ප්ලාස්ටික් වෙනුවට බිම්මල්?

ලෝකය අද මුහුණ දෙන විශාලම ගැටලුවක් වන්නේ පරිසර දුෂණයයි. පරිසර දුෂණයට හේතුකාරක වන ද්‍රව්‍ය අතරින් මුල් තැනට එන්නේ ප්ලාස්ටික් බව ඕනෑම අයෙකු දන්නවා. ප්ලාස්ටික් පරිසරයට එතරම් විනාශයක් කරන්නේ ඒවා දිරාපත් වීමට ගතවන කාලය අධික වීම හේතුවෙන්. ප්ලාස්ටික් මලු දිරාපත් වීමට ගතවන කාලය වසර 20 ක් පමණ වුණත් එයින් සම්පුර්ණ දිරාපත් වීමක් වන්නේ නැහැ. සිදුවන්නේ ආලෝකයට දිරාපත් වීමක් (Photodegrade) පමණයි. මේ නිසා ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු වශයෙන් තව බොහෝ කාලයක් ඒවා පරිසරයේ පවතිනවා. ප්ලාස්ටික් බෝතල් ආදිය දිරාපත් වන්නට වසර 450ක් පමණ කාලයක් ගත වෙනවා. ස්ටයිරෆෝම් (පොලිස්ටයිරින්) තමයි පරිසරයට දරුණුම හානියක් සිදු කරන්නේ. ඒවා දිරපත්වන්නේ වසර මිලියනයකට පමණ පසුවයි.

ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කර භාවිත කිරීම පරිසර හානිය අඩු කිරීමට ගත හැකි ක්‍රියාමාර්ගයක් වනවා. ප්‍රතිචක්‍රීකරණය කිරීමෙන් භාණ්ඩ නැවත නිපදවීමට වඩා අලුතින්ම ඒවා නිපදවීම ලාභදායී වීම හේතුවෙන් ප්‍රතිචක්‍රීකරණය සඳහා ආයෝජනය කිරීමට ප්ලාස්ටික් භාණ්ඩ නිපදවන සමාගම් සුදානම් නැහැ. අද වෙද්දී ප්ලාස්ටික් වෙනුවට බොහෝ ආදේශක ද්‍රව්‍ය හඳුන්වා දීමට විවිධ පර්යේෂණ පවත්වනවා. නමුත් තවමත් ප්ලාස්ටික් භාවිතය සම්පුර්ණයෙන් නැවතීමට ඒවා අසමත් වී තිබෙනවා. බිම්මල්වලින් මේ සඳහා ප්ලාස්ටික් සඳහා ආදේශකයක් සොයන්නත් විද්‍යාඥයන් කාලයක සිට පර්යේෂණ කරනවා. සමහර ප්ලාස්ටික් නිෂ්පාදන මුළුමනින් භාවිතයෙන් ඉවත් කරන්න අද වෙද්දී මේ ක්‍රමයට හැකි වී තිබීම පරිසරයට ආදරය කරන හැමෝටම හොඳ පණිවිඩයක් වේවි.

බිම්මල්වල අපට හමුවන මයිසීලියම්

බිම්මල්වල අප දකින්නේ පොළවෙන් හෝ ශාක කඳකින් ඉහළට මතුවන කොටස පමණයි. බිම්මලක් කියන්නේ දිලීරයක් වුණත් ශාකයකට සමාන කළොත් ඉහළට මතුවෙන කොටස මලක් ලෙස හඳුන්වන්න පුළුවන්. මොකද බිම්මලෙත් ප්‍රජනන කාර්යය සිදුකෙරෙන්නේ මේ කොටසෙන් නිසා. හැබැයි බිම්මලක වැඩි කොටසක් තියෙන්නේ අපට නොපෙනෙන්න. ඒ පොළව හෝ වෙනත් ධාරකයක් තුළ මුල් වගේ විහිදිලා. අති විශාල ප්‍රදේශයක මේ කොටස විහිදිලා තියෙනවා. එය තමයි මයිසීලියම (Mycelium) විදිහට හඳුන්වන්නේ.

