බළලුන්ගේ අමුතු හැසිරීම් ටිකක් තේරුම් ගමුද ?

බළල් හිමියන් කියන්නේ එක්තරා විදිහකින් හොඳ ඉවසිලිවන්ත පිරිසක්. මොකද ගොඩක් වෙලාවට බළලුන්ගේ ස්වාමියන් වෙන්න යන අයට, අන්තිමට තමාගේ සුරතල් බළලාගේ යටහත් පහත් සේවකයන් වෙන්න සිද්ධ වෙන නිසා. කොහොමත් සුනඛයෙකුගෙන් බලාපොරොත්තු වෙන ගුණාංග, අපට ඊළඟට වඩාත්ම සමීප ගෘහාශ්‍රිත සත්ත්වයා වන බළලුන්ගෙන් බලාපොරොත්තු වෙන එක එච්චර සාර්ථක දෙයක් නම් නෙවෙයි. ඒකට හේතු වෙන්නේ, ඔවුන් පරිණාමයෙන්ම ගෙනාපු ඔවුන්ටම සුවිශේෂී වූ ගුණාංග. ඒත් හරියට ඔවුන්ව තේරුම් ගත්තොත්, සුරතලෙකු ලෙස බළලා කියන්නේ හරිම ආකර්ශනීය සත්ත්වයෙක්.

බළලුන් සමග කාලය ගත කරන ඕනෑම කෙනෙකු අත්විඳින සමහර පොදු කාරණා තියෙනවා. බළලුන් කියන්නේ බොහෝ සෙයින් ස්වාධීන ලෙස ජීවත්වෙන්න කැමති සතුන්. ඒ වගේම මේ සුරතල් සගයන් ටිකක් අද්භූත යි. සමහර වෙලාවට ටිකක් ආඩම්බර යි. ඉතින් මේ ලිපියේ අරමුණ වන්නේ මේ කුඩා බිළාල සාමාජිකයාගේ හැසිරීම් රටා පිළිබඳව යම් විද්‍යාත්මක ඇසකින් දැකීම යි.

සුනඛයන් තමන් පරිණාමික බන්ධුතා ඇති වෘකයන්ට පෙන්නනවාට වඩා, බළලුන් ඔවුන්ගේ මුතුන් මිත්තන්ට බොහෝ සෙයින් සමානකම් දක්වනවා. සුනඛයන් මිනිසුන් සමග ජීවත්වීමට බොහෝ සෙයින් අනුවර්තනය වුණත්, බළලුන් වනාන්තරවල ගෙවූ දිවියෙන් උරුම වූ ලක්ෂණ සම්පූර්ණයෙන්ම අතනොහැර මිනිසුන් සමග ජීවත්වීමට ආ සගයින්. පසුගිය අවුරුදු දහස් ගණන තුළ ඔවුන් පරිණාමිකව වෙනස් වී ඇත්තේ සුනඛයන්ට සාපේක්ෂව අවම ලෙසිනුයි.

බළලුන්ගේ “පුරු පුරු” ගෑමත් සන්නිවේදන ක්‍රමයක් (thepariscat.wordpress.com/)

බළලුන් සුනඛයන්ට වඩා කෑම තෝරන ගතියක් ඔබට නිරීක්ෂණය වෙලා තියෙනවා ද?

සුනඛයන් සහ බළලුන් දෙගොල්ලොම ක්ෂීරපායීන් සහ මූලිකවම මාංශභක්ෂක සතුන්. නමුත් මිනිස් ආශ්‍රයට පැමිණි පසු ඔවුන්ගේ ආහාර විවිධත්වයේ සැළකිය යුතු වෙනසක් සිදුවුණ බව අපි කවුරුත් දන්නවා. මේ දෙගොල්ලොම තමන්ගේ ආහාර රටාව මිනිස් ආශ්‍රයේ දී යම් යම් වෙනස්කම්වලට ලක් කරගත්තත්, නවතම DNA විශ්ලේෂණ වාර්තා අනුව, පරිණාමය වෙමින් ඔවුන් මෙතෙක් ආ ගමනේ දී සුනඛයන් පිෂ්ඨය බිඳ දැමීමට උපකාරී වන එන්සයිමයන් නිපදවන ජානයක වැඩි පිටපත් ප්‍රමාණයක් ලබාගන්නට සමත්වෙලා තියෙනවා. සුනඛයන්ට වඩාත් සර්ව භක්‍ෂක නැඹුරුවක් සහිතව තම ආහාර රටාව වෙනස් කරගැනීමට හැකියාව ලැබිලා තියෙන්නේ මේ නිසා යි. ඒත් අපි බළලුන් පැත්තට හැරුණොත්, ඔවුන්ගේ පරිණාමයේ මුල් අවධියේ දී විටමින් A, ප්‍රොස්ටැග්ලැන්ඩින්, සහ ඇතැම් ඇමයිනෝ අම්ල නිපදවන ප්‍රධාන එන්සයිම කිහිපයක් ආකේතනය කරන ජාන අහිමි වුණා. සුනඛයින්ට (සහ මිනිසුන්ට) ශාක පදනම් කරගත් ආහාරවලින් මෙම ද්‍රව්‍ය සංස්ලේෂණය කළ හැකි නමුත් බළලුන්ට ඒවා මාංශවලින්ම ලබා ගන්නම සිද්ධ වෙනවා.

