Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පැරෂුටයක් නැතිව පැනිය හැක්කේ එක්වරක් පමණක් නොවේ

විහිළුවට කියන කතාවක් තියෙනවා: “පැරෂුටයක් නැතිව ඕනෑම උසකින් පැනිය හැකියි! හැබැයි එක වරක් පමණයි” කියලා. එහෙත් ඉතාම මෑතදී ගුවන් කිමිදුම්කරුවෙක් විසින් සජීවී රූපවාහිනී වැඩසටහනක් සඳහා මේ කියමන බොරු කරමින් අඩි විසිපන්දහසක් උඩ සිට බිමට පැන තිබෙනවා. නෑ, ඔහු කිසිම ආපදාවක් නැතිව පොළවට ළඟා වුණා.

ලුක් අයිකින්ස් (blueskiesmag.com)

ලුක් අයිකින්ස් (blueskiesmag.com)

නමින් ලූක් අයිකින්ස් වන ඔහු ඒ සමඟ ලොව ප්‍රථම පැරෂුටයක් හෝ පියාඹන ඇඳුම් කට්ටලයක් නොමැතිව නිරුපද්‍රිතව පොළවට පැමිණීමට හැකිවූ පුද්ගලයා බවට පත්වන අතර මීටර් හත්දහස් හයසියයක් හෙවත් අඩි විසි පන්දහසක උස පතිතවීමට ඔහුට විනාඩි දෙකක් ගතවී තිබුණා. මෙවන් ක්‍රියාදාම අවස්ථාවන්ට කැමති බොහෝ දෙනෙක් වගේම භෞතික විද්‍යාව සම්බන්ධ නීති මේ කථාව අහපු වෙලාවේ ඉඳන්ම ඔළුව වටේ කැරකෙනවා වගේ දැනෙන අයත් දැන් කුතුහලයෙන් ඇති කොහොමද මෙහෙම දෙයක් වෙන්නේ කියලා. ඉතින් අපි බලමු කොහොමද ඔහු හදවත නවතින ආකාරයේ මෙම ක්‍රියාදාමය සිදුකළේ කියලා.

මෙවන් පැනීමක් පැරෂුටයක් සමඟ සිදුකිරීම සඳහා සාමාන්‍යයෙන් ගුවන් කිමිදුම්කරුවන්ට ගුවන් යානයකින් පැන පැයට කිලෝමීටර් 190ක් පමණ වේගයකින් පහළට පතිත වීමේදී පොළොවේ සිට අඩි 2,500ක් පමණ ඉහළදී පැරෂුටය දිග හැර ගැනීමට අවශ්‍ය වෙනවා. ඉන් ඔවුන්ගේ වේගය අඩු කෙරෙන අතර ඉතා සීරුවෙන් පොළොවට පතිත වීමට අවකාශ සැලසෙනවා. පැරෂූටයක් භාවිතා නොකළහොත් පැයට කිලෝමීටර 193ක පමණ වේගයකින් ඔහු පොළොවට පතිත වන අතර ඒ සමඟ ම ඉතිහාසයට අයත් පුද්ගලයෙක් බවට පත්වීමේ අවස්ථාව ලැබෙනවා. එහෙත් මෙම ක්‍රියාදාමය සිදුකළ අයිකින්ස් පතිත වීම සඳහා යොදාගෙන තිබුණේ කැලිෆෝනියානු පොළොවේ රඳවා තිබූ විශේෂිත දැලකට යි.

මේ ක්‍රියාදාමය පිළිබඳ අදහස් දැක්වූ ඇමරිකානු පැරෂූට සංසදයේ නැන්සි කොරීන් මහත්මිය සඳහන් කළේ කරණම් ගැසීම්, කැරකැවී ඔහුගේ පිට පොළොව දෙසට හරවාගෙන සිටීම වැනි දේ ඔහු පොළොවට වැටෙන අතරතුරේ සිදුකළ නමුත් ඉන් පහතට වැටීමේ වේගය අඩු කරගැනීමට කිසිදු අවස්ථාවක් සලසා නුදුන් බවයි. එසේ කිරීමට අවශ්‍යනම් කළ යුත්තේ තමන්ගේ දෑත් දෙපසට දිගු කරගැනීම බවත් ඉන් සිදුවන්නේත් පැයට කිලෝමීටර් 16ක පමණ ඉතා සුළු ප්‍රමාණයක අඩුවීමක් පමණක් බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ. මෙසේ දෑත් දෙපසට දිගු කිරීමෙන් අපේ ශරීරයේ පෘෂ්ඨ වර්ගඵලය ඉහළ යන නිසා ඇතිවන ප්‍රතිරෝධය ඉහළ යන නිසායි මඳක් හෝ වේගය අඩු වෙන්නේ. ඉතින් පැරෂුටයක් වැනි විශාල දෙයක් භාවිතා කළා ම ඊටත් වඩා බලපෑමක් සිදුවන බව හොඳින් ම පැහැදිලියි.

එහෙත් අපි හිතන තරම්ම පැරෂූටයකින් හෝ පියාඹන ඇඳුමකින් තොරව පැනීම හෝ පනින ස්ථානය සනිටුහන් කරගැනීම මහා අපහසු කාර්යයක් නොවන බවයි පාර්ක්ස් විද්‍යාලයේ ඉංජිනේරු අංශයේ මහාචාර්ය ජීන් පොට්වින් සඳහන් කරන්නේ. “එහෙත් ඔහු අනිවාර්යයෙන්ම ඉතා හොඳින් මෙම පැනීම සඳහා පුහුණුවී සූදානම්ව තිබෙනවා.” ඔහු පවසනවා.

