ඝර්ම කලාපීය රටක් වන, වසර පුරාම වැඩි වර්ෂාපතනයක් සහිත ශ්‍රී ලංකාවේ ඉපැදුණු දරුවන්ගෙන් තමන් ආකාසයේ දැක තිබෙන වර්ණවත්ම දේ කුමක්ද කියා ඇසුවහොත් එක හඬෙන් ලැබෙන පිළිතුර වන්නේ ‘දේදුන්න’ යන්නයි. දේදුන්නට අමතරව අරුණෝදයේ හා ඉර බැස යනවිට ආකාසයේ මැවෙන වර්ණවත් වළාකුළු රටා ලාංකීය වැසියන් ආකාසයේ දැක තිබෙන වර්ණවත් සංසිද්ධි ගොන්නට ඇතුළත් කරන්නට පුළුවන්.

කොහොම නමුත් ධ්‍රැව ප්‍රදේශවලට අයත් පෘථිවියේ උතුරෙන්ම හෝ දකුණින්ම පිහිටි රටවල ජීවත් වෙන අයට මීට අමතරව කියන්නට දෙයක් තිබෙනවා. විශේෂයෙන්ම ශීත කාලයේ ඉහළ අහසේ ඉතාම දීප්තියකින් යුතුව වර්ණවත් රටා මවන මේවා ව්‍යවහාරයේ හඳුන්වන්නේ අවුරෝරා බෝරියාලිස් නමින්. අවුරෝරා ඔස්ට්‍රාලිස් (Aurora Australis) නමින් හැඳින්වෙන මීට ඉතා සමාන සංසිද්ධියක් දක්ෂිණ ධ්‍රැවය අාසන්නයේදීත් සිදු වෙනවා. සිංහල භාෂාවෙන් පිළිවෙළින් උත්තරාලෝකය නැත්නම් උතුරු එළි ලෙසත්, දක්ෂිණාලෝකය හෙවත් දකුණු / දක්ෂිණ එළි ලෙසත් මේවා හඳුන්වන්න පුළුවන්.

උතුරු එළි වගේම දකුණු එළිත් පොදුවේ අවුරෝරා නොහොත් ධ්‍රැවාසන්න අාලෝකය කියා හඳුන්වන්න පුළුවන්. කොහොම නමුත් මේ සංසිද්ධීන් දෙකම ක්‍රියාත්මක වෙන්නේ එකම අාකාරයෙන්. උතුරු අර්ධගෝලයේ රටවල් විශාල ප්‍රමාණයක් අතීතයේ සිට ඉහළ දියුණුවක් ලබා තිබූ නිසාත් උතුරු එළි ගැන වැඩි අවධානයක් යොමු කර තිබෙනවා.

මොනවද මේ ධ්‍රැවාසන්න එළි?

උතුරු එළි හෙවත් ‘Aurora borealis’ නමින් හඳුන්වනු ලබන්නේ උතුරු ධ්‍රැවය අාසන්නයේ පිහිටි රටවල උතුරු අහසේ දීප්තිමත් වර්ණවලින් එහෙ මෙහෙ දුවමින් රටා අඳින මනස්කාත එළි සමුච්ඡයක්. මෙය ඇත්තෙන්ම සූර්යයාගෙන් විමෝචනය වන අාරෝපිත අංශු පෘථිවි වායුගෝලයේ ඉහළ ස්ථරවල ගැටී එ්වායේ අඩංගු ශක්තිය ෆෝටෝන පත් වීම නිසා සිදු වෙන සංසිද්ධියක්. මිනිස් වාසය අඩු නිසා එතරම් ජනප්‍රිය නොවුණත් දක්ෂිණ ධ්‍රැවයට අාසන්න ප්‍රදේශවලත් අවුරෝරා දකින්නට පුළුවන්. ඒවා පෙර කී පරිදි ‘Aurora australis’ ලෙස හඳුන්වනු ලබනවා.

දුර්ලභ දම් පැහැ අවුරෝරාවක් (i.imgur.com)

මේ එළි විවිධ වර්ණවලින් දැකගන්නට පුළුවන්. ඉතාම සුලභව මේවා ලා කොළ හා රෝස පැහැයෙන් දැක ගන්නට ලැබෙන අතර මීට අමතරව රතු, කහ, කොළ, නිල් හා දම් පැහැයෙන්ද දිස් වූ බව වාර්තා වී තිබෙනවා. මේවා විවිධ හැඩවලින් දිස් වන අතර ආකාසයේ තැනින් තැන විසිරුණු පුල්ලි, කැටිති, වක්‍රකාර ව්‍යුහ, නටන සේලයක් හෝ කදම්භ ලෙස දැක ගන්නට පුළුවන්.

