සිකුරු ග්‍රහයා මතුපිට සක්‍රීය ගිනි කඳු අපට වැදගත් ඇයි?

අප ජීවත් වන පෘථිවියට බොහෝ සෙයින් සමාන විෂ්කභයකින් යුතු සිකුරු ග්‍රහයා සෞරග්‍රහ මණ්ඩලයේ වාසය කිරීමට සුදුසු කලාපයේ පිහිටා තිබේ. වාසස්ථානයක් බවට පත් වීමට අවශ්‍ය මූලික සාධකයක් වන ජලය පැවැතීම සඳහා ග්‍රහලෝකයක් සහ සූර්යයා අතර තිබිය යුතු දුර ප්‍රමාණය ගණනය කර ඇති අතර, සිකුරු ග්‍රහයා සහ සූර්යයා අතර අදාළ දුර ප්‍රමාණය තිබේ. (කෙසේ වෙතත් සිකුරු මත ජලය නොමැත).

බිඳ වැටුණු අපේක්ෂා

සිකුරු, වසර බිලියන ගණනකට පෙර වාසස්ථානයක් බවට පත් වීමට අවශ්‍ය සමහර අවශ්‍යතා සපුරා තිබෙන්නට ඇතැයි සැලැකේ. එහි ජීව විද්‍යාත්මක අපේක්ෂාවන් වසර බිලියන ගණනකට පෙර ඇති වූ හරිතාගාර ආචරණ තත්ත්වයක් හේතුවෙන් විනාශ විය. එම විනාශකාරී තත්ත්වය නිසා සිකුරු ග්‍රහයා ආශ්‍රිත වායුගෝලය 95%ක්ම කාබන්ඩයොක්සයිඩ් වායුවෙන් පිරී ගියේ ය.

සිකුරු, වාසස්ථානයක් බවට පත් වීමට අවශ්‍ය සමහර අවශ්‍යතා සපුරා තිබෙන්නට ඇතැයි සැලැකේ/www.space.com

එහි තවත් ප්‍රතිපලයක් වූයේ සිකුරු පෘථිවියට වඩා 90 ගුණයකින් වැඩි පීඩනයකින් සමන්විත ග්‍රහලෝකයක් බවට පත් වීම යි. එය පෘථිවිය සාගර ජලයේ සැතපුමක් පමණ ගැඹුරට වන්නට පිහිටා තිබුණේ නම් ඇති විය හැකි පීඩනයට සමාන අගයකි. මේ සියලු හේතු නිසා සිකුරු ග්‍රහයාගේ මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 475 දක්වා තරම් මට්ටමක පවතී.

සක්‍රිය ගිනිකඳු

වායුගෝලයේ සංයුතිය සහ උෂ්ණත්වය වැනි කරුණු හැර වෙනත් බොහෝ කරුණු සැලකීමේ දී පෘථිවිය සහ සිකුරු අතර සමානකම් කිහිපයක් තිබෙන බව විද්‍යාඥයන්ගේ මතය වේ.

පෘථිවිය මත දැකිය හැකි, නමුත් සිකුරු මත දැකිය නොහැකි යමක් ලෙස සක්‍රීය තත්ත්වයේ පවතින ගිනිකඳු සැලකිණි. සිකුරු මත අවසන් වරට ගිනිකඳු පිපිරීමක් සිදු වූයේ මීට වසර බිලියන කිහිපයකට පෙර බව අනුමාන කෙරේ. එම අනුමානය බිඳ දමමින් විද්‍යාත්මක සොයාගැනීම් පිළිබඳ වාර්තා පළ කරන පුවත්පතක් පසුගිය දා වාර්තා කළේ මේ වන විට සිකුරු මත ගිනිකඳු ආශ්‍රිත යම් යම් ක්‍රියාකාරකම් සිදු වන බව යි.

පෘථිවිය සහ සිකුරු අතර සමානකම් කිහිපයක් තිබෙන බව විද්‍යාඥයන්ගේ මතය යි – mars.nasa.gov

මෙම සොයාගැනීම සමඟ පෘථිවිය වැනි පාෂාණමය ග්‍රහලෝක ඇති වන්නේ කෙසේද යන්න ගැඹුරින් අධ්‍යයනය කිරීමට විද්‍යාඥයන්ට හැකි වනු ඇතැයි විශ්වාස කෙරේ. පෘථිවියට අමතර ව මිනිස් වාසය සඳහා සුදුසු ග්‍රහලෝක පිළිබඳ ව සිදු වන ගවේෂණ කටයුතු සඳහා ද මෙම හෙළිදරවුව බොහෝ සෙයින් උපකාරී වනු ඇතැයි කියැවේ.

