Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පෘථිවියේ චුම්බක ක්ෂේත්‍රය, සහ එය අතුරුදන් වුවහොත් කුමක් වේවි ද?

පෘථිවිය වටා ඇති, එහි හරය මඟින් නිර්මාණය කරන ලද චුම්බක ක්ෂේත්‍රය ජීවීන්ගේ පැවැත්මට බෙහෙවින් වැදගත් වේ. එය පෘථිවිය සූර්ය විකිරණවලින් ආරක්ෂා කරයි, එය යාත්‍රිකයන්ගේ මාලිමාවන්ට මංපෙත් සපයන අතර එය පෘථිවියේ ජීවයේ පරිණාමය සඳහා ද වැදගත් කාර්යයභාරයක් ඉටුකරන්නට ඇත. එහි චුම්බකත්වය ක්‍රමයෙන් අඩු වෙමින් යන බව විද්‍යාඥයන් පෙන්වා දෙයි. හෙට පෘථිවියේ චුම්බක ක්ෂේත්‍රය අතුරුදහන් වුවහොත් කුමක් සිදුවනු ඇත්ද?

අපේ ග්‍රහලෝකයේ චුම්බක ක්ෂේත්‍රය පෘථිවියේ අභ්‍යන්තරයෙන් එනම්, එහි හරයේ ගැඹුරින් ජනනය වන බව විශ්වාස කෙරේ. කිසිවෙකු මෙතෙක් පෘථිවියේ කේන්ද්‍රය කරා ගමන් කොට නැත. එහෙත් භූමිකම්පාවලින් ඇතිවන කම්පන තරංග පෘථිවිය හරහා ගමන් කරන ආකාරය අධ්‍යයනය කිරීමෙන් භෞතික විද්‍යාඥයින්ට එහි අනුමාන ව්‍යුහය සකස් කර ගැනීමට හැකි වී තිබේ.

පෘථිවියේ අභ්‍යන්තරයෙන් චුම්බකත්වය ඇතිවන ආකාරය

පෘථිවි අභ්‍යන්තර නිරූපණයක් (newatlas.com)

පෘථිවියේ හදවතෙහි ඝන අභ්‍යන්තර හරයක් වන අතර එය චන්ද්‍රයාගේ ප්‍රමාණයෙන් තුනෙන් දෙකක් වන වේ. එය මූලික වශයෙන් යකඩවලින් සමන්විත වේ. 5,700°C තරම් උණුසුමක් ඇති මෙම යකඩය සූර්යයාගේ පෘෂ්ඨය (5504.85°C) තරම් උණුසුම් ය. ගුරුත්වාකර්ෂණය නිසා ඇති වන අධික පීඩනය එය ද්‍රව බවට පත්වීම වළක්වයි.

මේ වටා ඇති පිටත හරය, කිලෝමීටර් 2,000 ක් ඝනකම් වන අතර යකඩ, නිකල් සහ කුඩා ප්‍රමාණවලින් වෙනත් ලෝහ වර්ග ද ඇත. අභ්‍යන්තර හරයට වඩා අඩු පීඩනයක් ඇති බැවින් මෙහි ඇති ලෝහ තරල වශයෙන් පවතී.

පිටත හරය තුළ උෂ්ණත්වය, පීඩනය හා සංයුතියේ වෙනස්කම් නිසා විලීන (උණු වූ) ලෝහයේ සිසිල් ඝන පදාර්ථයන් යටට ගොස් උණුසුම්, අර්ධ ඝන පදාර්ථයන් ඉහළට මතුවෙයි. ඉන් සංවහන ධාරාවන් හටගනී. පෘථිවියේ භ්‍රමණය හේතුවෙන් ඇති වන කොරියෝලිස් (Coriolis) බලය ද සුළි සුළං ඇති කරයි.

