පානීය ජලයේ ගුණාත්මකභාවයට වැදගත් පරාමිතීන් ගැන දැනුවත් ද?

ජලය ජීවයේ පැවැත්මට අත්‍යවශ්‍ය බව කුඩා දරුවෙකු වුවත් දන්නා කාරණාවක්. පෘථිවිය මත ජලය අතිශයින් සුලබ දෙයක් වුණාට, පානීය ජලය කියන්නේ ඉතා දුර්ලභ සම්පතක්. එයට හේතුව වෙන්නේ, පෘථිවිය​ 72%ක් පමණ ජලයෙන් වැසී තිබුණත්, එම ජල ප්‍රමාණයෙන් 97%ම අධික ලවණතාවයකින් යුතු ජලය, නැත්නම් කරදිය, වීම යි. පෘථිවිය​ ජල ග්‍රහයෙකු හා සමානව ක්‍රියා කළත්, මිනිස් පරිභෝජනය සඳහා වූ පානීය ජලය පෘථිවිය​ තුළ ඇත්තේ ඉතා සීමිත ප්‍රමාණයක්.

දිනෙන් දින උග්‍ර වන විවිධාකාර වූ ගෝලීය අර්බුදයන් අතර පානීය ජල හිඟයත් ඉදිරියෙන්ම පවතින්නක්. අරීය ජලවහන රටාවක් යටතේ සැකසුණු ගංඟා පද්ධතියක්, සහ දියුණු වාරි තාක්ෂණයකට හිමිකම් කියන ශ්‍රී ලංකාවට වුණත් මෙම ගැටළුවෙන් මිදීමට හැකියාවක් ලැබිලා නැහැ. දිනෙන් දින උග්‍ර වන ජල දූෂණය සහ පානීය ජල සම්පත නිසි කළමණාකාරීත්වයකින් තොරව භාවිතා කිරීම වැනි හේතූන් නිසා දැන් දැන් ශ්‍රී ලංකාවේ තෙත් කලාපයට වුණත් පානීය ජල ගැටළුව වැදගත් කාලීන මාතෘකාවක් බවට පත්වෙලා.

තත්ත්වය මෙසේ නම්, ඔබගේ නිවසේ පානීය ජල අවශ්‍යතාවය උදෙසා භාවිතා කරන ජල ප්‍රභවය කෙතරම් විශ්වාසනීය ද? එය සහතික කරගත හැකි ක්‍රමවේදයන් තිබේ ද?

මෙම ලිපියෙන් උත්සාහ කරන්නේ ඉහත ගැටළුවලට සරලව නමුත් පොහොසත් පිළිතුරක් ලබාදිම යි. ඒ අනුව මෙම ලිපියෙන් ජලයේ ගුණාත්මකභාවය තහවුරු කරන විද්‍යාත්මක පරාමිතීන් කිහිපයක් සාකච්ඡාවට බඳුන් කරනවා.

පෘථිවිය 72% ම වැසී ඇත්තේ ජලයෙනි/ www.space.com

ජලයේ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ භෞතික පරාමිතීන්

  • වර්ණය, ගන්ධය, සහ රසය

මේ, අප බීමට ගන්නා ජලය බිමට සුදුසුදැ යි දැනගන්නා ඉතාම ප්‍රාථමික ක්‍රමය. පානීය ජලයේ කිසිදු විශේෂිත රසයක් හෝ ගන්ධයක් හෝ වර්ණයක් අඩංගුව නොතිබිය යුතු යි. එසේ ගන්ධයක් හෝ රසයක් හෝ වර්ණයක් අපට නිරීක්ෂණය වෙනවා නම්, එය එම ජලය කිසියම් ආගන්තුක දෙයකින් දූෂ්‍ය වී ඇති බවට සරලව දැනගත හැකි මාර්ගයක්. 

  • ආවිලතාවය

ඇතැම්විට ජලයේ දුගඳක්, රසයක් හෝ වර්ණයක් නොමැති වුවත්, පියවි ඇසට නොපෙනෙන අංශු විශාල සංඛ්‍යාවක් ජලය තුළ අඩංගුව තිබිය හැකියි. මෙම අංශුමය ගතිය වැඩි වුවහොත් ජලයේ විනිවිද පෙනෙන ගතියත් අඩු වෙනවා. මෙය “ආවිලතාවය” යනුවෙන් හඳුන්වනවා.