mycelium structure
මයිසීලියම පිහිටා ඇති ආකාරය – archdaily.com

දිලීර පරිසර පද්ධතියට විශාල සේවයක් කරනවා. ඔවුන් තමයි පසේ තියෙන පෝෂ්‍ය පදාර්ථ ප්‍රතිචක්‍රීකරණය කරන්නේ. එම ක්‍රියාවලියෙන් ශාකවලට උරා ගැනීමට නොහැකි පෝෂ්‍ය පදාර්ථ යළි උරා ගැනීමේ හැකියාව ඇති කරනවා. ඒ සඳහා දිලීරයකට අවශ්‍ය වෙන්නේ පුංචි බිජාණු කීපයක් ප්‍රරෝහණය වීම විතරයි. එවිට ඒවා විශාල ප්‍රදේශයක ව්‍යාප්ත වෙලා එන්සයිම නිකුත් කරනවා. මයිසීලියමේ ව්‍යාප්තියට සීමාවක් නැහැ. අවශ්‍ය පරිසර තත්වය නිර්මාණය වුණොත් ඕනෑ තරම් හැදෙනවා. විද්‍යාඥයන් මයිසීලියම් වල මෙන්න මේ ගුණය භාවිත කරලා කෘත්‍රිම ව ඒවා නිර්මාණය කරන්න සැලසුම් කර තිබෙනවා.

මයිසීලියම් කෘත්‍රිම ව නිර්මාණය කිරීම සඳහා කෘෂිකාර්මික අපද්‍රව්‍ය යොදාගන්නවා. තන්තුමය ශාක කොටස්වල සිට කුඩා දැව පතුරු දක්වා ද්‍රව්‍ය මේ සඳහා භාවිත කරන්න පුළුවන්. ඒවා සමඟ දිලීර කොටස් ප්‍රමාණයක් මිශ්‍ර කෙරෙනවා. මෙම මිශ්‍රණය හඳුන්වන්නේ foam නමින්. ඊළඟට අපට අවශ්‍ය හැඩයක් සහිත අච්චුවකට මේවා පුරවලා පාලිත පරිසර තත්වයක තබනවා. මෙම පරිසර තත්වය මයිසීලියම් ව්‍යාප්ත වීමට යෝග්‍ය පරිසර තත්වයක්. එහිදී පාලනය කෙරෙන්නේ ආලෝකය, උෂ්ණත්වය, කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය සහ ආර්ද්‍රතාව වගේ සාධකයි.

mycelium factory
විවිධ හැඩයේ බඳුන්වල මයිසීලියම් බෝවීමට ඉඩහැර ඇති ආකාරය – grown.bio

පැය කිහිපයකින් මයිසීලියම ව්‍යාප්ත වීම ආරම්භ වෙනවා. හැබැයි කලින් නියම කරපු අච්චුවට පිටින් යන්න මයිසීලියම්වලට නොහැකියි. මේ නිසා සතියක් වගේ කාලයකින් අර අච්චුව සම්පුර්ණයෙන්ම මයිසීලියමෙන් පිරෙනවා. සිදුවෙන්නේ අර අපද්‍රව්‍ය සියල්ලම දිලීර වල එන්සයිම මඟින් ජීර්ණය කරලා මයිසීලියම ව්‍යාප්ත වීමයි. ඉන් පස්සේ අච්චුවෙන් පිටතට අරගෙන වේලීමට සිදු කරනවා. නැතිනම් නැවත බිම්මල් මතු වෙන්න පුළුවන්. කොහොමහරි අපි ගඩොලයක් හැඩයට අච්චුව නිර්මාණය කරොත් අවසානයේ මයිසීලියම් ගඩොලයක් අපට ලැබෙනවා.

