Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඌරන්ගේ ප්‍රෝටීන්වලින් මිනිසුන්ගේ අන්ධ බවට විසඳුමක්

විද්‍යාඥයන් සහ පර්යේෂකයන්ගේ අනවරත උත්සාහ හමුවේ විද්‍යාව සහ තාක්ෂණය දිනෙන් දින දියුණු වන බව අමුතුවෙන් මතක් කරන්නට අවශ්‍ය නැහැ. කෘෂිකර්මාන්තය, අභ්‍යාවකාශ ක්ෂේත්‍රය, ඉදිකිරීම් කර්මාන්තය, ප්‍රවාහන ක්ෂේත්‍රය, බලශක්තිය ඇතුළු සියලු අංශ විද්‍යාවේ දියුණුව නිසා මිනිසාගේ එදිනෙදා කටයුතු පහසු කර ඇති බව කිව යුතු යි. මේ අතරින් මිනිස් වර්ගයාගේ පැවැත්ම වෙනුවෙන් වඩාත් වැදගත් වන වෛද්‍ය ක්ෂේත්‍රයේ ද නිරන්තර පර්යේෂණ සිදු වනවා. මිනිස් ඇසේ අන්ධභාවයට ද අභියෝග කරන එවන් නව සොයා ගැනීමක් ගැනයි මේ ලිපිය.

මිනිසුන් අතර සුලබ අක්ෂි රෝග

ඇස සම්බන්ධ රෝගී තත්ත්ව ඕනෑම මොහොතක ඕනෑම අයකුට ඇති විය හැකි යි. ඇතැම් රෝග වයසත් සමඟ පැමිණුනත් බාහිර හේතුකාරකයක් නිසා හදිසියේ ම භයානක තත්වයේ අක්ෂි රෝග වුව ද හට ගැනීමට ඉඩකඩ පවතිනවා. මෙම සමහර රෝගී තත්ත්ව නිසා පෙනීම පවා අහිමි විය හැකි බව යි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ. අද වන විට ලොව සුලබව ම පවතින අක්ෂි රෝගයක් වන්නේ වියළි ඇස (Dry Eye) නම් රෝගී තත්වය යි. මෙය සුලබ ම අක්ෂිරෝග 5 අතරටත් එක්ව තිබීම විශේෂත්වයක්.

මිනිස්‍් ඇසක ප්‍රධාන කොටස් – www.thoughtco.com

වියළි ඇස රෝගයේ දී සිදුවන්නේ ඔබේ ඇස ප්‍රමාණවත් තරම් කඳුළු නො නිපදවීම නිසා ඇසේ වියළි බවක් හට ගැනීම යි. මෙය ඉතාම වේදනාකාරී අත්දැකීමක් වනවා. පොත්පත් කියවීම සහ පරිගණක තිර පරිශීලනය ද ඒ අනුව අසීරු වනවා. නිසි ප්‍රතිකාර නොලැබුණෙහාත් ස්වච්ඡය (cornea) ප්‍රදාහය වීම ද මේ නිසා සිදු විය හැකි යි. ස්වච්ඡය යනු අපගේ ඇසෙහි පිටතින් ම පිහිටි ස්තරය යි. එය පැහැදිලි සිවියක් ආකාරයට පවතින අතර ගෝලාකාර හැඩයක් ගන්නවා. එය ඇසට එන ආලෝකය නාභිගතකිරීමට උපකාරී වන අතර ඇසේ නාභිගත කිරීමේ බලයෙන් සියයට 75ක් දක්වා ප්‍රමාණයක් ලැබෙන්නේ මෙමගිනු යි. වියළි ඇස රෝගය හේතුවෙන් ස්වච්ඡය ප්‍රදාහයට ලක්වුවහොත් අවසානයේ දී ඇසේ පෙනීම පවා අඩු වීම ඒ අනුව සිදුවිය හැකි යි.

වියළි ඇස රෝගී තත්වය ඇතිවන්නට බලපාන හේතු කිහිපයක්ම පවතිනවා. සිවි කාච (contact lenses) පැළඳීම, පරිගණක තිර ඉදිරිපිට බොහෝ වේලාවක් ගත කිරීම, වායු සමනය කළ පරිසරවල වැඩි කාලයක් ගත කිරීම, වෙනත් රෝග සඳහා ගන්නා ඖෂධ වල අතුරු පල ලෙස හෝ ජානමය තත්ව වැනි හේතු ඒ අතරින් ප්‍රධාන යි. ස්වච්ඡය ආශ්‍රිත රෝගී තත්ව සමහරක් ඇසට එක්වන විෂබීජ නිසා ද, තවත් සමහරක් රෝගී තත්ත්ව වැරදි චර්යා රටා නිසාද  ඇතිවිය හැකි යි. නමුත් ඇතැම් ඒවා සඳහා ජානමය බලපෑම් ද පවතින බව අද වන විට සොයා ගෙන තිබෙනවා.