බළලුන්ට තම ආහාර විවිධත්වය තවත් පුළුල් කරගැනීමට නම් ඔවුන්ට ශාකමය ආහාරවලින් මේ අනෙකුත් ප්‍රධාන පෝෂ්‍ය පදාර්ථ සංස්ලේෂණය කිරීමට ඉඩ සලසන කායික ගුණාංග වර්ධනය කරගැනීමට සිදු වෙනවා. නමුත් වසර මිලියන 10ක පරිණාමීය ගමන තුළ මෙම ධාරිතාව බළලුන්ගෙන් මතු වෙලා නැහැ. ඒ නිසා අපගේ ගෘහස්ථ බළල් සුරතලාට සුනඛයන් තරම් සර්ව භක්ෂක ගති ලක්ෂණ පෙන්වන්න තරම් හැකියාවක් ස්වයංසිද්ධව හෝ පැන නැගීමට ඉඩක් නැහැ. ඒ නිසා මේ අය කෑම ටිකක් තෝරන්න බලනවා. කොච්චර අපි හොඳට කන්න දුන්නත් ලේනෙක්, මීයෙක් දකිද්දී දඩයමට ඇඟ සූදානම් වෙන්නේ මේ නිසා වෙන්න පුළුවන්.

ඇයි බළලුන් පුරු පුරු ගාන්නේ?

බළලුන් පුරු පුරු ගාන්නේ බොහෝවිට ඔවුන්ට පැවසීමට යමක් තිබෙන බව හැඟවීමට හෝ “කරුණාකර දිගටම මා ගැන අවධානය යොමු කරන්න” වැනි අවශ්‍යතාවයක් හැඟවීමට යි. බළල් පැටවුන් තම මව්වරුන්ට දිගටම කිරි දෙන ලෙසට ඒත්තු ගැන්වීමටත් මේ “පුරු පුරු” ගෑම සිදු කරනවා. 

බළලුන් කරන මේ “පුරු පුරු”ගෑමත් සමගම ඔබ ඔවුන්ගේ ශරීරය මඳක් ස්පර්ශ කර බලන්න. ඔවුන්ගේ ශරීරය පුරා පැතිරෙන කිසියම් කම්පන ධාරාවක් ඔබේ අතට දැනේවි. සමහර පර්යේෂකයන් විශ්වාස කරන පරිදි “පුරු පුරු” ගෑමත් සමග ශරීරයේ සිදුවන මේ සිහින් කම්පනය, බළලුන්ගේ අස්ථි සම්බන්ධ ආබාධ සුවකරගැනීමට ඉහවල් වෙනවා.

බළලුන් කිසියම් රෝගයක් නිසා දුර්වල වූ විටත් මේ “පුරු පුරු” ගෑම සිදු කරනවා. ඒ ඔහුගේ භාරකරුවාගේ උදව් බලාපොරොත්තුවෙන්. ඒ නිසා බළලුන් පුරු පුරු ගාන්නේ සතුටුදායක හැඟීමක් ඇතිවූ විට පමණක් නොවේ. 

මේ “පුරු පුරු” ගෑම බළලුන් සිදුකරන්නේ තම ස්වර තන්ත්‍ර එකිනෙකට කම්පනය කිරීමෙන්. හුස්ම පිටකිරීමේ දී මෙන්ම හුස්ම ගැනීමේ දීත් මේ පුරුපුරුව නොකඩවා සිදුවෙන්නේ, එම ක්‍රියාවට වාත කම්පනයන් සම්බන්ධ නොවන නිසා යි. මේ ශබ්දය බොහෝ කැලෑ බළලුන්ට මෙන්ම චීටාවන්ට ද කළ හැකියි. නමුත් බළලුන්ගේ විශාලතම සාමාජිකයන් වන සිංහයන්, ජගුවරයන් වැනි සතුන්ට මෙය සිදුකළ නොහැක්කේ ගර්ජනා කළ හැකි වන පරිදි ඔවුන් ව්‍යුහාත්මකව වෙනස් වී තිබෙන නිසා යි.

