අඩු බැටරි බලයකින් Wi-Fi සංඥා යවන ක්‍රමයක්

අද වන විට ස්මාර්ට් දුරකථනය සමඟ සම්බන්ධ නොවන දෙයක් අපේ අවට නැති තරම්. අත් ඔරලෝසුව, සපත්තු, ආභරණවල පටන් නිවසේ තිබෙන දොර අගුලත් මේ වෙද්දී ඔබට දත්ත, තොරතුරු ලබාදෙන ආයිත්තම් වෙලා. තාක්‍ෂණය එතරම් ඉදිරියට ගියත් බැටරිය සහ විදුලි උත්පාදන ක්‍රම නම් තිබෙන්නේ තවමත් සාම්ප්‍රදායික අතලොස්ස පමණයි.

ඉතින් අපි ඉතා සමීපව භාවිතා කරන දේවල්වල බැටරි ආයුකාලය අඩු නිසා ඉන් ලබාගත හැකි ප්‍රයෝජනත් ඒ සමඟ ම අඩුවෙලා යනවා වගේ ම නිතර නිතර ආරෝපණය කරන්නට සිදුවීමෙන් තවත් හිසරදයක් පමණක් බවට පත්ව තිබෙනවා. එනිසා ඊට සඳහා වෙනත් පිළියම් යොදන්නට නිශ්පාදකයන් කටයුතු කරමින් සිටිනවා. ඉතින් මේ ලිපිය අවසානය වෙද්දී එවන් පිළියමක් පිළිබඳ ගැන දැනගන්නා අතරේ, ඔබේ සමීප ස්මාර්ට් උපාංග ලයිස්තුවට කෘත්‍රිම අක්‍ෂි කාචයක් හා ක්‍රෙඩිට් කාඩ් එකකුත් ඔබට එකතු කරගන්න පුළුවන්.

(washington.edu)

(washington.edu)

මෙම නව පිළියම “Inter-scatter Communication” හෙවත් අන්තර්-ප්‍රකිරණ සන්නිවේදනය ලෙසින් හඳුන්වනු ලබන අතර එහිදී බ්ලූටූත් සංඥා වයිෆයි සංඥා බවට පත් කෙරෙනෙවා. පසුගිය අගෝස්තු මස 22 වැනිදා බ්‍රසීලයේ පැවති පරිගණක යන්ත්‍රෝපකරණ සංසදය විසින් දත්ත සම්ප්‍රේශණය සම්බන්ධයෙන් පැවැත්වූ සමුළුවකදී මෙම ක්‍රමය ඉදිරිපත් කරනු ලැබුවා.

වොෂිංටන් විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා අංශය මඟින් හඳුන්වාදුන් අන්තර්ප්‍රකිරණ සන්නිවේදන තාක්‍ෂණයේදී සිදුවන්නේ අදාල උපාංගය විසින්ම Wi-Fi සංඥා නිපදවනවා වෙනුවට, අවට ඇති ඔබේ දුරකථනය හෝ ස්මාර්ට් ඔරලෝසුව මඟින් ඊට බ්ලූටූත් හරහා ලැබුණු දත්ත අනුව වයිෆයි සංඥා නිපදවීම යි. වයිෆයි සංඥා නිපදවීමට වැඩි විදුලියක් අවශ්‍ය වන නිසා ජෛව උපාංගවල සන්නිවේදනය සඳහා වයිෆයි භාවිතය හොඳ විසඳුමක් නෙවෙයි. එහෙත් මේ ක්‍රමවේදයෙන් නිපැයීමට අඩු ශක්තියක් අවශ්‍ය බ්ලූටූත් නිදහස් කරමින් එය අනෙකුත් උපාංගයකට වයිෆයි හරහා හඳුනාගන්නට අවකාශ සැලසෙනවා.

ඉලෙක්ට්‍රොනික උපාංගවලට එක ම සංඥා මාදිලියක් පරාවර්තන කිරීමෙන් තොරතුරු හුවමාරු කර ගැනෙන ක්‍රමය හෙවත් පසු-ප්‍රකිරණය (backscatter) මත පදනම්වූ මෙම සංකල්පය කිසිදා හමු නොවූ තාක්‍ෂණයන් දෙකකට තොරතුරු හුවමාරු කර ගැනීමේ අවස්ථාව සලසා දෙනවා. තවත් විධියට කිව්වොත් දැන් බ්ලූටූත් වලට වයිෆයි බස වහරන්නත් පුළුවන්, හැබැයි ඒ මැද තිබෙන ස්මාර්ට් ඔරලෝසුව නම් භාෂා පරිවර්තකයාගේ උදව්ව ද ඇතිව යි.

