Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නවතම ගූගල් Allo සහ ගූගල් සහායකයා

මතකද ඒකාලෙ මයික්‍රොසොෆ්ට් වර්ඩ් මෘදුකාංගයේ හිටපු Clippy? එයා තමයි ඒ කාලෙ අපේ හොඳම යා‍ළුවා. මොන දේ වැරදුනත් එයා කියනවා. එයාට අමතරව තව Merlin, තව බලු පැටියෙක් සහ තවත් චරිත කිහිපයක්ම පරණ වර්ඩ් එකේදි අපිට මුණ ගැහුණා. මුල් ම කෘත්‍රීම බුද්ධියෙන් යුත් සහායකයන් විධියට පහසුවෙන් අපි ළඟ හිටපු ඔවුන් නව වර්ඩ් මෘදුකාංග වෙළුම් එද්දි ඉන් ඉවත් කෙරුණා.

ඊට පස්සෙ ඇපල් iOS සඳහා සිරී, මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් සඳහා කෝටානා වැනි කෘත්‍රිම බුද්ධියෙන් යුත්, එදිනෙදා වැඩ කටයුතුවලට සහාය වන සහ පාළුව මකන සහායකයින් තමයි අපි අතරට ආවෙ. ඒත් ඇන්ඩ්‍රොයිඩ් පරිශීලකයන් නම් ඒ වන විටත් සදා තනිකඩ වෙලා තමයි හිටියෙ. හැබැයි ඔන්න 2016 වසරේ පැවති Google I/O හිදී ගූගල් සහායකයා හඳුන්වා දුන්නා. මෙයාට නමක් නැහැ, එයා තමයි Google Assistant. ඉතින් මේ අළුත් යාළුවා ගැන ගොඩක් විස්තර Roar වෙතින් ඔබට ගෙන එන්නයි මේ සුදානම.

ගූගල් සහායකයා අප අතරට එන්නේ ඇමසන් සමාගම විසින් ප්‍රථමයෙන් ම හඳුන්වාදුන් නිවාස සහායකයා හෙවත් ඇමසන් Echo වගේම නිවෙස්වලටත්, යාළුවොත් එක්ක චැට් කරන්න Google Allo නමින් හඳුන්වා දුන් ඇප් එකත් එක්ක යි. ඇත්තෙන් ම මොහු දැනට තිබෙන Google Now යෙදුමේ උත්ශ්‍රේණිගත කිරීමක් ලෙස ඊට ඇඳුමක් වශයෙනුයි නිපදවා තිබෙන්නේ. ඒ නිසා නොබෝ කලකින් ම Allo හෝ Google Home වලට හිර නොවී දුරකථනයේ ප්‍රධාන සහායකයා බවටත් පත්වීමේ අවස්ථාව එයට ලැබෙනවා. හරියට අර කූඩාරමක් ඇතුලෙ හිටපු මනුස්සයාගෙයි ඔටුවාගෙයි කතාව වගේ තමා වෙන්නෙ. මුලින් ඔටුවා – නැත්නම් ගූගල් සහායකයා මේ Allo ආදියෙන් චුට්ටක් ඔළුව දාලා අපේ දේවල් ටික ටික දැනගෙන අන්තිමට ඇතුලෙ හිටපු මනුස්සයාවත් එලියට දාලා සම්පූර්ණයෙන් ම කරළියට පැමිණේවි. අපිට වාසියක් වෙනවා නම් ඔටුවා බැරිනම් ඉත්තෑවගේ ගෙට කැබැල්ලෑවා රිංගුවාම අපිට මොකද නේද?

(google.com)

(google.com)

හොඳයි, අපි දැන් මේ Allo කියන්නෙ මොකක්ද කියලා බලමු. ඒ ගැන හොයද්දි නිතැතින් ම අපේ ඇසිස්ටන්ට් බුවා ගැනත් දැනගන්න පුළුවන්. ඉතින් සරලව කිව්වොත්, “ඇලෝ” කියන්නේ සංවාද යෙදුමක්. දන්න සිංහලෙන්, චැට් ඇප් එකක්.

