අනතුරකදී ඔබව ආරක්ෂා කරන්න අලුත් වාහන වල තියෙන විශේෂාංග – පළමු කොටස

වාහනයක් ගන්නකොට තීරණය කරන්න වෙන ප්‍රධානම දෙයක් තමයි අලුත්ම (බ්‍රෑන්ඩ් නිව්) වාහනයක් ගන්නවාද නැතිනම් පාවිච්චි කරපු වාහනයක් ගන්නවාද කියන එක. පාවිච්චි කරපු වාහනත් වර්ග දෙකක් තියෙනවා, එකක් තමයි ලංකාවට ආනයනය කරන්න කලින්ම වෙනත් රටකදී පාවිච්චි කෙරෙන ඒවා. අනිත් එක තමයි ලංකාවට අලුතෙන් ගෙනත් පාවිච්චි කරපු කෙනෙක් විකුණන ඒවා. මුල් වර්ගයට සාමාන්‍යයෙන් කියන්නේ රීකන්ඩිෂන් කරපු වාහන කියලයි.

බ්‍රෑන්ඩ් නිව් ගත්තත්, රීකන්ඩිෂන් ගත්තත් බොහෝ දුරට වාහනය ඉතා හොඳ මට්ටමක තියෙනවා. (ඒ නිසා වටිනා කම වුණත් ගොඩක් වෙනස් වෙන්නේ නැහැ) මේකට ප්‍රධාන හේතුවක් වෙන්නේ අපේ රටේ තියෙන වාහන ආනයන නීතිය. ආනයනය කරන දවසට වඩා නිෂ්පාදිත දිනය අවුරුදු දෙකකට වඩා පරණයි නම් ඒ වගේ වාහන වැඩි හරියක් විකිණීම සඳහා ආනයනය කිරීම තහනම්. උදාහරණයක් විදිහට මේ මාසය ගැන සැලකුවොත් 2014 අවුරුද්දේ සැප්තැම්බර් මාසයට කලින් නිෂ්පාදනය කරපු වාහන ශ්‍රී ලංකාවට ආනයනය කරන්න බැහැ.

මේ නිසා මිල අතින් බැලුවාම ලොකු වාසියක් තියෙන්නේ ලංකාවේ පාවිච්චි කරපු වාහනයක් මිලට ගන්න එකේ තමයි. මේ ළඟදී වාහන ආනයනයට පනවන බදු සංශෝධනය කරපු නිසා දැන් එන්ජින් ධාරිතාව ඉහළ වාහන බොහොමයක් ආනයනය කරන්න විශාල බද්දක් ගෙවන්න වෙනවා. ඒ නිසා ටිකක් හොඳ මට්ටමේ වාහනයක් ගන්න “සෙකන්ඩ් හෑන්ඩ්” මාකට් එක පැත්තට හැරෙන පිරිස දැන් වැඩියි.

කොහොම වුණත් මිල දිහා බලාගෙන අඩුවට ගන්න පරණ වාහනයක් අලුත් වාහන වලට වඩා ආරක්ෂාව අතින් බොහොම අඩු මට්ටමකයි තියෙන්නේ. වාහනයක ආරක්ෂාව තහවුරු කෙරෙන උපාංග වැඩි වශයෙන් ඇතුලත් කෙරෙන්න ගත්තේ මෑතක ඉඳලා. එක අතකින් යුරෝපය ඇතුළු විශාල වාහන වෙළඳපොළ වල ආරක්ෂිත වාහන වලට තියෙන ඉල්ලුම වගේම ඔවුන්ගේ නීති රීතිත් මේකට බලපෑවා. මේ රටවල් වල වාහන සාපේක්ෂව ලාභ වුණත් රක්ෂණයට විශාල මුදලක් අය කරනවා. ආරක්ෂිත වාහන වලට රක්ෂණ ගාස්තු බොහොම අඩුයි. ඉතින් ආරක්‍ෂිත වාහන වලට හොඳ ඉල්ලුමක් තියෙනවා.

