Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පුපුරණ Galaxy Note 7 සමඟ Samsung දැවී අළුවී යයිද?

ඔබ පුරුද්දක් ලෙස අන්තර්ජාලයේ සැරිසරන, ලොව වටා සිදුවන දේ ගැන අවධානයෙන් සිටින, නව තාක්ෂණය පිළිබඳ උනන්දු කෙනෙක් නම්, Galaxy Note 7 යනු පසුගිය සති කිහිපයේ නිතර අසන්නට ලැබුණු නමක් බව නොඅනුමානයි. මේ වන විට ගෘහාශ්‍රිත ඉලෙක්ට්‍රොනික උපකරණ නිෂ්පාදනයේ දැවැන්තයෙක් වන Samsung සමාගමට නම් Note 7 යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දැවෙන ප්‍රශ්නයක් බවට පත්වී ඇති බව අතිශයෝක්තියක් නොවෙයි.

මේ කියන්නේ කුමක් පිළිබඳව ද, ඒ සියල්ල ඇරඹුණේ කොහොමද, එසේ සිදුවුයේ ඇයි, දැන් තත්ත්වය කුමක් ද සහ අනාගතයේ කුමක් සිදුවේවිද? මේ ලිපිය කියවන, මේ සිදුවීම ගැන දන්නා නොදන්නා හැමෝටම ඉහත කී ප්‍රශ්නවලින් එකකට හෝ සියල්ලටම පිළිතුරු අවශ්‍ය ඇති. අලංකාර මන්දාකිණියක් ලෝකයේ විශාලතම සමාගමක ඩොලර් බිලියන ගණනක් සති කිහිපයකින් ගිලදැමූ කළු කුහරයක් බවට පත්වුණේ කෙසේද? මේ සියලු ප්‍රශ්නවලට පිළිතුරු අපි දැන් සොයා බලමු.

Galaxy Note 7 – සැබෑ නොවූ සිහිනයක්

(cent.com)

(cent.com)

Galaxy Note 7 යනු Samsung Mobile විසින් මේ වන විට නිපදවූ නවීනතම තාක්ෂණයෙන්, නවීනතම දෘඩාංග හා මෘදුකාංග සහ විශේෂාංග වලින් හෙබි smart ජංගම දුරකථනයයි. මේ ක්ෂේත්‍රය හුරුපුරුදු අයට කෙටියෙන් කියනවා නම් flagship device එකක්. Samsung Galaxy Note ජංගම දුරකථන පෙළේ නවතම සහ ප්‍රබලතම එළිදැක්වීම තමයි මේ.

මේවායේ ප්‍රමාණය හා යෙදීම් අතින් ගත් කළ Note අයත් වන්නේ phablet (phone + tablet) ගණයට. එතෙක් මෙතෙක් ලොව පුරා එක් එක් සමාගම් විසින් නිපදවා තිබූ ඔවුන්ගේ හොඳම smart ජංගම දුරකථන අතරින් Note 7 විශේෂයෙන් කැපී පෙනුණේ එම එක් එක් ජංගම දුරකථනවල තිබූ හොඳම විශේෂාංග රැසක් මෙහි තවත් වැඩිදියුණු වී අඩංගු වී තිබීම හා තවත් නවතම හා නවීනතම විශේෂාංග වලින් සමන්විත වීම නිසයි. උදාහරණ ලෙස Always-On-Display හා ඇසේ කළු ඉංගිරියාව භාවිතයෙන් දුරකථනය අගුළු දැමීම, ඇරීම සහ පරිශීලකයාගේ අනන්‍යතාවය තහවුරු කළ හැකි iris scanner දැක්විය හැකියි. සමස්ථයක් වශයෙන් ගත් කළ Galaxy Note 7, ඒ වන විට නිකුත් වීමට නියමිතව තිබූ Apple iPhone 7 හා කරට කර තරඟ කළ හැකි හොඳම Android smart ජංගම දුරකථනය ලෙස බොහෝ දෙනාගේ පැසසුමට ලක්වුණා.

