Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පිළිකා මර්දනයට එන්නත් හදන්න කොරෝනා පාර පෙන්නපු හැටි

මේ දවස්වල වැඩිපුරම කතාවෙන්නේ කොරෝනාවට එරෙහි එන්නත්කරණය ගැන යි. විද්‍යාඥයින් සහ පර්යේෂකයන් රැසක් එකතුවෙලා වසරකට වඩා අඩු කාලයකින් කොරෝනා පාලනය කරන්න පුළුවන් සාර්ථක එන්නත් කීපයක්ම පසුගිය වසර අවසන් වෙද්දී නිපදවූවා. වසරකට අඩු කාලයක් ඇතුළත මීට කලින් කවදාවත් ලෝකයේ එන්නතක් නිෂ්පාදනය වෙලා නැති නිසා, මේක වෛද්‍ය විද්‍යාවේ ලොකු ජයග්‍රහණයක් විදිහට හඳුන්වන්න පුළුවන්. 

මේ ඉක්මන්වීමට පාදක වුණේ එන්නත් නිෂ්පාදනයට භාවිතා කෙරුණ අලුත්ම තාක්ෂණයක්. ඒ තාක්ෂණයෙන් නිපදවන එන්නත් හඳුන්වන්නේ “මැසෙන්ජර් RNA එන්නත්” නමින්. මේ තාක්ෂණය සොයාගැනීමත් එක්ක වෛද්‍ය විද්‍යාවේ නිම් වළලු තවත් පුළුල් වෙලා තියෙනවා. ඒ මොකද, mRNA ක්‍රමය යොදාගෙන පිළිකා සහ HIV වගේ භායනක රෝග මර්දනයටත් එන්නත් නිපදවන්න මාර්ගය මේ වෙද්දී සකස් වෙලා තියෙනවා. එහෙම බැලුවොත් කොරෝනා කියන්නේ වෛද්‍ය විද්‍යාව මුහුණ දීපු කඩයිම් විභාගයක් වගෙයි.

සාම්ප්‍රදායික එන්නත් වර්ග

කොරෝනාවලට කලින් ආපු වෛරස සහ බැක්ටීරියා වසංගතවලට එරෙහිව ලෝකයේ විවිධ එන්නත් නිපදවුනා. එයින් සමහරක් අපි අදටත් කුඩා කාලයේ දී ලබාගන්නවා. මේ එන්නත් ඔක්කොම වාගේ අයත්වුණේ වර්ග හතරකට. සාම්ප්‍රදායික වර්ග කියලා මෙතැන දී නම් කළාට ඒ කාලයේ හැටියට ඒවා නිපදවන්න ඉහළ වෛද්‍ය තාක්ෂණයක් අවශ්‍ය වුණා. අදටත් සමහර රටවල තියෙන තාක්ෂණයෙන් එහෙම එන්නතක්වත් නිපදවන්න බැහැ. 

පෝලියෝ එන්නත් මුඛ මාර්ගයෙන් ලබාදෙන එන්නතක්/UNICEF 

 

සුලබම වර්ග දෙක තමයි වසංගතයට මුල පුරන වෛරසයේ හෝ බැක්ටීරියාවේ දුර්වල ප්‍රභේදයක් එන්නත විදිහට භාවිතා කිරීම (Live – Attenuated type), සහ මැරුණු ප්‍රභේදයක් එන්නත විදිහට භාවිතා කිරීම (Inactivated type). ඒ කියන්නේ සැර බාල කරපු වෛරසයම තමයි අපට එන්නත් කරන්නේ. එතකොට අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හදිසියේම ක්‍රියාත්මක වෙලා අර දුර්වල හරි මැරුණු හරි ප්‍රභේදයට එරෙහිව ප්‍රතිශක්තිය හදනවා. ඒත් ප්‍රතිශක්තිකරණ පද්ධතියට කරන්න වැඩක් ඉතුරු වෙන්නේ නැහැ. මොකද එන්නත් කරන දුබල වෛරස හෝ බැක්ටීරියා ප්‍රභේදයට බැහැ අපේ සිරුරට පොඩි හෝ හානියක් කරන්න. හැබැයි අර හැදුණු ප්‍රතිශක්තිය හැමදාටම ඇඟේ ඉතිරි වෙනවා. ආයේ දවසක ඇත්තම වෛරසය/බැක්ටීරියාව ආවොත් ඒවා එක්ක සටන් කරන්න අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සූදානම්. සරම්ප, කම්මුල්ගාය, සහ රුබෙල්ලාවලට ලබාදෙන MMR එන්නත නිපදවන්න භාවිතා කරන්නේ ඒ ඒ වෛරස සහ බැක්ටීරියාවල දුර්වල ප්‍රභේද. ඉන්ෆ්ලුවන්සා වෛරසයට එරෙහිව දෙන එන්නතේ භාවිතා වෙන්නේ වෛරසයේ මැරුණු ප්‍රභේදයක්. 