වියළි ඇස රෝගයෙන් පීඩා විඳින ඇසක් – www.ophthalmologytimes.com

පෙනීම නැතිවන කෙරටෝකෝනස් රෝගය

ස්වච්ඡය ආශ්‍රිත තවත් රෝගී තත්වයක් වන්නේ කෙරටෝකෝනස් (Keratoconus) රෝගය යි. මෙය සෑම මිනිසුන් ලක්ෂයකට (100,000කට) දල වශයෙන් රෝගීන් 50-200 ක් අතර සංඛ්‍යාවක් ලෙස වාර්තා වනවා. සාමාන්‍යයෙන් තරුණ වයස්වල සිට අවුරුදු 35ක් පමණ වන ප්‍රජාව අතර යි මෙය සුලබ ව වාර්තා වන්නේ. මෙම රෝගය අක්ෂි යුගළයට ම වැලඳෙන අතර එක් ඇසක් අනෙකට වඩා ප්‍රදාහයට පත්වෙනු දැකිය හැකි යි. 

ආලෝක ප්‍රභව වටා රැස් වළල්ලක් දිස් වීම, රාත්‍රීයේදී පෙනීමේ අපහසුතාව, ඇස් රිදීම සහ ඒ ආශ්‍රිත හිසරදය, දීප්තිමත් ආලෝකයට සංවේදීතාව වැඩි වීම සහ පෙනීම නැතිවීම හෝ වලා පටලයක් වැනි යමක් නිසා පෙනීම අඩු වන ලෙස දැනීම ආදිය කෙරටෝකෝනස්හි දක්නට ලැබෙන ප්‍රධාන රෝග ලක්ෂණ යි. මෙම රෝග ලක්ෂණ තිබුණ ද බොහෝ දෙනෙක් තමන්ට කෙරටෝකෝනස් රෝගය වැලඳී ඇතැයි දන්නේ නැහැ. ඉහත රෝග ලක්ෂණ තිබූ පමණින් ම එය කෙරටෝකෝනස් යැයි පැවසීමටද නොහැකි යි. ඒ සඳහා Corneal topography, Slit Lamp හෝ Pachymetry පරික්ෂාවක් සිදු කර ගත යුතු යි.

කෙරටෝකෝනස් රෝගීන් බහුල ව හමු වන්නේ අවුරුදු 18 – 25 වයස් කාණ්ඩයේ බව තහවුරු කෙරෙන රෝගීන් නියැදියක සටහනක් – www.researchgate.net

කෙරටෝකෝනස් රෝගය වෛද්‍යවරුන් හඳුනා ගෙන ඇත්තේ මීට දශකයකට පමණ ඉහත දී වුවත් ඔවුන් තවමත් එය වැලඳීමට හේතුව නිශ්චිත ව හඳුනා ගෙන නැහැ. එය ජාන මඟින් පැමිණෙන රෝගයක් විමේ වැඩි නැඹුරුතාවක් ඇති බවටයි දැනට විශ්වාස කෙරෙන්නේ.

කෙරටෝකෝනස් ස්වච්ඡයට බලපාන හැටි

කෙරටෝකෝනස් රෝගී පරික්ෂාවල පොදු සොයා ගැනීමක් වන්නේ ස්වච්ඡයේ කොලජන්  (Collagen) ප්‍රෝටීන නොමැති වීම යි. මෙය ස්වච්ඡ පටක නිෂ්පාදනය හා විනාශය අතර යම් අසමතුලිතතාවක් නිසා ඇති වනවා. කොලජන් යනු අප ශරීරයේ බහුල ව ම හමුවන ප්‍රෝටීනය වන අතර එහි තන්තු වැනි ව්‍යුහය, සම්බන්ධක පටක සෑදීම සඳහා අත්‍යාවශ්‍ය වනවා. ස්වච්ඡයේ ද මධ්‍ය ස්තරය මුළුමනින් ම පාහේ සමන්විත වන්නේ ජලය සහ මෙම කොලජන් ප්‍රෝටීනවලින්. කොලජන් මගින් ස්වච්ඡය ශක්තිමත් සහ නම්‍යශීලි ලෙස පවත්වා ගැනෙනවා. එලෙස එහි ගෝලාකාර හැඩය නියමිත පරිදි පැවතුණහොත් පමණයි ඇසට පැමිණෙන ආලෝකය නියමිත පරිදි දෘෂ්ටි විතානය මත නාභිගත වන්නේ.