ඉතින් මොනවද මේ ආරක්ෂිත වාහන වල සහ එහෙම නැති වාහන වල වෙනස? වාහනයක ආරක්ෂාකාරී බව වැඩි කරන්න යොදා ගැනෙන පද්ධති ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි සක්‍රීය ආරක්ෂණ ක්‍රම නැතිනම් “Active Safety Features” කියන්නේ. මේ කොටසට අයත් වෙන්නේ හැම විටකම අනතුරක් සිදු වෙන සම්භාවිතාව අවම කරන පද්ධති. මේ වගේ විශේෂාංග ගණනාවක්ම තියෙන නිසා මේ ලිපි පෙලේ දෙවැනි කොටසින් ඒ ගැන කතා කරමු. මේ අතරින් සමහර පද්ධති තියෙන්නේ මිලෙන් අධික වාහන වල තමයි.

අපි අද ලිපියෙන් කතා කරන්නේ වාහනයක් අනතුරකට මුහුණ දෙන අවස්ථාවක ගමන් කරන මගීන්ව ආරක්ෂා කරන පද්ධති ගැනයි. මේවා හඳුන්වන්නේ “Passive Safety Features” කියලයි. කණගාටුවට වගේ මේකට හරි සිංහල වචනයක් නම් නැහැ. (අක්‍රීය පද්ධති කියලා කැමති නම් කියන්න පුළුවන්) වාහනයක් මොනම හේතුවක් නිසා හරි හැප්පුනොත් ඔබව මිය යන්න හෝ තුවාල සිදු වෙන්න තියෙන සම්භාවිතාව අඩු වෙන්නේ මේ පද්ධති නිසයි. එයින් ප්‍රධානම අංග කිහිපයක් ගැන මේ ලිපියෙන් දැක්වෙනවා.

සැකිල්ල / චැසිය

නවීන වාහන වල භාවිත වන Monocoque වර්ගයේ චැසියක්. රූපය : Damngeeky.com

නවීන වාහන වල භාවිත වන Monocoque වර්ගයේ චැසියක්. රූපය : Damngeeky.com

මුලින්ම අපි හිතලා බලමු වාහනයක් අනතුරකට මුහුණ දෙන්නේ කොහොමද කියලා. වාහනයක් කියන්නේ වේගයෙන් ගමන් කරන වස්තුවක්. ඒ අවට තියෙන ගොඩක් දේවල් නිශ්චලව හරි වෙනස් වේගයකින් හරි ගමන් කරනවා. අනතුරක් කියන එක සිදු වෙන්නේ මේ විදිහට වේගයෙන් යන වාහනයක් වෙනස් වේගයක් තියෙන වෙනත් වස්තුවක ගැටීමෙන්. සමහර විට නිශ්චල වාහනයක වෙනත් වස්තුවක් ඇවිත් ගැටිලාත් අනතුරු සිදු වෙන්න පුළුවන්.

ඉතින් ඒ වගේ වෙලාවක වාහනයේ චැසියෙන්, නැතිනම් සැකිල්ලෙන් ආරක්ෂාවක් ලැබෙන්නේ කොහොමද? නිවැරදිව නිර්මාණය කරපු සැකිල්ලක් හැම වෙලාවේම හදලා තියෙන්නේ මිනිසුන් ගමන් කරන ප්‍රදේශය (මගී කුටිය – Passenger Compartment) ආරක්ෂා වෙන විදිහටයි. මේ මගී කුටියට ඉදිරිපසින්, පැති වලින් සහ පිටුපසින් තියෙන වාහනයේ අනෙක් හැම කොටසක්ම නිර්මාණය වෙන්නේ අනතුරකදී මගී කුටියට වෙන හානිය අවම කරන්න. වාහනයේ වහලය කොටස ශක්තිමත්ව හදලා තියෙන වාහන පෙරලෙද්දී වුණත් මගී කුටියට හානි වෙනවා අඩුයි.