දැලට ඉලක්කගත වීම

(outsideonline.com)

(outsideonline.com)

අයිකින්ගේ ගමන පුරාවටම ඔහුගේ හිස්වැස්මේ තිබුණු GPS උපකරණය නිතරම ඔහුට දැනුම්දීම් ලබා දුන්නා. ඒ වගේ ම දැලෙහි තිබුණු මීටර් 7,600 පමණ ඉහළ සිට වුවද දැකිය හැකි සේ සකසා තිබුණු ආලෝක කදම්බ ඔහු පථයෙන් ඉවතට යද්දී රතු පැහැයටත්, නිවැරදි ගමන් මඟට අවතීර්ණ වූ විට සුදු පැහැයත් දක්වමින් සහාය වූ බවයි CBS ප්‍රවෘත්ති සේවය සඳහන් කළේ.

එතරම් සහායක් තිබුණත්, දැලට ඉලක්ක ගතවීම පහසු නැති බවත්, ගුවන් යානයෙන් පැනීමේදී ඔහුගේ ශරීරයටද ගුවන් යානයේ වේගය ලැබී ඇති නිසා පැනීම සිදුවන්නේත් පරාවලයක ආකාරයෙන් බවයි මහාචාර්ය පොට්වින් සඳහන් කළේ. එනම්, එක තැන පහළට වැටීමක් වෙනුවට සිදුවන්නේ පහළට වැටෙන අතරතුර ඉදිරියට ද යන බලයක් ඔහු සතු වීම යි. මේ නිසා අනිවාර්යයෙන් ම ඔහුට ගුවන් යානයෙන් පැනිය යුතු වන්නේ සහ වාසනාවට පැන්නේ දැලට ඉතා පිටුපස ස්ථානයකදීයි.

ඉතින් කොහොමද ඔහු පොළොවේ තිබෙන ඉලක්කයක් වෙත තමන්ගේ ශරීරය හසුරුවා ගන්නේ? මේ සඳහා ගුවන් යානයෙන් පැන වාතයේ සිටියදී ‘ඇඟිලි බේරීම’ (tracking) නම් හැසිරීම කළ යුතු බවයි පොට්වින් පැවසුවේ. ඒ කියන්නේ, ඉංග්‍රීසි X අකුරේ හැඩයට පතිත වෙනවා වෙනුවට ඔහු ඔහුගේ දෑත් ඔහුගේ ශරීරය එක එල්ලේ ම පසුපසට තබා ගැනීම නිසා ඔහුට තමන්ට අවශ්‍ය දෙසට ඉදිරියට ලිස්සායාමේ පහසුව සලසා ගනිමින් දැලෙහි මධ්‍යයට ඉලක්ක වීමේ අවකාශය සලසා ගැනීමයි.

ආරක්‍ෂිතව පතිතවීම

(Getty Images / dailymail.co.uk)

(Getty Images / dailymail.co.uk)

දැලට පතිත වීමට පෙර අයිකින්ස් එකවර අනෙක් පසට හැරුණු අතර ඉන් ඔහුගේ ශරීරය කොඳු නාරටිය ඔස්සේ ස්වභාවික නැමුණු ස්වභාවයට එළඹුණා. මහාචාර්ය පොට්කින් සඳහන් කළේ එසේ කිරීම මගින් සරලව ඔහු සිදු කරගත්තේ ඔහුගේ කොඳු නාරටියට සිදුවීමට තිබූ මහත් විනාශයක් වළක්වාගැනීම බවයි.

“ඉතාම ඉහළ සිට බිමට පතිත වන්නෙකුගේ ශරීරයෙහි ඉතා විශාල විභව ශක්තියක් ගැබ්ව තිබෙනවා. ඉතින් මේ ශක්තිය බිමට පතිතවූ වහා තවත් යමකට අනිවර්යයෙන් ම පැවරීමට සිදුවෙනවා. ඒ අනුව අපි බිමට පතිතවූ වහාම ශක්තිය පොළවට සංසරණයවී ඒ සමඟම නැවත පරාවර්තනයවී අපේ ශරීරයටම එකවර ලැබෙන නිසා එමඟින් ශරීරය කෑලි කෑලිවලට වෙන්ව යාම සිදු වෙනවා” පොට්වින් පැහැදිලි කළා.

නමුත් ‘පොලිඑතිලීන්’ හෙවත් සාමාන්‍ය ව්‍යවහාරයේ ‘පොලිතීන්’ රැහැන් වලින් සකසා තිබුණු දැල නිසා වානේ මෙන් දෙගුණයක ශක්තියක් දරමින් එය අයිකින්ස්ගේ විභව ශක්තිය සම්පූර්ණයෙන් ම උකහාගෙන ඔහුගේ ජීවිතය බේරා දුන්නා.

ඉතින් මේ මරණීය අභියෝගයකට මුහුණදුන් ඔහුගේ ක්‍රියාදාමයෙන් හදිසි අවස්ථාවක පහතට වැටීමකදී සුළු යමක් හෝ කොට ඇඟ බේරාගැනීමේ පාඩමක් අපට ඉගෙනගන්න හැකි වෙනවා. මොකද, උඩට යන්න වෙර දරද්දී කකුලෙන් අදින්න ඉන්න අය බොහොමයි.

කවරයේ පින්තුරය: nationalgeographic.com

Related Articles