අපේ හිරු මඬලෙන් එහා විශ්වය

අප ජීවත්වන සෞරග්‍රහ මණ්ඩලය කියන්නේ සුර්යයා වටා භ්‍රමණය වන ග්‍රහලෝක 8 කට. ඒත් මේ මුළු විශ්වයට ම තියෙන එක ම සෞරග්‍රහ මණ්ඩලය මේක විතරක් නෙමෙයි. අපේ ක්ෂිර පථයේ ම විතරක් තව ග්‍රහ මණ්ඩල 3200 ක් විතර විද්‍යාඥයන් දැනට හොයාගෙන තියෙනවා. සමහර විට ජීවින් ඉන්න ග්‍රහලෝකත් ඒවායේ තියෙන්න ඉඩ තියෙනවා. හැබැයි ඒ එකක වත් ස්වභාවය කොහොමද කියලා හරියට විස්තර කරන්න තවමත් විද්‍යාඥයන්ට බැරිවෙලා තියෙනවා. මොකද අපේ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටතට යානා යවන එක ලේසි පහසු වැඩක් නොවන නිසා. ඒවගේමයි දුරේක්ෂයකින් තාරකාවක් අවට තියෙන ග්‍රහලෝක නිරීක්ෂණය කරනවා කියන්නේ හරියට හැතැම් ම ගාණක් ඈත තියෙන ප්‍රදීපාගාරයක දැල්වෙන විදුලි පහන අසල ඉන්න කණාමැදිරියන් හොයනවා වගේ වැඩක්. කොහොම නමුත් මේ වෙද්දි අපේ සෞරග්‍රහ මණ්ඩලයෙන් එපිට විශ්වය ගැන හොයා ගෙන තියෙන කරුණු ගැන දැනගන්න මේ ලිපිය වැදගත් වේවි.

සෞරග්‍රහ මණ්ඩලයේ කෙළවර

සෞරග්‍රහ මණ්ඩලයේ කෙළවරේ ම තියෙන ග්‍රහලෝකය තමයි නෙප්චුන් කියන්නේ. විශ්වයේ ආලෝක වර්ෂවලට මෙහා දුර මනින ඇස්ට්‍රොනොමිකල් ඒකක (Astronomical Unit) එහෙමත් නැත්තම් කෙටියෙන් AU වලින් මැන්නා ම නෙප්චුන්වලට පෘථිවියේ ඉඳන් තිබෙන දුර 30 AU පමණ වෙනවා. AU එකක් සමාන වෙන්නේ පෘථිවියේ ඉඳන් සුර්යයාට තියෙන දුර ප්‍රමාණයට. ඒ කියන්නේ ආසන්න ව කිලෝමීටර මිලියන 150 ක්. නෙප්චූන්වල ඉඳන් තවත් 25 AU ක දුරක් යනකන් ප්‍රදේශය ක්වීපර් පටිය (Kuiper Belt) විදිහටයි හඳුන්වන්නේ. ප්ලුටෝ, හව්මෙයා (Haumea), එරිස් (Eris) වගේ වාමන ග්‍රහයන්, පාෂාණ වස්තු සහ අයිස් මේ ක්වීපර් පටියේ අඩංගු වෙනවා. කෙටි කාලීන වල්ගාතරු හෙවත් වසර 3 සිට 200ක් දක්වා කාලවර්තයක් සහිත වල්ගාතරු පැමිණෙන්නේ මේ ක්වීපර් පටියේ ඉඳන්. උදාහරණ විදිහට වසර 6.5ක කාලවර්තයක් සහිත “67P” වල්ගාතරුව සහ වසර 74.42 ක කාලවර්තයක් සහිත “හැලිගේ ධූමකේතුව” දැක්විය හැකියි. මේ වල්ගාතරුවල කක්ෂයන් බොහෝ දුරට නියතව පවතිනවා.