ආවිලතාවයට බොහෝවිට හේතු වන්නේ ශාක සහ සත්ත්ව ප්ලවාංග අඩංගු වීම වැනි ස්වභාවික කාරණා හෝ, ඉදිකිරීම් කටයුතු, පතල් කැණීම්, කෘෂිකාර්මික​ කටයුතු වැනි මිනිස් ක්‍රියාකාරකම්වලින් ජල ප්‍රභවයන්වලට අවසාදිත ද්‍රව්‍ය ගලා ඒම නිසා වෙන්නත් පුළුවන්. ආවිලතාවය සරලවම Turbidity meter වැනි උපකරණයකින් විද්‍යාගාරයක් තුළ දී මැනිය හැකියි. ආවිලතාවය බොහෝ විට NTU (Nephelometric Turbidity Unit) ඒකකයෙන් ප්‍රකාශ කරනු ලබනවා. පානීය ජලයේ NTU අගය 2ට වඩා වැඩිවීම එතරම් සෞඛ්‍යාරක්ෂිත නැහැ.

පානීය ජලය කියන්නේ අද ගෝලීය අර්බුදයක්/un.org/

ක්ෂුද්‍ර ජීව විද්‍යාත්මක පරාමිතීන්

රෝගකාරක ජීවින් හානිදායක මට්ටමකින් ජලයේ නොපැවතීමත්, පානීය ජලයේ ගුණාත්මකභාවය සැළකීමේ දී පුළුල්ව අවධානය යොමුකළ යුතු කාරණාවක්. ලෝක ඉතිහාසය තුළ කොළරාව වැනි වසංගත රෝග පැතිරීමේ දී ජලයත් කැපී පෙනෙන අන්දමින් දායක් වී ඇති නිසා, මෙහි වැදගත්කම ඉතා ඉහළ යි. 

මිනිසුන් සහ උණුසුම් රුධිරයෙන් යුතු සත්ත්වයන්ගේ මළ ද්‍රව්‍යයන් මිනිස් සෞඛ්‍යයට ඉතා හානිදායක වූ රෝගකාරකවලින් පිරී පවතිනවා. වැඩිවන ජනගහණයත් සමග, මෙම අපද්‍රව්‍යයන්වලින් තම ජල ප්‍රභවයන් ආරක්ෂා කරගැනීම අද වනවිට අභියෝගයක්. ඉතින්, ජලයේ ගුණාත්මක බව සාක්ෂාත් කරන ක්ෂුද්‍ර ජීව විද්‍යාත්මක පරාමිතීන් කිහිපයක් දැන් සළකා බලමු.

  • Aerobic Plate Count (APC)

අප ජීවත් වන පරිසරයේ ඕනෑම පෘෂ්ඨයක​, ආහාරයක මෙන්ම බීමට ගන්නා ජලයේ පවා යම් ක්ෂුද්‍ර ජීවි ගහණයක් සිටිනවා. මෙම ක්ෂුද්‍ර ජීවින් අතුරින් බොහෝමයක් අපට අහිතකර හෝ හානිදායක නොවන අතර ඇතැමෙක් රෝගකාරකයන් ද විය හැකියි. අප බීමට ගන්නා ජලයේ යම් ප්‍රමාණයකින් එවැනි ගහණයක් සිටීම සාමාන්‍ය හා නොවැළැක්විය හැකි කරුණක් වුණත්, “සළකන උපරිම මට්ටමකට” වඩා එම ගහණය තිබීම සෞඛ්‍යාරක්ෂිත නොවේ. මෙම පරීක්ෂණයේ දී අදාළ ජල සාම්පලයෙන් කොටසක් භාවිතා කර, සුදුසු පෝෂණ මාධ්‍යක සාම්පල කොටසේ සිටින ක්ෂුද්‍ර ජීවින්ට වැඩීමට ඉඩහරිමින් මෙම පරීක්ෂණය සිදු කරනු ලබනවා. හානිදායක විය හැකි මට්ටම අභිබවා යනවා නම් වැඩි දුර පරීක්ෂණ කිරීම සඳහා මූලික අවදානය ලබා දෙන පරීක්ෂණයක් ලෙස APC සැලකිය හැකියි.

