Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොවම රකින නිහඬ ආරක්ෂකයා

මුළු ලෝකෙටම එකවර ආරක්ෂාව දෙන්න පුළුවන් කෙනෙක් ගැන අහල තියෙනවද? ඔව්, එහෙම කෙනෙක් ඉන්නවා ඇත්තටම. පියවි ඇසට දකින්න නොලැබුනත් ගාස්තුවක් අය නොකර පෘථිවියම ආරක්ෂා කරන නිහඬ ආරක්ෂකයෙක් තමයි පෘථිවි පෘෂ්ඨයේ ඉඳලා වායු ගෝලයේ 20 Km ත් 30 Km ත් අතර උසකින් පැතිරිලා තියෙන ඕසෝන් වියන. එහෙම කීවම ඔයාලට මතක් වේවි ඉස්කෝලෙදී ඉගෙන ගත්ත විද්‍යා පාඩම් එහෙමත්. ඉතින් අද අපි කතා කරන්නේ ඒ නිහඬ ආරක්ෂකයා ගැනයි.

මොනවද මේ ඕසෝන් කියන්නේ?

ඕසෝන් අණු නිර්මාණය වන අයුරු (ec.gc.ca.com)

ඕසෝන් කියන්නේ වායුවක්. මිනිසුන්ගේ ශ්වසන පද්ධතියට එතරම්ම හිතකර වායුවක් නොවෙන නිසා මෙය වායු දූෂකයක් ලෙසත් හඳුන්වනවා. ඔක්සිජන් (O) පරමාණු තුනක් සහිත ඕසෝන් අණු ලා නිල් පැහැයක් සහ කටුක ඝන්ධයක් ඇති වායුවක්. පෘතුවි වායු ගෝලයේ සමස්ත වායු පරිමාවෙන් 0.000007% ක් වැනි සුළු ප්‍රමාණයක් තමයි ඕසෝන් වායුව තියෙන්නේ. ලන්දේසි ජාතික Van Marum නැමැති රසායන විද්‍යාඥයා මුලින්ම මෙම වායුව සොයාගත්තත් වායුවේ ක්‍රියාකාරිත්වය ගැන තොරතුරු ලෝකයාට දැනගන්න හැකියාව ලැබෙන්නේ 1840 දී පමණ Schönbein නැමැත්තා විසින් සිදු කරන ලද පර්යේෂණවලින් අනතුරුවයි.

ඕසෝන් වියන

ඕසෝන් වියන කියල හඳුන්වන්නේ වායු ගෝලයේ ඕසෝන් සාන්ද්‍රණය අධිකවම පවතින කලාපයයි. වායු ගෝලයේ ඇති ඔක්සිජන් අණු හිරු එළියේ ඇති පාරජම්බුල කිරණ සමග ප්‍රතික්‍රියා කිරීමෙන් ඕසෝන් අණු නිපදවෙන අතර මෙම ක්‍රියාවලිය දැඩි හිරු රශ්මියක් ලැබෙන ඝර්ම කලාපීය රටවලට ඉහළ අහසේ හොඳින්ම සිදුවෙනවා. වායුගෝලයේ චලනයන් සමග ධ්‍රැව ප්‍රදේශ කරාද මෙසේ නිපදවෙන වායු අණු පැතිරයාම නිසාවෙන් සමස්ත පෘථිවිය වටාම අඛණ්ඩ ස්තරයක් ලෙස ඕසෝන් ස්ථරය දකින්නට පුළුවන්. මෙහි ඝනකම කලින් කලට භූ ප්‍රදේශ අනුවත් වෙනසක් දකින්නට පුළුවන්. වර්ෂ 1913 දී ප්‍රංශ විද්‍යාඥයින් වන Charles Fabry සහ Henri Buisson දෙන්නා තමයි ඕසෝන් වියන සොයාගත්තේ.