ඒ මේ වසරේ අගෝස්තු මස Note 7 මුල්වරට හඳුන්වා දුන් කාලයේ. කෙසේ නමුත් මේ සියලු දේ පසෙකලා නැවතත් ලොව වටා පුවත් මැවීමට Note 7 සමත් වුණේ සැප්තැම්බර් මස වෙළඳපලට නිකුත් වීමෙන් පසුවයි. නමුත් ඒ එක් පුවතක්වත් Samsung සමාගමට හෝ Note 7 දුරකථන මිලදී ගත් අයට සුබ ආරංචියක් වුණේ නම් නැහැ.

බැටරි ආරෝපණයේදී පුපුරණ Note 7

(Gizmodo.com)

(Gizmodo.com)

Note 7 වෙළඳපොළට නිකුත් වී දින කිහිපයක් ගත වන විට ලෝකයේ විවිධ රටවල එය මිලදීගත් පාරිභෝගිකයින් වෙතින් Samsung සමාගම වෙත ගලා ආවේ පැසසුම් නම් නොවෙයි. ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු Note 7 මුලින්ම වෙළඳපොළට නිකුත්වූ රටවල් රැසකින් වාර්තා වුණේ දුරකථනයේ බැටරිය නැවත ආරෝපණය කිරීමට යාමේදී එය ගිනිගෙන පුපුරායන බවයි.

මුලින්ම මේ සිදුවීම් එතරම් ගණනකට ගතයුතු දේ යැයි Samsung සමාගම හෝ වෙනත් කිසිවෙකු විශ්වාස කළේ නැහැ. මන්දයත්, ඕනෑම බැටරියක් නියමිත මට්ටමට වඩා ආරෝපණය කිරීමට යාමෙන් පුපුරා යාමේ අවදානමක් ඇතිනිසා. නමුත් ටික කලකින් එක්සත් ජනපදය තුළ පමණක් මෙවැනි සිදුවීම් සියයකට ආසන්න ප්‍රමාණයක් වාර්තා වුණා. එවිට නම් මෙය තවදුරටත් Samsung සමාගමට නොසලකා හැරිය හැකි ප්‍රශ්නයක් වූයේ නැහැ. දිනෙන් දින ලොව විවිධ රටවල් වලින් මෙලෙස පුපුරා ගිය Note 7 smart ජංගම දුරකථන පිළිබඳ වූ වාර්තා ගණන ඉහළ යාම මිස අඩුවක් නම් දක්නට තිබුණේ නැහැ. තත්ත්වය මෙසේ තිබියදී මෙම සිදුවීම අන්තර්ජාලයේ උපහාසයට ලක්වී තිබූ වාර ගණන ද සුළුපටු නැහැ. පහත දැක්වෙන්නේ එවන් එක් අවස්ථාවක්.

පළමුවන නැවත කැඳවීම (සැප්තැම්බර් 21වන දා සිට)

(boredpanda.com)

(boredpanda.com)

දිගින් දිගටම වාර්තා වූ මෙම පුපුරා යාමේ සිද්ධීන් සලකා බැලූ Samsung සමාගම මෙතෙක් වෙළඳපොලට නිකුත්කර තිබූ Galaxy Note 7 ජංගම දුරකථන නැවත කැඳවීමට (recall) තීරණය කරන ලද අතර මෙතෙක් Note 7 නිකුත් කර නොතිබූ රටවල් වෙත යැවීම සඳහා සුදානම් කර තිබූ Note 7 තොග ප්‍රවාහනය ද තාවකාලිකව අත්හිටවනු ලැබුවා.

