අපට ආසන්නම කළු කුහරය සොයාගැනීමට ලාංකිකයෙකු සම්බන්ධ වේ

විද්‍යාඥයින් මේ දක්වා සොයාගෙන ඇති කළු කුහර අතරින් පෘථිවියට ආසන්නතම කළු කුහරය පසුගිය දා සොයාගෙන තිබෙනවා. එය මෙතෙක් සොයාගත් කුඩාම කළු කුහර අතරින් එකක් ද වන බව යි පැවසෙන්නේ. පර්යේෂකයන් එය නම්කර ඇත්තේ ‘යුනිකෝන්’ ලෙස වන අතර මොනෝසෙරස් තාරකා මණ්ඩලයෙන් එය සොයාගෙන ඇති තිබෙනවා. එම තාරකා මණ්ඩලය යුනිකෝන් ලෙසින් ද හඳුන්වන බැවින්, කළු කුහරයටත් එම නම යොදාගැනීමට පර්යේෂක කණ්ඩායම තීරණය කර තිබෙනවා. මෙම සොයාගැනීම පිළිබඳ තොරතුරු පසුගිය අප්‍රේල් 21 වන දා රාජකීය තාරකා විද්‍යා සංගමයේ මාසික දැන්වීම් සඟරාවේ පළ කර තිබුණා. කළු කුහරය සොයාගැනීම සම්බන්ධව ප්‍රධාන කතුවරයා වන්නේ ඔහායෝ ප්‍රාන්ත විශ්වවිද්‍යාලයයේ තාරකා විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධි අපේක්ෂක තරිඳු ජයසිංහ යි.

monoceros
මොනෝසෙරස් තාරකා මණ්ඩලය හෙවත් කඟවේනා තාරකා රාශිය/thestarsandplanets

යුනිකෝන් කළු කුහරය

යුනිකෝන් කළු කුහරය අපගේ සූර්යයාගේ ස්කන්ධය මෙන් තුන් ගුණයක් පමණ වනවා. නමුත් එය කළු කුහරයක් සඳහා ඉතා කුඩා අගයක්. මෙම ස්කන්ධ පරාසයේ කළු කුහර ඉතා ස්වල්පයක් පමණ යි විශ්වයෙන් මේ දක්වා සොයාගෙන ඇත්තේ.

කළු කුහර විශාලත්වය අනුව වර්ග තුනකට බෙදා වෙන්කෙරෙනවා. ඒ අතරින් කුඩාම වර්ගය වන්නේ ස්ටෙලර් කළු කුහර යි. මේවායේ ස්කන්ධය සූර්යයා මෙන් 3 ගුණයේ සිට 24 ගුණයක් දක්වා විහිදෙනවා. ස්කන්ධය කුඩාවීමම හේතුකොට ගෙන අධික ගුරුත්ව බලයක් පවතින මෙම කළු කුහර වර්ගයට ‘යුනිකෝන්’ නව කළු කුහරයත් අයත් වනවා. සාමාන්‍යයෙන් මෙම වර්ගයේ කළු කුහර බොහොමයක ස්කන්ධය වන්නේ සූර්ය ස්කන්ධ 10 සිට 24ක අගයක්. සුපර් මැසිව් කළු කුහර, සහ ඉන්ටර්මිඩියට් කළු කුහර යනු සෙසු කළු කුහර වර්ග දෙක යි. 

supermassive black hole vs solar system
අති විශාල සුපර් මැසිව් කළු කුහරයක් සමග අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ විශාලත්වය සංසන්දනය කිරීමක් (මැද ඊ හිසකින් පෙන්වන්නේ අපගේ සෞරග්‍රහ මණ්ඩලය යි)

යුනිකෝන් කළු කුහරය පෘථිවියේ සිට ආලෝක වර්ෂ 1,500ක් ඈතින්, අප ජිවත්වන ක්ෂීරපථ මන්දාකිනිය තුළම යි පිහිටා ඇත්තේ. තරිඳු ජයසිංහ ඇතුළු පර්යේෂකයින් එය විශ්ලේෂණය කර හඳුනාගන්නා තුරු, පැහැදිලිවම සැඟවී තිබූ බව සඳහන් වනවා. මෙම කළු කුහරය රතු යෝධ තාරකාවකට ඈඳී ඇති ලෙස පෙනී ඇති අතර, මෙයින් අදහස් වන්නේ එම රතු තාරකාව සහ කළු කුහරය ගුරුත්වාකර්ෂණ බලයෙන් සම්බන්ධ වී තිබෙන බව යි. 

කළු කුහර සොයාගන්නේ කෙසේ ද?

කළු කුහර සොයා ගැනීම සහ අධ්‍යයනය කිරීම ඉතා දුෂ්කර කටයුත්තක්. තනි කළු කුහර, වෙනත් අභ්‍යවකාශ වස්තූන් විමෝචනය කරන කිරණ කිසිවක් නිකුත් කරන්නේ නැහැ. ඒ නිසා කළු කුහර අපට දර්ශනය වන්නේ නැහැ. ඒවා විද්‍යාත්මක උපකරණ වෙත දක්වන්නේත් විද්‍යුත් චුම්භක නිහැඬියාවක්. එම නිසා කළු කුහරයක් තිබේදැ යි සොයාගැනීම සඳහා ඒවායේ ගුරුත්ව ක්‍රියාවලිය අධ්‍යයනය කිරීමට විද්‍යාඥයින්ට සිදුවනවා. එසේම බොහෝ ප්‍රසිද්ධ කළු කුහර බොහොමයක් සොයාගනු ලැබුවේ ඒවා  තවත් සහකාර තාරකාවක් සමග අන්තර්ක්‍රියා කළ නිසා එක්ස් කිරණ විශාල ප්‍රමාණයක් නිර්මාණය කිරීම හේතුවෙන්. එම එක්ස් කිරණ තාරකා විද්‍යා උපකරණවලින් හඳුනාගත හැකියි. 

