මෙම ලිපිය ආරාධිත රචකයෙකු විසින් ලියැවුණකි.ඔබටත් අප හා ලිපි ලිවීමට අවශ්‍ය නම්, අපගේ ආරාධිත රචක කරළියට පිවිසෙන්න.

1970 දශකයේ දී පමණ යුරෝපයේ සහ ඇමරිකානු කලාපයේ නාගරික ප්‍රදේශයන් ආශ්‍රිත නිවාස සංකීර්ණවල, කර්මාන්ත ශාලාවල, හා කාර්යයාලවල වෙසෙන පිරිස් එකිනෙකාට වෙනස් වූ නොයෙකුත් කායික සහ මානසික අපහසුතාවලට නිරන්තරයෙන් ලක්වූ අතර සෞඛ්‍ය බලධාරීන් වෙත ඒ පිළිබඳ ලැබෙන පැමිණිලි ප්‍රමාණය ද වැඩි විය. එකල මාධ්‍යන් මෙම තත්ත්වය හැඳින්වූයේ 'කාර්යයාලීය රෝගී තත්ත්වයක්' ලෙස ය.  

ගොඩනැගිලි තුළ සිටින පුද්ගලයන් රෝගී කරවන මෙම තත්ත්වය ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් 1984 වසරේ දී 'සික් බිල්ඩිං සින්ඩ්‍රෝමය' (Sick Building Syndrome) ලෙස නම් කරන ලදී. 1990 දී ස්වීඩනයේ පර්යේෂකයන් පිරිසක් විසින් මෙම 'සික් බිල්ඩිං සින්ඩ්‍රෝමය' පිළිබඳව දීර්ඝ අධ්‍යයනයක් සිදුකරමින් ප්‍රධාන වශයෙන් මෙම තත්ත්වය සඳහා ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා යොදාගන්නා අමුද්‍රව්‍යයන් සහ ගොඩනැගිල්ල තුළ වාතයේ ගුණාත්මක තත්ත්වය සහ අභ්‍යන්තර ආලෝක තත්ත්වයන් බලපාන බව හඳුනාගැනීමට සමත්විය.

මොකක්ද මේ 'සික් බිල්ඩිං සින්ඩ්‍රෝමය'?

'සික් බිල්ඩිං සින්ඩ්‍රෝමය' යනු යම් ගොඩනැගිල්ලක සිටින පුද්ගලයන්ට නිශ්චිතව කිව නොහැකි, විටක කායික වශයෙන් සහ විටෙක මානසික වශයෙන් විවිධාකාරයේ අපහසුතාවන් සහ ආබාධයන් ඇති කරන තත්ත්වයකි. මෙහිදී ඇතිවන කායික හා මානසික අපහසුතා නිශ්චිතව කිව නොහැක්කේ පුද්ගලයාගෙන් පුද්ගලයාට, ප්‍රදේශයෙන් ප්‍රදේශයට මෙය වෙනස් වන නිසාවෙනි.  

නිශ්චිත නොවූ, සහ තාවකාලික වූ රෝගී ලක්ෂණ 

මෙහිදී කායික හා මානසික වශයෙන් ඇතිවන ආබාධ සහ අපහසුතා නිශ්චිතවම දැක්විය නොහැකි ය. කායිකව හඳුනාගෙන ඇති පොදු තත්ත්වයන් ලෙස ගොඩනැගිල්ලේ සිටින කාලය තුළ හිසරදය, ඇඟපත වේදනාව, සෙම්ප්‍රතිශ්‍යාව, පීනසය, පපුවේ අපහසුතා, නිදිමත, ඇස් කෙවීම සහ රිදීම, උගුරේ අපහසුතා, නිතර ඇතිවන උගුර කට වියළීම හා විවිධ ආසාත්මිකතා ආදී කිහිපයක් දැක්විය හැකි අතර, මානසික වශයෙන් නිතර පවතින මානසික ආතතිය, නොරිස්සීම, ක්ෂණික කෝපය, වැඩකිරීම එපාවීම ආදී තත්ත්වයන් දැක්විය හැකිය. මෙම තත්ත්වයන් පවතින්නේ ගොඩනැගිල්ල තුළ සිටින කාලය තුළ දී පමණක් වන අතර ගොඩනැගිල්ලෙන පිටතට පැමිණි පසු එම තත්ත්වයන් පහවී යයි.  

