අපේ සෞරග්‍රහ මණ්ඩලය ගැන වැඩි දෙනා නොදන්න දේවල් කිහිපයක්

අපේ සෞරග්‍රහ මණ්ඩලය ගැන පාසල් යන දරුවෙක්ට වුණත් සාමාන්‍ය දැනුමක් තියෙනවා. අපිට වඩාත් ආසන්නයෙන් තියෙන තාරකාව වන සූර්යයාත්, ඒ වටා සැරිසරන ග්‍රහලෝක අටත් තමයි සාමාන්‍යයෙන් සෞරග්‍රහ මණ්ඩලය කියලා කියන්නේ. ග්‍රහ ලෝක අට මොනවාද කියලා ඇහුවොත් පහ වසරේ ළමයෙක් වුණත් පිළිවෙලට ඒ ටික නම් කරාවි.

මේ ග්‍රහලෝක අටට අමතරව ඒවායින් සමහරක් වටා තියෙන චන්ද්‍රයන් (හඳවල්), ග්‍රහක වලල්ලේ තියෙන ග්‍රහක, තැන තැන තියෙන ධූමකේතු පවා අයත් වෙන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලයටමයි. ඉස්සර ග්‍රහ ලෝකයක් කියපු ප්ලූටෝත් ඇතුළුව වාමන ග්‍රහයන්, දූවිලි වලාකුළු වගේ තවත් ගොඩක් දේවල් සෞරග්‍රහ මණ්ඩලයට අයිතියි. මේ නිසා සෞරග්‍රහ මණ්ඩලය කියලා කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් සරලව දෙන්න තියෙන උත්තරේ  “අපේ සූර්යයාගේ පාලන බලය යටතේ තියෙන හැම දෙයක්ම” කියන එක. ටිකක් විද්‍යාත්මකව කියනවා නම් සූර්යයාගේ ගුරුත්වාකර්ෂණ බලය නිසා සූර්යයාගෙන් මිදිලා යන්න බැරිව ඒ වටා සැරිසරන හැම දෙයක්ම සෞරග්‍රහ මණ්ඩලයේ කොටසක්.

මේ විශ්වයේ තියෙන එකම සෞරග්‍රහ මණ්ඩලය අපේ සෞරග්‍රහ මණ්ඩලය විතරක් නෙවෙයි. අපි රෑට අහසේ දකින ඕනෑම තරුවක් වටා ඒ තරුවේ ගුරුත්වාකර්ෂණ බලයට නතු වුණු දේවල් තියෙන්න පුළුවන්. ඒවා ග්‍රහ ලෝකම වෙන්න අවශ්‍ය නැහැ. තරුවේ ගුරුත්වාකර්ෂණයෙන් මිදෙන්න බැරි හැම දෙයක්ම ඒ තරුවේ සෞරග්‍රහ මණ්ඩලයට අයිති දේවල්.

ඉතින් අපි අද කතා කරන්න යන්නේ සෞරග්‍රහ මණ්ඩලය ගැන වැඩි දෙනා නොදන්න කාරණා කිහිපයක් ගැනයි. මේවා ගැන බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්න විදිහේ ලොකු අඩුපාඩු තියෙනවා. සමහරවිට කරුණු වශයෙන් හරියට දන්නා දේවල් වුණත් ඔවුන්ගේ හිතේ ඇඳිලා තියෙන දේ නෙවෙයි ඇත්තටම පවතින තත්වය. මම මේ කියන දේ ලිපිය දිගටම කියවාගෙන යනකොට ඔබට හොඳට වැටහේවි.

1 – ග්‍රහලෝක වල කක්ෂ

බොහෝ දෙනා හිතාගෙන ඉන්නේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක වල කක්ෂ මේ වගේ කියලයි. රූපය : slo5.net

බොහෝ දෙනා හිතාගෙන ඉන්නේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක වල කක්ෂ මේ වගේ කියලයි. රූපය : slo5.net

කක්ෂයක් කියන්නේ මොකක්ද කියන එකට බොහොම සරල උත්තරයක් තියෙනවා, ඒ තමයි යම් වස්තුවක් තවත් වස්තුවක් වටා යන ස්ථිර මාර්ගය කියන එක. සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන හැම ග්‍රහලෝකයක්ම ගමන් කරන්නේ සූර්යයා වටේ. සූර්යයාට සාපේක්ෂව බැලුවොත් මේ හැම ග්‍රහලෝකයක්ම යන්නේ නිශ්චිත මාර්ගයකයි. මේ මාර්ගයක ගමන් කරනවාට කියන්නේ පරිභ්‍රමණය වෙනවා කියලයි. මේ කාරණාව නම් වැඩි දෙනෙක් දන්නවා. එතකොට නොදන්නේ මොනවද?

