Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජලය තිතටම පෙරන අධිතාක්ෂණික චීන හිතවතා

බීමට පිරිසිදු ජලය අපට සොයාගන්නට අපහසු විට අපිට ලේසියෙන්ම පාවිච්චි කරන්න පුලුවන් ක්‍රමයක් තමයි සම්මත අනුමත ක්‍රම භාවිත කරලා ජලය පිරිසිදු කරගැනීම. විවිධාකාර ෆිල්ටර සහ ජල ප්‍රතිකාර ක්‍රම සමාජයේ භාවිත කරනවා. ජලසම්පාදන මණ්ඩලය හරහා ජලයේ ඇති මඩ අංශු අවසාදනය කොට, වෙනත් අහිතකර දෑ පෙරාහැර ක්ලෝරීන් මගින් අහිතකර ජීවින් විනාශකර එස් එල් එස් ප්‍රමිතියෙන් අපිට ජලය සම්පාදනය කරනවා. නමුත් ජල සම්පාදන මණ්ඩලයේ ක්‍රමවේද වලිනුත් බැර ලෝහ සහ ජලයේ දිය වී ඇති සංකීර්ණ සංයෝග පෙරීමකට ලක් වන්නේ නෑ.

අඹතලේ ජලපවිත්‍රාගාරය (waterboard.lk)

අඹතලේ ජලපවිත්‍රාගාරය (waterboard.lk)

රජරට වකුගඩු රෝගයට මූලික හේතුවක් ලෙස කෘෂි රසායන සහ බැර ලෝහ එක් එක් අවස්ථාවන්හිදී වාර්ථා වුනා. නමුත් ලංකාව වටාම ජනතාව කෘෂි රසායන භාවිතා කරනවා. ඒ වගේම වකුගඩු රෝගය වැඩිපුර තිබෙන උතුරු මැද පලාතේ තිබෙන බැර ලෝහ ප්‍රමාණයම තිබෙන වෙනත් පලාත් වලින් මෙම වකුගඩු රෝගය වාර්ථා වන්නේත් නෑ.

සැක කරන සාධක සහ වකුගඩු රෝගය ව්‍යාප්ත වී ඇති සිතියම අතර ඇති සම්බන්ධය සනාථ කරන්නට තවමත් විද්‍යාඥයින් සමත් වී නැහැ. එනම් යම් කිසි සාධකයක් නිසා වකුගඩු රෝගය කැබිතිගොල්ලෑවේ ජනයාට වැලදේ නම් එවැනිම පසුබිමක් ඇති ලංකාවේ වෙනත් පලාත් වල ජනයාට එය වැළදීමෙ ප්‍රවනතාවය අඩු වන්නේ ඇයිද යන ගැටළුවට තවමත් පැහැදිලි පිළිතුරක් නම් ලැබී නැහැ. කෙසේ වෙතත් බැර ලෝහ සහිත ජලය භාවිතය, ජානමය සාධක, වෘත්තිය අනුව නිතරම විජලනයට ලක්වීම, ආහාර පුරුදු, කෘෂිරසායන බලපෑම යන කාරණා එකකට වඩා වැඩි ගනනක එකතුවීමෙන් වකුගඩු රෝගය ඇතිවීම වැඩිකරනු ඇති බවට ඇතැම් වෛද්‍යවරුන් මත පළකොට තිබෙනවා.

කාර්යාල මට්ටමින් වුවත් ගෘහස්ථාවත් දැන් දැන් ජල බෝතල් භාවිතය ප්‍රචලිත වෙමින් යනවා. ශීත සහ උණුසුම් ජලය ලබන ජල ඩිස්ට්‍රිබියුටරයක් සහ බෝතල් මේ සදහා අවශ්‍යයි. ජල බෝතල් රැස් කර තබාගැනීම, හිස් වතුර කෑන් තබාගැනීමට සිදු වීම (ඉඩ කඩ ගැටළුව), ජලය සදහා සහ මැෂිම සදහා ගෙවන්නට සිදුවීම, මේ ජල බෝතල් පාවිච්චි කරන අය මුහුනදෙන ගැටළු වලින් කිහිපයක්.