'සික් බිල්ඩිං සින්ඩ්‍රෝමය' යනු යම් ගොඩනැගිල්ලක සිටින පුද්ගලයන්ට නිශ්චිතව කිව නොහැකි, විටක කායික වශයෙන් සහ විටෙක මානසික වශයෙන් විවිධාකාරයේ අපහසුතාවන් සහ ආබාධයන් ඇති කරන තත්ත්වයකි./blogs.20minutes.es

'බෙහෙතක් නෑ' - WHO කියයි 

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2006 වන විට සිදුකළ පර්යේෂණයන්ට අනුව 'සික් බිල්ඩිං සින්ඩ්‍රෝමය' නිසා ඇතිවන ආසාත්මිකතා වැනි ලක්ෂණයන්වල දී ඊට අදාළ ප්‍රතිකාර කිරීම මිසක, මේ සඳහා නිශ්චිත ඖෂධයක් නොමැති ය. එසේම, මෙම තත්ත්වය වළක්වාගත හැක්කේ වාසය කරන ගොඩනැගිල්ලේ ගුණාත්මකභාවය ඇති කිරීමෙන් බව ඔවුන් විසින් පෙන්වාදෙන ලදී. ඒ අනුව මෙය කායික හෝ මානසික රෝගී තත්ත්වයක් නොව 'රෝගී ගොඩනැගිල්ලක්' තුළ වාසය කිරීම නිසා ඇතිවන තත්ත්වයක් බව ද අවධාරණය කෙරිණි. ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කරන ලද නවතම වාර්තාවකට අනුව දියුණුයැ යි සම්මත එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවලත් ඉදිකර ඇති ගොඩනැගිලිවලින් 35%ත් 40%ත් අතර ප්‍රමාණයක මෙම තත්ත්වය දැකගත හැකි බව හඳුනාගෙන ඇත.  

'සික් බිල්ඩිං සින්ඩ්‍රෝමය' සමග නිරන්තරයෙන් කායික හා මානසික වශයෙන් අපහසුතාවන්ට ලක්වීම නිසා විශේෂයෙන් ආයතනවල සහ කර්මාන්ත ශාලාවල සේවකයන්ගේ කාර්යයක්ෂමතාව අඩුවීමට, නිරන්තරයෙන් රෝගී වීමට, රැකියාව නීරස වීමට හා, සේවයට වාර්තා කිරීම අඩුවීමට සෘජුවම හේතුවන බව සොයාගෙන තිබේ.  

ශ්‍රී ලංකාවට මෙම තත්ත්වය බලපවත්වන ආකාරය පිළිබඳව මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රංගික උමේෂ් හල්වතුර සමග පැවති සාකච්ඡාවක දී ඔහු දැක්වූ අදහස් මෙසේ යි:

 

මහාචාර්ය රංගික උමේෂ් හල්වතුර/ ඡායාරූපය රචකයාගෙනි

සරලව පැහැදිලි කළොත් සික් බිල්ඩිං සින්ඩ්‍රෝමය කියන්නේ රෝගී වූ ගොඩනැගිල්ලක් තුළ ජීවත්වීම නිසා ඇතිවන තත්ත්වයක්. යම් ගොඩනැගිල්ලක ජීවත් වීම නිසා එහි වාසය කරන පුද්ගලයන් රෝගී වීමක් සිදුවෙනවා නම් අපි එම ගොඩනැගිල්ල හඳුන්වනවා රෝගී ගොඩනැගිල්ලක් විදිහට. මේ රෝගී ගොඩනැගිල්ල නිවසක්, පාසලක්, කාර්යයාලයක්, කර්මාන්ත ශාලාවක්, හෝටලයක්, හෝ නේවාසිකාගාරයක් වැනි ඕනෑම ඉදිකිරීමක් විය හැකියි.  

සැබෑ ලෙසටම වර්තමානයේ දී ගොඩනැගිලි නිසා මිනිස්සු රෝගී වීමේ තත්ත්වය බහුල වෙලා තිබෙනවා. මේ වන විට නාගරීකරණය සීඝ්‍ර ලෙසින් සිදුවන ශ්‍රී ලංකාව තුළත් බටහිර රටවලටත් වඩා වැඩි වශයෙන් මෙම තත්ත්වය පවතිනවා. අද වෙනකොටත් මේ තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකාව තුළ ප්‍රමාණවත් ලෙස පර්යේෂණ සහ අධ්‍යයනයන් සිදුවෙලා නැහැ. ඒ නිසා අප තවමත් මීට නිසි අවධානයක් යොමු නොකිරීම ගැටලුවක්. 

