ග්‍රහයෙකු මත ජීවයේ පැවැත්ම තීරණය කෙරෙන ගොල්ඩිලොක්ස් කලාපය

දින කීපයකට උඩ දි NASA ආයතනය විසින් පෘථිවියට පාසෙක්ස් 9ක් දුරින් පිහිටි TRAPPIST – 1 නම් පද්ධතියේ පෘථිවියට ප්‍රමාණයෙන් ආසන්න ලෙස සමාන ග්‍රහයන් 7කුත්, එයින් ජීවය පැවතීමට සුදුසු ග්‍රහයන් 3කුත් හඳුනාගත් බවට නිවේදනයක් නිකුත් කළා. එහිදී මෙම ජීවය පැවතීමට සුදුසු ග්‍රහයින් ‘ගොල්ඩිලොක්ස් කලාපයේ’ පිහිටා ඇති බවට කියැවුණා.

ඉතින් මොකක්ද මේ ‘ගොල්ඩිලොක්ස් කලාපය’? ඇයි මේ කලාපය මෙතරම් වැදගත්? මේ ලිපිය ඒ පිළිබඳවයි.

මොකද්ද මේ ‘ගොල්ඩිලොක්ස්’ කලාපය?

සූර්යයා, Trappist-1, සහ බ්‍රහස්පති. (Sci-News.com)

බොහොම කාලයක් අපගේ සෞරග්‍රහ මණ්ඩලය පුරාවටම අපි සෙවූ දෙයක් තමයි ජීවයක් පැවතීමට සුදුසු පරිසර තත්ත්ව. අපේ ග්‍රහයන් 8 දෙනාගෙන්  පෘථිවියෙ පමණයි ද්‍රව ජලය, ආශ්වාස කළ හැකි වායුගෝලයක්, සහ අවශ්‍ය තරමට හිරු එළිය යන තත්ත්වයන් තුනම නියමිත පමණින් පවතින්නේ.

බුධ, සිකුරු එහෙම රස්නෙ වැඩියි. අඟහරු ආදී අනික් ග්‍රහලෝක සීතල වැඩියි. හොඳම තත්ත්වයන් තියෙන්නෙ පෘථිවියෙ පමණයි. පෘථිවිය තවත් ස්වල්පයක් සූර්යයා දෙසට ලං වුණා නම් සිකුරු තරමටම තාපයෙන් පිළිස්සෙන ග්‍රහයෙක් වන්නට තිබුණා. මදක් සූර්යයාගෙන් ඈතට වන්නට පිහිටියා නම් අඟහරු මෙන්ම ශීතලෙන් මිදෙන්නට ඉඩ තිබුණා. තත්ත්වය එසේ වුවත් පෘථිවිය නියමම තැන පිහිටි නිසා ජීවය ඇති වුණා. ජිවය පැවතුනා. එම නිසා 1950 දශකයේ සිටම මෙම සංසිද්ධිය පිළිබඳව සාකච්ඡා කළ විද්‍යාඥයින්, 1970 පමණ වන විට පෘථිවිය ‘ගොල්ඩිලොක්ස් කලාපයේ’ පිහිටන ග්‍රහයෙක් බවට ප්‍රකාශ කළා.

ඇයි මෙහෙම නමක්?

“මේ ඇඳේ මෙට්ටෙ හරිම තදයි”, ගොල්ඩිලොක්ස් කිව්වා.

ඒ නිසා ඈ වලස් අම්මගෙ ඇඳ ළඟට ගිහින් ඒ ඇඳ මත වාඩි වුණා.

“මේ මෙට්ටෙ නම් මෘදු වැඩියි”

ඉතින් ඈ කාමරයේ තිබුණු අවසන් ඇඳ ළඟට ගියා.

“ආ… මේ ඇඳේ මෙට්ටෙ නම් ඕනෙවට වඩා තදත් නෑ, මෘදුත් නෑ.. මේක තමයි හොඳම ඇඳ!”, ඈ සතුටින් කිව්වා.

ඉතින් ඈ ඒ ඇඳේ නිදාගත්තා.