ප්‍රති-අධ්‍යයනය කළ ඡායාරූප

නාසා ආයතනයට අයත් ‘මැගෙලන්’ අභ්‍යවකාශ යානාව 1990-1994 කාලය තුළ ලබාගත් සිකුරු ග්‍රහයාගේ ඡායාරූප කිහිපයක් පිළිබඳව මෑතකාලීනව සිදු කළ ප්‍රති-අධ්‍යයනයකින් පසු මෙම කරුණු අනාවරණය වී තිබේ. සමස්තයක් වශයෙන්, මැගෙලන් සිකුරු ග්‍රහයාගේ මතුපිටින් 40% කට වඩා සිතියම්ගත කර ඇත. ‘radar soundings’ තාක්ෂණය භාවිත කර ලබා ගත් එම ඡායාරූප සංයුක්ත තැටිවල ගබඩා කර, පරීක්ෂණ සඳහා විවිධ තාරකා විද්‍යාගාර වෙත යවා ඇත.

නාසා ආයතනයට අයත් ‘මැගෙලන්’ අභ්‍යවකාශ යානාව – www.jpl.nasa.gov

වර්තමානය වන විට ඇති වී ඇති තාක්ෂණික දියුණුව සමඟ මැගෙලන් ලබා ගත් සිකුරුගේ ඡායාරූප මේ වන විට අන්තර්ජාලය හරහා ද පරිශීලනය කළ හැක. ඇලස්කාවේ, ෆෙයාර්බෑන්ක්ස් විශ්ව විද්‍යාලයේ ග්‍රහලෝක පිළිබඳ විද්‍යාඥ රොබට් හෙරික් සහ කැලිෆෝනියාවේ පිහිටි නාසා ආයතනයට අයත් රසායනාගාරයක ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥයෙක් ලෙස කටයුතු කරන ස්කොට් හෙන්ස්ලි, මෙම ඡායාරූප අධ්‍යයනය කර නව සොයාගැනීම් කිහිපයක් ඉදිරිපත් කළේ ය.

අනාවරණයක්

ඉහත කී විද්‍යාඥයන්ගේ අවධානයට ලක් වූ ප්‍රදේශය වන්නේ සිකුරු සමකය ආසන්නයේ පිහිටි ‘Alta Regio’ ලෙස හැඳින්වෙන කලාපය යි. ග්‍රහලෝකයේ පිහිටා ඇති විශාලත ම නිද්‍රාශීලී ගිනිකඳු දෙකක් වන ‘Ozza Mons’ සහ ‘Maat Mons’ මෙම කලාපයේ පිහිටා ඇත. මෙම කලාපයේ තවමත් ගිනිකඳු ආශ්‍රිත ක්‍රියාකාරකම් සිදු වන්නේ ද යන්න සොයාගැනීම ඔවුන්ගේ අරමුණ විය. සිකුරු තවමත් විකිරණශීලී ද්‍රව්‍යවලින් සමන්විත වන අතර එමඟින් පිපිරීමක් ඇති කිරීමට අවශ්‍ය තාපය ලැබේ.

සිකුරු මත පිහිටි නිද්‍රාශීලී ගිනි කන්දක් – www.nasa.gov

හෙන්ස්ලි සහ හෙරික් මාස අටක කාලයක් තුළ, එනම්, 1991 පෙබරවාරි සිට ඔක්තෝබර් දක්වා ලබා ගත් ඡායාරූප කිහිපයක් පිළිබඳව ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළහ. පැය 200කට අධික කාලයක් තිස්සේ සිදු කළ දීර්ඝ අධ්‍යයනයකින් අනතුරුව ඔවුහු ඡායාරූපවලට හසු වී තිබූ, විවරයක සලකුණක් සොයාගත්හ.

ගිනිකඳු ක්‍රියාකාරකම්

පෙබරවාරි මාසයට අදාළ ඡායාරූපයේ එම විවරයේ වර්ගඵලය වර්ග කිලෝමීටර් 2.2ක් වූ අතර ඔක්තෝබර් මාසයට අදාළ ඡායාරූපයේ එහි වර්ගපලය දෙගුණයකින් වැඩි වී වකුගඩුවක හැඩය ගෙන තිබිණි. “මෙම මාස අටක කාලය තුළ ලාවා විලක් නිර්මාණය වූ බවට අපි අනුමාන කරමු.” විද්‍යාඥයෝ සඳහන් කළහ.

