට අයත් සූර්ය ක්‍රියාකාරීත්වය 2025 ජූලි මාසය වනවිට උපරිමයකට ළඟා වනු ඇතැයි විද්‍යාඥයන් අපේක්ෂා කරනවා. එවිට සාපේක්ෂව විශාල සූර්ය ලප සංඛ්‍යාවක් නිරීක්ෂණය කිරීමට හැකි වේවි.

සූර්ය ගිනිදැල් පෘථිවියට බලපෑම් එල්ල කරන අයුරු සරලව – source – strangesounds.org 

සූර්ය කුණාටු පෘථිවියට බලපාන්නේ කොහොමද?

  AR2838 සූර්ය ලපය හරහා ඉතා ප්‍රබල සූර්ය ගිනිදැල් නිකුත් කිරීමක් සිදු වුණත්, එයින් පෘථිවියට බලපෑමක් නොවන බව විද්වතුන් අනුමාන කරනවා. සූර්ය කුණාටුවෙන් දින කිහිපයකට පසු සූර්යයාගේ භ්‍රමණය හේතුවෙන් ගිනිදැල් නිකුතුවේ පිහිටීම පෘථිවියේ දෘෂ්ටියෙන් ඈත් වී තිබෙනවා. යළි එම පිහිටීම දැක බලා ගැනීම සඳහා සති දෙකක කාලයක් ගත විය හැකි බව පැවසෙනවා. නිරීක්ෂණ දිගින් දිගටම සිදු වෙන අතර, එක්සත් ජනපදයේ අභව්‍යකාශ කාලගුණ පුරෝකථන මධ්‍යස්ථනය මේ වනවිට සූර්යයාගේ අනෙක් පස සිදුවන පිපිරීම් ගැන සොයා බලමින් සිටිනවා. 

සූර්ය ගිනිදැල් නිකුත් වූ ප්‍රදේශය මේ වනවිට පෘථිවි මුහුණතින් ඉවත්ව ගොස් තිබෙන නිසා එයින් සිදුවන බලශක්ති විමෝචනයේ බලපෑම ඉතාම අවම යි.

“මේ සූර්ය ලප සමූහය සති කිහිපයක් හෝ මාස ගණනක් පවතින්න පුළුවන්. එබැවින් සති දෙකකට පසු නැවතත් එම පිහිටුමේ සූර්ය ගිනිදැල්වල ක්‍රියාකාරීත්වය ගැන සොයා බැලීම අවශ්‍යයි.”

 බිල් මොර්ටාග් සූර්ය කුණාටුව ගැන වැඩිදුරටත් අදහස් දක්වා තිබෙනවා. 

සූර්ය කුණාටුවලින් පෘථිවියේ එක් එක් ක්ෂේත්‍රවලට බලපෑම් එල්ල වන අයුරු සැකෙවින් – nasa.gov 

 ඇතැම් දෙස් විදෙස් මාධ්‍ය මේ පිළිබඳ එතරම් විශ්වාසනීය නොවන වාර්තා පළ කර තිබෙනවා. ඒ සඳහා මූලිකව ම හේතු වී ඇත්තේ මෙවර ඇතිවූ සූර්ය කුණාටුවේ තිබෙන ප්‍රබලත්වය යි.

 සූර්ය කුණාටුවක් පෘථිවිය කරා පැමිණීමේදී සිදුවන මූලිකම අලාභය වන්නේ ඉහළ සංඛ්‍යාත සන්නිවේදනයට බලපෑම් එල්ල වීම යි. කලාතුරකින් ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධති (GPS) සහ චන්ද්‍රිකාවලට හානිකර තත්ත්වයන් සූර්ය කුණාටු නිසා උදා වෙනවා. සූර්ය කුණාටු හේතුවෙන් පෘථිවියට ඇතිවූ ඓතිහාසික බලපෑම් කිහිපයක් ගැන තොරතුරු වෙත දැන් අපි අවධානය යොමු කරමු.