-ගොල්ඩිලොක්ස් සහ වලසුන් තිදෙනා-

මේ ළමා කතාව පිළිබඳව ඔබ අහලා ඇති. Circumstellar Habitable Zone (CHZ) යනුවෙන් හැඳින්වෙන, ජීවය පැවතීමට සුදුසු සීමාවට ‘ගොල්ඩිලොක්ස් සීමාව’ යන නම යෙදෙන්නෙ අදාල ළමා කතාව ආශ්‍රයෙන්. එහි දී වලසුන් තිදෙනෙක් වසන නිවෙසකට යන ගැහැණු දරුවෙක්, එහි ඇති තුනෙහි කට්ටල වලින් වඩාත් අන්තයන්හි පැවතුන දේවල් නොසලකා හරිමින් (උණුසුම්ම හෝ සීතලම ආහාර, තදම හෝ මෘදුම මෙට්ට, රළුම හෝ සැපපහසුම පු‍ටු) මධ්‍යම ප්‍රමාණයේ දේ ‍තෝරාගන්නවා.

තාරකාවක් වටා පරිභ්‍රමණය වන ග්‍රහයෙකු මත ජීවය පැවතීමට එම ග්‍රහයා මෙම සීමාන්තික නොවන සාධක පවතින, නියමිත වායුගෝලීය පීඩන යටතේ ද්‍රව ජලය පවතින තරමට සුදුසු තරම් සූර්ය රශ්මිය ලැබෙන සීමාවක, එනම්, Circumstellar Habitable Zoneහි පැවතිය යුතු වෙනවා.

CHZ සීමාවට ‘ගොල්ඩිලොක්ස්’ යන නම යෙදෙන්නේත්, එය වඩාත් රළු අන්තයන් නොව, ජීවයට ඉතාමත්ම සුදුසුම සීමාව නිසායි.

තරුවක ගොල්ඩිලොක්ස් කලාපය තීරණය වන ආකාරය

සෞරග්‍රහ මණ්ඩලයේ ගොල්ඩිලොක්ස් සීමාව. (Cornell University)

තරුවක ගොල්ඩිලොක්ස් කලාපය තීරණය වන්නේ තරුවේ වර්ගය අනුව යි. විශාල, රශ්මියෙන් ඉහළ තාරකා වල ගොල්ඩිලොක්ස් කලාපය, එනම් CHZ, තාරකාවට වඩාත් ඈතින් පිහිටනවා. කුඩා, වඩාත් සිසිල් තාරකා වල CHZ පිහිටන්නේ තාරකාවට ළඟින්.

බොහොමයක් දන්නා තාරකාවන්හි වර්ගය අනුව ඒවායේ CHZහි ග්‍රහයෙක් හෝ කීපයක් පැවතිය හැකි බවට තහවුරු කර තිබෙනවා. කෙප්ලර් යානයෙන් ලද තොරතුරු අනුව 2013 වන විට පෘථිවියට ප්‍රමාණයෙන් සමාන ග්‍රහයින් බිලියන 40ක් පමණ සූර්යයා හා සමාන තාරකා හෝ රතු වාමන තාරකා වල CHZ හි පරිභ්‍රමණය කරන බවට තාරකා විද්‍යාඥයින් විසින් අනාවරණය කළා.

මෙයින් ග්‍රහයින් බිලියන 11ක් පමණ සූර්යයා වැනි තාරකා වටා පරිභ්‍රමණය වන බවට පැවසෙනවා. සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත දී හමුවන අපට ආසන්නම ග්‍රහයා සූර්යයාට පාසෙක්ස් 1.3ක් (ආලෝක වර්ෂ 4.2ක්) ඈතින් පිහිටන ප්‍රොක්සිමා සෙන්ටෝරි b නම් රතු වාමන තාරකාවේ CHZහි පරිභ්‍රමණය වෙනවා.

නමුත් තාරකාවක් කාලයත් සමඟ ප්‍රසාරණයේ දී ගොල්ඩිලොක්ස් සීමාව ද වඩාත් ඈතට වෙනස් විය හැකි බවට උපකල්පනය කර තිබෙනවා.

