ෆේස්බුක් එකෙන් ඔබේ තොරතුරු එකතු කරන හැටි

ෆේස්බුක් පාවිච්චි කරන අපි හැමෝම අපේ තොරතුරු විශාල ප්‍රමාණයක් ෆේස්බුක් වෙත එකතු කරලයි තියෙන්නේ. ස්ටේටස් අප්ඩේට්, ඡායාරූප, වීඩියෝ, කමෙන්ට්ස්, පෞද්ගලික තොරතුරු ආදී මෙකී නොකී දේවල් වලින් බොහොමයක් ෆේස්බුක් සතුව තියන බව අපි දන්නවා වගේම ඒවා කාටද කාටද බලන්න පුළුවන් කියන එක අපිට privacy settings හරහා පාලනය කරන්න පුළුවන්. නමුත් මීට අමතරව තියන සමහර තොරතුරු ගැන වැඩි කතාබහක් නැතුවා වගේම ඒ තොරතුරු ෆේස්බුක් සතුව තිබෙන බවත් බොහෝදෙනෙක් නොදන්නා කාරණයක්. මේ ලිපියෙන් කියන්න යන්නේ ෆේස්බුක් සතුව තිබෙන නමුත් ඒ බව බොහෝදෙනා නොදන්නා එවැනි තොරතුරු කිහිපයක් ගැනයි.

(postplanner.com)

(postplanner.com)

ෆේස්බුක් වෙබ් අඩවියේ විශාලතම අදායම් මාර්ගය තමයි වෙළඳ දැන්වීම්. ඔබේ නිව්ස් ෆීඩ් එකේ “sponsored” ලේබලය යටතේ එන පෝස්ට්, “suggested content” යටතේ දකින්න ලැබෙන ෆේස්බුක් පිටු සහ Instagram වල “sponsored” යටතේ එන ඡායාරූප වෙළඳ දැන්වීම් වලට අයත් වෙනවා. ෆේස්බුක් මේ වෙළඳ දැන්වීම් හැම එකක්ම හැමෝටම පෙන්නන්නේ නැහැ. ඔවුන් එක් එක් වෙළඳ දැන්වීම මොනවගේ අයටද පෙන්නන්නේ කියන එක තෝරන්න වෙළඳ දැන්වීම පළ කරන පාර්ශවයට ඉඩ දෙනවා.

මෙන්න මේ තේරීම සිදු කරන්න තමයි ෆේස්බුක් වෙබ් අඩවිය විවිධ ක්‍රම වලින් එකතු කරගන්නා ඔබේ තොරතුරු පාවිච්චි කරන්නේ. උදාහරණයක් හැටියට මංගල උත්සව ආවරණය කරන ඡායාරූප ශිල්පියෙකුට පුළුවන් තමන්ගේ දැන්වීමක් වයස 25ත් 35ත් අතර පෙම් සබඳතාවයක් ඇති (In a relationship) අයට පමණක් පෙනෙන විදියට පළ කරන්න. මේ තෝරාගැනීම කරන්න ෆේස්බුක් වෙබ් අඩවිය පාවිච්චි කරන්නේ ඔබේ relationship status එක.

මේ විදියට තොරතුරු එකතු කිරීම දිගින් දිගටම ආන්දෝලනයට හේතු වෙමින් පවතින කාරණයක්. මේ නිසාම ෆේස්බුක් සමාගමට පසුගිය වසර වල කිහිප විටක්ම නඩුහබ වලට පැටලෙන්නත් සිද්ධ වුණා. කොහොම නමුත් මේ තොරතුරු කිසිවක් අනවසරයෙන් එකතු කළ බවට චෝදනා කරන්නත් ෆේස්බුක් සමාගම ඉඩ තියලා නැහැ. ෆේස්බුක් වෙබ් අඩවියේ privacy policy වල පැහැදිලිව සඳහන් වෙනවා ඔවුන් මේ තොරතුරු එකතු කරන බවත් එතරම් දීර්ඝව විස්තර කරලා නැති නමුත් ඒවා පාචිච්චි කරන අකාරය ගැනත්. විශේෂයෙන් සඳහන් කලයුතු කාරණයක් තමයි ෆේස්බුක් සමාගමේ වසර 12ක ඉතිහාසය තුළ ඔවුන් එකතු කරන තොරතුරු අවභාවිතා කළ බවට කටකතා වලින් එහාට ගිය පැහැදිලි සාක්ෂි සාධක හමුවෙලා නැතිවීම.