හැඩය

මේ කක්ෂ වල හැඩය මොනවා වගේ කියලද ඔබ හිතෙන්නේ? අපි අහලා තියෙන විදිහට ඒවා ඉලිප්සාකාරද? ඇත්තටම නැහැ. ඉලිප්සයක් කියලා අපි හඳුන්වන්නේ අක්ෂ දෙකක් වටා සමමිතික වන හැඩයකටයි. ඉලිප්සයකට මහා අක්ෂය, කුඩා අක්ෂය කියලා සමමිතික රේඛා දෙකක් තියෙනවා. නමුත් ග්‍රහලෝක ගමන් කරන කක්ෂ වල හැඩය ඊට වඩා වෙනස්. එකේ තියෙන්නේ එක සමමිතික අක්ෂයක් විතරයි.

ග්‍රහලෝක වල කක්ෂ වල හැඩයට දෙන්න පුළුවන් නිවැරදිම පැහැදිලි කිරීම තමයි “අණ්ඩාකාර” කියන එක. අණ්ඩාකාර කියන්නේ වචනාර්ථයෙන්ම ගත්තත් බිත්තරයක හැඩය කියන එකටයි. (අණ්ඩ+ආකාර. අණ්ඩ කියලා කියන්නේ බිත්තරයට) ඔබත් කැමති නම් බිත්තරයක් අරගෙන පැත්තෙන් බලන්න. එක පැත්තක් අනිත් පැත්තට වඩා කුඩායි නේද? අපේ ග්‍රහලෝක සූර්යයා වටා ගමන් කරන හැඩය ඇත්තටම ඒ වගේ හැඩයක්.

ග්‍රහලෝක කක්ෂ වල ඇත්ත හැඩය. රූපය : wisegeek.com

ග්‍රහලෝක කක්ෂ වල ඇත්ත හැඩය. රූපය : wisegeek.com

එහෙම වෙන්නේ ඇයි කියන එක සරලව විස්තර කරන්නත් මම උත්සාහ කරන්නම්.

වේගය

ග්‍රහලෝකයක් ගමන් කරන්නේ එකම වේගයකින් කියලයි වැඩි දෙනා හිතන්නේ. නමුත් ඇත්ත තත්වය එහෙම නැහැ. ග්‍රහලෝක සූර්යයා වටේ යන්නේ හරියටම වෘත්තයක වුණා නම් ඇත්තටම ග්‍රහලෝක වලට නියත වේගයකින් ගමන් කරන්න පුළුවන්. මොකද එතකොට හැම වෙලාවකම සූර්යයාගේ ගුරුත්වාකර්ෂණ බලය ඇති වෙන්නේ ග්‍රහලෝකය ගමන් කරන දිශාවට ලම්භකව. නමුත් අපි කලින් කියපු විදිහට අණ්ඩාකාර හැඩයක යනකොට මේ තත්වය වෙනස් වෙනවා. සූර්යයාගේ ගුරුත්වාකර්ෂණ බලයෙන් යම් කොටසක් ග්‍රහලෝකයේ ගමන් දිශාවටම යෙදෙන නිසා වේගය වැඩි වෙනවා. මේ වැඩේම අනිත් පැත්තට වෙද්දී, ඒ කිව්වේ ග්‍රහලෝකයේ ගමන් දිශාවේ ප්‍රතිවිරුද්ධ දිශාවට සූර්යයාගේ ගුරුත්වාකර්ෂණ බලයෙන් කොටසක් යෙදෙන වෙලාවට ග්‍රහලෝකයේ වේගය අඩු වෙනවා.