‘දකුණේ’ සිට ‘උතුර’ට යන පෘථිවි චුම්බක ක්ෂේත්‍රය (scientificamerican.com)

මෙම ද්‍රව යකඩ ප්‍රවාහය විද්‍යුත් ධාරාවන් ජනනය කරන අතර එමඟින් චුම්භක ක්ෂේත්‍ර නිපදවේ. මෙම ක්ෂේත්‍ර හරහා ගමන් කරන ආරෝපිත ලෝහ තමන්ගේම විද්‍යුත් ධාරාවක් නිර්මාණය කරයි. එබැවින් මෙම චක්‍රය (භූ ඩයිනමෝව) අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතී.

කොරියෝලිස් බලයෙන් ඇති වන සර්පිලාකාර චලනය නිසා චුම්බක ක්ෂේත්‍ර වෙන වෙනම, දළ වශයෙන් එකම දිශාවකට පෙළ ගැසී ඇත. ඒවායේ ඒකාබද්ධ ප්‍රතිඵලය පෘථිවිය වටා එක් විශාල චුම්බක ක්ෂේත්‍රයක් ඉපැදීමයි.

”උතුර” සහ “දකුණ” යනු කුමක් ද?

මැක් ආතර්ගේ සිතියම (googleapis.com)

පෘථිවි චුම්බක ක්ෂේත්‍රය ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතින බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි. විද්‍යාඥයින් පසුගිය වසර 160 ක කාලය තුළ චුම්බක නිරීක්ෂණාගාර සහ චන්ද්‍රිකා සමඟ චුම්භක කේෂ්ත්‍රයේ සිදුවන මෙම දුර්වලතාවය මැන ඇත.

චුම්බක ක්ෂේත්‍රය දැනට 80% ක් පමණ ද්වි ධ්‍රැවීය බව රොචෙස්ටර් විශ්ව විද්‍යාලයේ භූ භෞතික විද්‍යාඥ ජෝන් ටාර්ඩුනෝ LiveScience වෙබ් අඩවියට පවසා තිබේ. එහි අදහස, එය බොහෝ දුරට දණ්ඩ චුම්බකයක් මෙන් ක්‍රියා කරන බවයි. අතීතයේ දී, චුම්බක ක්ෂේත්‍රය පෙරළී, උතුර හා දකුණ මාරුවී අද පවතින තත්ත්වයට පත්ව ඇත. මෙවන් හැරවීමක් අවසාන වරට සිදු වූයේ මීට වසර 780,000 කට පෙර, හෝමෝ ඉරෙක්ටස් යුගයේදී ය.

ගණිතමය නිරූපණයන් මඟින් පෙන්වා දෙන්නේ, එවන් ආපසු හැරවීමක් සම්පූර්ණ කිරීමට වසර දහස් ගණනක් ගතවනු ඇති බවයි. මෙය භූ විද්‍යාත්මක ප්‍රමිතීන්ට අනුව වේගවත් නමුත් මිනිස් කාල පරිමාණයෙන් ගත් කල මන්දගාමී වේ. ඇතැම් අවස්ථාවල චුම්බක ක්ෂේත්‍රයේ අඩු-වැඩි වීම් නිසා සම්පූර්ණයෙන් නොහැරී මඟදී නැවත පෙර පිහිටි තැනට පැමිණේ (excursion).

මොරොක්කානු සිතියම් ශිල්පී අල්-අද්‍රිසි ඇඳි සිතියමක් (wikimedia.org)