ඒ නිසා මේ ගැන අනිසි බියක් ඇතිකරගන්න අවශ්‍ය නැති නමුත් ඔබේ තොරතුරු පාවිච්චි වෙන අකාරය ගැන දැනුවත් වෙන එක වැදගත් වෙයි. අපි දැන් කතාකරන්න යන්නේ තොරතුරු එකතු කරන්න ෆේස්බුක් පාවිච්චි කරන ක්‍රම කිහිපයක් ගැන.

ෆේස්බුක් වෙබ් අඩවිය තුල ඔබේ හැසිරීම

ඔබ ෆේස්බුක් වෙබ් අඩවිය තුළ නරඹන්නේ, ප්‍රතිචාර දක්වන්නේ මොන වගේ දේවල් වලටද කියන එකෙන් ඔබ කැමති සහ අකමැති දේවල් ගැන අදහසක් ගන්න ෆේස්බුක් වෙත හැකියාව ලැබෙනවා. Like කිරීම සහ අනෙකුත් reactions, interested events සහ ඔබ comment කරන තැන් වගේ දේවල් මේ සඳහා යොදාගන්නවා. මේ තොරතුරු පාවිච්චි කරලා ඔබට වඩාත්ම වැදගත් වෙයි කියලා හිතන දැන්වීම් ඔබේ නිව්ස් ෆීඩ් එකට දාන්න ෆේස්බුක් සමාගමට හැකියාව තියනවා.

Facial Recognition – මුහුණු හඳුනාගැනීම

ෆේස්බුක් වෙබ් අඩවියේ පාවිච්චි වෙන DeepFace නම් මෘදුකාංගයට පුලුවන් අපි අප්ලෝඩ් කරන ඡායාරූප වලින් 97% කට වැඩි නිරවද්‍යතාවයක් සහිතව අපේ මුහුණු හඳුනාගන්න. ඔබ ෆොටෝ එකක් අප්ලෝඩ් කලපසු ඉබේම ඒකෙ ඉන්න අය ටැග් කරන්නද කියලා අහන්නේ ඒක නිසයි. මේ හරහා හැකියාව තියනවා ඔබ ඇසුරු කරන පුද්ගලයින්, කැමති දේවල් සහ ආ ගිය තැන් ගැන සමහර තොරතුරු දැනගන්න. උදාහරණයක් හැටියට ඔබ යාලුවෝ එක්ක සීගිරියට ගිය වෙලාවක යාලුවෙක් (geo-tagging සහිත ස්මාට්ෆෝන් එකකින්) අප්ලෝඩ් කරපු ෆොටෝ එකක් පාවිච්චියෙන් ඔබත් සීගිරියට ගිය බව දැනගන්න හැකියාව තියනවා.  

මේ තාක්ෂණය නිසා ෆේස්බුක් පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වයට හානි වන බවට නැගුණු චෝදනා මත 2012 සිට යුරෝපයේ මේ තාක්ෂණය පාවිච්චි කිරීම නවත්තන්න ෆේස්බුක් සමාගමට සිදුවුණා, ඒ වගේම ඒ සම්බන්ධව එක්සත් ජනපදයේ ගොනු කෙරුණු නඩු තවමත් විභාග වෙමින් පවතිනවා. ෆේස්බුක් සමාගමට අමතරව Google, Snapchat සහ Shutterfly සමාගම් වලටත් මීට සමාන කාරණා වලට 2016 දී උසාවි යන්න සිදුවුණා.

ඔබ යන එන වෙබ් අඩවි

මේ ගැන පළමු වරට අහන කෙනෙකුට විශ්වාස කරන්න අමාරු කාරණයක් වුණත්, ෆේස්බුක් සමාගමේ බලය ෆේස්බුක් වෙබ් අඩවියට පමණක් සීමා වෙලා නෑ. ඔබ යන එන වෙබ් අඩවි බොහොමයක් ගැන තොරතුරු දැනගන්න හැකියාව ෆේස්බුක් සතුයි.

 

(developers.facebook.com)

(developers.facebook.com)

ඔබ දැකලා ඇති බොහෝ වෙබ් අඩවි වලට ෆේස්බුක් like, share, follow, save සහ send බොත්තම්, එහෙමත් නැත්නම් අදාළ වෙබ් අඩවියේ ෆේස්බුක් පිටුව embed කරලා තියනවා. මෙන්න මේවා හරහා තමයි ඔබ ඒ වෙබ් අඩවියට ගිය බව ෆේස්බුක් දැනගන්නේ. ෆේස්බුක් වෙතින් සැපයෙන මේ සේවා, එහෙමත් නැත්නම් Facebook Social Plugins වෙබ් අඩවියකට එකතු කරන්නේ ෆේස්බුක් වෙබ් අඩවියෙන් ලබාදෙන JavaScript කේත කොටසක් වෙබ් අඩවියට එකතු කිරීමෙන්.  

