Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉංජිනේරු ශිල්පයේ විශ්මය කියා පාන පැනමා ඇළ

ලෝකයේ ඉංජිනේරු තාක්ෂණයේ විශ්මයජනක අවස්ථාවක් ලෙස පැනමා ඇළ හැඳින්වීමට පුළුවන්. මෙම ලිපිය මඟින් පැනමා ඇළ ඉදිකිරීමට පාදක වූ හේතුන්, ඉදි කිරීමේදී මුහුණ දුන් අභියෝග, ඉදිකිරීම් කටයුතු සිදු වූ අයුරුත්, ඉංජිනේරු තාක්ෂණය යොදා ගත් ආකාරය මෙන්ම පැනමා ඇළේ නෞකා ගමනය සිදුවන ආකාරය ගැනත් දැන ගැනීමේ හැකියාව තිබෙනවා.

පැනමා ඇළ ඉදිකිරීමට පාදක වූ හේතුන්

පැනමා ඇළේ පිහිටීම (geographicguide.com)

අතීතයේ ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ සිට නිව්යෝර්ක්‌ දක්වා ගමන් කරන නැව්වලට විශාල දුරක් ගෙවමින් දකුණු අැමෙරිකානු මහද්වීපය වටායාමට සිදු වුණ බව සඳහන් වෙනවා. මෙය ඉතාමත් දීර්ඝ ගමනක් බව ලෝක සිතියමක් දිහා බැලීමේදී ඉතාම පහසුවෙන් වටහා ගන්න පුළුවන්. උතුරු සහ දකුණු අැමෙරිකානු මහද්වීප එකිනෙකට සම්බන්ධ වෙන්නේ සාපෙක්ෂව ඉතාම තුනී ගොඩබිම් තීරණයකින්. නමුත් එම කොටස හරහා අත්ලාන්තික් සහ පැසිපික් සාගර එක් කෙරෙන ජල මාර්ගයක් නැති නිසා නැව්වලට ගමන් කරන්න හැකියාව තිබුණේ නැහැ. මේ නිසා සැතපුම් දහස් ගණනක් ගෙවා යෑමට සිදු වුණා. මේ අපහසුව මඟ හැරීමේ අවශ්‍යතාවය වෙළඳාම දියුණු වීමත් සමග තීව්‍ර වුණා.

නමුත් මෙලෙස ඇළක් ඉදිකිරීමට පෙරාතුව රටවල් ගණනාවක ආණ්ඩු වගේම ඉංජිනේරුවරුන්ද ඇළ වෙනුවට යොදා ගත හැකි විකල්ප ක්‍රම කෙරෙහි අවධානය යොමු කරලා තියෙනවා. අවසාන විසඳුම වශයෙන් පසුකාලීනව සැතපුම් 5000 කටත් වඩා දුර ගෙවමින් දකුණු ඇමරිකාව වටා ගමන් කිරීම වෙනුවට ඇළ මාර්ගයක් ඔස්සේ සැතපුම් 50ක් දක්වා ගමන කෙටි කිරීමට තීරණය වුණා. පැනමා ඇළ ස්ථාපිත කිරීමේ අරමුණ වූයේ එයයි.

ඉදි කිරීමේදී මුහුණ දුන් අභියෝග

ඉදිකිරීම් අතරතුර (whatitcosts.com)

පැනමා ඇළෙහි වැඩ කටයුතු ආරම්භ වී තිබෙන්නේ 1881 දී ඇමරිකානු යෝජනාවකට අනුවයි. මෙහි වැඩ කටයුතු ආරම්භ කර තිබෙන්නේ ප්‍රංශ රජය මඟිනුයි. 1869 දී සූවස් ඇළ ඉදිකිරීමෙන් ලැබුණ අත්දැකීම ඒ සඳහා පාදක වූ බවද සඳහන් වනවා.

පැනමා ඇළ ඉදිකිරිම හා බැඳී අසාර්ථක වීම්, දේශපාලන කුමන්ත්‍රණ හා ජිවිත හානි ගැනද වාර්තා වනවා. එයින් පෙනී යන්නේ මෙය අභියෝග රැසක් මාධ්‍යයේ ඉදිවූවක් බවයි. බාධක නිසා ප්‍රංශය ටික කාලයක් ගත වන විට ඇළේ ඉදිකිරීම් කටයුතු නතර කර දමා තිබෙනවා. මෙසේ අතර මඟ වැඩ නතර කිරීමට යන්ත්‍ර දිරා යාම වැනි ඉංජිනේරුමය ශිල්පීය ගැටලු, පැනමාවේ කැලෑබද පෙදෙස්වල වැඩ කිරීමේ දී මැලේරියාව, කහ උණ වැනි රෝගවලින් කම්කරුවන් 25000කට අධික පිරිසක් මිය යාම හා නිසි මූල්‍යමය කළමනාකරණයක් නොතිබීම වැනි කරුණු බලපෑ බව සඳහන් වනවා.

ප්‍රංශය සතු උපකරණ ඇමෙරිකාව මගින් මිලදී ගැනීමෙන් අනතුරුව වර්ෂ 1904 දී පමණ ඇමරිකානුවන් විසින් ඇළ කැණීමේ කටයුතු භාර ගනු ලැබුවා. මේ ආකාරයට ඉදිකිරීම් කටයුතු භාර ගත් ඇමරිකානුවන්ට අවශ්‍ය වුයේ ඇළ මාර්ගය ඔස්‌සේ නෞකා ගමන් කිරීමට සලස්වා ඒවායෙන් ගාස්තු අය කර ගැනීමට සැලැස්වීමයි. ඇළ ඉදිකිරිම සඳහා ඩොලර් මිලියන 14 කට වඩා වියදමක් ඇමරිකාවට වියදම් වූ බව සඳහන් වනවා. ඒ වගේම 1914 අගෝස්තු මස නැව්වල ගමනා ගමනයට ඇළ විවෘත කරනු ලැබුවා.