ඒ නිසා ඇත්තටම හැම ග්‍රහලෝකයක්ම ගමන් කරන්නේ ක්‍රමානුකූලව අඩු වෙලා වැඩි වන වේගයකින්. නමුත් ඒකට ලොකු කාලයක් නම් ගත වෙනවා, මොකද සම්පූර්ණ වැඩේ සිදු වෙන්න පරිභ්‍රමණයට යන කාලයම ගත වෙනවා. ඒ කිව්වේ පෘථිවියේ කාලයෙන් නම් අවුරුද්දක්. කොහොම වුණත් පෘථිවියේ අවම වේගය සහ උපරිම වේගය සෑහෙන්න වෙනස්.

මේ කතාව පහළ රූපය බැලුවොත් හොඳින් වැටහේවි.

ග්‍රහලෝකවල වේගය වෙනස් වෙන හැටි.

ග්‍රහලෝකවල වේගය වෙනස් වෙන හැටි.

කේන්ද්‍රය

අපි බොහෝ දෙනා හිතාගෙන ඉන්නවා කේන්ද්‍රය කියලා කියන්නේ හරි මැද කියන එකට කියලා. නමුත් ග්‍රහලෝක කක්ෂ ගැන හිතද්දී කේන්ද්‍රය කියන්නේ ජ්‍යාමිතිකව හරි මැදට නෙවෙයි. ග්‍රහලෝකයට සූර්යයාගෙන් ඇතිවෙන ගුරුත්වාකර්ෂණ බලය සමතුලිත වෙන දුරින් තමයි කක්ෂය පිහිටන්නේ. මේ නිසා ඇත්තටම සූර්යයාගේ ඉඳලා තියෙන දුර ක්‍රමානුකූලව අඩු වෙලා වැඩි වෙන තැන් වලින් තමයි කක්ෂය ගමන් කරන්නේ. පහළින් තියෙන රූපයේ විදිහට ඔබට ග්‍රහලෝක වල කක්ෂයේ කේන්ද්‍රය පෙන්නලා දෙන්න පුළුවන්. මේ කේන්ද්‍රයේ තමයි සූර්යයා පිහිටන්නේ. එහෙම නැතිව හරි මැද නෙවෙයි.

කේන්ද්‍රය සහ පවතින දුර වෙනස් වෙන විදිහ.

කේන්ද්‍රය සහ පවතින දුර වෙනස් වෙන විදිහ.

ඇත්තටම මේ හැඩය, වේගය සහ කේන්ද්‍රය කියන තුනම එකිනෙකට සම්බන්ධයි. කේන්ද්‍රයේ ඉන්න සූර්යයා නිසා වේගයයි හැඩයයි ඇති වෙනවා කියලා හිතුවත්, වේගය නිසා හැඩය ලැබෙනවා කියලා හිතුවත් වැරදියි කියන්න බෑ. ඈත ඉඳන් එන වල්ගා තරුවක් වුණත් සූර්යයා වටා ගමන් කරන පථය තීරණය වෙන්නේ වේගය සහ දුර මත වගේම සූර්යයාගේ ගුරුත්වය නිසා.

මේ විදිහට සිදු වෙන්න හේතුව නම් මේ වගේ සරලව පැහැදිලි කරන්න ටිකක් අමාරුයි. ඒකට ගුරුත්වාකර්ෂණය ඇතුළු බල ක්ෂේත්‍ර පැහැදිලි කරන්න යොදා ගන්න ක්ෂේත්‍ර සමීකරණ එහෙම ටිකක් ගැඹුරින් තේරුම් අරගන්න වෙනවා. කොහොම වුණත් ඔබට එක සරල කාරණාවක් මතක තියා ගන්න පුළුවන්, ඒ තමයි සූර්යයාට ලඟින් තියෙන ග්‍රහලෝක වල කක්ෂය බොහෝ දුරට වෘත්තාකාර හැඩයක් ගන්න බව. ඒවායේ වේගයේ වෙනස් වීමත් අඩුයි. නමුත් ඈතින් තියෙන ග්‍රහලෝක වල කක්ෂය හැඩය ගොඩාක් අණ්ඩාකාරයි. ඒ වගේම වේගයේ වෙනස් වීමත් ගොඩක් වැඩියි. වල්ගා තරු වගේ බොහෝ ඈත ඉඳලා එන වස්තූන්ට පරාවල, බහුවල වගේ නම් වලින් හඳුන්වන හැඩ වල කක්ෂ පවතිනවා.