ඒ වන විට මෙම smart ජංගම දුරකථනය මිලදීගත් පාරිභෝගිකයන් හට Samsung සමාගම කියා සිටියේ හැකි ඉක්මනින් තමන්ගේ Note 7 දුරකථනය එය මිලදීගත් බලයලත් නියෝජිතයා වෙත ගෙනවිත් භාර දෙන ලෙසයි. එහිදී ඔවුන්ට බැටරිය ආරෝපණයේදී පුපුරා යාමේ අවදානමක් නොමැති බවට සහතික කරන ලද නව Note 7 දුරකථන ලබාදෙන බවටද ප්‍රකාශයක් නිකුත් කරනු ලැබුවා. ලොව පුරා විවිධ Samsung බලයලත් අලෙවි නියෝජිතයන් මෙම වැඩපිළිවෙල කාර්යක්ෂම අයුරින් ඉටුකරනු දක්නට ලැබුන අතර, මෙවැනි අවස්ථාවකදී හානිය අවම වන අයුරින් ක්‍රියාකිරීම ජාත්‍යන්තර මාධ්‍යයයේ පැසසුමට ලක්වුණා. ශ්‍රී ලංකාවේද Takas.lk වැනි ආයතන නොපමාව මෙම වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරනු දක්නට ලැබුණා. කෙසේ නමුත් මේ සියලු සිදුවීම් අතරේ එහි හාස්‍යමය පැතිකඩ ගැන අන්තර්ජාලයේ පළකිරීම්වලත් අඩුවක් නම් දක්නට ලැබුණේ නැහැ.

(verge.com)

(verge.com)

මේ අතර සමහරක් Note 7 පාරිභෝගිකයින් තම දුරකථන නැවත භාර දීමට මැලිකමක් දක්වන බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කළා. මේ නිසා Samsung සමාගම නැවත කැඳවීමේදී තමන් වෙත භාරදී නොමැති Note 7 දුරකථන සඳහා පරිශීලකයාට නොසලකා හැරිය නොහැකි අනිවාර්ය පද්ධති යාවත්කාලීන කිරීමක් (forced system update) නිකුත් කරනු ලැබූ අතර, එමගින් දුරකථනයේ බැටරිය සම්පූර්ණයෙන් ආරෝපණය කිරීම වළක්වනු ලැබූ අතර එය 60% ක් දක්වා සිමා කරනු ලැබුවා. මේ අතරතුර දුරකථනය නැවත කැඳවීම හා එම පාරිභෝගිකයන් හට සමාගම විසින් ආරක්ෂාකාරී යැයි සහතික කරනු ලැබූ ආදේශක Note 7 දුරකථන ලබාදීම සිදුකෙරුණු අතර, එය මේ අනපේක්ෂිත සිදුවීමේ අවසානය යැයි Samsung බලධාරීන් සැනසුම් සුසුම් හෙළන්නට ඇති මුත් එය එසේ අවසන් වුණේ නම් නැහැ.

අළු යට සැඟවුණු ගිනි පුපුරු

Samsung සමාගම ප්‍රථම Note 7 නැවත කැඳවීම සිදුකරන අතරතුර එහි විකුණුම් ක්‍රියාවලිය අතිහිටවුයේ නැහැ. ඔවුන්ට අනුව මෙම පිපිරිම්වලට හේතුව දුරකථනය සඳහා යොදාගන්නා බැටරි වර්ග දෙකෙන් එකක වූ නිෂ්පාදන දෝෂයක්. සැලකිය යුතු කරුණක් වන්නේ ඔවුන් නැවත කැඳවනු ලැබුවේ දෝෂ සහගත යැයි පැවසූ බැටරි සහිත දුරකථන පමණක් වීමයි. චීනය වැනි රටවල් සඳහා අපනයනය කරන ලද Note 7 දුරකථනවල බැටරි එසේ දෝෂ සහගත යැයි හඳුනාගත් වර්ගය නොවූ අතර ඒවා විකුණුම් ක්‍රියාවලිය සාමාන්‍ය අයුරින් සිදුවෙද්දී අනෙකුත් රටවල් සඳහා ඔවුන් ආදේශක නිකුත් කරනු ලැබුවා. ඊළඟට සිදුවූ දේ නම් Samsung සමාගම කිසිසේත්ම අපේක්ෂා කළ දෙයක් නොවේ. ඔවුන් දෝෂ සහගත නොවේ යැයි සහතික කරන ලද බැටරි සහිත Note 7 දුරකථන ද පුපුරා යාමේ පුවත් වාර්තා වන්නට වූ අතර ඊටත් වඩා බරපතලම සිදුවීම් පෙළ ආරම්භ වූයේ ආරක්ෂාකාරී යැයි සහතික කර ලබා දුන් ආදේශක දුරකථන ද ගිනිගෙන පුපුරා යාම් වාර්තාවීමත් සමගයි.