බෝතල් කල ජල වුවත් අතරමැද ප්‍රවාහනයේදී හෝ ගබඩා කිරීම් වලදී හිරුඑළියට නිරාවරණ වීම පළුදු වීම ආදී හේතු නිසා ඇතුලේ තිබෙන ජලය යම්කිසි තත්ව බාලවීමකට ලක්වන්නට පුලුවනි. ඊට අමතරව ව්‍යාජ අනුමත නොවූ බෝතල් බෙදාහරින්නන් සහ බෝතල් වතුර නිශ්පාදකයින් සම්බන්ධ ප්‍රවෘත්තිද අපිට ඉදහිට අසන්නට ලැබෙන නිසා බෝතල් ජලය වැඩි මිලක් දී ගතතා වුවත් ඒ ගැන වැඩි විශ්වාසයක් තබාගන්නට බැහැ.

කෙසේ වෙතත් බැර ලෝහ සහ ජලයේ දියවී ඇති සංයෝග පෙරා පානයට ගැනීමට නවීන තාක්ෂණය මගින් ෆිල්ටර ක්‍රම රැසක් හදුන්වා දී තිබෙනවා. ඒ අතුරින් වඩා හොද ජල පෙරීම් කටයුතු සදහා  රිවස් ඔස්මොසිස් (reverse osmosis) යන ක්‍රමවේදය භාවිත වනවා. භූගත ජලයේ ස්වාභාවිකම ඇති කැඩ්මියම් ආසනික් වැනි බර ලෝහ වගේම කැලිකසල මගින් සහ කර්මාන්ත අප ජලය මගින් අපවිත්‍ර වූ ජලයේ කාබනික සහ අකාබනික  සංඝකටක ඉවත්කරගන්න රිවස් ඔස්මොසිස් ෆිල්ටර භාවිත වෙනවා.

Xiaomi mi water purifier

(blog.alansoon.com)

(blog.alansoon.com)

මි පියුරිෆයර් එක සවිකරන්න තිබෙන්නේ ඔබේ නිවසේ කරාමයකට. ඒ හරහා කරාමයේ ජලය ගොස් එවෙලේම පිරිසිදු වී නැවත ඔබවෙතට එනවා. මේ හරහා සාම්ප්‍රදායක පෙරන හරහා පෙරීමකදී මෙන් දෙවැනි කුටීරයක ජලය එක්රැස් වන්නේ නෑ. නවීන වතුර උණුසුම්කාරක (Domestic Electric water heater)  වලදී ජලය එවෙලේම උණුසුම් වනවා හා සමානව ඉතා ඉක්මනින්ම ජලය මේ ෆිල්ටරය හරහා පෙරීමට ලක් කරාමය හරහා ඔබට පිරිසිදු ජලය ලබාගන්නට හැකි වෙනවා. බැක්ටීරියා කාබනික ද්‍රව්‍ය සහ බැරලෝහ 99.7%කටත් වැඩි ප්‍රතිශතයකින් කාර්යක්ෂමව ඉවත් කරන්නට මේ මි පියුරිෆයර් ෆිල්ටරය සමත්.

(blog.alansoon.com)

(blog.alansoon.com)

මි පියුරිෆයර් ෆිල්ටර කොටස් 4කින් සමන්විතයි. මේ කොටස් වෙන වෙනම පැමිණෙන අතර එක් එක් කොටසින් වන රාජකාරිය වෙනස්. මේ ෆිල්ටර කොටස් බදට සවිවී ඇත්තේ ප්‍රින්ටරයක තීන්ත ටෝනරයක් සවි වනවා හා ඉතා සරල ක්‍රමයකට.ඒ තුලින් ෆිල්ටර ගැලවීම සහ මාරු කිරීම වඩාත් පහසු වෙනවා.

(xiaomi-mi.com)

(xiaomi-mi.com)

මි පියුරිෆයරයේ  මාරු කල හැකි ෆිල්ටර කොටස් 4ක් ඇති අතර ඒවාට විසින් අවස්ථා හතරකදී ජලයේ පිරිසිදු බව වැඩිදියුනු කරනු ලබනවා.