“නිව් යෝර්ක් රේල් රෝඩ් සූර්ය කුණාටුව” එකල පුවත්පත් වාර්තා කර ඇති අයුරු – spaceweatherarchive.com 

නිව් යෝර්ක් රේල් රෝඩ් සිදුවීම

 මීට වසර සියයකට පෙර, එනම්, 1921 මැයි 15 වන දින එක්සත් ජනපදයේ සහ ලෝකයේ බොහෝ ප්‍රදේශවල විදුලි පණිවිඩ සහ දුරකථන සේවා අකර්මණ්‍ය වුණා. ඇතැම් සන්නිවේදන සේවා මධ්‍යස්ථානවල ගිනිගැනීම් පවා වාර්තා වූ අතර, විලායක පුපුරා ගොස් උපකරණ විනාශයට පත් වුණා. මේ සියල්ලම සිදු වුණේ ප්‍රබල සූර්ය කුණාටුවක බලපෑම නිසා යි. එම සූර්ය කුණාටුව නිසා උත්තරාර්ධගෝලයේ දක්නට ලැබෙන “අවුරෝරා එළි” නම් සංසිද්ධිය කැලිෆෝනියාවේ පැසඩෙනා ප්‍රදේශයට දර්ශනය වූ බව සඳහන්. එදින බොස්ටන් නගරයේ රාත්‍රී අහස පුවත්පතක් කියවීමට තරම් දීප්තිමත්ව පැවති බවත් වාර්තා වෙනවා.

ධ්‍රැවාසන්න එළි හෙවත් අවුරෝරා ගැන මෙම ලිපියත් කියවන්න. 

 නිව් යෝර්ක් නගරයේ දුම්රිය මාර්ග කාර්යාලයක් සහ හුවමාරුවීමේ පද්ධතිය පවා සූර්ය කුණාටුවෙන් විනාශයට පත්වූ නිසා “නිව් යෝර්ක් රේල් රෝඩ් සූර්ය කුණාටුව” නමින් මෙම සිදුවීම් දාමය ප්‍රසිද්ධියට පත් වුණා.

උත්තරාර්ධගෝලයට විශේෂ වූ අවුරෝරා එළි සූර්ය කුණාටු හේතුවෙන් වෙනත් ප්‍රදේශ වලත් ඇති වෙන්න පුළුවන් – mirror.co.uk

කැරින්ටන් සිදුවීම

ආධුනික තාරකා විඳ්‍යාඥයකු වූ රිචඩ් කැරින්ටන්,  1859 අවුරුද්දේ සැප්තැම්බර් පළවැනිදා තම වතුයායේ පිහිටි පෞද්ගලික නිරීක්ෂණාගාරයේ සිට සූර්යයා නිරීක්ෂණය කරමින් සිටියා. ඔහු අධ්‍යනය කරමින් සිටියේ සූර්ය ලප ගැන යි. හදිසියේම ඔහුට සුදු පැහැයට හුරු ඉතා දීප්තිමත් ගිනි බෝල වැනි ආලෝකයක් සූර්යයා වෙතින් දුටුවා. ඒවා මිනිත්තු පහක් පමණ පැවති අතර, ඉන් පැය කිහිපයකට පසු කැරින්ටන් නිරීක්ෂණය කළ සූර්ය කුණාටුවේ බලපෑම පෘථිවියට දැනෙන්න පටන් ගත්තා. මේ ප්‍රබල සූර්ය කුණාටුව පරමාණු බෝම්බ බිලියන දහයක තරම් ශක්තියකින් යුතු බව සඳහන් වෙනවා.

 කුණාටුවේ බලපෑම පෘථිවියට පැමිණීමත් සමඟ එකල ප්‍රචලිත සන්නිවේදන ක්‍රමයක් වූ විදුලි පණිවිඩ සේවා අකර්මණ්‍ය වීමට පටන් ගත්තා. සමහර විදුලි පණිවිඩ ක්‍රියාකරුවන්ට විදුලි කම්පනවලින් හානි සිදු වූ අතර, ඔවුන්ගේ මේස මත තිබූ වාර්තා ගිනිගෙන විනාශ වීමට තරම් කුණාටුවේ බලපෑම ප්‍රබල වුණා. අවුරෝරා ආලෝකය බොහොම දීප්තිමත් ලෙස අහසේ දර්ශනය වීමට පටන් ගත් බවත් සඳහන්. ආලෝකය හමුවේ කුරුල්ලන් හඬ නැඟීමට පටන් ගත් අතර, රාත්‍රිය මැද අවදි වූ මිනිසුන් සිතුවේ උදෑසන එළඹී ඇති බව යි.