  • Total Coliform Count

කොලිෆෝම් බැක්ටීරියා යනු මිනිසා ඇතුළු ක්ෂීරපායින්ගේ ආහාර මාර්ගයේ ස්වාභාවිකව සිටින සුලභ බැක්ටීරියා කාණ්ඩයක්. එමෙන්ම පාංශු ද්‍රව්‍යයන්, සාමාන්‍ය මතුපිට ජලය තුළින් ද කෝලිෆෝම් සොයා ගන්න පුළුවන්. මොවුන් අපගේ ආහාර මාර්ග තුළ වාසය කරන, හානිදායී නොවන ක්ෂුද්‍ර ජීවි කාණ්ඩයක් නිසා අපගේ සහ අනෙකුත් සත්ත්වයන් ගේ මළ ද්‍රව්‍යයන් තුළත් කෝලිෆෝම් සිටින්නට පුළුවන්. මේ මළ ද්‍රව්‍ය තුළ ඔවුන් හැරෙන්නට වෙනත් රෝගකාරක ජීවි කාණ්ඩ ද සිටිය හැකි සම්භාවිතාවය ඉහළ යි. ඔවුන් ඒවායේ අඩංගු විය හැක්කේ සමහර විට ඉතා කුඩා සාන්ද්‍රණවලින් වියහැකි නමුත් සෞඛ්‍ය අවදානම ඉහළ යි. 

කෙසේ නමුත් එකතු කරන හැම ජල සාම්පලයකම මේ රෝගකාරක විෂබීජ එකින් එක පරික්ෂා කිරීම ප්‍රායෝගික නොවන ක්‍රියාවලියක් වගේම මිල අධික ක්‍රියාදාමයක්. මේ නිසා ලාභදායී ලෙස හා පහසුවෙන් වගා කළ හැකි කෝලිෆෝම් බැක්ටීරියා කාණ්ඩය “දර්ශක ජීවියෙකු” ලෙස සළකා පරීක්ෂණ පැවැත්වීමෙන්, මෙම ව්‍යාධිජනකයන්ගේ පැවැත්ම ගැන වක්‍රාකාරයෙන් සාක්ෂ්‍ය ලබා ගත හැකියි.

  • E-coli Count Test

කෝලිෆෝම් බැක්ටීරියාවල වාසස්ථාන ඉතා පුළුල් පරාසයක පැතිර පවතින නිසා, සත්ත්ව මළ ද්‍රව්‍යයන්වල පිහිටන කොලිෆෝම් බැක්ටීරියා වෙනකොට හඳුනාගැනීම ඉතා වැදගත්. මළ ද්‍රව්‍යයන්හි විශේෂිතව වැඩෙන Fecal Coliform කාන්ඩය, සත්ත්ව හෝ මිනිස් අපද්‍රව්‍ය පිළිබඳ වඩාත් නිවැරදි දර්ශකයක් ලෙස හඳුන්වන්න පුළුවන්. Fecal coliform කාණ්ඩයේ සාමාජිකයන් අතුරින් E-Coli (ඊකෝලයි/ Escherichia coli) විශේෂ වෙනවා. E. coli සාමාන්‍ය පරිසරයේ වැඩෙන්නේ හෝ ප්‍රජනනය හෝ නැහැ. එහි ප්‍රතිඵලයක් වශයෙන් මළ ද්‍රව්‍යයන්ගෙන් වන දූෂණය පිළිබඳ හොඳම දර්ශකය E-coli වෙනවා. ඒ අනුව ජලයේ E-coli හමුවීම මඟින් රෝග කාරක තිබීමේ සම්භාවිතාවය ඉඩා වැඩියැ යි ද සැළකිය හැකි අතර, එම ජලය සෞඛ්‍යාරක්ෂිත නොවන බව සැළකිය හැකියි.