“ඉස්සර වාහන නම් හයියයි, දැන් වාහන යන්තම් වැදුනත් තැලෙනවා” කියන කතාව ඔබ අහලා ඇති. මේකට ප්‍රධාන හේතුවත් මේ අලුත් විදිහට නිර්මාණය කෙරෙන සැකිල්ල. අපි කලිනුත් කිව්වා වගේ වාහනයක් වේගයෙන් යන නිසා අනතුරකදී ඉතාම ඉක්මණින් නිශ්චල වීමක් සිදු වෙනවා. අපේ මිනිස් ශරීරය නිර්මාණය වෙලා තියෙන්නේ ඒ වගේ හදිසි බලයක් දරා ගන්න පුළුවන් විදිහට නෙවෙයි. ඒ නිසා වඩා වැදගත් මිනිස් ජීවිත ආරක්ෂා කර ගන්න වාහනය තැලිලා මිනිසුන් මතට යෙදෙන බලය වාහනය පුරා පතුරවා හරිනවා. වාහනය හදන්න වියදම් ගියත් තුවාල සිදු වෙන එක ගොඩක් අවම වෙනවා. මේ වගේ තැලෙන්න හදලා තියෙන කොටසක් හඳුන්වන්නේ Crumple Zone එකක් කියලයි.

ඉදිරිපස අනතුරකින් මගී කුටියට අනතුරක් සිදු නොවී බලය විසිරී යන ආකාරය. රූපය : danawa.com

ඉදිරිපස අනතුරකින් මගී කුටියට අනතුරක් සිදු නොවී බලය විසිරී යන ආකාරය. රූපය : danawa.com

හැබැයි මේ විදිහට වාහනය සම්පුර්ණම තැලෙන්න දෙන්නත් බැහැ. වාහනය අනතුරකට මුහුණ දෙනකොට බොහෝ විට රියදුරා කකුල තියාගෙන ඉන්නේ බ්රේක් පෙඩල් එක මත. ඒ වගේ අවස්ථාවක බ්රේක් පෙඩල් එක ඉහළට එසවුනොත් කකුල් වලට දරුණු හානි වෙන්න පුළුවන්.  ඒ වගේම සුක්කානම රියදුරාගේ පපුව මතට තෙරපෙන්න පුළුවන්. අනතුරකින් පස්සේ මගීන් ඉවතට ගන්න බැරි විදිහට හිර වෙලා මිය යන අවස්ථා ඕනෑ තරම් තියෙනවා. මේ නිසා අනතුරකදී ඉදිරිපස තැලීම ක්‍රමානුකූල කරලා මේ වගේ අවස්ථාත් අවම කර ගන්න එක අත්‍යවශ්‍යයි. අලුත් වාහන ඩිසයින් කරන්න ලොකු වියදමක් යන්නේ මේ හැම දෙයක් ගැනම හිතන්න අවශ්‍ය නිසයි. හොඳට හදපු බොහෝ වාහන අනතුරක් වුණත් මගී කුටිය කිසිම හානියක් නැතිව තියෙනවා දකින්න පුළුවන්.

මේකෙම අනිත් ප්‍රයෝජනය තමයි වාහනයේ හැපෙන දේට සිදු වෙන හානිය අවම කරන එක. හොඳම උදාහරණය විදිහට පාරේ ගමන් කරන කෙනෙක් වාහනයේ හැප්පෙන අවස්ථාව සලකන්න පුළුවන්. මේ වගේ වෙලාවක හැප්පෙන කෙනාට සිදු වෙන තුවාල අඩු වෙන විදිහටත් වාහනය නිර්මාණය කෙරෙනවා. වාහනයේ ඉදිරිපස පහත් කරලා, බෆර් එක ෆයිබර් ග්ලාස් වලින් හදලා, බොනට් එක පහසුවෙන් තැලෙන විදිහට හදලා, වාහනයම ලිස්සන සුළු විදිහට හදලා තියෙන්නේ ඒ නිසයි. මේ නිසා පරණ වාහනයක හැප්පෙනවාට වඩා අලුත් වාහනයක හැප්පෙන පදිකයෙක්ට දරුණු තුවාල සිදු වෙන්න තියෙන අවස්ථාව අඩුයි.