දෙවැනි නැවත කැඳවීම හා Note 7 මළගම

මෙම තත්ත්වයයන් යටතේ තවදුරටත් Note 7 දුරකථන වෙළඳපොළට නිකුත් කිරීමේ හැකියාවක් හා එයින් ලාභ ලැබීමේ බලාපොරොත්තුවක් Samsung සමාගමට තිබුණේ නැහැ. ඒ අනුව ඔක්තෝබර් 10වන දා සියලු Note 7 විකිණීම් අත්හිටවනු ලද අතර ඒ හා සමගාමීව එහි නිෂ්පාදන ක්‍රියාවලියට ද තිත තැබුණා. ඔක්තෝබර් 11වන දා නිල නිවේදනයක් නිකුත් කරමින් Samsung සමාගම දන්වා සිටියේ ලොව පුරා ඇති සියලුම Note 7 දුරකථන නැවත කැඳවන බවයි. මොනයම් හෝ හේතුවක් යටතේ හෝ තම Note 7 දුරකථනය භාවිතා කිරීමෙන් වැළකී සිටින ලෙසත් හැකි ඉක්මණින් එය ඔවුන්ගේ බලයලක් නියෝජිතයෙකු වෙත භාර කරන ලෙසත් සමාගම පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටියා. මේ සඳහා ඔවුන් ඇමරිකා එක්සත් ජනපදයේ සමහර පාරිභෝගිකයින් වෙත ගිනි ගැනීම වළක්වන ඇසුරුම් තැපැල් මගින් යවා තිබූ අතර ඒවායේ බහා තමන්ගේ Note 7 දුරකථන සමාගම වෙත් එවන ලෙස දන්වා තිබෙනවා. පහත දැක්වෙන්නේ එවැනි ඇසුරුමක් සකසා ඇති ආකාරයයි.

Note 7 දුරකථන නැවත කැඳවීම නිසා තම දුරකථන අහිමි වන පාරිභෝගිකයින් හට Samsung සමාගම විසින් ඒ සඳහා ආදේශක ලෙස Galaxy S7 හෝ Galaxy S7 Edge දුරකථන ලබාදීමට හෝ Note 7 දුරකථනයක් සඳහා ගෙවූ මුදල නැවත ඔවුන්ට ලබාදීමට  තීරණය කර තිබෙනවා.

යම්හෙයකින් ඔබ දැනට Samsung Galaxy Note 7 ජංගම දුරකථනයක් පරිහරණය කරන්නේ නම් දැන සිටිය යුතු දේ

  • වහාම එය පාවිචියෙන් වැළකී දුරකථනය ක්‍රියාවිරහිත කර තබන්න.
  • බැටරිය ආරෝපණය කිරීමෙන් වළකින්න
  • ඔබ එය මිලදීගත් බලයලත් Samsung අලෙවි නියෝජිතයා වෙත ගෙනගොස් භාරදී ඔබට ලැබිය යුතු ආදේශකය ලබාගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරන්න
  • ගුවන් ගමන් සඳහා Note 7 දුරකථන රැගෙන ඒම දඬුවම් ලැබිය හැකි වරදකි. (ඇමරිකා එක්සත් ජනපදයේ මෙම නිතිය දැනටම ක්‍රියාත්මක අතර අනෙකුත් රටවලද එය ක්‍රමක්‍රමයෙන් ක්‍රියාවට නැංවෙමින් පවතී)