solar system
සෞරග්‍රහ මණ්ඩලය / Quizizz

සෞරග්‍රහ මණ්ඩලයේ කෙළවර විදිහට නම් කරන්නේ නෙප්චූන් වත් ක්වීපර් පටිය වත් නෙමෙයි. සූර්යයාගෙන් පිටවෙන සුර්ය සුළං බලපෑම අවසන් වෙන සීමාව සෞරග්‍රහ මණ්ඩලයේ අවසාන කෙළවර විදිහට විද්‍යාඥයන් සලකනවා. සුර්යයාගේ මතුපිට පෘෂ්ඨය එහෙමත් නැත්තම් සුර්ය කොරෝනාවේ සෙල්සියස් අංශක මිලියන 1.1 ක වගේ උෂ්ණත්වයේ තියෙන වේගෙන් චලනය වන අංශුන් (චුම්බකෘත අයන සහ ඉලෙක්ට්‍රොන ප්ලාස්මාව) සුර්යය ගුරුත්වය යටතේ රඳවාගැනීම අසීරු වෙන නිසා තත්පරයට කිලෝමීටර 800ක් දක්වා වේගයෙන් සුර්යය පෘෂ්ඨයෙන් ඉවත් වෙනවා. හරියට සුළං පහරකට දුවිලි අංශු ගසාගෙන යනවා වගේ. මේවා තමයි සුර්ය සුළං කියන්නේ. පෘථිවියේ චුම්බක ක්ෂේත්‍රයයි වායුගෝලීය ආවරණයයි නිසා ප්‍රබල සුර්යය සුළංවලින් පෘථිවි පෘෂ්ඨයට හානිකර බලපෑමක් නැහැ. මේ සුළං වල බලපෑම සුර්යයාගේ ඉඳන් 150AU දක්වා දුරකට පවතිනවා.

(කියවන්න – ‘ධ්‍රැවාසන්න එළි හෙවත් අවුරෝරා‘)

විශ්වය කියන්නේ ග්‍රහලෝක තරු හැරුණා ම හිස් අවකාශයක් කියලා අපි හිතුවට ඇත්තට ම ඒක එහෙම නෙමෙයි. විශ්වය පුරා ම වායු අංශු සහ දුවිලි අංශු අතිවිශාල ප්‍රමාණයක් තිබෙනවා. අපගේ සුර්යයා නිකුත් කරන සුර්ය සුළං නිසා මේ කුඩා අංශු ඔක්කොම ඉවතට තල්ලු වෙනවා (ග්‍රහලෝක සහ ඇස්ටරොයිඩ් වගේ විශාල ස්කන්ධ තල්ලු වන්නේ නැහැ). ඒකෙන් සුර්යයා වටා ගෝලාකාර හිස් කලාපයක් නිර්මාණය වෙලා තියෙනවා. මේ කලාපය හඳුන්වන්නේ හීලියෝස්පියර් (Heliosphere) නමින්. සුර්ය සුළං සූර්යයාගෙන් ඈත් වෙද්දී දුර්වල වන නිසා 100 AU විතර දුරකදී පිටත විශ්වයේ අංශු සමඟ අන්තර් ක්‍රියා කරමිනුයි පවතින්නේ. එතැනින් එහාට අංශු යම් ප්‍රමාණයක් පවතිනවා. තවත් 50 AU දුරකදී සුර්ය සුළං බලපෑම සම්පුර්ණයෙන් ම වගේ අවසන් වනවා. 100AU සිට 150 AU කලාපය හඳුන්වන්නේ හීලියොස්හීත් (Heliosheath) නමින්. මෙය කොටස් දෙකකින් සමන්විතයි. ඇතුළත ම කොටස ටර්මිනේෂන් ෂොක් (Termination shock) ලෙසත් පිටත ම කොටස හීලියෝපෝස් (Heliopause) ලෙසත් හඳුන්වනවා. හීලියොස්හීත් යනු සමස්තයක් ලෙස සෞරග්‍රහ මණ්ඩලයේ සීමාව ලෙස දක්වන්න පුළුවන්. නමුත් වටහා ගත යුත්තේ මෙය නිශ්චිතව ම ඉරකින් වෙන් වන සීමාවක් නොවන බවයි.