සූර්යයා කියන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන ප්‍රධානම ශක්ති ප්‍රභවයයි. සූර්යාගේ සිට වැඩිම ශක්තියක් පෘථිවියට ලැබෙන්නේ දෘෂ්‍ය ආලෝකය ලෙසට. විද්‍යුත් චුම්බක තරංග තුළ දෘෂ්‍ය ආලෝකයට අමතරව විවිධ තරංග ආයාමවලින් යුක්ත කිරණ අඩංගු වෙලා තියෙනවා. පාරජම්බුල කිරණ (Ultraviolet / UV) කියන්නෙත් එවැනි එක් කිරණ විශේෂයක්. UV කිරණ සැලකීමේදී අපිට නැවත UV-A ,UV-B, UV-C ලෙසට තරංග ආයාමය අනුව කොටස් තුනකට වෙන් කරන්න පුළුවන්. UV-A කිරණවල අඩංගු වෙන්නේ ජීවීන්ට හානියක් කරන්න බැරි තරම් ඉතා කුඩා ශක්තියක්. ඒවා ඕසෝන් වියනෙන් බාධාවක් නොමැතිව පෘථිවියට ළඟා වෙනවා. එහෙත් UV-B සහ UV-C කියන කාණ්ඩ දෙකම ජීවීන්ට අහිතකරයි. ඕසෝන් ස්ථරය වායුගෝලයේ ඇති ආරක්ෂක පෙරණයක් සේ ක්‍රියා කිරීම නිසාවෙන් UV-B කිරණ 90% ක් පමණද UV-C කිරණ සම්පූර්ණයෙන්ම ද පෘථිවියට පැමිණීම වළක්වන අතර එමගින් පෘථිවියේ ජීවය පවත්වාගෙන යාමට සුවිශේෂී මෙහෙයක් ඉටුකරනවා.

ඕසෝන් වියන තුළින් UV කිරණ ගමන් කරන අයුරු (nasa.gov)

ක්ෂය වී යන ස්ථරය හා එහි බලපෑම

දීර්ඝ කාලීන ක්‍රියාවලියක ප්‍රථිපලයක් ලෙස තමයි ඕසෝන් වියන නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙත් දිගින් දිගටම මිනිස් ක්‍රියාකාරකම් නිසාවෙන් ඕසෝන් වියනට තර්ජන එල්ල වෙමින් පවතිනවා. පහතින් දක්වලා තියෙන්නේ එවැනි මිනිසා විසින් භාවිතා කරන ඕසෝන් වියනට හානිකර දෑ කිහිපයක්.

  • ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන් (CFC වායුව) – සුවඳ විලවුන්, ෆෝමීන් වර්ග, තීන්ත වර්ග නිෂ්පාදනයට, පළිබෝධනාශක ඉසිනකාරකයක් ලෙස වගේම ශීතකරණවල සිසිල් කාරකයක් ලෙසටත් යොදා ගන්නවා.
  • මෙතිල් බ්‍රෝමයිඩ් (MeBr /CH3Br) – කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ විවිධ කාර්යයන් සඳහා භාවිත වන රසායන ද්‍රව්‍යයකි. මෙය ඉතා ප්‍රබල පළිබෝධනාශකක්. ධූමායනයටත් (fumigation) යොදා ගන්නවා.
  • හේලෝන් (Halon) – ගිනි නිවීම් උපකරණ සඳහා බහුලව යොදා ගැනෙනවා.
  • මෙතිල් ක්ලොරෝෆෝම් ( C2H4Cl2) – ද්‍රාව්‍ය පිරිසිදුකාරකයක් ලෙස විවිධ ක්ෂේත්‍ර සඳහා වැදගත් වන බැවින් බහුලව භාවිත වෙනවා. තවද ඉලෙකේට්‍රොනික් ක්ෂේත්‍රයේ මෙන්ම විවිධ උපකරණ නිෂ්පාදනයේදීත් යොදා ගන්නා රසායන ද්‍රව්‍යයක්.
  • කාබන් ටෙට්‍රා ක්ලෝරයිඩ් ( CTC / CCl4) – CFC නිෂ්පාදනයේදී අමුද්‍රව්‍යයක් ලෙස භාවිතා වන්නක්. කාබනික ද්‍රව්‍ය ද්‍රාවකයක් ලෙස, පිරිසිදු කාරකයක් (රෙදි පැල්ලම් ඉවත් කිරීම සඳහා) ලෙස වගේම ගිනි නිවීම් උපකරණ සඳහා ද බහුලව භාවිතා කෙරෙනවා.
  • නයිට්‍රජන් ඔක්සයිඩ්(N2O).