මේ කේත කොටස හරහා ෆේස්බුක් වෙබ් අඩවියට පුළුවන් අනිත් ඒ වෙබ් අඩවියට එන ෆේස්බුක් පරිශීලකයන් කව්ද කියලා දැනගන්න. සුවිශේෂී කාරණය තමයි ඔබ ෆේස්බුක් ගිණුමට ලොග් වි නැති අවස්ථා වලත් social plugins මගින් ඔබ යන වෙබ් අඩවි දැනගැනීමේ හැකියාව තියනවා වගේම browser fingerprints උපයෝගී කරගෙන, ඔබ incognito mode එහෙමත් නැතිනම් private browsing හරහා නරඹන වෙබ් අඩවිත් social plugins හරහා සොයාගැනීමේ හැකියාව තියනවා.

මේ සම්බන්ධ අත්දැකීම් ඔබටත් බොහෝවිට ලැබිලා ඇති. උදාහරණයක් හැටියට ඔබ online shopping වෙබ් අඩවියක භාණ්ඩ කිහිපයක් බලලා ටික වෙලාවකින් ෆේස්බුක් ඇවිත් බැලුවම ඒ භාණ්ඩය ගැන ඇඩ් එකක් නිව්ස් ෆීඩ් එකේ තියනවා වගේ දෙයක් සිදුවෙලා තියනවනම් ඒකට හේතුව තමයි මේ වෙබ් අඩවි හරහා සිදුකෙරෙන දත්ත එකතු කිරීම. මේ තාක්ෂණය පාවිච්චි කරන එකම වෙබ් අඩවිය ෆේස්බුක් නොවුනත් social plugins වල ජනප්‍රිය බව නිසා ෆේස්බුක් අනෙකුත් සමාගම් වලට වඩා ගොඩක් ඉදිරියෙන් තමයි ඉන්නේ.

මොබයිල් ඇප්ස්

ෆේස්බුක් සහ මැසෙන්ජර් ඇප්ස් හරහා ෆේස්බුක් සමාගම විශාල දත්ත ප්‍රමාණයක් එකතු කරගන්නවා. ඊට හේතුව තමයි ඔබ වෙබ් බ්‍රවුසරයෙන් ෆේස්බුක් යද්දී වෙබ් අඩවියට ඔබේ ෆෝන් එක සම්බන්ධව තියන බලතල බොහොම සීමාසහිත නමුත් ඇප් එකකට ඔබේ ෆෝන් එකේ බොහෝ දේවල් කරන්න හැකියාව තිබීම. අපි බොහෝවිට අලුත් ඇප් එකක් ෆෝන් එකට දානකොට ඇප් එකෙන් ඉල්ලන permissions ගැන සැලකිලිමත් නොවන නිසාම මේ තත්ත්වය ගැන බොහෝදෙනෙක් නොදැනුවත්.   

ෆේස්බුක් ඇප් එකට අවශ්‍ය permissions ( Android 4.3 )

ෆේස්බුක් ඇප් එකට අවශ්‍ය permissions ( Android 4.3 )

ඔබේ ෆෝන් එකේ Settings වලට ගිහින් හොයලා බැලුවොත් ඔබට පෙනෙයි ෆේස්බුක් ඇප් එකට ඔබේ දුරකතනයේ මොනතරම් දේවල් කරන්න අවසර ලබාදීලා තියනවද කියලා. මැසෙන්ජර් ඇප් එකේ තත්ත්වයත් මීට දෙවැනි නෑ.

මැසෙන්ජර් ඇප් එකට අවශ්‍ය permissions (Android 4.3)

මැසෙන්ජර් ඇප් එකට අවශ්‍ය permissions (Android 4.3)

කෙටියෙන් කිව්වොත් මැසෙන්ජර් සහ ෆේස්බුක් ඇප්ස් හරහා ඔබේ දුරකතනයෙන් මෙන්න මේ වගේ සමාජ ජාල වෙබ් අඩවියකට අත්‍යවශ්‍ය නොවන තොරතුරු ටිකක් එකතු කරගන්න ෆේස්බුක් සමාගමට හැකියාව තියනවා.