දකුණුපස කෙරටෝකෝනස් රෝගී ඇස වෙත එන ආලෝකය නිවැරදිව දෘෂ්ටි විතානය වෙත යොමු නොවේ – www.med-technews.com

කෙරටෝකෝනස් රෝගයේදී සරල ව ම සිදුවන්නේ ස්වච්ඡයේ පටක දුර්වල වීම නිසා එහි ස්වාභාවික හැඩය නැති වී ඉදිමීමට පටන්ගෙන අවසානයේ කේතු හැඩැති බවට පත්වීම යි. මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ පෙනීම නැති වීම යි. රෝගයේ මුල් අවධීන් සඳහා ඇස් කණ්ණාඩි හෝ විශේෂ සිවි කාච භාවිතයෙන් පෙනීම නැවත ප්‍රතිස්ථාපනය කළ හැකි නමුත් වඩා දරුණු තත්ත්වවල දී ශල්‍යකර්මයක් ඔස්සේ ස්වචඡය බද්ධ කිරීමක් අවශ්‍ය වනවා.

මෙහිදී අවදානම් කරුණ වන්නේ කෙරටෝකෝනස් රෝගය මූලික අවධියේ සිට සම්පුර්ණ අන්ධතාවයක් දක්වා වර්ධනය වීමට නිශ්චිත කාලයක් නොතිබීම යි. එනම් එය ඕනෑම මොහොතක සිදුවිය හැකි යි.

කෙරටෝකෝනස් රෝගයෙන් පෙළෙන ඇසක්, මෙහි ස්වච්ඡය කෝනික හැඩයකින් ඉදිරියට නෙරා ඇති ආකාරය පැහැදිලිව දිස්වේ- www.mirassolconectada.com.br

ට්‍රාන්ස්ප්ලාන්ට් වෙනුවට ඉම්ප්ලාන්ට්

ස්වච්ඡය බද්ධ කිරීමේ ශල්‍යකර්මයේ දී සාමාන්‍යයෙන් යොදා ගැනෙන්නේ මිනිස් පටක වන අතර එහිදී රෝගියාගේ හානි වූ ස්වච්ඡය ඉවත් කර ඒ වෙනුවට නව ස්වච්ඡයක් මැහුම් යොදා සම්බන්ධ කෙරෙනවා. මෙහි ඇති අවාසිය වන්නේ අවම වශයෙන් වසර දෙකක කාලයක් ගතවන තුරු වත් ප්‍රතිශක්තිය වලකන ඖෂධ බිංදු වශයෙන් (Immunosuppressive eye drops) ඇසට ලබා දිය යුතු වීම යි. එවැන්නක් අවශ්‍ය වන්නේ බාහිරින් සවි කළ මිනිස් පටක කොටස් ශරීරයට ආගන්තුක කොටසක් ලෙස රෝගියාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මඟින් හඳුනා ගැනීම වැලැක්වීමට යි.

කෙසේවෙතත් ඉහත ක්‍රියාවලිය නිවැරදි ව සිදු කළත් කෙරටෝකෝනස් නිසා අන්ධභාවයට පත්වූ රෝගියකුගේ සම්පූර්ණ පෙනීම නැවත ලැබේ යැයි තහවුරු විය නොහැකි බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. එවිට තවදුරටත් පෙනීම නිවැරදි කිරීම සඳහා ඇස්කණ්ණාඩි හෝ සිවි කාච පැළඳීම වැනි ක්‍රියාපටිපාටිවලට යා යුතු වනවා. මේ නිසා සම්පූර්ණ ස්වචඡය බද්ධ කිරීමේ (Full Corneal Transplant) ක්‍රමය වෙනුවට ජෛවීය ලෙස සංවර්ධනය කළ කොලජන් ප්‍රෝටීන කොටසක් ඇසේ කුඩා කැපුමක් සිදු කර ස්ථානගත කිරීම (Implant) වඩා යෝග්‍ය බව යි පැවසෙන්නේ.

ස්වච්ඡ බද්ධයට ලක් කළ ඇසක් – www.nih.gov

ඉහත කාරණය ඔස්සේ පර්යේෂණ සිදු කළ ස්වීඩනයේ Linköping විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් පසුගිය දා අනාවරණය කර තිබුණේ ඌරන්ගේ සමෙන් ලබා ගත් පිරිසුදු කළ කොලජන් ප්‍රෝටීන කොටස් කෙරටෝකෝනස් රෝගීන්ගේ අක්ෂිවල Implant කිරීම මඟින් වඩා සාර්ථක ප්‍රතිඵල පෙන්වන බව යි. පර්යේෂකයන්ට අනුව, ඌරන්ගේ සම ආහාර කර්මාන්තයේ අතුරු පලයක් වන බැවින් පහසුවෙන් එය ලබාගත හැකි වනවා. එය මිනිස් අවයව සහ පටක පරිත්‍යාග කරන්නන් දුලබ වීම නිසා අක්ෂි පටකවල පවතින හිඟයට ද සාර්ථක විසඳුමක් වනවා.

