කෘත්‍රීම බුද්ධිය මානවයා නසන්නටම නොවේ

කෘත්‍රීම බුද්ධිය කියලා කියන්නේ දැකීමෙන් අවබෝධයක් ලබාගත හැකි, කථනය හඳුනාගන්නා, තනිව තීරණ ගැනීමේ හැකියාවෙන් යුතු සහ භාෂා පරිවර්තන වැනි මිනිස් මොළයට කළ හැකි සුවිශේෂී ක්‍රියාවන් සඳහා දස්කම් දක්වන පරිගණක ක්‍රමලේඛයක්. මේ සාධක වලින් කීපයක් හෝ සියල්ල ම වගේ තිබෙන කෘත්‍රීම බුද්ධියෙන් යුත් ක්‍රමලේඛණ දැනටමත් ලොව භාවිතයට ගැනෙනවා. මේ කලාවේ දැනට තිබෙන ප්‍රවණතාව නම් තනිව ඉගෙනීමේ හැකියාව ඒවාට ලබා දීම යි. මිනිස් සහ සත්ත්ව මොළයේ සුවිශේෂී අංගයක් වන මෙය තමා ලබාගන්නා අත්දැකීම් අනුව අනාගත අවස්ථාවලට මුහුණදීම සඳහා තනිවම හැකියාවන් සලසා ගන්නවා. එය අරුම පුදුම දෙයක් නමුත් බොහෝ දෙනෙක් ඊට බියෙන් පසුවන්නේ එමගින් මනුෂ්‍ය වර්ගයාට දිනෙක හානි පැමිණේවි යයි අනියත බිය නිසායි.

(1zoom.net)

(1zoom.net)

අපිට මේ සිතුවිල්ල පැමිණෙන්නට ප්‍රධානම හේතුව බටහිර සිනමාවයි. කෙළින්ම ඇඟිල්ල දිගු කළාට ඇඟිලි හතරක් අපේ පැත්තට තමයි තිබෙන්නේ. මොකද ඒ සිනමාව නිසාම තමයි බොහෝ විද්‍යාත්මක සොයාගැනීමවලට පාදකවී තිබෙන්නේ. මුලින්ම අපි ඔරලෝසුවකට කතා කරනවා දැක්කේ නයිට් රයිඩර් එකෙන් වුණාට දැන් ස්මාර්ට් ඔරලෝසු කරලියට ආවාට පස්සෙ හැමෝම දැන් මයිකල් නයිට්ලා වගේ.

ඉතින් මේ වගේ ම ටර්මිනේටර් වැනි චිත්‍රපටවලින් අපි දැකලා තියෙන්නේ ම මානවයා විසින් නිපදවන ලද රොබෝවරුන්ගේ බුද්ධිය මුහුකුරා යාම නිසා ඔවුන් කණ්ඩායමක් ලෙස එක්වී මානවායා විනාශ කිරීම සඳහා පෙළගැසෙන බවයි. හැබැයි ඉතින් කෘත්‍රිම බුද්ධිය කියන්නේ මිනිසාට සමාන වීම නම්, පොඩි ගතමනාවකට මිනිස්සු එක්ක යාළුවෙලා තමන්ගේ ම වර්ගයා වන රොබෝවරුන් ම පාවලා දෙන රොබෝවරුත් බිහිවෙන එක නොවී තිබෙන එකකුත් නැහැ නේද? ඒ කොහොමනමුත්, මේ ලිපියේ අරමුණ වෙන්නේ කෘත්‍රීම බුද්ධිය දැනටමත් යොදාගෙන ඇති යහපත් අවස්ථාවන් පිළිබඳව ඔක්තෝබර් මස 13වැනිදා පිට්ස්බර්ග්හි පැවතුණු අන්තර්ජාලය හරහා ද සජීවීව විකාශයවූ ධවල මන්දිර දේශසීමා සමුළුවේදී ඉදිරිපත් වුණු නව අදහස් සම්බන්ධව ඔබව දැනුවත් කරන්නටයි.