heliopause
හීලියෝස්පියර්හි කොටස් – ESA

අන්තර් තාරකා විශ්වය

හීලියෝපෝස් සීමාවෙන් පිටත විශ්වය අන්තර් තාරකා විශ්වය (Interstellar Space) ලෙස හඳුන්වනවා. අන්තර් තාරකා විශ්වය කියන්නේ මන්දාකිණියක තාරකා අතර තියෙන අවකාශයටයි. එය පෙර සඳහන් කළා වගේ හිස් අවකාශයක් නොවේ. තාරකා අතර පවතින දුර ආලෝක වර්ෂ ගණනක් නිසා අන්තර් තාරකා විශ්වයේ ඝනත්වය ඉතා අඩු වනවා. එය බොහෝදුරට නිරපේක්ෂ රික්තයකට ආසන්නයි කියන්න පුළුවන්. මෙම අවකාශයේ 70% ක් පමණ අඩංගු වෙන්නේ හයිඩ්‍රජන් වායුවයි. තවත් 28% ක් හීලියම් වායුවෙන් සමන්විත වෙනවා. ඉතිරි 2% ක ප්‍රමාණය බර වායූන් සහ ධූලි අංශුවලින් සමන්විතයි. අන්තර් තාරකා විශ්වයේ ඇති ඉහත අංශු වඩාත් ඝන ලෙස එකතු වී තිබෙන ස්ථාන හඳුන්වන්නේ අණුක වලාකුළු (molecular clouds) විදිහටයි.

heliosphere and interstellar medium
හීලියෝස්පියර් එකෙන් ඔබ්බට අන්තර් තාරකා විශ්වය පවතී. ඕට් වලාවේ පිහිටීමද මෙහි පෙන්වා දී ඇත – Reddit

 

අණුක වලාකුළු ඒක රාශී වීම කාලයක් තිස්සේ සිදුවීමෙන් තාරකා බිහි වීම සිදුවනවා. තාරකා තුළ සිදු වන ප්‍රබල න්‍යෂ්ටික රසායනික ප්‍රතික්‍රියා නිසා යකඩ දක්වාවූ බර මුලද්‍රව්‍ය බොහොමයක් නිර්මාණය වෙනවා. අවසානයේ සුපර්නෝවා හෝ කිලනෝවා පිපිරීම්වලින් එම අංශු විශ්වයට මුදා හැරෙනවා. ශේෂවූ තාරකාව වටා පිපිරීමෙන් නිර්මාණය වුණු විවධ මූලද්‍රව්‍ය සහිත අංශු වලාව කක්ෂගත වීමෙන් වසර බිලියන ගණනකට පසු අපගේ සෞරග්‍රහ මණ්ඩල වැනි ග්‍රහ මණ්ඩල නිර්මාණය වනවා. මේ නිසා අන්තර් තාරකා විශ්වය තාරකා වල බාලාංශය (Stellar nurseries) විදිහටත් හඳුන්වනවා.

(සුපර්නෝවා හා කිලනෝවා පිපුරුම් ගැන කියවන්න : ‘විශ්වයේ පෙරළිකාර නියුට්‍රෝන තරු‘)

සුර්යයා මෙන් ය විශ්වයේ ඇති අනෙකුත් තාරකා වටා ද හීලියෝස්පියර් එකක් පවතිනවා. එවායේ සීමාවලින් ද විවිධ අංශූන් සහ විද්‍යුත් චුම්බක විකිරණ නිරන්තරයෙන් අන්තර් තාරකා විශ්වය වෙත මුදාහැරෙනවා. මේ නිසා සුර්ය සුළඟට සමාන ලෙස අන්තර් තාරකා විශ්වයේ ද ප්‍රවාහයක් ක්‍රියාත්මක වනවා. මෙය අන්තර් තාරකා සුළඟ (Interstellar wind) ලෙසයි හඳුන්වන්නේ. මෙම ප්‍රවාහය නිසා සුර්යයාගේ හීලියෝස්පියර් එක හරහා විවිධ අංශු අපගේ සෞරග්‍රහ මණ්ඩලයට ද පැමිණෙනවා. සෞරග්‍රහ මණ්ඩලය මත මෙම අන්තර් තාරකා සුළඟ ක්‍රියාත්මක වන දිශාවත් කාලයත් සමඟ වෙනස් විය හැකියි.