2 – සූර්යයා සහ ග්‍රහලෝක වල පරිමාණය

ස්කන්ධය

සූර්යයා ඉතා විශාල බව අපි හැමෝම දන්නවා. ඒ නිසා සූර්යයාගේ ස්කන්ධයත් ගොඩක් වැඩියි, නැතිනම් සරලව කිව්වොත් “ඉර බොහොම බරයි” කියලා අපි කාටත් තේරෙනවා නේ. නමුත් නිකමට හිතලා බැලුවාද මොන තරම්ද බරද කියන එක?

නිකමට හිතන්න සූර්යයාගේ ස්කන්ධයයි, අනික් ග්‍රහලෝක අටේම ස්කන්ධවල එකතුවයි අතර අනුපාතය කීයක් වගේ ඇතිද? 50 ට 1ක්? 100ට 1ක්? ඇත්තම අගය 1000ට එකකටත් වඩා වැඩියි. ඒ කියන්නේ ප්‍රතිශතයක් විදිහට ගත්තොත් සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන හැමදේකම ස්කන්ධයෙන් 99.9%ටත් වඩා තියෙන්නේ සූර්යයාගේ ස්කන්ධය. පෘතුවියේ ස්කන්ධය සූර්යයාත් එක්ක බැලුවාම 330,000කින් එකක් විතරයි! (0.0003%ක්)

මෙහෙම කිව්වාට හිතන්න එපා පෘථිවියත් පුංචියි කියලා. අපේ සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන බුධ, සිකුරු, අඟහරු කියන ග්‍රහලෝක තුනයි, අපේ හඳයි සේරම එකට දාල කිරලා බැලුවත් ඊට වඩා පෘථිවියේ ස්කන්ධය වැඩියි. පෘථිවිය අපේ සඳ වගේ 81 ගුණයක් බරයි කියලා හිතන්න පුළුවන්ද?

ඒ වගේම මේ තත්වය අනික් ග්‍රහලෝක වලත් දකින්න පුළුවන්. ප්‍රමාණය අනුව වර්ග කළොත් ග්‍රහලෝක 8 ලැබෙන්නේ පිළිවෙලින් බ්‍රහස්පති, සෙනසුරු, නෙප්චූන්, යුරේනස්, පෘථිවිය, සිකුරු, අඟහරු සහ බුධ විදිහට. මේ ඕනෑම ග්‍රහලෝකයක ස්කන්ධය ඊට පස්සේ තියෙන ග්‍රහලෝක හැම එකකම ස්කන්ධයේ එකතුවට වඩා වැඩියි. බ්‍රහස්පතිගේ ස්කන්ධය අනික් හැම ග්‍රහලෝකයකම ස්කන්ධයේ එකතුව වගේ තුන් ගුණයකට කිට්ටුයි.

ඒ බ්‍රහස්පති වගේ දහස් වාරයක් බර සූර්යයා මොන තරම් විශාල ඇතිද?

ප්‍රමාණය

සූර්යයා බරයි වගේම ඉතා විශාලයි. සූර්යයාගේ ප්‍රමාණය පැහැදිලි කරන්න මම බොහොම සරල උදාහරණයක් ගන්නම්. අපි කවුරුත් දැකලා තියෙන පාපන්දුවක්, නැතිනම් ෆුට්බෝලයක් ගැන හිතන්න. සූර්යයා මේ ෆුට්බෝලය තරම් නම් පෘථිවිය මොන තරම් කියලාද හිතන්නේ? මේ පරිමාණයට ගත්තොත් පෘථිවිය මිදි  ඇටයක් තරම් ඇති. හොයා ගන්න පුළුවන් නම් ෆුට්බෝලයකුයි මිදි ඇටයකුයි අත් දෙකට අරගෙන බලන්න. පෘතුවිය ප්‍රමාණයේ ග්‍රහලෝක ලක්ෂ 13ක් (මිලියන 1.3)කටත් වඩා සූර්යයා ඇතුලේ පුරවන්න පුළුවන්.