පෘථිවියට ධ්‍රැව දෙකක් තිබේ. හඳුනාගැනීමේ පහසුව පිණිස අප ඒවාට “උතුර” (=ඉහළ) හා “දකුණ” (=පහළ) යැයි සම්මුතියකට එළැඹී තිබේ. මුහුදු ගමන් ප්‍රචලිත සමයේ දී, චීනය සැකසූ මාලිමාවලින් දැක්වූයේ දකුණ ය. දකුණු කුරුසිය මුහුදු ගමන් සඳහා උපකාර විය. ඊජිප්තු වැසියන් නයිල් නදිය ආභාෂයට ගනිමින් ඇඳි සිතියම්වලත්, මොරොක්කාව ආදී අරාබි සිතියම්වලත් දකුණ ඉහළින් ඇඳ තිබේ. ලොව පහළ කොටසේ සිට පැමිණියෙකැයි ඇමරිකාවේ මිතුරන්ගෙන් අවලාද ඇසූ මැක් ආතර් දකුණ ඉහළින් තැබූ නූතන සිතියමක් 1979දී ප්‍රකාශයට පත් කළේය. (ලංකාවට ද “දකුණු රටක්” ඇතත් එය මෙයට අදාල නොවේ!)

යුරෝපීය සිතියම්කරුවන්ගේ බලපෑම, විශේෂයෙන් ටොලමිගේ සිතියම, උතුර ඉහළින් තැබූ මාලිමා ආදිය මත නූතනයේ අප භාවිතා කරන සිතියම සම්මතයක් සැලකුණත්, ඔබ හිස පහළට සිටින සේ පෘථිවියෙන් ඉවත්ව අභ්‍යවකාශය වෙත පියමං කළොත් උතුර-දකු‍ණෙ හි වෙනසක් නොදකිනු ඇත. මන්ද, ගෝලයකට කෙළවරක් නොමැති බැවිනි.

චුම්බක ක්ෂේත්‍රය සහ පෘථිවිවාසීන්

චුම්බක ක්ෂේත්‍රය පෘථිවියට එල්ලවන ප්‍රහාර විසුරුවා හරියි (easyscienceforkids.com)

කොස්මික් කිරණ සහ සූර්ය සුළං පෘථිවි ජීවීන්ට හානිකර වන අතර චුම්බක ආවරණ ගෝලය නිසා පෘථිවියට විවිධ මාරාන්තික අංශු ප්‍රවාහයන් කඩාවැදීම මඟින් ඇතිවන අවදානම් පහවේ. කොස්මික් කිරණ ශරීරයට ඇති කරන බලපෑම භයානක විය හැකිය. නිදසුනක් වශයෙන්, චන්ද්‍ර මෙහෙයුම්වලදී ගගනගාමීන් දෑස් වැසී යන තරම් දීප්තිමත් ආලෝක එළි දුටු බව වාර්තා වේ. ඒ, කොස්මික් කිරණ ඔවුන්ගේ දෘෂ්ඨි විතානය හරහා ගමන් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ය. ඉන් දෑස් අන්ධවීම පවා සිදුවිය හැක.

දිගු කාලීන අභ්‍යවකාශ ගමන්වලදී විකිරණ සහ කොස්මික් කිරණ යනු නාසා ආයතනය බෙහෙවින් සැලකිලිමත් වන දෙයකි. ඊට අමතරව පෘථිවි චුම්බක ක්ෂේත්‍රය නිසා ද ඔවුන්ට ගැටළු මතු වේ. ඉහළ උන්නතාංශයන්හි සිටින නියමුවන්ට සහ ගගනගාමීන්ට චුම්භක කුණාටුවලදී ඉහළ මට්ටමේ විකිරණවලට මුහුණ දීමට සිදුවන නමුත් ඊට හේතුව සැබවින්ම විකිරණ මිස චුම්බක ක්ෂේත්‍රය ම නොවේ.

