තාත්තා හිරේ සිටියදී පුතා හදපු පෝෂ කාර් එක

ජර්මනිය ලෝක ඉතිහාසය වෙනස් කළා. එමෙන්ම ජර්මනිය මෝටර් රථ ඉතිහාසයත් වෙනස් කළා. ජර්මානු ජාතික කාල් බෙන්ස් විසින් මෝටර් රථ නිපදවීම ආරම්භ කිරීම පමණක් නොවෙයි මෝටර් රථ ලෝකය උඩු යටිකුරු කරන්නට සමත් නිෂ්පාදනයන් රැසක් ජර්මනිය කේන්ද්‍ර කරගත් ඒවායි. මෝටර් රථ සම්බන්ධයෙන් එතරම් අභිමානවත් ජර්මනියේ බිහිවුණු විශිෂ්ටතම මෝටර් රථ ඉංජිනේරුවරයා යැයි සැලකෙන පුද්ගලයාගේ නමින් නිපදවෙන මෝටර් රථ මොඩලයක් ගැනයි මේ සටහන.

විසිවැනි සියවසේ විශිෂ්ටම මෝටර් ඉංජිනේරුවා ඔහු. වොක්ස්වැගන් නම් අද්විතීය මෝටර් රිය සැලසුම් කළේ ඔහු නමින් ෆර්ඩිනන්ඩ් පෝෂ. ඔහු නිර්මාණය කළ වොක්ස්වැගන් ගැන කලින් සටහනක් අපි ලීවා. මේ සටහන කියවන්නට පෙර ඒ සටහන කියැවීමෙන් පෝෂ ගැන අවබෝධයක් ගත හැකියි.

මේ වෙද්දී ලොව ජනප්‍රියම මෝටර් රථ වෙළඳනාම එකතුව තියෙන්නේ වොක්ස්වැගන් සමාගම් ජාලය සතුවයි. වොක්ස්වැගන්, පෝෂ, ලැම්බොගිනි, බෙන්ට්ලි, බුගාති, ඩුකාටි, අවුඩි වගේ වෙළඳ නාම රැසක් ඔවුන් සතුව තියෙනවා. මේ සටහන පෝෂ සමාගම ගැනයිි. ඒ ගැන විමසන්නට නම් වර්ෂ 1931 තරම් අතීතයට යා යුතුයි.

ෂ්ටුට්ගාඩ් නම් ව්ටන්බර්ග්හි පිහිටි ජර්මානු නගරය කේන්ද්‍ර කරගනිමින් පෝෂ සමාගම ආරම්භ වුණා. Dr. Ing. h.c. F. Porsche AG නමින් එය එකල හැඳින්වුණා. පෝෂ සමාගම මුලින්ම ආරම්භ කළේ මෝටර් රථ නිෂ්පාදනය වෙනුවෙන් නෙවෙයි. ඉංජිනේරුවෙක් වන ෆර්ඩිනන්ඩ් පෝෂ ඇතුළු කණ්ඩායමක් විසින් මෙය ආරම්භ කළේ මෝටර් රථ නිෂ්පාදනය පිළිබඳව උපදේශනය ලබා දීමටයි. ඔවුන්ගේ උපදේශනය මත නිර්මාණය වූ ලෝක පූජිත මෝටර් රිය තමයි වොක්ස්වැගන් බීට්ල්. වොක්ස්වැගන් පිළිබඳ සටහනේදී අප කී විදියට පෝෂ සමාගම විසින් මුල් යුගයේදී යුද්ධ ටැංකි සඳහාද සැලසුම් නිර්මාණය කරනවා. ඒ ඇඩොල්ෆ් හිට්ලර් විසින් ජර්මනිය යුද්ධයට ඇදගෙන යෑමෙන් පසුව මෝටර් රථ වෙනුවට යුද්ධ ටැංකි නිපදවීමට සිදු වූ නිසා.

