දියතෙන් එපිට පිහිටි සයුර, “ක්‍රැකන් මාරේ”

 

ටයිටන්

සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහලෝක අටෙන් බුධ සහ සිකුරු යන ග්‍රහයන් දෙදෙනා හැර, අනෙකුත් සාමාජිකයන් හය දෙනාටම උපග්‍රහයන් එකක් හෝ කිහිපයක් පවතී. මේ අතරින් සෙනසුරු ග්‍රහලොවට අයත් විශාලතම උපග්‍රහයා වන ටයිටන් අන් කවර ග්‍රහ වස්තුවකටත් වඩා සුවිශේෂී වන කාරණයක් ඇත. ඒ, ටයිටන් සතුව ඇති සුවිසල් විල් සහ මුහුදු නිසා යි.

දැනට පෘථිවිය හැරුණුකොට, සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහ වස්තූන් අතරින් මතුපිට ද්‍රව ස්වභාවයෙන් පවතින විල් සහ මුහුදු නිරීක්ෂණය වී ඇත්තේ ටයිටන් මත පමණි. එහෙත් මෙම විල් සහ මුහුදු පිරී ඇත්තේ පෘථිවියේ මෙන් ජලයෙන් නම් නොවේ. ටයිටන්ගේ මේ මුහුදු පිරී ඇත්තේ මීතේන් සහ අනෙකුත් හයිඩ්‍රෝකාබනවලිනි.

ටයිටන්ගේ හයිඩ්‍රෝකාබනවලින් පිරි මුහුදුවලින් විශාලතම මුහුද හඳුන්වන්නේ “ක්‍රැකන් මාරේ” නමිනි. එය ටයිටන් උපග්‍රහයාගේ උත්තර ධ්‍රැවයට වන්නට පිහිටා ඇත. ක්‍රැකන් මාරේ වර්ග සැතපුම් 154,000ක පමණ වපසරියක් ඔස්සේ පැතිර පවත්නා අතර, එය සංසන්දනාත්මකව පංච මහා විල්වලින් එකක් වන සුපීරියර් විල මෙන් පස් ගුණයක් පමණ විශාලත්වයක් දක්වයි. මෙම සුවිශාල හයිඩ්‍රෝකාබන් සයුර මුලින්ම අනාවරණය කර ගන්නා ලද්දේ 2008 වර්ෂයේ දී කැසිනි යානය විසිනුයි.

පුරාණ ස්කැන්ඩිනේවියානු දේව කතාවල පැවසෙන පරිදි “ක්‍රැකන්” යනු භයංකර මුහුදු රකුසෙකි. “මාරේ” යනු ලතින් බසින් මුහුදට කියන නම යි. මෙම සයුරට ක්‍රැකන් මාරේ යන නම පටබැඳුනේ පැරණි දේව කතා අනුසාරයෙනි.

කැසිනිගේ නිරීක්ෂණයන්

ක්‍රැකන් මාරේ

NASA ආයතනයට අයත්ව තිබූ සෙනසුරු-කක්ෂගත කැසිනි යානය මඟින් ක්‍රැකන් මාරේහි මූලික නිරීක්ෂණයන් සිදුවිය. ඒ අනුව ක්‍රැකන් මාරේහි නැගෙනහිර වෙරළ දිගේ කිලෝමීටර 40ක දුරක් රේඩාර් මිනුම් මඟින් කළ නිරීක්ෂණවලට අනුව එහි ගැඹුර මීටර් 20 සිට 35 දක්වා වූ පරාසයකින් වෙනස් වන බව පර්යේෂකයෝ අනාවරණය කරගත්හ.

එහෙත් කැසිනි ගවේශනය කළේ පිටාර ගැලීමකට ලක්වූ ගංගා නිම්නයක මෝදර අසල පිහිටි ක්‍රැකන් මාරේහි එක් කුඩා කොටසක් පමණි. එම නිසා මුහුදේ වඩාත් ගැඹුරුම තැන් කැසිනි අතින් නිරීක්ෂණයට ලක් නොවුණී. කැසිනිගේ රේඩාර් තරංග විනිවිද යන දුරට වඩා ක්‍රැකන් මාරේ සයුර ගැඹුරු නිසා එවැනි තැන් නිරීක්ෂණය කිරීමට කැසිනි අපොහොසත් වූ බව ඒ අනුව විද්‍යාඥයින් නිගමනය කළේ ය.