ගොඩනැගිල්ලක් ලෙඩ වෙන හැටි 

ශ්‍රී ලංකාව වැනි රටක ගොඩනැගිලි, රෝගී ගොඩනැගිලි බවට පත්වීමට හේතු සාධක ගණනාවක් පවතිනවා. ප්‍රධාන වශයෙන්ම මේ සඳහා ප්‍රධාන සාධක 4ක් හඳුනාගන්න පුළුවන්.  

  1. ගොඩනැගිල්ලක ඇතුළත වාතාශ්‍රයේ පවතින ගුණාත්මක බව. 
  1. ගොඩනැගිල්ල ඇතුලතින් නිකුත්වන සහ ඒ අවට පවතින අධික ශබ්දය හා ඝෝෂාකාරීබව. 
  1. ගොඩනැගිල්ල තුළ ආලෝකයේ ගුණාත්මක බව. 
  1. බාහිර පරිසරයේ දූෂණ තත්ත්වයන්. 

මහල් නිවාස සංකීර්ණවල සහ තට්ටු ගණනාවක ගොඩනැගිලිවල වාසය කරන අයට සික් බිල්ඩිං සින්ඩ්‍රෝම අවධානම සුලභව පවතිනවා. ඒ වගේම සික් බිල්ඩිං සින්ඩ්‍රෝමය පිළිබඳ වැඩිම අවධානම පවතින්නේ වායුසමීකරණය කල ගොඩනැගිලිවල සහ වායුසමීකරණය කල කාමරවල වෙසෙන පිරිස් හටයි. මේ අවස්ථා දෙකේදීම අභ්‍යන්තර වාතාශ්‍රයට යම් දූෂ්‍යකාරකයක් මිශ්‍ර වුණොත් පහසුවෙන් එය පිටවෙන්නේ නැහැ. විශේෂයෙන්ම වායුසමීකරණය කල ගොඩනැගිලි සහ කාමර සෑම විටකම වසාදමා තිබෙන නිසා අහිතකර සහ දූෂණය වූ වායූන් ඒ ඇතුළතම රැඳීතිබෙනවා. ඒ වගේම මෙම වායුසමීකරණය කළ ගොඩනැගිලිවල කාබන්ඩයොක්සයිඩ් සහ කාබන්මොනොක්සයිඩ් ඇතුළු අහිතකර වායූන් ගණනාවක් පවතිනවා.  

ගොඩනැගිල්ලක ආලේපකර තිබෙන තීන්ත වර්ග, කාපට් ඇලවීම සඳහා යොදාගෙන තිබෙන ගම්වර්ගවල සැර සුගන්ධය, ගොඩනැගිලි ඇතුළත සුවඳවත් කිරීම සඳහා යොදාගෙන තිබෙන සුවඳ ද්‍රව්‍යන් ආදියෙන් නිකුත් වන රසායනිකයන් වාතය සමග මිශ්‍රවීම නිසා ඇතුළත වාතය හිතකර නොවන තත්ත්වයන්ට පත්වෙනවා. වායු සමීකරණය කළ කාමරවල එම තත්ත්වය සුලභව පවතිනවා. වායුසමීකරණය නොකළ ගොඩනැගිලිවලත් මේ අවධානම පැහැහැදිලිවම පවතිනවා. ඒ වගේම ගොඩනැගිලිවල කාලයක් ගතවන විට ඇතිවන පුස් වර්ග සහ දිලීර වර්ගත්, කාර්යයාල ඇතුළත භාවිතා වන ෆැක්ස් යන්ත්‍ර සහ මුද්‍රණ යන්ත්‍රවලින් නිකුත්වන ඇසට නොපෙනෙන දුම් හා රසායනික වර්ගත් සික් බිල්ඩිං සින්ඩ්‍රෝම තත්ත්වය ඇති වීමට බලපානවා. 