පෝෂ 64

dedeporsche.com

1939 වෙද්දී පෝෂ නාමය රැගත් මෝටර් රියක් සැලසුම් කෙරුණා. වොක්ස්වැගන් බීට්ල් රථයෙන්ද ආදර්ශය රැගත් මේ රථය මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම මඟ නැවතුණේ යුද්ධය ආරම්භ වූ නිසයි. පෝෂ 64 මොඩලය මෝටර් රථ තරඟ සඳහා ඉදිරිපත් කරන්නට සිටියත් එයත් යුද්ධය නිසා වැළකුණා. ඉතින්, පෝෂ නාමය එදිනෙදා නිවෙස්වලට යන්නට තවත් කාලයක් බලා සිටින්නට සිද්ධ වුණා. නිල වශයෙන් වාණිජමය නිෂ්පාදනය ඇරඹූ පළවැනි මෝටර් රිය බවට පත් වෙන්නට පෝෂ 64ට අවස්ථාව ලැබුණේ නැහැ.

යුද්ධය පරාජය වෙන අතරේ වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව සහ සමාගමද බ්‍රිතාන්‍ය හමුදා යටතට පත්වුණා. ඒ වෙද්දී ෆර්ඩිනන්ඩ් පෝෂ වොක්ස්වැගන් සමාගමේ සභාපතිවරයා ලෙසයි කටයුතු කරමින් සිටියේ. අත්අඩංගුවට පත්වුණ පෝෂව සිරගත කෙරුණා.

පෝෂ 356

ඒ කාලයේදී ෆර්ඩිනන්ඩ් පෝෂගේ පුත්‍රයා වන ෆෙරී පෝෂ විසින් මෝටර් රථයක් නිෂ්පාදනය කළා. ෆෙරී සහ ඔහුගේ සහෝදරිය වන ලුසී පෝෂ විසින් ආරම්භ කළ සමාගමකින් මේ රථය නිෂ්පාදනය කරන්නට පටන් ගත්තා. වොක්ස්වැගන් රථයේ සහ පෝෂ 64 මොඩලයේ ආභාසයෙන් තැනුණු මේ රථය මගී ආසන දෙකකින් පමණක් සමන්විත වුණා. පොදු ජනතාවගේ මෝටර් රිය වූ වොක්ස්වැගන් වෙනුවට වෙනස් වෙළඳපොලක් ඉලක්ක කරන්නට තරම් ෆෙරී පෝෂ උපක්‍රමශීලී වුණ නිසා තමයි ආසන දෙකක ස්පෝට් මෝටර් රියක් නිර්මාණය කළේ. මෝටර් රියෙහි එන්ජිම තිබුණේ වාහනය පසුපසයි.

Gmünd නම් වූ ඔස්ට්‍රියානු නගරයෙහි නිර්මාණය කළ මේ මෝටර් රිය මුලින්ම Gmünd Roadster නමින් හැඳින්වුණා. පුංචි ඉඩකඩක නිර්මාණය කළ මේ මොඩලයෙන් මෝටර් රථ 50ක් පමණක් මුලින් නිෂ්පාදනය කෙරුණා. ඉන්පසුව මෝටර් රථ ව්‍යාපාරිකයන්ට පෙන්වනු ලැබුවා. ඒ මෝටර් රියට ව්‍යාපාරිකයන්ගෙන් නොසිතූ තරම් ප්‍රතිචාර ලැබෙන්නට පටන් ගත්තා.

මෝටර් රියෙහි හැඩය අදටත් පෝෂ නම කී විට සිහියට නැඟෙන පහත් හැඩකාර බඳ සහිත පෝෂ මෝටර් රියෙහි හැඩයම වුණා. අර්වින් කොමෙන්ඩා විසින් තමයි මේ බඳ නිර්මාණය කර ඇත්තේ.

අර්වින් කොමෙන්ඩා, ෆෙරි පෝෂ, ෆර්ඩිනන්ඩ් පෝෂ සමඟ පෝෂ 356 (autoweek.com)

356ට ප්‍රතිචාර ලැබෙන්නට පටන් ගත්තාට පසුව මෝටර් රිය ආසන හතරක් සහිතවත් නිර්මාණය කෙරුණා. මෙසේ නිෂ්පාදනය කෙරුණු මෝටර් රිය ෆෙරී සහ ලුසීගේ පියා වන අපගේ කථානායක ෆර්ඩිනන්ටඩ් පෝෂේ මහතා සතු මුල් සමාගම විසින් 1948 දී පවරා ගත්තා. මහාපරිමාණයෙන් එය නිෂ්පාදනය කරන්නට පටන් ගත්තා.