කැසිනි නැවතත් වර්ෂ 2014 අගෝස්තු 21 වන දින මෙම හයිඩ්‍රෝකාබන් සයුරේ ගැඹුර මැනීම සිදු කළ අතර, එහිදී අනපේක්ෂිත ලෙස ක්‍රැකන් මාරේහි අද්භූත දීප්තිමත් වස්තූන් දෙකක් කැසිනිගේ නිරීක්ෂණයට ලක්විය. මෙම දීප්තිමත් වස්තූන් මීට පෙර තවත් විශාල ටයිටන් මුහුදක් වන ලිජියා මාරේහි දී දැකගත හැකි දූපත් වැනි අංගයන්ට සමාන ලක්ෂණ පෙන්නුම් කළ බව කියැවේ. කැසිනි රේඩාර් මිනුම්වලින් හෙළිවූ පරිදි ලිජියා මාරේ අඩි 560ක් හෙවත් මීටර් 170ක් පමණ ගැඹුරු මුහුදකි. කෙසේ නමුත් ක්‍රැකන් මාරේහි නිරීක්ෂණය වූ මෙම දීප්තිමත් වස්තූන් පිළිබඳ විද්‍යාඥයින්ට ස්ථිර නිගමනයකට පැමිණීමට නොහැකි වූ අතර, ඒවා ද්‍රව තරංග, විශාල වායු බුබුළු හෝ පාවෙන ද්‍රව්‍යයන් විය හැකි බවට අනුමාන කෙරිණි.

ක්‍රැකන් මාරේ මුහුදේ සංයුතිය සහ අනෙකුත් බොහෝ ගුණාංග තවමත් පරීක්ෂාවට ලක් වෙමින් පවතී. ක්‍රැකන් මාරේ සයුරේ නිශ්චිත සංයුතිය තවමත් හඳුනාගෙන නොමැති වුවත්, එහි 75%ක් පමණ එතේන්, 10%ක් මීතේන්, 7%ක් ප්‍රොපේන්, සහ හයිඩ්‍රජන් සයනයිඩ්, නයිට්‍රජන්, සහ බෙන්සීන් වැනි රසායනික ද්‍රව්‍ය අඩංගු බව දළ වශයෙන් ගණන් බලා ඇත. ටයිටන් ග්‍රහයාගේ දැනට අනාවරණය කරගෙන ඇති අනෙකුත් විල් සහ ඒවායේ ගැඹුර ආදී තොරතුරු තවමත් පර්යේෂණ මට්ටමේ පවතී.

නාසා ආයතනය පාරභෞමික සයුරු තරණයකට පිඹුරුපත් සකසයි

පෘථිවියෙන් පිටත නමුත් සෞරග්‍රහ මණ්ඩලය තුළම පිහිටි මෙම සුවිශේෂී සාගර භූගෝලීය සංසිද්ධියේ පූර්ණ විමර්ශනයක අවශ්‍යතාවය දැන් NASA ආයතනයට දැනී අවසන්. ක්‍රැකන් මාරේ තුළ පවත්නා ද්‍රවයන්හි රසායනික සංයුතිය, මතුපිට ස්ථරය, සහ ඇතුළත ස්ථරයන්හි තරංගවල ස්වභාවය, ද්‍රව කඳේ මිශ්‍රවීම් සහ ස්ථරයන් වෙන්ව පවත්නා ආකාරය, වඩදිය, බාදිය, සහ සුළං රටා, ආගාධවල පිහිටීම් සහ ඒවායේ ගැඹුර යනාදී ටයිටන් සමුද්‍ර පරිසරයේ සියළු තොරතුරු අනාවරණය කරගත හැකි වන්නේ ස්ථානීය ගවේශනයකින් පමණි. මෙම පරීක්ෂණ සෞරග්‍රහ මණ්ඩලයේ කාබනික සංයෝගවල පරිණාමය පිළිබඳ අපගේ අවබෝධයේ සැලකිය යුතු දියුණුවක් ඇති කිරීමට හේතු විය හැකි අතර, එම නිසා පෘථිවියේ ජීවයේ පරිණාමය සහ මන්දාකිණියේ වෙනත් තැන්වල ජීවයේ විභවයන් අවබෝධ කර ගැනීමේ මාවතේ තීරණාත්මක පියවරක් වනු ඇත.

සබ්මැරීනය

 

නමුත් මෙම අද්විතීය පියවර සාක්ෂාත් කර ගැනීමට නම් අපට ටයිටන්හි විශාලතම සයුරේ පිහිනීමට හැකි විය යුතු ය. කෙටියෙන් කිවහොත් සබ්මැරීනයකින් මෙම ගවේශනය සිදු කිරීමට හැකියාවක් පවතී නම් ඉහත සඳහන් සියළු කරුණු සාක්ෂාත් කර ගැනීමට විද්‍යාඥයින්ට හැකි වනු ඇත. මෙතෙක් කලක් එබඳු යානයක් කෙබඳු අන්දමේ විය යුතු ද, එය ක්‍රියාත්මක වන්නේ කෙසේ ද, හෝ එය නිපදවිය යුත්තේ කෙසේ ද යන්න පිළිබඳ නිශ්චිත සැලසුමක් නොතිබුණු නමුත්, මේ වනවිට ක්‍රැකන් මාරේ ගවේශන යානයකට සංකල්පීය සැලසුම් යෝජනා වී ඇත.