මීට අමතරව ලොව ප්‍රධාන පෙළේ ගුවන්තොටුපල වල  Samsung සමාගම විසින් පාරිභෝගිකයින්හට තම Note 7 දුරකථනය හුවමාරු කරගැනීමේ පහසුකම් ද සලසා තිබෙනවා.

මෙහෙම වුණේ ඇයි?

(samsung.com)

(samsung.com)

දුරකථනයක බැටරිය නියමිත මට්ටමට වඩා ආරෝපණයෙන් එය පුපුරා යාමට ඉඩ ඇති බව ඔබ දැනටමත් දන්නා කරුණක්. නමුත් Note 7 හි කතාව මීට වෙනස්. ඒ සඳහා බලපෑ කාරණා බොහෝ විය හැකියි.  නමුත් Samsung සමාගමට නම් තවමත් මේ ප්‍රශ්නයට නිශ්චිත පිළිතුරක් නැහැ. බැටරිවල තත්ත්වය කෙසේ වුවත් මේ සිදුවීම් ලොව පුරා මෙතරම් විශාල ප්‍රශ්නයක් බවට පත්වුණේ ඇයි කියන ප්‍රශ්නයට නම් හේතු කිහිපයක්ම තිබෙනවා.

මෙම සිදුවීමට සෘජුවම සම්බන්ධ යැයි නොපෙනුනත් මේ ප්‍රශ්නය මෙතරම් උග්‍ර ලෙස වර්ධනය වීමට ප්‍රධාන හේතුවක් ලෙස මෙම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් දක්වන්නේ සමාගම් අතර ඇති දැඩි තරඟකාරීත්වයයි. මේ හේතුවෙන් තම ප්‍රතිවාදී සමාගම්වලට පෙර නව නිපැයුමක් වෙළඳපොළට ඉදිරිපත් කිරීමට සෑම සමාගමකටම ඇත්තේ දැඩි අවශ්‍යතාවයක්. මේ නිසා යම් නිපැයුමක් වෙළඳපොළට නිකුත් කිරීමට පෙර එහි තත්ත්ව පරික්ෂා කිරීම් අනවශ්‍ය ලෙස ඉක්මණින් අවසන් කිරීම නිසා මෙවැනි දෑ සිදුවීමට ඇති සම්භාවිතාව ඉතා ඉහළයි.

තවමත් මෙම සිදුවීමට සෘජු ලෙස බලපෑ බව ඔප්පු වී නොමැති වුවත්, මේ වන විට අනාවරණය වී ඇති තවත් කරුණක් වන්නේ Samsung සමාගම තම Note 7 ජංගම දුරකථන තත්ත්ව පරික්ෂාවන්ට ලක්කර ඇත්තේ තම සමාගමටම අයත් CITA (Cellular Telephone Industries Association) මගින් අනුමත පර්යේෂණාගාර තුළ වීමයි. මෙහි නීත්‍යානුකූල භාවය පිළිබඳ ගැටළුවක් පැනනොනගින මුත් මෙයින් පෙනී යන්නේ Note 7 smart ජංගම දුරකථනයේ බැටරිවල යම් දෝෂයත් තිබුණේද යන්න අනාවරණය කරගැනීමට නොහැකිවීම පිළිබඳ වගකීම Samsung සමාගම විසින්ම භාරගත යුතු වීමයි. මන්දයත් Samsung හැර අනෙකුත් සෑම ජංගම දුරකථන නිපදවන සමාගමක්ම පාහේ තම නිෂ්පාදන මෙම තත්ත්ව පරික්ෂා සඳහා භාර කරනු ලබන්නේ CITA අනුමැතිය ලත් තෙවන පාර්ශවයකට අයත් පර්යේෂණාගාරවලටයි.