මයිසීලියම්වල වාසි සහ ගුණ

මයිසීලියම් නිෂ්පාදන ප්ලාස්ටික් වෙනුවට ආදේශකයක් විදිහට භාවිත කරන්න පුළුවන්. විශේෂයෙන් ස්ටයිරෆෝම් වගේ ඇසුරුම් ද්‍රව්‍ය වෙනුවට යොදාගැනීම ඉතාමත් යෝග්‍යයි. යම් ද්‍රව්‍යයක් ප්ලාස්ටික්වලට ආදේශකයක් වෙන්න නම් ප්ලාස්ටික්වල ගුණ ඒවායේ අඩංගු වෙන්න ඕන. ප්ලාස්ටික්වල තියෙන බරින් අඩු වීම සහ පහසුවෙන් අවශ්‍ය හැඩයකට සකස් කරගත හැකිවීම කියන ගුණ මයිසීලියම් ෆෝම් (MBF – Mycelium Based Foam) වලත් තිබෙනවා. ස්ටයිරෆෝම් ඝන සෙන්ටිමිටරයක පරිමාවක ස්කන්ධය ග්‍රෑම් 0.96 – 1.05 ක් පමණ වෙනවා. නමුත් MBFවල එම අගය සාමාන්‍යයෙන් ග්‍රෑම් 0.10 – 0.60 ත් අතර අගයක් ගන්නවා. එහෙම බැලුවොත් MBF වඩා සැහැල්ලුයි. ඒ වගේම මයිසීලියම් භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ පහසුව නිසාම මෙය ස්වයං රැකියාවක් හෝ සුළු පරිමාණ ව්‍යාපාරයක් ලෙස කෙනකුට ආරම්භ කරන්නත් පුළුවන්. නමුත් ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදනය ඒ ආකාරයට සිදුකිරීම එතරම් පහසු වන්නේ නැහැ.

mycelium brick
ගඩොලයක ආකාරයේ අච්චුවකින් ලබාගත් මයිසීලියම් ගඩොල් – architectuur.nl

යම් ද්‍රව්‍යයක් සැහැල්ලු වීම වගේම ශක්තිමත් වීමත් අත්‍යවශ්‍යයි. ස්ටයිරෆෝම් සතුව කිලෝ පැස්කල් 200-700 ක පමණ සම්පීඩන ශක්තියක් තිබෙනවා. නමුත් සමහර MBF සඳහා මෙය කිලෝ පැස්කල් 670 සිට 1180 ක් පමණ වැඩි අගයක් වෙනවා. MBF වල තාප සහ විද්‍යුත් පරිවාරක ගුණයත් ජලභීතික ගුණයත් ස්ටයිරෆෝම්වලට තවත් විශාල අභියෝගයක්. වඩා විශේෂ කාරණය වන්නේ ගිනි ගැනීම්වලටත් ඔරොත්තු දීමේ හැකියාවක් MBF සතුව තිබීමයි. මේ නිසා ස්ටයිරෆෝම්වලට වඩා අති සාර්ථක ආදේශකයක් විදිහට මයිසීලියම් නිෂ්පාදන දක්වන්න පුළුවන්.

විවිධ මයිසීලියම් ෆෝම් වල ප්‍රමාණාත්මක අගයන් - matmatch.com
විවිධ මයිසීලියම් ෆෝම් වල ප්‍රමාණාත්මක අගයන් – matmatch.com

මේ සියල්ලටම වඩා මයිසීලියම් නිෂ්පාදනයක තියෙන වැදගත්ම ගුණය වෙන්නේ දිරපත්වීමට කෙටි කාලයක් ගැනීම. මේවා භාවිතයෙන් පසු ඉවත දැමීමෙන් කිසිදු පරිසර හානියක් සිදුවන්නේ නැහැ. පසේ දිරාපත් වීම සඳහා ගතවන්නේ දින 45ක කාලයක් පමණයි. එය පරිසරය පැත්තෙන් වාසි සහගත වුණත් මයිසීලියම් නිෂ්පාදන කල්තබා ගත හැකි කාලය සැලකීමේදී යම් තරමකට අවාසිදායක වනවා. නමුත් ස්ටයිරෆෝම් සහ වෙනත් ප්ලාස්ටික් ද්‍රව්‍ය නිෂ්පාදනයට වඩා මයිසීලියම් නිෂ්පාදන සඳහා වැයවන වියදම ඉතා අඩුයි. විශේෂයෙන් ප්ලාස්ටික් නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන බල ශක්තියෙන් 12%ක් පමණයි MBF නිෂ්පාදනය සඳහා වැයවන්නේ. මේ නිසා කෙටි කාලීන භාවිතයක් සඳහා පමණක් භාවිතා කිරීමට හැකිවීම මයිසීලියම් සතු අවාසියක් නොවන බව පැහැදිලියි.