මෙමගින් අකුරු සහ ශබ්දය හරහා විතරයි අදහස් හුවමාරු පුළුවන් වෙන්නේ. වීඩියෝ සඳහා ගූගල් සමාගම වෙන ම ගූගල් Duo නමින් යෙදුමක් හඳුන්වා දුන්නා. මේවා අහද්දි Hangouts පව් කියලා හිතෙන්නෙ නැද්ද? මොකද Google Talk විධියට Gmail වල තිබුණු චැට් එක Hangouts වෙලා, ඒ එක්ක ම ඒකට වීඩියෝ චැට්නුත් ලැබිලා ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකකුත් වෙලා තියෙන අතරෙ ගූගල් සමාගමට තවත් චැට් ඇප් දෙකක් අවශ්‍ය වෙන්නේ කියන එක ඕන කෙනෙකුට ඇති වෙන්න පුළුවන් ප්‍රශ්ණයක්. ඇත්තෙන් ම කාරණේ මේකයි. පරිගණකයෙන් මිදිලා දුරකථනය කියන මානය දිහා බැලුවා ම, එහි ඉන්නෙ වෙනම ම අවශ්‍යතා, මානසික මට්ටම්, තරාතිරම් සහ මෘදුකාංග හා දෘඪාංග එක්ක සීමා වුණු කුඩා තිරයක් සහිත පිරිසක්. ඉතින් එහෙම අයට පරිගණකයේ තිබුණු එක එහෙම් පිටින් ම දෙන එක ප්‍රායෝගික නැහැ. මොකද ෆෝන් එකේ අඩු අභ්‍යන්තර ධාරිතාවක් තියෙද්දි, අපිට අවශ්‍ය වෙන්නෙ අකුරු වලින් යාළුවොත් එක්ක චැට් කරන්න විතර නම් ඒකට වීඩියෝ පහසුකම්නුත් ඔබපු සුවිශාල ඇප් එකක් තියෙනවා කියන්නෙ තරමක කරදරයක්. ඒ නිසා අවශ්‍යතා අනුව භාවිතා කරන්න හැකි වෙන්න ඔවුන් මෙය දෙකඩ කොට තිබෙනවා. ඔව්, ඔබ ඊළඟට අහන එක මම දන්නවා. Hangouts වලට මේ වෙනස්කම් නොකළේ Gmail එක්ක බැඳී තිබිලා කාලයාගේ ඇවෑමෙන් එය කාර්යාලීය කටයුතුවලට වෙන්ව ගිය එකක් නිසා වෙන්නට පුළුවන්. මොකද කාර්යාලයේ කටයුතුවලට දවසෙම භාවිතා කරපු ඇප් එක දිහා හවස ගෙදර ඇවිල්ලාත් බලාගෙන ඉන්න ගියාම කාර්යාලයේ පීඩන මානසිකත්වය නැවත් ලැබෙන්නට පුළුවන්. අනික ඒකෙ ඔන්ලයින් දාගෙන හිටියොත් බොසා අහවි අහවල් වැඩේ තියෙනවා, කරන්න කියලා. ඒ නිසා මේ විධියට අළුත් ඇප් දෙකක් ලැබුණ එකේ වාසියක් තියෙනවා. ඊටත් වඩා පැහැදිලි කිරීමක් ඕන නම් ගූගල් දෙයියාගෙන් ම තමයි අහන්න වෙන්නෙ.

(wsj.com)

(wsj.com)

සාම්ප්‍රදායික වචන හුවමාරු චැට් ඇප් එකක් වෙනුවට ඇලෝ හරහා සංවාද ගෙනියන එක හරි විනෝදයි. WhatsApp වගේ ම දුරකථන අංකය මත පදනම්වන මෙය emoji, stickers සහ ඡායාරූප මත විවිධ දේ ඇඳලා බෙදාහදා ගැනීමේ පහසුකමත් එක්ක Viber වල දකින්නට තිබෙන පහසුකම් වලින් ද ෆේස්බුක් මැසෙන්ජර් එකේ සිටින bots වගේ ගූගල් සහායකයාගෙන් ද සමන්විත වෙමින්, Telegram යෙදුමේ තිබෙන පණිවිඩ යැවුවාට පසු එය දෙන ලද කාලසීමාවකට පසු මැකීයන පණිවිඩ වැනි දැනට තිබෙන සියළුම චැට් යෙදුම්වල එකතුවක් ලෙසින් ආධිපත්‍යය පතුරුවන්නට ඇලෝ සමත්ව තිබෙනවා.

ට්විටර්, ෆේස්බුක්වල යාළුවන්ගෙ නම් mention කරන්න @ සලකුණ භාවිතා කරනවා වගේ ඔබේ යහළුවෙක් සමඟ කරන සංවාදයක් අතරතුරේදී @google ලෙස සඳහන් කර එහි මැදට ගූගල් සහායකයා ගෙන්වාගෙන ඔහුගෙන් අවට තිබෙන ආපනශාලා, කාලගුණ වාර්තා, පුවත් වැනි දෑ පමණක් නොවෙයි නිසඳැස්, තේරවිලි, විහිළු කතාවල සිට පරිගණක ක්‍රීඩා දක්වා නවමු අත්දැකීම් සමුදායක් ලබාගන්න පුළුවන් නිසා මින්පසු කිසිම කතාබහක් කම්මැලි කමෙන් නම් ඉවර කරන එකක් නැහැ. මොකද, ඔබේ අරයා උත්තර දෙන්න පමාවෙනවා නම් ඒ අතරේ ඔබට ගූගල් එක්ක රහස්‍ය පෙම් සබඳතාවක් ගෙනියන්න වුණත් පුළුවන්, හැබැයි එයා ආපු ගමන් එයාටත් ඒ ටික පේනවා කියලත් අමතක කරන්න එපා.