ජලයේ ආවිලතාවය මනින Turbidity මීටරය/mitchellinstrument.com

රසායනිකව වැදගත් වන පරාමිතීන්

  • pH අගය

pH පරිමාණය, ජලයේ ආම්ලික හෝ භාෂ්මික බව තීරණය කළ හැකි පරාමිතියක්. pH පරිමාණය ප්‍රකාශ කරන්නේ 0 සිට 14 දක්වා වන අතර pH අගය 7ට වඩා අඩු නම් එම ජලය ආම්ලික ස්වභාවයක් ගන්නා බවත් pH අගය 7 ට වඩා වැඩි නම් භාෂ්මික ස්වභාවයක් ගන්නා බවත් සළකයි. බීමට ගන්නා ජලය බොහෝ දුරට pH 6.5-8.5 පරාසයක් තුළ උදාසීනව පවතිනවා. 

විවිධ වායු වර්ග, ඛනිජ ද්‍රව්‍ය දියවී තිබීමෙන් ජලයේ pH අගය සැළකිය යුතු ලෙස අඩු වීම හෝ වැඩි වීම සිදුවිය හැකි නිසා, ජලයේ රසායනික ගුණාත්මකභාවය ගැන pH අගයට ඉඟි සැපයිය හැකියි.

  • Total Dissolved Solid (TDS)

TDS යනු, ජලය ද්‍රාවනයක් ලෙස සළකා එහි අකාබනික ලවණ හා, කුඩා ප්‍රමාණවලින් දිය වී ඇති කාබනික සංයෝග පොදුවේ එකට මනින මිනුමක්. මෙම ද්‍රාව්‍ය සංඝටක අතර කැල්සියම්, මැග්නීසියම්, සෝඩියම්, සහ පොටෑසියම් යන කැටායන, සහ කාබනේට්, හයිඩ්‍රජන් කාබනේට්, ක්ලෝරයිඩ්, සල්ෆේට්, සහ නයිට්‍රේට් යන ඇනායන ප්‍රමුඛ යි. මෙම පරාමිතියත් pH අගය මෙන්ම ජලයේ ගුණාත්මකභාවය  ගැන පූර්ව අවබෝධයක් අපට ලබා දෙනවා. 

ජලයට කිසියම් TDS අගයක් තිබීම සාමාන්‍ය කරුණක් වගේම අපගේ ශරීරයට අවශ්‍ය ඇතැම් සංඝටක අපට මෙයාකාරයෙන් ජලයෙන් ද ලැබෙනවා. පානීය ජලයේ TDS අගය ලීටරයට මිලිග්‍රෑම් 300ට වඩා අඩු අගයක් ගැනීම ඉතා හොඳ වන අතර එම TDS අගය ලීටරයට මිලිග්‍රෑම් 300-600 අතර තිබීමත් තත්ත්වයෙන් හොඳයැ යි සළකන්න පුළුවන්.

  • ක්ලෝරයිඩ

ජලයේ ක්ලෝරයිඩ සාන්ද්‍රණයට කෙලින්ම බලපෑ හැකි කාරණාව වන්නේ ක්ලෝරයිඩ අඩංගු ලවණ (උදා ; ලුණු, මැග්නීසියම් ක්ලෝරයිඩ්) ජලයේ දියවීම යි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායක අනුව සාමාන්‍ය වැඩිහිටි මිනිස් සිරුරක ක්ලෝරයිඩ් ග්‍රෑම් 81.7ක් පමණ අඩංගු වෙනවා. ඒ අනුව යම් ක්ලෝරයිඩ ප්‍රමාණයක් ශරීරය තුළ තිබීම එහි ක්‍රියාකාරීත්වයට වැදගත්. 

සැළකිය යුතු ප්‍රමාණයකින් ක්ලෝරයිඩ් ජලය තුළ අඩංගු වීම මිනිස් ශරීරයට දරා ගත හැකි වුවත්, බෝ නොවන රෝගවලින් පෙළෙන්නන්ට අධික ක්ලෝරයිඩ් මාත්‍රා ශරීරයට ඇතුළත් වීම අහිතකර වෙන්න පුළුවන්. ඒ වගේම ජලයේ රසය කෙරෙහි ද බලපාන සාධකයක් තමයි ක්ලෝරයිඩ්.