ඒ වර්ග දෙකට අමතරව තවත් වර්ගයක එන්නතක් තිබෙනවා. එය ක්‍රියා කරන්නේ කලින් වර්ග දෙක විදිහටම යි. නමුත් මෙහි වෙනස තමයි මේකෙ දී භාවිතා වෙන්නේ වෛරසයේ හෝ බැක්ටීරියාවේ විෂ කොටසක් වීම. උදාහරණයක් විදිහට පිටගැස්මට ලබාදෙන එන්නත ගැන සැලකුවොත්, පිටගැස්ම හදන බැක්ටීරියාවේ තියෙනවා ශරීරයට හානිකර හෙවත් විෂ ප්‍රෝටීනයක්. මේ ප්‍රෝටීනය ඉවතට අරගෙන ඒක අක්‍රීය කරලා ශරීරයට එන්නත් කිරීම කරනවා. ඒකට විරුද්ධව ප්‍රතිශක්තිය හැදුනාම සම්පූර්ණ බැක්ටීරියාවට එරෙහිව ප්‍රතිශක්තිය හැදුණා හා සමාන යි. මේ වර්ගයේ එන්නත් හඳුන්වන්නේ toxoid කියලා. 

වෛරසයකට පවතින්න නම් ජීවි සෛලයක් අත්‍යවශ්‍ය වෙනවා. වෛරස සෛලයක් කරන්නේ, තමන්ගේ සෛල පෘෂ්ඨයේ තිබෙන ප්‍රෝටීනයකින් ජීවි සෛලයකට සම්බන්ධ වෙලා තම සෛලය බෝ කිරීම. මේ සම්බන්ධවීමට යොදාගන්න ප්‍රෝටීනය වළක්වන එක තමයි සිව්වන වර්ගයේ එන්නත්වලින් කරන්නේ. එන්නතේ අඩංගු වෙන්නේ ඒ ප්‍රෝටීන කොටසම යි. ඒ නිසා, ප්‍රතිශක්තිකරණ පද්ධතිය සම්පූර්ණ වෛරසයක් ඇඟට ඇතුළුවුණා කියල විශ්වාස කරගෙන ප්‍රතිදේහ නිපදවන එක කලින් වගේම කරනවා. මේ විදිහේ එන්නත් හඳුන්වන්නේ ප්‍රතිසංයෝජන ප්‍රෝටීන එන්නත් (Recombinant Protein type) කියලා. උදාහරණයක් විදිහට හෙපටයිටිස් B සහ මානව පැපිලෝමා වෛරසවලට එරෙහි එන්නත් ක්‍රියාකරන්නේ මේ විදිහට. කොරෝනා වෛරසයේත් මේ විදිහේ ප්‍රෝටිනයක් තියෙනවා ස්පයික් ප්‍රෝටීනය කියලා. ඒ ප්‍රෝටීනය වෙන්කර ගෙන එන්නත් නිෂ්පාදනය කිරීමක් දැනටත් සමහර එන්නත් සමාගම් සිදුකරනවා.

එන්නත් නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත් වුණ හැටි

එන්නතක් අනුමත වීමට කලින් පියවර කිහිපයක් පසු කළ යුතු යි. පළමුවැන්න නම් එය හඳුනාගැනීම සහ නිපදවීම යි. ඉහත විස්තර කරපු එන්නත් වර්ග 4ම හඳුනාගැනීම සහ නිපදවීම කියන පියවරේ දී විශාල කාලයක් ගත කරනවා. මෙයට මූලිකම හේතුව වෙන්නේ ජීවී රෝග බීජ සමග කටයුතු කරන්න සිදුවීම. ඒ කියන්නේ ඉහත එන්නත් වර්ග 4ම නිෂ්පාදනයට වෛරසයේ හෝ බැක්ටීරියාවේ සම්පූර්ණ ප්‍රභේදයක් හෝ කොටසක් රසායනාගාරවල තබාගන්න ගමන් ඒ ගැන පර්යේෂණ කිරීම සහ සංයෝගයක් නිපදවීම කිරීම කරන්න වෙනවා. එන්නත් නිෂ්පාදනයේ අනෙක් පියවර වෙන්නේ පූර්ව සායනික පරීක්ෂණ, මිනිස් සායනික පරීක්ෂණ, අනුමැතිය ලබාගැනීම, නිෂ්පාදනය සහ බෙදාහැරීම යි. සාමාන්‍යයෙන් එන්නතක් මේ පියවර අනුගමනය කරලා එළියට එද්දී අවුරුදු 5 – 10ක් විතර කාලයක් ගත වෙනවා.

