Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

විද්‍යාවේ උපකාරයෙන් ටස්මේනියානු කොටියා නැවතත් මිහිමත සැරිසරයි ද?

පරිසර සංරක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (International Union for Conservation of Nature හෙවත් IUCN) මගින් ප්‍රකාශයට පත් කරන තර්ජනයට ලක් වී ඇති ජීව විශේෂයන්ගේ රතු ලැයිස්තුව (The IUCN Red List of Threatened Species) නැතහොත් රතු දත්ත පොතේ ‘වඳ වී ගිය’ (Extinct : EX) සතුන් නිර්වචනය කර ඇත්තේ “නිරන්තරයෙන් ගැවසෙන බවට හඳුනා ගන්නා ලද වාසස්ථාන සමීක්ෂණයට ලක් කිරීමෙන් පසු ව කිසියම් ශාක හෝ සත්ත්ව විශේෂයකට අයත් ව සිටි අවසාන ජීවියා මිය ගිය බවට සාධාරණ සැකයක් නොමැති සහ අදාළ විශේෂයේ නව පරපුරක් බිහි කිරීම සඳහා අවස්ථාවක් නැති බවට පැහැදිලි සාක්ෂි සහිත ජීව විශේෂ” ලෙස යි.

(© Torsten Blackwood /AFP / Getty Images)

විද්‍යාත්මක ව Thylacinus cynocephalus (හැරිස්, 1808) ලෙස හඳුන්වනු ලබන 1965 වර්ෂයේ දී අතිශය දුර්ලභ සත්ත්ව විශේෂයක් ලෙස නම් කරන ලද ටස්මේනියානු කොටියා, 1982 වර්ෂයේ සිට ප්‍රකාශයට පත් කරන ලද සෑම රතු ලැයිස්තුවක ම වඳ වී ගිය සත්ත්ව විශේෂයක් ලෙස දක්වා තිබෙනවා. නමුත් මෙල්බර්න් සරසවියේ සහකාර මහාචාර්ය ඇන්ඩෘෘ පැස්ක් මාස කිහිපයකට පෙර පුවත්පත් සාකච්ඡාවක් ලබා දෙමින් ප්‍රකාශ කර ඇත්තේ ක්ලෝනීකරණ තාක්ෂණය භාවිතා කරමින් එළැඹෙන දශකය ඇතුළත දී ටස්මේනියානු කොටින් ව නැවත බිහි කිරීමට හැකියාවක් පවතින බව යි.

සුනඛ මුහුණක් හිමි පැසිපොව්වා

මෑත ඉතිහාසයේ වාසය කළ දැවැන්ත ම මාංශ භක්ෂක පැසිපොව්වා (කුඩා පැටවුන් ව සිරුරේ ඇති පැසක් තුළ උසුලාගෙන සිටින සත්ත්ව විශේෂ) ලෙස ‘ටස්මේනියානු කොටියා’ (මොවුන් ටස්මේනියානු වෘකයා සහ ටයිලසයින් ලෙස ද හඳුන්වනු ලබනවා) නම් කිරීමේ වරදක් නොවෙයි. ඕස්ට්‍රේලියානු මහද්වීපයට, නිව් ගිනියාවට සහ ටස්මේනියාවට ආවේණික සත්ත්ව විශේෂයක් වූ මොවුන්, 1936 වර්ෂයේ දී නිල වශයෙන් වඳ වී ගිය සත්ත්වයින් කොට්ඨාසයක් ලෙස නම් කරන ලද්දේ හෝබාට් සත්ත්වෝද්‍යානයේ රඳවාගෙන සිටි අවසන් පිරිමි සත්ත්වයා මිය යාමෙන් අනතුරු ව යි.