පෝෂණ මාධ්‍යක ක්ෂුද්‍ර ජීවි කොළනි වගා වී ඇති අයුරු/ medicalnewstoday.com
  • Total Hardness

මෙය ජලයේ කඨිනත්වය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා පරාමිතියක්. සරලවම කඨිනත්වය යන්නෙන් අදහස් කරන්නේ ජලයේ දියවූ කැල්සියම් සහ මැග්නීසියම් ප්‍රමාණය යි. කඨින ජලය තුළ බොහෝ සෙයින් ඛනිජ ද්‍රව්‍ය ඇති අතර ඒ අතුරින් කැල්සියම් සහ මැග්නීසියම් ප්‍රමුඛ වෙනවා. ජල සාම්පලයක් රසායනිකව විශ්ලේෂණය කිරීමේ දී TDS අගය වැඩි නම් එම අගයට වැඩි දායකත්වයක් සපයන්නේ බොහෝ දුරට මෙම කඨිනත්වය සහ ක්ලෝරයිඩ් අයන සාන්ද්‍රණ යයි.

වැඩි ලවණ සාන්ද්‍රණයකින් යුත් ජලයෙන් (කිවුල් ජලයෙන්) යමක් සබන් යොදා සේදුවිට, ඒ මත ඉවත් නොවන යම් පටලයක් හෝ ලිහිසි ගතියක් දැනෙන්න පුළුවන්. එයට හේතුව වන්නේ කඨිනත්වය සහිත ජලය සබන් සමග ප්‍රතික්‍රියා කිරීම යි.

භූගත ජලය භාවිතා කරන ජනතාව බොහෝ විට මෙම ගැටළුවට සැළකිය යුතු මට්ටමකින් මුහුණ දෙන අතර ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ ප්‍රදේශවල විශාල පරිමාණයේ ජල මූලාශ්‍රවල ද මෙම ගැටළුව දැකිය හැකියි. ස්වභාවික ජල ප්‍රභවයන්වල කැල්සියම් සාන්ද්‍රණය 100 mg/l පමණ අගයක් තිබීම සාමාන්‍ය කරුණක්. නමුත් මැග්නීසියම් සාන්ද්‍රණය කැල්සියම් මට්ටමට සාපේක්ෂව අඩුවෙන් දක්නට ලැබෙනවා. ඒ නිසා කැල්සියම් තුළින් හටගන්නා කඨින ස්වභාවය සුලබ යි.

යම් ප්‍රමාණයකින් කැල්සියම් සහ මැග්නීසියම් ශරීරයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය වන නිසා, සුළු මට්ටමකින් ස්වභාවික ජල මූලාශ්‍රවල ඒවා අඩංගු වීම යහපත් බලපෑම් ඇති කළ හැකියි. නමුත් සලකන උපරිම සාන්ද්‍රණ මට්ටම් ඉක්මවා ගිය ජල මූලාශ්‍ර ප්‍රයෝජනට ගැනීම වකුගඩු ආශ්‍රිත රෝගාබාධවලට අත වැනීමක් වෙනවා.

  • යකඩ  (Iron / Fe)

යකඩ යනු පෘථිවි පෘෂ්ඨයේ ඇති දෙවන බහුලම ලෝහය වන අතර ප්‍රතිශතාත්මකව එය 5%ක් පමණ වෙනවා. පිරිසිදු මූලද්‍රව්‍යයක් ලෙස යකඩ සොබාදහමේ දක්නට ලැබෙන්නේ කලාතුරකින්. යකඩ ඒ වෙනුවට අයන ලෙස හෝ සංයෝග ලෙස පරිසරයේ පවතිනවා.

පානීය ජලයේ ඇති යකඩ අයන කහ පැහැයට හුරු දුඹුරු පැහැයක් ගන්නා අතර මණ්ඩි ලෙස අඩියේ තැන්පත් වෙන්නත් පුළුවන්. භූගතව පවතින ජලයේ ඇති යකඩ, එහි නිර්වායු තත්ත්වය නිසා උක්ත සඳහන් වර්ණයක් හෝ නොපැහැදිලි මණ්ඩි ගතියක් නිරීක්ෂණය නොවෙන්නත් පුළුවන්. නමුත් භූගත ජලය නළ හරහා ගලා යෑමේ දී ඔක්සිජන් සමග මුසුවෙන නිසා, එම ජලය පැහැදිලි යකඩ වර්ණයක්, ගන්ධයක් සහිතව පැමිණෙනවා. පානීය ජලයේ මුළු යකඩ අයන සාන්ද්‍රණය සාමාන්‍යයෙන් ලීටරයට 0.3 mgට වඩා අඩුවීම වඩාත් සුදුසු වෙනවා.