vaccine development timeline
එන්නත් නිෂ්පාදන කාල රාමුව කෙටි වූ හැටි/Vox

කොරෝනාවලට එරෙහිව නිපදවපු එන්නත් අවුරුද්දකට අඩු කාලයකින් බෙදාහැරීමේ තත්ත්වයට ගන්න මේ පසු පියවරවල්වල විවිධ වෙනස්කම්වලට ලක්කෙරුනා. විශේෂයෙන්ම, මිනිස් සායනික පරීක්ෂණ එක මත එක කිරීම (Overlap) සහ අනුමැතිය ලබාගැනීමටත් පෙර නිෂ්පාදනය ආරම්භ කිරීම වගේ වෙනස්කම්. මේ සියල්ලටම වඩා වැදගත් වුණේ එන්නත් නිෂ්පාදන ක්‍රියාවලියට mRNA යොදාගැනීමත් එක්ක පළමු පියවර හෙවත් හඳුනාගැනීම හා නිපදවීමට යන කාලය විශාල ලෙස අඩු කරගන්නට පර්යේෂකයින් සමත්වීම යි. mRNA නිසා රෝග බීජ සමග කටයුතු කරන්න තවදුරටත් අවශ්‍ය වුණේ නැහැ. ඒ පියවර රසායනාගාරයේ නොකර, මිනිස් ශරීරය තුළට අරන් යන එක යි සිද්ධ වුණේ.

මොනවද මේ mRNA?

මිනිස් සිරුරේ තියෙන හැම ක්‍රියාවලියක්ම (පටක අලුත්වැඩියාව, පරිවෘත්තීය ක්‍රියා, ද්‍රව මට්ටම පාලනය) වගේ කරන්නේ ප්‍රෝටීනවලින්. ඒ එක් එක් කාර්යයට විශේෂිත වුණු ප්‍රෝටීන තිබෙනවා. DNA අණුවක තියෙන තනි දාමයක පිටපතක් ගත්තොත්, ඒකෙ එක් වර්ගයක ප්‍රෝටීන් ගැන තොරතුරු ගබඩා වෙලා තියෙනවා, හරියට පරිගණක භාෂාවක 1,0 කේතයක් වගේ. මේ දාමය හඳුන්වන්නේ මැසෙන්ජර් RNA හෙවත් mRNA කියලා. සෛලය මඟින් mRNA එක කියවලා, ඒකෙ තියෙන උපදෙස්වලට අනුව අදාළ ප්‍රෝටීනය හදනවා. සෛලයක ප්‍රධාන කාර්යය තමයි දිගටම මේ විදිහට ප්‍රෝටීන නිෂ්පාදනය කරන එක.

mRNA මුලින්ම සොයාගත්තේ 1961 වසරේ දී වුණත් රසායනාගාරයක් තුළ mRNA නැවත නිපදවීමක් මුලින්ම වුණේ 1984 දී. 1990 වෙද්දී මේ වගේ ජාන උපයෝගී කරගෙන එන්නත් නිපදවන්න පුළුවන් කියලා විද්‍යාඥයින් හඳුන්ගන්නවා. ඒත් ගැටලුව වුණේ ආගන්තුක RNA අණුවකට විරුද්ධව මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතිය වහාම ක්‍රියාත්මක වෙලා ඉතා ඉක්මනින් ඒ අණුව විනාශ කරන්න කටයුතු කිරීම. ජීව රසායන විද්‍යාඥවරියක් වෙන කැටලින් කැරෙකෝ සහ ප්‍රතිශක්තිකරණ පද්ධති පිළිබඳ විශේෂඥයෙක් වන ඩ්රූ වයිස්මන් යන දෙදෙනා 1997 ඉඳන් කරපු පර්යේෂණවල ප්‍රතිඵලයක් විදිහට 2005 දී ඒ ගැටලුවට පිළිතුරක් සොයාගන්නවා. ඔවුන් දෙදෙනාම කොරෝනාවලට එරෙහිව mRNA යොදාගෙන එන්නතක් නිපදවන වැඩේටත් පසුගිය වසරේ සම්බන්ධ වුණා. 