“අඟහරු මතුපිට ආක්ටික් සයුරටත් වඩා ජලය තිබෙන්නට ඇත” – නාසා ආයතනය, 2015 (nasa.gov)

පෘථිවි පෘෂ්ඨයේ ඇති චුම්බක ක්ෂේත්‍රයෙන් මිනිස් සෞඛ්‍යයට සෘජු බලපෑම් ඇති නොවන අතර, භූ චුම්භකත්වය නිසා විද්‍යුත් පාදක තාක්‍ෂණික උපාංගවලට බලපෑම් ඇති වේ. එසේම එය නැතිව ගියහොත්, සූර්ය කුණාටුවලින් ජීවීන් හා ඉලෙක්ට්‍රොනික උපාංග විනාශ කර දමනු ඇත. සූර්ය සුළං නිසා පෘථිවි වායුගෝලය නිදහස් අභ්‍යවකාශයට විසිර යනු ඇති බැවින් චුම්බක ‍ක්ෂේත්‍රය නොතිබෙන්නට, මෙය ද නූතන අඟහරු ග්‍රහයා මෙන් වාලුක කතරක් වනු ඇත. එහි ද ජලය සහ වාතය තිබෙන්නට ඇති බවත් සූර්ය සුළං නිසා එය අහිමිවන්නට ඇති බවත් නාසා ආයතනය දක්වයි.

චුම්බක ක්ෂේත්‍රය නැතිව ගිය දිනෙක මාලිමා ක්‍රියා නොකරනු ඇත. නූතනයේ භෞතික මාලිමා නැතත්, ජංගම දුරකතනවල ඇති ඉලෙක්ට්‍රොනික මාලිමා දෘඪාංග Google Maps ආදියට සහාය වෙයි. ගමන් බිමන් යාම සඳහා පෘථිවි චුම්බක ක්ෂේත්‍රය භාවිතා කරන එකම සතුන් කොට්ඨාශය මිනිසුන් නොවේ. බොහෝ කුරුල්ලන්, මුහුදු කැස්බෑවන්, පොකිරිස්සන්, මී මැස්සන්, සැමන් මසුන්, සහ පලතුරු මැස්සන් සතුව පවා ජීව විද්‍යාත්මක මාලිමා යන්ත්‍ර ඇත. ඒවා ‘චුම්බක ප්‍රතිග්‍රාහක’ ලෙස හැඳින්වේ.

චුම්බක සංවේදී පක්ෂීන් (audubon.org)

ශීත ඍතුවේ දී උණුසුම් දේශගුණයන් සොයා ගැනීමට කුරුල්ලන් මෙම හැකියාව භාවිතා කරන අතර මුහුදු කැස්බෑවන් විවෘත සාගරයේ සැරිසරමින් බිත්තර දැමීමට මුහුදු වෙරළවල් සොයති. බොහෝ ගැහැණු කැස්බෑවන් සෑම වසරකම එකම වෙරළ තීරයට පැමිණේ යැයි විද්‍යාඥයින් සිතති. මෙය ඔවුන්ගේ ස්වාභාවික මාලිමා යන්ත්‍රවල තවත් කාර්යයභාරයකි. එනම්, කොස්මික් කිරණ සහ සූර්යයා අපව නසන්නට කල් ගතහොත් “උතුර-දකුණ මාරුවී” සතුන් සහ මිනිසුන් වඳවී යනු ඇත.

මිනිසා සතු තාක්ෂණික කුතුහලය සහ ජීවය සතු පරිණාමී හැකියාවන් එවන් කාලයන් වන විට ඊට විසඳුම් සොයා ගනු ඇත. එතෙක් අප කළ යුත්තේ, වචනයේ පරිසමාප්තියෙන් ම උඩු-යටිකුරු වන ලෝකයක “මං මුලාවී පාර අසාගෙන හසරක් අසමින් යන ගමනේ” දී දිශානතිය වරද්දා නොගෙන සහයෝගයෙන් විසීම යි.

මූලාශ්‍රයයන්:

  • NASA (nasa.gov)
  • space.com
  • Reuters
  • Futurism
  • British Geological Survey (bgs.ac.uk)
  • ICA Commission on Map Design (mapdesign.icaci.org)
  • LiveScience
  • physics.org
  • usgs.gov
  • aljazeera.com
  • geog.ucsb.edu

කවරය: earth.com

Related Articles