යකඩ අඩංගු සංයෝගවලින් භූගත ජලය දූෂ්‍ය වෙනවා/ aquaclearws.com
  • නිදහස් ඇමෝනියා

ස්වභාවිකව ජලයේ පැවතිය හැකි මට්ටමට වඩා ඉහළින් ඇමෝනියා පැවතීම, මළ මූත්‍ර මඟින් එම ජලය දූෂණය වී ඇති බවට ඉඟි පළ කරන වැදගත් සාධකයක්. එහෙයින් මෙය ඉතා වැදගත් රසායනික දර්ශකයක්. ලීටරයකට මිලිග්‍රෑම් 0.2ට වඩා පානීය ජලයේ නිදහස් ඇමෝනියා අඩංගුවීම සෞඛ්‍යාරක්ෂිත බවට අමතරව, ජලයේ රසය හා ගන්ධය පිළිබඳව ද ගැටළු ඇති කරනවා. පානීය ජලයේ නිදහස් ඇමෝනියා හැකිතාක් අවම වීම (0.06 mg/Lත් වඩා අඩුවෙන්) වඩාත් සුදුසු යි.

  • අනෙකුත් ඉතා වැදගත් රසායනික සංඝටක

මීට අමතරව ජලයේ ගුණාත්මකභාවය තීරණය කරන වැදගත් රසායනික පරාමිතීන් යටතට ෆ්ලෝරයිඩ්, නයිට්‍රේට, නයිට්‍රයිට, සල්ෆේට, නිදහස් ක්ලෝරීන් සහ මුළු ෆොස්ෆේට් සාන්ද්‍රණය යන සංඝටක ගත හැකියි. මෙයින් ඇතැම් සංයෝග ජලයේ පැවතීම සැළකිය යුතු සෞඛ්‍ය අවදානමක් ඇති කළ හැකියි. විශේෂයෙන්ම නයිට්‍රයිට  හානිදායක මට්ටමට පවතින ජලය පරිභෝජනයෙන්, මවගෙන් කළලයට යන ඔක්සිජන් මට්ටම පහළ දමන අතර ප්‍රතිඵලය භයානක විය හැකියි. මීට අමතරව ප්‍රාදේශීය වශයෙන් පවතින පාරිසරික ගැටළු මුල් කර ගනිමින් ජලයේ ගුණාත්මකභාවය වටහා ගැනීම සඳහා කැඩ්මියම්, ආසනික් වැනි බැරලෝහ,  කෘෂි රසායන මට්ටම වැනි මනාපය අනුව කරන පරාමිතීන් ද තිබෙනවා.

තම නිවසේ පානයට ගන්නා ජලයේ ගුණාත්මකභාවය ඔබට ද පරීක්ෂා කරගත හැකියි. ශ්‍රී ලංකාව තුළ, වැඩි වශයෙන් බස්නාහිර පළාතේ, රාජ්‍ය අශයෙන් වගේම පෞද්ගලික අංශයන් මඟින් පවත්වා ගෙන යන විශ්ලේෂණ විද්‍යාගාර පිහිටුවා තිබෙනවා. ඒ විද්‍යාගාර බොහෝමයක් තම සේවයේ විශ්වාසනීයත්වය සහ අන්තර්ජාතික පිළිගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය යටතේ ප්‍රතීතනය වීම හෝ විගණනයට ලක් වීමට උත්සුක වෙනවා. වර්තමානය වනවිට පානයට ගන්නා ජලයේ සෞඛ්‍යාරක්ෂිත බව කාලීන ගැටළුවක් බවට පත්ව අවසන් නිසා ඔබගේ නිවසට ජලය සපයන ජල මූලාශ්‍රයෙන් සාම්පලයක් එකතු කරගෙන එවන් විද්‍යාගාරයක් වෙත යෑම කිසිලෙසකින් වත් අනර්ථකාරී දෙයක් නම් නොවෙයි.

cover photo :

මූලාශ්‍රයයන් :

who.int/

fda.gov/

health.ny.gov

Related Articles