  1.  ජලයේ ඇති ඉතා කුඩා අංශුන් එනම් රොඩු ආදිය පෙරෙන්නට ඇත්තේ පලමුවැනි ෆිල්ටරයෙනි. (ආයුකාලය මාස 3-6 මිල $14).
  2. ශ්‍රී ලංකාව පිලිපීනය වැනි රටවල ඇති විශිෂ්ඨ පොල් කටු අගුරු නවීන තාක්ෂණය අනුව යොදා සිහින්ව කැබලි ලෙස ඇති මේ මගින් ජලයේ දියවී ඇති අනවශ්‍ය රසායනික ද්‍රව්‍ය පෙරීමකට ලක් වෙනවා. ( ආයුකාලය මාස 6-12 මිල $16).
  3. මේ ෆිල්ටරයේ ඇති වැදගත්ම ෆිල්ටර කොටස වන මේ මගින් සාමාන්‍ය ෆිල්ටර මගින් පෙරීමට ලක් නොවන බැක්ටීරියා, කාබනික සංයෝග සහ බැරලෝහ ඉවත් වීමකට ලක් වෙනවා. දැනට ලෝකයේ අප-ජලය පිිරිසිදු කිරීමේ සාර්ථක තාක්ෂණ ක්‍රමවේදයක් ලෙස රිවස් ඔස්මොසිස් ක්‍රමවේදය භාවිත වනවා. (ආයුකාලය මාස 18-24 මිල $117).
  4. මෙයද පොල්කටු අගුරු යොදා සකස් කර ඇති කොටසක් වන අතර ඉතාම පිරිසිදු ජලයේ ඇති රස සාමාන්‍ය ජලයේ ඇති රසට සමපාත කිරීමක් මෙහිදී සිදු වනවා. ඒ හරහා පානීය ජලයේ රසය අපගේ දිවට ගැලපෙන ආකාරයට සකස් කරන්නට මේ ෆිල්ටර කොටස වගබලා ගන්නවා. (ආයුකාලය මාස 6-12 මිල $16).

වසර දෙකකට පමණ මාරු කරන්නට නියමිත විශාල 3 වැනි ෆි්ල්ටරය ලංකාවේ මුදලින් රුපියල් 15,000කට ආසන්න වැඩි මිලක වුවත් අනෙකුත් සාමාන්‍ය මාස 6-12 සීමාවේ ඇති ෆිල්ටර රුපියල් 2000-2500 සීමාවේ තිබෙනවා. මේ මි ෆිල්ටරය චීනයේදී නම් US$200ක් වැනි ඉතා අඩු මිලට ගත හැකි වුවත් ලංකාවට ගෙන්වාගැනීමට නම් $350ක් වැනි  විශාල මුදලක් වැය වෙනවා. ඒ වගේම මේ සම්පූර්ණ පද්ධතියට නැවත ෆිල්ටර් ගෙන්වීමට යෑමේදී නැවතත් නැව් ගාස්තු තැපැල් ගාස්තු ආදිය අපිට නම් ගෙවන්නට සිදු වේවි.

මි පියුරිෆයර් නිමාව

(xiaomi-mi.com)

(xiaomi-mi.com)

මේ අභ්‍යන්තරයේම ජලය පොම්ප කිරීමට අවැසි වන කුඩා විදුලි මෝටර පොම්පයක්ද ඇතුලත් වෙනවා. මේ පොම්පය හරහා පීඩනයෙන් එක් එක් ෆිල්ටර කලා යන ජලය හුවමාරුවේදී ඒ ගමන් වලදී ජල කාන්දු සිදු වීමටත් අධිපීඩනය නිසා අභ්‍යන්තර  බටවල කාන්දු ඇතිවීම සාමාන්‍ය ෆිල්ටරවලදී එන දෝශයක්. එය අවම  කරලීමට මොවුන්  ෆිල්ටර කොටස් සම්පූර්ණ පද්ධතියේ බදට සවිකර ඇත්තේ සිදුරු සහිත විශේෂ සැකැස්මකින්. ඒ හරහා අභයන්තරයේ බට භාවිත කරනවාට වඩා කාර්යක්ෂමව සහ කල්පැවැත්මකින් යුක්තව ෆිල්ටරය භාවිත කරන්නට අපිට අවකාශ ලැබෙනවා.

ෆිල්ටරය තැබූවිට බිම අත්පත් කරගන්නා අවකාශය සාමාන්‍ය A4 කඩදාසියක ප්‍රමාණයටත් අඩුයි. උස අඩියකට වඩා මදක් වැඩි වුවත් පියුරිෆයරය පිහිටුවීමේදී සාමාන්‍ය වතුර බෝතල් යන්ත්‍රයක් තබන්නට හෝ වෙනත් ෆිල්ටරයක් තබන්නට යන ඉඩට වඩා ඉතා කුඩා ඉඩක් තමයි අත්පත් කරගන්නේ.