මීළඟට ශබ්ද දූෂණය සික් බිල්ඩිං සින්ඩ්‍රෝමය ඇතිවීමට බලපාන ආකාරය විමසා බැලුවොත් අපි බොහෝවිට දකිනවා සමහර ආයතනවල, කර්මාන්ත ශාලාවල එහෙමත් නැත්නම් ඒ පරිශ්‍රයන් අවට යන්ත්‍ර සූත්‍ර නිසා, සංගීතය නිසා හෝ නිරන්තරයෙන් නිකුත්වන ඒකාකාරී ශබ්ද නිසා අනවශ්‍ය ඝෝෂාවක් ඇතිවනවා. එය පැහැදිලිවම ශබ්ද දූෂණයක්. ඒ ශබ්ද දූෂණය අතර සික් බිල්ඩිං සින්ඩ්‍රෝමය ඇති වීමට පැහැදිලි හේතු කාරකයක් වනවා.

සික් බිල්ඩිං සින්ඩ්‍රෝමය ඇති වෙන්න බලපාන තවත් සාධකයක් තමයි තමන් ජීවත්වන ගොඩනැගිල්ලේ පවතින ආලෝක තත්ත්වය. අපේ ඇස් හුරුවෙලා තිබෙන්නේ සුදු ආලෝකයත් එක්ක ස්වභාවික ආලෝක තත්ත්වයන්ට. නමුත් අපි දන්නවා බොහෝමයක් ආයතනවල සහ ගොඩනැගිලිවල වැඩකරන කාලය පුරාවටම පවතින්නේ විදුලි බුබුළුවලින් නිකුත් වන ආලෝකයයි. ඒ වගේම ඇතැම් විට විවිධ වර්ණවල අලෝකයන් නිකුත් කෙරෙන ස්ථාන තිබෙනවා. මේ නිසා ඇසට සුදුසු සහ ගැලපෙන ආලෝක තත්ත්වයන් නොලැබීම නිසා ඇස් අනවශ්‍ය ලෙස වෙහෙසීමට ලක්වීම, ඇස්වල අපහසුතා හා ඇස්වල ආබාධ ඇතිවීමට ඉඩකඩ පවතිනවා. 

පළමු වෙනස ජීවන රටාවේ සහ ආකල්ප තුළ ඇතිකරගන්න  

සික් බිල්ඩිං සින්ඩ්‍රෝමය වළක්වා ගැනීමට නම් ගොඩනැගිලි සහ අනෙකුත් ඉදිකිරීම්වල වෙනස්කම් ඇති කිරීමට පෙර අපේ ජීවන රටාව අනිවාර්යයෙන්ම වෙනසකට ලක්කළ යුතු වෙනවා. මොකද, ගොඩනැගිල්ල කොතරම් ගුණාත්මක භාවයකින් ඉදිකළත් වැඩක් නැහැ එහි වාසය කරන පිරිසගේ ජීවන රටාව මෙතන දී වෙනස් නොවනවා නම්. පැහැදිලිවම අපි මීටත් වඩා අපේ ස්වභාවික පරිසරයත් සමග ගැටිය යුතු වෙනවා. මෙම තත්ත්වය පිළිබඳව අප මෙතෙක් සාකච්ඡා කරපු සෑම කාරණාවකින්ම පැහැදිලි වෙන්නේ, ස්වභාවික පරිසරයෙන් මිදීමේ පලවිපාක ලෙස යි මෙම තත්ත්වයන් ඇති වෙන්නේ. එළියට ගිහින් ස්වභාවික පරිසරයේ වාතය ටිකක් ආශ්වාස කරන්න බැරිනම්, ව්‍යායාම කරන්නෙත් වායුසමීකරණය කරපු ගොඩනැගිල්ලක නම්, පරිසරයේ සුන්දරත්වය විඳින්න බැරිනම් කවදාවත් සික් බිල්ඩිං සින්ඩ්‍රෝමයෙන් මිදෙන්න හැකියාවක් කොහෙත්ම බැහැ. 