නාසා ආයතනය මේ වනවිට තමන්ගේම ටයිටන් බලා පිටත්වීමේ මෙහෙයුමකට වැඩකටයුතු සකස් කරන අතර, ඩ්‍රැගන්ෆ්ලයි නම් රොටර අටක ඩ්‍රෝන යානය 2026 දී දියත් කිරීමට නියමිත ය. සියල්ල සැලසුමට අනුව සිදු වුවහොත්, ඩ්‍රැගන්ෆ්ලයි 2034 දී ටයිටන්වලට ගොඩබසිනු ඇත. ඉන්පසු ටයිටන්හි සංකීර්ණ රසායන විද්‍යාව සහ විභවය අධ්‍යයනය කිරීමට විවිධ ස්ථාන ගණනාවක එය සංචාරය කිරීමට නියමිත ය.

ටයිටන් ගවේශනයේ ඊළඟ පියවර ලෙස ක්‍රැකන් මාරේ ඇතුළු අනෙකුත් ටයිටන් සයුරු ගවේශනය උදෙසා වූ සබ්මැරීනය කරළියට පැමිණිය හැකිය. කෙසේ නමුත් නාසා ආයතනය මෙම සබ්මැරීනයේ අදහස නිල මෙහෙයුමක් ලෙස තවමත් තෝරාගෙන නැත. නමුත් NASA Glenn Research Centerහි සේවයේ නියුතු ස්ටීවන් ඕල්සන් සහ ඔහුගේ කණ්ඩායම NASA Innovative Advanced Concepts (NIAC) වැඩසටහන හරහා වට දෙකක් යටතේ අරමුදල් ලබාගෙන, මෙවැනි අභ්‍යාවකාශ සබ්මැරීනයක් තැනීම පිටුපස තිබෙන ප්‍රායෝගික ගැටළු විසඳන නව මානයන් සහ තාක්ෂණික පසුබිම ගැන අධ්‍යනයන් පවත්වමින් සිටිති. ඕල්සන් පවසන පරිදි ටයිටන් සමුදුරු ගවේශනය උදෙසා ගැලපෙන සබ්මැරීනයක මූලික ඉංජිනේරු සැලැස්ම සකසා ගැනීම මෙම අධ්‍යනයන්හි මූලික පරමාර්ථය වේ.

නමුත් මෙම ක්‍රියාන්විතයේ දී ඕල්සන් ඇතුළු කණ්ඩායම මුහුණ දෙන ගැටළු අතරින් එකක් වනුයේ ටයිටන් උපග්‍රහයාගේ පරිසරයේ පවතින සුවිශේෂීතා හමුවේ මෙම සබ්මැරීනය කුමනාකාරයේ අභියෝගයන්වලට ලක් විය හැකි ද යන්න ය. එයින් එක් අභියෝගයක් වන්නේ ටයිටන්හි පවතින අඩු ගුරුත්වාකර්ෂණය ය යි. එය පෘථිවි ගුරුත්වාකර්ෂණයෙන් 14%ක් පමණි.එයින් ගම්‍ය වන කරුණ වන්නේ පෘථිවියේ සයුරක කිමිදෙන විට දැනෙන පීඩනයට වඩා ඉතා අඩු පීඩනයකට ක්‍රැකන් මාරේ වැනි සයුරක දී මෙම සබ්මැරීනය යටත් වන බව ය.

සබ්මැරීනය මෙසේ දිස්වනු ඇත.

 

ටයිටන් සයුරු පිරී ඇත්තේ පෘථිවියේ සයුරුවලට වඩා වෙනස් මාධ්‍යයකින් වුවත්, සබ්මැරීනයකට එහි කිමිදීම කළ නොහැක්කක් නොවන බව ඕල්සන්ගේ අදහස ය. සබ්මැරීනයකට පහසුවෙන් දියර හයිඩ්‍රොකාබන හරහා ගමන් කළ හැකි බව ඔහුගේ විශ්වාස යි.

සමුදුරු ගවේශනයට අවශ්‍ය සන්නිවේදන උපකරණ සහ විද්‍යාත්මක උපකරණවලට ඉඩපහසුකම් සැලසීමෙන් පසු මෙම සබ්මැරීනය 1500kg පමණ ස්කන්ධයකින් සහ මීටර් 6ක් පමණ දිගකින් යුක්ත වනු ඇතැ යි අනුමාන කෙරේ. අභියෝග, දුෂ්කරතා මැද NASA ආයතනය මෙම සුවිශේෂී පාරභෞමික සමුදුරු කිමිදුම 2040 වර්ෂයේ දී පමණ සාක්ෂාත් කරගැනීමට බලාපොරොත්තුවෙන් සිටියි.

පෘථිවියේ සාගරයන් තුළ පවා තවමත් ළඟා වීමට නොහැකි වූ, නිරීක්ෂණයට ලක් නොවූ පෙදෙස් තිබේ. තවමත් පෘථිවියේ සාගරයන් තුළින් නිරන්තරයෙන් අළුත් ජීවි විශේෂයන් ලෝකයට අනාවරණය වෙමින් තිබේ. එවැනි පසුබිමක මේ දියතෙන් එපිට පවතින ක්‍රැකන් මාරේ වැනි සුවිසල් හයිඩ්‍රෝකාබන මුහුදු ල අපට කුමනාකාරයේ පරිසරයක් මුණගැසේවි ද?

Related Articles