මේ සමඟ ලැබුණු පහසුකමත් උපයෝගී කරගෙන වොෂිංටන් විශ්වවිද්‍යාලයේ ඉංජිනේරුවන් විසින් ජෛව උපාංග සඳහා මෙය අත්හදා බලමින්, අපි උපැස් වෙනුවට භාවිතා කරන සාමාන්‍ය කෘත්‍රිම අක්‍ෂි කාචය වෙනුවට ස්මාර්ට් අක්‍ෂි කාචයක් නිපදවා තිබෙනවා. කටවහරටත් කියන්න වගේ, “ඇහේ දාන්න පුළුවන් තරමේ”, එනම් එතරම් කුඩා ප්‍රමාණයේ උපාංගයකට වැඩි බැටරි ආයුකාලයක් ලබාදීමේ ඇති හැකියාව ඉතා ම අඩුයි. ස්මාර්ට් නිසා වෙනත් උපාංග සමඟ සබැඳෙන්නට අවශ්‍ය නමුත් අපි කලිනුත් සඳහන් කළා වගේ වයිෆයි සඳහා වැයවන බලශක්ති ප්‍රමාණයත් අධික නිසා එය මෙතෙක් පැවති ක්‍රමය අනුව නම් සාර්ථක වන්නේ නැහැ. එහෙත් මෙම නව ක්‍රමය නිසා මොළය තුළ ද සවිකළ හැකි ආකාරයේ විද්‍යුත් උපකරණ සඳහා ද අව බලයකින් ස්මාර්ට් දුරකථන සමඟ දත්ත හුවමාරු කිරීමට විශාල පිටිවහලක් ලැබෙන බවයි නිර්මාණකරුවන් ප්‍රකාශ කරන්නේ.

 

(washington.edu)

(washington.edu)

මෙම අක්‍ෂි කාචය එහි පිටත රවුම වටා යවන ලද කුඩා වෘත්තාකාර ඇන්ටෙනාවක් සමඟ නිපදවා තිබෙනවා. ස්මාර්ට් ඔරලෝසුවක් හරහා බ්ලූටූත් සංඥා ලබාගෙන, එය භාවිතා කරමින් දත්ත ආකේතනය කොට වයිෆයි ආකාරයේ දත්ත පැකට් බවට හරවන අක්‍ෂි කාචය එහි එතෙක් රැස්කරමින් සිටි ශරීර සුවතා දත්ත දුරකථනයට කියැවිය හැකි පරිද්දිදෙන් පරාවර්තනය කරනවා.

මේ අක්‍ෂි කාච ඇසෙහි රැඳවූ මොහොතේ සිට ඔබේ ශරීරයේ සුවතාවන් පරීක්‍ෂා කරනවා. කඳුළු භාවිතා කරමින් රුධිරයේ සීනි ප්‍රමාණය ගණනය කොට එහි වාර්තාවක් සකසනවා. ඒ අනුව යම් හෙයකින් සීනි මට්ටම සාමාන්‍ය මට්ටමට වඩා අඩු හෝ වැඩි වුවහොත් එකෙණෙහි ම භාවිතා කරන්නාගේ දුරකථනයේ දැනුම්දීමේ පණිවිඩයකින් ඒ බව දැනුම් දෙන නිසා සීනි අඩු නම් පැණි රසක් කන්නට හෝ වැඩි නම් ඊට වෛද්‍ය ප්‍රතිකාරයක් ලබා ගන්නට හැකියාව ලැබෙනවා. මේ නිසා දියවැඩියාව සහිත රෝගීන්ට ඉතා පහසුවෙන් තමන්ගේ සීනි මට්ටම පිළිබඳව අවධානයෙන් නොසිටියත්, මේ අක්‍ෂි කාචය නිසා- අවබෝධයෙන් ඉන්නට පුළුවන් වෙනවා.

මීට සමගාමීව මොළය තුළ ද සවිකළ හැකි මේ ආකාරයේ උපකරණයක් නිපදවා ඇති අතර දිනෙක ඒ හරහා අංශභාග තත්වයන් හඳුනාගෙන චලන හැකියාවන් යළි ලබා ගැනීම සඳහා රෝගීන්ට උපකාර විය හැකි බව ඔවුන් සඳහන් කරනවා. එය හඳුන්වාදීම සඳහා සත්ත්ව මාංශ තුළ එය තැබූ ඔවුන් ස්මාර්ට් ඔරලෝසුවක් හා දුරකථනයක් ඒ අසලින් තබමින් උපකරණය දුරකථනය හා සම්බන්ධ වූ බවට දැක්වෙන දැනුම්දීමක් දුරකථනයට ලැබෙන ආකාරය දක්වා සිටියා.

 

(washington.edu)

(washington.edu)

හැබැයි අන්තර් ප්‍රකිරණ තාක්‍ෂණය ඔවුන් ජෛව උපාංග වලට ම සීමා කොට නැහැ. මේ සමඟ කරන ලද තවත් අත්හදා බැලීමක ස්මාර්ට් ක්‍රෙඩිට් කාඩ් එකක් ද තිබෙනවා. එමඟින් කාඩ් අතර මුදල් සංසරණය ස්මාර්ට් දුරකථනයක මැදිහත් වීමකින් පමණක් කළ හැකි බවයි දකින්නට ලැබුණේ.

මේ හරහා අපිට සාමාන්‍ය ජීවිතේටත් පණිවිඩයක් ලැබෙනවා. හාවෙක් අල්ලාගන්න ලෝකෙ තියෙන එක ම ක්‍රමය පස්සෙන් දුවන එක නම්, දුවන්න හයියක් නෑ කියලා අඬ අඬා ඉන්නවාට වඩා හොඳයි ගෙදර උඳුපියලිය වගාවක් දාන එක. හැම ප්‍රශ්ණෙකට ම විසඳුමක් තියෙනවා. විසඳුමක් නෑ කියලා හිතෙනවා කියන්නේ අපි හිතන ක්‍රමය වැරදියි. එහෙම නේද?

මුලාශ්‍රය: වොෂින්ටන් විශ්ව විද්‍යාලය 

පින්තුර: washington.edu

Related Articles