ප්ලාස්ටික් නිෂ්පදනයේදීත් පරිසර හානියක් සිදුවනවා. කාබන්ඩයොක්සයිඩ් ඇතුළු අහිතකර වායූන් වායුගෝලයට මුදාහැරිම මෙයට හේතුවයි. නමුත් මයිසීලියම් නිෂ්පාදනයේදී නිකුත් වන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය ප්ලාස්ටික් නිෂ්පාදනයට වඩා 90%කින් අවම වනවා.

ඇසුරුම්කරණයට භාවිත කළ හැකිවීම

මයිසීලියම් ෆෝම්වල ප්‍රයෝජන අතරින් වැදගත්ම එක වෙන්නේ ඇසුරුම්කරණයට භාවිත කරන්න හැකිවීම. මයිසීලියම් ෆෝම් නිපදවීමෙන් එන මුලික පලය නැවත සැකසීමක් නොකරම ඇසුරුම්කරණය සඳහා භාවිත කරන්න පුළුවන්. ස්වාභාවිකවම ඒවා සතුව තියෙන ස්පොන්ජිමය ව්‍යුහය මෙයට හේතුවනවා. ලෝක ප්‍රසිද්ධ සමාගමක් වන IKEA සමාගමත් තමන්ගේ සියලු භාණ්ඩ ඇසුරුම්කරණ කටයුතු සඳහා ස්ටයිරෆෝම් වෙනුවට මයිසීලියම් ෆෝම් භාවිත කිරීමට නුදුරේදීම සුදානම්. ඇසුරුම්කරණය සඳහා භාවිත කිරීමට අමතරව මල් බඳුන්, ලාම්පු ආවරණ, සහ කුඩා ගෘහ භාණ්ඩ ආදිය නිර්මාණය කරන්නත් මයිසීලියම් අද වන විට භාවිත වනවා.

mycelium for packaging
ඇසුරුම්කරණය සඳහා මයිසීලියම් – vegconomist.com

ඇඟලුම් ද මෙම මයිසීලියම් පාදක කරගත් ද්‍රව්‍යවලින් නිර්මාණය කිරීමේ හැකියාව තිබෙනවා. ඒ අතරට ජැකට්ටු, ග්ලවුස් සහ සපත්තු ආදීය ඇතුළත්. Adidas සමාගමත් සින්තටික් සහ ලෙදර් නිෂ්පාදන වෙනුවට ආදේශකයක් වශයෙන් මයිසීලියම් ෆෝම් යොදාගැනීමට දැන් දැන් කටයුතු කරනවා. ඔවුන් පසුගියදා Adidas Stan Smith Mylo නම් සපත්තුවක් ද මයිසීලියම් පාදක කරගත් ද්‍රව්‍යවලින් නිර්මාණය කර වෙළඳපොළට නිකුත් කර තිබුණා. Adidas සමාගම හැරුණු කොට Kering, Stella McCartney සහ Lululemon යන සමාගම් ද තම නිෂ්පාදන සඳහා මයිසීලියම් ෆෝම් යොදාගැනීමේ කටයුතු සිදුකරනවා.

mycelium products
මයිසීලියම්වලින් නිමවුණු විවිධ භාණ්ඩ – dezeen.com

මයිසිලියම් ෆෝම්වල තවත් වැදගත් ප්‍රයෝජනයක් වී තිබෙන්නේ පරිවාරක පුවරු (Insulation Panel) නිර්මාණයයි. එක්සත් රාජධානියේ Biohm නම් නව සමාගමක් මයිසීලියම් යොදාගෙන පරිවාරක පුවරු නිෂ්පදනයටම කැපවී සිටිනවා. ඔවුන්ගේ නිෂ්පාදන වෙළඳපොළ සම්මතයන්ට අනුකුලවමයි නිකුත් කෙරෙන්නේ. එනම් පරිවාරක පුවරුවක සම්මත ප්‍රමාණය වන 1200 mm X 2400 mm ප්‍රමාණයෙන් මයිසීලියම් ශබ්ද හෝ තාප පරිවාරක පුවරු මිලදී ගැනීමට දැන් පාරිභෝගිකයන්ට හැකියාව තිබෙනවා. මෙම ශබ්ද පරිවාරක පුවරු (Acoustic Panel) මඟින් 1000 Hz සංඛ්‍යාතයේ ශබ්දවලින් 75%ක් අවශෝෂණය කිරීමේ හැකියාව පවතිනවා. මෙය සාමාන්‍ය ප්ලාස්ටික් අන්තර්ගත පරිවාරක පුවරුවලට වඩා ඉහළ ශබ්ද අවශෝෂකතාවයක් බව කිව යුතුයි. ගිනි ගැනීමකදී ප්ලාස්ටික් පරිවාරක පුවරු මෙන් අහිතකර වායුන් ද නිකුත් නොකරන ඉදිකිරීම් කර්මාන්තයේදී පරිවාරක පුවරු ලෙස මයිසීලියම් ෆෝම් යොදාගැනීම වඩා යෝග්‍ය වනවා.