හෝබාට් සත්ත්වෝද්‍යානයේ සිටි අවසන් ටස්මේනියානු කොටියා (© Wikimedia Commons)

ප්‍රමාණයෙන් මෙන් ම පෙනුමෙන් ද සුනඛයෙකු හා සමාන වූ ටස්මේනියානු කොටින්, පිට මත සහ සිරුර දෙපස තද දුඹුරු හෝ කළු පැහැ වයිරම් වැටුණු වැලි පැහැයට හුරු ළා දුඹුරු පැහැ සත්ත්ව විශේෂයක් බව සඳහන් වෙනවා. එසේ ම ටස්මේනියානු කොටි පැටවෙකුට සුනඛ මුහුණුවරක් හිමි වන්නේ උපත ලබා සති 12 ක් පමණ ගත වීමෙන් පසු ව බව යි පර්යේෂණ මගින් හෙළි වී ඇත්තේ. වසර මිලියන 4 කට පමණ පෙර බිහි වී නිදහසේ මිහිමත සැරිසරන ලද ටස්මේනියානු කොටින් අදින් සහස්‍ර ද්විත්වයකට පෙර ටස්මේනියාවට සීමා වී ඇත්තේ විලෝපිකයින්ගේ ගොදුරක් වීම හේතුවෙන්.

දුර්වල ජාන හේතුවෙන් වඳ වී ගිය ටස්මේනියානු කොටියා

පසුගිය වර්ෂය වන තුරු ම ජීවවිද්‍යාඥයින්ගේ මතය වුණේ ටස්මේනියානු කොටියා වඳ වීමට ප්‍රධාන හේතුව ටස්මේනියාව ජනාවාස වීම බව යි. ටස්මේනියාවේ පදිංචියට පැමිණි යුරෝපීය වැසියන් මුහුණ දුන් බරපතළ ගැටලුවක් වුණේ තම බැටළුවන් නිරන්තරයෙන් ම ටස්මේනියානු කොටින්ගේ ගොදුරු බවට පත් වීම යි. ඒ නිසා ටස්මේනියානු කොටි මළ සිරුරක් සඳහා පවුමක මුදලක් ගෙවීමට රජය කටයුතු කර ඇති අතර මෙහි අවසන් ප්‍රතිඵලය ලෙස ටස්මේනියානු කොටින් විශාල වශයෙන් දඩයම් කිරීමට ලක් වුණා. ටස්මේනියානු කොටින් මිහිමතින් අතුගා දැමීම ඉක්මන් කිරීම සඳහා එය සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන්නට ඇති නමුත් මෙල්බර්න් සරසවියේ පර්යේෂකයින් මෑතක දී සිදු කරන ලද ජාන විශ්ලේෂණයකින් අනාවරණය වී ඇත්තේ ටස්මේනියානු කොටින් වඳ වී යාමේ ක්‍රියාවලිය ඇරඹුණේ ටස්මේනියාව ජනාවාස වීමට බොහෝ කලකට පෙර බව යි.

(© E. J. Kelle Baker)

මෙම ජාන විශ්ලේෂණය සඳහා යොදාගෙන ඇත්තේ 1909 වර්ෂයේ දී සංරක්ෂණය කරන ලද ටස්මේනියානු කොටි දෙනකගෙන් ලබා ගන්නා ලද ඩී. එන්. ඒ. නියැදියක්. පර්යේෂණ වාර්තාවට අනුව අදින් වසර 70,000 – 120,000 ක පෙර ඇති වූ කටුක කාලගුණික තත්ත්වයන්ට සහ නියඟයන්ට සාර්ථක ව මුහුණ දිය හැකි පරිදි ජාන විකසනයක් සිදු නොවූ නිසා ටයිස්මේනියානු කොටින් වඳ වීමේ ක්‍රියාවලිය ඇරඹී ඇති අතර අදින් වසර 14,000 කට පමණ පෙර සිදු වූ මුහුදු ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ඔවුන් ප්‍රධාන ගොඩබිමෙන් සම්පූර්ණයෙන් ම ඈත් වී හුදෙකලා සත්ත්ව කාණ්ඩයක් බවට පත් වී තිබෙනවා.