බළලුන්ටත් ආදරය අවශ්‍ය යි (www.insider.com/)

මිනිසුන් හමුවේ විතරක් භාවිත කරන ඤාව් භාෂාව

ගෘහස්ථ බළලුන් කැළෑ බළලුන්ට වඩා ටිකක් ඝෝෂාකාරී උදවිය. නමුත් අනෙකුත් වනගත විශේෂයන්ට වඩා ගෘහාශ්‍රිත බළලුන්ගේ ශබ්දවල විවිධත්වය අඩු යි. නිදසුනක් වශයෙන් ආසියාතික කැලෑ බළලුන් තරමක ගොරහැඩි ශබ්දයක් නඟනවා. නමුත් බැළලියන් තම පැටවුන් සමග සන්නිවේදනය කරන විට හැර, ගෘහස්ථ බළලුන්ගෙන් නිතර අසන්නට ලැබෙන “ඤාව්” ශබ්දය වනගතව වෙසෙන බළල් සාමාජිකයන්ගෙන් ඇසීම ඉතාම විරල යි. මොකද කැලෑ බළලුන් එකිනෙකාගේ පැමිණීම් පිටවීම් ගැන බොහොම උනන්දුවෙන් අධීක්ෂණය කරන නිසා ඔවුනොවුන් අතර වාචික ප්‍රකාශ සිදුකිරීම අත්‍යාවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ගෘහාශ්‍රිත බළලුන්ට නිතර මේ සන්නිවේදන කර්තව්‍යය සිදුකරන්න සිද්ධ වෙන්නේ තමාගේ වර්ගයා සමග පමණක් නොවේ. තමාගේ අවශ්‍යතා ඉටු කිරීම සම්බන්ධයෙන් වැඩි වගකීමක් දරන මිනිසුන් සමග සන්නිවේදනය කිරීමත් ඔවුන්ට එක හා සමාන ලෙස වැදගත්. ඒ නිසා මේ “ඤාව්” ශබ්දය ඔවුන් බොහෝවිට සිදු කරන්නේ මිනිසුන් සමග යි. එය මිනිසුන්ගේ අවධානය තමා වෙත යොමු කරවා ගැනීමේ හොඳම මාර්ගය බව ඔවුන් දන්නවා.ඒ වගේම සමහර බළල් සුරතලුන් ඔවුන්ගේ අයිතිකරුවන්ට පමණක් තේරුම් ගත හැකි “පුද්ගලික භාෂාවක්” වර්ධනය කරගන්නත් පෙළඹෙනවා. ඒවයින් ඔවුන්ගේ විවිධාකාර වූ අවශ්‍යතා හැඟවීමට යොදා ගන්නවා.

ඔබේ බළල් සුරතලා ඔබට ආදරය දක්වන්නේ කොහොමද?

මේ කාරණය නම් එක එක විදිහට බළල් අයිතිකරුවන් අත්විඳිනවා ඇති. නමුත් පොදුවේ බළලුන් ආදරය දක්වන්නේ තමාව පෝෂණය කරන, රැකබලා ගන්නා, සහ ඔවුන් සමග සෙල්ලම් කරන අය කෙරෙහි පමණයි. අපි පාරතොටේ යනකොට සමහර සුනඛයන් හේතුවක් නැතුවම අපට හිතවත්කම් පාන අවස්ථා තිබුණත් බළලෙක්ගෙන් එහෙම හැසිරීමක් ලෙහෙසියෙන් දකින්න ලැබෙන්නෙ නැහැ. ඒ අතින් බැලුවම සුනඛ-මිනිස් ආදරයට වඩා බළල්-මිනිස් ආදරය ටිකක් විතර අවශ්‍යතා මත පදනම් වුණ එකක්.

