පෘථිවිය හා ග්‍රහකයක් ගැටීමේ අවදානම තුන් ගුණයකින් වැඩි වෙයි

විශ්වය අන්තරාදායක තැනක්. මිනිස් සිරුරකට කිසිසේත්ම ඔරොත්තු නොදෙන විකිරණ, ඉතා දැඩි ශීතල සහ පීඩන මෙම අන්තරාදායක බවට හේතු කිහිපයක් වන අතර මින් සමහරකට ඔරොත්තු දෙන මට්ටමකට ග්‍රහලොවක් ලෙස පෘථිවියත් සැකසී නැහැ.

මානවයා සම්භවය වූ දා පටන් එය මිහිමතින් තුරන් වී යාම සඳහා වූ ප්‍රධානතම අනතුරක් ලෙස සැලකුණේ විශාල ග්‍රහකයක් පෘථිවිය හා ගැටීම යි. අතීතයේ ඩයිනෝසරයින්ගේ වඳවීම ද විශාල ග්‍රහකයක් නිසා සිදු වූ බවට සැලකෙන අතර අනාගතයේ දී ද එවැන්නක් පෘථිවිය හා නොගැටේයැ යි කිසිවෙකුට කිව නොහැකි යි. නිතර නිතර පෘථිවිය හා ග්‍රහක ගැටුණ ද ඉන් බහුතරය හානිදායක නොවන තරම් කුඩා ඒවා වෙනවා. කෙසේ නමුත් යම් හෙයකින් විශාල ග්‍රහකයක් පෘථිවිය හා ගැටෙන්නට පැමිණියහොත් වර්තමාන තාක්ෂණය යටතේ ඊට එරෙහිව කළ හැකි දේ අල්ප යි.

පසුගිය දා විද්‍යාඥයින් පිරිසක් ලොමු ඩැහැගැන්වෙන අන්දමේ සොයාගැනීමක් කළා. ඒ ඩයිනෝසරයින් මිහිමත විසූ කාලය හා සැසඳීමේ දී වර්තමානය වන විට ක්‍රම ක්‍රමයෙන් පෘථිවිය හා ග්‍රහක ගැටීමේ සීග්‍රතාව වැඩි වී ඇති බව යි. මෙය තුන් ගුණයකින් පමණ වැඩි වී ඇති බැව් සොයාගෙන ඇති අතර මේ අනුව ඇත්තෙන්ම සිතා සිටියාට වඩා පෘථිවිය මුහුණ දෙන ‘ග්‍රහක අවදානම’ තුන් ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

ඩයිනසෝරයින්ගේ වඳවීම දැක්වෙන සිතුවමක්- Roger Harris/Science Photo Library / Getty Images

පර්යේෂණයෙන් ලැබුණු ප්‍රතිඵල

නාසා ආයතනය හා අනුබද්ධ පර්යේෂක කණ්ඩායමේ සාමාජිකයෙකු වන, සදම්ටන් විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු වන ආචාර්ය ග්‍රෙනන් පවසන්නේ ඔවුන් මේ සඳහා අධ්‍යයනය කළේ චන්ද්‍රයා බව යි. පිහිටීම අනුව චන්ද්‍රයාට ද පෘථිවිය හා සමානවම ග්‍රහක ඝට්ටනයන් සිදුවන අතර පෘථිවියේ මෙන් නොව චන්ද්‍රයා මත යමහල් විදාරණ, වායුගෝලීය සුළං, භූ තැටි ඔබමොබ යාම් සිදු නොවන නිසා ඒවායින් භූමිය මත ඇතිවන කැලැල් දීර්ඝ කාලයක් පවතින බවත්, ඒ නිසා ඒ අනුරූපව පර්යේෂණය පහසුවෙන් දියත් කළ බවත් ඔහු තවදුරටත් කියා සිටිනවා.

පර්යේෂක කණ්ඩායම නාසා ආයතනය මඟින් දියත් කරන ලද ඇපලෝ වැඩසටහනේ දී එකතු කරගත් චන්ද්‍ර නියැදි මේ සඳහා භාවිතා කර තිබෙන අතර ඒ අනුසාරයෙන් මීට වසර මිලියන ගණනක සිට චන්ද්‍රයා මතට ග්‍රහක කඩාවැටෙන සීග්‍රතාවය ගණනය කර තිබෙනවා. චන්ද්‍ර පාෂාණ මත ග්‍රහක ඝට්ටනය වීමෙන් ඇති වී තිබෙන කඩතොලු වල පැරණි බව නිර්ණය කිරීම මෙහිදී ප්‍රධාන පියවරක් වූ අතර ඒ සඳහා නවීන තාක්ෂණයේ පිහිට ලබාගන්නට ඔවුන් කටයුතු කර තිබෙනවා. මේ ගණනය කිරීම සෑහෙන තරම් නිවැරදි බවට ඔවුන් සහතික වෙනවා.

චන්ද්‍රයාගේ පාෂාණ- NASA

පර්යේෂණයේ ප්‍රතිඵල ලෙස විද්‍යාඥයින් සොයාගෙන තිබෙන්නේ මින් පෙර සොයගෙන නොතිබූ කරුණක්. එනම් මීට වසර මිලියන 65 කට පෙර ඩයිනෝසරය්න්ගේ නෂ්ඨ වීමට හේතු වූ ග්‍රහකය පෘථිවිය සිපගත් දා පටන් ක්‍රම ක්‍රමයෙන් පෘථිවිය හා චන්ද්‍රයා මත ගැටෙන ග්‍රහක සීග්‍රතාවය ඉහළ ගොස් ඇති බව යි. එය ක්‍රමික වර්ධනයක් පෙන්වා ඇති අතර වර්තමානය වන විට එය 300% ක් තරම් ඉහළ අගයකට පත් වී තිබෙනවා.