dna rna
 DNA සහ mRNA අණුවල ස්වභාවය පෙන්වන සටහනක් / the conversation

mRNA වර්ගයේ එන්නතක් නිපදවන කාර්යය අපි කලින් කතා කළ ප්‍රතිසංයෝජන ප්‍රෝටීන වර්ගයේ එන්නත් නිපදවීමට බොහෝදුරට සමාන යි. නමුත් මේකෙ දී වෛරසයේ ප්‍රතිසංයෝජන ප්‍රෝටීනය වෙන් කරගෙන ඒක සංවර්ධනය කරනවා වෙනුවට, ඒ ප්‍රෝටීනය හදන්න තොරතුරු දෙන mRNA එක වෛරසයෙන් වෙන්කර ගන්නවා. ඒකෙ පිටපත් ලබාගෙන මිනිස් සිරුරක් ඇතුළේ විනාශ නොවෙන විදිහට සංවර්ධනය කරලා එන්නත් කරනවා. එතකොට ප්‍රතිසංයෝජන ප්‍රෝටීනය හදන්නේ මිනිස් සිරුරේ සෛලවලින්. එතකොට ඒ හැදෙන ප්‍රෝටීනයට එරෙහිව කලින් වගේම ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියාත්මක වෙනවා. ඒක යි මුල දී සඳහන් කළේ, “රසායනාගාරයේ ක්‍රියාව ඇඟ ඇතුළට අරන් යනවා” කියලා. මේ වැඩෙන් කොරෝනා එන්නත් නිපදවන කාලය ගොඩාක් දුරට අඩු කරන්න පුළුවන් වුණා. Pfizer BioNtech (ෆයිසර් බයෝඑන්ටෙක්) සහ Moderna (මොඩර්නා) කියන එන්නත් අයිතිවෙන්නේ මේ mRNA වර්ගයට.

AstraZeneca (ඇස්ට්‍රාසෙනෙකා) සහ Johnson and Johnson (ජොන්සන් ඇන්ඩ් ජොන්සන්) එන්නත්වල mRNA එකක් වෙනුවට සම්පූර්ණ වෛරසයේ DNA එකක් තමයි යොදාගන්නේ. මේ වර්ගයේ එන්නත් හඳුන්වන්නේ ඇඩිනෝවෛරස් (Adenovirus) කියලා. DNA බොහෝ දුරට mRNAට වඩා ස්ථායි නිසා මිනිස් සිරුර ඇතුළේ දී විනාශ වෙන එක වළක්වන්න එතරම් මහන්සි වෙන්න අවශ්‍ය නැහැ. ඒත් DNA භාවිත කිරීමේ අවාසියක් වෙන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හුරුවෙන්නේ ඒ වෛරස වර්ගයේ එක් ප්‍රභේදයකට විතරක් වීම. මොකද DNA එකෙන් සම්පූර්ණ වෛරසයක්ම ප්‍රතිශක්තිකරණ පද්ධතියට හඳුන්වා දුන්නත්, ඒ වෛරසයේ වෙනත් ප්‍රභේදයක් හඳුනාගන්න ප්‍රතිශක්තිකරණ පද්ධතිය අසමත් වෙන්න පුළුවන්. ඒක වළක්වාගන්න මේ වර්ගයේ එන්නත් නැවත ලබාගන්න වෙනවා. කොහොම වුණත් mRNA සහ Adenovirus වර්ගවල එන්නත් සොයාගැනීම එන්නත් නිපදවීම වේගවත් කරන වෛද්‍ය විද්‍යාවේ ලොකු ඉදිරි පිම්මක්.

katalin karikó and drew weissman
ඩ්රූ වයිස්මන් සහ කැටලින් කැරෙකෝ /twitter

 

mRNA එන්නත් පිළිකා මර්දනයටත්?

