Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ෆේස්බුක් එකේ වැඩ කරන එක මොන වගේ ද කියලා දන්නවා ද?

අපි බොහෝ දෙනෙක් උදේ පාන්දර නැගිට්ට ගමන් නිදි පැදුරෙන් ම ෆෝන් එක අතට අරගෙන නෝටිෆිකේෂන් ඇවිත් තිබෙනවා ද, යාළුවෝ අලුතින් දාපු දේවල් මොනවා ද, අද උපන්දින තිබෙන්නේ කාගේ ද වගේ දේවල් බලනවා. හැබැයි ඉතින් උදේ එකට-දෙකට විතර නිදාගන්න යන්න කලින් කරන්නෙත් මේ දේ ම යි. ගතවුණු පැය කිහිපයට සමහරවිට බලන්න තරම් දේවල් සිදුවෙලා නැති වෙන්න පුළුවන්. ඒත් නැගිට්ට ගමන් මේ සුබ කටයුත්ත කළේ නැත්නම් අපේ කට්ටියට දවස පටන් ගන්න ගැම්මක් ලැබෙන්නේ නැහැ. ඒ විතරක් නොවෙයි, සමහරු විරැකියාව වහගන්න Works at Facebook කියලා තමන්ගේ ප්‍රොෆයිල් එකේ දාගෙනයි ඉන්නේ. හැබැයි ඉතින් ඉගෙන ගන්නෙත් නැතුව, රටට වැඩක් කරන්නේත් නැතිව දවස පුරා ම ෆේස්බුක් එකට වෙලා කී බෝඩ් වීරයෙක් වශයෙන් රට පෙරලන්න උත්සාහ ගන්න එකත් හරියට ෆේස්බුක් එකේ වැඩකරනවා වගේ තමයි. මොකද, මෘදුකාංග සංවර්ධකයන් අමාරුවෙන් ලියන කේත හරියට ක්‍රියාත්මක වෙනවා ද කියලා බලන්න කට්ටියකුත් එපැයි.

kelseyads.com

කොහොම නමුත් කේතකරණයේ අකුරක්වත් දැන නොගත්තත් හැමෝගේ ම හීනයක් තමයි ෆේස්බුක් එකේ ජොබ් එක කරන එක. නාසා, ගූගල්, ඉන්ටෙල් වැනි සමාගම් මෙන් ම ෆේස්බුක් එකත් හැමෝගේ ම සිහින රැකියාවක්. පුරාජේරුව කියන්න ඕන නිසා ම නොවුණත් ලොව බහුතරයක් දෙනා හොඳින් දන්නා ආයතනයක රැකියාව කිරීමේ භාග්‍යය ලබා ගැනීම සහ තමාගේ මහන්සිය නිසා ලියැවුණු එක් පේළියක කේතයක්, මූල්‍ය ගිණුම් කටයුත්තක්, කළමනාකාර කටයුත්තක් හෝ අඩු තරමේ කාර්යාලයේ කුණු අස් කිරීමක් හෝ නිසා මුළු ලෝකයට ම ඉන් බලපෑමක්, ප්‍රයෝජනයක් වන බව දැනෙන ස්ථානයක රැකියාව කිරීම නම් මහා ආඩම්බරයක්. ඉතින් අපි සොයා බලමු ෆේස්බුක් එකේ වැඩ කරන එක මොනවගේ ද කියලා.

බඳවාගැනීම

උනන්දුව තිබුණා ම ඇති

andreadoven.com

සාමාන්‍යයෙන් ජොබ් එකකට යනවා නම් පළපුරුද්ද තියෙන්න ඕන. පළපුරුද්ද ගන්නට නම් ජොබ් එකක් කරලා තියෙන්න ඕන. ඊට පස්සේ අහවල් උපාධිය, මේ මේ සුදුසුකම් ආදී වශයෙන් ලෑල්ලකට ඇණයක් ගහන වැඩේට වුණත් ලොකු ලොකු වචන දාලා එන අයව හලනවා. හැබැයි ෆේස්බුක් එකේ හැම කෙනාව ම අතහැර දමන්නේ නැහැ. ෆේස්බුක් එකේ ප්‍රධාන කේත හසුරුවන්නට තරම් හැකියාවක් නැතත්; සුළු කේතකරණ දැනුමක් සහ විශේෂයෙන් උනන්දුවක් තිබෙනවා නම් ෆේස්බුක් සමාගමේ ම වෙනත් කුඩා ව්‍යාපෘති සඳහා ඔවුන් ව යොදවනවා.