අවුරෝරා ගවේෂණයේ ඉතිහාසය

අතීතයේ ජනතවට මේ ධ්‍රැවාසන්න එළි හෙවත් අවුරෝරා ඇති වන්නේ කෙසේදැයි අවබෝධයක් තිබුණේ නැහැ. ප්‍රංශයේ ඇති අවුරුදු 30,000 ක් පමණ පැරණි ගුහා චිත්‍රයකින් එවකද මිනිසුන් අවුරෝරා ගැන සැලකිලිමත් වී අැති බව තහවුරු වෙනවා.

අවුරෝරා පිළිබඳ ඉපැරණි ලෙන් ච්ත්‍ර (www.nasa.gov)

අවුරෝරා සංසිද්ධිය හරිහැටි තෝරා බේරා ගැනීමට පෙර ජීවත් වූ වැසියන් ඒ ආලෝක කදම්බ යුධ ප්‍රකාශ කිරීම සඳහා යමෙක් විසින් පාවිච්චි කරන ලද ඒවා බව සිතුවා. ඇරිස්ටෝටල් වැනි දාර්ශනිකයින් සිය වාර්තාවල උතුරු එළි ගැන සඳහන් කොට තිබෙනවා.

ගැලීලියෝ ගැලීලි (www.doxologists.org)

ක්‍රි.ව 1616 දී තාරකා විද්‍යාඥ ගැලීලියෝ ගැලීලි මේ සංසිද්ධිය හඳුනාගෙන ඒවා aurora borealis (උතුරු ) හා aurora australis (දකුණු ) ලෙස නම් කළා. ඒ හිමිදිරියට අධිපති අවුරෝරා දේවඟන හා ග්‍රීක භාෂාව අනුව උතුරුදිග සුළඟ හඳුන්වන බෝරියස් යන නාම උපයෝගී කරගෙනයි.

අවුරෝරා එළි ඇති වන්නට හේතු

අවුරෝරා එළි අැති වන්නේ හිරුගෙන් විමෝචනය වෙන අාරෝපිත අංශු පෘථිවි වායුගෝලයේ ඉහළ ස්ථරවලට ඇතුළු වී ඒවායේ ඇති විව්ධ වායු අංශුවල ගැටීමෙනුයි. මේ ගැටීම්වලදී නිකුත් වෙන ශක්තියෙන් කොටසක් දෘෂ්‍ය අාලෝක පරාසයේ පවතින ෆෝටෝන බවට පත් වෙනවා. සූර්ය අංශු ගැටෙන වායු වර්ගය, පවතින උන්නතාංශය අනුව නිකුත් වෙන වර්ණය තීරණය වෙනවා.

මෙහිදී දක්නට ලැබෙන සුලභතම වර්ණය වන මලානික කහ කොළ පැහැය නිකුත් වන්නේ මේ අාරෝපිත අංශු පෘථිවි පෘෂ්ඨයෙන් කිලෝමීටර 60 ක් පමණ ඉහළ අහසේ අැති ඔක්සිජන් පරමාණු හා ගැටීමෙනුයි. මේ සීමාවේ බහුල ලෙස පවතින ඕසෝන් අාදී වායු නිසා ඔක්සිජන් පරමාණු හා ගැටීම් බහුලව සිදු වී කොළ පැහැය පිට වෙනවා. රතු වර්ණය නිකුත් වන්නේ පෘථිවි පෘෂ්ඨයෙන් කි.මී 200ක් පමණ ඉහළ ඇති ඔක්සිජන් අංශුවල මේවා ගැටීමෙනුයි. මේ උසේදී ඔක්සිජන් අංශු විරල නිසා රතු වර්ණය තරමක් දුර්ලභයි. අාරෝපිත අංශු නයිට්‍රජන් අණු හා ගැටුණු විට නිල් හෝ දම් පැහැයට හුරු රතු වර්ණයෙන් යුතු අවුරෝරා නිකුත් වෙනවා.

සූර්යය සුළඟින් අවුරෝරා ඇති වන අයුරු (aminoapps.com)

සූර්ය ලපවල ක්‍රියාකාරීත්වය හා අවුරෝරාවල යම් සම්බන්ධයක් ඇතැයි අතීතයේ සිටම විද්‍යාඥයින් විශ්වාස කළා. 1950 වසරෙදී සිදු කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක් හැටියට සූර්යයාගෙන් ඉලෙක්ට්‍රෝන හා ප්‍රෝටෝන කදම්භ නිකුත් වෙන බවත්, ඒවා සූර්ය සුළඟ ලෙස පෘථිවියට ළඟා වෙන බවත් ලෝකයට අනාවරණය වුණා. සූර්යයා තුළ උෂ්ණත්වය සෙල්සියස් මිලියන ගණනක් තරම් වෙනවා. මේ උෂ්ණත්වයේදී පරමාණුක ඝට්ටනයන් ඉහළ ශීඝ්‍රතාවයකින් සිදුවන අතර, ඉන් වායු පරමාණු අයනීකරණය වෙනවා. එසේ අැති වන ඉලෙක්ට්‍රෝන හා ප්‍රෝටෝනවල අාරෝපිත බව නිසා සූර්යයාගේ චුම්භක ක්ෂේත්‍රවලට හසු වූ විට (සූර්ය පෘෂ්ඨය මත උත්තර හා දක්ෂිණ ධ්‍රැව මිලියන ගණනක් පවතිනවා) සූර්ය සුළඟ සමඟ ඉවතට විසිවී යනවා.