පර්යේෂණවලට පදනම් වූ විවරය – www.wikipedia.org

ඒ පිළිබඳව මේ වන විට විවිධ මත පළ වී තිබේ. සමහරුන් මෙම සොයාගැනීමට එකඟවත්, තවත් සමහරුන් ඊට විරුද්ධවත් අදහස් පළ කර ඇත. එවැනි විවිධ මත මධ්‍යයේ ‘අපගේ සොයාගැනීම පිළිබඳ ව අපට කිසිදු සැකයක් නැත. මෙම විවරය මාස අටක කාලය තුළ වෙනස්කම් කිහිපයකට භාජනය වී තිබේ’ යනුවෙන් හෙන්ස්ලි සහ හෙරික් සඳහන් කර තිබේ.

ලාවා විලක් නිර්මාණය වීම ගිනිකඳු ආශ්‍රිත ක්‍රියාකාරකමක් බැවින් ඡායාරූපයේ දැක්වෙන ප්‍රදේශයේ ගිනි කන්දක් පිහිටා ඇති බව ඔවුන්ගේ මතය වේ. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ එක් ගිනි කන්දක් තිබේ නම් තවත් ගිනිකඳු කිහිපයක් හෝ ගණනාවක් පිහිටා තිබෙන බව කිසිසේත් ම බැහැර කළ නොහැකි කරුණක් බව යි. මේ සියලු කරුණු හරහා සිකුරු ආශ්‍රිත ව නවීන භූ විද්‍යාත්මක ක්‍රියාකාරකම් සිදු වන බව ඔවුන් නිගමනය කර ඇත.

සිකුරු පිළිබඳ තොරතුරු කිහිපයක් – www.osr.org

වැඩිදුර පර්යේෂණ

“මිනිසාට ජීවත් විය හැකි ඝන පෘෂ්ඨයක් සහිත කුඩා පාෂාණමය ලෝක පිළිබඳව අප අවධානය යොමු කළ යුතු ය. සිකුරු, සහ අඟහරු වැනි සියල්ල පිළිබඳ ව දීර්ඝ වශයෙන් පර්යේෂණ පැවැත්වෙන්නේ එබැවිනි. මේ වන විට මිනිසාට ජීවත් වීම සඳහා අවශ්‍ය සියලු අවශ්‍යතා සපුරා ඇත්තේ පෘථිවිය පමණි. එසේ වුවත්, පෘථිවිය හා සමාන ග්‍රහලෝක ඇති වන ආකාරය හොඳින් වටහා ගන්නා තරමට, ජීවය සොයා යා යුත්තේ කොතැනටද යන්න අපට වඩා හොඳින් අවබෝධ වනු ඇත.” යනුවෙන් ඔවුහු සඳහන් කළහ.

සිකුරු පිළිබඳව තවත් පර්ය්ෂණ ගණනාවක් සිදුවෙමින් පවතී – www.skyandtelescope.org

ඉහත කී විද්‍යාඥයන් පමණක් නොව තවත් විද්‍යාඥයන් සහ පර්ය්ෂකයන් ගණනාවක් අදාළ ඡායාරූප පරිශීලනය කරමින් සිකුරු ග්‍රහයා පිළිබඳව වැඩිදුරටත් අධ්‍යයනය කරමින් සිටී. මේ වන විට එම ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ ඉතා පහසුවෙන් ලබාගැනීමට හැකියාව පවතින බැවින් ඒවා පිළිබඳව අධ්‍යයනය කිරීමට විශ්වවිද්‍යාල සිසුන් වැනි කණ්ඩායම් පවා උනන්දුවක් දක්වන බව කියැවේ. මේ තත්ත්වය තුළ ඉදිරියේ දී සිකුරු පිළිබඳව තවත් පුදුමය දනවන කරුණු ගණනාවක් අනාවරණය කරගැනීමට හැකි වෙතැයි බොහෝ දෙනෙක් අපේක්ෂා කරති.

කවරයේ ඡායාරූපය - විද්‍යාත්මක සොයාගැනීම් පිළිබඳ වාර්තා පළ කරන පුවත්පතක් පසුගියදා වාර්තා කළේ මේ වන විට සිකුරු මත ගිනිකඳු ආශ්‍රිත යම් යම් ක්‍රියාකාරකම් සිදු වන බව යි - www.nationalgeographic.com
මූලාශ්‍ර:
www.time.com
www.britannica.com
www.nationalgeographic.com
www.solarsystem.nasa.gov

Related Articles