ඇමෙරිකානු මෝටර් රථ බෙදා හරින්නෙකු වූ මැක්ස් හොෆ්මාන් විසින් 1950 පමණ කාලයේදී පෝෂ 356 වෙත අවධානය යොමු කළා. ඒ දශකය අවසාන වෙද්දී පෝෂ සමාගමට ඉහළම අලෙවියක් අත්පත් කර දෙන්නට ඇමෙරිකාව සමත් වුණා.

පෝෂ 911

ඇලෙක්සැන්ඩර් පෝෂ ( www.telegraph.co.uk )

පෝෂ 356 මෝටර් රිය නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම අඩාල වුණේ පෝෂ 911 වෙළඳපොළට පැමිණීමෙන් පසුවයි. 911 රථය ගැන කතා කරන්නට පෙර තවත් පෝෂ කෙනෙකු ගැන කතා කළ යුතුයි. ඒ ෆෙරී පෝෂගේ පුත්‍රයා ඇලෙක්සැන්ඩර් පෝෂ.

තමන්ගේ පියා සහ සීයා මෙන් මෝටර් ඉංජිනේරුවරයෙක් වෙනවාට වඩා ඇලෙක්සැන්ටර් පෝෂ කැමැත්ත දැක්වුවේ මෝටර් රථවල පෙනුම සැලසුම් කරන්නටයි. ඔහු කාර්මික සැලසුම්කරණය පිළිබඳ උසස් අධ්‍යාපනය ලබන්නට විශ්වවිද්‍යාලයකට ගියත් ඔහුගේ හැකියාව ප්‍රමාණවන් නොවන බව සලකමින් ඔහුව විශ්වවිද්‍යාලයෙන් ඉවත් කර තිබුණා. ඒ නිසා ඉන්පසුව ඇලෙක්සැන්ඩර් පෝෂ තමන්ගේ පවුලේ සමාගමේ සැලසුම් අංශයේ රැකියාවකට යොමු වුණේ සැලසුම්කරණය ගැන ප්‍රායෝගිකව ඉගෙන ගන්නටයි. පෝෂ 356 මෙන්ම වොක්ස්වැගන් රියෙහිද පෙනුම සැලසුම් කළ අර්වින් කොමෙන්ඩා ළඟ ඇලෙක්සැන්ඩර් පෝෂ ප්‍රායෝගික අධ්‍යාපනය ලැබුවා.

911 මෝටර් රථයක් ( http://autoweek.com )

මෙතෙක් පෝෂ මොඩලයන් දෙකම පෝෂ පවුලේ අයෙකුගේ මැදිහත් වීමෙන් වෙළඳපොළට පැමිණි නිසා ෆෙරී පෝෂ බලාපොරොත්තු වී ඇත්තේ ඊළඟ පරම්පරාවේ පෝෂ රිය ඇලෙක්සැන්ඩර් පෝෂ විසින් සැලසුම් කළ යුතු බවයි. ඒ වෙද්දී වඩා ඉඩ පහසුකම් සහිත මෝටර් රියක් සැලසුම් කළ යුතු බව ෆෙරී පෝෂගේ අදහස වී තිබුණා. ඒ අනුව ඇලෙක්සැන්ඩර් පෝෂ විසින් පළවැනි 911 රථය සැලසුම් කළා. සැලසුම්කරණය නොහැකි බව කියමින් විශ්වවිද්‍යාලයකින් ප්‍රතික්ෂේප කළ පුද්ගලයෙකු විසින් මෙතරම් ජනාදරයට පත්වූ මෝටර් රියක් සැලසුම් කිරීම අපූරු සිදුවීමක්.

පෝෂ 911 රථය අදටත් ඉහළ වෙළඳපොළක් හිමි මෝටර් රියක්. පෝෂ සමාගම පසුකාලීනව වෝක්ස්වැගන් සමාගම් ජාලයට අයිති වුණා. අද ලොව ගෞරවනීයම රථයක් ලෙස එය පවතිනවා.

Cover – www.1gai.ru

මූලාශ්‍ර –

http://autoweek.com/article/car-news/porsche-60-little-sports-car-company-could

https://www.porsche.com/international/aboutporsche/pressreleases/#from=/international/aboutporsche/pressreleases/archive2013/

https://www.porsche.com/usa/aboutporsche/70-years/history/

Related Articles