වනජීවී සංරක්‍ෂණය සඳහා

(decorog.com.net)

(decorog.com.net)

බොහෝ ගවේෂකයන් දැනට ලොව වෙසෙන සත්ත්ව විශේෂවල ජීවන රටාවන්, ඔවුන් වෙසෙන ප්‍රදේශ සහ ප්‍රමාණයන් පිළිබඳව වැඩි අවධානයකින් තමයි ඉන්නේ. එහෙත් තනිව මෙය කිරීම හෝ ලොව නිපදවා ඇති සියළුම GPS කොලර හෝ චන්ද්‍රිකා පද්ධතීන් ඊට ප්‍රමාණවත් නොවන බව පවසන චිකාගෝහි ඉලිනොයිස් විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා මහාචාරිණී ටානියා බර්ගර් වුල්ෆ් ඒ සඳහා විසඳුමක් ලෙස Wildbook.org වෙබ් අඩවිය හඳුන්වාදී තිබෙනවා. එය සතුන්ගේ තොරතුරු ගබඩා කිරීම සඳහාවූ කෘත්‍රීම බුද්ධියෙන් සහ ඇල්ගොරිතමයන්ගෙන් සමන්විත වෙබ් අඩවියක්. ඊට උඩුගත කරනු ලබන ඡායාරූප මගින් සතුන්ගේ අනන්‍ය ලක්‍ෂණ හා සලකුණු, ස්ත්‍රී පුරුෂ භාවය හා වයස හඳුනා ගන්නා අතර ඡායාරූපයේ අඩංගු GPS දත්ත මගින් එම සත්ත්වයන් සිටින ලද ප්‍රදේශ ගබඩා කරගනු ලබනවා.

2015 වර්ෂයේදී මෙමගින් ගෙනයන ලද ඡායාරූප සංග්‍රාමයක් මගින් කෙන්යාවේ අන්තරායට ලක්ව සිටි ග්‍රීවි සීබ්‍රා පැටවුන් සිංහයන්ගේ වැඩිපුර ගොදුරු බවට පත්වන බව පෙන්වා දුන් අතර ඉන් බලධාරීන් ක්‍රියාත්මකවී සිංහයන් ඈත් කොට තබන්නට කටයුතු කළ බව ටානියා සඳහන් කරනවා. “මින් අපට ඡායාරූප හරහා සතුන්ගේ චර්යාවන් අධ්‍යයනය කරන්නට සහ ප්‍රමාණයන් සටහන් කරගන්නට හැකියාව ලැබෙනවා.” සමුළුවේදී ඇය වැඩිදුරටත් පවසා සිටියා.

සෙවීමේ සහ බේරාගැනුම් මෙහෙයුම් සඳහා

(natgeotv.com)

(natgeotv.com)

ගංවතුර, භූමි කම්පා හෝ වෙනත් ස්වාභාවික ආපදා ලොව ඕනෑම තැනක ඕනෑම විටෙක ඇතිවිය හැකියි. නමුත් කෘත්‍රිම බුද්ධියෙන් යුත් සහායකයින් නිසා මේවා ඇතිවූවාම පමණක් නොවෙයි, ඇතිවන්නටත් පෙර ඒවා හඳුනාගන්නට හැකියාව අපට ලබා දෙනවා.

මෑතක් වනතුරුම බේරාගැනීමේ මෙහෙයුම් වලදී නිලධාරීන් සිදු කළේ අදාල ප්‍රදේශය ඉහළ සිට නිරීක්‍ෂණය කිරීමයි. එහෙත් ඩ්‍රෝන මඟින් ගන්නා ලද මෙම ඡායාරූප සහ වීඩියෝ බලමින් සිටීමෙන් සිදුවන්නේ වැඩි කාලයක් ගතවීම නිසා උපකාර අවශ්‍ය අයගේ ජීවිත අවධානම තවත් උග්‍රවීමයි. මෙයට විසඳුමක් වශයෙන් ටෙක්සාස්හි A&M විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා සහ ඉංජිනේරු අංශයේ මහාචාරිණී රොබින් මර්ෆි හඳුන්වා දෙන්නේ, මේ සඳහා කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් ඊටත් වඩා එම ක්‍රියාවලිය කාර්යක්‍ෂම කළ හැකි බව යි.

එමඟින් පැය දෙකක් වැනි අඩු කාලයක් තුළ සම්පූර්ණ ප්‍රදේශයම ලබාදෙන ලද ඡායාරූප, වීඩියෝ මෙන් ම ෆේස්බුක්, ට්විටර් වැනි අන්තර්ජාලය පුරාද හුවමාරු කරගැනෙන දත්ත අධ්‍යයනය කරමින් ස්වාභාවික ආපදාවන් මෙන්ම අතුරුදහන්වූ පුද්ගලයන්ගේ සටහන්ද එක්රැස් කරගෙන පූර්ණ සහ කාර්යක්‍ෂ සෙවීමේ ක්‍රියාදාමයක් සිදුකළ හැකියි.