සූර්යයා රතු දැවැන්ත තාරකාවක් බවට පත්වූ පසු පෘථිවිය ගොල්ඩිලොක්ස් සීමාවෙන් පිටත පවතින අතර බ්‍රහස්පති සීමාව තුළට පැමිණෙනවා. (eos.org)

ගොල්ඩිලොක්ස් සීමාව සිතනවාට වඩා විශාල විය හැකියි

ගොල්ඩිලොක්ස් සීමාව සොයාගත් අවධියේ මුළු පෘථිවියමත් එය තුළ නොපිහිටන බව අප සිතුවා. ජීවය ඇන්ටාක්ටිකාවට වඩා ශීතල, ඇටකාමා කාන්තාරයට වඩා වියළි සහ කර්කශ, පතලකට වඩා ගැඹුරු ප්‍රදේශ වල වාසය කළ නොහැකි යැයි ප්‍රසිද්ධ මතය වුණා. එම නිසා ග්‍රහයෙකු මතුපිට උෂ්ණත්වය අපගේ ධ්‍රැව ප්‍රදේශයන්ටත් වඩා පහළ නම්, එම ග්‍රහයා පවතින ප්‍රදේශය CHZට අයත් නැතැයි පිළිගත් මතය වුණා.

නමුත් විද්‍යාඥයින් විසින් පැසෙන උණු දිය උල්පත් වලත්, න්‍යශ්ටික ප්‍රතික්‍රියක වලත්, මාංශය දියවන තරමේ ආම්ලික ජලයේත්, හිරු එළිය ළඟා නොවන මුහුදු පතුලේත් ජීවය සොයාගත් පසු මෙම අදහස් වෙනස් වුණා. එම සොයාගැනීම නිසා, තරුවක ගොල්ඩිලොක්ස් සීමාව අප සිතනා තරමට වඩා පුළුල් විය හැකි බව තීරණය වුණා.

අඟහරු මත ජලය ගලාගිය බවට සාධක. (NASA)

මේ අනුව සූර්යයාගේ ගොල්ඩිලොක්ස් සීමාවේ පිහිටන එකම ග්‍රහයා වන්නේ පෘථිවිය පමණක් නොවෙයි. උණුසුම් සිකුරුත්, ශීතල අඟහරුත් එයට අයත්වනවා. පෙර කලෙක මෙම ග්‍රහයන් දෙකේම ද්‍රව ජලය තිබුණු බවට සාක්ෂි ඇතත්, වර්තමානයේ දී සිකුරු මත ක්‍රියාත්මක වන හරිතාගාර ආචරණයෙන් එහි මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 460ට පමණ ඉහළ දැමීම නිසාත්, අඟහරු මත ඇති කාබන් ඩයොක්සයිඩ් වායුගෝලයේ පීඩනය මුහුදු මට්ටමේ දී පෘථිවි වායුගෝල පීඩනයෙන් 1/99ක් පමණ වන නිසාත් ද්‍රව ජලය පවතින්නට ඉඩකඩ අවමයි.

‘ගොල්ඩිලොක්ස් කලාපය’ පිළිබඳව වන සංකල්පය තවමත් විකාශනය වනවා. ද්‍රව ජලය පැවතීමට සුදුසු තාපය තාරකාවේ රශ්මියෙන්ම පමණක් නොව න්‍යශ්ටික ක්‍රියාවලීන්ගෙන් ද, උදම් ආදියෙන් ද, වායුගෝලීය නොවන වෙනත් පීඩනයන මගින් ද ඇතිවිය හැකි නිසා තාරකාවෙන් වඩාත්ම ඈත පිහිටන ග්‍රහයන්ගේ ද ජීවය පැවතීමේ ඉඩකඩ තිබෙනවා.

එසේම ජලය නොවන ද්‍රවයන් මූලික කරගෙන පැවතිය හැකි උපකල්පිත ජීවයන් සඳහා ද්‍රව ජලය පැවතීමට සුදුසු සීමාවේ පිහිටන ග්‍රහයෙකුම අවශ්‍ය වන්නේ නැහැ. එම නිසා, නව දැනුම සහ සොයාගැනීම සමඟම විකාශනය වන සංකල්පයක් ලෙස මෙම ගොල්ඩිලොක්ස් කලාප සංකල්පය, එනම් CHZ සංකල්පය, සැලකීමට හැකියි.

කවරයේ පින්තුරය: nasa.gov

Related Articles