නිෂ්පාදන ක්‍රියාවලියේ තිබූ ගැටළු එසේ වෙද්දී මෙම ප්‍රශ්නය උග්‍ර ලෙස වර්ධනය වීමට බලපෑ තවත් කරුණක් ලෙස දැක්වෙන්නේ මෙවැනි අවස්ථාවලදී පාරිභෝගිකයා ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඇති නීතිමය රාමුවට බලපෑම් ඇති කිරීමට සමාගම්වලට ඇති හැකියාවයි.

Note 7 නැවත කැඳවීම සම්බන්ධයෙන් ද මෙවන් ගැටලුකාරී තත්ත්වයක් පැනනැගී තිබූ බව මේ වන විට දැනගන්නට ලැබී තිබෙනවා. ඇමරිකා එක්සන් ජනපදයේ මෙවැනි අවස්ථාවලදී නීතිමය කටයුතු හා පාරිභෝගිකයා ආරක්ෂා කිරීම සඳහා පිහිටුවා ඇති Consumer Product Safety Commission (CPSC) පවසන ආකාරයට Note 7 දුරකථන නැවත කැඳවීම වැනි තත්ත්වයක් උද්ගත වන අවස්ථාවක ඒ පිළිබඳ මහජනයා නිල වශයෙන් දැනුවත් කිරීම ඇත්තේ එම කොමිසමට වුවත්, ඔවුන් නිකුත් කරන ප්‍රකාශය ඒ අදාළ සමාගම විසින් අනුමත කළ යුතුයි. (මේ පිළිබඳ සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් සඳහා මෙම සබැඳිය වෙත පිවිසෙන්න).

කාට කාටත් තේරුම් ගන්න පුළුවන් භාෂාවෙන් කෙටියෙන් කියනවා නම්, Note 7 නැවත කැඳවීම ගැන CPSC මගින් ප්‍රකාශයට පත්කරන නිල නිවේදනයේ Samsung සමාගමේ වරදක් පිළිබඳව වුවමනාවට වඩා අවධාරණය කිරීමක් වැනි යමක් ඇතුළත් වුණා නම් එම නිල නිවේදනය ප්‍රකාශයට පත්කිරීමට ඉඩ නොදීමට Samsung සමාගමට හැකියාව තිබෙනවා. එහෙම වුණා නම් තාමත් ලෝකය පුරා තැනින් තැන පුපුරණ Note 7 ගැන දිනපතා පුවත් මැවෙන්නට ඉඩ තිබුණා.

(Gizmodo.com)

(Gizmodo.com)

ඔබේ දැනුමට: Smart ජංගම දුරකථන බැටරි පුපුරායාමේ අවදානම වැඩි ඇයි?

(මේ පැහැදිලි කිරීම සමස්ථයක් වශයෙන් දැනට වෙළඳපොලේ මිළදී ගත හැකි නවීන smart ජංගම දුරකථනවල අඩංගු බැටරි සියල්ලටම පාහේ අදාළයි. මෙය Note 7 හි ඇතිවූ තත්ත්වයට හේතුවන්නට ඇති නමුත් මේ වන විට ඒ පිළිබඳ නිල වශයෙන් ප්‍රකාශයට පත්වී නැහැ. ඒ නිසා මෙය පොදු පැහැදිලි කිරීමක් ලෙස සැලකීම වඩාත් උචිතයි)