යුනිකෝන් කළු කුහරය සොයාගැනීමේ අවස්ථාවේ දී, ඔවුන්ට කළු කුහරයේ සහචර තාරකාවක් දැකිය හැකි වූ නිසාත්, KELT, ASAS-SN ඇතුළු දුරේක්ෂ පද්ධති සහ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ග්‍රහලෝක සොයන නාසා චන්ද්‍රිකාවක් වන TESS මඟින් එම තාරකාව මනාව ලේඛනගත කර ඇති නිසාත්, ඒ පිළිබඳ දත්ත පුළුල් ලෙස ලබාගත හැකි වුණා. නමුත් පර්යේෂකයන් එම දත්ත විශ්ලේෂණය කළ විට, රතු යෝධ තාරකාව වටා කක්ෂගත වන නොපෙනෙන යමක් ඇති බවට ඔවුනට අවබෝධ වුණා. ඒ, එම තාරකාවේ ආලෝකය කක්ෂය වටා විවිධ ස්ථානවල තීව්‍රතාව සහ පෙනුම වෙනස් වෙමින් දිස්වීම හේතුවෙන්. මෙනිසා රතු යෝධ තාරකාව අල්ලාගෙන එහි හැඩය වෙනස් කරමින් සිටින යමක් ඇති බව පර්යේෂකයින්ට පැහැදිලි වුණා. එම ඇදීමේ බලපෑම තාරකා විද්‍යාවේ දී හැඳින්වෙන්නේ උදම් විකෘතියක් ලෙස යි.

unicorn black hole and red giant star
රතු යෝධ තාරකාවේ හැඩය වෙනස් කරන යුනිකෝන්/Reuters 

චන්ද්‍රයාගේ ගුරුත්වාකර්ෂණය පෘථිවි සාගරය විකෘති කරන ආකාරය ද ඉහත සිදුවීමට සමාන වනවා. මුහුද හඳ දෙසට හා ඉන් ඉවතට ගමන් කිරීමෙන් වඩදිය බාදිය හෙවත් උදම් තත්ත්ව ඇති කරනවා. ඒ ආකාරයටම යම් වස්තුවක් මේ රතු තාරකාව රග්බි පන්දුවක හැඩයට විකෘති කරන්නේ එක් අක්ෂයක් අනෙකට වඩා දිගු කරමින්. ඔහායෝ ප්‍රාන්තයේ තාරකා විද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රධානී, සහ මෙම පර්යේෂණයේ සම කතෘවරයෙකු වන ටොඩ් තොම්සන් පවසන්නේ මෙම සිදුවීමට සරලම පැහැදිලි කිරීම නම් එම වස්තුව කළු කුහරයක් බව යි.

ඔවුන් එම නිගමනය ඔස්සේ සිදුකළ පර්යේෂණවලට අනුව එය කළු කුහරයක් බවට තහවුරු වී තිබෙනවා. රතු තාරකාවේ ප්‍රවේගය, කක්ෂයේ කාලසීමාව, සහ උදම් බලය මඟින් රතු යෝධ තාරකාව විකෘති කළ ආකාරය ඇසුරෙන් පර්යේෂකයින් කළු කුහරයේ ස්කන්ධය ගණනය කළ අතර, එය සූර්ය ස්කන්ධ තුනක් හෙවත් අප සුර්යයා මෙන් තුන් ගුණයක ස්කන්ධයකින් හෙබි බව නිගමනය කර තිබෙනවා.

අපගේ මන්දාකිනිය තුළ කළු කුහර සහ නියුට්‍රෝන තාරකා සොයා ගැනීම සහ අධ්‍යයනය කිරීම අභ්‍යවකාශය අධ්‍යයනය කරන විද්‍යාඥයින්ට ඉතා වැදගත් කරුණක්. මක් නිසා ද ඒවා තාරකා සෑදී මිය යන ආකාරය, සහ ඒ ඔස්සේ විශ්වයේ උපත පිළිබඳවත් තොරතුරු සපයන බැවින්. ස්ටෙලර් කළු කුහර මිලියන 10යේ සිට බිලියනයක් දක්වා අප වෙසෙන ක්ෂිරපථයේ පැවතිය හැකි බව යි පැවසෙන්නේ. මෑත වසරවල දී කුඩා කළු කුහර සොයා ගැනීමට විශාල අත්හදා බැලීම් ප්‍රමාණයක් දියත්කර ඇති අතර, ඉදිරියේ දී අප ක්ෂිරපථයේ ඇති සෙසු කළු කුහර සහ නියුට්‍රෝන තාරකා සොයාගැනීම තමන්ගේ අපේක්ෂාව බව තරිඳු ජයසිංහ ඇතුළු පර්යේෂණ කණ්ඩායම පවසනවා. 

කවරයේ පින්තුරය - InternetHaber.com

තොරතුරු - space.com සහ science.nasa.gov ඇසුරෙන්

Related Articles