Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

විදුලි බුබුළු වෙනුවට දිදුලන පැළෑටි

මිනිස් වර්ගයාගේ ආරම්භය ඇති වූ කාලයේ පටන් ම මිනිසා සහ ස්වභාවික පරිසරය අතර පැවතුණේ බිඳිය නොහැකි බැඳියාවක්. මේ සබඳතාවය කොතරම් ශක්තිමත් දැයි මෑත කාලීන ව සිදු කරන ලද විද්‍යාත්මක පර්යේෂණ මගින් පවා තහවුරු වී තිබෙනවා. උදාහරණයක් ලෙස ඇමෙරිකාවේ ඔහායෝ හි යංග්ස්ටවුන් අසල්වැසි සංවර්ධන සංස්ථාව මගින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත්තේ හරිත පැහැය වැඩි වශයෙන් දක්නට ලැබෙන ප්‍රදේශ ආශ්‍රිත ව සිදු වන අපරාධ ප්‍රමාණය සාපේක්ෂ ව අඩු බව යි. එසේ ම රැකියා ස්ථානය ස්වභාවික පරිසරයට සමීප ලෙස සැරසීම මගින් සේවකයින්ගේ ඵලදායීතාවය 15% ක් ඉහළ නංවාගත හැකි බව තවත් පර්යේෂණයක් මගින් හෙළි කරගෙන තිබෙනවා.

© Aaron Bastin

නමුත් මිනිසා සහ ස්වභාව ධර්මය අතර පවතින සම්බන්ධතාවයේ තවත් වැඩි දියුණු කරන ඉදිරි පියවරක් ගැනීමට ගෙවී ගිය වර්ෂයේ දී ඇමෙරිකාවේ මැසචුසෙට්ස් තාක්ෂණික ආයතනය [Massachusetts Institute of Technology (MIT)] සමත් වුණා. ශාකයක පවතින සංයුතිය අලුත්වැඩියාවන්ට භාජනය කරමින් වෙනස් ම ආකාරයේ කාර්යයන් සඳහා ශාක යොදා ගත හැකි ද යන්න සොයා බැලීම යි ඔවුන්ගේ අරමුණ වුණේ. මෙහි දී ශාක තුළ ජල හිඟයක් ඇති වුවහොත් ඒ බව පෙන්නුම් කළ හැකි සංවේදක ශාක පත්‍ර මත මුද්‍රණය කිරීම, තමන් අවට සිදු වන දෑ වීඩියෝ ගත කර එය ත්‍රිමාණ ඡායාරූප ලෙස සම්ප්‍රේෂණය කිරීම සහ භූ ගත ජලයේ ඇති රසායනික ද්‍රව්‍ය හඳුනා ගැනීම වැනි කාර්යයන් කිහිපයක් ම අත්හදා බලා තිබෙනවා.

මේ පර්යේෂණ කටයුතුවල මූලිකත්වය ගෙන කටයුතු කර ඇත්තේ මැසචුසෙට්ස් තාක්ෂණික ආයතනයේ රසායනික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මහාචාර්ය මයිකල් ස්ට්‍රානෝ යි. ඔහු පවසන ආකාරයට ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ ප්ලාස්ටික් සහ ලෝහ පරිපථ පුවරුවලට ආදේශකයක් ලෙස ශාක යොදා ගත හැකි ද යන්න සොයා බැලීම යි.

(© Massachusetts Institute of Technology)
මහාචාර්ය මයිකල් ස්ට්‍රානෝ

අඳුරේ දී දිදුලන ශාක පත්‍ර

මේ පර්යේෂණ මාලාවේ ම තවත් එක් පර්යේෂණයක් වුණේ Brassica oleracea හෙවත් කොළ ගෝවා, Nasturtium officinale හෙවත් කක්කුටු පලා, Eruca sativa හෙවත් අරූගුලා (ආහාරයට ගත හැකි ශාක විශේෂයක්) සහ Spinacia oleracea හෙවත් නිවිති යන ශාක අඳුරේ දී ආලෝකය විහිදුවන ආකාරයට සකස් කර ගැනීම යි. මේ අතරින් කක්කුටු පලා ශාක පත්‍ර තුළට නැනෝ අංශු ඇතුළු කිරීම මගින් අදාළ ශාකයෙන් පැය තුන හමාරක කාලයක් පැවති දුර්වල ආලෝකයක් නිපදවීමට ස්ට්‍රානෝ ඇතුළු කණ්ඩායම සමත් වී තිබෙනවා.

පර්යේෂණ කටයුතු අතරතුර දී පළමුවෙන් ම සිදු කර තිබුණේ කක්කුටු පලා පත්‍ර නැනෝ අංශු අන්තර්ගත වූ ද්‍රවණයක ගිල්වා තැබීම යි. ඉන් අනතුරු ව පත්‍ර මත තැන්පත් වූ නැනෝ අංශු පත්‍රයේ අඩංගු පූටිකා හරහා පත්‍රය තුළට ඇතුළු කිරීම සඳහා එම පත්‍ර අධික පීඩනයකට ලක් කර තිබෙනවා.