සෞරගහ මණ්ඩලයේ ග්‍රහලෝක සහ සූර්යයා පරිමාණයට ගත්තාම මේ වගේ. රූපය : weebly.com

සෞරගහ මණ්ඩලයේ ග්‍රහලෝක සහ සූර්යයා පරිමාණයට ගත්තාම මේ වගේ. රූපය : weebly.com

එකිනෙකා අතර දුර

උඩ තියෙන රූපයේ පොඩි ග්‍රහලෝක ටික හොයාගන්න බැරි තරම් පුංචියි නේද? ඇත්තටම බැලුවොත් සූර්යයාගේ ඉඳලා ග්‍රහලෝක වලට තියෙන දුර නම් මේ විදිහට ඇඳලාවත් පෙන්නන්න අපහසුයි. මම ග්‍රහලෝකයේ ප්‍රමාණයත් එක්ක සූර්යයාගේ ඉඳලා තියෙන දුර මනෝ රූපයක් මැවෙන විදිහට විස්තර කරන්න බලන්නම්. මේක කිව්වාම ඔබට වුණත් විශ්වාස නැති වෙයි. ඒත් ඔබට කැමති නම් ග්‍රහලෝක වල විශ්කම්භය සහ සූර්යයාගේ දුර අතර තියෙන අනුපාතය අරගෙන මේක ගණනය කරලා තහවුරු කරගන්න පුළුවන්.

මුලින්ම හිතන්න පෘථිවිය මිදි ඇටයක් ප්‍රමාණයේ කියලා (විෂ්කම්භය 2mm වගේ). ඔබ හිතන්නේ සූර්යයා කොයි තරම් ඈතින් තියෙන්න ඕනේ කියලද? සංඛ්‍යා වලින් බැලුවොත් පෘථිවියේ විෂ්කම්භය කිලෝමීටර් 12756ක්, සූර්යයාගේ ඉඳලා කිලෝමීටර් මිලියන 150ක් ඈතින් තියෙන්නේ. පෘථිවිය මිදි ඇටයක් තරම් නම් ක්‍රිකට් පිටියක විකට් දෙක අතර දුරටත් වඩා (මීටර් 20ක්, අඩි 65ක්) දුරක් සූර්යයාට තියෙනවා. ඒ කියන්නේ කොළයක් අරගෙන මිදි ඇටයක තරමට පෘථිවිය ඇන්දත් පිඟානක් විතර සූර්යයා එක්ක අපේ කක්ෂය අඳින්න වෙන්නේ හොකී පිට්ටනියක් විතර කොළයක තමයි!

සූර්යයාට ඈතින්ම තියෙන නෙප්චූන් ග්‍රහලෝකය ගැන හිතුවොත් මේ තත්වය තවත් ටිකක් හිතා ගන්න අපහසු වෙනවා. අපි කලින් ගත්ත පරිමාණයෙන්ම හිතුවොත් නෙප්චූන් ග්‍රහලෝකය ග්‍රීන් පීස් ඇටයක් තරම් ඇති. නමුත් ඒක තියෙන්නේ සූර්යයාට මීටර් 400ක් විතර ඈතින්. අපේ රටේ දිගම පාලම වෙන කින්නියා පාලමේ දිගත් ඊට වඩා අඩුයි. නිකමට හිතින් මවා ගන්න කින්නියා පාලම ළඟට ගිහින් පටන් ගන්න හරියෙන් ග්‍රීන් පීස් එකක තරමට නෙප්චූන් ග්‍රහලෝකය ඇන්දා කියලා. සූර්යයා අඳින්න වෙන්නේ පාලමෙන් අනිත් පැත්තේ. ඉතින් මේ වගේ කක්ෂයක් පරිමාණයට අඳින්න කිලෝමීටරයක් විතර පළල ලොකු වැවක් විතර කොළයක් හොයා ගන්න වෙනවා! (ග්‍රීන් පීස් එකක් තරම් පොඩියට ග්‍රහලෝකය අඳින්න වුණත්)