ඇමරිකාව 1999 වර්ෂය දක්වාම පැනමා ඇළ මඟින් ආදායම් ලබා ගනු ලැබුවා. 1999 දෙසැම්බර් 31 එහි පාලනය පැනමා රජය වෙත පවරනු ලැබුවේ ටොරිජෝස් – කාටර් ගිවිසුම යටතේ බව සඳහන් වනවා. කෙසේ වුවත් 2015 වර්ෂය වන විට ඩොලර් බිලියන 10කට වඩා වැඩි ආදායමක් අැළ මගින් උපයා ගෙන තිබෙන බවද දැක්වෙනවා. එමෙන්ම පැනමාවේ ජාතික ආදායමෙන් 40% නියෝජනය කරන්නේ මෙහි ආදායමයි.

පැනමා ඇළ හා බැඳුණු ඉංජිනේරු තාක්ෂණය

පැනමා ඇළේ දිය අගුල් හෙවත් locks (joc.com)

මෙම ඇළ මඟින් පැසිපික්‌ හා අත්ලාන්තික්‌ සාගරය යා කරනු ලබනවා. දිග සැතපුම් 48ක් වෙනවා. මුලදී ඇමරිකානු ඉංජිනේරුවන් තීරණය කොට තිබු බවට සැලකෙන්නේ අත්ලාන්තික්‌ හා පැසිපික්‌ සාගර යාවන පරිදි මුහුදු මට්‌ටමේ පිහිටීමට ඇළ කැපීම බවට සඳහන් වනවා. නමුත් එය විශාල වියදමක් හා අපහසු කටයුත්තක් බව හැඟී ගොස් තිබෙනවා. අනතුරුව Culbera හා Gillard නමැති කඳු අතරින් හා පැනමාවේ ඇති Gatun lake හි ජලය උපයෝගී කරගනිමින් නවීන තාක්‌ෂණයට අනුව එහි දිය අගුල් හෙවත් locks කිහිපයක්‌ ඉදි කළ බවට සඳහන්.

එමඟින් සිදු වනුයේ නැව් මුහුදු මට්‌ටමේ සිට ඉහළට එසවීමත් පහළට ගැනීමත් හැකි වීමයි. දිය අගුල් හෙවත් ලොක් යනුවෙන් හඳුන්වන්නේ ජලය පිරවූ විශාල කාමරයක් බඳු දෙයක්. මේ ආකාරයට ලොක් යුගල් 6ක් පමණ තිබෙනවා. ඒවා Gatun locks, Pedro Miguel locks, Miraflores locks විදිහට හැඳින්වෙනවා.

අත්ලාන්තික්‌ සාගරය හරහා පැනමා ඇළට ඇතුළු වන විට නැවකට මුලින්ම Gatun locks හමුවන අතර එමඟින් නැවක් අඩි 85ක් පමණ ඉහළට එසවෙනවා. එමෙන්ම මෙය පහසු වීමට Gatun lake එක කෘත්‍රීමව ඉදි කර තිබෙනවා. මෙම ක්‍රියාවලිය ගුරුත්වාකර්ෂණය හා ජල බලය මඟින් සිදු වන බව දැක්වෙනවා.

පැනමා ඇළේ නෞකා ගමනය සිදුවන ආකාරය

පැනමා ඇළේ ගමන් කරන නැව් (progressive – economy.org)

මේ සඳහා Panama Canal Authority හි අවසර ගැනීමක් මෙන්ම ඇළ හරහා යාමට පැය 48 ට පෙර ගාස්තු ගෙවීමද සිදු කළ යුතු වනවා. අනතුරුව ඇළ වෙත පැමිණි පසු අධිකාරිය විසින් පත්කරනු ලබන නාවිකයන් නැවට ඇතුළු වී එහි පාලනය ගැනීමෙන් අනතුරුව ටග් යාත්‍රා (Tug boat) මඟින් නැව ඇළ හරහා ගෙන යනු ලබනවා. දුම්රිය එන්ජින් මඟින් locks මතට ගෙන යනු ලබන නැව ඉදිරියට ඇදගෙන යනු ලබනවා.

ඒ වගේම මෙම ඇළ හේතුවෙන් බිහි වූ ජාත්‍යන්තර නෞකා ඉදිකිරීමේ හා වර්ග කිරීමේ කාණ්ඩ 03 ක්‌ පවතිනවා. ඒ Panamax, Post Panamax හා Triple E කියලයි.

පසුකාලීනව ඩොලර් බිලියන 05 ක වියදමෙන් අඩි 160 පළලින් යුක්ත, අඩි 20 ක දිග සහිත බහාලුම් 12,000 දක්‌වා ගෙනයාමට හැකි වන පරිදි නෞකාවලට ඇළ හරහා යාමට පහසුකම් සහිත lock ඉදිකරනු ලැබූ බව ද සඳහන් වනවා. ඒ වර්තමානයේ නැව් මඟින් ප්‍රවාහනය කරන භාණ්ඩ වැඩි වීම නිසා ඒවායේ විශාලත්වය වැඩි කිරීමට කටයුතු කිරීම හේතුවෙන්.

කවරයේ රූපය : nursesfornurses.com.au

Related Articles