mycelium shoe and acoustic panel
වම්පස මයිසීලියම් යොදාගෙන නිමවුණු Adidas සපත්තුව – adidas.com, දකුණු පස මයිසීලියම් ශබ්ද පරිවාරක පුවරු – gp-award.com

අනාගත සැලැස්ම

මයිසීලියම් තාක්ෂණය අද වෙද්දී ලොව පුරා විවිධ ක්ෂේත්‍රවල විවිධ සමාගම් භාවිත කරනවා. ඒ අතරින් මුල්තැන ගත්තේ Ecovative සමාගමයි. 2006 දී මෙම තාක්ෂණය මුල්වරට හඳුන්වා දුන් ඔවුන් රටවල් 31 ක පේටන්ට් බලපත්‍ර 40 ක් හිමි කරගෙන සිටිනවා. බොහොමයක් සමාගම් මේ සම්බන්ධ තම නිෂ්පාදන කටයුතු කරන්නේ ඔවුන්ගේ බලපත්‍ර යටතේයි. මයිසීලියම් තාක්ෂණය තවදුරටත් ලොවට හඳුන්වාදීම සහ ප්‍රවර්ධනය කිරීමේ කාර්යය Ecovative සමගම සිදු කරනවා.

මයිසීලියම් තාක්ෂණයෙන් ගොඩනැගිලි ඉදිකිරීමටත් මේ වෙද්දී පර්යේෂණ පැවැත්වෙනවා. කොන්ක්‍රීට් සහ සාමාන්‍ය ගඩොල් ආදිය හා සැසඳීමේදී මයිසීලියම් සතු ශක්තිය ඉතාම සුළු එකක්. එසේම කල් පැවතීමත් අඩු නිසා ගොඩනැගිලි ඉදිකිරීමට මයිසීලියම් යොදාගැනීම විශාල අභියෝගයක් වී තිබෙනවා. ගෘහ නිර්මාණ සමාගමක් වන The Living සමාගම 2014 දී ලොව පළමු මයිසීලියම් ගඩොලින් තැනූ ඉදිකිරීම නිර්මාණය කරනවා. Hy-Fi ලෙස හඳුන්වන මෙය අඩි 40ක් උසින් යුත් කුළුණක් වන අතර වැඩිදියුණු කළ මයිසීලියම් ගඩොල් 10,000ක් මේ සඳහා යොදාගෙන තිබෙනවා. ඉදිකිරීමට පෙර ඔවුන් මෙම ගඩොල් සති 3ක් ඇතුළත වසර 3ක කාලගුණ වෙනස්වීම්වලට කෘත්‍රිම ව ලක් කර අත්හදා බැලුවා. The Living සමාගම පවසන්නේ වසර 3කට පසුවත් ඒවා මුල් ආකාරයෙන්ම පවතින බවයි. නෙදර්ලන්තයේ නිර්මාණ සතිය තුළදීත් The Growing Pavilion නම් ගොඩනැගිල්ලක් ඉදිකර තිබුණා. එහි සැකිලි නිර්මාණය සඳහා ලී භාවිත කර තිබූ අතර ආවරණය සඳහා යොදාගෙන ඇත්තේ මයිසීලියම් පුවරුයි.