වායු බැලූන / එයාර් බෑග්

ආරක්ෂාව ගැන කියද්දී වැඩි දෙනෙක්ට මතක් වෙන්නේ එයාර් බෑග් ගැන. ආරක්ෂක උපාංග බොහොමයක් වගේම මේවාත් මුලින්ම සවි කෙරුණේ මර්සිඩීස් බෙන්ස් වර්ගයේ S – Class වාහන වලටයි. වාහනයක යන මිනිසුන් අනතුරක් සිදු වෙන වෙලාවක මගී කුටියේ අවට වැදීම නිසා තුවාල වැඩියෙන් සිදු වෙන්න පුළුවන්. මේ උපාංගයෙන් කෙරෙන්නේ අනතුරකදී විසි වෙන මගීන් විශාල වායු බැලූනයක ගැටෙන්න සලස්වන එක. බැලූනය පහසුවෙන් තැලෙන නිසා අනතුරකදී මුහුණ, පපුව සහ බෙල්ල වගේ තැන් වලට අනතුරු සිදු වෙන එක මෙයින් අවම වෙනවා.

වායු බැලූනයක් ඉතාම අඩු කාලයකින් සම්පූර්ණව පිම්බෙන්න පුළුවන් විදිහට නිර්මාණය කිරීම තාක්ෂණික අවශ්‍යතාවක්. සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 70ක වගේ වේගයකින් යන වාහනයක් අනතුරට පත් වුණොත් රියදුරා සුක්කානමේ වදින්න ගත වෙන්නේ තත්පර 0.02ක වගේ ඉතා කුඩා කාලයක්. ඊට පෙර බැලූනය මුළුමනින්ම පිම්බෙන්න අවශ්‍යයි. ඒ නිසා බොහෝ වෙලාවට මේ වායු බැලූන පුම්බන්න යොදා ගන්නේ පුපුරණ ද්‍රව්‍යයක්. (සෝඩියම් ඒසයිඩ්, පොටෑසියම් නයිට්රේට් සහ සිලිකන් ඩයොක්සයිඩ් මිශ්‍රණයක්) වාහනයේ සවි කරලා තියෙන සංවේදක මගින් මෙම පුපුරණ ද්‍රව්‍ය පුපුරවා හරිනවා. එතකොට නිකුත් වෙන නයිට්‍රජන් වායුවෙන් තමයි බැලූනය පිම්බෙන්නේ.

නවීන වාහනයක ඇති වායු බැලූන. රූපය : autochips.com.br

නවීන වාහනයක ඇති වායු බැලූන. රූපය : autochips.com.br

මේ වගේ බැලූන ස්ථාන ගත කරන ක්‍රම ගණනාවක්ම දකින්න ලැබෙනවා. හැම වාහනයකම වගේ රියදුරාටත්, බොහෝ විට ඉදිරිපස මගියාටත් වායු බැලූන තියෙනවා. මීට අමතරව ගොඩක් වෙලාවට පැති වලින් පහළට පිම්බෙන කර්ටන් වගේ වායු බැලූන (Curtain Airbag) වුණත් අලුත් වාහන වල දකින්න පුළුවන්. ඒ වගේම රියදුරාගේ සහ ඉදිරිපස මගියාගේ කකුල් වලට ආරක්ෂාව දෙන්නත්, පිටුපස මගීන්ට ආරක්ෂාව දෙන්නත්, කඳ කොටස (Torso) ආරක්ෂා කරන්නත් අමතර වායු බැලූන හොඳ වාහන වල සවි කර තියෙනවා දකින්න පුළුවන්. දැන් සමහර වාහන වල පදිකයන් ආරක්ෂා කරන්න පිටතින් පවා වායු බැලූන සවි කරලා තියෙනවා. පැති එයාර් බෑග් සහ කඳ කොටස සඳහා තියෙන එයාර් බෑග් වලින් සිදු වෙන්නේ හරස් මාර්ග වලදී වාහනයට පැත්තකින් තවත් වාහනයක් වැදෙන වෙලාවක හිස හා ඇලපත දොර ඇන්දේ ගැටී සිදු වෙන තුවාල අවම කරන එකයි. ඒ නිසා අනතුරකදී හොඳ වාහනයක් ඇතුලේ ඉන්නා කෙනෙකුට මෙට්ට වලින් හදපු කුටියක ඇතුලේ ඉන්න තරමටම ආරක්ෂාවක් හිමි වෙනවා.