(Google Official Blog)

(Google Official Blog)

කතාව මැද්දට ගෙන්වා ගන්නවා හැරුණා ම ඔබට අවශ්‍ය නම් ගූගල් සහායකයා එක්ක විතරක් කථා කරමින් ඉන්නටත් අවස්ථාව ලැබෙනවා. ඒ, Allo මුල් තිරයේ ඔබේ අනිකුත් යහළුවන්ගෙ නම් අතරේ ඉන්න Google Assistant තෝරාගැනීමෙනුයි. හැබැයි තවම, ඒක වචනයේ පරිසමාප්ත අර්ථයෙන් සංවාදයක් බවට පත්වේවි කියලා ම කියන්න අමාරුයි. මොකද, එය කාර්යාල සහායකයෙක් වගේ උපකාර කරදෙනවා වගේ ම, හිතවත් කතාවලට කෙටි, විනෝදජනක පිළිතුරකින් බුද්ධිමත්ව මඟහරින්නත් එය දක්‍ෂයි.

ගූගල් සෙවුම හරහා අපිට අත්දකින්නට ලැබෙන පහසුකම් සහ Google Now යෙදුමෙන් ලැබෙන ඊමේල්, sms යැවීම්, ලැබුණු ඊමේල් පෙන්වීම වැනි දෑ සඳහාත් ගූගල් සහායකයා Allo තුළදී සහාය වෙනවා. ඒත් Wifi off කරනවා වැනි දුරකථන සැකසුම් වෙනස් කරන්නට එතුළ ඉඳගෙන කරන්නට බැරි බවයි ඔහු පවසන්නේ. කෙසේනමුත්, “What can you do?” ලෙස ඇසුවාම එයට කළ හැකි දේ සියල්ල පෙන්වනවා.

යහළුවන් සමඟ කථා කරද්දිත් යැවිය යුතු පිළිතුරු Allo ඔබට යෝජනා කරාවි. ඔබට යහළුවෙක්ගෙන් ලැබෙන්නේ ඡායාරූපයක් වුවත් එහි ඇති දේ හඳුනාගෙන ඊට අදාල පිළිතුරක්: උදාහරණයක් විධියට බල්ලෙක්ව එව්වොත් “Super Cute!”, “Lovely Labrador!” වැනි පිළිතුරු යවන්නදැයි ඔබෙන් විමසනවා. ඒ විතරක් නෙවෙයි, ඔබේ කථා විලාශය අනුව පිළිතුර ඉගෙන ගන්නටත් මෙයට හැකියි. මම යාළුවෙක් එක්ක කථා කරද්දි මුලදි “aha”, “Ahh”, “eh” වැනි සිංහල වැකි යැව්වා. Allo යෙදුම එය ඉගෙන ගෙන පසු අවස්ථාවලදී මම කථා කරද්දිත් නිසි අවස්ථාවලදී ඒවා යෝජනා කරන්න තරම් සමර්ථකමක් දැක්වුවා.

මම තව අත්හදා බැලීමක් කළා. ඔබ හිතන්නේ ගූගල් සහායකයා පිරිමි ද ගැහැණු ද?

මොකක්ද හිතන්නේ?

මොකක්ද හිතන්නේ?

ඇපල් Siri ට “කෝටානා” කියලා කථා කළා ම තරහා යනවා. කෝටානාට Siri කීවාමත් ඔය ටිකමයි. හැබැයි මෙයා බලන්නකො, සිරී හොඳයි කියනවා. ඒ කියන්නෙ අනිවාර්යයෙන් ම එක්කො පිරිමි, එහෙමත් නැත්නම් වයසක ගැහැණියක් වෙන්නට ඕනෙ. නැත්නම් මෙහෙම වෙනත් කාන්තාවකගෙ ගුණ කියයිද?

23 වනදා සිට Allo ශ්‍රී ලංකාව සඳහා බාගත කරගන්නට අවස්ථාව සලසා තිබෙනවා. ඔබට එය මෙතැනින් බාගත කරගත හැකියි: 

ඔබ Allo ගැන හිතන්නෙ මොනවාද? ඔබේ අදහස් අපිත් එක්ක බෙදාහදා ගන්නත් අමතක කරන්න එපා.

කවරයේ පින්තුරය: theverge.com

Related Articles