(© Wendell Smith)
කක්කුටු පලා

මෙසේ පත්‍ර තුළට ඇතුළත් වූ නැනෝ අංශු පත්‍ර තුළ දී අලෝකය නිපදවිය හැකි සංයෝගයක් වන ලුසිෆරින් නිකුත් කර ඇති අතර එය අලෝකය නිපදවා ඇත්තේ ලුසිෆරේස් නම් එන්සයිම (කනාමැදිරියන්ට අලෝකය නිපදවීම සඳහා සහය වන්නේ මෙය යි) සමග ප්‍රතික්‍රියා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස යි. වෙනත් ලෙසකින් පවසනවා නම් අදාළ පැළෑටිය තම පරිවෘත්තිය ක්‍රියාවලියේ ම එක් ක්‍රියාවක් ලෙස ආලෝකය නිපදවීම සඳහා අවැසි ශක්තිය සැපයීම සිදු කර තිබෙනවා.

බලශක්ති පරිභෝජනයට විසඳුමක්

මැසචුසෙට්ස් තාක්ෂණික ආයතනයේ විද්‍යාගාරයක් තුළ කක්කුටු පලා ශාකයක් නිපද වූයේ ලෝකයට අවැසි බලශක්තියෙන් අතිශය කුඩා ප්‍රමාණයක් පමණ යි. නමුත් මහාචාර්ය මයිකල් ස්ට්‍රානෝ ප්‍රකාශ කර සිටින්නේ මෙම නව තාක්ෂණය මතු අනාගතයේ දී අභ්‍යන්තර අලෝකකරණය සඳහා මෙන් ම මග දෙපස සිටුවා ඇති ශාක, ස්වයං බලයෙන් ක්‍රියාත්මක වන වීදි පහන් බවට පරිවර්තනය කිරීම සඳහා යොදා ගත හැකි බව යි.

© Lux Review

මෙම පර්යේෂණ කටයුතු තව දුරටත් පවත්වාගෙන යාමට ස්ට්‍රානෝ ඇතුළු පර්යේෂකයින් බලාපොරොත්තු වන අතර ඔවුන්ගේ අරමුණ වන්නේ අධික පීඩනයක් යෙදීම මගින් ලුසිෆරින් සංයෝගය රැගත් නැනෝ අංශු ශාක පත්‍ර තුළට ඇතුළත් කරනවා වෙනුවට ශාකයේ සමස්ත ජීවිත කාලය පුරාවට ම ශාකයේ තැන්පත් ව පවතින ලෙස ලුසිෆරින් සංයෝගය ශාකය මතට ඉසීමට හැකි ක්‍රමවේදයක් සොයා ගැනීම යි. එසේ ම දහවල් කාලයේ දී සූර්යාලෝකයට නිරාවරණය වූ විට ශාක පත්‍රවල ඇති දිලිසීම ස්වයංක්‍රීය ව නතර වන විධියක් සොයා ගැනීම කෙරෙහි ද ඔවුන්ගේ අවධානය යොමු වී තිබෙනවා.

සංඛ්‍යා දත්ත පෙන්වා දෙන ආකාරයට ලෝකයේ විදුලි පරිභෝජනයෙන් 19% ක් පමණ භාවිතා කරන්නේ අලෝකකරණ කාර්යය සඳහා යි. එසේ ම නියමිත පරිදි වීදි පහන් නිවා නොදැමීම නිසා අපතේ යන විදුලිය ද සංඛාත්මක ම විශාල අගයක් ගන්නවා. යම් හෙයකින් මහාචාර්ය ස්ට්‍රානෝ සහ පර්යේෂණ කණ්ඩායම සිදු කරන පර්යේෂණයන් සාර්ථක වුවහොත් එය විදුලි නාස්තියට කදිම විසඳුමක් පමණක් නොව පරිසර හිතකාමී බලශක්ති මූලාශ්‍රයක් ද වන බව නොඅනුමාන යි.

© Massachusetts Institute of Technology

මේ පර්යේෂණ කටයුතු දිගට ම පවත්වාගෙන යාම සඳහා අවැසි වන මූල්‍ය අනුග්‍රහය දක්වන්නේ ඇමෙරිකා එක්සත් ජනපද බලශක්ති දෙපාර්තමේන්තුව අතර ඔවුන්ගේ වෑයම සාර්ථක වුණත් අපි සියලු දෙනා දිදුලන පැළෑටි අලෝකයෙන් එදිනෙදා වැඩ කටයුතු සිදු කරන දිනය වැඩි ඈතක නොවෙයි.

කවරයේ පින්තූරය : © Wired

Related Articles