ආසන පටි / සීට් බෙල්ට්

ආසන පටි ඉස්සර ඉඳන්ම පාවිච්චි කෙරුණු තාක්ෂණයක් වුණත් අනතුරකදී වඩාත් හොඳ ආරක්ෂාවක් දෙන්න නිර්මාණය වුණු ක්‍රම පාවිච්චි වෙන්නේ ළඟදී හදපු වාහන වල තමයි. අනතුරක් වෙද්දී වායු බැලූනයෙන් කෙරෙන වැඩේටම උදව්වක් දෙන වැඩක් තමයි සීට් බෙල්ට් එකෙනුත් වෙන්නේ. වායු බැලූන වාහනයේ ඇතුලේ තියෙන නොඑබෙන තැන් වල වදින්න තියෙන අවස්ථාව අවම කරන අතරේ ආසන පටි වලින් මගීන් ඉදිරියට විසිවෙන එක අඩු කරනවා.

හැබැයි මේක නිකන් ඇඟ දිගේ පටියක් දානවා වගේ ලේසි වැඩක් නෙවෙයි. වාඩි වෙලා ඉන්න මගියෙක්ගේ ශරීරයට අඩුම හානියක් සිදු වෙන විදිහට ආසන පටි නිර්මාණය කෙරෙන්න අවශ්‍යයි. පැරණි වාහන බොහොමයක තිබුණු ආසන පටි එකවර ඇදුනාම හිර වෙන වර්ගයේ ඒවා. නමුත් ඒ වගේ දෙයකින් ඇත්තටම එකවර ඇති වන බලය ශරීරයට දරා ගන්න අමාරුයි. අලුත් වර්ගයේ ආසන පටි නිර්මාණය කරලා තියෙන්නේ මේ බලය ක්‍රමානුකූලව ලබා දෙන්න. ඒ නිසා “ඉස්සර වාහන වලත් සීට් බෙල්ට් තිබුණා” කිව්වට ක්‍රියාකාරීත්වය අතින් ඒ කාලේ සීට් බෙල්ට් බොහොම ප්‍රාථමික මට්ටමක තිබුණේ.

එකවර හිර වෙනවා වෙනුවට ක්‍රමානුකූලව පටිය නිදහස් කිරීම. රූපය : toyota.lk

එකවර හිර වෙනවා වෙනුවට ක්‍රමානුකූලව පටිය නිදහස් කිරීම. රූපය : toyota.lk

ඒ වගේම මේ පටි ඇඟ හරහා ගමන් කරන තැන් ගැනත් සැලකිලිමත් වීම අවශ්‍යයි. වැරදි විදිහට පළඳින ආසන පටියකින් අනතුරකදී ශරීරය වැරදි විදිහට ඇඹරිලා අමතර හානියක් සිදු වෙන්න පුළුවන්. මිනිසෙකුගේ ඇඟේ ස්කන්ධ ප්‍රමාණය අනුව සමමිතික රේඛා දෙකක් දිගේ තමයි සීට් බෙල්ට් එකේ පටි දෙක තියෙන්නේ. ඇඹරීමක් නැතිව මුළු ශරීරයම ඉදිරියට විසි වෙන එක නවතින්නේ ඒ නිසා.