3 – ග්‍රහ ලෝක වල මතුපිට

සඳ මත මිනිසුන් ගොඩ බැස්සේ 1969 අවුරුද්දේ. එදා සඳ මත ඇවිදපු අය අතරින් එඩ්වින් “බස්” ඕල්ඩ්‍රීන් අදටත් ජීවතුන් අතර ඉන්නවා. මිනිසුන් සඳ මතට ගොඩ බස්වා නැවත පෘථිවියට අරගෙන එන එක 1960 දශකය තුලදීම කරන බවට ජෝන් F. කෙනඩි ජනාධිපතිවරයා දුන්නු පොරොන්දුව තමයි මේ වැඩේ ඉක්මන් වෙන්න බලපෑවේ. ඇපලෝ ව්‍යාපෘතිය යටතේ ඇමරිකානුවන් වුණු නීල් ආම්ස්ට්‍රෝන් සහ එඩ්වින් ඕල්ඩ්‍රීන් සඳ මත ගොඩ බැස්සා. ඉන් පස්සේත් වාර කිහිපයක්ම ඇමරිකානු ජාතිකයන් සඳ මත ඇවිදලා සාම්පල පවා පෘථිවියට ගෙනැවිත් තියෙනවා.

පස්සේ කාලෙක ඇත්තටම මිනිසුන් ගොඩබැස්සාද කියන එක ගැන විවිධ මත පළ කෙරුණා. නමුත් අදටත් ඔවුන් එදා සඳ මත තියලා ආපු පරාවර්තන තල (කන්නාඩි කියලා හිතන්නත් පුළුවන්) වලට ප්‍රබල ලේසර් කිරණයක් එල්ල කරොත් ඒකෙ පරාවර්තනය ලබා ගන්න පුළුවන්. ඒ නිසා සඳට ගියේ නැහැ කියන කතාව පහසුවෙන්ම බැහැර කරන්න පුළුවන්. හැම දේම කියන විදිහටම සිදු වුණා කියලා තහවුරු කරගන්න බැරි වුණත් ඔවුන් සඳ මත ගොඩ බැස්සා කියන එක නම් අපිට පිළිගන්න වෙනවා.

ඇපලෝ අජටාකාශගාමීන් සඳ මත තැන්පත් කරපු පරාවර්තන තලයක්. රූපය : විකිපීඩියා

ඇපලෝ අජටාකාශගාමීන් සඳ මත තැන්පත් කරපු පරාවර්තන තලයක්. රූපය : විකිපීඩියා

කොහොම වුණත් මේ සිද්ධිය ලෝකය පුරා ප්‍රසිද්ධ වෙනවාත් එක්කම තවත් ග්‍රහලෝක වලට මිනිසුන් යවන එක ගැන ලොකු උනන්දුවක් ඇති වුණා. ඒ ගැන හොයලා බලන්න මිනිසුන් රහිත යානා විශාල ගණනක් විවිධ ග්‍රහලෝක වලට යැව්වා. ඒ ඇසුරෙන් ලබා ගත්තු දත්ත වලින් මිනිසුන්ට යන්න සුදුසු එකම ග්‍රහලෝකය විදිහට තෝරාගෙන තියෙන්නේ අඟහරු. ඒ නිසා දැන් කවුරුත් උනන්දු වෙන්නේ අඟහරු වලට මිනිසුන් යවන්නයි.

ඒ නිසා අඟහරු තෝරා ගන්නත්, අනික් ග්‍රහලෝක තෝරා නොගන්නත් හේතුව මොකක්ද කියන එක හොයලා බලමු. බොහෝ දෙනෙක් හිතන්නේ මේකට ප්‍රධාන හේතුව තියෙන දුර කියන එකයි. නමුත් ඇත්තටම ඊට වඩා බරපතල ප්‍රශ්න කිහිපයක් අනික් ග්‍රහලෝක වල තියෙනවා.

