Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හීලියම් – MIT හි ලාංකික පර්යේෂකයන් මුල්වී සොයාගත් මෘදුකාංගය

දැන්නම් පරිගණක මෘදුකාංගයක් (software) කිව්වම කුඩා දරුවෙක් පවා දන්නා දෙයක්. බහුතරයකට එදිනෙදා ජීවිතයේ විවිධ අවස්ථාවන්වල භාවිත කරන්න සිදුවන අත්‍යාවශ්‍ය මෘදුකාංග රැසක් තිබෙනවා. මේ හැම දෙයකින්ම අපට කියාපාන්නේ තාක්‍ෂණයේ වේගවත් දියුණුවයි.

මේ වේගවත් තාක්‍ෂණික දියුණුවත් සමඟම වන නව නිපැයුම් ගැනද අපිට මේ දිනවල නිතර විවිධ මාධ්‍ය හරහා දැනගැනීමට ලැබෙනවා.

මේ ලිපිය ලියන්නේ, මෘදුකාංග සම්බන්ඳ එවැනි නව නිපැයුමක් වන “හීලියම්” සහ ඒ සඳහා මුල් වුනු MIT කණ්ඩායමේ සිටි ලාංකිකයන් දෙදෙනා වන සමන් අමරසිංහ සහ චරිත් මෙන්ඩිස් ගැනත් කෙටි සටහනක් තැබීමේ අරමුණිනි.

මොකක්ද මේ bit-rot

කල් ඉකුත්වූ ආහාර. (Co.Design, fastcodesign.com)

අපි එදිනෙදා ජීවිතයේ භාවිත කරන ආහාර පාන, එළවළු, පළතුරු වගේම මෘදුකාංගත් නරක් වෙනවා නැත්තම් කල් ඉකුත් වෙනවා කිව්වොත් ඔබට සමහර විට පුදුම හිතෙයි. එහෙම දෙයක් සැබැවින්ම සිදුවෙන අතර එය තාක්‍ෂණික ලෝකයේ හඳුන්වන්නේ bit-rot ලෙසයි.

වසර ගණනාවකට පෙර ලිවූ මෙම මෘදුකාංග කාලයාගේ ඇවෑමත් සමඟ යල්පැන යන අතර ඒවා නව පරිගණක සහ දෘඩාංග (hardware) මත නිසි පරිදි ක්‍රියා නොකරයි. මෙම මෘදුකාංග, පරිගණක සමඟ නම්‍ය ලෙස වැඩ කිරීමට සකසා ගත යුතු අතර, මහාචාර්ය සමන් අමරසිංහ සඳහන් කරන ආකාරයට, තාක්‍ෂණය දියුණු වන සෑමවිටම සහ පරිගණක වල වේගය වැඩිවන සෑමවිටම මේ මෘදුකාංග එම වෙනස් වීම් වලට ගැලපෙන්නාවූ පරිදි නැවත සකස් කල යුතුයි.

මෘදුකාංග කේත අලුත්වැඩියා කිරීමේදී ඇතිවන ගැටළු

සංකීරණ මෘදුකාංගයක කේතක. (Lion + Panda, lionandpanda.com)

එනිසා කල් ඉකුත්වූ ආහාර වගේ මේ මෘදුකාංග කේත (software code) ඉවත නොදමා නැවත අලුත්වැඩියා කර භාවිත කිරීමේ හැකියාව තියෙනවා. පරිගණක වැඩසටහන් සකසන ඉංජිනේරුවන් මෙම මෘදුකාංග අලුත්වැඩියා කරන්නේ දැනට පවතින මෘදුකාංගයට නව කේතක සහ ඇල්ගොරිතම ඇතුලත් කරමින් වන අතර මෙසේ කරන සෑම වාරයක් පාසාම මෘදුකාංගයේ ඵලදායිතාවය අඩුවන අතර එහි සංකීර්ණ බවද වැඩිවේ.

ඒ වගේම මෙසේ අලුත්වැඩියා සඳහා ඇතුලත් කරන කේතක සහ ඇල්ගොරිතම ඉක්මනින් වෙනස්වන තාක්‍ෂණය හේතුවෙන් නිතර අවලංගු වන අතර පරිගණක වැඩසටහන් සකසන ඉංජිනේරුවන්ට මේ ඉක්මනින් පරණ වන අමතර කේතක සහ ඇල්ගොරිතම කලින් කලට ඉවත් කිරීමට මහත් වෙහෙසක් දැරීමට සිදුවෙනවා.

හීලියම්

මේ bit-rot ප්‍රශ්නයට විසඳුමක් ලෙස MIT හි පර්යේෂකයින් පිරිසක් විසින් හීලියම් කියන මෘදුකාංගය හඳුන්වා දුන්නා. මෙමඟින් කෙරෙන්නේ පරණ වුනු මෘදුකාංගය පිරික්සා, මුල් පරිගණක වැඩසටහන සැකසූ ඉංජිනේරුවන් ලියූ ඉතා වැදගත් කේතක හඳුනාගෙන, MIT කණ්ඩායමට එය ගැලපීමට අවශ්‍ය දෘඩාංග සඳහා සුදුසු පරිදි, මෘදුකාංගයේ සංශෝධිත පිටපතක් ස්වයංක්‍රීයව ලබා දීමයි.