නව ඉදිකිරීමක දී සික් බිල්ඩිං සින්ඩ්‍රෝමය වළක්වා ගැනීම පහසු යි  

ප්‍රධාන වශයෙන් ඉදිකිරීම සිදුකරන්න පෙර විශේෂඥ උදෙස් ලබාගෙන ඒ අනුව සැලසුම්කිරීම් සහ ඉදිකිරීම් සිදුකිරීම වැදගත්/ Construction Supply Magazine

නව ඉදිකිරීමක් සිදුකරද්දි සික් බිල්ඩිං සින්ඩ්‍රෝමය වළක්වා ගන්න ගතහැකි ක්‍රියාමාර්ගයන් රාශියක් තිබෙනවා. ප්‍රධාන වශයෙන් ඉදිකිරීම සිදුකරන්න පෙර විශේෂඥ උදෙස් ලබාගෙන ඒ අනුව සැලසුම්කිරීම් සහ ඉදිකිරීම් සිදුකිරීම වැදගත් වෙනවා. බොහෝ දෙනෙක් වර්තමානයේ ඉදිකිරීම්වල දී විශේෂඥ උපදෙස් ලබාගැනීමක් කරන්නේ නැහැ. නමුත් ඔබ සිතා බැලිය යුතු යි මිල මුදල් විශාල ලෙස වියදම් කරලා හදන ගොඩනැගිල්ල රෝගී ගොඩනැගිල්ලක් කරනවා ද කියලා. 

පවතින ගොඩනැගිල්ලක සික් බිල්ඩිං සින්ඩ්‍රෝමය වළක්වා ගැනීම 

පවතින ගොඩනැගිල්ලක් තුළත් සික් බිල්ඩිං සින්ඩ්‍රෝමය වළක්වාගන්න යම් යම් ක්‍රමවේදයන් පවතිනවා. ප්‍රථමයෙන්ම සැළකිලිමත් විය යුතු යි අදාල ගොඩනැගිල්ල තුළ අභයන්තර වායු සංසරණය නිසි ලෙසින් සිදුවෙනවා ද කියලා. දූෂිත වාතාශ්‍රය පිටවෙන්න සහ පිරිසිදු වාතාශ්‍රය ඇතුල් වෙන්න නිසා ක්‍රමවේදයක් පැවතිය යුතු යි. සික් බිල්ඩිං සින්ඩ්‍රෝමයේ අවදානම දැඩිවම පවතින්නේ වායුසමීකරණය කළ ගොඩනැගිලි තුළ යි. එහිදී භාවිතා කරන වායුසමීකරණ යන්ත්‍රවල Filters (පෙරහන) පිළිබඳ විශේෂ අවධානයක් යොමුකළ යුතු යි.  

අපි සාමාන්‍යයෙන් වායුසමීකරණයක තත්ත්වය බලන්නේ එයින් ප්‍රමාණවත් ලෙස සිසිලසක් දැනෙනවා ද කියලා බැලීමෙන් පමණ යි. නමුත් අප නොදැනුවත්වම එම පෙරහන පද්ධතිවල දූවිලි අංශු, බැක්ටීරියා ආදිය තැන්පත් වීම සිදුවෙනවා. ඒ වගේම වායුසමීකරණය කළ ගොඩනැගිල්ලක අලුත් වාතාශ්‍රය අභ්‍යන්තරයට මිශ්‍රවීම සඳහා ජනෙල්, දොරවල් සහ කවුළු සියල්ලම සම්පූර්ණයෙන්ම සීල් නොකර අඩුම තරමින් 10%ක ප්‍රමාණයක හෝ ඉඩක් තියන්න. සාමාන්‍යයෙන් වැඩ නොකරන දිනයක දී වායුසමීකරණ කළ කාර්යයාලවල වායුසමීකරණ එවැනි දිනවල ක්‍රියා නොකිරීම සහ වාතාශ්‍රය පිටතට නොයන ආකාරයට සීල්තබා ඇති නිසා කාර්යයාලය තුළ උෂ්ණත්වය අධික ලෙස වැඩි වෙනවා. ඒ සමගම බැක්ටීරියා සහ විෂ වර්ගවල ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. ඒ නිසා සතියකට වරක් හෝ වායුසමීකරණය කළ කාමරයක හෝ කාර්යයාලයක කවුළු විවෘත කළ හැකි නම් ඒවා විවෘත කර තබා පිරිසිදු වාතාශ්‍රය මිශ්‍රවීමට ඉඩ සැලසීම වැදගත්.