මීට අමතරව අනතුරකදී මගීන් විසි වෙන්නත් කලින්ම සීට් බෙල්ට් තද වන අලුත් තාක්ෂණයකුත් තියෙනවා. මේකට කියන්නේ Pre-tensioners, නැති නම් පූර්ව ආතති උපාංග කියලා. මේ ක්‍රමයට සාමාන්‍යයෙන් ලිහිල්ව තියෙන ආසන පටිය වායු බැලූන වගේම පුපුරණ ද්‍රව්‍ය පාවිච්චි කරලා පිටුපසට ඇද ගන්නවා. ඒ නිසා අනතුර වෙන්නත් කලින් මගීන් සේරම ආසන වලට තද වෙනවා. අනතුරකදී ඉදිරියට විසි වෙන කුඩා කාලය සුළුවෙන් හරි අඩු කර ගන්න එක හරිම වැදගත්.

පූර්ව ආතති උපාංගය ක්‍රියාත්මක වන අයුරු. රූපය : imgur.com

පූර්ව ආතති උපාංගය ක්‍රියාත්මක වන අයුරු. රූපය : imgur.com

ඉදිරිපස වීදුරුව

ආරක්ෂිත වීදුරු නැතිනම් Safety Glasses කියන්නෙත් සීට් බෙල්ට් වගේ ටිකක් පරණ තාක්ෂණයක්. හැබැයි අලුතෙන් එකතු වුණු තාක්ෂණික මෙවලම් නිසා ඉදිරිපස වීදුරුවත් මගීන් වගේම පදිකයනුත් ආරක්ෂා කරගන්න සමත් උපාංගයක් බවට පත් වෙලා.

ඉස්සර කාලේ බොහෝ වෙලාවට වාහන අනතුරු වලින් වැඩිපුරම තුවාල සිදු වුණේ වීදුරු වලට කැපීම නිසා. පසු කාලීනව සාමාන්‍ය වීදුරු වෙනුවට වැදුණු ගමන් කුඩු වෙන වීදුරු වර්ගයක් නිර්මාණය වුණා. (මේක හදලා තියෙන්නේ රසායනික ක්‍රම වලින් ආතතියට ලක් කරපු වීදුරු වලින් නිසා මුල්ලක් කැඩුනත් සම්පුර්ණයෙන්ම කුඩු වෙනවා) විශාල වීදුරු කෑලි වගේ තියුණු මුහුණත් නැති නිසා කුඩා කෑලි වලින් දරුණු කැපීම් සිදු වෙන්නේ නැහැ. මේ විදිහට කුඩු වුණු කොටස් හැම තැනම වැටෙන එකත් ප්‍රශ්නයක් වුණු නිසා වීදුරු තහඩු දෙකක් මැද්දට ඇදෙන සුළු පටලයක් එකතු කරපු (ලැමිනේට් කරපු) වීදුරු පාවිච්චි වුණේ ඉන් පස්සේ. නමුත් ඒ හැර වෙනත් ප්‍රයෝජනයක් ගැන කවුරුත් හිතලා තිබුණේ නැහැ.

මේ ඇදෙනසුළු පටලය ආරක්ෂාවට යොදා ගැනුණේ මෑතකදී. දැන් වාහන වල තියෙන ඉදිරිපස වීදුරුව පීඩනයක් යෙදුණාම කැඩිලා ගියත් ඒක පසාරු වෙලා යනවා අඩුයි. මේ නිසා අනතුරකදී මගියෙක් වීදුරුව කඩාගෙන එළියට විසිවෙලා යන්නේ කලාතුරකින්. වීදුරුව පහසුවෙන්ම කැඩෙන නිසා වීදුරුවේ වැදීමෙන් තැලීම් සිදු වෙන අවස්ථා වුණත් හරිම විරලයි. හතර පැත්තකට ඇදගෙන ඉන්න රෙද්දක් උඩට ඉදුණු පලතුරු ගෙඩියක් වැටුණත් තැලෙන්නේ නැහැ නේද? මේ විදිහට ඇදෙන සුළු පටලයක් පාවිච්චි කරලා හදලා තියෙන අලුත් වීදුරු ක්‍රියා කරන්නෙත් ඒ වගෙයි.