ඕට් වලාව

කලින් සඳහන් කළ කෙටි කාලවර්තයක් තියෙන වල්ගාතරු හැරුණා ම විශාල කාලවර්තයක් තිබෙන වල්ගා තරු අතීතයේ ඉඳන් ම විද්‍යාඥයන් නිරීක්ෂණය කළා. උදාහරණ වශයෙන් වසර මිලියන ගණනක කාලවර්තයක් ඇති “සයිඩින්ග් ස්ප්‍රින්ග්” වල්ගා තරුව, වසර 2533ක කාලවර්තයක් සහිත “හේල් බොප්” වල්ගා තරුව සහ වසර 13,914 ක කාලවර්තයක් සහිත “ලව්ජෝයි” වල්ගා තරුව දැක්විය හැකියි. මෙම වල්ගා තරු නිර්මාණය වීම සඳහා ක්වීපර් පටියට එපිටින් තවත් කලාපයක් තිබිය යුතුයි කියන මතවාදය සමඟ ඕට් වලාව (Oort Cloud) නම් සංකල්පය බිහිවනවා. මෙය අන්තර් තාරකා විශ්වයේ පවතින නමුත් නිශ්චිත ව ම වෙන් කර හඳුනාගත නොහැකි කලාපයක්. මේ නිසා සුර්යයයාගේ ඉඳන් 2000 AU සහ 5000 AU අතර සිට 10,000 AU සහ 100,000 AU අතර කලාපය ඕට් වලාව ලෙස හඳුන්වනවා. සුර්යයාගේ ගුරුත්ව බලපෑම මෙම ඕට් වලාව දක්වා පවතින බව මත මෙම සංකල්පය මූලික ලෙස ගොඩනැගී තිබෙනවා. Jan Oort නම් අභ්‍යවකාශ විද්‍යාඥයා සොයා ගත් සංකල්පයක් හේතුවෙන් ඔහුගේ නමින් මෙම වලාව හඳුන්වනවා.

oort cloud
ඕට් වලාව – inf.news

ඕට් වලාවේ අන්තර්ගතය ගැන අදහසක් ගැනීමට විද්‍යාඥයන්ට හැකියාව ලැබෙන්නේ එහි සිට පැමිණෙන වල්ගාතරුවල ස්වභාවය නිරීක්ෂණය කිරීමෙනුයි. වල්ගාතරුවල පවතින අයිස් සහ ධූලි අංශු සහිත වල්ගය ඇතිවන්නේ, ඕට් වලාවේ ඇති අයිස් සහ පාෂාණවලින් වල්ගා තරුවේ න්‍යෂ්ටිය නිර්මාණය වීම නිසා බව විද්‍යාඥයන්ගේ උපකල්පනය වුණා. වල්ගා තරු විශාලත්වයන් අනුව ඕට් වලාවේ පිටත කොටසේ කිලෝමීටරයකට වඩා විශාල වස්තූන් ට්‍රිලියනයක් පමණ ද කිලෝමීටර 20 කට වඩා විශ්කම්භයක් ඇති වස්තූන් බිලියනයක් පමණ ද ඇති බවට නිගමනය කරනවා.