එසේම හැකිතාක් අහිතකර රසායනික අඩංගු නොවන ඉදිකිරීම් අමුද්‍රව්‍ය, තීන්ත වර්ග සහ මැලියම් භාවිතා කළ යුතු යි. කාර්යයාලයක මුද්‍රණ යන්ත්‍ර සහ ෆැක්ස් යන්ත්‍ර හොඳින් වාතාශ්‍රය සංසරණය වන වෙනම ස්ථානයක ස්ථානගත කළ යුතු යි. ගොඩනැගිල්ලක පුස් වර්ග, දිලීර සහ පාසි බැඳෙන ස්ථානවලට නිසි පිළියම් යෙදීමත් ඉතා වැදගත්. ගොඩනැගිලක් ඇතුලත තැබිය හැකි බොහෝ ශාක විශේෂයන් තිබෙනවා ඇතුලත කාබන්ඩයොක්සයිඩ්, කාබන්මොනොක්සයිඩ්, සහ සල්ෆර්ඩයොක්සයිඩ් ආදී දූෂිත වාතාශ්‍රය පිරිසිදු කිරීමේ හැකියාව තිබෙන. බොහොමයක් බටහිර රටවල සහ ශ්‍රී ලංකාවේ ඉතාමත් සුළු වශයෙන් එම ක්‍රමවේදය ක්‍රියාත්මක වෙනවා. එයත් විශේෂඥ උපදෙස් මත සිදුවිය යුත්තක්. 

තවත් වැදගත් කාරණයක් තමයි නිසි මට්ටමේ ආලෝක තත්ත්වයක් ගොඩනැගිල්ල තුළ පවත්වාගෙන යාම. පමණට වඩා දීප්තියක් ලබාදෙන විදුලි බුබුළු භාවිතයෙන් සහ ප්‍රමාණවත් නොවන දීප්තියක් සහිත විදුලි බුබුළු භාවිතය නිසා අක්ෂි ආබාධ, හිසරද තත්ත්වයන්, ආතති තත්ත්වයන් මතුවෙනවා. මුළු දවසම කෘත්‍රිම ආලෝක තත්ත්වයක වැඩකටයුතු කිරීම අතිශයින්ම අවදානම් තත්ත්වයක් ඇතිකරනවා. ඒ වගේම ගොඩනැගිල්ලක් වර්ණ ගැන්වීමේ දී විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු වෙනවා භාවිතා කරන වර්ණ සම්බන්ධයෙන්. ආලෝක තත්ත්ව සහ වර්ණ ගැන්වීම් සඳහා විශේෂඥ උපදෙස් ලබාගත යුතු වෙනවා. ඒ වගේම වැඩකරන අතරතුර බාහිර වටපිටාව හෝ ස්වභාවික පරිසරය දෙස බැලිය හැකි ක්‍රමවේදයක් ආයතනයක සැකසීම වැදගත් වෙනවා. එය අක්ෂි ආබාධ සඳහා වගේම මානසික පැවැත්මට ඉතාමත් අත්‍යාවශ්‍ය යි.  

ඒ වගේම කාර්යයාලීය පරිසරයක හෝ නිවසක ඒකාකාරී බව වෙනස් කිරීම සික් බිල්ඩිං සින්ඩ්‍රෝමය වළක්වා ගැනීමට ඉතාවැදගත්. කාර්යයාලය තුළ හෝ නිවස තුළ හෝ වැඩකරන මේසය තුළ නිතරම තිබෙන්නේ අපිළිවෙල ස්වභාවයක් නම් හෝ තදබදය ස්වභාවයක් නම්, ලිපිගොනු සහ උපකරණ ආදිය පිළිවෙලකින් තොරව ගොඩගසා තිබෙනවා නම්, පරිගණක භාවිතයේ දී හා අසුන් ගැනීමේ දී නිසි ඉරියව් පවත්වාගෙන නොයන්නේ නම්, නිවාඩු රහිතව දැඩි පීඩනයක් යටතේ සේවකයන් වැඩකරනවා නම් හෝ වැඩකරන කාලය තුළ නිසි විවේකයක් නොලබනවා නම්, සික් බිල්ඩිං සින්ඩ්‍රෝමය සමග බැඳුනු 'කාර්යයාලීය සින්ඩ්‍රෝමය' (Office Syndrome) නැමැති තත්ත්වය ඇතිවීමට ඉඩකඩ පවතිනවා.  