ෆෝන් වයර්ලස් සම්බන්ධතාවය

(xiaomi-mi.com)

(xiaomi-mi.com)

මේ පියුරිෆයරය විදුලියට සම්බන්ධ කල අවස්ථාවේදීම එහි වයිෆයි සබදතාවය සක්‍රිය වනවා. ඉන් පසු මේ මි පියුරිෆයර් සදහා ඇති ඇප්ලිකේෂන් එක ඔබේ ජංගම දුරකථනය හරහා සක්‍රියකරගන්න හැකියාව ඔබට තිබෙනවා. ඒ අනුව ඒ ඒ ෆිල්ටරයේ තත්වය. වගේම ෆිල්ටරවන ජලයේ තත්වයත් මැන දෙන්නට මේ පියුරිෆයර් මොබයිල් ඇප් එක සමත් වෙනවා.

මෙවැනි පසුව කොටස් යොදන්නට නියමිත ප්‍රින්ටර, ජල පිරිසිදු මැෂින්  වැනි ඒවායේදී නිසි කලට කොටස් මාරු කරන්නට අමතක වීම අප මුහුනපාන ගැටළුවක්. නමුත් මොබයිල් ඇප් එකේ භාවිතය පෙන්නුම් කරන නිසාවෙන් ඉතාම පහසුවෙන් අපිට නිසි වේලාවේදී පියුරිෆයරයේ ෆිල්ටර කොටස් මාරු කිරීමේ හැකියාව ලැබෙනවා

මේ ආකාරයේ කොටස් 4ක් මාරු කල හැකි පියුරිෆයරය චීන නිශ්පාදනයක් වුවත් ඔවුන් ෆිල්ටර නිපදවීමේදී ජපානයේ සහ ඇමරිකාවේ ප්‍රකට සමාගම් හි සහාය ලබාගෙන තිබෙනවා. ඒවගේම ඔවුන් පවසන ආකාරයට මෙම ෆිල්ටරය කාලාන්තරයක් තිස්සේ ඔවුන් කල අත්හදා බැලීමක ප්‍රථිපලයක්. මෙහි ඇති එක් අඩුපාඩුවක් නම් රිවස් ඔස්මොසිස් ෆිල්ටරය සදහා එක් අපජලය නිකුතුවක් අවශ්‍ය වෙනවා.එ් කියන්නේ ෆ්ල්ටරයේ අපවිත්‍ර ජලය මුදාහැරී්මට වෙනමම කුඩා බටයක් භාවිත වෙනවා. මේ අපජලය නිවසේ බිම ඇමදීම මල් පැල තෙමීම ආදියට පාවිච්චි කරන්න පුලුවන් කියලයි සමාගම කියන්නේ.

මි පියුරිෆයරයේ වාසි

ජලය ගබඩාකරගැනීමෙකින් තොරව එවෙලේම පෙරීමකට ලක් වීම, මොබයිල් ෆෝන් එක හරහා ෆිල්ටර වල තත්වය බලාගැනීමට හැකිවීම, අලංකාර නිමාවකින් යුක්ත නිසා නවීන මුළුතැන්ගෙයකට පෙනුමට වුව ද ගලපාගත හැකිවීම, කුඩා අවකාශයක් ලබාගැනීම, සාපේක්ශව මිල අඩුවීම වගේම සවිකිරීම සහ ෆිල්ටර් මාරුව පහසු වීමත් මි පියුරිෆයරයේ වාසි හැටියට හඳුන්වන්න පුළුවන්.

මි පියුරිෆයරයේ අවාසි

කොච්චර හොඳ වුනත් අවාසිත් නැතුවම නෙමෙයි- අපවිත්‍ර ජල බටයක් පැවතීම හා එ් සදහා වෙනමම අවකාශයක් දීමට සිදුවීම, මිලදී ගැනීම සහ ෆිල්ටර ඉක්මනින් මිලදී ගැනීමට නොහැකීවීම වගේම ෆිල්ටර කොටස් හැර අභ්‍යන්තර කොටස් මාරු කිරීඹට අපහසු වීමත් මෙහි ඇති අවාසිදායක තත්ත්ව හැටියට හඳුන්වන්න පුළුවන්.