Hy-Fi tower and The Growing Pavilion
Hy-Fi කුළුණ සහ The Growing Pavilion – dezeen.com

ස්මාර්ට් අත් ඔරලෝසුවල දත්ත සැකසීමේ කාර්යය සඳහා ද මයිසීලියම්වල ඇති විද්‍යුත් සංඥාවලට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව යොදාගත හැකි බවට පර්යේෂණවලින් හෙළි වී තිබෙනවා. මෙම පර්යේෂණයේ කතුවරයකු වන කැටලූනියා විශ්විද්‍යාලයේ කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ පර්යේෂක ආචාර්ය මොහොමඩ් මහඩි පවසන්නේ දිලීර ඉතා වේගයෙන් වර්ධනය වන බවත්, ඒවා තම උපස්ථරයට බැඳෙමින් පරිගණකවලට සමාන ආකාරයකින් තොරතුරු සැකසීමට පවා හැකි බවත්ය. මේ නිසා මයිසීලියම් ජාලවල ජ්‍යාමිතිය සහ න්‍යායාත්මක ව්‍යුහය නැවත ක්‍රමලේඛනය කළ හැකි අතර එමගින් හෘද ස්පන්දන වේගය මැනීම වැනි පරිගණක පරිපථ සකස් කිරීමට දිලීරවල විද්‍යුත් ක්‍රියාකාරකම් භාවිත කළ හැකි බව ඔහු වැඩි දුරටත් පෙන්වා දෙනවා. මේ නිසා අනාගත ස්මාර්ට් අත් ඔරලෝසු වඩා පරිසර හිතකාමී ලෙස නිර්මාණය කළ හැකි බවයි පර්යේෂකයන්ගේ අදහස වන්නේ.

2019 දී ලෝකයේ බිම්මල් සඳහා වූ වෙළඳපොළ වටිනාකම අමෙරිකා ඩොලර් බිලියන 53ක් පමණ වී තිබුණා. මයිසීලියම් නිෂ්පාදන වැඩි වශයෙන් ලෝකයට පැමිණීමත් සමඟ මෙම අගය 2025 වන විට ඩොලර් බිලියන 86ක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. නිෂ්පාදනය ඉහළ දැමීමෙන් පමණක් ප්ලාස්ටික් වෙනුවට මයිසීලියම් භාවිතය ඇති කිරීම පහසු කටයුත්තක් නොවෙයි. ප්ලාස්ටික් භාවිතය සම්බන්ධ නීති දැඩි කිරීමත් ඒ වෙනුවට ඇති ආදේශක කරා මිනිසුන් යොමු වීම වැඩි කරවනවා. උදාහරණයක් ලෙස එක්සත් ජනපදයේ මේන් ප්‍රාන්තය මුල්වරට ආහාර ඇසුරුම්කරණය සඳහා ස්ටයිරෆෝම් භාවිතය තහනම් කෙරුණා. අද වන විට කොරලාඩෝ, නිව්ජර්සි, ඔරෙගොන් ප්‍රන්තවලද එම නීතිය ක්‍රියාත්මකයි.

Science Advances පර්යේෂණ සඟරාවේ මෑතකදී ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වුණේ මිනිසා මේ දක්වා ප්ලාස්ටික් මෙට්‍රික් ටොන් මිලියන 8,300 ක් නිපදවා ඇති බවත් එය එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ලේ බර මෙන් 25,000 ගුණයක් වන බවත්. මෙහි බරපතලම කාරණය වන්නේ ඒ සියල්ල ගෝලීය පරිසර පද්ධතියට හානි කරමින් හායනය නොවී පැවතීමයි. ප්ලාස්ටික් සඳහා ස්ථිර ආදේශකයක් නිර්මාණය වන තුරු එම අර්බුදයෙන් මිනිසාට ගැලවීමක් ලැබෙන්නේ නැහැ. මයිසීලියම් තාක්ෂණය පෙර සඳහන් ක්ෂේත්‍ර සියල්ලේම ප්‍රධාන ධාරාව බවට පත්වෙනු ඇතැයි අපට දැන්මම උපකල්පනය කිරීමට නොහැකියි. ඇසුරුම්කරණය සඳහා ස්ටයිරෆෝම් භාවිතය සම්පුර්ණයෙන් නවතා දැමීමට නම් මයිසීලියම් පෙන්වා ඇති සාර්ථකත්වය ඕනෑවටත් වඩා ප්‍රමාණවත්. අවශ්‍ය වන්නේ ලෝකයටම බලපැවැත්වෙන නීතිමය පියවරක් පමණයි.

Related Articles