මෙම විශාල වස්තුන්ගේ සංයුතියෙන් බහුතරය අයිස්මය වාෂ්ප බවටයි විශ්වාස කෙරෙන්නේ. එනම් ජලය, මීතේන්, ඊතෙන්, කාබන් මොනොක්සයිඩ්, හයිඩ්‍රජන් සයනයිඩ් සහ ඇමෝනියා වැනි ඒවායේ වාෂ්ප ඝනීභවනය වී එම වස්තූන් නිර්මාණය වී ඇති බව පැවසෙනවා. ඇස්ටරොයිඩ් පවා නිර්මාණය වී ඇත්තේ ඕට් වලාවෙන් බවට ද මතයක් පවතිනවා. ක්වීපර් පටියේ සහ ඕට් වලාවේ අන්තර්ගත වන අංශු පොදුවේ “‍ ට්‍රාන්ස් නේප්චුනියන් ඔබ්ජෙක්ට්ස්” හෙවත් TNO ලෙසයි හඳුන්වන්නේ. එයට ප්‍රධාන හේතුව වන්නේ මෙම වස්තූන්වල කක්ෂයන් වඩාත් සමීප වන්නේ සුර්යයාට වඩා නෙප්චූන් වෙත වීමයි.

solar system to alfa centauri
සුර්යයාගේ සිට ඇල්ෆා සෙන්චුරි දක්වා සිතියම – දුර ලකුණු කර ඇත්තේ පරිමාණයට නොවේ /solarsystem.nasa.gov

 

ඕට් වලාවෙන් ඔබ්බට G – වලාව නම් තවත් කොටසක් පවතිනවා. ඕට් වලාවෙන් ඇතුළත අපගේ සෞරග්‍රහ මණ්ඩලයත් අයත්වන කොටස Local Interstellar Cloud ලෙස හඳුන්වනවා. එයට යාබද ව පිහිටි මෙම G – වලාවේ තමයි ඇල්ෆා සෙන්චුරි (Alpha Centauri) නම් ත්‍රිත්ව තාරකා පද්ධතිය පවතින්නේ. එම තාරකා පද්ධතියට මෙපිටින් G – වලාවේම “රෝග් ග්‍රහයින්” (Rougue Planets) නම් ග්‍රහලෝක පවතිනවා. තාරකාවක් වටා කක්ෂගත නොවන ග්‍රහලෝක තමයි මේ නමින් හඳුන්වන්නේ. ස්වභාවයෙන් ම ඉතාම අඳුරු ග්‍රහලෝක විදිහටයි විද්‍යාඥයන් මේවා හඳුනා ගෙන ඇත්තේ. ත්‍රිත්ව තාරකා පද්ධතියේ අඩංගු ප්‍රොක්සිමා සෙන්චුරි (Proxima Centauri) තාරකාව සුර්යයාට පසුව අපට ආසන්න ම තාරකාවයි. එය රෝග් ග්‍රහයින් පවතින කලාපයට පසුව හමුවනවා. ප්‍රොක්සිමා සෙන්චුරි තාරකාවට දුර පෘථිවියේ සිට 262,000 AU ක් පමණ වනවා.