මේවා පෘථිවියට ළඟා වන විට පෘථිවි චුම්භක ක්ෂේත්‍රය මඟින් එහි ශක්තිය හා ප්‍රවේගය අඩාල කළත් චුම්භක ක්ෂේත්‍රය දුර්වල ධ්‍රැවාසාන්න ප්‍රදේශවලදී ඒවා සම්පූර්ණයෙන් නවත්වාලන්න නොහැකි වෙනවා. මෙසේ පෘථිවි වායුගෝලයට ඇතුළු වන සූර්යය අංශු එහි ඇති වායු අණුවල ගැටීමෙන් නිකුත් වෙන ආලෝකය අපට අවුරෝරා හෙවත් උතුරු හෝ දක්ෂිණ එළි ලෙස දකින්න පුළුවන්.

සාමාන්‍යයෙන් අවුරෝරාවක් කිලෝමීටර 80 ක පමණ ප්‍රදේශයක පැතිරී සිදුවන අතර පෘථිවි පෘෂ්ඨයේ සිට කිලෝමීටර 640ක් දක්වා ඉහළ අහසේ මේවා හටගන්නවා.

අවුරෝරා නැරඹීමට සුදුසු ස්ථාන හා කාලය

අභ්‍යාවකාශයට පෙණෙන අවුරෝරාවක් (dailymail.co.uk)

අවුරෝරාවක් අභ්‍යාවකාශයේ සිට නරඹන විට උතුරු හෝ දකුණු ධ්‍රැව දෙකෙහිම ඇති විය හැකි, කිලෝමීටර 2500 ක පමණ දිගකින් යුතු වළල්ලක් ලෙස දැකගත හැකිය. අවුරෝරා නැරඹිය හැකි උත්තර අර්ධගෝලයට අයත් ප්‍රදේශ ලෙස නම් වී ඇත්තේ මධ්‍යම හා උතුරු ඇලස්කාව, කැනඩාව, ග්‍රීන්ලන්තය, උතුරු ස්කැන්ඩිනේවියා අර්ධද්වීපය සහ රුසියාවයි. දකුණු අර්ධගෝලයේ අවුරෝරා කලාප ලෙස අන්ටාක්ටිකාව නම් කර තිබෙනවා. මීට අමතරව දක්ෂිණ අවුරෝරා කලාතුරකින් දකුණු ඕස්ට්‍රේලියාවට, නවසීලන්තයට හා චිලී රාජ්‍යට දර්ශනය වෙනවා. සමහර විට ඉතා ප්‍රබල සූර්යය කුණාටු තත්වයකදී මීට වඩා නිරක්ෂය දෙසට වන්නට පිහිටි රටවලත් අවුරෝරා දර්ශනය විය හැකියි. ක්‍රි ව 1909 දී සමකාසන්න සිංගප්පූරුවටත් අවුරෝරාවක් දර්ශනය වී ඇති අතර එය ඉතාම දුර්ලභ තත්වයක් ලෙස සැළකෙනවා.

නවසීලන්තයටත් සමහර විටෙක අවුරෝරා පෙනෙනවා (backpackerguide.nz)

අවුරෝරා අවුරුද්ද මුළුල්ලේම ඇති විය හැකි අතර මේවා නැරඹීමට සුදුසුම කාලය වන්නේ ශීත ඍතුවේ රාත්‍රියේදීයි. මෙයට හේතුව ශීත ඍතුවේ ධ්‍රැවාසන්න පෙදෙස්වලට ඉතා දිගු රාත්‍රී කාලයන් බල පැවැත්මයි. විදුලි ආලෝක ධාරා මෙන්ම චන්ද්‍රාලෝකයත් මේවා දර්ශනයට බාධා ගෙන දෙනවා.

සූර්ය ලප (Jose Manteca/Barcroft India)

වසර 11ක කාලයකින් සමන්විත සූර්ය ලප චක්‍රයේ උපරිමයට පැමිණි විට ඉවතට නිකුත් කරන ඉලෙක්ට්‍රෝන හා ප්‍රෝටෝන කදම්බ ප්‍රමාණය වැඩි වන අතර මේ නිසා අවුරෝරා ඇති වීමේ හැකියාවත් වැඩිවෙනවා. පෘථිවියට අමතරව වායුගෝලයක් හා චුම්භක ක්ෂෙත්‍රයක් සහිත ඕනෑම ග්‍රහලෝකයක අවුරෝරා ඇතිවිය හැකියි.

කවරයේ පින්තූරය – auroravillage.com

මූලාශ්‍ර:

  1. northernlightscentre.ca
  2. space.com
  3. timeanddate.com