Smart ජංගම දුරකථනවලට නවතම විශේෂාංග එකතු වීමත්, වැඩි විභේදනයෙන් යුතු විශාල තිර එක්වීමත්  සමගම ඒවා ක්‍රියාකිරීමට වැඩි බලයක් අවශ්‍ය වනවා. බහුතරයක් smart ජංගම දුරකථන බැටරි ලිතියම් අයන ප්‍රතික්‍රියා මගින් බලය ලබාගන්නා ලෙසයි නිපදවෙන්නේ. (Lithium-ion/ Li-ion battery) විද්‍යාඥයන්ට අනුව අප මේ වන විට Lithium-ion බැටරියකින් ලබාගත හැකි උපරිම ආයුකාලයෙන් 90%ක් පමණ ප්‍රයෝජනයට ගැනීමට සමත්. නමුත් කලින් සඳහන් කළාක් මෙන් බැටරියෙන් අවශ්‍ය බලය දිනෙන් දින ඉහළ යාම මිස අඩු වීමක් නම් නැහැ. මේ නිසා නිෂ්පාදකයන් මෙවැනි බැටරියකින් ලබාගැනීමට නොහැකි තරමේ බලයක් ලබාගන්නට උත්සහ කිරීමට යාම නොවැළක්විය හැකි බවත්, එහි අවදානම් සහගත බවත් අමුතුවෙන් කිවයුතු නැහැ. Lithium-ion බැටරිවල ඇනෝඩය හා කැතෝඩය එකිනෙක ස්පර්ශ වීමද බැටරිය පුපුරායාමට තුඩුදිය හැකියි. මීට අමතරව නවීනතම fast charging තාක්ෂණය සහිත බැටරි නිසි තත්ත්ව පරික්ෂාවකට ලක් කිරීමකින් තොරව නිෂ්පාදනය කරන්නේ නම් ඒවාද පුපුරයාමේ අවදානම ඉතාම ඉහළයි. බැටරිය සම්පූර්ණයෙන් ආරෝපණය වී තිබියදීත් තවදුරටත් එය ආරෝපණය කිරීමට යාමද තවත් එක් ප්‍රධාන සාධකයක්. තම නිෂ්පාදන මෙවැනි තත්ත්වයන් යටතේ ආරක්ෂාකාරී ලෙස ක්‍රියාකරන ලෙස නිපදවීම නිෂ්පාදකයාගේ වගකීමක්. එමනිසා මේ හා සම්බන්ධ අනතුරු වලදී වැඩි වගකීමක් නිෂ්පාදකයා වෙත පැටවෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ඔබට පහත video clip එක නැරඹීමෙන් දැනගත හැකියි.

Samsung සමාගමේ අනාගතයට මෙහි බලපෑම කෙසේද?

Samsung යනු ගෘහාශ්‍රිත ඉලෙක්ට්‍රොනික උපකරණ නිෂ්පාදනයේ අති දැවැන්තයෙක් බව ඔබට අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැහැ. මෙහිදී අප වැඩි අවධානයක් යොමු කළේ Samsung Mobile ගැන පමණක් වුවත් ඒ Samsung සමාගමේ එක් අංශයක් පමණයි.

Note 7 නැවත කැඳවීම හා එහි නිෂ්පාදනය අත්හිටුවීම නිසා සමාගමට අහිමිවූ ආදායම ඇ.ඩො. බිලියන 9.5ක් සහ සමාගමේ කොටස් අඩුවීම 8%ක් පමණ වේ යැයි ගණන් බලා තිබෙනවා. (මූලාශ්‍රය: CNN)

(Reuters.com)

(Reuters.com)

Note 7 නිෂ්පාදනය බාධාවකින් තොරව සිදුවුයේ නම් සමාගමට විකිණීමට හැකිවේයැයි ගණන් බලා තිබූ Note 7 smart ජංගම දුරකථන ගණන මිලියන 19ක් වන අතර ඒ අනුව මේ නිසා Samsung සමාගමට සමස්ථයක් වශයෙන් ඇ.ඩො. බිලියන 17ක පාඩුවක් සිදුවේ යැයි උපකල්පනය කෙරෙනවා. කෙසේ නමුත් ඇ. ඩො. බිලියන 235ක සමස්ථ වෙළඳපොල අගයකින් යුතු Samsung සමාගමට මෙය පහසුවෙන් දරාගත හැකි වුවත් එහි දීර්ඝකාලීන බලපෑම එතරම් හිතකර වේ යැයි සිතිය නොහැකියි. (මූලාශ්‍රය: Reuters)

දහසක් දෙනකු සහභාගී වූ එක් සමීක්ෂණයකින් හෙළිවී ඇත්තේ එයින් 40%ක පිරිසක් නැවත Samsung ජංගම දුරකථනයක් මිලදී ගැනීමේ අදහස අත්හැර දමා ඇති බවයි.