මේකෙම අනිත් ප්‍රයෝජනය තමයි වාහනයක පදිකයෙක් හැප්පුනත් වීදුරුවේ වැදුණාම සිදු වෙන තැලීම් ආශ්‍රිත තුවාල ප්‍රමාණය අවම වෙන එක. වීදුරුව කුඩු වෙලා පහසුවෙන්ම ඇතුළට එබෙන නිසා තැලීම් වලින් අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට හානි වෙන එක ගොඩක් අඩු වෙනවා.

වීදුරුව බිඳිලා ගියාට පසාරු වෙන්නේ කලාතුරකින් නිසා ඇතුලේ ඉන්න අය පිටතට විසි වෙන්නේවත්, පිටත දේවල් ඇතුලට එන්නේවත් නැහැ. රූපය : crashdataservices.net

වීදුරුව බිඳිලා ගියාට පසාරු වෙන්නේ කලාතුරකින් නිසා ඇතුලේ ඉන්න අය පිටතට විසි වෙන්නේවත්, පිටත දේවල් ඇතුලට එන්නේවත් නැහැ. රූපය : crashdataservices.net

ඉතින් පේනවා නේද අලුත් වාහන වල තියෙන පැරණි කාලයට අයත් දේවල් පවා බොහෝ දුරට වැඩි දියුණු වෙලා තියෙන බව? පරණ වාහන හයියයි කිව්වාට ඇත්තටම වඩාත් ආරක්ෂිත වෙන්නේ අලුත් වාහන. මේ නිසා ඔබ පරණ, පාවිච්චි කරපු වාහනයක් මිලට ගන්නවා නම් හරි, මේ විදිහේ නිසි ආරක්ෂක ක්‍රමවේදයන් ඇතුලත් නොකර හදන වාහන මිලට ගන්නවා නම් හරි ටිකක් සැලකිලිමත් වෙන එක වඩාත් හොඳයි. හොඳ වාහනයක ගියත්, හොඳ වාහනයක හැප්පුනත් බේරෙන්න තියෙන අවස්ථාව වැඩියි.

මේ අපි කිව්වේ අනතුරක් සිදු වෙන වෙලාවට හානිය අවම කර ගන්න තියෙන ක්‍රම ගැනනේ. නමුත් ලෙඩේ හැදෙන්න කලින් පරිස්සම් වෙන එක හොඳයි කියනවා වගේ අනතුරක් වෙන්න නොදී වළක්වා ගන්න ක්‍රම රාශියකුත් අලුත් වාහන වල පාවිච්චි කෙරෙනවා. බොහෝ දුරට පරිගණක සහ මෘදුකාංග, සංවේදක පාවිච්චි වෙන ඒ වගේ ක්‍රම ගැන අපි මේ ලිපියේ ඊළඟ කොටසින් කතා කරමු.

මේ ගැන ඔබට තියෙන ඕනෑම අදහසක් අපේ ෆේස්බුක් පොස්ට් එකේ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ  ලිපිය ප්‍රයෝජනවත් කියලා හිතෙනවා නම් යාළුවන් අතර share කරන්නත් ඔබට පුළුවන්. Roar ෆේස්බුක් පිටුවත් එක්ක දිගටම එකතු වෙලා හිටියොත් මීළඟ ලිපියත් පළ කරපු සැණින් දැන ගන්න පුළුවන් වේවි.

මුලාශ්‍රය: wikipedia.com

කවරයේ පින්තුරය: peacepuyallup.org

Related Articles