“අති උසස් ව්‍යාපෘතියක් නොවුණත් අපට ඉදිරිපත් කළ දෙයකින් තමන්ගේ දක්ෂතාවන් පෙන්නුම් කරන අයට අපි වැඩි ඉඩකඩක් ලබා දෙනවා. ඇත්තට ම අපිට අවශ්‍ය අලුත්, සුවිශේෂී යමක් කරමින් තාක්ෂණය ඉදිරියට ගෙන යාමේ සවිබලය ඇති අය බඳවාගන්නට යි.”

ෆේස්බුක් සමාගමේ නව මෘදුකාංග ඉංජිනේරු බඳවා ගැනුම් නිලධාරී විල් බානට් Reddit වෙබ් අඩවියේ සඳහන් කරනවා.

ඒ කියන්නේ අපි මීට පෙර ගෙන ආ වෙබ් සංවර්ධකයෙකු වන්නේ කොහොමද? යන ලිපිය ඔබ හරිහැටි අනුගමනය කළොත්, එහි සඳහන් සරල කේතකරණ හැකියාවන් සමඟ GitHub එකේ හොඳ ව්‍යාපෘති කිහිපයක් ඉදිරිපත් කරගන්නට හැකිනම් ඔන්න ඔබටත් අවස්ථාවක් තිබෙනවා.

ෆේස්බුක් ප්‍රොෆයිල් එක බලලා බඳවා ගන්නේ නැහැ

කෙනෙක්ගේ සමාජ හැසිරීම ෆේස්බුක් ප්‍රොෆයිල් එක ටික්ක ස්ක්‍රෝල් කළා ම කියන්න පුළුවන් කියලා කෙනෙක් කියන්නට පුළුවන්. හැබැයි අඩු තරමේ ෆේස්බුක් එකට අලුතින් කෙනෙක් ගනිද්දීවත් ඔවුන් ෆේස්බුක් ප්‍රොෆයිල් බලන්නේ නැති බවයි බානට් සඳහන් කරන්නේ. මෙය අපේ රටේ සමාගම් වලටත් හොඳ ආදර්ශයක්. බැංකුවක සේවය කරන එක්තරා මිත්‍රයෙක් මා සමඟ කීවේ ඔවුන් Works at යන්නෙහි බැංකුවේ නම සඳහන් කරගෙන සිටින නිසා ඉහළ නිලධාරීන් ඔවුන් පළකරන හැම දෙයක් ගැන ම අවධානයෙන් සිටින අතර ආයතනයට හානියක් වෙතැයි ඔවුන් මහත් බියකින් පසුවන බව යි. ඒත් විල් බානට් නම් කියන්නේ  “අපි පෞද්ගලිකත්වයට බෙහෙවින් ගරු කරනවා” කියා යි.

සේවා වරප්‍රසාද බොහොමයි

තම සේවකයන් සතුටින් තැබීම සඳහා හැම ආයතනයක් වගේ ම ෆේස්බුක් එකත් බොහොම වධ වෙනවා. ඒ නිසා අවශ්‍ය හැම දෙයක් ම සම්පාදනය කරමින් හොඳ කාර්යාල වටපිටාවක් ගොඩනගන්නට ඔවුන් කටයුතු කර තිබෙනවා. “මගේ දෙවියනේ, කෑම..! කියලා වැඩක් නැහැ!!” ෆේස්බුක් මෘදුකාංග සංවර්ධක සබඳතා නියමු ක්‍රිස්ටොපර් බ්ලිසාර්ඩ් පවසනවා. කෑම විතරක් නොවෙයි, තවත් අපූරු දේවල් රැසක් ෆේස්බුක් එක පැත්තෙන් අපිට අහන්න ලැබෙනවා.