ටස්මේනියානු කොටියා තවමත් මිහිමත වාසය කරනවා ද?

ඕස්ට්‍රේලියානු සංස්කෘතියේ අසමසම සංකේතයක් වූ ටස්මේනියානු කොටියා සත්‍ය වශයෙන් ම මිහිමතින් වඳ වී ගිය විශ්වාස කිරීමට බොහෝමයක් ඕස්ට්‍රේලියානුවන් අකැමති යි. ඒ නිසා ම වසර ගණනාවක් තිස්සේ ටස්මේනියානු කොටියා සොයා ගවේෂණයන් දියත් කිරීමට ඔවුන් යොමු ව ඇති අතර ‘Booth Richardson Tiger Team’ නම් සාමාජිකයන් තිදෙනෙකුගෙන් යුතු කණ්ඩායම 26 වසරක් මුළුල්ලේ වඳ වී ගියා යැයි සැලකෙන ටස්මේනියානු කොටියා සොයා ගවේෂණ සිදු කරන බව සඳහන්. ඔවුන් ටස්මේනියාවේ මේඩීනා නුවර වනාන්තර ප්‍රදේශ ආශ්‍රිත ව කැමරා 14 ක් සවි කර ඇති අතර ටස්මේනියානු කොටියා විය හැකි යැයි ඔවුන් විශ්වාස කරන සත්ත්වයෙකුගේ රුව ඇතුළත් වීඩියෝ පටයක් ද නිකුත් කර තිබෙනවා.

දශකයක් ඇතුළත ටස්මේනියානු කොටියා නැවතත් මිහිමත සැරිසරයි ද?

මේ වන විට මෙල්බර්න් සරසවියේ පර්යේෂකයින් සංරක්ෂණය කරන ලද ටස්මේනියානු කොටි පැටවුන් 13 දෙනෙකුන් ලබා ගන්නා ලද ජාන උපයෝගී කර ගනිමින් සමස්ත ජාන කේත පිටපතක් (blueprint of the entire genetic code) නිර්මාණය කිරීමට උත්සාහ කරමින් සිටින බව යි වාර්තා වන්නේ. නමුත් ජානමය වශයෙන් ටස්මේනියානු කොටින්ට සමීප ඥාතීන් නොමැති වීම, එහි සාර්ථකත්වයට දැඩි බාධාවක් වී ඇති බව සඳහන් වෙනවා.

1910 වර්ෂයේ දී හෝබාට් සත්ත්වෝද්‍යානයේ වාසය කළ ටස්මේනියානු කොටි පවුලක් (© Wikimedia Commons)

නමුත් CRISPR තාක්ෂණය (අණුක ජීව විද්‍යාවේ නව ප්‍රවේශයක් වන මෙහි මූලික අරමුණ වන්නේ සජීවී සෛලයන් හි නිශ්චිත සහ ඉලක්ක ගත වෙනස්කම් සිදු කිරීම සඳහා කාර්යක්ෂම සහ විශ්වාසනීය ක්‍රමවේද වර්ධනය කිරීම යි) යොදා ගනිමින් ටස්මේනියානු කොටින් නැවත බිහි කිරීම සඳහා විශාල ඉඩක් පවතින බව මෙල්බර්න් සරසවියේ සහකාර මහාචාර්ය ඇන්ඩෘෘ පැස්ක් ප්‍රකාශ කර තිබෙනවා. ඔහු වැඩි දුරටත් පවසා ඇත්තේ ටස්මේනියානු කොටින් ව ආපසු ගෙන ඒම සඳහා උපකාර කිරීම, ඔවුන්ගේ වඳ වී යාම සඳහා විශාල දායකත්වයක් ලබා දුන් මිනිසාගේ වගකීමක් බව යි.

Related Articles