ග්‍රහක ඝට්ටන සීග්‍රතාව වැඩි වීමට හේතු

උක්ත සොයාගැනීම කළ වහාම විද්‍යාඥයින්ගේ අවධානය යොමු වූයේ මෙලෙස සිදුවන්නේ ඇයි ද යන්න සොයා බැලීමට යි. එහිදී මතයන් කිහිපයක්ම ඉදිරිපත්ව තිබෙන අතර වර්තමානය වන විට වඩාත්ම පිළිගැණෙන මතය වන්නේ සෞරග්‍රහමණ්ඩලයේ ඔබමොබ සැරිසරන ග්‍රහක විටින් විට විවිධ පාරිසරික තත්ත්ව වලට මුහුණපෑම නිසා කාලයත් සමග කැබලි වලට පුපුරා යාම යි.

සෞරග්‍රහමණ්ඩලයේ දක්නට ලැබෙන ග්‍රහක බහුතරයක් උපත ලබන්නේ අඟහරු හා බ්‍රහස්පති අතර ඇති ඇස්ටරොයිඩ පටියේ යි. මේවායේ විවිධ කොටස් කාලයත් සමග විටින් විට හිරු වෙත යොමු වී රත් වීම මෙන්ම ඉන් අනතුරුව අනෙක් පසට හැරී සිසිල් වීම නිසා කැබලි වලට කැඩෙන අතර අනෙක් අතින් එකිනෙක හා ගැටීම නිසා ද කැබලි වලට කැඩී යනවා. ප්‍රතිඵලය වන්නේ ග්‍රහක ප්‍රමාණය වැඩි වීමයි. මින් සමහරක් ඇස්ටරොයිඩ පටියෙන් පිටතට පැන පෘථිවිය ඇතුළු ග්‍රහලෝක වල ගුරුත්වයට හසුවී, ඒ මතට කඩා වැටෙනවා. ග්‍රහක කැබලි ඇස්ටරොයිඩ් පටියෙන් ඉවතට පැනීමටත් හිරු එළියෙන් ලැබෙන ශක්තිය හේතු වෙනවා.

ඇස්ටරොයිඩ පටියේ පිහිටීම- Space Facts/Laurine Moreau

පෘථිවිය මුහුණපාන අවදානම වැඩි වන්නේ ඇයි?

කාලයත් සමග ග්‍රහක කැබලි වලට කැඩී යනවානම් ඒවා පරිමාවෙන් අඩු වීම නිසා පෘථිවියට කඩා වැටුණහොත් ඇති වන හානිය අඩු නොවන්නේ මන්දැ යි සමහරු තර්ක කරනවා. ඇත්තෙන්ම ඇස්ටරොයිඩ පටියේ විශාල ග්‍රහක ඉන් පිටතට පැනීමට දක්වන සම්භාවිතාවට වඩා වැඩි සම්භාවිතාවක් කුඩා ග්‍රහක කැබලිවලට පැවතීමත්, සෞරග්‍රහමණ්ඩලය සලකන කල්හී ඒවා කුඩා වූවාට ඒවා බහුතරය පෘථිවිය හා ගැටුණහොත් විශාල හානියක් සිදුකරන තරම් විශාල ඒවා වීමත් නිසා එලෙස සතුටු වන්නට පෘථිවි වැසියන්ට නොහැකියි.

දැන් ගණනය කර තිබෙන අන්දමට මීට වසර මිලියන 90කට පෙර කාලය සැලකීමේ දී කි.මී 1කට වඩා පළලකින් යුතු ග්‍රහකයක් සෑම වසර මිලියන 3-5 අතර කාලයක දී පෘථිවිය හා ගැටී තිබෙනවා. කෙසේ නමුත් වර්තමානය වන විට සෑම වසර මිලියන 1-2 අතර කාලයක දී එවැනි ග්‍රහකයක් පෘථිවිය හා ගැටීමේ සම්භාවිතාවක් තිබෙන බැව් සොයාගෙන තිබෙනවා.

අවදානම හේතුවෙන් වන සූදානම

ග්‍රහක අවදානමෙන් මිදෙන්නට විද්‍යාඥයින් නිතරම පර්යේෂණ සිදුකරනවා- Dominic Hart/ NASA

පර්යේෂණවල ප්‍රතිඵලවලින් පෘථිවිය හා ග්‍රහකයක් ගැටීමේ අවදානම ඉහළ ගොස් තිබුණ ද නාසා ආයතනය පවසන්නේ නොදුරු අනාගතයේ දී එවැනි අවාසනාවන්ත සංසිද්ධියක් වන ලකුණු පහළ වී නොමැති බව යි. වර්තමානය වන විට පෘථිවිය අවට සැරිසරන යම්කිසි ලෙසකින් හෝ අනතුරුදායක ග්‍රහක පිළිබඳව ඔවුන් නිරන්තර අවධානයෙන් පසු වෙනවා. මීට අමතරව දිනෙන් දින දියුණු වන තාක්ෂණය හමුවේ පෘථිවිය කරා එන අනතුරුදායක ග්‍රහකවල දිශානතිය වෙනස් කිරීමට හෝ ඒවා විනාශ කරන්නට හැකි සාර්ථක ක්‍රමවේදයන් ලොව බිහිවනු ඇතැයි ඔවුන් විශ්වාසය ඵලකරනවා.

Related Articles