දවස පුරා විවිධ කෑම

huffpost.com

පැය විසිහතර ම විවෘත අවන්හලක් ෆේස්බුක් මූලස්ථානයේ තිබෙනවා. එහි ලොව විවිධ රටවල ආහාරයට ගන්නා රොටි වර්ග, බර්ගර්, BBQ පමණක් නොව ආසියානු ක්‍රමයට සකසන ලද තුනපහ සහිත ආහාර පවා තම කැමැත්ත අනුව තෝරා ගන්නට ඉඩ සලසා තිබෙනවා. ෆේස්බුක් එකේ හැම කෙනෙක් ම ඔවුන්ගේ ම නිෂ්පාදනයක් වන ඉන්ස්ටාග්‍රෑම් එකේ ඡායාරූප දමමින් පවසන්නේ ආහාර මොන තරම් නම් රසවත් ද කියා යි. කෑම වර්ග බොහොමයක් නොමිලේ මෙන් ම ඇතැම්වා දැවැන්ත වට්ටම් සහිත ව ලබාගත හැකි යි.

ෆේස්බුක් එකේ උපන්දිනයට ඔබට තෑග්ගක්

pinimg.com

වාර්ෂිකව ෆේස්බුක් එකේ උපන්දිනය වෙනුවෙන් උත්සවයක් පවත්වනවා. මෙහිදී එහි සේවය කරන හැම කෙනෙක්ට ම ත්‍යාගයක් ලබා දෙන අතර ඒවා අතර පිජාමා කලිසම්, මේස්, ඔරලෝසු වැනි දේ අඩංගු වෙනවා.

Internලාටත් ඉහළ වැටුප්

financenews24.com

අපේ රටේ ජොබ්වලට ඉන්ටර්න්ලා ගන්නේ දහදාහක් විතර දීලා පනස්දාහක විතර වැඩ ගන්නට වුවත් ෆේස්බුක් එකේ නම් වැඩට සරිලන වැටුපක් ගෙවනවා. සාමාන්‍ය ඇමරිකානු පුරවැසියෙක් ගන්නා වැටුපටත් වඩා ඩොලර් විසි පන්දහසක් පමණ ඉහළ වැටුපක් ලබන ඉන්ටර්න්ලාගේ මූලික වැටුප ඩොලර් 67,000ක් පමණ (අදට, රුපියල් කෝටියක් පමණ) වන බවයි දැනගන්නට ලැබෙන්නේ.

කාර්යාලය තුළ ම වෛද්‍යවරයෙක්

ෆේස්බුක් සේවකයන් වෙනුවෙන් කාර්යාලය තුළ වෛද්‍යවරුන් සිටින අතර කශේරු සන්ධි රෝග විශේෂඥයන් සහ භෞතික චිකිත්සකවරුන් ලබාදී තිබෙනවා. මේ නිසා ලෙඩක් හැදුනු ගමන් ම ඔෆිස් එකේදි ම නොමිලේ ම ප්‍රතිකාර ගන්නට ෆේස්බුක් එකේ අයට වාසනාව තිබෙනවා.

ඔබ වැඩ කරන්නට කැමති මැක්බුක් එකක ද? ප්‍රශ්ණයක් නැහැ

pinimg.com

ලංකාවේ ඔෆිස්වල අලුතෙන් මොනවාහරි දෙයක් හෝ කැඩුණු උපාංගයක් ගන්නට අවශ්‍ය වුණොත් ලියුම් දහයක් විතර ලියලා, මිල කැඳවුම් අරගෙන මාස එකහමාරකට විතර පස්සේ තමයි අවශ්‍ය දේ ලැබෙන්නේ. ඒත් ෆේස්බුක් එකේ නම් ඔබව සතුටින් තබන්නට ඕනෑම දෙයක් ලබා දෙනවා. ඔබ කේත ලියන්නට වඩාත් කැමති Mac පරිගණකයක නම් ඒ බව දැනුම් දෙන්නට විතරයි තිබෙන්නේ. වින්ඩෝස් හෝ ලිනක්ස් වුණත්, ඔබට සුවිසල් තිරයක් අවශ්‍ය වුවත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ ම ෆේස්බුක් පරිශ්‍රය තුළ කීබෝඩ්, පෙන් ඩ්‍රයිව්, ලැප්ටොප් චාජර් වැනි පරිගණක උපාංග සහිත විකුණුම් උපකරණ (vending machines) තිබෙනවා. ඔබේ කීබෝඩ් එක අවුල් වගේ නම් බීම බෝතලයක් මිලදී ගන්නවා වගේ වෙන්ඩිං මැෂින් එකකට ඔබේ හැඳුනුම්පත පෙන්වූ වහා අලුත් ම කීබෝඩ් එකක් ලැබෙනවා.