උෂ්ණත්වය

සෞරග්‍රහ මණ්ඩලයේ හැම ග්‍රහලෝකයකම මතුපිට උණුසුමට වැඩිපුරම හේතු වෙන්නේ සූර්යයාගෙන් පිටවන ශක්තිය. මේ නිසා සාමාන්‍යයෙන් සූර්යයාගෙන් ඈත පිහිටන ග්‍රහලෝක වල උෂ්ණත්වය අඩුයි. නමුත් මේ තත්වය හැම වෙලාවකම එහෙම නෙවෙයි. සූර්යයාට ළඟින්ම පිහිටන බුධ ග්‍රහයා ඇත්තටම මතුපිට උෂ්ණත්වයෙන් තියෙන්නේ දෙවැනි තැන. දෙවැනියට තියෙන සිකුරු ග්‍රහයා තමයි උෂ්ණත්වයෙන් පළමු තැන ඉන්නේ. මේකට ප්‍රධාන හේතුව අපි කවුරුත් හොඳටම අහලා තියෙන දෙයක්. ඒ තමයි “හරිතාගාර ආචරණය”.

මිහිතලය උණුසුම් වෙන්න හරිතාගාර වායු වල බලපෑම මොන වගේද කියන එකට සිකුරු ග්‍රහයා මත තත්වය හොඳ උදාහරණයක්. සූර්යයාට තරමක් ඈතින් තිබුණත් සිකුරු මත තියෙන උෂ්ණත්වය සෙල්සියස් 400°කටත් වඩා වැඩියි. ඒ කියන්නේ ඊයම් වුණත් දිය වෙන උෂ්ණත්වයක්. අනිත් එක සිකුරු මත වායුගෝල පීඩනයත් අපේ පෘථිවියේ වගේ 90 ගුණයක් විතර ප්‍රබලයි. (මුහුදේ කිලෝමීටරයක් විතර ගැඹුරින් තියෙන පීඩනයට සමානයි) අඟහරුට වඩා පෘථිවියට ඉතා ලඟින් තිබුණත් මේ කාරණා නිසා ප්‍රායෝගිකව සිකුරු මත මිනිසුන්ට ගොඩ බහින්න බැහැ.

 

සිකුරු ග්‍රහයා මතුපිට මොන වෙලාවෙත් තියෙන්නේ ලාවා වගේ තද උණුසුමකින්. රූපය : wikimedia.org

සිකුරු ග්‍රහයා මතුපිට මොන වෙලාවෙත් තියෙන්නේ ලාවා වගේ තද උණුසුමකින්. රූපය : wikimedia.org

අඟහරු ග්‍රහයා තරමක් ඈතින් තිබුණත් ඒ තරම් බරපතල ගැටළුව මොනවත් නැහැ. ඒ මතුපිට උෂ්ණත්වය ජලය මිදෙන මට්ටමක තිබුණත් පෘථිවියේ සමහර ප්‍රදේශ වල පවා ඒ මට්ටමේ සීතලක් දකින්න ලැබෙනවා. අඟහරුගේ එකම ප්‍රශ්නය තමයි වායුගෝලය තුනී එක. ඒ නිසා හැම වෙලාවකම හුස්ම ගන්න අතිරේක ක්‍රමයක් සලසා ගන්න සිදු වෙනවා. නමුත් වෙනත් ප්‍රශ්නයක් නම් නැති තරම්.

එතනින් එහාට තියෙන ග්‍රහලෝක වලත් අධික උණුසුමක් නැති නිසා ඒ ප්‍රශ්නය නම් නැහැ. මොකද උණුසුම් තැනක් සිසිල් කරනවාට වඩා සීතල තැනක උණුසුම හදාගෙන ඉන්න එක ස්වභාවයෙන්ම පහසුයි. ඒත් මේ ග්‍රහලෝක වල ඊට වඩා බරපතල ප්‍රශ්නයක් තියෙනවා.

ගොඩ බසින්නේ කොතැනටද?

මිනිසුන් රැගත් යානාවක් හරි, මිනිසුන් රහිත යානාවක් හරි ග්‍රහලෝකයකට ගොඩ බහින්න නම් ඒ සඳහා සුදුසු තැනක් තෝරා ගන්න ඕනේ. නමුත් මේ අඟහරුට එහායින් තියෙන ග්‍රහලෝක වල ගොඩබහින්න සුදුසු තැනක් නෙවෙයි මතුපිටක්වත් නෑ. මොකද ඒ ග්‍රහලෝක හතරම විශාල වායු බෝල විතරයි. ඒවා උඩ අපිටවත්, යානාවකටවත් ගොඩබහින්න කිසිම විදිහක් නැහැ.