  • ඔබේ දුරකථන අංකය
  • දුරකතනයේ IMEI අංකය
  • ඔබ දුරකථන ඇමතුම් ලබාගන්නා අනිත් අයගේ දුරකථන අංක
  • ඔබ ඉන්නා ස්ථානය නිවැරදිව දැනගන්න (precise location)
  • ඔබේ Contacts
  • දුරකථන ඇමතුම් වාර්තා (phone call logs)
  • ඔබේ SMS කියවීමේ/edit කිරීමේ හැකියාව
  • කෙටි පණිවුඩ වාර්තා (SMS logs)
  • ඔබේ ඊමේල් ලිපිනයෙන් ඊමේල් යැවීමේ හැකියාව

මේ දත්ත සියල්ලම ෆේස්බුක් සමාගම එකතු කරගන්නවාද හෝ පාවිච්චි කරනවාද කියන එක හරියටම දැනගන්න ක්‍රමයක් නැති නමුත් සමහරක් දත්ත ඔවුන් අනිවාර්යෙන්ම එකතු කරන බව ඔබටම බලාගන්න ක්‍රමයක් තියනවා. ඔබේ ෆේස්බුක් ගිණුමේ Account Settings වල තියන පහසුකමක් තමයි “Download a Copy of Your Facebook Data” කියන්නේ. මේ හරහා ඔබේ ගිණුමේ තියන ඡායාරූප, වීඩියෝ සහ තවත් බොහෝ දේ සහිත දත්ත ගොනුවක් zip ෆයිල් එකක් විදියට ඩවුන්ලෝඩ් කරගන්න ඔබට පුළුවන්. ඔබ ඩවුන්ලෝඩ් කරන දත්ත ගොනුව ටිකක් විමසිල්ලෙන් පරීක්ෂා කරොත් බලාගන්න පුළුවන් වෙයි ඔබේ දුරකතනයේ call logs, SMS logs, MMS logs සහ Contacts මේ අතර තියන බව.

ෆේස්බුක් දත්ත ගොනුවේ ඇති call logs සහ SMS logs

ෆේස්බුක් දත්ත ගොනුවේ ඇති call logs සහ SMS logs

මේ විදියට මොබයිල් ඇප්ස් හරහා දත්ත එකතු කරගැනීම ගැන බොහෝදෙනා තුළ තියෙන්නේ ධනාත්මක ආකල්පයක් නෙවෙයි. ඔබටත් මේක කරදරයක් කියලා හිතෙනවනම් කරන්න දේවල් තියනවා. එකක් තමයි වෙබ් බ්‍රවුසරය හරහා ෆේස්බුක් මොබයිල් වෙබ් අඩවිය (m.facebook.com) පාවිච්චි කිරීම. මේ හරහා ඔබේ දුරකතනයට අනවශ්‍ය බලපෑම් කරන්න තියන ඉඩ ඇහිරෙනවා.  ඊළඟට ඔබ iPhone එකක් හෝ වෙනත් IOS මෙහෙයුම් පද්ධතියක්, නැතිනම් ඇන්ඩ්‍රොයිඩ් Marshmellow (6.0) හෝ Nougat (7.0) සංස්කරණ සහිත උපකරණයක් පාවිච්චි කරනවානම් ඔබට පුළුවන් එක් එක් ඇප් එක සඳහා පාවිච්චි කරන්න අවසර දියයුතු permissions මොනවද කියලා තීරණය කරන්න.  

IOS App Permissions (liquidvpn.com)

IOS App Permissions (liquidvpn.com)

විවිධ ක්‍රම වලින් තොරතුරු එකතු කිරීම පසුගිය වසර කිහිපය තිස්සෙම විවිධ මතභේද වලට හේතු වුණා. ඒ වගේම ෆේස්බුක් වෙබ් අඩවියේ සමහර පහසුකම් සමහර රටවල්වල පාවිච්චි කරන එක නවත්වන්නත් සිදුවුණා. ඒ සියල්ල අතරමැද ඔවුන්ගේ දත්ත එකතු කිරීම සහ වෙළඳ දැන්වීම් සඳහා භාවිතා කිරීම දිගටම කරගෙන යන්නත් ෆේස්බුක් සමාගම සමත් වෙලා තියනවා. ෆේස්බුක් පරිශීලකයන් හැටියට අපේ දත්ත පාවිච්චි වෙන අකාරය ගැන දැනුවත්ව සිටීම අතිශයින් වැදගත්. අපේ දැනුවත්භාවය මත තමයි අපේ දත්ත සහ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගන්න අවශ්‍ය තීරණ ගැනීමේ හැකියාව අපිට ලැබෙන්නේ. ඒ නිසා ෆේස්බුක් ඇතුළු අනෙකුත් සමාජ ජාල වෙබ් අඩවි පාවිච්චි කරන ඔබත් ඔබේ දත්ත පාවිච්චි වෙන අකාරය ගැන විමසිල්ලෙන් ඉන්න අමතක කරන්න එපා.

මූලාශ්‍ර:  Facebook Data Policy, Forbes, FossBytes, android.com

Related Articles