ඉදිරි අවදානම සහ සූදානම

 කැරින්ටන්, නිව් යෝර්ක් රේල්රෝඩ් වැනි සිදුවීම්වලට හේතුවූ ප්‍රබල සූර්ය කුණාටු අනාගතයේදී ඇති නොවේයැ යි කිව නොහැකි යි. විශේෂයෙන්ම සන්නිවේදන පද්ධතිවලට සිදුවිය හැකි හානි වෙනුවෙන් කිසියම් ආරක්ෂණ ක්‍රමවේදයක් පැවතීම ඉතා වැදගත්. The National Center for Atmospheric Research ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය ස්කොට් මැකින්ටොෂ්ට අනුව 2019 දෙසැම්බර් ආරම්භ වූ සූර්ය චක්‍රය, 1970 දශකයෙන් පසු එළඹුණු වඩාත් ක්‍රියාකාරීම සූර්ය චක්‍රය විය හැකි යි. සූර්ය කුණාටුවල ප්‍රතිඵලයක් ලෙස දින ගණනක් පුරා ආරෝපිතව පවතින වායුගෝලය නිසා GPS ඇතුළු සන්නිවේදන ක්‍රම රාශියකට බලපෑම් ඇති වීමේ හැකියාව ගැන ඉදිරියේදී වඩාත් පරීක්ෂාවෙන් සිටිය යුතු බව ඔහු පවසනවා. ශක්තිමත්ම කුණාටුවකට චන්ද්‍රිකාවක් වුවත් විනාශ කළ හැකි යි.

 පවතින අවදානම ගැන එක්සත් ජනපදයේ සිටින විද්වතුන් බොහෝ කලකට පෙර එරට ජනපතිවරුන් දැනුවත් කර තිබෙනවා. ඒ සඳහා ක්‍රියාත්මකවීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අමෙරීකා දේශපාලනයේ තිබෙන මන්දගාමීත්වය ගැන චෝදනාත් එල්ල වෙනවා. 2004 වර්ෂයේදී එවකට එක්සත් ජනපදයේ ජනපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් GPS නොමැති විටදී ආර්ථික සහ ආරක්ෂක අවශ්‍යතා සපුරාලීම සඳහා උපස්ථ ක්‍රියාවලියක් ගොඩනංවන ලෙස නියෝග කර තිබුණා. අධ්‍යයන ගණනාවකින් පසු 2008 වසරේ දී තෝරාගත් තාක්ෂණික සැලැස්මක් ප්‍රකාශයට පත් වුණා. නමුදු එය ක්‍රියාත්මක නොවූ බවයි පැවසෙන්නේ.  නැවතත් ඔබාමා පරිපාලනයේදී මෙම යෝජනාව කරළියට පැමිනුණා. එහෙත්, ගැටලු මධ්‍යයේ එය තවදුරටත් කල් දැමුණ අතර, පවතින නව අවදානම හමුවේ ජෝ බයිඩන්ගේ පරිපාලනයෙන් හෝ ධනාත්මක ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි අනුමාන කළ හැකි යි.

කවරයේ ඡායාරූපය: යෝධ කහ පැහැති චාප ලෙස පෙනෙන්නේ සූර්යයාගේ චුම්බක ක්ෂේත්‍රවල වෙනස්වීම් ය. එම වෙනස්වීම් පිපිරීම් ඇති කිරීමට හේතු වේ - svs.gsfc.nasa.gov

මූලාශ්‍ර:

spaceplace.nasa.gov 

 edition.cnn.com

 space.com 

strangesounds.org

spectrumlocalnews.com

Related Articles