සෞරග්‍රහ මණ්ඩලයෙන් එපිටට ගවේෂණය

ආලෝකයේ වේගයෙන් ගමන් කළ හැකි අභ්‍යවකාශ යානයක් (තත්පරයට කිලෝමීටර ලක්ෂ 3ක වේගයෙන් ගමන් කළ හැකි යානයක්) කවුරුන්හෝ නිර්මාණය කළත් ඕට් වලාව වෙතට යන්න දින ගණනක් ගත වෙනවා. සුර්යයාගේ ආලෝකය ඕට් වලාවට යන්න ගත කරන කාලය ගැන හිතුවොත් මේක පැහැදිලි කරගන්න පුළුවන්. ආලෝකය සූර්යයා වෙතින් පිටවෙලා පෘථිවියට ළඟා වෙන්න මිනිත්තු අටකට වඩා වැඩි කාලයක් ගත වෙනවා. එතැනිනුත් නෙප්චූන්ගේ කක්ෂයට ළඟා වෙන්න පැය 4.5 ක් විතර ගත වෙනවා. නෙප්චූන් කක්ෂය පසු කරලා පැය තුනකට අඩු කාලයකින් සූර්යාලෝකය ක්වීපර් පටියේ කෙළවරට එනවා. තවත් පැය 12 කට පස්සේ සූර්යාලෝකය හීලියෝපෝස් වෙත ළඟා වෙනවා. ඒ කියන්නේ මේ වෙද්දී සූර්යාලෝකය පැය 20 ක් විතර සූර්යයාගෙන් ඉවතට ගමන් කරලා තියෙනවා. එහෙනම් සූර්යයා හැර ගිහින් ගත වුණු එක පෘථිවි දිනයකටත් අඩු කාලයකින්, හිරු එළිය දැනටමත් මිනිසා සාදපු ඕනෑම අභ්‍යවකාශ යානයකට වඩා දුරකට ගමන් කරලා ඉවරයි. ඒත් ඒ හිරු එළිය ඕට් වලාවේ අභ්‍යන්තර මායිමට ළඟා වෙන්න තවත් දින 10 ත් 28 ත් අතර කාලයක් ගත වෙනවා. ඕට් වලාවෙන් එළියට යන්න සුර්යාලෝකයට වසර 1.5ක් වත් ගතවේවි.

voyager 2
වොයෙජර් 2 යානය – businessinsider

තවමත් ආලෝකයේ වේගයෙන් ගමන් කරන්න පුළුවන් යානයක් හදන අහලකටවත් අපි දියුණු නැහැ. ඒ නිසා පෘථිවියේ ඉඳන් 40 AU දුරකට සහ ඉන් එහාට ගිහින් තියෙන්නේ වොයේජර් 1, වොයෙජර් 2, නිව් හොරයිසන්, පයනියර් 10 සහ 11 යන යානා විතරයි. මේවාවල සාමාන්‍ය වේගය තත්පරයට කිලෝමීටර 15ක් විතර වෙනවා. පයනියර් 10 සහ 11 යානාත් සෞරග්‍රහ මණ්ඩලයේ කෙළවරට ගමන් කරලා තියෙනවා වුණත් පිළිවෙළින් 2003 සහ 1995 වසරවලදී එම යානා පෘථිවියත් එක්ක සන්නිවේදනය කරන එක නතර වුණා.

වොයෙජර් 2 යානය වොයෙජර් 1 යානයට සති දෙකකට පමණ පෙරදීයි දියත් කරේ. ඒත් වොයේජර් 2 නමින් මුලින් දියත් කළ යානය නම් කිරීමට හේතුව වෙන්නේ වොයෙජර් 1 වඩා ඉක්මනින් බ්‍රහස්පති සහ සෙනසුරු වෙත ගමන් කරවන්නට සැලසුම් කර තිබීමයි. 1977 අගෝස්තු 20 වනදා වොයෙජර් 2 දියත් වුණා. වොයෙජර් 1 යානය දියත් වුණේ 1977 සැප්තැම්බර් 05 වනදායි. 1998 පෙබරවාරි 17 වනදා මිනිස් ඉතාහාසයේ වැඩි ම දුරක් ගමන් කළ යානය බවට වොයෙජර් 1 යානය පත්වුණා. ඒ පයනියර් 10 යානය ගමන් කළ දුර පසුකර යමින්. 2012 අගෝස්තු 25 වනදා වොයෙජර් 1 යානය අන්තර් තාරකා විශ්වයට ඇතුළු වනවා. ඒ සඳහා වසර 35 ක කාලයක් ගත වී තිබුණා. වොයෙජර් 1 යානය සහ 2018 නොවැම්බර් මාසයේ දී එම කලාපයට ඇතුළු වූ වොයෙජර් 2 යානයත් මේ වන විට අන්තර් තාරකා විශ්වයේ ස්වභාවය පිළිබඳ ව තොරතුරු සපයමින් සිටිනවා (ඉහතදී සඳහන් කළ බොහොමයක් තොරතුරු වොයෙජර් යානා මත පදනම්වී විද්‍යාඥයන් ලබා ගත් තොරතුරු බව සඳහන් කළ යුතුයි).