මාදුකාංග දෝෂ අනාවරණය සඳහා

(flickr.com)

(flickr.com)

අන්තර්ජාලය පුරා ම ඉතා විශාල වශයෙන් දත්ත සොරාගැනීම්, අනවසර පිවිසුම් මෙන්ම පෞද්ගලිකත්ව ආරක්‍ෂණයන්ට හානි පැමිණවෙන බොහෝ දේ සඳහා උත්සාහකිරීම් සිය දහස් ගණනක් සෑම තත්පරයකදීම සිදුවෙනවා. එතරම් ඒවා වළක්වාගන්නට කටයුතු කළත් දිනකට ලොව කොහෙන් හෝ ප්‍රසිද්ධ මාධ්‍යයන්හි වාර්තා වන සිදුවීම් පමණක්ම ඉහළ අගයක් ගන්නවා. මේවාට වැඩිපුරම හේතුව වන්නේ මෘදුකාංග කේතනයේදී ඒවායේ හැකර්වරුන්ට රිංගා යා හැකි ආකාරයේ හිඩැස් ඉතුරුවීමයි.

මෘදුකාංගයක් නිර්මාණය කිරීමේදී එහි සෑම කොටසක්ම පරීක්‍ෂාවට ලක්කිරීමට සහ එය විවිධ තත්වවලට ඔරොත්තු දෙන සේ සැකසීමට බොහෝ කාලයක් ගත වෙනවා. ඒත් ඇමරිකාවේ ආරක්‍ෂණ උසස් පර්යේෂණ නියෝජිතායතනය (DARPA) විසින් පවත්වන ලද සයිබර් ග්‍රෑන්ඩ් චැලේන්ජ් නම් තරගයකදී ප්‍රථම ස්ථානය ලබාගත් ‘මේහැම්’ නම් කෘත්‍රීම බුද්ධියෙන් යුත් මෘදුකාංගයකට විනාඩි පහළොවකින් පමණ එහි ඇති ආරක්‍ෂණ දුර්වලතා සොයාගෙන ඊට පිළියම් කරන්නට තරම් දස්කම් දක්වා තිබෙනවා.

මේ සම්බන්ධව අදහස් දැක්වූ ඩාර්පාහි වැඩසටහන් කළමනාකරු මයිකල් වෝකර් පැවසූයේ එම තරගයේදී ක්‍රමලේඛ ක්‍රියාත්මක වූයේ කුඩා ජාල පරිසරයක නමුත් ඒවාට අන්තර්ජාලය තුළදී ද සැලකිය යුතු කොටසක් කිරීමට හැකියාව ඇති බව හොඳින් ම විශ්වාස බවයි.

මානව සංවේදන ප්‍රතිස්ථාපනය කිරීමට

(patient.info)

(patient.info)

උත්පත්ති ආබාධ හෝ හදිසි අනතුරුවලට ලක්වූ පුද්ගලයන්ගේ සංවේදනයන් යළි ලබාදීම සඳහාද කෘත්‍රීම බුද්ධිය භාවිතා කළ අවස්ථාවක් පිළිබඳව මෙම සමුළුවේදී පිට්ස්බර්ග් වෛද්‍ය විද්‍යාලයේ භෞතික වෛද්‍ය මයිකල් බෝනිංගර් විසින් සඳහන් කළා.

2004 වර්ෂයේදී රිය අනතුරකට මුහුණදුන් කෙනෙක්ගේ මොළයට වෛද්‍යවරුන් විසින් එකක් සංවේදක බාහිකයට සහ අනෙක චාලක බාහිකයට වශයෙන් කුඩා ඉලෙක්ට්‍රොනික චිප් දෙකක් සබඳා තිබෙනවා. එමඟින් සංවේදනයන් සහ ශරීර චලන පාලනය කරන එම මොළයේ ප්‍රදේශ හරහා සංඥා ලබා ගනිම්න් සහ ලබා දෙමින් ඔහුට සවිකළ රොබෝ අත පාලනය සහ එහි සංවේදනයන් ඔහුට දැනෙන පරිද්දෙන් සාර්ථක පර්යේෂණයක් සිදුකරන්නට ඔවුන් සමත්ව තිබෙනවා.

ඉතින් ඔබ තවමත් කෘත්‍රීම බුද්ධියට බිය ද?

කවරයේ පින්තුරය: venturesafrica.com

Related Articles