1984 දී Joesph Farman, Brian Gardiner සහ Jonathan Shanklin යන තිදෙනා ප්‍රථමවරට ඇන්ටාක්ටික් ප්‍රදේශයට ඉහළ අහසේ ඕසෝන් වියනේ පවතින සිදුර ගැන අනාවරණය කළා. 2000 දී තමයි එම සිදුරේ ඉහළම විශාලත්වය වාර්තාගත වෙලා තියෙන්නේ (වර්ග කිලෝමීටර් මිලියන 29.9 ක් පමණ).

ඕසෝන් සිදුරේ විශාලත්වය වෙනස්වීම (prompt.hu)

ඕසෝන් වියනේ ආරක්ෂාව නොමැතිව අහිතකර UV කිරණ ඍජුවම පෘථිවියට පතිත වුවහොත් එය මිනිසාට සම වියළීම, රැළි වැටීම, පිළිස්සීම වගේම සමේ පිළිකා ඇතිවීම, ඇසේ සුද ඇතිවීම, ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානි සිදුවීම, ජාන විකෘති විම් හා ඵ් ආශ්‍රිත පිළිකා වර්ධනය විම වගේ සෞඛ්‍ය ගැටළු ගණනාවකටම මුහුණ දීමට සිදුවෙනවා. එ් වගේම පාරිසරික වශයෙන් ගෝලීය උණුසුම ඉහළ යාම, ‍‍ජෛව විවිධත්වයට හානි සිදුවීම වගේම ප්‍රබල දේශගුණික වෙනස්වීම්වලටත් එය බලපානු අැතැයි පර්යේෂකයින් හඳුනාගෙන තිබෙනවා.

ඕසෝන් වියන ආරක්ෂා කර ගැනීම

(estis.net)

දිගින් දිගටම ඉහත කාරණා නිසාවෙන් ඕසෝන් වියන ක්ෂ්‍ය වීමේ තර්ජනයට ලක්වීමත් එක්ක එය ආරක්ෂා කරගැනීමට කාගේත් අවධානය යොමු වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස බිහි වූ වියානා සම්මුතිය සහ මොන්ට්‍රියල් සම්මුතිය වගේ එකඟතාවන්ට ලෝක නායකයින්ගේ සහය පළ වුණා. ඕසෝන් වියනට හානිකර ද්‍රව්‍ය ක්‍රමයෙන් භාවිතයෙන් ඉවත් කිරීමට එම සමුළුවලදී යෝජනා ලැබුණා වගේම ඒවා ක්‍රියාත්මක කරන්න නිශ්චිත කාලරාමුත් ඉදිරිපත් කෙරුණා.

හානිකර ද්‍රව්‍ය වෙනුවට ආදේශක යොදාගැනීමෙන් මිනිසාගේ අවශ්‍යතාවන් ඉටු කරගන්නා අතරම ඕසෝන් වියනේ ආරක්ෂාව තහවුරු කරන්නත් අවස්ථාව තියෙනවා. මෑත කාලයේ සිට නැවත්ත ඕසෝන් වියනේ සිදුර නැවත පිළිසකර වීම ආරම්භ වෙලා තියෙන්නේ ඒ වෙනුවෙන් ලෝක ප්‍රජාවගෙන් යොමු වුණු යහපත් අවධානය නිසාමයි.

ඕසෝන් වියනට හානිකර ද්‍රව්‍ය ගැන දැනුවත් වීම මගින් එම ද්‍රව්‍ය භාවිතයට නොගෙන ඉවත් කරන්න ඔබටත් පුළුවන්. සෑමවිටම සොබාදහමේ සමතුලිතතාවයට හානි නොවෙන ආකාරයට අපි හැසිරෙනවා නම් සොබාදහමේ ආරක්ෂාව අපිට හිමිවෙනවා වගේම අපි අතිනුත් සොබාදහම ආරක්ෂා වේවි. එන්න අපි හැමෝම එකතුවෙලා අයෙමත් මේ ලෝකය ලස්සන ආරක්‍ෂිත නිවහනක් කරගනිමු.

කවරයේ රූපය : VICTOR DE SCHWANBERG

මූලාශ්‍ර

  1. lenntech.com
  2. Wikipedia
  3. dinamina.lk

Related Articles