තවත් වෙළඳපොල විශ්ලේෂණයකින් හෙළිවී ඇති ආකාරයට මිලියන 5ත් 7ත් අතර ගණනක Samsung පාරිභෝගිකයින් තම මීළඟ smart ජංගම දුරකථනය ලෙස Apple iPhone 7 තෝරාගනී යැයි අපේක්ෂා කෙරෙනවා.

(gsmarena.com)

(gsmarena.com)

මීට අමතරව Samsung සමාගමේ අනෙකුත් නිෂ්පාදන සඳහාද මෙයින් ඇතිවන බලපෑම සුළුපටු යැයි සැලකිය යුතු නැහැ. Galaxy Note 7 පුපුරායාම ඇතුළු සියලු සිද්ධීන්වලට සමාගමේ තත්ත්ව පරික්ශාවන්ගේ තිබූ අඩුපාඩු බලපෑ බව හොඳින් පෙනෙන කරුණක්. එවැනි සිදුවීමකින් පසුව එහි අනෙකුත් නිෂ්පාදනවල තත්වය පිළිබඳව පාරිභෝගිකයින් හට සැකයක් මතුවීම අසාධාරණ ලෙස සැලකිය නොහැකියි.

මේ අනපේක්ෂිත සිදුවීම් මාලාව මුළු සමාගමේම නිෂ්පාදන මිලදී ගැනීම දෙවරක් සිතාබැලීමට පාරිභෝගිකයින් යොමුකර ඇතිබව මේවනවිට ප්‍රසිද්ධ රහසක් ලෙස හැඳින්වීම වරදක් නොවේ යැයි ඔබට දැන් වැටහෙනවා ඇති. Samsung මෙතෙක් ලොව පුරා විශ්වාසය දිනූ හා තත්ත්වයෙන් උසස් නිෂ්පාදන රැසක් නිපදවූ සමාගමක් වුවත් Note 7 නිසා ඇතිවූ කළු පැල්ලම තම නාමයෙන් මකා දමන්නට නම් ඔවුන්ට දැඩි පරිශ්‍රමයක් දරන්නට වන බව නම් නොඅනුමානයි.

මේ පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

මෙතෙක් අප දැක්වූයේ ලෝකයේ වෙනත් රටවල Note 7 හා බැඳුණු සිද්ධීන් පිළිබඳ පැවැත්වූ සමීක්ෂණ වාර්තාවලින් ලබාගත් දත්ත පමණයි. අප දැන් ඔබට අවස්ථාවක් ලබා දෙනවා ඔබේ ඡන්දය මේ සමීක්ෂණය සඳහා ලබාදී ශ්‍රී ලාංකිකයන් මේ පිළිබඳව සිටින්නේ කවර ආකාරයේ ස්ථාවරයකදැයි සොයාබැලීමට. ඔබේ කැමැත්ත තේරීමෙන් පසු ඔබට එම ඡන්දයේ ප්‍රතිඵල දැකගත හැකියි. මීට අමතර ඔබේ අදහස් comment මගින් දන්වන්න.

[total-poll id=3241]

[total-poll id=3242]

මුලාශ්‍ර: CNN – Money, Reuters, The Verge, Forbes, CNET, Gizmodo, Samsung, Android Central, GSMarena

කවරයේ පින්තුරය: easyacc.com

Related Articles