බළලෙකුගේ ආදරය ලබන්න පුළුවන් පහසුම ක්‍රමය තමයි බලහත්කාරයෙන් ඔවුන්ට ළඟා වෙනවාට වඩා ඔවුන්ට ස්වකැමැත්තෙන්ම තමා ළඟට ඒමට ඉඩහැරීම. එලෙස එනවිට බළලාට පුංචි කෑමක් දෙන්න අමතක කරන්න එපා. ඊට පස්සේ එයාට අවශ්‍ය ඕනෑම මොහොතක පිටවීමට ඉඩ දෙන්න. එලෙස යන්නට ඉඩ හැරියොත් බළලා නැවත ඔබ අසලට එන්නට තියෙන ඉඩකඩ වැඩියි. එහෙම නැවත ආවම මුල් අවස්ථාවට වඩා ඔබ අසල රැඳෙන වේලාව ඔවුන් ටිකක් වැඩි කරනවා. ඔය විදිහට ගිහින් අන්තිමට පදිංචිම වෙනවා.

බළලුන් බොහෝ දුරට යම් සීමාවක් ඇතුව මිනිසුන් සමග සබඳතා පවත්වන සතුන්. උදාහරණයක් විදිහට ඔවුන් තම ස්වාමියා සමග සුරතල් වෙන්න කැමති වුණත්, ඔවුන්ට එය ටික වේලාවකින් එපා වෙනවා. එවිට ඔවුන්ට එය නවතාගැනීමට අවශ්‍ය යි. බොහෝවිට ඔවුන් ඒ සඳහා පූර්ව සංඥාවක් තම මිනිස් සගයා වෙත නිකුත්කරනවා. පැතලි කරගත් කන්, සහ වලිගය තරමක් ඇඹරීමෙන් තමා දැන් තෘප්තිමත් වූ බව තම මිනිස් සගයාට ඇඟවූවත්, එතනින් එහාටත් කෙනෙකු තම බළලාව සුරතල් කරන්න සූදානම් වුණොත්, ඔවුන් අතින් පහර දෙන්න වුණත් පෙළඹෙන්න පුළුවන්. ඉතින් එවැනි හැසිරීම් ඔබේ බළලාව සුරතල් කරන අතරතුරේ නීරික්ෂණය වුවහොත්, එයාට ටිකක් නිදහසේ ඉන්න දෙන එක වඩා හොඳයි.

ඒ වගේම දීර්ඝ කාලයක් ඔබ තම බළල් සුරතලා ගෙන් වෙන්ව සිටියහොත්, ඔවුන්ට ඔබව අමතක වී යෑමේ සම්භාවිතාවය සුනඛයන්ට සාපේක්ෂව ටිකක් වැඩියි. සුනඛයන්ට නම් අවුරුදු ගණනක් තිස්සේ ඔවුන්ට දැනෙන ඉවෙන් තම ස්වාමියාව හඳුනාගත හැකියි.

බළලුන් තම වලිගය ආධාරයෙනුත් සන්නිවේදනය කරනවා (www.animalwised.com)

බළලුන් ඔවුන්ගේ දඩයම් තම මිනිස් සගයන් වෙතට ගෙන එන්නේ ඇයි?

මෙය අපි ටිකක් වරදවා වටහා ගන්නා තැනක්. මොකද ඇතැම් බළල් හිමියන් සිතන්නේ බළලුන් මෙලෙස තමන් වෙත දඩයම් ගෙන එන්නේ තෑගි ලෙසට බව යි. නමුත් සත්‍ය එය නොවේ. බළලුන් දඩයමක් කරගත් සැණින් එය අනුභව කිරීමට සුදුසු ආරක්ෂිත ස්ථානයක් වෙත එය ගෙන යනවා. ඉතින් ගෘහාශ්‍රිතව වෙසෙන බළලෙක්‍ට නම් එයාට දන්න හොඳම ආරක්ෂිත ස්ථානය වෙන්නේ තම මිනිස් සගයාගේ නිවස. නමුත් මේ දඩයම සිද්ධ වුණේ මුළුතැන්ගෙයක් අසල නම්, ඔවුන්ට නිරායාසයෙන්ම මතක් වෙනවා තමන් කරගත් දඩයමට වඩා දිනපතා තම මිනිස් සගයා දෙන කෑම වේල රසවත් බව. එවිට ඔවුන්‍ තම දඩයම අතන මෙතන අතහැරලා දානවා.

බළලුන් ඇතැම් භාණ්ඩවලට පහර දී බිම දමන්නේ ඇයි?