මිනිස් ස්වච්ඡයක් ම බද්ධ කිර්‍රමට නම් එය පරිත්‍යාග කිරීමෙන් සති දෙකක් ඇතුළත ශල්‍යකර්මය සඳහා භාවිත කළ යුතු යි. ඌරු සමෙන් ලබාගන්නා ප්‍රෝටීන වසර දෙකක් දක්වා ගබඩා කළ හැකි වීම ද තවත් වාසියක් වනවා. එසේම සම්පූර්ණ ස්වච්ඡ බද්ධ කිරීමක් වෙනුවට ප්‍රෝටීන කොටසක් පමණක් ස්ථාපනය කිරීම රෝගියාගේ ම පටක වැඩි ප්‍රමාණයක් රඳවා ගැනීමට උපකාරී වනවා. මේ නිසා බද්ධ කළ කොටස රෝගියාගේ ශරීරය මඟින් ප්‍රතික්ෂේප කිරීමේ ගැටලුව ද අවම වනවා. එවිට ප්‍රතිශක්තිය වලකන ඖෂධ ඇසට යෙදීම අවශ්‍ය වන්නේ සති 8ක් වැනි කෙටි කාලයකට පමණ යි.

පර්යේෂණයේ සාර්ථකත්වය හා අනාගතය

නියමු සායනික අධ්‍යයනයක් ලෙස පැවැත්වූ මෙම පර්යේෂණයේ මූලික අරමුණ වූයේ ඌරන්ගෙන් ලබාගත් ප්‍රෝටීන බද්ධ කිරීම සඳහා භාවිත කිරීම ආරක්ෂිත ද යන්න විමර්ෂණය කිරීම පමණ යි. නමුත් පර්යේෂකයන් පුදුමයට පත් කරමින් පර්යේෂණයට ලක් කළ රෝගීන්ගේ ස්වච්ඡයේ ඝනකම සහ වක්‍රතාව මෙම බද්ධ කිරීමෙන් පසු සාමාන්‍ය තත්ත්වයට පත් වී තිබුණා. ඔවුන්ගේ පෙනීම ද මිනිස් ස්වච්ඡ බද්ධ කළ අයගේ පෙනීමට සමාන ලෙස ම වැඩි දියුණු වී තිබූ බව යි වාර්තා වන්නේ.

ශල්‍යකර්මයට පෙර (වමේ) සහ ශල්‍යකර්මයෙන් දිනකට පසු (දකුණ) ඡායාරූප මගින් ස්වච්ඡයේ මධ්‍ය ස්තරයේ ඝනකම වැඩිවීමසහ වක්‍රතාවයේ වෙනස්වීම් පෙන්නුම් කෙරේ – theprint.in

පර්යේෂණයට සහභාගී වූවන් 20 දෙනාගෙන් 14 දෙනකුගේ ඇස් පූර්ණ අන්ධතාවට ලක්ව තිබූ නමුත් වසර දෙකකට පසු ඔවුන්ගෙන් කිසිවෙක් පූර්ණ අන්ධතාවයකින් පෙළී නැති බව පර්යේෂකයන් පවසනවා. එසේ ම පර්යේෂණයට පෙර අන්ධ ව සිටි ඉන්දියානුවන් තිදෙනකුගේ පෙනීම පරිපූර්ණ වීම ද (20/20) විශේෂත්වයක්.

ඉදිරියේදී විශාල සායනික අධ්‍යයනයකින් පසු ව සෞඛ්‍ය නියාමන බලධාරීන්ගේ අනුමැතිය මෙම බද්ධ කිරීමේ ක්‍රියාවලිය සඳහා ලබා ගැනීමට පර්යේෂණ කණ්ඩායම බලාපොරොත්තු වනවා. කෙරටෝකෝනස් රෝගයට අමතර ව වෙනත් අක්ෂි රෝග සඳහා ද මෙම කොලජන බද්ධය සාර්ථක වේ දැයි අත්හදා බැලීමට ද ඔවුන් සූදානම් වනවා. දැනට සිදුකරන ස්වච්ඡ බද්ධ කිරීම්වලට වඩා අඩු මුදලක් වැය වන මෙම නව ක්‍රමය ඉදිරියේ දී ලොව පුරා ප්‍රචලිත වනු ඇති බවයි පර්යේෂකයන් පවසන්නේ.

කවරයේ ඡායාරූපය: කෙරටෝකෝනස් රෝගයට අමතර ව වෙනත් අක්ෂි රෝග සඳහා ද මෙම කොලජන බද්ධය සාර්ථක වේ දැයි අත්හදා බැලීමට ද ඔවුන් සූදානම් වනවා - interestingengineering.com

මූලාශ්‍ර :

liu.se

www.medicalnewstoday.com

www.newscientist.com

www.mayoclinic.org

www.nhs.uk

www.hopkinsmedicine.org

www.nbcnews.com

Related Articles