හැකිපමණ හොදින් පෙරාගත්තත් උතුරුවා නිවාගත්තත් බැර ලෝහ  හා රසායනික ද්‍රව්‍ය අවධානමක් තිබේනම් අපිට වඩාත් සුදුසු වන්නේ රිවස් ඔස්මොසිස් ආකාරයේ ෆිල්ටරයක්ම තමයි. දැනට ලංකාවේ වියලි කලාපයේ ඈත ගම් දනව් හැරුන විට ජලයේ බැර ලෝහ පැවතීමෙ  අවධානම කොළඹ සහ තදාසන්න පැත්වල අයට අඩුයි. එහෙත් කෙලින්ම ලැබෙන නල ජලය උතුරුවා නිවාගෙන පානය කරනවාට වඩා ලෙහෙසියෙන් පහසුවෙන් ෆිල්ටරයක් හරහා නැවත ජලය පෙරා පාවිච්චියට ගන්නට දැන් දැන් ජනතාව උනන්දු වෙනවා.

නවීන තාක්ෂණය අනුව දියුනු කල ස්මාට් ෆිල්ටරය හොද ෆිල්ටරයක් සොයන අයට හොද ප්‍රවෘත්තියක් වෙයි. ඉන්දියාවටත් මෑත කාලයේ නිකුත් කල මේ මි පියුරිෆයරය ඉන්දියන් රුපියල් 23,000 ක් ලෙස මුලදී මිල කොට තිබුනා. ලංකාව කුඩා වෙළදපොලක් නිසා ඉන්දියාවට එන හැමදේම මෙහෙට ලාබෙට එන්නේ නෑ. තත්වය එහෙම වුනත් පිරිසක් ඉන්නවා නම් ලංකාවේ අයට වුනත් බොහොම ලේසියෙන් මේ මි වෝටර් පියුරිෆයරය සහ ෆිල්ටර බෙදාහැරීම කරගන්නට හැකියාව තිබෙනවා. දැනට ලාංකික වෙළදපොලේද රිවස් ඔස්මොසිස් තාක්ෂණය සහිත හොද තත්වයේ සාමාන්‍ය ෆිල්ටරයක මිල රුපියල් 40,000කට වැඩි මිසක් අඩු නැහැ. ඊට වඩා නවාංග කිහිපයක්ම සහිත මේ ෆිල්ටරයත් කෙලින්ම චීනයෙන් මිලදී ගන්නට හැකියාව තිබුනානම් මෙහෙ වෙළදපොලේ  තියන ෆිල්ටර් වලට වඩා සාපේක්ෂව බොහෝම වාසියක් ලැබෙනවා.

මි සමාගම සහ අඩුමිල

Xiaomi Mi කියන්නේ චීනයේ විශාලතම ජංගම දුරකථන වෙලෙන්දා. මි නාමය සහිත ඉයර්ෆෝන්, බැටරි බැංකු ආදිය ලංකාවෙත් ජනප්‍රිය වී තිබෙනවා. ඉතාම කෙටිකලකින් වෙළදපොලට පැමිණ චීනයේ විශාලතම ස්මාට්ෆෝන්  වෙලෙන්දා වූ මි සමාගම තරුණ වයසේ පසු වන චීන ජාතිකයින් කෙමෙන් කෙමෙන් ස්මාට් ෆෝන් වලින් ස්වයංපෝෂීත වී සංතෘප්ත වෙමින් යද්දී ගෙදර දොර උපකරණ නිපදීමටත් මි සමාගම සිය අවධානය යොමුකලා.

ඒ අනුව ඔවුන් ජල පෙරණ යන්ත්‍ර වායු පෙරණ යන්ත්‍ර වැනි ඒවා නිපදවන්නට වුනා. සාාමාන්‍යයෙන් ලෝක මට්ටමේ නමගිය ස්මාට්ෆෝන් ඒ ආකාරයේම අංගෝපාංග සහිතව  මිලෙන් බාගෙකට වඩා අඩුවෙන් චීන ජනතාවට ලබා දෙන්න මී සමාගම සමත් වුනා. මේ වතුර පෙරණයත් ඒ වගේ, මෙවැනි අධිතාක්ෂණික වතුර පෙරණ යන්ත්‍ර යුරෝපා ජපාන වෙළදපොලවල තිබුනත් මිල අතින් නම් මේ තරම් පහසුවක් බොහෝවිට ඒවායේ දකින්නට නැහැ.

අපිට පහසුවෙන්ම ලබාගන්නට බැරි තරමකට මදක් දුර වුවත් මේ ලිපිය හරහා හරහා මේ වැදගත් උපකරණය ගැන ඔබට යම්කිසි අවබෝධයක් ලැබෙන්නට ඇතැයි අපි සිතමු.

කවරයේ පින්තුරය: ghanazine.com

Related Articles