මිනිසුන් තරමටම නොවුණත්, හැසිරීම් අතින් බළලුන්ගේ වුණත් යම් යම් වෙනස්කම් තියෙන්න පුළුවන්. ඉතින් මේ හාස්‍යජනක හැසිරීම හැම බළලෙකුගෙන්ම නිරීක්ෂණය කළ නොහැකියි. සමහර බළලුන් තමන් ඉදිරියේ ඇති කුඩා භාණ්ඩ මේසයකින් හෝ යම් උසක හිඳ බිමට අතහරින්නේ තම අයිතිකරුවාගේ අවධානය ලබා ගැනීම සඳහා විය හැකියි. තවත් විටෙක ඔවුන් එය කරන්නේ ඔවුන්ගේම විනෝදාස්වාදය සඳහා හෝ එම ක්‍රියාව තම හිමිකරු භුක්ති විඳින ක්‍රීඩාවක් ලෙසින් ඔවුන් ඉගෙන ගෙන ඇති බැවිනි.

බළලුන්ට ඉහළට ගිය වේගයෙන්ම පහළට බහින්න බැරි ඇයි?

බළලුන්ගේ නියපොතු පසුපසට මුහුණ ලා ඇති නිසා, ඒවා පහළට බැසීමට වඩා ඉහළට නැඟීමට උචිත වන විදිහට තමයි සැකසිලා තියෙන්නේ. බළලුන් වඩාත් උස තැන්වලට නැඟීමට නොපෙළඹුණත්, ඇතැම් විට බියට පත් වීමෙන් හෝ අත්දැකීම් අඩුකම නිසා හෝ ඇතැම් විට ඉතා උස් තැන්වල සිටිනවා දැකිය හැකියි. එවැනිඅවස්ථාවල ඔවුන් හැකි තරම් තම නිය ආධාරයෙන් පහළට මඳ දුරක් බැස ඉතිරි දුර පිම්මකින් සම්පූර්ණ කරනවා. මෙම පිම්ම ටිකක් විශේෂ යි. ඔවුන්ගේ උදර ප්‍රදේශයේ සම සිනිඳු සහ ලිහිල් වන අතර, යම් උසක සිට වැටීමේ දී ඔවුන් තම පාද හතර දිගු කරමින් මෘදු සහ ලිහිල් උදරීය සම යම් ආකාරයක පැරෂුටයක් සේ සාදා ගනු ලබනවා. පසුව පොළොවට පතිත වීමට මොහොතකට මත්තෙන්, පතිත වීමේ දී ඇති වන කම්පනය දරා ගනු පිණිස ඔවුන් තම පාද සතර පොළොවට සම්මුඛ වන සේ තබා ගෙන ශරීරය යම් ආරුක්කු හැඩයකට සකස්කරගන්නවා. යම් උසක සිට වැටීමේ දී සිදුවන හානිය අවම කරගනු වස් ඔවුන් තම ශරීරය සකස් කරගන්නා ආකාරය පිටුපස තිබෙන භෞතික විද්‍යා පදනම ගැන විද්‍යාඥයින් පරීක්ෂණ රාශියක් මේ වනවිට සිදු කර තිබෙනවා. ඒ හා සම්බන්ධ සවිස්තරාත්මක ලිපියක් ඉදිරියේ දී ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.

කැට්නිප් ශාකයක් සමග සිටින බළලෙක් (www.walmart.com)

 

බළලුන් සමහර පැළෑටි විශේෂවලට දැඩි ලොල් බවක් දක්වන්නේ ඇයි?

කුප්පමේනියා පැළයක් ඔබේ බළල් සුරතලුන්ට දුන්විට ඔවුන්ගේ හැසිරීම් නිරීක්ෂණය කොට තිබෙනවා ද? බොහෝවිට ඔවුන් හැසිරෙන්නේ එය ඔවුන්ට ලබා දුන් මාහැඟිම දායාදය වගෙයි. බළලුන් මෙලෙස දැඩි ලොල් බවක් දක්වන ශාක විශේෂ කිහිපයක් මේ ලෝකය තුළ පවතිනවා. බොහෝ බටහිර රටවල දකින්නට ලැබෙන කැට්නිප් නම් ශාක විශේෂය ඉදිරියේත් බළලුන් මේ අමුතු හැසිරීම් රටාව දක්වනවා. මේ කැට්නිප්වලින් බළලුන්ට ඇති කරන බලපෑම ගැන විද්‍යාඥයින් පරීක්ෂණ සිදුකර තිබෙනවා. කැට්නිප් ශාකය (Nepeta cataria) මින්ට් පවුලේ සාමාජිකයන් වන අතර වාෂ්පශීලී තෙල්, ස්ටෙරෝල්, සහ ටැනින් වැනි රසායනික ද්‍රව්‍ය අඩංගු වෙනවා. යුරෝපයට, ආසියාවට, සහ අප්‍රිකාව නිජබිම කරගත් මේ ශාකය පසුකලෙක සංක්‍රමණිකයන් විසින් උතුරු ඇමරිකාවට ගෙන ආවා.