ග්‍රහලෝකයක් කියන්නේ පෘථිවිය වගේ මතුපිටක් තියෙන දෙයක් විතරයි කියන එක බොහෝ දෙනෙක්ට තියෙන වැරදි අදහසක්. විශාල වායු ප්‍රමාණයක් එක තැනක තිබුණත් ඒවායේ ස්කන්ධය නිසා ගුරුත්වාකර්ෂණයක් හට ගන්නවා. එහෙම වුණාම ඒ වායු සේරම එකට එකතු වෙලා ගෝලාකාරව හැඩගැහෙනවා. මේ වායු බෝලයටත් ග්‍රහලෝකයක් කියන්න පුළුවන්. බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස්, නෙප්චූන් කියන ග්‍රහලෝක හතරම මේ වගේ වායු වලින් විතරක් හැදුණු ග්‍රහලෝක.

නමුත් හිතන්න එපා අභ්‍යාවකාශ යානයකට මේ වායු බෝලයක් ඇතුලෙන් ගිහින් අනිත් පැත්තෙන් මතු වෙන්න පුළුවන් කියලා. මේ ග්‍රහලෝක කිලෝමීටර් දසදහස් ගණනක් පළලයි. කිලෝමීටර් කිහිපයක් යන්නත් කලින් ඕනෑම යානාවක් ඇඹරිලා යන තරමේ පීඩනයක් තියෙනවා. අනික මේ ග්‍රහලෝක වල ගුරුත්වාකර්ෂණයෙන් මිදිලා ආපහු එන එක දැනට පාවිච්චි කරන රසායනික රොකට් වලින් කරන්න බැරි මට්ටමේ තියෙන්නේ. වායු වලින් විතරක් හැදිලා තිබුණත් ටිකක් ඇතුලට යද්දී තියෙන වායුන් පවතින පීඩනය නිසාම ඉතාම ඝනකම්. ඊයම් වගේ හා දොළොස් ගුණයක ඝනත්වයක් මේ ග්‍රහලෝක ඇතුළේ තියෙනවා!

වායු වලින් හැදුණු ග්‍රහලෝක වල මතුපිටක් විදිහට පෙනෙන්නේ මේ වලාකුළු තට්ටුව. කොයි තරම් යටට ගියත් පීඩනය වැඩි වෙනවා විතරයි. රූපය : swri.edu

වායු වලින් හැදුණු ග්‍රහලෝක වල මතුපිටක් විදිහට පෙනෙන්නේ මේ වලාකුළු තට්ටුව. කොයි තරම් යටට ගියත් පීඩනය වැඩි වෙනවා විතරයි. රූපය : swri.edu

මේ මම ඔබට කිව්වේ බොහෝ දෙනා ඒ තරම් නොදන්නා කාරණාවන් කිහිපයක්. මීට අමතරව අපේ සෞරග්‍රහ මණ්ඩලය ඇතුලේම තියෙන පුදුම හිතෙන කාරණා බොහෝමයකුත් තියෙනවා. ඒවා ගැන ඉදිරි ලිපියකින් කතා කරමු. අපි හිතාගෙන ඉන්නවාට වඩා අභ්‍යාවකාශයේ බොහෝ දේවල් වල ඇත්ත ස්වරූපය වෙනස්.

මේ ලිපිය කියවලා ඔබ අපි ජීවත් වන සෞරග්‍රහ මණ්ඩලය ගැන අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. ඔබත් මේ වගේ විෂයකට ආශා කරන කෙනෙක් නම් මේ දේවල් ගැන වැඩිදුරටත් කරුණු හොයලා බලන්න පුළුවන්. ඒ වගේ ආසාවෙන් තාරකා විද්‍යාඥයන් වුණු බොහෝ දෙනෙක් අපේ අසල්වැසි ඉන්දියාවෙන් බිහි වුණා. මේ ලිපිය කියවන කාට හරි අපේ රටෙන් බිහි වුණු තාරකා විද්‍යාඥයෙක් වෙන්න උවමනාවක් ඇති වෙනවා නම් ඒක කොයි තරම් දෙයක්ද?

මුලාශ්‍රය: wikipedia 

Related Articles