අඳුරු පැතිකඩක්

ෆේස්බුක් එකේ වැඩ කිරීම වගකීම් වලින් ඉතා ම ඉහළ කටයුත්තක්. ඉතා සුළු අතපසුවීමකින් ලොව දස දහස් ගණනක පුද්ගලයන්ගේ සිනහව නැතිව යන්නට පුළුවන්. පෞද්ගලිකත්වය අතින් මෙන් ම තමන්ගේ කාර්යාලයේ ප්‍රශ්න වලින් හිස නිදහස් කරගන්නට ෆේස්බුක් එක ස්ක්‍රෝල් කරන්න ආවා ම එකත් පිස්සු නටනවා නම් ආතතිය දෙගුණ තෙගුණ වෙනවා. මේ බව ෆේස්බුක් එක පසුගිය කාලයේදී අක්‍රියවූ අවස්ථා වලදී හොඳින් ම පෙනී ගියා. ඒ වගේ ම ෆේස්බුක් එක නැතිවුණ ගමන් ඒ ගැන බෙදා ගන්නට වැඩි දෙනෙක් අතට ගන්නේ ට්විටර් එක යි. ඉතින් ටිකකට හරි සේවාව ඇණහිටියොත් ඉන් ‘පරිශීලකයන්’ කෙසේ වෙතත් නිවැරදි වචනය වන ‘පාරිභෝගිකයන්’ වෙනත් සේවාවකට යොමුවීම ආර්ථික වශයෙන් මහත් පාඩුවක්. මේ නිසා එහි කටයුතු කරන අයට තිබෙන පීඩනය ඉතා වැඩියි.

wired.co.uk

දුරකථන ඇමතුමක් ආ සැණින් සේවයට වාර්තා කිරීම, සතියේ පැය විසි හතර ම වගකිව යුතු වීම, උදේ තුනට වුණත් අඩු කාලයක් තුළ ඇතිවුණු ගැටළුවක් සැකසීමට සිදුවීම, නව කේතයක් අත්හදා බලමින් ලොවට ඔබේ ම නිර්මාණාත්මක යමක් ඉදිරිපත් කරන්නට හැකියාවක් නොමැතිවීම වගේ ප්‍රශ්න රැසකට මුහුණ දෙන්නට සිදුවන බවත් මේ නිසා දැඩි ආතතියකින් පසුවූ බවත් ඒ නිසා ම ෆේස්බුක් එකෙන් ඉල්ලා අස්වූ බවත් අවුරුදු හතරක් තිස්සේ එහි සේවය කළ මෘදුකාංග ඉංජිනේරු කීත් ඇඩම්ස් සඳහන් කරනවා.

ප්‍රශ්න කොතරම් තිබුණත් හැබැයි “කන්න දෙනවා නම් අපිට – බොන්න දෙනවා නම් මොන කෙංගෙඩිය ද තව ඕන කියන්නේ” කියලා කේතකරණයට ඔබේ තිබෙන උනන්දුව වැඩි වර්ධනය කරගෙන ඔබේ ආයතනයට හොඳ සේවයක් කරන්න කල්පනා කරනවා වගේ ම ආයතන හිමිකරුවන් ද තමන්ගේ සේවකයන්ට හැකිතාක් යහපත් පරිසරයක් ගොඩනගන්නට කල්පනා කරනු ඇතැයි Roar අපි බලාපොරොත්තු වෙනවා. මොකද, Roar මූලස්ථානයට දවසකට පැමිණියොත් මේ වගේ අපූරු පහසුකම් රැසක් සේවකයන්ට සැලසෙන හැටි ඔබට ම දැකබලා ගන්න පුළුවන්.

කවරයේ ඡායාරූපය: cnbc.com

Related Articles