කැට්නිප් ශාකවල අඩංගු වාෂ්පශීලී රසායනිකයක් වන නෙපෙටලැක්ටෝන්, බළලුන්ගේ නාසික පටකවලට ඇතුළු වන අතර එහිදී සංවේදක නියුරෝන උත්තේජනය කරන ප්‍රෝටීන් ප්‍රතිග්‍රාහක සමග මෙම රසායනිකය බන්ධනය වන බව විශ්වාස කරනවා. පසුව මොළයේ ආඝ්‍රාණ බුබුළේ ප්‍රතිචාරයක් ඇති කිරීමට මෙම නියුරෝන හේතු වෙනවා. මෙම ප්‍රතිචාරය, ඇමිග්ඩලා නමින් හඳුන්වන චිත්තවේගීය ප්‍රතිචාර සඳහා මැදිහත් වන නියුරෝන පොකුරු, සහ කුසගින්න, හැඟීම් නියාමනය කිරීමේ දී වැදගත් කාර්යභාරයන් ඉටු කරන හයිපොතැලමස වැනි මොළයේ වැදගත් කලාපවලට සම්ප්‍රේෂණය කරයි. මෙවිට හයිපොතැලමස පිටියුටරි ග්‍රන්ථිය හරහා ස්නායුක ප්‍රතිචාර නියාමනය කරමින් බළලා තුළ ලිංගික ප්‍රතිචාරයක් ඇති කරයි. එනිසා බළලා කැට්නිප් ශාකය ඉදිරියේ විරුද්ධ ලිංගිකයෙකුගේ ෆෙරමෝන ඉදිරියේ හැසිරෙන ආකාරයකට මෙන් හැසිරීමට පටන්ගනී.

මෙලෙස බළලුන් තුළ හැසිරීම් කෘතිමව ඇති කිරීමට සමත් රසායනිකයන් අඩංගු ශාක කිහිපයක් ලොව පුරා පැතිරී පවතිනවා. මේ ශාක අතුරින් ශ්‍රී ලාංකික අපට වඩාත් සමීප වන්නේ කුප්පමේනියා ශාකය යි. කුප්පමේනියා පැළෑටියෙනුත් මෙම නෙප්ටාලැක්ටෝන් රසායනිකය නිකුත්වන නිසා, කුප්පමේනියා ශාකය හමුවේ ද බළලුන් සුවිශේෂී වූ හැසිරීම් රටා දක්වනවා. මීට අමතරව කුප්පමේනියා ශාකය තුළ බළලුන් මුහුණ දෙන විවිධ ශාරීරික අපහසුතා සමනය කිරීමට සමත් ඖෂධීය ගුණයක්  පවතින බව විශ්වාස කරනවා.

ඉතින්, බළලුන්ගේ විවිධාකාර වූ හැසිරීම්වලින් අල්පයක් පමණ යි මේ ලිපියේ අඩංගු වෙන්නේ. මේ ඇතැම් සොයාගැනීම් කාලයත්, තාක්ෂණයත් සමග වෙනස් වෙන්නත් ඉඩ තියෙනවා. සමහර විට බළලෙකුගේ අයිතිකරුවෙක් ලෙස ඔබ මීට වඩා හැසිරීම් ඔබගේ බළලා තුළින් නිරීක්ෂණය කොට ඇති. සැබවින්ම ඔවුන් අපූරු එහෙත් ටිකක් අමුතු සත්ත්ව කොට්ඨාසයක්. ඉතින් ඔබේ බළලා සම්බන්ධව ඔබ වින්ද අත්දැකීම් අපත් සමග බෙදා හදා ගන්න අමතක කරන්න එපා!

scientificamerican.com/article/the-inner-life-of-cats/

scientificamerican.com/article/experts-how-does-catnip-work-on-cats/

silumina.lk/2017/11/25/%E0%B7%85%E0%B6%B8%E0%B7%8F/%E0%B6%B6%E0%B7%85%E0%B6%BD%E0%B7%8F-%E0%B6%9A%E0%B7%94%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F-%E0%B6%B4%E0%B7%90%E0%B7%85%E0%B7%91%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%A7-%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%AD%E0%B7%92-%E0%B6%87%E0%B6%BA%E0%B7%92

Related Articles