දශක දෙකක් පමණ පැරණි ෆොටෝෂොප් (Photoshop) මෘදුකාංගය දිනෙන් දින අළුත්වන තාක්‍ෂණය සහ නව දෘඩාංග සඳහා ගැළපෙන ලෙස කාර්යක්‍ෂම කිරීමට මං සොයමින් සිටි ඇඩෝබිහි (Adobe) ඉංජිනේරුවන් පිරිසක් MIT කණ්ඩායම සමඟ හීලියම් අත්හදා බලා ඇති අතර MIT පවසන ආකාරයට හීලියම් මඟින් සංශෝධනය කල පසු ෆොටෝෂොප්හි ක්‍රියාකාරීත්වය සියයට 75 කින් පමණ වර්ධනය වී ඇත.

හීලියම් නිසා අත්වන වාසි

පරිගණක වැඩසටහන් සකසන ඉංජිනේරුවෙක්. (Devana, devana.rs)

මහාචාර්ය අමරසිංහ පවසන ආකාරයට පරිගණක වැඩසටහන් සකසන ඉංජිනේරුවන්ගේ මාස ගණනක ශ්‍රමය වැයවන මෙම ක්‍රියාවලිය හීලියම් වලට දිනක් තුළ සම්පූර්ණ කිරීමට හැකියාව තිබෙනවා.

මේ වෙනුවෙන් වැයවූ ශ්‍රමය ඔවුන්ට දැන් නවතම තාක්‍ෂණික සොයාගැනීම් වැනි වඩාත් ඵලදායී කටයුතු සඳහා යොදාගැනීමට හැකි වෙනවා. තවද මේ පරිගණක වැඩසටහන් සකසන ඉංජිනේරුවන්ගේ සහය ලබාගත් සමාගම් වලට මේ මෘදුකාංග අලුත්වැඩියාව සඳහා වැයකළ ධනස්කන්ධයද ඉතිරි කරගැනීමට හැකි වෙනවා.

වර්තමානයේ හීලියම්හි තත්වය

ඇඩෝබි, ඔවුන්ගේ නිපැයුම මත හීලියම් භාවිත කලේ අත්හදා බැලීමක් ලෙස පමණක් බව වාර්තා වන අතර මහාචාර්ය අමරසිංහ පවසන පරිදි හීලියම් මෘදුකාංගය තවමත්  ප්‍රචලිත භාවිතය සඳහා සූදානම් නොමැති අතර ඒ සඳහා තවත්  වසර කිහිපයක් ගතවන බවයි ඔහු පවසන්නේ.

තවමත් ෆොටෝෂොප් වැනි ඡයාරූප සැකසුම් මෘදුකාංග සඳහා පමණක් ක්‍රියා කරන හීලියම් සාර්ථකව පරිනත වුවහොත් ව්‍යාපාර ඇතුළු තවත් විෂයන් රැසකට ඉතා ප්‍රයෝජනවත් විය හැකි බවයි ඔහුගේ අදහස.

ශ්‍රී ලාංකික කණ්ඩායම

Massachusetts Institute of Technology (MIT) (The Huffington Post, huffingtonpost.com/)

හීලියම් අදහස පර්යේෂණ ලිපියක් ලෙස 2015 වසරේ ඔරගන් හිදී Association for Computing Machinery SIGPLAN සම්මන්ත්‍රණයක් අතර තුර එළිදැක්වූ අතර 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු වන සමන් අමරසිංහත්, චරිත් මෙන්ඩිසුත් ඇතුලත් වුණි.

සමන් අමරසිංහ Massachusetts Institute of Technology (MIT) හි විදුලි ඉංජිනේරු සහ පරිගණක විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්යවරයෙක් ලෙස කටයුතු කරන අතර පරිගණක විද්‍යා හා කෘතිම බුද්ධි රසායනාගාරයේ සාමාජිකයෙකුද වෙනවා.

MIT හිම ආචාර්ය උපාධි අපේක්ෂකයෙකු ලෙස කටයුතු කරන චරිත් මෙන්ඩිස්, මොරටුව විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙකුද, කොළඹ රාජකීය විද්‍යාලයේ ආදී සිසුවෙකුද වන අතර, අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනේ දෙවන තැන ලබා ඇති අතර 2007 දී අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිට භෞතික විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ලබා ඇත.

කවරයේ පින්තුරය: freepik.com

මූලාශ්‍ර – csail.mit.edu, fortune.com, people.csail.mit.edu, linkedin.com

Related Articles