කොරෝනා සඳහා mRNA එන්නත් යොදාගැනීමේ ප්‍රවේශය මේ වෙද්දී බෝ නොවෙන රෝගවලටත් අත්හදා බලන්න Moderna සහ BioNtech සමාගම් කරයුතු කරනවා. 2020 ජුලි මාසයේ දී BioNtech සමාගමේ BNT111 FixVac mRNA එන්නතෙන් “මෙලනෝමා” කියන චර්ම පිළිකාවලට ප්‍රතිකාර කරන්න Regeneronce ඖෂධ නිෂ්පාදන සමාගම එක්ක සහයෝගීතා ගිවිසුමක් අත්සන් කළා. BNT111 එන්නත මඟින් මෙලනෝමා රෝගීන්ට බහුලව තිබෙන ප්‍රතිදේහජනක හතරක් ඉලක්ක කරගෙන තිබෙනවා. මේකෙ දී සිදු වෙන්නත් පිළිකා සෛල මර්දනයට අදාළ mRNA කේතය එන්නත් කිරීමක්. Moderna සමාගම තවදුරටත් ඉදිරියට ගිහින් පිළිකාවලට එරෙහිව පුද්ගලිකව ඉලක්ක කරන එන්නත් නිපදවන්න අවශ්‍ය කටයුතු සිදු කරනවා. “පුද්ගලිකව ඉලක්ක කරන එන්නත්” කියලා මෙතැන දී අදහස් කරන්නේ, එක් එක් පුද්ගලයන්ට ගැලපෙන්නට විශේෂිතව වෙනස්කෙරෙන පිළිකා මර්දන එන්නත් ලබාදීමක්. බොහොමයක් පිළිකා වර්ග පුද්ගලයෙක්ට වැළඳුණාම ඒ පුද්ගලයාට අවේනික විදිහට යි පිළිකා සෛල නිපදවෙන්නේ. මේකට කියන්නේ “විකෘතිය” කියලා. පුද්ගලිකව ඉලක්ක කරන එන්නත් වෙන වෙනම නිපදවීම මේ වගේ පිළිකා සෛල විනාශ කරන්න වඩා සාර්ථක ප්‍රතිඵල දෙන බව පර්යේෂකයන් විශ්වාස කරනවා. 

පිළිකා වගේ බෝ නොවන රෝගවලට අමතරව, HIV වගේ බෝවන වෛරස වළක්වන්නත් mRNA එන්නත් යොදාගැනීමට මේ වෙද්දී අවධානය යොමු වෙලා තියෙනවා. HIV වෛරසය ආසාදනය වෙන්නේ ප්‍රධාන වශයෙන් අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට නිසා වෙන mRNA හැර වෙනත් වර්ගවල එන්නත්වලින් සාර්ථක ප්‍රතිඵල ගැනීම අසීරු යි කියල පර්යේෂකයෝ කියනවා. මේ mRNA එන්නත මඟින් HIVවලට එරෙහිව ප්‍රතිදේහ සෑදීමට පටන්ගන්න අවශ්‍යවෙන දුර්ලභ ප්‍රතිශක්තිකරණ සෛල නිපදවීම තමයි කරන්නේ.

කැලිෆෝනියාවේ ස්ක්‍රිප්ස් විශ්වවිද්‍යාලයයේ පර්යේෂකයෝ mRNA තාක්‍ෂණය භාවිතා කරලා HIVවලට එන්නතක් සාදන්න දැනටමත් කටයුතු කරමින් ඉන්නවා. 2021 පෙබරවාරි මාසයේ දී, ජාත්‍යන්තර ඒඩ්ස් එන්නත් සංවිධානය (IAVI) සහ ස්ක්‍රිප්ස් විශ්වවිද්‍යාලයය ඔවුන්ගේ එන්නත ගැන පළමු අදියර පරීක්ෂණයෙන් යහපත් ප්‍රතිඵල ලැබුණු බව ප්‍රකාශ කළා. එන්නත ලබාගත් සහභාගී වන්නන්ගෙන් 97%ක් ඉලක්කගත ප්‍රතිචාරය පෙන්වූවා කියලයි ඔවුන් කියන්නේ.

vaccine development timelines
ඉහළ සිට පහළට පිළිවෙළින් කොරෝනා, මර්ස්, සාර්ස්, ඉබෝලා, සහ පෝලියෝවලට එන්නත් නිපදවූ කාල රාමු /Frontier

අවසාන වශයෙන්, නුදුරු අනාගතයේ දී විවිධ පිළිකා රෝග, HIV වගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානි කරන රෝග, පාකින්සන් වගේ මොළය සම්බන්ධ රෝග ආදියට, සහ ඉතා දුර්ලභ මෙතිල්මැලෝනික් ඇසිඩමියා (MMA) වගේ රෝගවලටත් mRNA එන්නත් සාර්ථක ප්‍රතිඵල දෙන බව මේ සම්බන්ධ විශේෂඥයින් අනාවැකි පළ කරනවා.

 

කවරයේ පින්තූරය - www.mskcc.org

තොරතුරු - vox.com, bloomberg.com, biospace.com, සහ genomenewsnetwork.org ඇසුරෙන්

Related Articles