photos from voyager 1
වොයෙජර් 1 යානය 1990 දී එවූ ඡායාරූප- solarsystem.nasa.gov

 

2006 දී දියත් කෙරුණු ප්ලූටෝ නිරීක්ෂක නිව් හොරයිසන් යානය 2015 දී ප්ලූටෝ ග්‍රහයා සහ එහි චන්ද්‍රයා ආසන්නයෙන් ගමන් කළා. මේ වන විට එය පෘථිවියේ සිට 50 AU දුරකින් පවතිනවා. වොයෙජර් 1 සහ 2 යානා පවතින්නේ පෘථිවියේ සිට පිළිවෙළින් 152 AU සහ 126 AU දුරවලින්. වොයෙජර් යානා ගමන් කරන ස්ථානය පිළිබඳව සජීවී තොරතුරු නාසා ආයතනයේ මෙම වෙබ් පිටුවෙන් නැරඹීමට ඕනෑම අයකුට හැකියාව පවතිනවා.

වොයෙජර් යානා සතුව අවම වශයෙන් තවත් වසර 4කට පමණ ප්‍රමාණවත් විදුලි බලයක් ඇති බව අභ්‍යවකාශ විශේෂඥයන් පවසනවා. ඒවා අවසන් වීමෙන් පසු වොයෙජර් යානා පෘථිවිය වෙත තොරතුරු එවීම නවතිනු ඇතැයි පැවසෙනවා. නමුත් යානා දෙක ම තවදුරටත් අඳුරු විශ්වය වෙත ගමන් කිරීම එයින් නවතින්නේ නැහැ. තවත් වසර 300 කින් ඕට් වලාවට පිවිසෙන වොයෙජර් යානය වසර 30,000කට පමණ පසු එයද පසු කර G – වලාව වෙත ඇතුළුවනු ඇති බවට විශ්වාස කෙරෙනවා.

message in the voyager
වොයෙජර් යානා දෙකෙහි තොරතුරු සහ පණිවිඩ අඩංගු කර ඇති රන් ආලේපිත තැටිය /voyager.jpl.nasa.gov

 

වොයෙජර් යානා සදාකාලික ව ගමන් කිරීම අරමුණු කර ගෙන දියත් කළ යානා ද්විත්වයක්. ඒ කෙදිනක හෝ ජීවින් වාසය කරන ග්‍රහ මණ්ඩලයකට ඇතුළු වේ යැයි විශ්වාසයෙන්. එම නිසා වොයෙජර් යානා සමඟ පෘථිවිය පිළිබඳ ව තොරතුරු සහ පණිවිඩ ගබඩා කොට යැවීම සිදුවුණා. විවිධ රූප 115 ක් සහ විවිධ ස්වාභාවික ශබ්ද, එනම් මුහුද, සුළඟ සහ ගිගිරුම් හඬ, කුරුල්ලන්, තල්මසුන් සහ වෙනත් සතුන්ගේ ශබ්ද, විවිධ සංස්කෘතීන් හා යුගයන්ගෙන් සංගීත තේරීම්, භාෂා පනස් පහකින් පෘථිවි ජනයාගෙන් සුබ පැතුම්, ජනාධිපති කාටර් සහ එක්සත් ජනපද මහලේකම් වොල්ඩ්හයිම්ගේ මුද්‍රිත පණිවිඩ ආදී බොහෝ දේ වොයෙජර් යානාවල ගබඩා කොට තිබෙනවා.

කවරයේ පින්තූරය - physics4u.gr

මූලාශ්‍ර:

 nasa.gov

spaceplace.nasa.gov

solarsystem.nasa.gov

voyager.jpl.nasa.gov

phys.org

space.com 

Related Articles