ඉස්සර අපේ නිවාසවල සතියකට වරක් අප භාවිතා කරන කොට්ට, මෙට්ට, ඇඳ ඇතිරිලි, කුෂන් පුටු සහ සෝෆා ආදිය අව්වට දමනවා වේලීම සඳහා. ඒ තුළින් ඒවායේ තිබුණු දූවිලි, බැක්ටීරියා ආදී රෝග කාරක ඉවත් කිරීමක් සිදුවුණා. නමුත් අද නිවසක එය සිදුවෙන්නේ නැහැ. ඒ නිසා පිරිසිදුකම ඉතාමත්ම වැදගත්. කාර්යයාලයක හෝ ආයතනයක භාවිතා කරන ආසන, සෝෆා ආදිය, කාපට් ආදිය නිරන්තරයෙන් පිරිසිදු කළ යුතු යි, ඒවායේ දූවිලි අංශු සහ බැක්ටීරියා ක්‍රියාකාරීවය ඉහළ නිසා.  

සික් බිල්ඩිං සින්ඩ්‍රෝමය ඇතිවීමට බලපාන ශ්‍රී ලංකාව තුළ දකින්නට ලැබෙන ප්‍රධානතම දුර්වලතාවක් තමයි නිසි පරිදි ගොඩනැගිලි නඩත්තු නොකිරීම. කොටසක් කැඩී යන තෙක් බලා නොසිට ගොඩනැගිල්ලක නඩත්තුව සම්බන්ධයෙන් පූර්ණ සහ අඛණ්ඩ නඩත්තුවක් තිබීම ඉතාමත් වැදගත් වෙනවා. 

පැරණි ශ්‍රී ලාංකිකයන් 'සික් බිල්ඩිං සින්ඩ්‍රෝමය' වළක්වාගත් හැටි 

අතීතයේ සිටම ශ්‍රී ලංකාවේ භාවිතා වුණු වාස්තු විද්‍යාව තුළින් මේ 'සික් බිල්ඩිං සින්ඩ්‍රෝමය' කියන වචනය නොදැන සිටියත් මෙම තත්ත්වය වළක්වාගන්න අපේ පැරැන්නන් සමත්ව සිටියා. අතීතයේ ශ්‍රී ලංකාවේ ගොඩනැගුණු නිවාස සහ ඉදිකිරීම් ස්වභාවික ආලෝකය සහ වාතය හොඳින් ලැබෙන ආකාරයටයි නිර්මාණය කෙරුණේ. ඒ හරහා එම ගොඩනැගිල්ල තුළ වායු සංසරණය හොඳින් සිදුවුණා. ඉස්සර අපේ නිවෙස්වල අනිවාර්ය අංගයක් වුනු 'මැද මිදුල' තුළින් සිදු වුනේ එම කාර්යය යි. 

මැද මිදුල/ Pinterest

වාස්තුවල දී ජනෙල් තුනක් එක පේළියට තියන්න එපා, දොරවල් තුනක් එක පේලියට තියන්න එපා, නැගෙනහිර දිශාවට හෝ බස්නාහිර දිශාවට ජනේල යොදන්න එපා ආදී වශයෙන් තහංචි තිබුණේ මේ තත්ත්වයට පිළියම් විදිහට යි. උදාහරණයක් විදිහට බස්නාහිර දිශාවට හෝ නැගෙනහිර දිශාවට සිටිනසේ නිවසක ජනේල යෙදුවාම විශාල අව්රශ්මියක් නිවස තුළට පැමිණෙන නිසා නිවැසියන් නිතරම කරන්නේ එම ජනේල වසා තැබීම යි. එවිට නිවසට නිසි ආලෝකයක් ලැබෙන්නේ නැහැ, නිවස අභ්‍යන්තරයේ වායු සංසරණය නිසි ලෙස සිදුවෙන්නේ නැහැ. ඒ තුළින් නිවසේ තෙතමනය වැඩිවෙනවා සහ දූෂිත වාතාශ්‍රය වැඩිවීම නිසා ලෙඩරෝග බහුල වෙනවා. මේ ආකාරයෙන් අපේ පැරණි වාස්තු විද්‍යාව අපි නොදැනුවත්වම අපව සික් බිල්ඩිං සින්ඩ්‍රෝමයෙන් අපව ආරක්ෂා කරලා තියෙනවා.

Cover image: tenangles.com

Sources:

Sick Building Syndrome https://www.wondermakers.com/Portals/0/docs/Sick%20building%20syndrome%20by%20WHO.pdf.

World Health Organization. n.d "Sick Building Syndrome" (PDF).

World Health Organization. n.d https://www.nsc.org/work-safety/tools-resources